Skip to content

පටුනට යන්න

උඩඟුකමේ ප්‍රතිඵලය නින්දාවට පත්වීමයි

උඩඟුකමේ ප්‍රතිඵලය නින්දාවට පත්වීමයි

උඩඟුකමේ ප්‍රතිඵලය නින්දාවට පත්වීමයි

“උඩඟුකම හටගෙන තිබේද? එසේනම්, නින්දාව පැමිණෙයි. එහෙත් ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය.”—හිතෝපදේශ 11:2NW.

1, 2. උඩඟුකම යන්නෙහි අදහස කුමක්ද? එය විනාශයට හේතු වී තිබෙන්නේ කිනම් ආකාරවලින්ද?

 කුඩුකේඩු ලෙවීයෙක් යෙහෝවා විසින් බලතල පවරා දී තිබෙන පුද්ගලයන්ට එරෙහිව දියත් කරන කැරැල්ලක පෙරමුණේ සිටියි. කීර්තියට පත්වීමේ අභිලාෂයෙන් මත් වූ කුමාරයෙක් සිය පියාව රජකමෙන් පහ කර සිංහාසනාරූඪ වීමේ අරමුණින් කූට ලෙස කුමන්ත්‍රණයක් සැලසුම් කරයි. නොඉවසිලිමත් රජෙක් දෙවිගේ අනාගතවක්තෘවරයා දුන් පැහැදිලි උපදෙස් නොසලකා හරියි. මේ ඉශ්‍රායෙලිතයන් තිදෙනා තුළ පොදු ලක්ෂණයක් දකින්න තිබෙනවා. ඒ ලක්ෂණය උඩඟුකමයි.

2 පුද්ගලයෙකුගේ හදවතින් හටගන්න ගුණාංගයක් වන උඩඟුකම සෑමකෙනාටම බරපතළ හානි පමුණුවයි. (ගීතාවලිය 19:13, නව අනුවාදය) උඩඟු පුද්ගලයෙක් කිසිම බියක් සැකක් නැතුව තමන්ට අයිති නැති දේවල් තමාට හිතෙන විදිහට කරයි. බොහෝ අවස්ථාවලදී මෙය විනාශයට මඟ පාදයි. එමෙන්ම රජවරුන්ගේ විනාශයටත් අධිරාජ්‍යයන්හි බිඳවැටීමටත් මෙම උඩඟුකම මුල් වී තිබෙනවා. (යෙරෙමියා 50:29, 31, 32; දානියෙල් 5:20) ඇතැම් අවස්ථාවලදී යෙහෝවාගේ සමහර සේවකයන් පවා උඩඟුකමේ මලපතට හසු වී, විනාශකාරි ප්‍රතිඵල අද්දැක තිබෙනවා.

3. උඩඟුකම හා බැඳි අනතුරු ගැන අපට ඉගෙනගත හැක්කේ කෙසේද?

3 උඩඟුකම හටගෙන තිබේද? එසේනම්, නින්දාව පැමිණෙයි. එහෙත් ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය” කියා බයිබලය පවසන්නේ හොඳ හේතු ඇතුවයි. (හිතෝපදේශ 11:2) මෙම හිතෝපදේශයේ ගැබ්ව ඇති සත්‍යතාව තහවුරු කරන ආදර්ශ බයිබලයේ සඳහන් වෙනවා. එම ආදර්ශවලින් කිහිපයක් පරීක්ෂා කර බැලීමෙන් තමන්ගේ සීමාවන් අභිභවා කටයුතු කරන්න යෑමේ තිබෙන අන්තරාව අපට තේරුම්ගත හැකියි. කුඩුකේඩුකම, කීර්තිය ලබාගැනීමේ අභිලාෂය හා නොඉවසිලිමත්කම නිසා මුල් ඡේදයේ සඳහන් කළ පුරුෂයන් තිදෙනා නින්දාවට පත් වූ ආකාරය ගැන අපි දැන් සලකා බලමු.

කෝරා—කුඩුකේඩුකමින් මත් වූ කැරලිකරුවෙක්

4. (අ) කෝරා කියන්නේ කවුද? ඔහු පංගුකාරයෙක් වූයේ කිනම් ඓතිහාසික සිද්ධීන්වලටද? (ආ) පසුකාලයේදී කෝරා මිනිසුන්ව පෙලඹුවේ නින්දාවක් ගෙන දුන් කිනම් ක්‍රියාවකටද?

