Skip to content

පටුනට යන්න

සිනිකයන්ගේ බලපෑමට ඔබත් හසුව ඇද්ද?

සිනිකයන්ගේ බලපෑමට ඔබත් හසුව ඇද්ද?

සිනිකයන්ගේ බලපෑමට ඔබත් හසුව ඇද්ද?

“සිනිකයෙක්, මිනිසෙකු තුළ තිබෙන කිසිදු යහපතක් නොදකියි. එමෙන්ම දකින ඕනෑම අයහපතක් හුවාදැක්වීමටද ඔහු රුසියෙකි. පිරිසිදු සතුන්ව නොව, මීයන් වැනි පිළිකුල් සතුන්ව දඩයමට ගන්නා බකමූණෙකු මෙන්, ඔහු අන්ධකාරයෙහි අවදි වෙමින්, ආලෝකය හමුවෙහි අන්ධව සිටියි.” දහනවවන සියවසේ විසූ අමෙරිකානු පූජක හෙන්රි වෝඩ් බීචර් මෙම අදහස පළ කළ බවට කියවේ. නූතන කාලයේද සිනිකයෙකුගේ ආකල්පය ඉන් මනාව පිළිබිඹු වන බව බොහෝදෙනෙකුට සිතිය හැක. කෙසේවෙතත්, “සිනික” (සර්වදෝෂදර්ශී) යන වචනයේ මූලාරම්භය පුරාණ ග්‍රීසිය දක්වා අතීතයටම දිව යයි. එදා එම වචනය එවැනි ආකල්පයක් දරන පුද්ගලයෙකුට යොමු දැක්වීමට පමණක් භාවිත කළේ නැත. එයට ඊට වඩා පුළුල් අර්ථයක් තිබිණ. සියවස් ගණනාවක් පුරා, එය දාර්ශනික ගුරු කුලයකට යොමු දැක්වීය.

සිනිකයන්ගේ දර්ශනය බිහි වූයේ කෙසේද? ඔවුන් ඉගැන්වූයේ කුමක්ද? සිනිකයෙකුගේ ආකල්පය ක්‍රිස්තියානියෙකුට සුදුසු වේද?

පුරාණ සිනිකයන්ගේ සුල මුල සොයා

පුරාණ ග්‍රීසිය නානාවිධ වාද විවාදවල තෝතැන්නක් විය. කාලයාගේ ඇවෑමෙන්, සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් විවිධාකාර දර්ශන හඳුන්වා දුන් අතර, එතුළින් ඔවුහු ලොව පුරාම ජනප්‍රිය වූහ. ඔවුන්ගේ ඉගැන්වීම් ජනයාට බෙහෙවින් බලපෑවේය. ඇත්තෙන්ම ඔවුන්ගේ අදහස් බටහිර සංස්කෘතියේ තවමත් දක්නට ලැබේ.

ද්‍රව්‍යමය දේවල් පසුපස හඹායෑමෙන්වත්, සුඛවිහරණයෙන්වත් කල්පවතින සන්තෝෂයක් අද්දැකිය නොහැකි බව සොක්‍රටීස් (පො.යු.පෙ. 470-399) තර්ක කළේය. සැබෑ සන්තෝෂය අත් වන්නේ සද්ගුණවත්ව සිටීමෙන් පමණක් බව හෙතෙම කියා සිටියේය. සද්ගුණය පරම යහපත බව සොක්‍රටීස් විසින් සලකන ලදි. මෙම ඉලක්කය අත් කරගැනීමට ඔහු ද්‍රව්‍යමය සම්පත් සහ අනවශ්‍ය දේවල් පසුපස හඹා නොගියේ, එතුළින් තම පරම ඉලක්කයට බාධා පැමිණෙන බව හැඟුණු හෙයිනි. එමනිසා, ඔහු මධ්‍යස්ථ, ආත්ම-පරිත්‍යාගී, සරල මෙන්ම සකසුරුවම් ජීවිතයක් ගත කළේය.

