අධිකාරියට ගෞරවයක් නැත්තේ මන්ද?
අධිකාරියට ගෞරවයක් නැත්තේ මන්ද?
“ආගමික, දේශපාලනික, සමාජීය මට්ටමෙන් මෙන්ම ලෞකික ක්ෂේත්‍රයන්වලදී දරන අධිකාරියට පිටුපෑම දැන් ලෝ පතළ ගැටලුවක් වන අතර, එය පසුගිය දශකයේ වඩාත්ම කැපීපෙනෙන ලක්ෂණය වශයෙන් ඉදිරි පරම්පරා විසින් පිළිගැනීමට බොහෝ ඉඩ කඩ තිබේ.”
දර්ශනවාදියෙක් හා ඉතිහාසඥවරියක් වන හානා ආරෙන්ට්ගේ ඉහත සඳහන් වදන් යොමු දක්වන්නේ 1960 ගණන්වලටය. එම දශකය පසු වී දැන් අවුරුදු ගණනාවක්ම ගත වී තිබේ. නමුත් පෙර කිසිම යුගයකට වඩා අධිකාරිත්වය සුළු කොට සලකන කාලයක් දැන් උදා වී ඇති අතර, මෙම අගෞරවනීය ආකල්පය ජනයා අතර එන්න එන්නම පැතිරෙමින් පවතියි.
මෙයට නිදසුනක් වශයෙන් ලන්ඩන්හි ද ටයිම්ස් පුවත්පත පවසා ඇති දේ සලකා බලමු. “දරුවන් කෙරෙහි ගුරුවරයෙකුට යම් අධිකාරියක් ඇති බව පිළිගැනීමට ඇතැම් දෙමව්පියෝ අකමැති වෙති. එමනිසා තම දරුවන්ට යම් ආකාරයේ දඬුවමක් දෙන විට ඔවුහු දොස් නඟති” කියා එහි පවසා ඇත. තම දරුවන්ට පාසැලේදී දඬුවම් කළ විට ඇතැම් දෙමව්පියෝ පාසැලට පැමිණ ගුරුවරුන්ට තර්ජනය කරති. දෙමව්පියන් ගුරුවරුන්ට පහර දී ඇති අවස්ථාද අනන්ත අප්‍රමාණයි.
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙළේ ගුරුවරුන් වෙනුවෙන් සකස් කර ඇති සංගමයක නියෝජිතයෙක් මෙසේ පැවසීය. “‘මට වගකීම් තියෙනවා’ කියනවා වෙනුවට මහජනයා කියන්නේ ‘මට අයිතිවාසිකම් තියෙනවා’ කියලයි.” අධිකාරියක් හොබවන අය කෙරෙහි නිසි ගෞරවය දැක්වීම සඳහා තම දරුවන්ට ඉගැන්වීමට අපොහොසත් වන ඇතැම් දෙමව්පියෝ, තම දරුවන්ට හරි හා වැරදි පිළිබඳව නිසි මඟ පෙන්වීම හා හික්මවීම ලබා නොදෙති. එසේ කිරීමට අන්‍යයන්ටවත් ඔවුන් ඉඩ දෙන්නේ නැත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, දරුවන් තම “අයිතිවාසිකම්” බලෙන් ඉල්ලා සිටින අතර, ගුරුවරුන්ගේ මෙන්ම තම දෙමව්පියන්ගේ අධිකාරිය ප්‍රතික්ෂේප කිරීමට ඔවුහු පුරුදු වී සිටිති. එයින් අත් වන ප්‍රතිඵල ගැන දුර දිග කල්පනා කිරීමට අවශ්‍ය නැත. ඔව්, තීරු ලේඛිකාව මාග්‍රට් ඩ්‍රිස්කොල් පැවසූ පරිදි “අධිකාරියට කිසිම ගෞරවයක් නැති, හරි වැරැද්ද ගැන කිසිම අවබෝධයක් නැති අලුත් පරම්පරාවක්” බිහි වන බවට කිසිම සැකයක් නැත.
ටයිම් සඟරාවේ පළ වූ “නැති වී යන පරම්පරාව” යන ලිපියේ බොහෝ රුසියානු යෞවන යෞවනියන්ගේ බලාපොරොත්තු සුන්වීම් හුවා දක්වයි. රැප් සංගීත ලොවේ තරුවක් පැවසූ දේ සඳහන් කරමින් එය මෙසේ පවසයි. “මේ ලෝකයේ හැම දෙයක්ම තාවකාලිකයි. සාධාරණත්වය කියලා දෙයක් පේන්නවත් නෑ. ඉතිං මේ ලෝකයට බිහි වෙන කිසිම කෙනෙකුට සමාජය ගැන විශ්වාසයක් තබන්න පුළුවන්ද?” සමාජවාදියෙක් වන මික්හායෙල් ටොපලොව් මෙම අදහසට එකඟ වෙමින් මෙසේ පවසයි. “මේ දරුවන්ට මොළයක් තියෙනවා. ඒගොල්ලන් මෝඩයෝ නෙවෙයි. දෙමව්පියන්ගේ රැකියා වගේම ඔවුන් ජීවිත කාලය පුරාම ඉතිරි කරගෙන තියෙන මුදල් අහිමි වෙනවා ඒගොල්ලන් ඇස් දෙකටම දැකලා තියෙනවා. ආණ්ඩුව මිනිසුන්ව රවටලා තියෙන විදිහත් ඒගොල්ලන් දැකලා තියෙනවා. ඉතිං ඒගොල්ලන් අධිකාරීන්ට ගෞරවය දක්වන්නේ නැති එක පුදුමයක්ද?”
නමුත් අධිකාරිය දෙස වපර ඇසෙන් බලන්නේ තරුණයන් පමණක්ම නොවේ. අදදින විවිධ වයස් මට්ටම්වල සිටින ජනයා අධිකාරීන් දෙස බලන්නේ අවිශ්වාසයෙනි. ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට අධිකාරීන් ගැන පිළිකුල්සහගත හැඟීම් පවා පහළ වී තිබේ. අධිකාරියක් හොබවන ඕනෑම කෙනෙකුව විශ්වාස කළ නොහැකි බව මින් අදහස් වෙනවාද? එය සමබර දෘෂ්ටියක් නොවේ. මන්ද අධිකාරීන් තම බලය සුදුසු ලෙස යොදාගන්නා විට, ඔවුන්ට යහපත් බලපෑමක් සිදු කළ හැකියි. අධිකාරිය, “අනුන්ව පාලනය කිරීමට, විනිශ්චය කිරීමට හෝ යම් වැරදි පියවරක් ගැනීමෙන් අන්‍යයන්ව වැළැක්වීමට තිබෙන බලය” වශයෙන් නිර්වචනය කර ඇත. ඇත්තෙන්ම එම බලය සුදුසු ලෙස යොදාගන්නවා නම් එක් එක් පුද්ගලයන්ට පමණක් නොව මුළු ප්‍රජාවටම ප්‍රයෝජන අත් විය හැක. මෙය කළ හැක්කේ කෙසේද යන්න ඊළඟ ලිපියෙහි සාකච්ඡා කෙරේ.