Skip to content

පටුනට යන්න

නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ස්ථිරයි!

නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ස්ථිරයි!

නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ස්ථිරයි!

‘නැවත නැඟිටීමක් වන්නේය කියා මම දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටිමි.—ක්‍රියා 24:15.

1. නැවත නැඟිටීම කෙරෙහි අපිට බලාපොරොත්තුවෙන් සිටිය හැක්කේ මන්ද?

 යෙහෝවා අපිට නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ඇතුව සිටීම සඳහා විශ්වාස කළ හැකි හේතු සපයා ඇත. මියගිය අය නැවත ජීවත් වෙන්න යන බව පවසන ඔහුගේ පොරොන්දුව අප සතුව තිබේ. මරණ නින්දේ සතපී සිටින අය සම්බන්ධයෙන් ඔහු අරමුණු කර තිබෙන දේ ඉටු වන බවට කිසිම සැකයක් නැත. (යෙසායා 55:11; ලූක් 18:27) ඇත්තෙන්ම, මියගිය අයව නැවත නැඟිටුවීමට තමා සතු බලය දෙවි දැනටමත් පෙන්වා ඇත.

2. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපිට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

2 සිය පුත් යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන මියගිය අයව ජීවත් කරවීම සඳහා දෙවි පිළියෙළ කර තිබෙන සැපයුම කෙරෙහි තිබෙන ඇදහිල්ල, පීඩාකාරි කාලවලදී ස්ථිරව සිටීමට අපට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. මණය දක්වාම අපේ ස්වර්ගික පියා කෙරෙහි පක්ෂපාතකම පවත්වාගැනීම සඳහා ස්ථිරවම ඉටු වන නැවත නැඟිටීමේ බලාපොරොත්තුව අපිට උපකාරවත් වේ. මියගිය අයව නැවත නැඟිටුවීම ගැන බයිබලයේ සඳහන් සැබෑ සිද්ධීන් අපි සලකා බලන විට, නැවත නැඟිටීම පිළිබඳ අපේ බලාපොරොත්තුව තව තවත් ශක්තිමත් වේ. මේ සෑම ප්‍රාතිහාර්යයක්ම සිදු කරනු ලැබුවේ පරමාධිපති ස්වාමි වූ යෙහෝවා විසින් සපයන ලද බලය කරණකොටගෙනය.

ඔවුන්ට අහිමි වූ ප්‍රේමනීයයන්ව නැවත නැඟිටුවීම නිසා යළි හිමි විය

3. ශාරෙපත්හි වැන්දඹුවගේ පුත්‍රයා මියගිය අවස්ථාවේදී එලියාට බලය දෙනු ලැබුවේ කුමක් කරන්නද?

3 ක්‍රිස්තියානි යුගයට පෙර විසූ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විදහාපෙන්වූ ඇදහිල්ල පිළිබඳව හැඟීම් දනවනසුලු අයුරින් සලකා බැලූ අවස්ථාවේදී ප්‍රේරිත පාවුල් මෙසේ සඳහන් කළේය. “ස්ත්‍රීහු නැවත-නැගිටීමකින් තමුන්ගේ මළවුන් ලැබුවෝය.” (හෙබ්‍රෙව් 11:35; 12:1) ෆිනීසියානු නගරයක් වූ ශාරෙපත්හි වාසය කළ දිළිඳු වැන්දඹුව එම ස්ත්‍රීන්ගෙන් කෙනෙකු විය. ඇයගේ මෙන්ම ඇගේ පුත්‍රයාගේ ජීවිතයට තර්ජනයක් වූ සාගතයක් පැවති කාලයේදී, ඇය සතුව තිබූ පිටි හා තෙල් අඩු නොවූයේ ඇය දෙවිගේ අනාගතවක්තෘවරයාට ආගන්තුක සත්කාරය පිරිනැමූ නිසාය. පසුකලෙක ඇගේ දරුවා මියගිය අවස්ථාවේදී, එලියා ඔහුව ඇඳක් මත තබා, තුන්වතාවක් ඔහු තම දිගා වෙමින් මෙසේ කන්නලව් කළා: “මාගේ දෙවිවූ [යෙහෝවා], මේ ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට [පමුණුවන්න].” මේ අනුව දෙවි මේ දරුවාගේ ප්‍රාණය නොහොත් ජීවිතය නැවත ඔහුට ලබා දුන්නා. (1 රාජාවලිය 17:8-24) තමාගේ ඇදහිල්ලට දෙවිගෙන් ලැබූ විපාකයක් ලෙස මියගොස් සිටි ඇගේ ආදරණීය පුතා නැවත නැඟිටුවනු ලැබ සිටිනවා දකිද්දී මේ වැන්දඹුවට ඇති වූ සතුට ගැන සිතා බලන්න! වාර්තා වී තිබෙන මුල්ම නැවත නැඟිටීම මෙයයි.

4. ෂුනෙම්හිදී එලීෂා කළ ප්‍රාතිහාර්යය කුමක්ද?

