Skip to content

පටුනට යන්න

දුරාචාර ලෝකයක් තුළ පවා ඔබට නිර්මලව සිටිය හැකියි

දුරාචාර ලෝකයක් තුළ පවා ඔබට නිර්මලව සිටිය හැකියි

දුරාචාර ලෝකයක් තුළ පවා ඔබට නිර්මලව සිටිය හැකියි

ඔහු කඩවසම්ය. ඇය රූපයෙන්ද බුද්ධියෙන්ද හෙබි තැනැත්තියකි. ඔවුන් දෙදෙනාම සේවය කළේ එකම සමාගමේය. ඇය ඔහුට වැඩි ලෙන්ගතුකමක් දැක්වූවාය. ඔහු නිතර දෙවේලේ ඇයව වර්ණනා කළේය. දෙන්නාට දෙන්නා තෑගි හුවමාරු කළහ. වැඩි කල් නොගොස්ම ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් විය. ඔහු ඇය සමඟ එක්වීමට තම භාර්යාව අත්හැරියේය. නමුත් ඇය, ඔහු සමඟ තිබූ ප්‍රේම සම්බන්ධය නවතා, දිගටම ඇගේ ස්වාමිපුරුෂයා සමඟ සිටීමට අවසානයේදී තීරණය කළාය. ඔහු වෙන කිරීමට දෙයක් නොමැති නිසා නැවත තම භාර්යාව සොයා ගියත්, ඔහුගේ සිත අවංක වූයේ නැති හෙයින් යුග දිවිය සාර්ථක එකක් නොවීය. මේ සිද්ධියට මැදි වූ සියලුදෙනා තමන්ගේ ජීවිත නැවත පටන්ගත්තත්, ඇති වූ කැළල නම් මැකිය නොහැකි විය.

ලිංගික සදාචාරය යහපත් දෙයක් ලෙස සැලකීම මේ ලෝකයෙන් ක්‍රමක්‍රමයෙන් තුරන් වී ගොස් ඇත. සීමාව ඉක්මවා, විනෝද වීම සහ ආශාවන් සන්සිඳුවා ගැනීම පසුපස හඹා යෑම පුද්ගලයින්ගේ ජීවිත තුළ සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. ද නිව් එන්යික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසන්නේ “කාමමිථ්‍යාචාරය ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇති අතර එය ඇතැම් අවස්ථාවලදී විවාහය තරම්ම සුලබ දෙයක් බවට පත් වී” තිබෙන බවයි.

එහෙත් යෙහෝවා දෙවි කැමති වන්නේ, විවාහය “සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව” යහන ‘නොකිලිටිව’ තියෙනවා දකින්නයි. (හෙබ්‍රෙව් 13:4) ශුද්ධ ලියවිලි පවසන්නේ මෙසේයි. “නොරැවටෙන්න. වේශ්‍යාකම්කරන්නෝවත් රූප වඳින්නෝවත් කාමමිථ්‍යාචාරිකයෝවත් ස්ත්‍රීන් ලෙස හැසිරෙන්නෝවත් පිරිමින් සමඟ අනාචාරකරන්නෝවත් . . . [දෙවිගේ] රාජ්‍යය උරුමකර [නොගන්න]” බවයි. (1 කොරින්ති 6:9, 10) දෙවිගේ දයාව ලබාගැනීමට නම් අප විසින් මෙම දුරාචාර ලෝකය තුළ පවා සදාචාරාත්මක පිරිසිදුකම දිගටම පවත්වාගත යුතු බව පැහැදිලියි.

අප වටා ඇති දූෂිත බලපෑම්වලින් අපවම ආරක්ෂා කරගත හැක්කේ කෙසේද? බයිබලයේ හිතෝපදේශ පස්වන පරිච්ඡේදය තුළ පුරාණ ඉශ්‍රායලයේ සාලමොන් රජ මෙයට පිළිතුරු පසයයි. ඔහු මේ ගැන පවසන්නේ කුමක්ද කියා අපි දැන් පරීක්ෂා කර බලමු.

ඔබව ආරක්ෂා කිරීමට සිතීමේ හැකියාවට ඉඩ දෙන්න

ඉශ්‍රායෙල් රජ මෙසේ තම උපදේශය ආරම්භ කරයි. “මාගේ පත්‍රය, සිතීමේ හැකියාව රක්ෂා කරගැනීම පිණිසද දැනගැන්ම නුඹේ තොල්වල පවතින පිණිසද මගේ ප්‍රඥාවට ඇහුම්කන්දී, මගේ විචාර බුදධියට නුඹේ කන නමන්න.”—හිතෝපදේශ 5:1, 2NW.