4 ලෙවී ගෝත්‍රයට අයත් කොහාතිවරයෙක් වූ කෝරා මෝසෙස්ගේ සහ ආරොන්ගේ කිට්ටුම නෑයෙක් වුණා. පෙනෙන විදිහට ඔහු දශක ගණනාවක් පුරා යෙහෝවාට පක්ෂපාතව සේවය කර තිබුණා. ආශ්චර්යවත් ලෙස රතු මුහුද හරහා ගමන් කරමින් ජීවිත බේරාගත් අය අතර සිටීමට කෝරාද වරම් ලැබුවා. එමෙන්ම සීනයි කන්දේදී වස්සෙකුගේ රූපයට නමස්කාර කළ අයට එරෙහිව යෙහෝවාගේ විනිශ්චය ක්‍රියාත්මක කිරීමේදී, ඔහුද එයට හවුල් වූ බව පෙනෙන්න තිබෙනවා. (නික්මයාම 32:26) කෙසේවෙතත් පසුකාලයේදී, රූබෙන්ගේ ගෝත්‍රයට අයත් දාතාන්, අබීරාම්, ඕන් හා ඉශ්‍රායෙල් අධිපතීන් 250දෙනෙකු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව දියත් කළ කැරැල්ල මෙහෙයවූයේ කෝරායි. a ඔවුන් මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව මෙසේ පැවසුවා. “නුඹලාගේ ලොකුකම් ඉතා වැඩිය. මක්නිසාද මුළු සභාවේ සියල්ලන් ශුද්ධව සිටිද්දීත්, [යෙහෝවාද] ඔවුන් අතරෙහි සිටිද්දීත්, නුඹලා [යෙහෝවාගේ] සභාවට ඉහළින් ලොකුකම් ගන්නේ මක්නිසාද?”—ගණන් කථාව 16:1-3.

5, 6. (අ) කෝරා මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව කැරලිගැසීමට පෙලඹුණේ ඇයි? (ආ) කෝරා දෙවිගේ විධිවිධානය තුළ ඔහුට හිමි වී තිබූ වරප්‍රසාද සුළු කොට සැලකුවා කියා කිව හැක්කේ ඇයි?

5 අවුරුදු ගණනාවක් පුරාම ඇදහිලිවන්තව සිටි කෝරා කැරලිගැසුවේ ඇයි? මෝසෙස් “පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක්” වූ නිසා, ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඔහුගේ නායකත්වය පීඩාකාරි එකක් නොවූ බවට සැකයක් නැත. (ගණන් කථාව 12:3) එහෙත් කෝරා මෝසෙස් සහ ආරොන් ගැන කුඩුකේඩුකමේ හැඟීම් ඇති කරගත් බව පෙනෙනවා. ඒ වගේම ඔවුන් මූලිකත්වය ගෙන කටයුතු කිරීම ඔහුට රිස්සුවේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් හැටියට, මෝසෙස් සහ ආරොන් ආත්මාර්ථකාමි චේතනාවකින් හිතුමතේට දේවල් කරමින් සභාවේ ලොකු තැන ගන්න උත්සාහ කරනවා කියා කිසිම පදනමක් නැතිව පවසන්න කෝරා පෙලඹුණා.—ගීතාවලිය 106:16.

6 කෝරාගේ ගැටලුවට බොහෝදුරට හේතු වුණේ දෙවිගේ විධිවිධානය තුළ තමන්ට ලැබී තිබුණු වරප්‍රසාද ඔහු අගය නොකිරීමයි. ලෙවී ගෝත්‍රයෙන් පැවතෙන කොහාත්ගේ පුත්‍රයන් පූජකයන් නොවුණත්, ඔවුන්ට දෙවිගේ ව්‍යවස්ථාව ඉගැන්වීමේ මහඟු වරප්‍රසාදය ලැබී තිබුණා. මණ්ඩපයට අයත්ව තිබූ භාණ්ඩ තැතින් තැනට ගෙන යද්දී, ඒවා රැගෙන ගියේ ඔවුන් විසිනුයි. මෙය වැදගත්කමින් අඩු කාර්යයක් වුණේ නැහැ. මන්ද ශුද්ධ භාණ්ඩ පරිහරණය කළ හැකි වුණේ ආගමික හා සදාචාරාත්මක වශයෙන් පවිත්‍රව සිටි අයට පමණයි. (යෙසායා 52:11) මේ නිසා, කෝරා තමන්ට අභියෝග කළ අවස්ථාවේදී මෝසෙස් ඔහුගෙන් මෙසේ ඇසුවා. පූජකතන්ත්‍රයෙත් සේවය කරන්න ඕනෑය කියා ඔබ කියන්නේ ඔබට දැන් ලැබී තිබෙන පැවරුම සුළු එකක්යයි සිතන නිසාද? (ගණන් කථාව 16:9, 10) උතුම්ම ගෞරවය ලබාගත හැකි වන්නේ, යෙහෝවාගේ විධිවිධානයට එකඟව ඇදහිලිවන්තව දිගටම ඔහුට සේවය කිරීමෙන් මිස, විශේෂ තනතුරු හෝ තත්වයන් ලබාගැනීමෙන් නොවේය යන කාරණය තේරුම්ගන්න කෝරා අසමත් වුණා.—ගීතාවලිය 84:10.

7. (අ) කෝරා සහ ඔහුගේ පැත්ත ගත් මිනිසුන් සමඟ මෝසෙස් කටයුතු කළේ කෙසේද? (ආ) කෝරා දියත් කළ කැරැල්ල අවසානයේදී විනාශයට මඟ පෑදුවේ කෙසේද?