4 ෂුනෙම් නම් නගරයේ වාසය කළ තවත් ස්ත්‍රියකට මියගොස් සිටි තම දරුවාව නැවත නැඟටුවීම නිසා යළි ලබාගැනීමට හැකි විය. මහලු වියේ පසු වූ පුරුෂයෙකුගේ බිරිඳක් වූ මේ ස්ත්‍රිය අනාගතවක්තෘ එලිෂාට හා ඔහුගේ සේවකයාට ඉතා කරුණාවන්ත ලෙස සැලකුවාය. ඇගේ මෙම යහපත් ක්‍රියාවට ප්‍රතිඵලයක් හැටියට දරුවන් නොමැතිව සිටි ඇයට දරුවෙක් ලැබිණ. කෙසේවෙතත් අවුරුදු කිහිපයකට පසු ඇගේ දරුවා මිය ගියේය. ඇය විගස ගොස් අනාගතවක්තෘවරයාව තම නිවසට කැඳවාගෙන ආවාය. දරුවා මියගොස් සිටිනවා එලිෂා දුටුවේය. ඔහු ළමයා පිට දිගා වී යාච්ඤා කිරීමෙන් පසුව, “ළමයාගේ මාංසයද උණුහුම් වුණේය.” පසුව “ළමයා සත්වරක් කිඹිස ඇස් ඇරියේය.” මවට මෙන්ම දරුවාටද මෙම නැවත නැඟිටුවීම ඉතා ප්‍රීතිමත් අද්දැකීමක් වූවාට කිසිම සැකයක් නැත. (2 රාජාවලිය 4:8-37; 8:1-6) මොවුන් දෙදෙනා මේ පොළොව මත “වඩා උතුම් නැවත-නැගිටීමක්” ලබන කාලයේදී මොනතරම් ප්‍රීති වේවිද! අනාගතයේ මෙම නැවත නැඟිටීම ලබන මොවුන්ට තිබෙන්නේ නැවත කිසිදා මිය නොයන බලාපොරොත්තුවකි! මියගිය අයව නැවත නැඟිටුවීමේ බලය තිබෙන ප්‍රේමනීය දෙවි වූ යෙහෝවාට ස්තුතිවන්ත වීමට එය මොනතරම් ප්‍රබල හේතුවක්ද!—හෙබ්‍රෙව් 11:35.

5. එලිෂා තම මරණින් පසුව පවා ප්‍රාතිහාර්යයකට සම්බන්ධ වූයේ කෙසේද?

5 එලිෂාගේ මරණින් හා භූමදානයෙන් පසුව පවා ඔහුගේ ඇට කටුවලට දෙවි තම ශුද්ධාත්මය මගින් බලය ලබා දුන්නේය. මේ ගැන අපට මෙසේ කියවීමට තිබේ. “[ඉශ්‍රායෙල්හි] මිනිස්සු මියක් වළලන්ට යනවිට [මෝවබ්වරුන්ගේ] හමුදාවක් දැක එලිෂාගේ සොහොන්ගෙයි ඒ මිනිය දැමුවෝය. ඒ මිනිය එලිෂාගේ ඇටවලට තැවරුණු හැටියේම පණ ලැබ නැගිට සිටියේය.” (2 රාජාවලිය 13:20, 21) ඒ මිනිසා මොනතරම් පුදුම වෙන්න ඇද්ද! එමෙන්ම මොනතරම් සන්තෝෂ වෙන්න ඇද්ද! කිසිදා නොවරදින යෙහෝවා දෙවිගේ අරමුණ ඉටුවීමේදී මියගිය අපගේ ප්‍රේමනීයයන් නැවත අප සමඟ ජීවත් වන විට අපි ලබන සතුට ගැන සිතා බලන්න!

දෙවිගේ පුත්‍රයාමළවුන්ව නැඟිටුවයි

6. යේසුස් නායින් නුවර අසලදී කළ ප්‍රාතිහාර්යය කුමක්ද? මෙම සිද්ධිය අපිට බලපෑ හැක්කේ කෙසේද?

6 දෙවිගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ට, සදාකල් ජීවත් වීමේ අපේක්ෂාව ඇතුව මියගිය අයව යළි ජීවත් කරවිය හැකි බව විශ්වාස කිරීමට, අපට හොඳ පදනමක් සහිත හේතු සපයා දී ඇත. දෙවි දී තිබෙන බලය යොදාගනිමින් යේසුස්ට එවන් ප්‍රාතිහාර්යයක් සිදු කළ හැකි බව විශ්වාස කිරීමට නායින් නුවර අසල සිදු වූ සිද්ධියක් අපිට උපකාරවත් වේ. දිනක් තරුණයෙකුගේ මෘත දේහය භූමදානය සඳහා නගරයෙන් පිටතට රැගෙන යමින් සිටි ශෝකයට පත් සමූහයක්ව යේසුස්ට හමු විය. මියගොස් සිටි ඒ තරුණයා වැන්දඹුවකගේ එකම පුත්‍රයාය. “අඬන්ට එපා” කියා යේසුස් ඇයට පවසා, අනතුරුව මිනියට අත තබමින් “යෞවනය, නැගිටින්නැයි නුඹට කියමියි” කීවේය. ඒ අවස්ථාවේදීම ඔහු නැඟිට කතා කරන්න පටන්ගත්තේය. (ලූක් 7:11-15) ඇත්තෙන්ම මෙම ප්‍රාතිහාර්යය මගින් නැවත නැඟිටීම ගැන තිබෙන අපේ බලාපොරොත්තුව ස්ථිර එකක් බවට අප තුළ තිබෙන විශ්වාසය තවත් ශක්තිමත් කරන බව නිසැකය.

