අපගේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් සාධාරණ විය යුත්තේ ඇයි?
අපගේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් සාධාරණ විය යුත්තේ ඇයි?
අපේක්ෂාවන් නැතහොත් අපේ පැතුම් ඉටුවීම, අපට සතුටක් මෙන්ම සෑහීමක් ගෙන දෙයි. එහෙත් යම් අවස්ථාවල අපේක්ෂාවන් ඉටු නොවන විට ඇති වන අධෛර්යය නිසා අප කලකිරීමට පත් විය හැකියි. සමහර විට අප සමඟ මෙන්ම අන්‍යයන් සමඟ පවා අමනාපයක් ඇති වේ. එක් ඥානවන්ත පුද්ගලයෙක් මෙසේ පැවසීය. “පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය.”—හිතෝපදේශ 13:12.
බලාපොරොත්තු සුන්වීමට දායක වන හේතූන් මොනවාද? අප ඇති කරගන්නා අපේක්ෂාවන් සම්බන්ධයෙන් සාධාරණ වීමට අපට කුමක් කළ හැකිද? එසේ කිරීම අපේම යහපතට හේතු වන්නේ කෙසේද?
අපේක්ෂාවන් සහ බලාපොරොත්තු සුන්වීම්
අදදින මිනිසාගේ ජීවිතය ඉතාමත් වේගයෙන් පියඹා යන කුරුල්ලෙකුට සමාන කළ හැක. අප දේවල් නිසි ලෙස කිරීමට කොතරම් උත්සාහ දැරුවත් අප අසමත් වන අවස්ථා එමටය. අප සැලසුම් කළ යමක් අත් කරගැනීම සඳහා අපේ කාලය සහ ශක්තිය විශාල ලෙස වැය කළ පසුත් එය අත් කරගත නොහැකි වන විට අප අපටම දොස් පවරාගනියි. එමෙන්ම අප අන්‍යයන්ගේද බලාපොරොත්තු සුන් කරනවා කියා හැඟී යා හැකියි. දෙමාපියෙකු වීමේ වගකීම් ගැන හොඳින් අවබෝධ කරගත් මවක් සහ භාර්යාවක් වන සින්තියා මෙසේ පවසන්නීය. “මට නියම විදියට ළමයින්ව හැඩගස්වන්න බැරි වුණාම, නැත්නම් නියම විදියට එයාලව පුහුණු කරලා නෑ කියලා හැඟුණහම මට මං ගැනම පුදුම තරහක් ඇති වෙනවා.” ස්ටෙෆ්නි නමැති යෞවනිය ඇගේ අධ්‍යාපනය ගැන මෙසේ පවසන්නීය. “මට කරන්න අවශ්‍ය හැම දෙයක්ම කරන්න කාලය නැති වුණාම මට හරිම කේන්තියි.”
යථාර්ථවාදී නොවන විශාල අපේක්ෂා තබාගෙන අන්තිමේදී ඒවා එයාකාරයෙන්ම ඉටු නොවන විට සිදු වන්නේ සිත කලකිරීමට පත්වීම පමණයි. තරුණ විවාහක පුරුෂයෙක් වූ බෙන් මෙසේ ප්‍රකාශ කළේය. “මම හැම වෙලාවෙම මගේ ක්‍රියා කලාපය, සිතුවිලි වගේම හැඟීම් ඉහළ මට්ටමක තියාගන්න උත්සාහ කරනවා. හැම දේම අංග සම්පූර්ණව කරන්න කැමති නිසා මම බොහෝවිට කෝපය, කලකිරීම සහ බලාපොරොත්තු සුන්වීම අද්දකිනවා.” ක්‍රිස්තියානි භාර්යාවක් වන ගේල් පවසන්නේ මෙලෙසයි. “පරිපූර්ණත්වය අපේක්ෂා කරන කෙනෙක් දේවල් වරදිනවාට කැමති නෑ. අපිට ඕනේ හොඳම අම්මලා වෙන්න, හොඳම භාර්යාවන් වෙන්න. අපි සතුටු වෙන්නේ අපි සාර්ථක වුණොත් විතරයි. සෑහෙන වෙහෙසක් දරලත් දේවල් සාර්ථකව කරගන්න බැරි වුණහම පුදුම කේන්තියක් ඇති වෙනවා.”