දුරාචාර හැසිරීමකට මඟ පාදන දේවලින් වැළකී සිටීමට නම් අපට ප්‍රඥාව එනම් ශුද්ධ ලියිවිලිමය දැනුම ප්‍රායෝගිකව යොදාගැනීමේ හැකියාව අවශ්‍යයි. අපට හරි දෙය සහ වැරදි දෙය පැහැදිලිව දැකගෙන නිවැරදි මාර්ගය තෝරාගැනීමේ හැකියාව ලබා දෙන විචාර බුද්ධියද අවශ්‍යයි. අපගේ සිතීමේ හැකියාව රැකගැනීම සඳහා ප්‍රඥාවට සහ විචාර බුද්ධියට වැඩි අවධානයක් දෙන්න කියා දේවවචනය අපව මහත් සේ දිරිගන්වයි. අප මේ දේ කරන්නේ කෙසේද? එනම් අප දෙවිගේවචනය වන බයිබලය පාඩම් කරන විට යෙහෝවා යම් දේවල් සමඟ කටයුතු කරන ආකාරය විශේෂයෙන්ම සැලකිල්ලට ගත යුතුයි.මෙසේ කිරීමෙන් අපට අපේ සිතිවිලි නිවැරදි මාර්ගයකට පහසුවෙන්ම යොමු කරගැනීමට හැකි වේ. මෙසේ අත් කරගන්නා සිතීමේ හැකියාව, දිව්‍ය ප්‍රඥාව සහ දැනුම සමඟ ක්‍රියාවට නංවන ගුණාංගයකි. එය හරියාකාරව ක්‍රියාවට නංවන විට, අපට දුරාචාරයට හසුවීමේ උඟුලෙන් නිසැකවම ආරක්ෂා විය හැකියි.

චාටු කතාවලින් පරෙස්සම් වන්න

දුරාචාර පුද්ගලයෙකුගේ මාර්ග බෙහෙවින් මුළා කරවනසුලු නිසා මෙම දූෂිත ලෝකය තුළ සදාචාර පිරිසිදුකම ඇතුව සිටීමට නම් අපට සිතීමේ හැකියාව තිබීම ඉතාමත් අත්‍යවශ්‍යය. සාලමොන් මෙසේ අනතුරු අඟවයි. “අන් ස්ත්‍රියෙකුගේ තොල්වලින් මීපැණි වෑස්සෙන්නේය. ඇගේ මුඛය තෙල්වලටත් වඩා සිනිඳුය. එහෙත් ඇගේ අන්තිමය කොසඹ මෙන් තික්තව, දෙමුවහත් කඩුවක් මෙන් තියුණුව තිබේ.”—හිතෝපදේශ 5:3, 4.

මෙම හිතෝපදේශයේ සඳහන් කර ඇති සල්ලාල පුද්ගලයාව හඳුන්වා ඇත්තේ “අන් ස්ත්‍රියක්” නැතහොත් වේශ්‍යාවක් ලෙසයි. a ඇය තම ග්‍රහණයට හසු වූ පුද්ගලයාව ඇගේ මිහිරි වචනවලින් මුළා කරවයි. බොහෝවිට දුරාචාර ලිංගික හැසිරීම් ආරම්භ වන්නේ මේ ආකාරයෙන් නොවෙයිද? ලේකම්වරියක් ලෙස සේවය කරන විසිහත් හැවිරිදි රූමත් ඒම්ගේ අද්දැකීම සලකා බලන්න. “වැඩපොළේ ඉන්න පිරිම කෙනෙක් මට වැඩි සැලකිල්ලක් පෙන්නනවා. ඒ වගේම නිතරම එයා මාව වර්ණනා කරනවා. ඇත්තම කියනවා නම් කවුරු හරි සැලකිල්ලක් දක්වන කොට ඒ ගැන පුංචි ආඩම්බරයකුත් ඇති වෙනවා. හැබැයි එයා එන්නේ මොන වගේ දේකටද කියලා මට තේරුණා. මම නම් එයාගේ දැලට අහු වෙන්නේ නෑ” කියා ඇය පැවසුවා. මුළාකරවන්නෙකුගේ හෝ මුළාකරවන්නියකගේ නියම ස්වාභාවය අඳුනාගත්තේ නැත්නම් ඔවුන්ගේ චාටු බස්වලට ඉතා පහසුවෙන්ම මුළා විය හැකියි. මෙම මුළා කිරීම් වහාම අඳුනාගැනීමට අපේ සිතීමේ හැකියාව පාවිච්චි කිරීම ඉතාමත් වැදගත්.

