Skip to content

පටුනට යන්න

ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් විය හැකිද?

ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් විය හැකිද?

ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් විය හැකිද?

දිලිසෙන සියල්ල රත්තරන් නොවෙයි යන කියමන අප කොයි කවුරුත් අසා ඇත. මෙයින් පැහැදිලි වන්නේ, යම් දෙයක සැබෑ වටිනාකම සැමවිටම මතුපිටින් පමණක් දැකගත නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් හොඳ නිදසුනක් සලකා බලන්න. එක්සත් ජනපදයේ වටිනාම බැංකු නෝට්ටුව ඩොලර් 10,000ක් බව පැවසේ. නමුත් එය මුද්‍රණය කිරීමට භාවිත කළ කඩදාසියට වැය වූයේ ශත කිහිපයක් වැනි ඉතා සුළු මුදලක් පමණි.

කඩදාසි කැබැල්ලක් වැනි නොවටිනා දෙයකින් ඔබේ ජීවිතයට සැබෑ අරුතක් එක් කර දිය හැකිද? එසේ කළ හැකි බව බොහෝදෙනෙක් විශ්වාස කරති. එමනිසා හැකි තරම් මුදලක් උපයාගැනීම සඳහා ඔවුහු රෑ දවල් නොබලා වෙහෙසෙති. ඇතැම් අවස්ථාවලදී තමන්ගේ සෞඛ්‍යයට, පවුල් ජීවිතයට හා මිත්‍රයන් සමඟ තිබෙන තමන්ගේ සබඳතාවලට පවා හානි පමුණුවාගනිමින් ඔවුහු මුදල් පසු පස හඹා යති. මෙවැනි ක්‍රියා කලාපයක් ලුහුබැඳීම ඇත්තෙන්ම ප්‍රයෝජනවත් වී තිබෙනවාද? මුදලෙන් හෝ එයින් මිල දී ගත හැකි දේවලින් අපට නියම හා කල්පවතින සන්තෝෂය කවදා හෝ අත් කරගත හැකිද?

අපි ද්‍රව්‍යමය දේවල් ලුහුබඳිමින් සන්තෝෂය අත් කරගැනීමට කොතෙක් වෙර දැරුවත් එය අපෙන් ගිලිහී යන බව පර්යේෂකයන් පවසා ඇත. “සන්තෝෂය කිසිදාක මිල දී ගත නොහැකි” බව පුවත්පත් කලාවේදියෙක් වන ඇල්ෆි කෝන් පවසයි. “ධනය රැස් කරගැනීම තම ජීවිතයේ ප්‍රධාන ඉලක්කය කරගෙන ඇති අය සිත්තැවුලට හා කලකිරීමට පහසුවෙන්ම ගොදුරු වේ. එමෙන්ම ඔවුන් වෙනත් අය තරම් සතුට අද්දකින්නේද නැත” කියා ඔහු තවදුරටත් පැහැදිලි කර දෙයි.—ඉන්ටනැෂනල් හෙරල්ඩ් ට්‍රයිබ්‍යූන්.

අර්ථවත් ජීවිතයක් ගත කිරීම සඳහා මුදලට වඩා වැඩි යමක් අවශ්‍ය වන බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති නමුත්, බොහෝදෙනෙක් එම අදහසට එකඟ නොවෙති. ඇත්තෙන්ම මෙය අපව පුදුමයට පත් කළ යුතු නැත. මන්ද අප ජීවත් වන්නේ වෙළඳ දැන්වීම්වලින් පාලනය වන සංකීර්ණ ලොවකයි. බටහිර රටවල වෙසෙන ජනයා දිනකට වෙළඳ දැන්වීම් 3,000ක් පමණ නරඹන බව දැනට ගණන් බලා ඇත. විකිණීමට වෑයම් කරන්නේ කාර් එකක් හෝ චොක්ලට් එකක් හෝ වේවා ඉදිරිපත් කරන්නේ එකම පණිවිඩයයි. එනම් ‘මේක මිල දී ගත්තොත් තමයි ඔබට සන්තෝෂය හිමි වෙන්නේ’ යන්නය.

ද්‍රව්‍යමය දේවල වටිනාකම මෙලෙස උලුප්පා දැක්වීමෙන් සිදු වී ඇත්තේ කුමක්ද? ජනයා ආත්මික දේවල වටිනාකම පසෙක දමා තිබේ. මේ සම්බන්ධයෙන් නියූස්වීක් සඟරාවේ එක් වාර්තාවකට අනුව ජර්මනියේ කලෝන්හි අගරදගුරු මෙසේ පවසා තිබිණ. “අද සමාජයේ ඉන්න මිනිස්සු දෙවිකෙනෙක් ගැන කතා කරන්නේවත් නැහැ.”

ඔබත් සමහරවිට මේ දක්වාම ඔබේ මුළු කාලයම හා මුළු ශ්‍රමයම මුදල් උපයාගැනීම සඳහා යොදවා තිබෙනවා විය හැක. එමනිසා වෙන කිසිම දෙයක් කිරීමට කාලය නැති බව ඔබට හැඟෙනවා විය හැකිය. නමුත් ඔබේ සෞඛ්‍යය තත්වය දුර්වල වන තෙක්ම හෝ ඔබ වයසට යන තෙක්ම දවසක් දවසක් පාසා එකම දිනචර්යාවක නිරත වීමට වඩා වැඩි යමක් ජීවිතයට තිබිය යුතුයි කියා ඔබ සමහරවිට කල්පනා කරන්නත් ඇති.

ආත්මික කාරණාවලට වැඩි අවධානයක් දීමෙන් ඔබේ ජීවිතය වඩාත් අර්ථාන්විත එකක් කරගත හැකිද? ඔබේ ජීවිතයට සැබෑ අරුතක් එක් කරගත හැක්කේ කෙසේද?