Skip to content

පටුනට යන්න

අවි සාදන්නෙක් ජීවිත ගළවන්නෙක් බවට පත් වෙයි

අවි සාදන්නෙක් ජීවිත ගළවන්නෙක් බවට පත් වෙයි

ජීවිත කතාව

වි සාදන්නෙක් ජීවිත ගළවන්නෙක් බවට පත් වෙයි

ඉසිඩෝරස් ඉස්මයිලීඩිස් පැවසූ පරිදි

“අනේ දෙවි, මං දන්නවා දිගටම අවි නිෂ්පාදනය කරන එක වැරදියි කියලා. මම වෙන රැකියාවක් හොයාගන්න කොච්චර මහන්සි වුණත් වැඩක් වුණේ නෑ. හැබැයි මම හෙට නම් මගේ අස්වීමේ ලියුම භාර දෙනවාමයි. අනේ යෙහෝවා අපේ ළමයි හතරදෙනාට බඩගින්නේ ඉන්න දෙන්න එපා” කියා මම බිම වැටී, අඬ අඬා යාච්ඤා කළා. මම මේ තත්වයට පත් වුණේ කොහොමද?

මම ඉපදුණේ 1932දී උතුරු ග්‍රීසියේ ඩ්‍රාමා නම් ප්‍රදේශයේ. අපි සාමකාමී, සරල ජීවිතයක් ගත කළා. මගේ තාත්තා මං ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙනයි හිටියේ. එයා නිතරම මට කිව්වේ, එක්සත් ජනපදයට ගිහිල්ලා හොඳ අධ්‍යාපනයක් ලබාගන්න කියලයි. දෙවන ලෝක යුද්ධයේදී ග්‍රීසියේ විශාල දේපොළ කොල්ලකෑමක් සිදු වුණා. ඊට පස්සේ, “අපේ දේපොළ කොල්ලකෑවත් අපේ බුද්ධිය සොරාගන්න බැහැ” යන කියමන ග්‍රීසියේ ජනප්‍රිය වීමට පටන්ගත්තා. ඉතිං, උසස් අධ්‍යාපනයක් ලබාගන්නත්, කිසිම කෙනෙකුට සොරාගන්න බැරි බුද්ධියක් ලබාගන්නත් මම අදිටන් කරගත්තා.

මම පොඩි කාලේ ඉඳන්ම ග්‍රීක් ඕතඩොක්ස් පල්ලියෙන් සංවිධානය කරලා තිබුණ යොවුන් සමිතිවලට සහභාගි වුණා. ඒ සමිතිවලින් අපිට භයානක නිකායන් ගැන පරෙස්සම් වෙන්න කියලා අනතුරු ඇඟෙව්වා. මට මතකයි එක සමිතියකදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන විශේෂ අනතුරු ඇඟවීමක් කරනවා. ඒගොල්ලන් සාක්ෂිකරුවන්ව හැඳින්වූයේ අන්ත ක්‍රිස්තුස්ගේ නියෝජිතයන් හැටියටයි.

මම 1953දී ඇතන්ස්වල කාර්මික විද්‍යාලයකින් උපාධියක් ලබාගත්තා. ඉන්පසුව, ඉගෙනගන්න ගමන් රැකියාවක් කිරීමේ අදහසින් මම ජර්මනියට ගියා. හැබැයි ඒක හරි ගියේ නැති නිසා මට වෙන රටවලටත් යන්න සිද්ධ වුණා. සති කිහිපයක් ගත වුණාට පස්සේ සතයක්වත් අතේ නැතුව මම බෙල්ජියම්වල වරායක අතරමං වෙලා හිටියා. මම පල්ලියක් ඇතුලට ගිහින් බංකුවේ වාඩි වෙලා ඉකි ගගහා ඇඬුව විදිහ මට තවමත් මතකයි. මට එක්සත් ජනපදයට යන්න මඟක් සලසා දුන්නොත්, මම ද්‍රව්‍යමය දේවල් පස්සේ යන්නේ නැතුව හොඳ අධ්‍යාපනයක් ලබාගෙන යහපත් ක්‍රිස්තියානි පුරවැසියෙක් වෙන්න වෑයම් කරනවා කියලා මම දෙවිට යාච්ඤාවෙන් පොරොන්දු වුණා. සෑහෙන කාලයකට පස්සේ, ඒ කියන්නේ 1957දී මට එක්සත් ජනපදයට යන්න පුළුවන් වුණා.