දුරාචාර හැසිරීමේ ප්‍රතිවිපාක කොහොඹ මෙන් තිත්ත වන අතර එය වේදනාව සහ මරණය ගෙන දෙන දෙපැත්තම කැපෙන තියුණු කඩුවකට සමාන කළ හැක. වරදකාරිබවක් හැඟීම, අනවශ්‍ය ගැබ්ගැනීම් හා ලිංගිකව පැතුරුණු රෝග වැනි දේ දුරාචාර හැසිරීමේ තිත්ත ප්‍රතිඵලයි. එක් විවාහ සහකරුවෙකු විශ්වාසවන්ත නොවීම නිසා අනෙක් සහකරුට විඳින්න සිදු වන හෘද වේදනාව කොයි තරම්ද කියා මොහොතකට සිතන්න. එක් ද්‍රෝහිවීමක් නිසා ජීවිතාන්තය දක්වාම බලපාන හෘදයේ දරුණු තුවාල ඇති විය හැකියි. ඇත්තෙන්ම මේ අනුව අපට එක් දෙයක් නම් හොඳින් පැහැදිලියි. එනම් දුරාචාරය ඉතා වේදනාකාරී වන බවයි.

සල්ලාල ස්ත්‍රියකගේ ජීවන රටාව ගැන ඥානවන්ත රජ මෙසේ අදහස් දක්වයි. “ඇගේ පාද මරණයට බසින්නේය; ඇගේ අඩි ෂෙයෝලටම පැමිණෙන්නේය. ඈට ජීවනයේ මාවත නොපෙනෙන ලෙස ඇගේ පාරවල් ඇදව තිබේ, ඈ ඒ බව නොදන්නීය.” (හිතෝපදේශ 5:5, 6) දුරාචාර ස්ත්‍රියකගේ මාර්ග ඇයවම මරණයට යොමු කරවයි. එනම් ඇයව මනුෂ්‍යයාගේ පොදු මිනීවළ වන ෂෙයෝලයටම ගෙන යයි. ලිංගිකව බෝවන රෝග සහ විශේෂයෙන්ම වර්තමානයේ සීඝ්‍රයෙන් පැතිර යන ඒඩ්ස් වැනි රෝග ගැන සිතන විට මෙම වචනවල ගැබ්ව තිබෙන්නේ මොන තරම් සත්‍යතාවයක්ද! සල්ලාල ස්ත්‍රියක් සමඟ හවුල් වන අයටත් කවදා හෝ අත් වන්නේ ඇයට අත් වන ප්‍රතිඵලමයි.

යථාර්ථය පැහැදිලි කිරීමෙන් පසු, රජ තම හදවතින්ම අයදින්නේ කුමක්ද කියා බලන්න. “එබැවින් මාගේ පුත්‍රයෙනි, මට ඇහුම්කම්දී, මාගේ මුඛයේ කීම්වලින් ඉවත් නොවී සිටින්න. නුඹේ මාර්ගය ඇය වෙතින් ඉවත්කරන්න. ඇගේ ගෙයි දොරකඩට ළං නොවන්න.”—හිතෝපදේශ 5: 7, 14.

අප දුරාචාර මිනිසුන්ගෙන් ඇති වන බලපෑම්වලින් හැකි තාක් දුරට ඈත් වී සිටීමට උත්සාහ කළ යුතුයි. ඔවුන්ගේ මාර්ගයන් පිළිබිඹු වන අශීලාචාර සංගීතය සහ විනෝදාංශ, එසේත් නැත්නම් කාමුක දේවල් කෙරෙහි අපි නැඹුරු විය යුත්තේ ඇයි? (හිතෝපදේශ 6:27; 1 කොරින්ති 15:33; එපීස 5:3-5) එමෙන්ම, නුසුදුසු හැසිරීමෙන් සහ අවිනීත ඇඳුම් පැළඳුම්වලින් දුරාචාර පුද්ගලයන්ගේ අවධානය තමන් වෙත ඇදගැනීමත් ඇත්තෙන්ම මෝඩකමක්!—1 තිමෝති 4:8; 1 පේතෘස් 3:3, 4.

