ඔවුන් දරු සුරතල් නොබලන්නේ ඇයි?
ඔවුන් දරු සුරතල් නොබලන්නේ ඇයි?
ඩෙල් සහ ෆොලා a නයිජීරියාවේ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ නේවාසිකව සේවය කරන විවාහක යුවළක්. ඔවුන් එහි ටික කලක් සේවය කරමින් සිටියදී ෆොලාගේ මව ඔවුන්ව මුණගැසීමට පැමිණියා. ඇය බොහෝ දුර කතරක් ගෙවාගෙන පැමිණියේ දිවා රෑ ඇයගේ හිතට වද දුන් ගැටලුවක් ගැන කතා කරන්නයි.
“ඔයාලා කොච්චර දේවල් මං වෙනුවෙන් කරනවාද? මාව බලන්න එනවා. මට තෑගි බෝග එවනවා. ඒත් මේවා දකිනකොට මට සන්තෝෂයක් වගේම දුකකුත් ඇති වෙනවා. මට හැමතිස්සෙම හිතෙන්නේ ඔයාලා වයසට ගියාම කවුද ඔයගොල්ලන්ව බලාගන්නේ කියලා. ඔයාලා බැඳලා දැන් අවුරුදු දෙකක් වෙනවා. බලන්න, තාම දරුවෙක් නෑ. බෙතෙල් සේවයෙන් අයින් වෙලා දරුවෙක් ගැන හිතුවොත් හොඳ නැද්ද?”
මව මෙලෙස කල්පනා කරන්න ඇති: ඩෙල් සහ ෆොලා බෙතෙල් නිවසේ සේවය කරල තියෙන කාලය දැන් හොඳටම ඇති. දැන් ඉතිං එයාලා, එයාලාගේ අනාගතය ගැන හිතන්න ඕනේ කාලේ ඇවිල්ලා. වෙන කෙනෙක්ට පුළුවන් එයාලාගේ වැඩ භාරගන්න. ඒ දෙන්නාට පූර්ණ කාලීන සේවය අත්හරින්නේ නැතුව, දරු මල්ලෙක් එහෙම හදාගෙන දෙමාපියන් වීමේ ප්‍රීතිය භුක්ති විඳින්න ඉඩ සලස්වන වෙන සේවා වරප්‍රසාදයක් ගැන හිතන්නත් පුළුවන්.
මවගේ සැලකිල්ල
ඇත්තෙන්ම මවක් එසේ සැලකිලිමත් වීම සාමාන්‍ය දෙයක්. මන්ද දරුවන් බිහි කිරීම සෑම සංස්කෘතියකටම පොදු වූ දෙයක් වගේම දරුවෙක් බිහි කිරීමෙන් කියා නිම කළ නොහැකි ප්‍රීතියක් ගෙන දෙනවා. එතුළින් දෙමාපියන් තුළ බලාපොරොත්තු සහගත බවේ හැඟීමක් ජනිත කරනවා. බයිබලයේ පවසන්නේ, ‘දරුවෝ යෙහෝවා දෙන උරුමයක්’ බවයි. ඇත්තෙන්ම දරුවන් බිහි කිරීමේ හැකියාව අපගේ ප්‍රේමනීය මැවුම්කරුගෙන් ලද අගනා දීමනාවක්.—ගීතාවලිය 127:3.
බොහෝ සමාජ තුළ විවාහක අය විසින් දරුවන් බිහි කිරීම අනිවාර්යය දෙයක් ලෙස සලකනවා. එමනිසා බොහෝ විවාහක අයට සමාජයෙන් මේ සම්බන්ධයෙන් විශාල පීඩනයක් එල්ල වෙයි. උදාහරණයකට, නයිජීරියාවේ සාමාන්‍යයෙන් එක් කාන්තාවක් දරුවන් හයදෙනෙකු පමණ බිහි කරයි. එම රටේ විවාහ මංගල්‍ය උත්සවවලදී අලුත විවාහ වූ යුවළට සුභ පතන්නේ, “අපි බලාපොරොත්තු වෙනවා තව මාස නවයකින් දරු පැටියෙකුගේ කට හඬක් ඕගොල්ලන්ගේ ගෙදරින් ඇහෙයි කියලා.” ඒ වගේම මනමාලයාට සහ මනමාලිට පුංචි තොටිල්ලක් විවාහ තෑග්ගක් වශයෙන් ලැබෙන අවස්ථාද තිබෙනවා. මේ අතර නැන්දම්මා දිනදර්ශනයේ දින ගණින්නද පටන්ගනියි. අවුරුද්දක් ඇතුළත මනමාලි අම්මා කෙනෙක් වීමේ ලකුණු පහළ වුණේ නැත්නම් නැන්දම්මා කරදර වීමට පටන්ගන්න අතර ගැටලුව විසඳාගැනීමට යම් මඟක් තිබේදැයි සොයා බලයි.
යුවළක් විවාහ වෙන්නේ දරුවන් හැදීමට සහ පරම්පරාවේ නම ගෙනයෑමට කියා අද සිටින බොහෝ මව්වරුන් සිතනවා. ෆොලාට ඇගේ මව මෙසේ පැවසුවා. “ඔයා දරුවෝ හදන්න කැමති නැත්නම් ඇයි බැන්දේ? අපි ඔයාව මේ ලෝකයට බිහි කළා වගේ, ඔයත් දැන් දරුවෙක්ව බිහි කරන්නම ඕනේ.”