එක්සත් ජනපදයේ අලුත් ජීවිතයක්

එක්සත් ජනපදයේ ජීවත් වෙන එක පහසු දෙයක් වුණේ නැහැ. මම භාෂාව දැනගෙන හිටියේ නැහැ. මගේ අතේ සල්ලි තිබ්බෙත් නැහැ. ඉතිං මට උදේ වරුවේ පාසැල් යන්න පුළුවන් වෙන විදිහට මම අමාරුවෙන් හරි රෑට රැකියා දෙකක් කරන්න පටන්ගත්තා. මම උසස් පාසැල් කිහිපයකින්ම ඉගෙනුම ලබාගත්තා. ඊට පස්සේ මම ලොස් ඇන්ජලීස්වල තිබෙන කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට ඇතුල් වුණා. මම ව්‍යවහාරික භෞතික විද්‍යා අංශයෙන් බී. එස්. සී. උපාධියක් ලබාගත්තා. ඒ අමාරු කාලවලදී තාත්තා අධ්‍යාපනය ගැන කියපු දේ මගේ අධ්‍යාපනය අත්නෑර කරගෙන යෑමට මට රුකුලක් වුණා.

ටික කාලයකට පස්සේ මට ලස්සන ග්‍රීක ජාතික ගැහැනු ළමයෙක්ව මුණගැහුණා. එයාගේ නම එකැටරීනී. අපි දෙන්නා 1964දී විවාහ වුණා. අවුරුදු තුනකට පස්සේ අපේ පළමුවෙනි පුතාව හම්බ වුණා. ඊට පස්සේ, අවුරුදු හතරක් ඇතුළත අපේ පවුලට තව පුත්තු දෙන්නෙකුයි දුවෙකුයි එකතු වුණා. විශ්වවිද්‍යාලයේ පාඩම් කරන ගමන්ම පවුලක් නඩත්තු කරන එක ලෙහෙසි පහසු දෙයක් වුණේ නැහැ. අපිට හුඟක් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

මම වැඩ කළේ එක්සත් ජනපද ගුවන් හමුදාවට සම්බන්ධ මිසයිල හා අභ්‍යවකාශ සමාගමකයි. ඒක තිබුණේ කැලිෆෝනියාවේ සනිවේල්වලයි. ගුවන් හා අභ්‍යවකාශ කටයුතු සම්බන්ධ ව්‍යාපෘති කිහිපයකටම මාත් දායක වුණා. අජීනා හා අපොලෝ වැඩසටහන් මේවාට උදාහරණ හැටියට සඳහන් කරන්න පුළුවන්. අපොලෝ 8වන හා අපොලෝ 11වන වැඩසටහන්වලට මම දක්වපු සහයෝගය නිසා මට පදක්කම් පවා හම්බ වෙලා තියෙනවා. මම මගේ අධ්‍යාපනය දිගටම කරගෙන ගියා. ඒත් එක්කම අභ්‍යවකාශ යුද ව්‍යාපෘති ගණනාවකටත් සම්බන්ධ වුණා. ඒ වෙද්දී මට හැඟුණේ මට කිසිම දෙයකින් අඩුවක් තිබුණේ නැහැයි කියලයි. මොකද මට ලස්සන භාර්යාවකුත් සුරතල් දරු පැටවුන් හතරදෙනෙකුත් හිටියා විතරක් නෙවෙයි, හොඳ රැකියාවකුත් ලස්සන ගෙයකුත් තිබුණා.

උත්සාහවන්ත මිතුරෙක්

එක්දහස් නවසිය හැටහතේ මුල් කාලයේදී මගේ රැකියා ස්ථානයේදී මට ජිම්ව හම්බ වුණා. එයා හරිම නිහතමානි, කරුණාවන්ත පුද්ගලයෙක්. කොයි වෙලේ බැලුවත් ජිම් සිනාමුසු මුහුණකින් හිටියේ. විවේක කාලයේ මාත් එක්ක තේ බොන්න එන්න කියපු හැම වෙලාවකම වාගේ එයා මාත් එක්ක ඇවිල්ලා කතා කළා. ඒ වගේ අවස්ථාවලදී එයා මට බයිබලය ගැන කියලා දුන්නා. එක දවසක් එයා මට කිව්වා එයා යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරනවා කියලා.