ප්‍රතිවිපාකය ඉතාමත් දරුණුයි

අප දුරාචාර පුද්ගලයන්ගෙන් ඈත් විය යුත්තේ වෙන කවර හේතූන් නිසාද? ‘නුඹේ ගෞරවය අනුන්ටත්, නුඹේ අවුරුදු කෲර අයටත් නොදෙන පිණිසද, නුඹේ සම්පතින් අන්‍යයන් තීප්තියට නොපැමිණෙන පිණිසද, නුඹේ වීර්යයේ ඵල අන්‍ය ගෙදරකට නොලැබෙන පිණිසද’ එසේ කළ යුතු බව සාලමොන් පෙන්වා දෙයි.—හිතෝපදේශ 5: 8-10.

දුරාචාරය පසුපස හඹාගෙන යෑමෙන් ඇති විය හැකි දරුණු ප්‍රතිවිපාක ගැන සාලමොන් ඉතා හොඳින් පැහැදිලි කරයි. කාමමිථ්‍යාචාරය සමඟ ගෞරවය නැතහොත් ආත්ම ගෞරවය නැති වීම සැමවිටම එකට බැඳී පවතියි. අපගේම දුරාචාර කාම ආශාවන් තෘප්තිමත් කිරීම ඇත්තෙන්ම නින්දිත දෙයක් නොවෙයිද? අපේම විවාහ සහකරු හෝ සහකාරිය නොවන වෙනත් කෙනෙකු සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, ඇත්තෙන්ම අපගේම ආත්ම ගරුත්වයේ ඌනතාවය විදහාපෙන්වීමක් නොවෙයිද?

‘අපේ අවුරුදු, අපේ සම්පත සහ වීර්යයේ ඵල අන් තැනැත්තන්ට හෝ නාඳුනන යට දීම’ කියා පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එක් මූලාශ්‍රයක් පැවසුවේ, “මෙම පදවලින් ගෙනහැර දැක්වීමට වෑයම් කරන දේ පැහැදිලිය. එනම් දුරාචාරයේ ප්‍රතිවිපාක දරුණුය. සල්ලාල ගැහැණියකගේ සන්සිඳිය නොහැකි ආශාවන් පිනවීමට හෝ දුරාචාරයෙන් ප්‍රජාවට සිදු වී ඇති හානිය සඳහා වන්දි ගෙවීමට හෝ සිදු වීම නිසා, යම් පුද්ගලයෙකු වෙහෙස මහන්සියෙන් ලබාගත් තත්වය, බලය, දේපළ යන සියල්ලම නැති නාස්ත වී යැ හැකි” බවය. මෙම කරුණු සලකා බැලීමෙන් පසුව දුරාචාරමය සබඳකම් නිසා ඇති වන ප්‍රතිඵල දරුණුයි කියා ඔබට සිතෙන්නේ නැද්ද?

තම ගෞරවය සහ සම්පත් නැති නාස්ති කරගත් පසු දුරාචාර පුද්ගලයෙක් මෙසේ ළත වෙයි. ‘අහෝ, මා ගුරුකමට වෛරවී, මාගේ සිත අවවාදය සුළු කළ හැටි! මාගේ ගුරුවරුන්ගේ හඬට කීකරු නොවී, මාගේ ඉගැන්නුම්කාරයන්ට මාගේ කන නොනමා සිටිය හැටි! මම සභා සම්මුතිය මැදදී හැම නපුරු ක්‍රියාවලම වාගේ පැවතුණෙමි.’හිතෝපදේශ 5:11-13.