සොක්‍රටීක ක්‍රමය ලෙස හඳුන්වන ඉගැන්වීමේ ක්‍රමයක් සොක්‍රටීස් විසින් හඳුන්වා දෙන ලදි. සාමාන්‍යයෙන් බොහෝ චින්තකයන් අදහසක් ඉදිරිපත් කොට, ඊට අනුබල දෙන තර්ක සපයා දුන්නේය. එනමුත් සොක්‍රටීස් කළේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි. ඔහු වෙනත් දාර්ශනිකයන්ගේ මතවලට සවන් දී ඔවුන්ගේ අදහස්වල දෝෂ හෙළි කිරීමට තැත් කළේය. මෙම ආකල්පය අන්‍යයන් කෙරෙහි විවේචනාත්මකව සහ නිග්‍රහාත්මකව බැලීමට මඟ පෑදීය.

සොක්‍රටීස්ගේ ගෝලයන් අතුරින් ඇන්ටිස්තිනීස් නමැති දාර්ශනිකයාට (පො.යු.පෙ. 445දී පමණ සිට 365 දක්වා) විශේෂ තැනක් හිමි වේ. ඔහුද වෙනත් කිහිපදෙනෙකුද සොක්‍රටීස්ගේ මූලික ඉගැන්වීම තවත් එක් පියවරක් ඉදිරියට ගෙනගියේ, සද්ගුණය එකම යහපත බව පැවසීමෙනි. මෙහිදී සුඛවිහරණය ඔවුන් සැලකුවේ සිත වෙනතකට යොමු කරවන්නක් ලෙස නොව, නපුරක් ලෙසයි. ඔවුන් දැඩි සමාජ විරෝධී ආකල්පයක් දක්වමින් සෙසු මනුෂ්‍යයන් දෙස බැලුවේ නිග්‍රහාත්මක ඇස්වලිනි. මේ නිසා ඔවුන්ව සිනිකයන් ලෙස හඳුන්වන ලදි. සිනික නමැති නම පැමිණෙන්නේ ග්‍රීක් වචනයකිනි (කයි·නි·කොස්ʹ). ඉන් ඔවුන්ගේ අප්‍රසන්න මෙන්ම ආඩම්බර හැසිරීම මනාව විස්තර කෙරේ. ඇත්තටම එහි තේරුම “සුනඛයෙකු මෙන්” යන්නය. a

ජීවිතවලට බලපෑ අන්දම

සිනික දර්ශනයේ තිබෙන ඇතැම් අංග පැසසිය යුතු ඒවාය. ද්‍රව්‍යවාදය සහ ඉඳුරන් පිනවීමට එරෙහිව තිබෙන ආකල්පය මීට උදාහරණයක් වේ. කෙසේවෙතත්, ඔවුහු තම අදහස් අන්තයටම ගෙන ගියහ. සුප්‍රසිද්ධම සිනිකයා ලෙස සැලකෙන ඩයෝජිනීස් නමැති දාර්ශනිකයාගේ ජීවිතයෙන් මෙය මනාව පැහැදිලි වේ.

ඩයෝජිනීස් උපත ලැබුවේ පො.යු.පෙ. 412දී කළු මුහුද අසබඩ පිහිටි සිනොප් නම් පුරවරයේය. සිය පියා සමඟ ඇතන්ස් බලා ගමන් කළ ඔහු, සිනිකයන්ගේ ඉගැන්වීම්වලට නිරාවරණය වූයේය. ඇන්ටිස්තිනීස්ගෙන් ඉගෙනුම ලැබූ ඩයොජිනීස්, සිනික දර්ශනය වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළේය. සොක්‍රටීස් සරල ජීවිතයක් ගත කළ අතර, ඇන්ටිස්තිනීස් අල්පේච්ඡ ජීවිතයක් ගත කළේය. එනමුත්, ඩයෝජිනීස් ජීවත් වූයේ තාපසයෙකු ලෙසයි. ඇත්තෙන්ම, තමා ද්‍රව්‍යමය සැප සම්පත් ප්‍රතික්ෂේප කරන බව අවධාරණය කිරීමේ අරමුණින්, ඩයෝජිනීස් විශාල කළයක් තුළ පවා ජීවත් වූයේයයි පැවසේ.