ඒ වගේ කණ්ඩායමක් එක්ක ආශ්‍රය කරනවා කියලා දැනගත්තාම මට පුදුම හිතුණා. ජිම් වගේ හොඳ කෙනෙක් අන්ත ක්‍රිස්තුස්ව නියෝජනය කරන නිකායකට අහු වුණේ කොහොමද කියලා මං කල්පනා කළා. හැබැයි මට තේරුණා ජිම් නිතරම මං ගැන පුදුම සැලකිල්ලක් දක්වනවා කියලා. එයා ආපු හැම දවසකම මට කියවන්න අලුත් ප්‍රකාශනයකුත් අරං ආවා. එක දවසක් එයා මගේ කාර්යාලයට ඇවිත් මෙහෙම කිව්වා. “ඉසිඩෝරස්, මේ මුරටැඹ සඟරාවේ පවුල් ජීවිතය ශක්තිමත් කරගන්න හැටි කියලා තියෙනවා. මේක ගෙදර ගෙනිහිල්ලා ඔයාගේ භාර්යාව එක්ක එකතු වෙලා කියවන්න.” මම ඒක කියවන්නම් කියලා කිව්වාට, ඊට පස්සේ වැසිකිළියට ගිහිල්ලා ඒක කෑලිවලට ඉරලා කුණු බක්කියට දැම්මා.

අවුරුදු තුනක් පුරාම ජිම් මට කියවන්න දුන්න හැම ප්‍රකාශනයක්ම මම ඉරලා විසි කරලා දැම්මා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන මට හොඳ හැඟීමක් තිබුණේ නැති වුණත් ජිම්ව මගේ යාළුවා හැටියට දිගටම තියාගන්න මට ඕන වුණා. ඉතිං එයා කියන දේ එක කනකින් අහලා අනිත් කනෙන් පිට කරන එක තමයි හොඳම දේ කියලා මං හිතාගත්තා.

හැබැයි ජිම් එක්ක සාකච්ඡා කරන්න කරන්න, මම විශ්වාස කළ හුඟක් දේවල් බයිබලය මත පදනම් වෙලා නැති බව මට තේරුණා. ත්‍රිත්වය, නිරාගින්න, අමරණීය ආත්මය වගේ ඉගැන්වීම් බයිබලයේ උගන්වා නැති බව මම ඉගෙනගත්තා. (දේශනාකාරයා 9:10; එසකියෙල් 18:4; යොහන් 20:17) මම ග්‍රීක් ඕතඩොක්ස් පල්ලියේ කණුවක් වෙලා හිටිය හින්දා ජිම් හරි කියලා පිළිගන්න මං කැමති වුණේ නැහැ. හැබැයි ජිම් නිතරම බයිබලය පාවිච්චි කළා. එයා කවදාවත් එයාගේ පෞද්ගලික මත ඉදිරිපත් කළේ නැහැ. ඒ හින්දා මම අන්තිමේදී පිළිගත්තා එයා මට දෙන්නේ බයිබලයෙන් වැදගත් පණිවිඩයක් කියලා.

මගේ භාර්යාවට මගේ වෙනසක් තේරුණා. මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කරන මගේ යාළුවා එක්ක කතා කරාද කියලා එයා මගෙන් දවසක් ඇහුවා. මම ඔව් කියලා කිව්වාම එයා කිව්වේ, “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පල්ලියට යන්නේ නැතුව වෙන ඕනෑම පල්ලියකට යං” කියලයි. හැබැයි කොහොමහරි, වැඩි කල් යන්න ඉස්සෙල්ලා මමයි, මගේ භාර්යාවයි, අපේ ළමයින් ටිකයි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට දිගටම යන්න පටන්ගත්තා.

අමාරු තීරණයක්

බයිබලය පාඩම් කරද්දී යෙසායාගේ අනාවැකියේ සඳහන් මේ වචන මට හුඟක් තදින් බලපෑවා. “ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.” (යෙසායා 2:4) ‘සාමයට ප්‍රිය කරන දෙවිගේ සේවකයෙක් කොහොමද විනාශකාරි අවි ආයුධ සෑදීමට උදව් වෙන්නේ’ කියලා මම මගෙන්ම අහගත්තා. (ගීතාවලිය 46:9) වැඩි කල් යන්න ඉස්සෙල්ලා මං මගේ රැකියාව වෙනස් කරන්න තීරණය කළා.