7 පසුදා උදෑසනම ධූම භාජන හා සුවඳ ද්‍රව්‍ය රැගෙන සම්මුඛ වීමේ කූඩාරම අසලට පැමිණෙන්න කියා මෝසෙස් කෝරාට සහ ඔහුගේ මිනිසුන්ට ආරාධනා කළා. කෝරා සහ ඔහුගේ මිනිසුන් පූජකයන් නොවූ නිසා සුවඳ ද්‍රව්‍ය ඔප්පු කිරීම ඔවුන්ට කොහෙත්ම අයිති නැති දෙයක් වුණා. ඔවුන් ධූම භාජන හා සුවඳ ද්‍රව්‍ය රැගෙන පැමිණියහොත්, එයින් පෙන්වන්නේ පූජකයන් වශයෙන් සේවය කරන්න තමන්ටද අයිතියක් තිබෙනවා කියා ඔවුන් ඒ වන විටත් සිතමින් සිටි බවයි. මේ ගැන තීරණයක් ගැනීමට පෙර සිතා බලන්න ඔවුන්ට මුළු රාත්‍රියක්ම තිබුණා. පසුදා උදෑසන ඔවුන් පූජා ඔප්පු කරන්න සූදානම්ව පැමිණි අවස්ථාවේදී, ඔවුන්ට විරුද්ධව යෙහෝවාගේ උදහස ප්‍රකාශ වීම පුදුමයක් නොවෙයි. “පොළොව ඇගේ මුඛය ඇර [රූබන්ගේ පුත්‍රයන්ව ගිලගත්තේය].” කැරැල්ලට හවුල් වූ කෝරා ඇතුළු අනෙක් අයව ගින්නෙන් විනාශ වුණා. (ද්විතීය කථාව 11:6; ගණන් කථාව 16:16-35; 26:10) කෝරාගේ උඩඟුකමේ අවසන් ප්‍රතිඵලය වූයේ නින්දාවට පත්වීමයි. එනම් දෙවිගේ අප්‍රසාදයට ලක්වීමයි!

‘කුඩුකේඩුකමේ නැඹුරුවාවට’ එරෙහි වන්න

8. ක්‍රිස්තියානීන් අතර පවා “කුඩුකේඩුකමට නැඹුරුවාවක්” ඇති විය හැක්කේ කෙසේද?

8 කෝරා පිළිබඳ වාර්තාව අපිට අනතුරු ඇඟවීමක් සපයනවා. අසම්පූර්ණ මිනිසුන් තුළ “කුඩුකේඩුකමට නැඹුරුවාවක්” තිබෙන නිසා, ක්‍රිස්තියානි සභාවේ සිටින ඇතැම් අය තුළද මෙම අහිතකර ගති ලක්ෂණය පිළිබිඹු වන අවස්ථා දකින්න පුළුවන්. (යාකොබ් 4:5NW) උදාහරණයක් හැටියට, තනතුරුවලට දැඩි ඇල්මක් අපි තුළ තිබිය හැකියි. අනිත් අය භුක්ති විඳින වරප්‍රසාද ගැන කෝරා තුළ වගේ අපි තුළත් කුඩුකේඩුකමේ හැඟීම් ඇති වෙන්න පුළුවන්. නැත්නම් පළමු සියවසේ ක්‍රිස්තියානි සභාවේ සිටි දියොත්‍රෙපස් හා සමාන ගති ලක්ෂණ අප තුළත් වර්ධනය විය හැකියි. ඔහු ප්‍රේරිතවරුන්ගේ බලතල දැඩි ලෙස විවේචනයට ලක් කළා. ඔහු මෙසේ කළේ බලතල තමන් අතට ගැනීමට තිබූ බලවත් ආශාව නිසයි. දියොත්‍රෙපස් ‘ප්‍රධාන තැන ලබාගැනීමට කැමති’ පුද්ගලයෙකු බව යොහන් වාර්තා කළා.—3 යොහන් 9.

9. (අ) සභා වගකීම් සම්බන්ධයෙන් අප තුළ නොතිබිය යුතු ආකල්පය කුමක්ද? (ආ) දෙවිගේ විධිවිධානය තුළ අපිට හිමි තැන ගැන තිබිය යුතු නිවැරදි දෘෂ්ටිය කුමක්ද?