පරම යහපත සොයා ගිය ඩයෝජිනීස්, දහවල් කාලයේ පත්තු කරන ලද ලාම්පුවක් අතැතිව ඇතන්ස්හි වීථි දිගේ ඇවිද ගිය බව කියවේ. එසේ කළේ, සද්ගුණවත් පුද්ගලයෙකු සොයාගැනීමේ අභිප්‍රායෙනි! මෙවැනි ක්‍රියාකලාපයක් නිතැතින්ම සියලුදෙනාගේම අවධානයට යොමු විය. ඇත්තෙන්ම ඩයෝජිනීස් සහ වෙනත් සිනිකයන් ඉගැන්වූයේ සැමගේ අවධානය එලෙස ඇදගැනීමටය. මහා ඇලෙක්සැන්ඩර් රජ ඩයෝජිනීස් වෙත පැමිණ ඔහුට අවශ්‍ය මොනවාදැයි විමසූ බවට කතාවක් ඇත. ඔහු දුන් පිළිතුර වාර්තා වී ඇත්තේ මෙසේය. “ඉරු එළිය මුවා නොකොට අයින් වුණොත් පමණක් ඇතැයි” කියාය!

ඩයෝජිනීස් සහ වෙනත් සිනිකයන් ජීවත් වූයේ සිඟමන් ඉල්ලන්නන් මෙනි. පොදු ජනයා සමඟ ඇසුරු කිරීමට ඔවුහු එතරම් කාලයක් මිඩංගු නොකළ අතර, තම ප්‍රජා යුතුකම් නිසියාකාරයෙන් ඉටු කිරීම ප්‍රතික්ෂේප කළෝය. ඔවුන් සොක්‍රටීක ක්‍රමයේ බලපෑමටත් හසු වූ නිසා, අන්‍යයන්ට සැලකුවේ ඉතා පහත් අයුරිනි. ඩයෝජිනීස්ව ප්‍රසිද්ධ වූයේ උපහාසාත්මකව කතා කිරීමට අති දක්ෂයෙකු ලෙසයි. සිනිකයන් “සුනඛයන් මෙන්” වීමේ ප්‍රසිද්ධිය ඉසිලූ අතර, ඩයෝජිනීස්ට පරම සුනඛයා යන නම පටබඳින ලදි. පොදු යුගයට පෙර 320දී පමණ හෙතෙම මිය යන විට, 90වන වියේ පසු වූයේය. පසුව ඔහුගේ සොහොන මත සුනඛයෙකුගේ හැඩයෙන් යුත් කිරිගරුඬ ස්මාරකයක් ඉදි කරවන ලදි.

සිනික දර්ශනයේ අංගයන් කිහිපයක් වෙනත් චින්තන ධාරාවන් තුළටද ඈඳාගන්නා ලදි. කෙසේවෙතත්, කාලයාගේ ඇවෑමෙන්, ඩයෝජිනීස් සහ වෙනත් සිනිකයන්ගේ අන්තවාදී ක්‍රියාකලාපයන් හේතුවෙන් සිනික ගුරුකුලය බෙහෙවින් අවමානයට ලක් විය. අන්තිමේදී එය මුළුමනින්ම අතුරුදහන් විය.

වත්මන් සිනිකයෝ—ඔබ ඔවුන්ව අනුගමනය කළ යුතුද?

නූතන සිනිකයෙකු “අනුන්ගේ වැරදි සෙවීමට හෝ කර්කශ ලෙස අන් අයට බැණවැදීමට නැඹුරුවාවක් දක්වන පුද්ගලයෙකු” වශයෙන් ඔක්ස්ෆඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයෙහි විස්තර කරයි. එහි තවදුරටත් මෙසේ පැවසේ. “මිනිසුන්ගේ චේතනාවල සහ ක්‍රියාවන්වල අවංකකම හෝ ඒවායේ ගුණය පිළිබඳව අවිශ්වාස කිරීමට නැඹුරුවාවක් දක්වන කෙනෙකුව මින් විස්තර කෙරේ. එම අවිශ්වාසය බාහිරව ප්‍රකාශ වන්නේ, අන් අයට ඇනුම්පද කීමට සහ අපහාසාත්මක දේ කිරීමට නැඹුරු වීම තුළිනි. ඇත්තෙන්ම එවැනි කෙනෙක් වපර ඇසින් බලන වැරදි සොයන්නෙක් වනවා නිසැකය.” අප අවට ලෝකයේ වෙසෙන පුද්ගලයන් තුළ මෙවැනි ගතිලක්ෂණ සුලභව දැකගත හැකිය. එනමුදු මේවා ක්‍රිස්තියානි පෞද්ගලිකත්වයකට අනුකූල වන බව නම් පැවසිය නොහැක. එමනිසා බයිබලයෙහි සඳහන් මතු දැක්වෙන ඉගැන්වීම් සහ ප්‍රතිපත්ති සලකා බැලීම වටී.