ඒ හින්දා මම ලොකු අභියෝගයකට මුහුණ දුන්නා. මට හොඳ රැකියාවක් තිබුණා. ඒ වගේම මට සමාජයේ හොඳ තැනක් තිබුණා. ඒ තත්වය ලබාගන්න මම අවුරුදු ගණනාවක් පුරාම වෙහෙස මහන්සි වෙලා, ඉගෙනගෙන, ජීවිතයේ ලොකු පරිත්‍යාගයනුත් කරලා තිබුණා. මම ව්‍යාපාර ලොවේ ප්‍රසිද්ධ තැනක් දිනාගෙනයි තිබුණේ. ඒ ඔක්කොම අත්හැරලා දාලා යනවාද කියලා මම කල්පනා කළා. මේක හරිම අමාරු තීරණයක් හැබැයි මම අන්තිමේදී හරි දේ කරන්න තීරණය කළා. මම මුළු හදින්ම යෙහෝවාට ආදරේ හින්දත්, එයාගේ කැමැත්ත කරන්න ලොකු ආශාවක් තිබ්බ හින්දත් මට මේක කරන්න පුළුවන් වුණා.—මතෙව් 7:21.

මම වොෂිංටන්වල සියැට්ල් ප්‍රදේශයේ සමාගමක සේවය කරන්න තීරණය කළා. හැබැයි කනගාටුවකට මෙන් ඒ රැකියාවේදීත් මට කරන්න සිද්ධ වුණේ යෙසායා 2:4ට පටහැනි වැඩමයි. ඇත්තෙන්ම, පරණ රැකියාවේදී කළාටත් වඩා මට ඒ වගේ වැඩ කරන්න සිද්ධ වුණා. මම වෑයම් කළා යුද්ධයට සම්බන්ධ නැති වැඩවලට විතරක් උදව් වෙන්න. හැබැයි ඒක හරි ගියෙත් නැහැ. නැවතත් මගේ හෘදය සාක්ෂිය මට වද දෙන්න පටන්ගත්තා. ඒ රැකියාව දිගටම කරගෙන ගියොත් මට පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව සිටින්න බැරි වෙයි කියලා මම වටහාගත්තා.—1 පේතෘස් 3:21.

අපේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් කරන්න වෙයි කියලා පවුලේ සියලුදෙනාම තේරුම්ගත්තා. අපි මාස හයක් ඇතුළත අපේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කළා. අපි සරල ජීවිතයක් ගත කරන්න පටන්ගත්ත හින්දා පවුලේ වියදම් සෑහෙන දුරට පිරිමහගන්න පුළුවන් වුණා. ඊළඟට අපේ සුඛෝපභෝගී ගෙය විකුණලා දාලා කොලරාඩෝවල ඩෙන්වර් ප්‍රදේශයෙන් ඊට වඩා පොඩි ගෙයක් ගත්තා. ඊට පස්සේ මට කරන්න තිබුණේ මගේ රැකියාවෙන් අස් වෙන එක විතරයි. මගේ තීරණයට හේතුව පැහැදිලි කරලා මම අස්වීමේ ලියුමක් ලිව්වා. එදා රෑ ළමයි නිදාගන්න ගියාට පස්සේ මමයි මගේ භාර්යාවයි දණගහගෙන මේ ලිපියේ මුල විස්තර කරලා තියෙන විදිහට යෙහෝවාට යාච්ඤා කළා.

මාසයක් ගත වෙන්නත් කලින් අපි ඩෙන්වර්වලට අපේ පදිංචිය මාරු කෙරුවා. එයින් සති දෙකක් ඇතුළත මායි මගේ භාර්යාවයි බව්තිස්ම වුණා. ඒ 1975 ජූලි මාසයේදී. ඊට පස්සේ, මාස හයක් යන තුරුත් මට රැකියාවක් හොයාගන්න බැරි වුණා. අපි ජීවත් වුණේ බැංකුවේ ඉතුරු කරලා තිබ්බ මුදලෙන්. මාස හයක් ගියාට පස්සේ ඉතිරි කරගෙන තිබ්බ ඒ මුදල, අපේ ගේ වෙනුවෙන් මාසිකව ගෙවන්න තිබ්බ ණය මුදලටත් වඩා අඩු වෙලා ගියා. ඒ වෙද්දී මම සුළු රැකියාවක් වුණත් කරන්න ලෑස්ති වෙලයි හිටියේ. හැබැයි මට ඒත් එක්කම වගේ ඉන්ජිනේරු වැඩ සම්බන්ධ රැකියාවක් හම්බ වුණා. කලින් කරපු රැකියාවෙන් මට ලැබුණ වැටුපෙන් භාගයක්වත් මේ රැකියාවෙන් ලැබුණේ නැති වුණත්, යෙහෝවා මට ඕනාවටත් වඩා ආශීර්වාද කරලා තියෙනවා කියලා මට හැඟුණා. ආත්මික දේවලට මුල් තැන දීම ගැන මම කොච්චර සතුටු වුණාද!—මතෙව් 6:33.