9 ක්‍රිස්තියානි පුරුෂයෙකු සභාවේ වගකීම් දැරීමේ අරමුණින් සුදුසුකම් අත් කරගැනීමට වෑයම් කිරීම වැරදි දෙයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එසේ කරන්න කියා පාවුල් අන් අයට දිරිගැන්වීම් පවා කළා. (1 තිමෝති 3:1) සේවා වරප්‍රසාද ලැබීම පෞද්ගලික දියුණුවක් අත් කරගැනීම අඟවන ඉනිමඟක නඟිනවා හා සමානයි කියා අපි කිසිවිටකත් නොසැලකිය යුතුයි. එමෙන්ම සේවා වරප්‍රසාද ලැබීමෙන් තමන් ගරු නම්බු ලබන නිලතල හොබවන බව සිතීමද වැරදි ආකල්පයක් වෙනවා. යේසුස් පැවසූ මේ වචන අමතක නොකරන්න. “නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය. නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය.” (මතෙව් 20:26, 27) එනිසා, දෙවිගේ සංවිධානය තුළ අපේ වැදගත්කම තීරණය වන්නේ අපේ “තත්වය” මතයි කියා වැරදි ලෙස සිතමින් වගකීම් දරන සහෝදරයන් කෙරෙහි කුඩුකේඩුකමේ හැඟීම් ඇති කරගැනීම වැරදියි. යේසුස් පැවසුවේ “නුඹලා සියල්ලෝම සහෝදරයෝය” කියායි. (මතෙව් 23:8) ප්‍රචාරකයෙකු හෝ පුරෝගාමියෙකු වුණත්, අලුතින් බව්තීස්ම වූ කෙනෙකු හෝ සෑහෙන කාලයක් පුරා අඛණ්ඩතාව රක්ෂා කරන්නෙකු වුණත්, යෙහෝවාට ප්‍රාණ පූර්ණව සේවය කරන හැමකෙනෙකුටම ඔහුගේ විධිවිධානය තුළ වැදගත් තැනක් හිමි වෙනවා. (ලූක් 10:27; 12:6, 7; ගලාති 3:28; හෙබ්‍රෙව් 6:10) “නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න” කියා බයිබලයේ සඳහන් උපදේශය අදාළ කරගන්න දැඩි වෑයමක් දරන දශලක්ෂ ගණනක් සමඟ උරෙන් උර ගැටී සේවය කරන්න ලැබීම ඇත්තෙන්ම අපට ලැබී තිබෙන ආශීර්වාදයක්.—1 පේතෘස් 5:5.

අබ්සලොම්—කීර්තියට පත්වීමේ අභිලාෂයෙන් යුත් අවස්ථාවාදියෙක්

10. අබ්සලොම් කියන්නේ කවුද? විනිශ්චය සඳහා රජු ළඟට පැමිණි අයගේ හොඳ හිත දිනාගැනීමට ඔහු වෑයම් කළේ කෙසේද?

10 දාවිත්ගේ තුන්වන පුතා වූ අබ්සලොම්ගෙන් අපිට කීර්තියට පත්වීමට තිබෙන අභිලාෂය සම්බන්ධයෙන් වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. කූට සැලසුම් යෙදීමට දක්ෂ වූ මෙම අවස්ථාවාදී පුද්ගලයා, රජු ලවා කාරණා විනිශ්චය කරගන්න පැමිණි අයට චාටු බස් දොඩා, ඔවුන්ව තමාගේ පැත්තට නම්මවාගැනීමට වෑයම් කළා. දාවිත් රජ ඔවුන්ගේ අවශ්‍යතා ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැති බව සෙනඟට පවසමින් ඔහු මුලින්ම කළේ රජුට වක්‍රාකාරව දොස් කීමයි. පසුව ඔහු එළිපිටම ඔහුගේ චේතනාව ඉටු කරගන්න කටයුතු කළා. ඔහු සෙනඟ වසඟ කරගන්නා ආකාරයෙන් මෙසේ පැවසුවා. “දේශයේ විනිශ්චයකාරයා කොට මා පත්කළොත් යහපත! එවිට නඩුවක් හෝ පැමිණිල්ලක් ඇති කවුරු නුමුත් මා වෙතට ආ කල්හි මම ඔහුට යුක්තිය කරන්නෙමි.” අබ්සලොම් ඔහුගේ අරමුණු ඉටු කරගන්න ඕනෑම දෙයක් කරන්න සූදානමින් සිටියා. “යමෙක් ඔහුට වඳින්ට ළංවූ කල ඔහු තමාගේ අත දිඟුකොට ඔහු අල්වා සිඹගත්තේය” කියා බයිබල් වාර්තාවේ සඳහන් වෙනවා. ‘විනිශ්චය පිණිස රජු ළඟට ආ සියලු ඉශ්‍රායෙල්වරුන්ට අබ්සලොම් මෙලෙස කටයුතු කළ’ බව එහි තවදුරටත් සඳහන් වෙනවා. එහි ප්‍රතිඵලය කුමක්ද? අබ්සලොම් “හොරෙන් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් දිනාගත්තේය.”—2 සාමුවෙල් 15:1-6.

11. දාවිත්ගෙන් රජකම පැහැරගැනීමට අබ්සලොම් වෑයම් කළේ කෙසේද?