කාලය ගතවීමත් සමඟම පව්කාරයා තම අවකල් ක්‍රයාව ගැන මෙසේ පසුතැවෙයි. “අනේ මම මාගේ පියාට ඇහුම්කන් දුන්නා නම්; මම හිතුමතේට කටයුතු නොකළා නම්; මම අනිත් අයගේ උපදෙස් පිළිගත්තා නම්” කියමින් පසුතැවෙයි. එය එක් විශාරදයෙක් ‘පසුතැවිලේ දීර්ඝ ප්‍රකාශයක්’ ලෙස හඳුන්වයි. කනගාටුවට කාරණයක් වන්නේ මෙය තේරුම්ගන්න විට ඔහු බොහෝ සේ ප්‍රමාද වී තිබීමයි. මන්ද අපිරිසිදු ජීවන රටාවක් ගත කළ අයෙකුගේ ජීවිතය ඒ වන විටත් විනාශ වී ඇති අතර ඔහුගේ කීර්ති නාමයද සම්පූර්ණයෙන්ම පාහේ කෙලෙසී ඇති බැවිනි. ඇත්තෙන්ම අප එම උගුලට අසුවීමට පෙර දුරාචාරයේ යෙදීමෙන් අත් වන දරුණු ප්‍රතිඵල ගැන සිතා බැලීම කොතරම් වැදගත්ද!

‘නුඹේම පොකුණෙන් වතුර බොන්න’

ලිංගික කාරණා යනු කිසිවිටෙක සඳහන් නොකළ යුතු විෂයක්ද? නැත. මන්ද බයිබලයේ ලිංගික සම්බන්ධතා ගැන ඍජුවම සඳහන් කර තිබෙනවා. ආදර හැඟීම් සහ ස්ත්‍රියක පුරුෂයෙකු භුක්ති විඳින සමීපත්වය දෙවිගෙන් ලද ආශීර්වාදයක් බව එහි සඳහන්ව ඇත. කෙසේ නමුත් මෙම සමීපත්වය භුක්ති විඳිය හැක්කේ විවාහක සහකරුවන් දෙදෙනෙකු අතර පමණයි. සාලමොන් විවාහක පුරුෂයෙකුට මෙම උපදේශය දෙයි. “නුඹේම පොකුණෙන් වතුරද නුඹේම ළිඳෙන් උනන වතුරද බොන්න. නුඹේ උල්පත් පිටතටත් ජල ගංගා වීථිවලටත් විසිරයා යුතුද? ඒවා නුඹ සමඟ අන්‍යයන්ට නොව නුඹට පමණක්ම වේවා.”හිතෝපදේශ 5: 15-17.

‘නුඹේම පොකුණ’ සහ ‘නුඹේම ළිඳ’ යන කාව්‍යාලංකාර වදන් යොමු දක්වා තිබෙන්නේ ආදරණීය භාර්යාවකටය. ඇයත් සමඟ ලිංගික සතුට භුක්ති විඳීම ගතට සුවය ගෙන දෙන වතුර බීමක් හා සමාන කර තිබේ. වතුර සපයන ප්‍රසිද්ධ ස්ථාන මෙන් නොව පොකුණ හෝ ළිඳක් කීමෙන් අදහස් කරන්නේ පෞද්ගලික දේපළකි. වෙනත් ස්ත්‍රියක තුළින් අවජාතක දරුවන් බිහි නොකර තමන්ගේම භාර්යාව තුළින් බිහි කරන දරුවන්ට පියෙකු වීමට ඔහුට මෙහිදී උපදෙස් දෙයි. පැහැදිලිවම, පුරුෂයෙකුට අවවාද කරන්නේ සැමවිටම තම භාර්යාවට විශ්වාසවන්තව සිටින ලෙසයි.

ඥානවන්ත මිනිසා තවදුරටත් මෙසේ පවසයි. ‘නුඹේ උප්පතට ආශීර්වාද ලැබේවා; නුඹේ යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීතිවෙන්න. ප්‍රේමවත් මුවදෙනකු සහ ප්‍රියකරු වැලිමුවදෙනකු මෙන් ඇගේ පියයුරුවලින් සෑමවිටම සතුටු වී, ඇගේ ආදරයෙන් නිතරම ප්‍රීතිමත් වෙන්න.”—හිතෝපදේශ 5:18, 19.

ලිංගික තෘප්තිය ලබන මාර්ගයට යොමු දක්වා ඇත්තේ ජල “උල්පත’ ලෙසයි. ඇත්තෙන්ම තම සහකරු සමඟ ලබන ලිංගික සතුට දෙවිගෙන් ලද ‘ආශීර්වාදයක්’ වේ. එමනිසා ස්වාමිපුරුෂයෙකුට උපදෙස් දෙන්නේ තම යෞවන වියේ පසු වන භාර්යාව සමඟ පමණක් විවාහ ජීවිතයේ සතුට භුක්ති විඳින ලෙසයි. ඔහුට තම භාර්යාව ප්‍රේමණීය හා ප්‍රියකරු මුවදෙනක් වැනිය.