7. යායිරස්ගේ දියණිය හා සම්බන්ධව සිදු වූ සිද්ධිය කුමක්ද?

7 කපර්ණවුමෙහි පිහිටි සිනගෝගයේ මුලාදෑනියෙක් වූ යායිරස්ගේ දියණිය හා සම්බන්ධ සිද්ධියද සලකා බලන්න. ඔහුගේ දොළොස් හැවිරිදි දියණිය මරණාසන්නව සිටි අවස්ථාවේදී, ඇවිත් උපකාර කරන්න කියා ඔහු යේසුස්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. එහෙත් මෙම දැරිය මියගිය බව වැඩි වේලාවක් යන්න කලින් දැනගන්න ලැබිණ. දිගටම ඇදහිල්ලෙන් සිටින්න කියා වියෝ දුකෙන් පෙළුණු යායිරස්ට පැවසූ යේසුස්, ඔහු සමඟ ඔහුගේ නිවසට ගියේය. විශාල සමූහයක් එහි වැලපෙමින් සිටියෝය. “දරුවා මැරිලානොවේ, නිදන්නීය” කියා යේසුස් ඔවුන්ට පැවසූ විට, ඔවුහු යේසුට සිනාසෙන්න පටන්ගත්හ. නමුත් ඇත්තෙන්ම ඒ වන විට ඇය මැරී සිටියාය. එහෙත් යේසුස් සූදානම්ව සිටියේ යමෙකුව ගැඹුරු නින්දකින් නැඟිටුවනවා හා සමානව මියගිය අයවද නැවත නැඟිටුවිය හැකි බව මිනිසුන්ට පෙන්වා දෙන්නයි. ඔහු ඇගේ අත අල්ලා “යෞවනිය, නැගිටින්න” කියා පැවසුවේය. ඒ වදන් ඔහුගේ මුඛයෙන් පිට වෙනවාත් සමඟම ඇය නැඟිට්ටාය. “ඇගේ මවුපියෝ ප්‍රීතියෙන් ඉපිල ගියෝය. [NW ].” (මාර්ක් 5:35-43; ලූක් 8:49-56) මිය ගිය තම ප්‍රේමනීයයන් පාරාදීස පොළොවේදී නැවත නැඟිටින විට පවුලේ සාමාජිකයන් ‘ප්‍රීතියෙන් ඉපිල යන’ බව නිසැකයි.

8. යේසුස් ලාසරුස්ගේ සොහොන් ගෙය ළඟට ගොස් සිදු කළේ කුමක්ද?

8 යේසුස් ලාසරුස්ගේ සොහොන් ගෙය ළඟ පැමිණ, එය වසා තිබූ ගල ඉවත් කරන විට දවස් හතරක් ගත වී තිබිණ. තමා නිතරම රඳා සිටින්නේ දෙවි විසින් සපයන බලය මත පමණක් බව බලා සිටින අයට දැනගැනීම සඳහා ප්‍රසිද්ධියේ යාච්ඤා කිරීමෙන් පසු, “ලාසරුස් පිටතට එන්න!” කියා යේසු සියල්ලන්ටම ඇසෙන පිණිස හඬ නඟා පැවසුවේය. එවිට ඔහු පිටතට ආවේය! ඔහුගේ අත් පා රෙදිවලින් ඔතා තිබුණු අතර, මුහුණද වසා තිබිණ. “මොහු මුදා යන්ට හරින්න” කියා යේසුස් පැවසුවේය. ලාසරුස්ගේ සහෝදරියන් වූ මරියාව හා මාර්තාව සැනසීම සඳහා පැමිණ සිටි බොහෝදෙනෙක් මේ ප්‍රාතිහාර්යය දැක යේසුස් කෙරෙහි ඇහිල්ල තැබූහ. (යොහන් 11:1-45) මෙම සිද්ධිය මගින් මියගිය ඔබේ ප්‍රේමනීයයන්වද දෙවිගේ නව ලොවෙහි නැවත නැඟිටුවිය හැකියි යන බලාපොරොත්තුව ඔබ තුළ ජනිත කරන්නේ නැද්ද?

9. යේසුස්ට දැන් මළවුන්ව නැවත නැඟිටුවිය හැකි බව අපිට ස්ථිර විය හැක්කේ මන්ද?