දුර්වල සෞඛ්‍යය සහ මහලු වයස බලාපොරොත්තු සුන්වීමට තවත් හේතූන්ය. ශාරීරිකව දුර්වල වන විට හා නිතරම අන්‍යයන් මත යැපීමට සිදු වන විට යමෙක් කලකිරීමට පත් විය හැක. “මම ලෙඩ වෙන්න කලින් තනියම කරගත්ත වැඩ දැන් කරගන්න බැරි වෙන කොට මට මං ගැනම පුදුම කේන්තියක් ඇති වෙනවා” කියා එලිසබෙත් පවසන්නීය.
ඉහත පෙන්වා ඇත්තේ බලාපොරොත්තු සුන්වීමට බලපාන හේතු කිහිපයකි. එවැනි හේතූන් අප විසින් මැඩපවත්වා නොගතහොත් එතුළින් ඇති වන හැඟීම් අන්‍යයන් විසින් අපව අගය කරන්නේ නැතැයි කියා සිතීමට පවා පෙලඹිය හැක. බලාපොරොත්තු සුන්වීම සමඟ සාර්ථකව කටයුතු කරන්නේ කෙසේද? එමෙන්ම අපගේ අපේක්ෂා සම්බන්ධයෙන් සාධාරණව කටයුතු කිරීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?
සාධාරණ අපේක්ෂාවන් ඇති කරගැනීමට උපදෙස්
යෙහෝවා සාධාරණ මෙන්ම තේරුම්ගන්නාසුලු කෙනෙක් බව අප මුලින්ම මතක තබාගත යුතුයි. ගීතාවලිය 103:14 අපට මෙසේ සිහිගන්වයි. ‘ඔහු අපේ ස්වභාවය දන්නේය. අප ධූලි බව ඔහු සිහි කරන්නේය.’ යෙහෝවා අපේ හැකියාවන් සහ සීමාවන් දන්නා බැවින් අපෙන් බලාපොරොත්තු වන්නේ අපට දිය හැකි දේ පමණයි. තවද දෙවි අපෙන් ඉල්ලන එකම දෙය වන්නේ, ‘ඔහුත් සමඟ නිහතමානි ලෙස හැසිරීමයි.’—මීකා 6:8, NW.
තවද යාච්ඤාවෙන් ඔහු වෙතට හැරෙන්න කියාත් යෙහෝවා අපෙන් උදක්ම ඉල්ලා සිටියි. (රෝම 12:12; 1 තෙසලෝනික 5:17) ඇත්තෙන්ම යාච්ඤාව අපට උපකාරවත් වන්නේ කෙසේද? යාච්ඤාව අපේ සිතුවිලි ස්ථාවරව සහ සමබරව තබාගැනීමට උපකාර කරයි. මහත් ඕනෑකමින් යුතුව යාච්ඤා කිරීමෙන් පෙන්නුම් කරන්නේ අපට උපකාරය අවශ්‍ය බවකි. ඇත්තෙන්ම එය නිහතමානිකමේ සංකේතයකි. එලෙසම අප අපේ සීමාවන් හඳුනාගන්නා බවට සාක්ෂියකි. ප්‍රේමය, කරුණාවන්තකම, යහපත්කම සහ ආත්ම දමනය වැනි ගුණාංග ඇතුළත් තම ශුද්ධාත්මය අපට දීමෙන් යෙහෝවා අපේ යාච්ඤාවලට ඉතා ඕනෑකමින් ප්‍රතිචාරය දක්වන බව පෙන්වයි. (ලූක් 11:13; ගලාති 5:22, 23) එමෙන්ම යාච්ඤාව මගින් ජීවිතයේ ඇති වන කාන්සාවන්ට