11 තම පියාව රජකමෙන් පහ කරන්න අබ්සලොම් අදිටන් කරගත්තා. මේ සිද්ධිය සිදුවීමට අවුරුදු පහකට කලින් ඔහු දාවිත්ගේ වැඩිමල් පුත්‍රයා වූ අම්මොන්ව මරා දමා තිබුණා. පෙනෙන විදිහට ඔහුව මැරුවේ තමාගේ සහෝදරිය වූ තාමර්ව දූෂණය කළ නිසයි. (2 සාමුවෙල් 13:28, 29) කෙසේවෙතත්, අම්මොන්ව මැරුවොත් තමාට පහසුවෙන්ම රජකම ලබාගන්න පුළුවන් කියා අබ්සලොම් ඒ කාලෙත් කූට ලෙස සිතාගෙන ඉන්න ඇති. b අබ්සලොම් කෙසේ හෝ උත්සාහ කළේ කල දුටු කල වළ ඉහගන්නයි. තමා රජ බවට පත් වී සිටින බව දේශය පුරාම ඔහු නිර්භීතව ප්‍රචාරය කළා.—2 සාමුවෙල් 15:10.

12. අබ්සලොම්ගේ උඩඟු ක්‍රියාමාර්ගය ඔහුගේ නින්දාවට හේතු වූ ආකාරය පැහැදිලි කරන්න.

12 “කුමන්ත්‍රණය බලවත් වී සෙනඟ වඩ වඩා අබ්සලොම්ට එකතු” වූ නිසා යම් කලකට ඔහුගේ සැලසුම් සාර්ථක වුණා. මේ අවස්ථාවේදී තමාගේ ජීවිතය රැකගැනීම සඳහා දාවිත්ට පලායන්නත් සිදු වුණා. (2 සාමුවෙල් 15:12-17) කෙසේවෙතත් අබ්සලොම්ට වැඩි කල් සාර්ථක වෙන්න ලැබුණේ නැහැ. යෝවාබ් ඔහුව ඝාතනය කර, වළකට දමා, එය ගල්වලින් පිරෙව්වා. ටිකක් සිතා බලන්න, රජකම ලබාගෙන කීර්තියට පත්වීමේ මහත් අභිලාෂයෙන් සිටි මේ මිනිසාට අඩුම තරමින් ගෞරවනීය භූමදානයක්වත් ලැබුණේ නැහැ! c ඇත්තටම අබ්සලොම්ට අත් වූ නින්දාවට හේතුව වූයේ ඔහුගේම උඩඟුකමයි.—2 සාමුවෙල් 18:9-17.

කීර්තියට පත්වීමේ අභිලාෂය නැති කර දමන්න

13. ක්‍රිස්තියානියෙකුගේ හදවතෙහි කීර්තියට පත්වීමේ ආශාවක් මුල්බැස ගත හැක්කේ කෙසේද?

13 අබ්සලොම් බලය අල්ලාගත් ආකාරය හා පසුව ඔහු අද්දුටු විනාශකාරි ප්‍රතිවිපාක මගින් අපිට පාඩමක් ඉගෙනගත හැකියි. ප්‍රතිපත්තියක් නොමැති මිනිසුන්ගෙන් ගහන වූ මේ ලෝකයේ බොහෝදෙනෙක්, තමන්ට වඩා උසස් තනතුරු දරන අය ඉදිරියෙහි චාටු බස් දොඩවයි. බොහෝවිට මෙසේ කරන්නේ එම අයගේ හොඳ හිත දිනාගැනීමේ හෝ යම් වරප්‍රසාදයක් හෝ උසස් වීමක් ලබාගැනීමේ කූට චේතනාව ඇතුවයි. මෙවැනි අය නිතරම උත්සාහ කරන්නේ අනුන් ඉදිරියේ කැපීපෙනෙන්නයි. මේ අතර, ඔවුන් තමන් යටතේ සිටින අය ඉදිරියෙහි වහසි බස් දොඩමින් ඔවුන්ගේ හිත් දිනාගැනීමටද වෑයම් කළ හැකියි. අපි පරෙස්සම් වන්නේ නැත්නම්, අපි තුළත් කීර්තියට පත්වීමේ එවන් වැරදි ආශාවක් ඇති විය හැකියි. පළමු සියවසේ සිටි සමහරුන් අතරද මෙවැනි දේවල් සිදු වූ බව පෙනෙන්න තිබෙනවා. එසේ හැසිරුණු අයට විරුද්ධව දැඩි අනතුරු ඇඟවීම් කරන්න ප්‍රේරිතයන්ට සිදු වුණා.—ගලාති 4:17; 3 යොහන් 9, 10.

14. කීර්තියට පත්වීමේ හා තමාවම උසස් කරගැනීමේ ආකල්පයකින් අපි වැළකී සිටිය යුත්තේ ඇයි?