9 යොහන් බව්තීස්ත සිරගෙයි සිටි කාලයේදී, යේසුස් මෙම දිරිගන්වනසුලු පණිවිඩය ඔහුට දැන්වීය. “අන්ධයෝ පෙනීම ලබති, . . . මළාහු නැගුටුවනු ලබති.” (මතෙව් 11:4-6) යේසුස් පොළොව මත සිටි කාලයේදී මළවුන්ව නැඟිටෙව්වේය. එසේ නම්, දෙවි විසින් බලය දී තිබෙන බලවත් ආත්මික මැවිල්ලක් හැටියට ඔහුට මළවුන්ව නැඟිටුවිය හැකි බව ස්ථිරයි. මේ අනුව පැහැදිලිවම “නැවත-නැගිටීමද ජීවනයද” යේසුස්ය. නුදුරු අනාගතයේදී ‘සිහිවීමේ සොහොන් ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ හඬ ඇසී පිටත්ව එන’ බව අප දැන සිටීම මොනතරම් සැනසිල්ලක්ද!—යොහන් 5:28, 29; 11:25.

අපේ බලාපොරොත්තුව ශක්තිමත් කරන තවත් නැවත නැඟිටුවීම්

10. ප්‍රේරිතයෙකු විසින් සිදු කළ මුල්ම නැවත නැඟිටුවීම ඔබ විස්තර කරන්නේ කෙසේද?

10 යේසුස් සිය ප්‍රේරිතයන්ව රාජ්‍ය දේශනා කිරීමට පිටත් කර යැවූ අවස්ථාවේදී ඔවුන්ට මෙසේ පැවසුවා. “මළවුන් නැගුටුවන්න.” (මතෙව් 10:5-8) මෙය කරන්න නම් ඔවුන්ට දෙවිගේ බලය මත රඳා සිටින්න සිදු වූ බව අමුතුවෙන්ම කිව යුතු නැත. යොප්පාවෙහි ජීවත් වූ දොර්කස් (තබීතා) නම් දේවභක්තික ස්ත්‍රියක් පො.යු. 36දී මරණයට පත් විය. ඇය බොහෝ යහපත් ක්‍රියා කළ අතර, දිළිඳු වැන්දඹුවන්ට ඇඳුම් මසා දීම ඒවායින් එකක් විය. ඇගේ මරණය ගැන ඔවුහු බොහෝ සෙයින් දුක් වූහ. ගෝලයෝ ඇගේ දේහය භූමදානය සඳහා සූදානම් කර, ගොස් ප්‍රේරිත පේතෘස් කැඳවාගෙන ආවෝය. ඇතැම්විට ඔවුන් ඔහුව කැටුව ආවේ යම් සැනසිල්ලක් ලබාගැනීම සඳහා විය හැක. (ක්‍රියා 9:32-38) උඩුමහලෙහි සිටි හැමකෙනෙකුවම පිටත් කරහැරීමෙන් පසු, පේතෘස් යාච්ඤා කරමින් මෙසේ පැවසුවේය. “තබීතා, නැඟිටින්න.” එකෙනෙහිම ඇය ඇස් ඇර හිඳගත්තාය. එවිට පේතෘස් ඇයට අත දී ඇයව නැඟිටුවේය. මෙය ප්‍රේරිතයෙකු විසින් සිදු කළ මුල්ම නැවත නැඟිටුවීම නිසා බොහෝදෙනෙක් ඇදහිලිවන්තයන් බවට පත් වූහ. (ක්‍රියා 9:39-42) එම සිද්ධියෙන් තව දුරටත් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ස්ථිර එකක් බවට හොඳ හේතු සපයයි.

11. බයිබලයේ සඳහන් අවසන් නැවත නැඟිටුවීම කුමක්ද?

11 බයිබලයේ සඳහන් අවසන් නැවත නැඟිටුවීම සිදු වූයේ ත්‍රෝවසේය. පාවුල් තම තුනවන මිෂනාරි ගමනේදී එහි නතර වූ විට, මැදියම් රැය දක්වා දීර්ඝ කතාවක් ඉදිරිපත් කළේය. මේ අවස්ථාවේදී දැඩි ලෙස වෙහෙසට පත් සිටීමත්, ඇතැම්විට පන්දම් රාශියකින් නිකුත් වූ රස්නයත්, විශාල පිරිසක් රැස්ව සිටීමත් යන හේතු නිසා නිදිබරව සිටි යුතිකස් නම් තරුණයා තුන්වන මහලේ ජනේලයකින් පහළට ඇද වැටුණේය. ඔහුව “ඔසවාගත් කල [සිහිය නැතිව සිටියා නොව] මැරී සිටියේය.” පාවුල් ඔහු පිට වැටී, ඔහුව වැලඳගෙන, අවට සිටින්නන්ට මෙසේ පැවසුවේය. “ඝෝෂා නොකරන්න. මක්නිසාද මොහුගේ ප්‍රාණය මොහු තුළ තිබේ.” පාවුල් මෙයින් අදහස් කළේ මියගිය මේ තරුණයාට නැවත පණ ලැබී තිබෙන බවයි. එතැන සිටි අය “බොහෝසේ සැනසුණෝය.” (ක්‍රියා 20:7-12) කලක් තමන් සමඟ එක්ව දෙවිට සේවය කර පසුකලෙක මියගිය අය නැවත නැඟිටීම අද්දකින්න යන බව දැන සිටීම අදදින සිටින දෙවිගේ සේවකයන්ට මහත් සැනසිල්ලක් ගෙනදෙයි.