සහ කලකිරීම්වලට සහනයක් ලබා දෙයි. “වෙන කිසිම දෙයකින් අද්දකින්න බැරි සහනයක් යාච්ඤාව තුළින් ලබාගන්න පුළුවන්” කියා එලිසබෙත් පවසන්නීය. කෙවින් නමැති පුද්ගලයෙකුත් මෙයට එකඟ වෙමින් මෙසේ පවසයි. “ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදිහේ සන්සුන් හදවතක් සහ පැහැදිලි මනසක් ඉල්ලලා මම නිතරම යාච්ඤා කරනවා. යෙහෝවා මගේ බලාපොරොත්තු කවදාවත් කඩ කරලා නෑ.” යාච්ඤාවේ වටිනාකම හොඳින් වටහාගත් කෙනෙකි ප්‍රේරිත පාවුල්. ඔහු මෙලෙස කිරීමට ආරාධනා කළේ එමනිසයි. “යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් [දෙවිට] දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ [දෙවිගේ] සමාදානය ක්‍රිස්තුස් [යේසුස්] තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.” (පිලිප්පි 4:6, 7) ඇත්තෙන්ම යෙහෝවා සමඟ කතා කිරීම, අප ගැනත් අනිත් අය ගැනත් සාධාරණ අපේක්ෂාවන් තබාගැනීමට උපකාර කරයි.
නමුත් යම් අවස්ථාවලදී සහනයක් ලබාගැනීමට අපට කෙනෙකුගේ දිරිගැන්වීමක් අවශ්‍යයි. මන්ද නියම වෙලාවට පවසන වදනක් සිත සනසයි. අපට බලාපොරොත්තු සුන්වීමක් හෝ කාන්සාවක් ඇති වූ විට සහනයක් ලබාගැනීම සඳහා විශ්වාසවන්ත මිතුරෙකුට ඒ ගැන පැවසිය හැක. එම හැඟීම්වලට හේතු වී ඇති කාරණා දෙස වෙනත් දෘෂ්ටියකින් බැලීමට උපකාර කරන්න මිතුරෙකුට හැකියි. (හිතෝපදේශ 15:23; 17:17; 27:9) කලකිරීමට පත්ව ඇති යෞවනයන් ඒ සම්බන්ධව තම දෙමාපියන්ට පැවසීමෙන් සහනයක් ලබාගත හැකි බව අද්දැක ඇත. කැන්ඩි නමැති යෞවනිය මෙසේ පවසන්නීය. “මට වඩාත් සාධාරණව හා සමබරව සිතීමට මගේ දෙමව්පියන්ගේ ප්‍රේමනීය මඟ පෙන්වීම උපකාර වෙලා තියෙනවා. අනිත් අය සමඟ වඩාත් සුහදව කටයුතු කිරීමටත් ඒක මට උපකාර වෙලා තියෙනවා.” ඇත්තෙන්ම හිතෝපදේශ 1:8, 9හි සඳහන් සිහිගැන්වීම ඉතා කලෝචිතයි. “මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න. මක්නිසාද ඒවා නුඹේ හිසට හොබනා මාලාවක්ද නුඹේ බෙල්ලට මාලයක්ද වෙත්.”