14 “තමුන්ගේම ගෞරවය [සොයන]” හා තමුන්ගේ උසස්කම කියා පාන අයට යෙහෝවාගේ සංවිධානය තුළ තැනක් නැහැ. (හිතෝපදේශ 25:27) “චාටු සහිත මුඛ සහ මහත් කාරණා කියන දිවද [යෙහෝවා කපාහරියි]” කියා බයිබලය අනතුරු අඟවනවා. (ගීතාවලිය 12:4) අබ්සලොම් චාටු බස්වලින් සෙනඟගේ සිත් තමන් වෙතට ඇදගන්න උත්සාහ කළා. එමෙන්ම ඔහු තමන්ට අවශ්‍ය වන අයගේ හොඳ හිත දිනාගැනීම සඳහා ඔවුන් සමඟ කතා කළේ ඉතා කපටි ලෙසයි. මේ හැම දෙයක්ම ඔහු කළේ කීර්තියට පත්වීමේ අභිලාෂය පෙරදැරි කරගෙනයි. මීට වෙනස්ව, පාවුල් දුන් මේ උපදේශය පිළිපදින සහෝදරයන් අතර අපට සිටින්න ලැබීම මොනතරම් ආශීර්වාදයක්ද! “පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.”—පිලිප්පි 2:3

සාවුල්—නොඉවසිලිමත් රජෙක්

15. සාවුල් කලක් නිහතමානි පුද්ගලයෙකුව සිටි බව පෙන්වන්නේ කුමකින්ද?

15 සාවුල් ඉශ්‍රායෙල්හි රජ වීමට කලින් නිහතමානි පුද්ගලයෙකුව සිටියා. ඔහුගේ යෞවන කාලයේදී සිදු වූ එක් දෙයක් සලකා බලන්න. දෙවිගේ අනාගතවක්තෘ සාමුවෙල් ඔහුව අගය කරමින් කතා කරද්දී, සාවුල් නිහතමානි ලෙස මෙසේ පැවසුවා. “මම ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක් ව තිබෙන බෙන්යමින් ගෝත්‍රයේ කෙනෙක් නොවම්ද? මාගේ පවුල වනාහි බෙන්යමින් ගෝත්‍රයේ සියලු පවුල්වලින් සුළු එක නොවේද? එසේ නම් ඔබ මෙයාකාර මට කථාකරන්නේ මක්නිසාද?”—1 සාමුවෙල් 9:21.

16. සාවුල් නොඉවසිලිමත් ස්වභාවයක් විදහාපෙන්වූයේ කෙසේද?

16 කෙසේවෙතත් කල් යත්ම සාවුල් තුළ මුලින් තිබූ නිහතමානිකම දකින්න ලැබුණේ නැහැ. පිලිස්තිවරුන් සමඟ කළ සටනේදී ඔහු ගිල්ගාල්ට පලාගියා. මෙහිදී ඔහුගෙන් බලාපොරොත්තු වුණේ, දෙවිට පූජා ඔප්පු කරමින් කන්නලව් කිරීම සඳහා සාමුවෙල් පැමිණෙන තෙක් බලා සිටීමයි. නියම කරගත් වේලාවට සාමුවෙල් නොපැමිණි නිසා, සාවුල් උඩඟු ලෙස දවන පූජාව ඔප්පු කළා. ඔහු පූජාව ඔප්පු කර අවසන් වෙනවාත් සමඟම සාමුවෙල් පැමිණියා. ‘නුඹ කළේ කුමක්ද’ කියා සාමුවෙල් ඇසුවා. සාවුල් ඊට උත්තර දෙමින් මෙසේ පැවසුවා. ‘සෙනඟ මා වෙතින් විසිර යන බවත්, නියම කළ දවස් ඇතුළතදී ඔබ නා බවත් දුටු බැවින් මම අකමැත්තෙන් වුවද දවන පූජාව ඔප්පු කළෙමි.’—1 සාමුවෙල් 13:8-12.

17. (අ) බැලූ බැල්මට නම්, සාවුල් කළ දෙය හරියි කියා පෙනී යා හැක්කේ ඇයි? (ආ) සාවුල් නොඉවසිලිමත්ව කළ දෙය යෙහෝවා හෙළා දැක්කේ ඇයි?