නැවත නැඟිටීම—දිගු කලක සිට පැවතෙන බලාපොරොත්තුවක්

12. පාවුල් රෝම ආණ්ඩුකාර ෆීලික්ස් ඉදිරියෙහි පෙනී සිටි අවස්ථාවේදී ප්‍රකාශ කළ තම විශ්වාසය කුමක්ද?

12 රෝම ආණ්ඩුකාර ෆීලික්ස් ඉදිරියේ විභාග වූ නඩුවකදී පාවුල් මේ සම්බන්ධයෙන් තම විශ්වාසය ගැන මෙසේ පැවසුවා. “ව්‍යවස්ථාවේද අනාගතවාක්‍යවලද ලියා තිබෙන සියල්ලත් විශ්වාස කරමි. ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි . . . [දෙවි] කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි. (ක්‍රියා 24:14, 15) එසේ නම්, ‘ව්‍යවස්ථාව’ වැනි දෙවිගේ වචනයේ අඩංගු ඇතැම් කොටස්වල නැවත නැඟිටුවීමට යොමු දක්වා තිබෙන්නේ කෙසේද?

13. දෙවි මුල්ම අනාවැකිය දුන් අවස්ථාවේදී නැවත නැඟිටීම ගැන වක්‍රාකාරව සඳහන් කළා කියා පැවසිය හැක්කේ මන්ද?

13 දෙවි ඒදන් උයනේදී මුල්ම අනාවැකිය දුන් අවස්ථාවේදී නැවත නැඟිටීම ගැන වක්‍රාකාරව සඳහන් කළේය. “පුරාණ සර්පයා” වන සාතන් නැමති යක්ෂයාට දඬුවම් නියම කරමින් දෙවි මෙසේ පැවසුවේය. “මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහිය.” (එළිදරව් 12:9; උත්පත්ති 3:14, 15)මෙහිදී ස්ත්‍රියගේ වංශයේ විලුඹ පොඩි කිරීමෙන් අදහස් කළේ යේසුස් ක්‍රිස්තුස්ව මරා දැමීමයි. පසුකලෙක එම වංශය විසින් සර්පයාගේ හිස පොඩි කිරීමට නම්, යළිත් ක්‍රිස්තුස්ව මණයෙන් නැවත නැඟිටුවිය යුතුව තිබිණ.

14. යෙහෝවා “මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවි” වන්නේ කෙසේද?

14 යේසුස් මෙසේ ප්‍රකාශ කළේය. ‘මළවුන් නැඟිටුවනු ලබන බව මෝසෙස් පවා පඳුර සම්බන්ධ කාණ්ඩයෙහි: ස්වාමීන් ආබ්‍රහම්ගේ දෙවිය, ඊසාක්ගේ දෙවිය, යාකොබ්ගේ දෙවිය කීමෙන් පෙන්වා දී තිබේ. ඔහු මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවිය. මක්නිසාද සියල්ලෝම ඔහු උදෙසා ජීවත්ව සිටිති.’ (ලූක් 20:27, 37, 38; නික්මයාම 3:6) ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් දැනටමත් මියගොසිනි. එහෙත් ඔවුන්ව නැවත නැඟිටුවීම හා සම්බන්ධ දෙවිගේ අරමුණ මොනතරම් ස්ථිරද කියනවා නම්, දෙවි ඔවුන්ව සලකන්නේ තවමත් ජීවත්ව සිටිනවා හා සමානවයි.

15. ආබ්‍රහම්ට නැවත නැඟිටීම විශ්වාස කළ හැකි වූයේ මන්ද?

15 මහලු වියේ පසු වූ ආබ්‍රහම් හා ඔහුගේ භාර්යාව වූ සාරා දරුවන් බිහි කිරීමේ හැකියාව ඔවුන්ට ලබා දුන් නිසා නැවත නැඟිටීම විශ්වාස කරන්න ආබ්‍රහම්ට එය කදිම හේතුවක් විය. මන්ද මෙය නැවත නැඟිටීමක් හා සමාන වූ නිසාය. (උත්පත්ති 18:9-11; 21:1-3; හෙබ්‍රෙව් 11:11, 12) වයස අවුරුදු 25ක් පමණ වූ ඔවුන්ගේ පුත් ඊසාක්ව පූජා කරන්න කියා දෙවි ආබ්‍රහම්ට පැවසුවේය. එවිට ආබ්‍රහම් තම පුත්‍රයාව මරන්න අත ඔසවද්දීම යෙහෝවාගේ දූතයා ඔහුව වැළැක්වූවේය. ආබ්‍රහම් ‘මළවුන්ගෙන් පවා [ඊසාක්ව] නැඟිටුවන්ට දෙවිට පුළුනැයි කල්පනා කොට, උපහැරණ වශයෙන් මරණයෙන් ඔහුව නැවත ලබාගත්තේය.’—හෙබ්‍රෙව් 11:17-19; උත්පත්ති 22:1-18.