සර්ව සම්පූර්ණත්වය පසුපස හඹා යෑමෙන් ඇති වන ප්‍රතිඵල ඉතාමත් මැනවින් මතු දැක්වෙන වදන්වලින් පෙන්නුම් කරයි. “ජීවිතය රෝස මල් යහනාවක් කියා සිතීම කලකිරීමට අත වැනීමක්.” මෙවැන්නක් මඟහරවා ගැනීම සඳහා, අපගේ සිතීමේ රටාව සකස් කරගැනීමට සිදු වේ. නිහතමානීව සිටීම සහ අපගේ සීමාවන් ගැන යථාර්ථවාදී ආකල්පයක් ඇතුව සිටීම අපේක්ෂා සම්බන්ධයෙන් සාධාරණ සහ සමබර වීමට අපට උපකාරවත් වෙයි. මේ සම්බන්ධයෙන් රෝම 12:3හි අනතුරු ඇඟවීම ඉතා යෝග්‍යයි. එහි පවසන්නේ, ‘සුදුසු තරමට වඩා අප ගැන උතුම් කොට නොසිතන්න’ කියායි. මීට අමතරව, පිලිප්පි 2:3හි අපට දිරිගන්වන්නේ තමාට වඩා අන් අය උතුම් කොට සලකමින් යටහත් මනසක් ඇතුව සිටීමටයි.
මීට ප්‍රථමයෙන් සඳහන් කළ එලිසබෙත්ට ඇගේ අසනීප තත්වය නිසා තමාවම නුරුස්සන ගතියක් දැනී ඇත. කාරණා දෙස යෙහෝවා බලන ආකාරයෙන් බැලීමටත්, ඔහුට කරන අපගේ සේවය ඔහු අමතක නොකරන බව වටහාගැනීමටත් ඇයට යම් කාලයක් අවශ්‍ය විය. ඇත්තෙන්ම එය ඇයට සහනයක් ගෙන දුන්නේය. කොලින්ට ඔහුගේ අසනීපය හේතුවෙන් එක්තැන් වීමට සිදු වී තිබේ. ඔහු කරමින් සිටි සේවය අසනීප වීමට පෙර කළ සේවය සමඟ සසඳා බැලූ විට කිසිම වටිනාකමක් නැතැයි කියා මුලදී ඔහුට හැඟිණ. නමුත් 2 කොරින්ති 8:12, කියවා මෙනෙහි කිරීම තුළින් මෙම නොවටිනාකමේ හැඟීම් යටපත් කර දැමීමට ඔහුට හැකි විය. එහි පවසන්නේ, “මනාපය තිබේ නම්, යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට පිළිගනු ලැබේ” කියායි. කොලින් මෙසේ පවසයි. “මට ඉස්සර තරම්ම දෙන්න බැරි වුණත්, මට යෙහෝවාට තවමත් යමක් දෙන්න පුළුවන්. යෙහෝවා ඒ ටික සන්තෝෂයෙන් පිළිගන්නවා කියලා මම දැන් දන්නවා.” හෙබ්‍රෙව් 6:10හි අපට සිහිගන්වන්නේ මෙසේය. එනම් “නුඹලාගේ වැඩයද නුඹලා . . . [ඔහුගේ] නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට [ඔහු] අධර්මිෂ්ඨ නැත.”
මෙහිදී එක් ප්‍රශ්නයක් ඉස්මතු වෙයි. එනම් අපගේ අපේක්ෂාවන් සාධාරණද කියා දැනගන්නේ කෙසේද? යන්නයි. ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මගේ අපේක්ෂාවන් දෙවිගේ අපේක්ෂාවන්ට එකඟද?’ ගලාති 6:4හි පවසන්නේ, “එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ” කියාය. යේසුස් පැවසූ මෙම වදන්ද සිහි කරන්න. “මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.” ඔව්, ක්‍රිස්තියානීන් වශයෙන් අපි සැමටම ඉසිලීමට වියගහක් තිබේ. නමුත් එය “පහසුය,” එමෙන්ම “සැහැල්ලුය.” තවද යේසුස් පොරොන්දු කළේ එය නිසි ආකාරයෙන් ඉසිලීමට ඉගෙනගන්නා විට එයින් සහනයක් ලැබෙන බවයි.—මතෙව් 11:28-30.