‘යෙහෝවා අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටියි. කෝපවීමට ප්‍රමාදය. අතිශයින් කරුණාවන්තය. ඔහු නිතර තරවටු නොකරන්නේය. සදාකාලයට කෝපය නොපවත්වන්නේය.’ (ගීතාවලිය 103:8, 9) ක්‍රිස්තියානීන් ‘දෙවි අනුව යන්නන් විය’ යුතු බව පවසා ඇත. (එපීස 5:1) සර්වබලධාරී දෙවි “අනුන්ගේ වැරදි සෙවීමට හෝ බැණවැදීමට නැඹුරුවාවක් ඇති” කෙනෙකු මෙන් නොව, අනුකම්පාවෙන් සහ දයාවෙන් පිරී සිටින කෙනෙක් ලෙස කටයුතු කරනවා නම්, ක්‍රිස්තියානීන්ද ඔහුගේ ආදර්ශය අනුගමනය කිරීමට වෑයම් කළ යුතු බවට කිසිදු සැකයක් නැත.

යෙහෝවාව කදිමට නියෝජනය කළ යේයුස් ක්‍රිස්තුස්, ‘ඔහුගේ අඩිපාරේ යන පිණිස අපට ආදර්ශයක් දී ගියේය.’ (1 පේතෘස් 2:21; හෙබ්‍රෙව් 1:3) ඇතැම් අවස්ථාවලදී, ආගමික ප්‍රෝඩාවන් හෙළි කිරීමට යේසුස් පසුබට නොවූ අතර, ලෝකය තුළ පැවති නපුරු ක්‍රියා ගැනත් සාක්ෂි දැරීය. (යොහන් 7:7) එනමුත්, අවංකව කටයුතු කළ අයව පැසසුමට ලක් කරන්නද ඔහු අමතක නොකළේය. නිදසුනකට නතානියෙල් ගැන ඔහු මෙසේ පැවසීය. “මෙන්න, සැබවින්ම ඉශ්‍රායෙලිතයෙක්! මොහු තුළ කිසි වංචාවක් [නැත].” (යොහන් 1:47) එලෙසම ප්‍රාතිහාර්යයක් සිදු කරද්දී, එම ප්‍රාතිහාර්යයෙන් ප්‍රයෝජන ලැබූ කෙනාගේ ඇදහිල්ලට ඔහු අවධානය යොමු කළේය. (මතෙව් 9:22) එක් අවස්ථාවකදී, ස්ත්‍රියක් යේසුස්ට තිළිණ කළ ත්‍යාගයක් ඇතමුන් සැලකුවේ නිරපරාද වියදමක් හැටියටයි. එම අවස්ථාවේදී ඇගේ චේතනා සිනිකයෙකු මෙන් හෙළා දකිනවා වෙනුවට, යේසුස් ඇයව පසසමින් මෙසේ පැවසීය. “මේ ශුභාරංචිය ලොව මුළුල්ලේ යම් තැනක ප්‍රකාශකරනු ලබන්නේද එතැනදී මේ ස්ත්‍රිය විසින් කළ මේ ක්‍රියාවත් ඈ සිහි කිරීමක් පිණිස කියනු ලබන්නේය.” (මතෙව් 26:6-13) යේසුස් තම මිතුරන් කෙරෙහි විශ්වාසය තැබූ අතර, තම අනුගාමිකයන්ගේ හිතෛෂි මිතුරෙක්ද වූයේය. ‘ඔහු අන්තිමය දක්වා ඔවුන්ට ප්‍රේම කළේය.’—යොහන් 13:1.

යේසුස් පරිපූර්ණ කෙනෙක් වූ නිසා, අසම්පූර්ණ පුද්ගලයන්ගේ වැරදි සෙවීම ඔහුට පහසුවෙන්ම කළ හැකි දෙයක් විය. කෙසේවෙතත්, අන් අයව සැක කරන, වැරදි සොයන ආකල්පයක් විදහාපෙන්වනවා වෙනුවට, පුද්ගලයන්ට සැනසීම ගෙන දෙන්න නිතරම ඔහු මං සෙවීය.—මතෙව් 11:29, 30.