යෙහෝවාට ප්‍රේම කරන දරුවන් ඇති දැඩි කිරීම

ඒ අතරතුර එකැටරීනීයි මායි තවත් අභියෝගයකට මුහුණ දුන්නා. ඒක තමයි අපේ දරුවන් හතරදෙනාව දේව ප්‍රතිපත්ති අනුව ඇති දැඩි කිරීම. අපේ හැම දරුවෙක්ම දැන් මේරූ ක්‍රිස්තියානීන් කියලා කියන්න සතුටුයි. ඔවුන් දැන් රාජ්‍ය දේශනා කිරීමේ වැදගත් වැඩය පූර්ණ කාලීනව කරගෙන යනවා. අපේ දරුවන්ව මේ තත්වයට ගේන්න පුළුවන් වුණේ යෙහෝවාගේ උපකාරය ලැබුණ නිසයි. අපේ පුත්තු තුන්දෙනාම, ඒ කියන්නේ ක්‍රිස්ටොස්, ලේක්ස් හා ග්‍රෙගරි උපස්ථායක පුහුණු පාසැලෙන් සමත් වුණා. තුන්දෙනාටම දැන් විශේෂ පැවරුම් ගණනාවක් ලැබිලා තියෙනවා. විවිධ සභාවලට ගිහින් සහෝදර සහෝදරියන්ව ශක්තිමත් කිරීමත් ඔවුන්ගේ පැවරුම්වලට අයිතියි. අපේ දුව ටූලා, නිව් යෝර්ක්වල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානයේ ස්වේච්ඡා සේවකයෙක් වශයෙන් වැඩ කරනවා. අපේ දරුවන් තුන්දෙනාම හොඳ රැකියා හා වෘත්තීන් පරිත්‍යාග කරමින් යෙහෝවාට සේවය කරන්න තීරණය කිරීම ගැන තියෙන අපේ සතුට කියා නිම කරන්න බැහැ.

අපේ දරුවන්ව සාර්ථකව ඇති දැඩි කෙරුවේ කොහොමද කියලා හුඟදෙනෙක් මගෙන් අහලා තියෙනවා. දරුවන්ව සාර්ථකව ඇති දැඩි කිරීමට නිශ්චිත ක්‍රමයක් නම් නැහැ. හැබැයි අපි නිතරම අපේ දරුවන් තුළ යෙහෝවාටයි අසල්වැසියන්ටයි ප්‍රේමයක් වර්ධනය කරන්න වෑයම් කළා. (ද්විතීය කථාව 6:6, 7; මතෙව් 22:37-39) අපේ ක්‍රියාවෙන් පෙන්වනවා මිසක යෙහෝවාට අපි ආදරෙයි කියලා නිකම්ම කියන එක විතරක් වැඩක් නැහැයි කියලා අපේ දරුවන් ඉගෙනගත්තා.

අපි සතියකට සැරයක් පවුලක් වශයෙන් එකට දේශනා සේවයේ ගියා. අපි සාමාන්‍යයෙන් මේ සඳහා සෙනසුරාදා දවස වෙන් කරලා තිබුණා. සඳුදා රෑ කෑමෙන් පස්සේ අපි හැමදාම පවුලක් වශයෙන් එකට බයිබලය පාඩම් කළා. හැම දරුවෙකුටම අපි වෙන වෙනමත් බයිබල් පාඩමක් කළා. පොඩි කාලේ දරුවන්ට වැඩි වෙලාවක් එක දිගට අවධානය දෙන්න බැරි නිසා අපි ඒගොල්ලන් එක්ක සතියකට කෙටි පාඩම් කිහිපයක් කළා. ඒගොල්ලන් ටිකක් ලොකු වුණාට පස්සේ නම් අපි සතියට සැරයක් ඊට වඩා දිග පාඩමක් කරන්න පටන්ගත්තා. අපිත් එක්ක පාඩම් කරද්දී දරුවන් ඒගොල්ලන්ගේ හිතේ තිබුණ දේවල් විවෘතව කියන්නත්, ඒගොල්ලන්ගේ ප්‍රශ්න අපිත් එක්ක සාකච්ඡා කරන්නත් භය වුණේ නැහැ.