16. මරණ නින්දේ සැතපී සිටින ආබ්‍රහම්ට තිබෙන බලාපොරොත්තුව කුමක්ද?

16 පොරොන්දු වංශය වන මෙසියස්ගේ පාලන සමයේදී මළවුන්ගේ නැවත නැඟිටීමක් සිදු වන බවට වූ බලාපොරොත්තුව ආබ්‍රහම්ට තිබිණ. දෙවිගේ පුත්‍රයා මනුෂ්‍යයත්වය ලැබීමට පෙර ස්වර්ගයේ සිටි කාලයේදී ආබ්‍රහම්ගේ ඇදහිල්ල නිරීක්ෂණය කළේය. එනිසා යේසුස් ක්‍රිස්තුස් පොළොව මත සිටි කාලයේදී යුදෙව්වන්ට මෙසේ පැවසුවේය. “නුඹලාගේ පියවූ ආබ්‍රහම් මාගේ දවස දකින්ට ප්‍රීතියෙන් සිටියේය.” (යොහන් 8:56-58; හිතෝපදේශ 8:30, 31) මෙසියානු රාජ්‍යය මගින් මේ පොළොව පාලනය කරන කාලයේදී නැවත නැඟිටීම සිදු වන තෙක් ආබ්‍රහම් දැන් මරණ නින්දේ සැතපී සිටියි.—හෙබ්‍රෙව් 11:8-10, 13.

ව්‍යවස්ථාවෙන් හා ගීතාවලියෙන් සාක්ෂි

17. ‘ව්‍යවස්ථාවේ ලියා තිබෙන දේවල්’ යේසුස් ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීමට යොමු දැක්වූයේ කෙසේද?

17 පාවුල්ට තිබූ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ‘ව්‍යවස්ථාවේ ලියා තිබෙන දේවල්’ සමඟ එකඟ විය. දෙවි ඉශ්‍රායෙල්වරුන්ට මෙසේ පැවසුවේය. “නුඹලාගේ ශස්‍යයෙන් නාඹුල් ඵල මිටිය පූජකයා වෙතට ගෙනෙන්න. ඒ මිටිය නුඹලා උදෙසා පිළිගනු ලබන පිණිස ඔහු [යෙහෝවා] ඉදිරියෙහි එය [නීසාන් 16වනදා] තේවකරන්නේය.” (ලෙවී කථාව 23:9-14) ව්‍යවස්ථාවේ සඳහන් මේ දෙය පාවුල් පහත සඳහන් වදන් ලියන විට ඔහුගේ මනසෙහි තිබුණා විය හැක. ‘ක්‍රිස්තුස්ව මළවුන්ගෙන් නැඟිටුවා තිබේ. ඔහු [මරණ නින්දේ] සැතපී ඉන්නන්ගේ නාඹුල් ඵලයය.’ පොදු යුගයේ 33 නීසාන් 16වනදා යේසුස්ව “නාඹුල් ඵලය’ හැටියට නැවත නැඟිටුවන ලදි. කලක් ගතවීමෙන් පසුව සිදුවීමට තිබූ ඔහුගේ පැමිණ සිටීමේ කාලයේදී ‘පසු ඵල’ නොහොත් ආත්මයෙන් අභිෂේක ලත් ඔහුගේ අනුගාමිකයන්ගේ නැවත නැඟිටීම සිදු වේ.—1 කොරින්ති 15:20-23; 2 කොරින්ති 1:21; 1 යොහන් 2:20, 27.

18. යේසුස්ගේ නැවත නැඟිටීම ගීතාවලියේ පුරෝකථනය කර තිබූ බව පේතෘස් පෙන්වා දුන්නේ කෙසේද?

18 නැවත නැඟිටීම තහවුරු කරන සාක්ෂි ගීතාවලියේද දක්නට ඇත. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේදී ප්‍රේරිත පේතෘස් මෙසේ පවසමින් ගීතාවලිය 16:8-11 දක්වා ඇති වගන්ති උපුටා දැක්වුවේය. ‘දාවිත් ඔහු [යේසුස්] ගැන කතා කරමින්: ස්වාමීන් නිතරම මා ඉදිරියෙහි සිටිනවා දුටිමි; මා සොලවනු නොලබන පිණිස ඔහු මාගේ දකුණු පැත්තෙහි සිටින්නේය. එහෙයින් මාගේ සිත සන්තෝෂ විය. මාගේ දිව ප්‍රීති විය. තවද මාගේ මාංසය බලාපොරොත්තවෙන් වසන්නේය. මක්නිසාද ඔබ මාගේ ආත්මය පාතාලයේ [හේදිසියේ, NW ] නවතින්ටවත් ඔබගේ ශුද්ධ තැනැත්තා කුණු වෙන්ටවත් ඉඩ නොදෙනු ඇත.’ පේතෘස් තවදුරටත් මෙසේ පැවසුවේය. ‘ඔහු [දාවිත්] මෙය කලින් දැක ක්‍රිස්තුස්ගේ මළවුන්ගෙන් නැඟිටීම ගැන කතා කරමින්: ඔහු පාතායේ [හේදිසියේ, NW ] නවතින්ට හරිනු නොලැබූ බවත් ඔහුගේ මාංසය කුණු නොවූ බවත් කීවේය. මෙම යේසුස්ව දෙවි නැඟිටෙව්වේය.’—ක්‍රියා 2:25-32.