සාධාරණ අපේක්ෂාවන් සතුටුදායක ප්‍රතිඵල ගෙන දෙයි
සාධාරණ අපේක්ෂා ඇතුව සිටීමේදී ඉක්මන් සහ කල්පවතින සතුට ලැබෙන්නේ, දෙවිගේ වචනයේ ඇති උපදෙස්වලට ඇහුම්කන් දීමෙන් සහ අදාළ කරගැනීමෙන්ය. එය අපගේ සෞඛ්‍යයටත් ප්‍රයෝජනදායක වෙයි. යෙහෝවාගේ සිහිගැන්වීම්වලින් ප්‍රයෝජන ලබාගත් ජෙනිෆර් මෙසේ පවසන්නීය. “ඉස්සරට වඩා දැන් මම මගේ ජීවිතය ගැන සැලකිලිමත් වෙනවා.” හිතෝපදේශ 4:21, 22හි අපව උනන්දු කරන්නේ, යෙහෝවාගේ ඉගැන්වීම්වලට අපේ මනසින් සහ හෘදයෙන් අවධානය යොමු කරන ලෙසයි. මන්ද ඔහුගේ ඉගැන්වීම් “සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත්වේ.”
චිත්තවේගීය සහ මානසික සහනය අත්වීම මෙමගින් ලැබෙන තවත් ප්‍රතිඵලයකි. “දෙවිගේ වචනයට මගේ මනස සහ සිත යොමු කරද්දී මට පුදුම සන්තෝෂයක් දැනෙනවා” කියා තෙරේසා පවසන්නීය. අපිට ඉඳහිට ජීවිතයේ බලාපොරොත්තු සුන්වීම් අද්දකින්න වන බව ඇත්තයි. නමුත් අපට එම දේවල් වඩාත් පහසුවෙන් දරාගැනීමට හැකියාවක් ලැබෙයි. තවද ‘දෙවිට ළං වෙන්න, එවිට ඔහු නුඹලාට ළං වන්නේය.’ කියා යාකොබ් 4:8 පවසයි. මීට අමතරව, අප ජීවිතයේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙන විට අපව ශක්තිමත් කිරීමෙන් හා සමාදානය වැගිරවීමෙන් අපට ආශීර්වාද කිරීමට යෙහෝවා පොරොන්දු වී තිබේ.—ගීතාවලිය 29:11.
සාධාරණ අපේක්ෂාවන් තබාගැනීමෙන් අපේ ආත්මික ස්ථාවරත්වය දිගටම පවත්වාගැනීමට හැකි කරවයි. මෙයත් ආශීර්වාදයක් නොවෙයිද? මෙමගින් අපේ ජීවිතයේ වඩාත් වැදගත් දේවල් කෙරෙහි අපගේ මනස යොමු කිරීමට හැකි වේ. (පිලිප්පි 1:10, NW) එවිට අපේ ඉලක්කයන් යථාර්ථවාදි මෙන්ම අත් කරගත හැකි ඒවා වන අතර එමගින් අපට ප්‍රීතියක් සහ සෑහීමක් ගෙන දෙයි. යෙහෝවා සෑම දෙයක්ම කරන්නේ අපේම යහපත උදෙසා කියා අප දන්නා බැවින් අපට ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තැබිය හැකියි. “එබැවින් [දෙවි] සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස [ඔහුගේ] බලවත් හස්තයට යටත් වෙන්න” කියා පේතෘස් පවසයි. (1 පේතෘස් 5:6) ඇත්තෙන්ම කෙනෙකුට දෙවිගෙන් ලැබෙන ගෞරවයට වඩා උතුම් දෙයක් තවත් තිබෙනවාද?
[31වන පිටුවේ පින්තූර]
සාධාරණ අපේක්ෂා තබාගැනීමෙන් කලකිරීම සහ බලාපොරොත්තු සුන්වීම සමඟ සාර්ථකව කටයුතු කිරීමට හැකි වේ