සාලමොන් අනතුරුව ප්‍රශ්න දෙකක් නගමින් ඊට උපදෙසක්ද සපයයි. ‘මාගේ පුත්‍රය, නුඹ අන්‍ය ස්ත්‍රයකු සමඟ ප්‍රීති වෙන්නේ ඇයි? අන්‍ය තැනැත්තියකුගේ ළය වැළඳගන්නේ ඇයි?’ (හිතෝපදේශ 5:20) විවාහක පුද්ගලයෙකු කාර්යාලයේදී පාසැලේදී හෝ වෙන යම් තැනකදී මුණ ගැසෙන කෙනෙකු සමඟ ලිංගික සමීපත්වයක් භුක්ති විඳින්නට මාන බැලීම සුදුසු දෙයක්ද කියා ඔබම හෘද සාක්ෂියට එකඟව කල්පනා කර බලන්න.

විවාහක ක්‍රිස්තියානීන්ට, පාවුල් මෙසේ උපදේශයක් දෙයි. “සහෝදරයෙනි, කාලය ලුහුඬුකරනලද්දේය. මෙතැන් පටන් භාර්යාවන් ඇත්තෝ භාර්යාවන් නැත්තන් [මෙන් සිටින්න.]” (1 කොරින්ති 7:29) මෙයින් අදහස් කරන්නේ කුමක්ද? එනම් යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් ‘පළමුකොට රාජ්‍ය සෙවිය යුතු බවයි.’ (මතෙව් 6:33) මේ නිසා විවාහක අය රාජ්‍ය කටයුතුවලට තම ජීවිතයේ පළමු තැන නොදෙමින් ඔවුනොවුන්ගේ වැඩකටයුතුවල වුවමනාවට වඩා ඇලී නොසිටිය යුතුයි.

ආත්ම දමනය අවශ්‍යයි

ලිංගික ආශාවන් සෑම කෙනෙකුටම පාලනය කරගත හැකි බව අප හොඳින් මතක තබාගත යුතු කරුණකි. ඇත්තෙන්ම, යෙහෝවාගේ අනුමැතිය ලබාගැනීමට වෙර දරන කෙනෙක් එසේ කිරීමට වෑයම් කළ යුතුමයි. ‘දෙවිගේ කැමැත්ත නම්, නුඹලා ශුද්ධව සිටීමය. එනම් නුඹලා වේශ්‍යාකමින් වැලකී, එකිනෙකා තම තමාගේ අවයව, [තමාගේ ශරීරය] ශුද්ධකමෙහිත් ගෞරවයෙහිත් තබාගැනීමය’ කියා ප්‍රේරිත පාවුල් උපදෙස් දෙයි.—1 තෙසලෝනික 4:3-5.

එසේ නම් යෞවනයන්, ඔවුන්ගේ ලිංගික හැඟීම් මුලින්ම අද්දකින්න පටන්ගත් විගසම විවාහ වීමට ඉක්මන් නොවිය යුතුයි. මන්ද විවාහය හිතුමතේට අත්හැරිය හැකි සම්බන්ධයක් නොවන නිසයි. එය ඇත්තෙන්ම බැරෑරුම් වගකීමක්. එම වගකීම ඉසිලීමට නම් ඔබට මේරූකම අවශ්‍යමයි. (උත්පත්ති 2:24) එමනිසා ලිංගික හැඟීම් උත්සන්නව තිබෙන කාලයේදී මේ සම්බන්ධයෙන් හරි තීරණයක් ගැනීමට කෙනෙකු අපොහොසත් වන නිසා, තම “යෞවනයේ මල් පූදින විය” පසු වන තෙක් සිටීම නුවණට හුරුයි. (1 කොරින්ති 7:36NW ) එමෙන්ම තමන්ට හිතැති සහකරුවෙකු හෝ සහකාරියකු සොයාගත නොහැකි වූ විට සමහර වැඩිහිටි පුද්ගලයෝ පවා දුරාචාර සම්බන්ධකම් පැවැත්වීමට පෙලඹෙති. ඇත්තෙන්ම එය නම් විශාල මෝඩකමක් මෙන්ම බරපතළ පාපයකි.