පවුලක් වශයෙන් අපි එකට විනෝද වෙන්නත් කාලය වෙන් කරගත්තා. අපි සමහර වෙලාවට පවුලක් වශයෙන් එකතු වෙලා සංගීත භාණ්ඩ වාදනය කළා. මේ වගේ අවස්ථාවලදී දරුවන්ට ඒගොල්ලන්ගේ ප්‍රියතම ගීතය වාදනය කරන්නත් අවස්ථාවක් ලැබුණා. සමහර සති අන්තවලදී අපිත් එක්ක කාලය ගත කරන්න අපි තවත් පවුලකට ආරාධනා කළා. අපි ඒ වගේ අවස්ථාවලදී හොඳ දිරිගන්වනසුලු ආශ්‍රයක් භුක්ති වින්දා. අපි නිවාඩු කාලවලදී පවුලක් හැටියට විනෝද ගමනුත් ගියා. එක සැරයක් අපි සති දෙකක්ම කොලරාඩෝවල කඳුකර ප්‍රදේශයට ගියා. අපි ඒ අවස්ථාවේදී ළඟම තිබුණ සභා එක්ක ක්ෂේත්‍ර සේවයෙත් සහභාගි වුණා. අපේ දරුවන් දිස්ත්‍රික්ක සමුළුවල එක එක අංශවල වැඩ කරලත් තියෙනවා. රාජ්‍ය ශාලා ඉදි කිරීම්වලටත් ඒගොල්ලන් උපකාර කරලා තියෙනවා. ඒගොල්ලන්ට තවමත් ඒ ගැන හොඳ මතක සටහන් තියෙනවා. අපේ නෑදෑයන්ව බලන්න අපි ග්‍රීසියට ගිය අවස්ථාවේදී, අපේ දරුවන්ට සත්‍යය තුළ එඩිතරව හා ස්ථිරව සිටින්න ලොකු දිරිගැන්වීමක් ලැබුණා. මේකට හේතුව වුණේ, ඇදහිල්ල නිසා සිර දඬුවම් ලැබුණ විශ්වාසවන්ත සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ව ඒගොල්ලන්ට මුණගැසීමයි.

සමහර අවස්ථාවලදී දරුවන් වැරදි දේවල් කළා. වැරදි ආශ්‍රයටත් වැටුණා. අපේ අතිනුත් වැරදි සිද්ධ වුණා. අපි ඒගොල්ලන්ට ඕනෑවට වඩා නීති දාන්න ගිය හින්දා ප්‍රශ්න ඇති වුණා. හැබැයි බයිබලයේ තිබෙන ‘යෙහෝවාගේ හික්මවීමට’ යටත් වීමෙන් අපිට ඒ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වුණා.—එපීස 6:4; 2 තිමෝති 3:16.

