Skip to content

පටුනට යන්න

තායිවානයේ කුඹුරුවල ශුභාරංචිය දේශනා කිරීම

තායිවානයේ කුඹුරුවල ශුභාරංචිය දේශනා කිරීම

අපි ඇදහිල්ල ඇත්තෝ වන්නෙමු

තායිවානයේ කුඹුරුවල ශුභාරංචිය දේශනා කිරීම

සශ්‍රිකත්වය උදා කරවන වර්ෂාව තායිවානයට නොඅඩුව ලැබෙයි. මේ නිසා එහි අවුරුද්දකට දෙවතාවක්ම සරුසාර වී අස්වනු නෙළාගනියි. එහෙත් සමහර කාලවලදී බලාපොරොත්තු වන වර්ෂාව නොලැබෙන විටදී බීජ පැළ මිය යයි. මෙවැනි ආපදාවකට මුහුණ දෙන විට ගොවියා බලාපොරොත්තු අත්හරීවිද? කොහෙත්ම නැත. මන්ද සරු අස්වැන්නක් නෙළාගැනීමට දැඩි උත්සහයක් අවශ්‍ය බව ඔහු දන්නා බැවිනි. එමනිසා ඔහු බීජ පැළ නැවත සිටුවමින් යළිත් කෙත සකස් කරයි. ඉන්පසු තත්වය යහපත් වුවහොත් ගොවියා සරු අස්වැන්නක් නෙළාගනියි. ඇතැම් අවස්ථාවලදී ආත්මික වගා කිරීම සහ නෙළීමත් මේ හා සමානය.

ආත්මික අස්වනු නෙළීමේදී දැඩි උත්සාහයක් දැරීම

සත්‍යයේ ආත්මික බීජ පැළ කිරීමට සහ අස්වනු නෙළීමට තායිවානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් පසුගිය වසර තුළදී ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළත් සමහර ප්‍රදේශවල එතරම්ම සාර්ථකත්වයක් දැකගත නොහැකි විය. එක් ප්‍රදේශයක් නම් මීඇල්-ලී නම් වේ. එම ප්‍රදේශය තුළ ඉඳහිට හෝ සාක්ෂි දැරීමට ප්‍රයත්නයන් ගනු ලැබුවත්, එම වෑයමට එතරම්ම හොඳ ප්‍රතිචාරයක් නොලැබුණි. 1973දී විශේෂ පුරෝගාමී යුවළක් එහි පූර්ණ කාලීනව සේවය කිරීමට යවන ලදි. මුලින්ම සමහරෙකු ශුභාරංචියට යම් උනන්දුවක් පෙන්නුවත් පසුව එම උනන්දුව නැති වී ගියේය. ඉන්පසු එම විශේෂ පුරෝගාමීන්ට වෙනත් ප්‍රදේශයකට පැවරුමක් දෙනු ලැබීය.

පසුව වර්ෂ 1991දී තවත් විශේෂ පුරෝගාමීන් දෙදෙනෙකුට එම ප්‍රදේශයේ සේවය කිරීමට පැවරුමක් දෙනු ලැබිණ. එහි පැවති කාලගුණය ආත්මික වර්ධනයට හිතකර නොවන බව වාර්තාවලින් යළිත් පැහැදිලි විය. ඉන් අවුරුදු කිහිපයකට පසුව මෙම ප්‍රදේශය යම් කාල සීමාවකට අත්හරිනු ලැබූ අතර, එම විශේෂ පුරෝගාමීන් දෙදෙනාව වඩා ඵලදායී ප්‍රදේශයකට මාරු කරන ලදි. මෙලෙස එම ප්‍රදේශය කලකට පුරන් වීමට ඉඩහැරියේය.

නැවත පණගැන්වුණු ප්‍රයත්නය තුළින් සාර්ථකත්වය නෙළාගනු ලබයි

වර්ෂ 1998 සැප්තැම්බර් මාසයේදී තායිවානයේ කලින් දේශනා නොකරන ලද විශාල ප්‍රදේශ තුළ ඵලදායී ක්ෂේත්‍රයන් සෙවීමට විශේෂ ප්‍රයත්නයක් දරන ලදි. මෙය ඉටු කරගන්නා ලද්දේ කෙසේද? ඒ සඳහා තාවකාලිකව විශේෂ පුරෝගාමීන් 40දෙනෙකුව කලින් දේශනා නොකරන ලද ජනයාගෙන් ගහණ වූ ක්ෂේත්‍රවලට යැවීය.

තෝරගත් ක්ෂේත්‍ර අතර මීඇල්-ලී ප්‍රාන්තයට යාබද නගර දෙකක්ද ඇතුළත් වුණි. එම ක්ෂේත්‍ර පරීක්ෂා කිරීමට තනිකඩ සහෝදරියන් හතරදෙනෙකුව එහි මාස තුනක සේවා කාලයක් සඳහා යවන ලදි. ඔවුන් එහි පැමිණි විගසම, උනන්දුව දැක්වූ අය ගැන ඉතා උනන්දුමත් වාර්තා ලියා එවනු ලැබීය. එම නගරයේ ඔවුන්ගේ මාස තුනක සේවා කාලය අවසන් වන විට, එම සහෝදරියෝ නිවාස බයිබල් පාඩම් විශාල සංඛ්‍යාවක් පවත්වමින් සිටියහ. ඒ අතරම ඔවුහු ළඟපාත පිහිටි සභාවක සිටි වැඩිමහල්ලෙකුගේ උපකාරය ඇතුව පොත් පාඩමක්ද ආරම්භ කළහ.