‘ප්‍රේමය සියල්ල විශ්වාස කරන්නේය.’ (1 කොරින්ති 13:7) එහෙත්, සිනිකයෙක් සාමාන්‍යයෙන් වෙනත් කෙනෙකුගේ චේතනා සහ ක්‍රියාවන් සෑම එකක්ම සැක කරයි. එමනිසා, ඉහත සඳහන් ශුද්ධ ලියවිලි පාඨයට අනුව ප්‍රේමය සිනිකයෙකුගේ නැඹුරුවාවට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි. අප අන් අය සමඟ පරෙස්සමින් කටයුතු නොකළ යුතු බව මින් අදහස් කරන්නේ නැත. මන්ද සැඟවුණු චේතනා ඇති පුද්ගලයන්ගෙන් මෙලොව පිරී පවතින හෙයිනි. (හිතෝපදේශ 14:15) කෙසේවෙතත්, ප්‍රේමය අන්‍යයන් දෙස අනවශ්‍ය සැකයකින් බැලීමට නොව, ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමට නැඹුරුවාවක් ඇති ගුණාංගයකි.

දෙවි තම සේවකයන්ට ප්‍රේම කරමින් ඔවුන් කෙරෙහි විශ්වාසය තබන අතර ඔවුන්ගේ සීමාවන්ද හොඳින් හඳුනයි. කෙසේවෙතත්, යෙහෝවා කිසිදාක තම සෙනඟ දෙස සැකයෙන් මෙන් බලන්නේ නැත. ඔවුන්ට ඉටු කළ නොහැකි දේවල් ඉටු කරයි කියා ඔහු කිසිදාක ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ නැත. (ගීතාවලිය 103:13, 14) එපමණක්ද නොව, දෙවි මනුෂ්‍යයන් තුළ තිබෙන යහපත වෙතට නිතරම අවධානය යොමු කරයි. තවද ඔවුන් කෙරෙහි තම විශ්වාසය තබමින්, අසම්පූර්ණ වුවත්, පක්ෂපාතව කටයුතු කරන තම සේවකයන්ට වරප්‍රසාද සහ යම් බලතලද ලබා දෙයි.—1 රාජාවලිය 14:13; ගීතාවලිය 82:6.

‘යෙහෝවා වන මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාගකොට, අදහස් සෝදිසි කරමි.’ (යෙරෙමියා 17:10) පුද්ගලයෙකුගේ සිතේ තිබෙන දේ නිශ්චිතවම දැනගැනීමේ හැකියාව යෙහෝවා සතුය. නමුත් ඒ හැකියාව අපට නැත. එමනිසා අන්‍යයන්ට යම් යම් චේතනාවන් ඇතැයි නිගමනය කිරීම සම්බන්ධයෙන් අප පරෙස්සම් විය යුතුය.

අප තුළ සිනික ආකල්පයක් හටගෙන, අපගේ සිතුවිලි එමගින් පාලනය වීමට අප ඉඩහැරියහොත්, අප සහ සෙසු ඇදහිලිවන්තයන් අතර භේද හටගැනීමට පවා ඉඩ ඇත. ක්‍රිස්තියානි සභාවේ සමාදානයටද එය මහත් බාධාවක් විය හැක. එමනිසා, තම ගෝලයන් සමඟ යථාර්ථවාදීව නමුත් ඒකාන්තව කටයුතු කරමින්, ඔවුන්ගේ විශ්වාසවන්ත මිත්‍රයා බවට පත්වූ යේසුස්ගේ ආදර්ශය අනුගමනය කිරීමට අපි අදිටන් කරගනිමු.—යොහන් 15:11-15.

“මනුෂ්‍යයන් විසින් නුඹලාට යම්සේ ක්‍රියාකරනවාට නුඹලා කැමතිද, නුඹලාත් ඔවුන්ට එසේම කරන්න.” (ලූක් 6:31) යේසුස් ක්‍රිස්තුස් දුන් මෙම උපදේශය අදාළ කරගැනීමට මාර්ග රැසක්ම තිබේ. නිදසුනකට, පුද්ගලයන් අපට කාරුණිකව සහ ගෞරවනීයව කතා කරනවාට අපි සෑම කෙනෙක්ම කැමැත්තෙමු. එසේ නම්, අපද අන්‍යයන් සමඟ කතාබහ කරද්දී, නිතරම කාරුණික මෙන්ම ගෞරවාන්විත ආකල්පයක් විදහා පෙන්වීම යෝග්‍යය. යේසුස් ආගමික නායකයන්ගේ බොරු ඉගැන්වීම් ප්‍රබලව හෙළි කළ අවස්ථාවේදීවත්, සිනිකයෙකු මෙන් කටයුතු කළේ නැත.—මතෙව් 23:13-36.