මගේ ලොකුම ප්‍රීතිය

දරුවන් පූර්ණ කාලීන සේවය ආරම්භ කළාට පස්සේ, ජීවිත ගළවන වැඩයට වැඩියෙන් දායක වෙන්නේ කොහොමද කියලා එකැටරීනීයි මායි කල්පනා කරන්න පටන්ගත්තා. මම 1994දී කලින්ම විශ්‍රාම අරගත්තා. ඊට පස්සේ අපි දෙන්නාම ස්ථාවර පුරෝගාමීන් වශයෙන් සේවය කරන්න පටන්ගත්තා. අපේ බලප්‍රදේශයේ පාසැල්වලටත් විශ්වවිද්‍යාලවලටත් ගිහින් අපි ශිෂ්‍යයන්ට සාක්ෂි දරනවා. ඒගොල්ලන්ගෙන් කිහිපදෙනෙක් අපිත් එක්ක දැන් බයිබලය පාඩම් කරනවා. එම ශිෂ්‍යයන් අද්දකින ගැටලු මමත් කලින් අද්දැකලා තියෙන හින්දා මට ඒගොල්ලන්ව තේරුම්ගන්න හුඟක් පහසුයි. ඒ හින්දා ඒගොල්ලන්ට යෙහෝවා ගැන ඉගෙනගන්න උපකාර කරන්න මට පුළුවන් වෙලා තියෙනවා. මට ඉතියෝපියාවේ, ඊජිප්තුවේ, චිලිවල, චීනයේ, තායිලන්තයේ, තුර්කියේ, බොලිවියාවේ, බ්‍රසීලයේ හා මෙක්සිකෝවේ සිට පැමිණි ශිෂ්‍යයන් එක්ක බයිබලය පාඩම් කරන්න ප්‍රස්තාව ලැබිලා තියෙනවා. විවිධ ජාතීන්ට අයිති මිනිසුන් එක්ක පාඩම් කරන්න ලැබීම ගැන මම ඇත්තෙන්ම සතුටු වෙනවා. මම දුරකථනයෙනුත් සාක්ෂි දරනවා. මම සාමාන්‍යයෙන් එහෙම කරද්දී මගේ මව් භාෂාව කතා කරන අයව තමයි විශේෂයෙන්ම අමතන්න තෝරගන්නේ.

මගේ ග්‍රීක ආභාෂය නිසත්, මගේ වයස නිසත් මට යෙහෝවාගේ සේවය තුළ කරන්න පුළුවන් දේ සීමිතයි. හැබැයි මම නිතරම යෙසායාට තිබුණ ස්ප්‍රීතුව විදහාපෙන්වන්න වෑයම් කරලා තියෙනවා. ‘මෙන්න මම මෙහිය. මා යවන්න’ කියා ඔහු කිව්වා වාගේම මමත් ඕනෑම පැවරුමක් භාරගන්න සූදානමින් ඉන්නවා. (යෙසායා 6:8) අපිත් එක්ක බයිබලය පාඩම් කරපු අයගෙන් 12දෙනෙකුට වැඩි පිරිසක් දැන් යෙහෝවාට ඒගොල්ලන්ගේ ජීවිතය කැප කරලා තියෙනවා. මේක තමයි අපි අද්දකින ලොකුම ප්‍රීතිය.

කාලයක් මගේ මුළු ජීවිතයම කැප කරලා තිබුණේ විනාශකාරි අවි ආයුධ සාදන්නයි. නමුත් යෙහෝවාගේ ලබන්න නොවටිනා කරුණාව හින්දා මටයි මගේ පවුලේ සියලුදෙනාටමයි යෙහෝවාගේ කැපවූ සේවකයන් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අපි පාරාදීස පොළොවක සදාකල් ජීවනය පිළිබඳ ශුභාරංචිය සෙසු ජනයාට ලබා දීම සඳහා අපේ මුළු ජීවිතයම කැප කරලා තියෙනවා. මගේ ජීවිතයේ මම අරං තියෙන අමාරු තීරණ ගැන හිතලා බලද්දී මට මලාකී 3:10 සඳහන් වචන හිතට එනවා. ඒකේ කියලා තියෙන්නේ, “මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැයි සේනාවල [යෙහෝවා කියන්නේය]” කියලයි. යෙහෝවා අපි වෙනුවෙන් එහෙම කරලා තියෙන බවට දැනටමත් ඇති තරම් සාක්ෂි තියෙනවා!

[27වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ලේක්ස්: එක දෙයක් කියලා වෙන එකක් කරන එක මගේ තාත්තාට පෙන්නන්න බැහැ. එයා නිතරම වෑයම් කළේ එහෙම නොකරන්න. අපේ පවුලට හොඳ ආදර්ශයක් තැබීමේදී එයා මේ සම්බන්ධයෙන් විශේෂ වෑයමක් දැරුවා. එයා නිතරම අපිට කිව්වේ, “යෙහෝවාට ජීවිතය කැප කරනවා නම්, ඒක හරිම බැරෑරුම් දෙයක්. යෙහෝවා වෙනුවෙන් පරිත්‍යාගයන් කරන්න සූදානම් වෙන්න ඕනේ. නියම ක්‍රිස්තියානියෙක් කියන්නේ එහෙම කෙනෙකුටයි” කියලා. තාත්තාගේ මේ වචන මගේ හිතට තදින්ම කාවැදුණා. තාත්තා වගේ යෙහෝවා වෙනුවෙන් ජීවිතයේ ලොකු පරිත්‍යාගයන් කරන්න මට ඒක උදව් වෙලා තියෙනවා.