19, 20. පේතෘස් ගීතාවලිය 118:22 උපුටා දැක්වූයේ කුමන අවස්ථාවේදීද? මෙය යේසුස්ගේ මරණයට හා නැවත නැඟිටීමට සම්බන්ධ වූයේ කෙසේද?

19 මින් දවස් කිහිපයකට පසු පේතෘස් මන්ත්‍රණ සභාව අමතමින් නැවතත් ගීතාවලියෙන් උපුටා දැක්වුවේය. අබ්බගාතව සිටි සිඟන්නෙකුව සුව කළේ කෙසේද කියා ඇසූ අවස්ථාවේදී ප්‍රේරිතවරයා ඊට මෙසේ පිළිතුරු දුන්නේය. “නුඹලා විසින් [වධකණුවෙහි] ඇණගසනලද්දාවූද [දෙවි] විසින් මළවුන්ගෙන් නැගුටුවනලද්දාවූද නාසරිය යේසුස් [ක්‍රිස්තුස්ගේ] නාමයෙන්ම මේ මනුෂ්‍යයා නුඹලා ඉදිරියෙහි සුවපත්ව සිටීයයි නුඹලා සියල්ලෝද සියලුම ඉශ්‍රායෙල් සෙනගද දැනගනිත්වා. [ඔහු] වනාහි ගෙවල් සාදන්නන් වන නුඹලා විසින් සුළුකරනු ලැබුවාවූද කොනේ ප්‍රධාන ගල කරනු ලැබුවාවූද ගලය. වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.”—ක්‍රියා 4:10-12.

20 මෙහිදී පේතෘස් උපුටා දක්වමින් සිටියේ ගීතාවලිය 118:22හි සඳහන් වදන්ය. ඔහු එම වදන් යේසුස්ගේ මරණයට හා නැවත නැඟිටීමට අදාළ කර දැක්වුවේය. ආගමික නායකයන්ගේ උසිගැන්වීම නිසා යුදෙව්වෝ යේසුස්ව ප්‍රතික්ෂේප කළහ. (යොහන් 19:14-18; ක්‍රියා 3:14, 15) ‘ගෙවල් සාදන්නන් විසින් ගල සුළු කරනු ලැබීම’ නිසා යේසුස්ගේ මරණය සිදු විය. එහෙත් ‘මෙම ගල ප්‍රධාන ගල කරනු ලැබීය.’ මෙයින් අදහස් කරන්නේ යේසුව ස්වර්ගයේ තේජවත් ආත්ම විෂයට නැවත නැඟිටුවීමයි. ගීතිකාකරු කලින් පැවසුවාක් මෙන් ‘මෙය යෙහෝවාගේම ක්‍රියාවකි.’ (ගීතාවලිය 118:23) එපමණක්ද නොව යේසුස්ව රජු ලෙස උසස් තත්වයකට පත් කිරීමත්, “ගල” කොනේ ප්‍රධාන ගල බවට පත් කිරීමට ඇතුළත් විය.—එපීස 1:19, 20.

නැවත නැඟිටීමේ බලාපොරොත්තුවෙන් ශක්තිමත්ව

21, 22. යෝබ් 14:13-15හි සඳහන් වන ආකාරයට යෝබ්ට තිබූ බලාපොරොත්තුව කුමක්ද? ප්‍රේමනීයයන්ගේ අභාවය නිසා වියෝ දුකෙන් පෙළෙන්නන්ට එහි සඳහන් දෙය සහනයක් ගෙන දෙන්නේ කෙසේද?