සිනිකවාදයට එරෙහි විය හැකි අන්දම

පුද්ගලයන් සම්බන්ධයෙන් තබා තිබූ අපගේ බලාපොරොත්තු යම් ආකාරයකින් සුන් වී ඇති නම්, සිනිකවාදයේ මලපතට අපව හසුවීම වඩාත් පහසුය. යෙහෝවා තම අසම්පූර්ණ සෙනඟ සමඟ විශ්වාසයෙන් යුතුව කටයුතු කරන බවට වූ කාරණය අප විසින් නිතරම අගය කිරීමෙන් එම නැඹුරුවාවට විරුද්ධ විය හැක. මෙලෙස, දෙවිට නමස්කාර කරන අයගෙන් බලාපොරොත්තු විය නොහැකි මට්ටමක් අපේක්ෂා කිරීමෙන් වැළකීමට අපට හැකි වන අතර, ඔවුන් අසම්පූර්ණ වුවත් හරි දේ කිරීමට වෙර දරන පුද්ගලයන් හැටියට අප ඔවුන්ව පිළිගත යුතුය.

ඇතැම් විට අප යම් වේදනාකාරි අද්දැකීම්වලට ලක් වී ඇති නිසා, අන්‍යයන් දෙස වපර ඇසින් බැලීමට අපව පෙලඹිය හැක. අසම්පූර්ණ මනුෂ්‍යයන් කෙරෙහි අපගේ මුළු විශ්වාසය තැබීම අඥාන දෙයක් බව ඇත්තය. (ගීතාවලිය 146:3, 4) කෙසේවෙතත් ක්‍රිස්තියානි සභාව තුළ අන්‍යයන්ව දිරිගැන්වීමේ අවංක චේතනාවෙන් වැඩ කරන බොහෝදෙනෙක්ද සිටිති. පවුලේ සාමාජිකයන් අහිමි වී ඇති අය වෙනුවෙන් සභාවේ සිටින බොහෝදෙනෙකු, මව්වරුන්, පියවරුන්, සහෝදරියන්, සහෝදරයන් සහ දරුවන් වී ඇත්තේ එම අවංක චේතනාව නිසාය. (මාර්ක් 10:30) අප යම් විපත්තියක් අද්දකින අවස්ථාවකදී, සභාවේ සිටින බොහෝදෙනෙකු අපට සැබෑ මිතුරන් වශයෙන් අතහිත දෙන අවස්ථාද අමතක නොකළ යුතුය. bහිතෝපදේශ 18:24.

යේසුස්ගේ අනුගාමිකයන්ව පහසුවෙන්ම හඳුනාගත හැක්කේ සිනික ආකල්පයකින් නොව ඔවුන් පෙන්වන සහෝදර ප්‍රේමයෙනි. ඒ සම්බන්ධව යේසුස් පැවසූ දේ සිහිකටයුතුය. “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) එමනිසා, අන් අයට ප්‍රේමය පෙන්වීමට අපි අදිටන් කරගනිමු. සෙසු ක්‍රිස්තියානීන්ගේ හොඳ ගුණාංගවලට නිතරම මුල් තැන දෙමු. එසේ කිරීමෙන් සිනික ආකල්පයෙන් ඈත්ව සිටීමට අප සමත් වනවා නොඅනුමානය.

[පාදසටහන්වල]

a ඇන්ටිස්තිනීස් ඇතන්ස්හි ඉගැන්වූ සරඹ ශාලාවකට දී තිබුණු නම වූයේ කි·නෝʹසා·රිඑස් යන්නයි. එමනිසා සිනික යන නම ඇති වීමට මෙයද හේතුවක් විය හැක.

b මුරටැඹ 1999 මැයි 15 දිනැති සඟරාවේ “ක්‍රිස්තියානි සභාව—සැනසිල්ලේ උල්පතක්” යන මැයින් යුත් ලිපිය බලන්න.

[21වන පිටුවේ පින්තූරය]

වැඩිම ප්‍රසිද්ධියක් ඉසිලූ සිනික, ඩයෝජිනීස්

[හිමිකම් විස්තර]

Great Men and Famous Women යන පොත ඇසුරෙනි