මෙම සහෝදරියන්ගෙන් තිදෙනෙක් හොඳින් වර්ධනය වෙමින් තිබූ “බීජ පැළෑටි” දිගටම රැකගැනීමට ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කළහ. සහෝදරියන් දෙදෙනෙකු විශේෂ පුරෝගාමීන් ලෙසද අනෙක් සහෝදරිය ස්ථාවර පුරෝගාමියක ලෙසද එහි සේවය කරමින් සිටී. ඔවුන්ට උපකාර කිරීමට ළඟපාත පිහිටි සභාවක වැඩිමහල්ලෙක් පැමිණියේය. එම ප්‍රදේශයේ පැවැත්වූ මුල්ම ප්‍රසිද්ධ කතාවට 60දෙනෙකුට වඩා වැඩි පිරිසක් සහභාගි විය. මෙම වර්ධනය වෙමින් පවතින කණ්ඩායමට, පොත් පාඩම් කිහිපයක් පැවැත්වීමට අමතරව නොකඩවා ඉරිදා රැස්වීම් පැවැත්වීමටද යාබද සභාවක් උපකාර කරමින් සිටියි. ඉතාමත් ඉක්මනින්ම මෙම ප්‍රදේශයේ රාජ්‍ය ශාලාවක් ඉදි වෙයි කියා බලාපොරොත්තු විය හැක.

දැඩි උත්සාහය තායිවානයේ වෙනත් පැතිවලටත් ආශීර්වාද ගෙන එයි

තායිවානයේ පිහිටි අනිත් පළාත්වලිනුත් එවැනිම ප්‍රතිචාරයක් ලැබිණ. දිවයිනේ ඊසානදිගින් පිහිටි පළාතක් වන ඉලාන්හි තාවකාලික විශේෂ පුරෝගාමීන් සේවය කළ ප්‍රදේශයේ සභා පොත් පාඩමක් ආරම්භ කෙරිණ.

එක් සන්ධ්‍යාවකදී පුරෝගාමියක ගෙයින් ගෙට දේශනා සේවයේ යෙදෙමින් සිටි විට ඇයට තරුණයෙක් මුණගැසුණේය. එම තරුණයාට රාජ්‍ය ශාලාවන්හි පැවැත්වෙන රැස්වීම් පිළිබඳ විස්තර අඩංගු පත්‍රිකාවක් දුන් විට, එකවරම ඔහු, “මම හෙට හවස රැස්වීමට එන්නද? මම ඇඳගෙන එන්න ඕනේ මොනවාද?” කියා ඇසුවේය. මෙම පුරෝගාමී සහෝදරිය සතියකට බයිබල් පාඩම් අටක් පවත්වන අතර සමහර බයිබල් ශිෂ්‍යයෝ බව්තිස්ම වීමේ අරමුණද ඇතිව ප්‍රචාරකයන් වීමට බලාපොරොත්තුවෙන් සිටිති.

මෙම නගරයේම විසු තවත් ස්ත්‍රියක් අවුරුදු ගණනාවක් පුරා පල්ලියට ගියත් ඇයට එහිදී බයිබලය පිළිබඳව ඉගෙනගැනීමට කිසිවෙකුගෙන් උපකාරයක් නොලැබිණි. ඇයට යෙහෝවාගේ සාක්ෂිකාරයින්ගේ බයිබල් අධ්‍යාපන වැඩසටහන ගැන දැනගන්න ලැබුණු විට, ඇය එම ප්‍රස්තාවෙන් විගසම ප්‍රයෝජන ගත්තාය. ඇගේ පාඩමට කලින් සුදානම් වීමට ඇයව දිරිගන්වනු ලැබීය. පසුව මෙම පුරෝගාමී සහෝදරිය පාඩම පැවැත්වීමට පැමිණි විට, එම ස්ත්‍රිය පාඩම් කිරීමට යන කොටසේ මුද්‍රිත ප්‍රශ්න වෙනම සටහන් පොතක ලියා එම එක් එක් ප්‍රශ්නවලට පිළිතුරුත් ලියාගෙන සිටින බව දුටුවාය. එමෙන්ම ඇගේ සටහන් පොතේ පාඩමට අදාළ බයිබල් පද පවා ලියාගෙන සිටියාය. සහෝදරිය පළවෙනි පාඩම කිරීමට පැමිණෙන විට එම ස්ත්‍රිය පාඩම් තුනක්ම සූදානම් කර තිබිණ!

මධ්‍යම තායිවානයේ ඩෝංෂී නුවරත් මේ හා සමාන ප්‍රතිඵල දැකගැනීමට හැකි විය. තාවකාලික විශේෂ පුරෝගාමීන් එහි සේවය කළ මාස තුන ඇතුළත විවරණිකා 2000කට වඩා බෙදාහරින ලදි. තුන්වන මාසය වන විට ඔවුහු නිවාස බයිබල් පාඩම් 16ක් පමණ පවත්වමින් සිටියහ. වර්ෂ 1999 සැප්තැම්බර් මාසයේ 21වන දින විශාල භූමිකම්පාවක් හේතුවෙන් මධ්‍යම තායිවාන් නගරය විනාශ විය. මේ නිසා උනන්දුමත් අයගෙන් සමහරෙකුට ළඟ තිබූ රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට යෑමට පැයක් පමණ ගත වුවත් ඔවුහු දිගටම ආත්මිකව වර්ධනය වූහ. ඇත්තෙන්ම ද්‍රව්‍යයම හෝ වේවා ආත්මික හෝ වේවා හොඳ අස්වැන්නක් නෙළීමට දැඩි උනන්දුවක් අත්‍යවශ්‍ය වේ.

[8වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

චීනය

තායිවානයේ සමුද්‍රසන්ධිය

තායිවානය

[හිමිකම් විස්තර]

Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.