21 මියගිය කිසිම කෙනෙකුව නැවත නැඟිටුවනු ලබනවා අපි පෞද්ගලිකව කවදාවත්ම දැක නැති වුණත්, නැවත නැඟිටීම ගැන අපට සහතිකයක් සපයන ශුද්ධ ලියවිල්ලේ සඳහන් වාර්තා කිහිපයක් අපි සලකා බැලුවෙමු. මේ නිසා ධර්මිෂ්ඨ මිනිසෙකු වූ යෝබ් සතුව තිබූ ප්‍රීතිමත් බලාපොරොත්තුව ඇතුව අපටත් සිටිය හැකියි. ඔහු දුක් වේදනා විඳිමින් සිටි කාලයේදී මෙසේ ආයාචනා කළා. “අහෝ [යෙහෝවා, ඔබ] මා ෂෙයෝලෙහි වසා තබා, ඔබගේ උදහස පහවන තුරු මා සඟවා, මට කාලයක් නියමකොට, මා [සිහි කරනවාට] කැමැත්තෙමි! මනුෂ්‍යයෙක් මැරුණාම ඔහු නැවත ජීවත්වේද? . . . ඔබ [හඬගසයි]. මමද උත්තර දෙන්නෙමි. ඔබගේ අත් වැඩයට ඔබ [ආශා වෙයි].” (යෝබ් 14:13-15) දෙවි ‘ඔහුගේ අත් වැඩටය ආශා වෙයි’ කීමෙන් යෝබ්ව නැවත නැඟිටුවීමට මහත් උනන්දුවෙන් බලා සිටීම අඟවයි. මෙමගින් අපිට දෙන බලාපොරොත්තුව මොනතරම් අනර්ඝද!

22 දේවබියැති පවුලක සාමාජිකයෙක් යෝබ් මෙන් දරුණු ලෙස රෝගාතුරව සිටිනවා විය හැක. අනතුරුව මරණය නමැති සතුරා ඔහුව ගිලගත හැක. ලාසරුස්ගේ මරණයේදී යේසුස් කඳුළු සැලුවාක් මෙන් වියෝ දුකෙන් පෙළෙන්නන් කඳුළු සලන්න පවා පුළුවන. (යොහන් 11:35) එහෙත් දෙවි ඔහුගේ මතකයේ සිටින අයට හඬගසන්න යන බවත්, එයට ඔවුන් උත්තර දෙන්න යන බවත් දැනසිටීම මොනතරම් සහනයක්ද! එය හරියට ඔවුන් ගමනක් ගොස් අසනීපව හෝ දුර්වල සෞඛ්‍ය තත්වයකින් නොව, නිරෝගීව ආපසු පැමිණෙනවා හා සමානයි.

23. සමහර අය නැවත නැඟිටීමේ බලාපොරොත්තුව කෙරෙහි තමන්ගේ නිසැකකම ප්‍රකාශ කර තිබෙන්නේ කෙසේද?

23 වයසක ඇදහිලිවන්ත ක්‍රිස්තියානියෙකු මියගිය අවස්ථාවේදී සෙසු අදහිලිවන්තයන් ශෝකය ප්‍රකාශ කරමින් මෙසේ පවසනු ලැබීය. “ඔබේ මවගේ අභාවය ගැන අපි බලවත් සේ ශෝකවන්නෙමු. නිරෝගිව හා ශෝභමාන පෙනුමකින් යුතුව ඇයව අපි නැවත දකින්න යන දවස වැඩි ඈතක නොවෙයි!” මියගිය තම පුතා ගැන දෙමාපියන් මෙසේ පැවසීය. “ජේසන් අවදි වෙන දවස එන තෙක් අපි නොඉවසිල්ලෙන් බලා සිටිනවා! ඔහු නැවත නැගිට්ටායින් පස්සේ, ඉස්සර හුඟක් ආශාවෙන් බලා සිටි පාරාදීසය ඔහු අවට තිබෙනවා දකීවී. . . . ඔහුට ආදරය කරන අපිටත් එහි සිටින්න පුළුවන් වෙන විදිහට ජීවත් වෙන්න එය මොනතරම් පෙලඹවීමක්ද!” ඔව්, නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ස්ථිර නිසා අපි දෙවිට මොනතරම් ස්තුතිවන්ත විය යුතුද!

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• මළවුන් නැවත නැඟිටීම හා සම්බන්ධ දෙවිගේ සැපයුම කෙරෙහි ඇදහිල්ල තැබීම අපිට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

• නැවත නැඟිටීම කෙරෙහි බලාපොරොත්තු තැබීම සඳහා අපට හොඳ හේතු සපයන ශුද්ධ ලියවිල්ලේ සඳහන් සිද්ධීන් මොනවාද?

• නැවත නැඟිටීමේ බලාපොරොත්තුව දිගු කලක සිට පැවතෙන බලාපොරොත්තුවක් කියා පැවසිය හැක්කේ මන්ද?

• මළවුන් සම්බන්ධයෙන් අපට තිබෙන සැනසිල්ල ගෙන දෙන බලාපොරොත්තුව කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

යෙහෝවා දුන් බලයෙන් එලියා වැන්දඹුවකගේ මියගිය පුත්‍රයාට යළි පණ දුන්නේය

[12වන පිටුවේ පින්තූරය]

යේසුස් යායිරස්ගේ මියගිය දියණිය නැඟිටෙවූ අවස්ථාවේදී ඇගේ දෙමාපියෝ ප්‍රීතියෙන් ඉපිල ගියෝය

[15වන පිටුවේ පින්තූරය]

මියගිය යේසුස්ව නැවත නැඟිටුවා තිබෙන බවට ප්‍රේරිත පේතෘස් පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී නිර්භීතව සාක්ෂි දුන්නේය