[27වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ක්‍රිස්ටොස්: මගේ දෙමව්පියන් මුළු සිතින්ම යෙහෝවාට පක්ෂපාතකම රැකගෙන තියෙනවා. දෙමව්පියන් වශයෙන් ඒගොල්ලන්ට තියෙන වගකීමත් ඒගොල්ලන් හුඟක් බැරෑරුම් ලෙස සලකනවා. ඒක මම හුඟක් අගය කරනවා. අපි පවුලක් හැටියට හැම දෙයක්ම එකට කළා. ආත්මික දේවල් විතරක් නෙවෙයි, එකට විනෝද වෙන්නත් අපි පුරුදු වෙලා හිටියා. ජීවිතයේ වෙනත් හුඟක් දේවල් කරන්න ඒගොල්ලන්ට ඕන තරම් අවස්ථාව තිබුණත් මගේ දෙමව්පියන් සරල ජීවිතයක් ගත කරනවා. ඒගොල්ලන් නිතරම දේවසේවයට මුල් තැන දීලා තියෙනවා. අපි ඇත්තටම සන්තෝෂය අද්දකින්නේ යෙහෝවාගේ සේවයට මුල් තැන දුන්නාම විතරයි කියලා මම අද්දැකලා තියෙනවා.

[28වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ග්‍රෙගරි: මගේ සේවය පුළුල් කරන්න කියලා මගේ දෙමව්පියන් මට දීපු දිරිගැන්වීම්වලට වඩා, ඒගොල්ලන් ඒ සම්බන්ධයෙන් තබපු ආදර්ශය හා යෙහෝවාගේ සේවයේදී ඒගොල්ලන් ලබපු ප්‍රීතිය මට හුඟක් බලපෑවා. පූර්ණ කාලීන සේවය ගැන තිබුණ මගේ බිය සැක දුරු කරගෙන, මගේ තත්වය අවංකව සලකා බලා, අවශ්‍ය සකස් කිරීම් කරන්න ඒක මට උපකාරවත් වුණා. යෙහෝවාට කරන මගේ සේවය පුළුල් කරන්න මට ඒකෙන් ලොකු දිරිගැන්වීමක් ලැබුණා. යෙහෝවාගේ සේවය තුළ වෙහෙසීමෙන් ලැබෙන ප්‍රීතිය අද්දකින්න මට උදව් වුණ එක ගැන මගේ දෙමව්පියන්ට මම හුඟක් ස්තූතිවන්ත වෙනවා.

[28වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ටූලා: යෙහෝවා සමඟ සබඳතාවක් තියෙන එක තමයි කෙනෙකුට තිබිය හැකි වැදගත්ම, අනර්ඝම දේ කියලා අපේ දෙමව්පියන් නිතරම කාවැද්දුවා. සැබෑ සන්තෝෂය අත් කරගන්න පුළුවන් වන්නේ යෙහෝවාට අපේ උපරිමය දීමෙන් කියලත් ඒගොල්ලන් කියලා දුන්නා. ඒ හින්දා අපි යෙහෝවාව සැබෑ පුද්ගලයෙක් හැටියට දකින්න පටන්ගත්තා. දවස පුරාම අපි යෙහෝවාව සතුටු කරන්න අපේ උපරිමය කරලා තියෙනවා කියලා අපිට විශ්වාසයි නම්, අපිට පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව රෑට නිදාගන්න පුළුවන් කියලා තාත්තා අපිට නිතරම කිවිවා. ඒක අපිට පුදුම සහනයක් ගෙන දෙනවා.

[25වන පිටුවේ පින්තූරය]

1951දී මම ග්‍රීසියේ සොල්දාදුවෙක්ව හිටිය කාලයේදී

[25වන පිටුවේ පින්තූරය]

එකැටරීනී සමඟ, 1966දී

[26වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1996දී මගේ පවුල (පිටුපසින්, වමේ සිට දකුණට): ග්‍රෙගරි, ක්‍රිස්ටොස් සහ ටූලා; (ඉදිරියෙන්) ලේක්ස්, එකැටරීනී සහ මම.