17 බැලූ බැල්මට නම් සාමුවෙල් කළ දෙයෙහි කිසි වරදක් නොපෙනිය හැකියි. මන්ද ඒ අවස්ථාවේදී දෙවිගේ සෙනඟ “අන්තරායට අසුවී, . . . පීඩිතව” හා භයෙන් වෙවුලමින් සිටි නිසා ඔවුන් සිටියේ කිසිවක් කර කියාගත නොහැකි තත්වයකයි. (1 සාමුවෙල් 13:6, 7) යම් අවස්ථාවකදී පැනනඟින තත්වයක් හේතුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබෙනවා නම්, එයට මුල පුරා එම ක්‍රියාමාර්ගය ගැනීම වැරදි දෙයක් නොවෙයි. d කෙසේවෙතත්, අපේ හදවත්වල තිබෙන දේවල් දැනගන්නත්, චේතනා තේරුම්ගන්නත් යෙහෝවාට තිබෙන හැකියාව අපි කිසිවිටෙක අමතක නොකළ යුතුයි. (1 සාමුවෙල් 16:7) එනිසා බයිබල් වාර්තාවේ සඳහන් කර නොමැති සමහර දේවල් පවා යෙහෝවා සාවුල් තුළ දකින්න ඇති. උදාහරණයක් හැටියට, සාවුල්ගේ නොඉවසිලිමත්කමට හේතුව උඩඟුකම බව ඔහු දකින්න ඇති. ඔහු සමහරවිට සාමුවෙල්ව නිසි වේලාවට දේවල් නොකරන වයසට ගිය අනාගතවක්තෘවරයෙකු ලෙස සැලකුවා විය හැකියි. එවැනි කෙනෙක් එන තෙක්, මුළු ඉශ්‍රායෙල් දේශයේම රජ වන තමාට බලා සිටින්න සිදුවීම නිසා සමහරවිට සාවුල්ට සෑහෙන්න කේන්ති යන්නත් ඇති. කොහොම වුණත්, සාමුවෙල්ගේ ප්‍රමාද වීම නිසා තමාට කලින් දී තිබූ පැහැදිලි උපදෙස් නොසලකා හරිමින් දේවල් තමන්ගේ අතට ගත්තාට කමක් නැහැ කියා සාවුල්ට හැඟුණා. එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? මෙහිදී සාවුල් කළ දෙය සාමුවෙල් පැසසුමට ලක් කළේ නැහැ. ඒ වෙනුවට සාමුවෙල් ඔහුට තරවටු කරමින් මෙසේ පැවසුවා. ‘යෙහෝවා නුඹට අණ කළ දෙය නුඹ රක්ෂා නොකළ නිසා නුඹේ රජකම පවතින්නේ නැත.’ (1 සාමුවෙල් 13:13, 14) මෙම සිද්ධියෙන්ද මනාව පැහැදිලි වන්නේ උඩඟුකමේ ප්‍රතිඵලය නින්දාවට පත්වීම බවයි.

නොඉවසිලිමත් ස්වභාවයට එරෙහි වන්න

18, 19. (අ) අදදින සිටින දෙවිගේ සේවකයෙකුට උඩඟු ලෙස කටයුතු කිරීමට නොඉවසිලිමත්භාවය හේතු විය හැකි ආකාරය විස්තර කරන්න. (ආ) ක්‍රිස්තියානි සභාවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අපි මතක තබාගත යුත්තේ කුමක්ද?

18 සාවුල් උඩඟු ලෙස කටයුතු කිරීම හා සම්බන්ධ සිද්ධිය දෙවිගේ වචනයේ වාර්තා කර තිබෙන්නේ අපේ ප්‍රයෝජනය සඳහායි. (1 කොරින්ති 10:11) අපේ සහෝදරයන්ගේ අසම්පූර්ණකම් දකින විට අපි තුළත් පහසුවෙන්ම කේන්තියක් ඇති විය හැකියි. දේවල් හරියට කරන්න නම්, ඒවා අපේම අතින් කෙරෙන්න ඕනෙ කියා සිතමින් සාවුල් වගේ අපිත් නොඉවසිලිමත්ව කටයුතු කළ හැකියි. උදාහරණයක් හැටියට, අනිත් අයට වඩා දේවල් හොඳින් සංවිධානය කිරීමේ හැකියාව සහෝදරයෙකුට තිබෙන බව සිතන්න. ඔහු වේලාවට වැඩ කරනවා. හැම දෙයක්ම සභා විධිවිධානයට අනුව නියමිත වේලාවට කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔහුට දක්ෂ ලෙස කතා කිරීමේ හා ඉගැන්වීමේ හැකියාවද තිබෙනවා. කෙසේවෙතත්, අනිත් අයට තමන් බලාපොරොත්තු වන ආකාරයටම දේවල් කරන්න බැරි බවත්, තමා තරම් පිළිවෙළකට වැඩක් කරන්න ඔවුන්ට බැරි බවත් ඔහු සිතනවා. මේ තත්වය ඔහුට නොඉවසිලිමත්ව කටයුතු කරන්න සාධාරණ හේතුවක් සපයයිද? මම නැත්නම් සභාවේ වැඩකටයුතු හරියට කෙරෙන්නේ නැහැ කියා හෝ සභාව දුර්වල වෙනවා කියා හෝ වක්‍රව පවසමින් තමන්ගේ සහෝදරයන්ව ඔහු විවේචනය කළ යුතුද? එසේ කරනවා නම්, ඔහු උඩඟු පුද්ගලයෙක්!