‘දුෂ්ටයා තමාගේම අපරාධවලට අසුවෙයි’

ලිංගික දුරාචාරය වැරදි බව පැවසීමට මූලික හේතුව වන්නේ, ජීවනදායකයා හා මනුෂ්‍යයන්ට ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට හැකියාව ලබා දුන් තැනැත්තා වන යෙහෝවා එය අනුමත නොකරන නිසාය. සදාචාර පිරිසිදුකම පැවැත්වීම සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රබල දිරිගැන්වීමක් දෙමින් සාලමොන් රජ තවදුරටත් මෙසේ පවසයි. ‘මක්නිසාද මනුෂ්‍යයාගේ මාර්ග යෙහෝවාගේ ඇස් ඉදිරියෙහිය. මනුෂ්‍යයාගේ සියලු මාවත් ඔහු කල්පනා කර බලයි.’ (හිතෝපදේශ 5:21) ‘අපෙන් ගණන් ගන්නාවූ’ දෙවිගේ නෙත්වලින් කිසිම දෙයක් අපට සැඟවිය නොහැකියි. (හෙබ්‍රෙව් 4:13) කොතරම් රහසිගතව කළත්, එයට සමාජීය පිළිගැනීමක් තිබුණත් ඕනෑම ආකාරයක අපිරිසිදු ලිංගික හැසිරීමක්, යෙහෝවා සමඟ ඇති අපේ සම්බන්ධතාවය මුළුමනින්ම පලුදු කරයි. සුළු මොහොතකට ලැබෙන තාවකාලික වින්දනය නිසා, දෙවිත් සමඟ තිබෙන අපේ සමාදානය නැති කරගැනීම මොන තරම් මෝකමක්ද!

කිසිම ප්‍රතිවිපාකයක් අත් වෙන්නේ නැතැයි සිතා සමහරු කිසිම ලැජ්ජාවකින් තොරව දුරාචාර මාර්ගවල තමාට රිසි සේ නියැලෙති. නමුත් එය ටික කාලයකට පමණක් සීමා වෙයි. සාලමොන් මෙසේ පැහැදිලි කරයි. ‘දුෂ්ටයා තමාගේම අපරාධවලට අසු වෙයි. තමාගේ පාප නමැති ලනුවලින් බඳිනු ලබන්නේය. ඔහු ඉගැන්වීම නැතිකම නිසා නසින්නේය; ඔහු තමාගේ මෝඩකමේ මහත්කම නිසා මුළාව යන්නේය.’හිතෝපදේශ 5:22, 23.

අපගෙන් කිසිවෙක් මුළා නොවිය යුත්තේ ඇයි? ලෝකයේ මුළා කරවන මාර්ගයන් ගැන හිතෝපදේශ පොතේ අපට පැහැදිලිවම අනතුරු ඇඟවීම් කර තිබේ. එහි ලිංගික දුරාචාරයෙන් අපේ සෞඛ්‍ය, අපේ දේපළ, අපේ ශක්තිය පමණක් නොව අපගේ ගෞරවයට පවා එල්ල වෙන බලපෑම් අපට පෙන්වා දෙයි. මෙතරම් පැහැදිලි දසුනක් දී තිබෙන නිසා ඉහත “පසුතැවිල්ලේ දීර්ඝ ප්‍රකාශයක්” කළ පුද්ගලයාගේ තත්වයට පත් වීමට අපට කිසිම අවශ්‍යතාවක් නෑ. ඇත්තෙන්ම යෙහෝවා තම අනුභාවය ලත් වචනයේ දී තිබෙන උපදෙස් අදාළ කරගැනීමෙන් අපට දුරාචාර ලෝකයක් තුළ පවා දිගටම නිර්මලව සිටිය හැකියි.

[පාදසටහන]

a “අන් තැනැත්තා” යනුවෙන් බයිබලයේ යොමු දක්වා ඇති වචනය, ව්‍යවස්ථාවෙන් ඈත් වී විහින්ම යෙහෝවාගෙන් විදේශීව සිටින අයට අදාළ වේ. එමනිසා වේශ්‍යාවකට යොමු දක්වන්නේද “අන් ස්ත්‍රියක්” ලෙසයි.

[30වන පිටුවේ පින්තූර]

දුරාචාර හැසිරීමේ ප්‍රතිවිපාක කොහොඹ මෙන් තිත්තයි

[31වන පිටුවේ පින්තූර]

“යෞවන වයසේ භාර්යාව කෙරෙහිම ප්‍රීතිවෙන්න”