19 ඇත්තෙන්ම ක්‍රිස්තියානි සභාවක් හොඳින් සංවිධානය වී තිබෙන්නේ දේවල් දක්ෂ ලෙස මෙහෙයවීමේ හැකියාව නිසාද? කාර්යක්ෂමතාව නිසාද? පුළුල් දැනුමක් තිබෙන නිසාද? සභාවක කටයුතු හොඳින් කරගෙන යන්න මේ දේවල් ප්‍රයෝජනවත් බව ඇත්තයි. (1 කොරින්ති 14:40; පිලිප්පි 3:16; 2 පේතෘස් 3:18) කෙසේවෙතත්, යේසුස් පැවසුවේ තම අනුගාමිකයන්ව හඳුනාගැනීමේ මූලික ලක්ෂණය ප්‍රේමය බවයි. (යොහන් 13:35) ඒ නිසා, ප්‍රේමනීය වැඩිමහල්ලන් දේවල් පිළිවෙළක් ඇතුව කළත්, සභාව දැඩි පාලනයක් අවශ්‍ය කරන ව්‍යාපාරික ආයතනයක් ලෙස සලකන්නේ නැහැ. සභාව සකස් වී තිබෙන්නේ ප්‍රේමනීය සැලකිල්ල අවශ්‍ය කරන බැටළුවන්ගෙන් බව ඔවුන් තේරුම්ගෙන තිබෙනවා. (යෙසායා 32:1, 2; 40:11) උඩඟු ලෙස ඉහත සඳහන් කළ ආකාරයට කටයුතු කිරීම නොසලකා හැරීමේ ප්‍රතිඵලය මතභේද ඇතිවීමයි. ඊට වෙනස්ව දෙවි පෙන්වා ඇති ආකාරයට දේවල් කිරීමේ ප්‍රතිඵලය සාමයයි.—1 කොරින්ති 14:33; ගලාති 6:16.

20. ඊළඟ ලිපියේදී සලකා බලන්න යන්නේ මොනවාද?

20 කෝරා, අබ්සලොම් හා සාවුල් සම්බන්ධ බයිබල් වාර්තාව සලකා බැලීමෙන් පැහැදිලිව පෙනී යන්නේ හිතෝපදේශ 11:2හි සඳහන් වන්නාක් මෙන් උඩඟුකම නින්දාවට මඟ පාදන බවයි. කෙසේවෙතත්, එම බයිබල් වගන්තියේම තවදුරටත් මෙසේ සඳහන් වෙනවා. “ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය.” නිහතමානිකම කියන්නේ කුමක්ද? මේ ගුණාංගය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා බයිබලයේ සඳහන් කිනම් ආදර්ශ සලකා බැලීම අපිට උපකාරවත් වෙනවාද? අපිට නිහතමානිකම විදහාපෙන්විය හැක්කේ කෙසේද? මේ ප්‍රශ්න ඊළඟ ලිපියේදී සලකා බලන්න යනවා.

[පාදසටහන්වල]

a කෝරා විසින් කැරැල්ලට නම්මවාගත් අය, යාකොබ්ගේ කුලුඳුලා වූ රූබෙන්ගෙන් පැවතෙන්නන් වුණා. ලෙවී ගෝත්‍රයෙන් පැවතෙන මෝසෙස්ට ඔවුන්ව පාලනය කිරීමේ බලතල ලැබී තිබීම ඔවුන්ට නුරුස්සන්න ඇති.

b දාවිත්ගේ දෙවන පුත්‍රයා වූ කිලෙයාබ්ගේ උපතින් පසුව ඔහු ගැන සඳහන් වෙන්නේ නැහැ. ඇතැම්විට අබ්සලොම් කැරලිගැසීමට කලින්ම ඔහු මිය යන්නත් ඇති.

c බයිබල් කාලවලදී මිය ගිය තැනැත්තෙකුගේ භූමදාන කටයුතුවලට සෑහෙන වැදගත්කමක් හිමි වී තිබුණා. මේ නිසා, යම් කෙනෙකුගේ දේහය භූමදාන නොකළා නම්, එයින් අදහස් කළේ ඔහු දරුණු විනාශයකට ලක් වූ බව හෝ බෙහෙවින් දෙවිගේ අප්‍රසාදයට ලක් වූ බවයි.—යෙරෙමියා 25:32, 33.

d උදාහරණයක් හැටියට, වරක් ඉශ්‍රායෙලිතයන් දසදහස් ගණනක් වසංගතයෙන් මියයෑම නතර කිරීමේ අරමුණින් පීනෙහාස් විගස පියවර ගත්තා. එමෙන්ම දාවිත් එක් අවස්ථාවකදී කුසගින්නේ සිටි තමන්ගේ සේවකයන් සමඟ එක් වී ‘දෙවිගේ ගෘහයේ’ තිබූ පිදීමේ රොටි අනුභව කළා. උඩඟු ලෙස කටයුතු කළ බව පවසමින් මේ ක්‍රියාවල් දෙකින් එකක්වත් දෙවි හෙළා දැක්කේ නැහැ.—මතෙව් 12:2-4; ගණන් කථාව 25:7-9; 1 සාමුවෙල් 21:1-6.

ඔබට මතකද?

• උඩඟුකම කියන්නේ කුමක්ද?

• කෝරාට උඩඟු ලෙස කටයුතු කිරීමට කුඩුකේඩුකම බලපෑවේ කෙසේද?

• කීර්තියට පත්වීමේ අභිලාෂයෙන් යුත් අබ්සලොම් පිළිබඳ වාර්තාවෙන් අපිට කුමක් ඉගෙනගත හැකිද?

• සාවුල් තුළ තිබූ නොඉවසිලිමත් ස්වභාවයෙන් අපිට වැළකී සිටිය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

සාවුල් නොඉවසිලිමත් වී, උඩඟු ලෙස කටයුතු කළා