එම තර්කයට අමතරව සලකා බැලීමට තවත් ප්‍රයෝගික පැත්තකුත් තිබෙනවා. බොහෝ අප්‍රිකානු රටවල වැඩිහිටියන්ව රැකබලා ගැනීමට ආණ්ඩු මගින් දී ඇති පහසුකම් ඉතාමත් සීමිතයි. සාමාන්‍යයෙන් දරුවන්ව කුඩා කාලයේදී දෙමාපියන් විසින් රැකබලා ගත් ලෙසම දරුවනුත් තම දෙමාපියන් වයසට ගිය විට රැකබලා ගැනීම චාරිත්‍රානුකූල සිරිතයි. මේ නිසා ෆොලාගේ මවත් සිතන්න ඇති ඇගේ දරුවන්ට දරුවෝ නැති වුණොත් වයසට ගියදාක ඔවුන්ව බලාගැනීමට කිසිවෙක් නැති වෙනවා වගේම ඔවුන්ගේ මිනිය වළලන්නවත් කවුරුත් නැති වේවි කියා.
බොහෝ රටවල විශේෂයෙන්ම අප්‍රිකාවේ සිටින විවාහක යුවළකට දරුවන් නොසිටීම ශාපයක් ලෙස සලකනවා. ඇතැම් ප්‍රදේශවල විවාහයට පෙරම දරුවන් බිහි කිරීමට ඇති තම හැකියාව පෙන්වීම ස්ත්‍රීන්ගෙන්
අපේක්ෂා කරනවා. මේ නිසා බොහෝ ස්ත්‍රීන් දරුවෙක් පිළිසිඳ නොගත් විට ඒ සඳහා ඉක්මනින්ම ප්‍රතිකාර ලබාගනියි.මෙවැනි අදහස් සමාජය පුරාම පැතිර ඇති නිසා, විවාහක යුවළක් තම අවශ්‍යතාව මත දරුවන් බිහි කිරීමෙන් වැළකී සිටින විටදී පවා, ඔවුන්ව තම ජීවිතයේ ලැබිය හැකි ඉතා වටිනා දෙයක් මඟහරින අය ලෙස හංවඩු ගසයි. තවද ඔවුන්ව අනුවණ ලෙස ක්‍රියා කරන සහ ඉදිරියේදී අනිවාර්යයෙන්ම පසුතැවෙන්න සිදු වන අය ලෙස සලකයි.
ප්‍රීතියක් මෙන්ම වගකීමක්
දරුවන්ව ඇති දැඩි කිරීම ප්‍රීතියක් මෙන්ම වගකීමක් බව යෙහෝවාගේ සෙනඟ දැනටමත් හොඳින් වටහාගෙන තිබෙනවා. බයිබලයේ 1 තිමෝති 5:8හි මෙසේ පවසයි. “යමෙක් තමාගේ අය, ප්‍රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය.”
දෙමාපියන් තම පවුල්වලට අවශ්‍ය ද්‍රව්‍යමය දේවල් මෙන්ම ආත්මික දේවල්ද නිරතුරුවම සපයා දිය යුතුයි. ඇත්තෙන්ම මේ සඳහා ඔවුන්ට කාලය සහ වෑයම අවශ්‍යයි. දරුවෝ දෙවිගෙන් ලැබෙන උරුමයක් නම් දෙවි ඔවුන්ට අවශ්‍ය දේ සපයමින් ඔවුන්ව බලාගනීවි යන පටු ආකල්පයක් ඔවුන් තුළ නෑ. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව නිසියාකාරයෙන් දරුවන්ගේ වගකීම් ඉසිලීම දෙවි විසින් තමන්ට පවරා තිබෙන බැරෑරුම් වගකීමක් කියා දෙමාපියන් හොඳින් වටහාගෙන සිටිනවා. එම වගකීම වෙන කෙනෙක් මත කිසිදිනෙක පැටවිය නොහැකියි.—ද්විතීය කථාව 6:6, 7.
විශේෂයෙන්ම මෙම “අන්තිම දවස්වල” “කටයුතු කිරීමට අසීරු තීරණාත්මක කාලවල්” ඇති නිසා දරුවන්ව ඇති දැඩි කිරීමේ වැඩය ඉතාමත් දුෂ්කරයි. (2 තිමෝති 3:1-5, NW) දිනෙන් දින ඉහළ නඟින ආර්ථික දුෂ්කරතාවලට අමතරව සමාජය තුළ දක්නට ඇති අභක්තිකකමද දරුවන්ව ඇති දැඩි කිරීමේ අභියෝගයට හේතු වෙයි. කෙසේ නමුත්, ලොව වටා ගණන් කළ නොහැකි විවාහක යුවළයන් රැසක් මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් “යෙහෝවාගේ හික්මවීමෙන්ද මානසික ශික්ෂණයෙන්ද” දරුවන්ව ඇති දැඩි කරයි. (එපීස 6:4, NW) ඇත්තෙන්ම දෙමාපියන් ගන්නා මෙම වෑයමට යෙහෝවාගේ ආශීර්වාද නිසැකවම ලැබෙනවා.
සමහරුන් දරුවන් නොමැතිව සිටින්නේ ඇයි?
ක්‍රිස්තියානි යුවළයන් බොහොමයකට දරුවන් නැත. සමහරක් අය වඳව සිටියත් ඔවුන් පිට දරුවෙකුව දරුකමට හෝ හදා නොගනියි. තවත් සමහරුන්ට දරුවන් බිහි කිරීමේ හැකියාව තිබුණත් ඔවුන් දරුවන් බිහි නොකර සිටීමට තීරණය කර තිබෙනවා. ඔවුන් එසේ තීරණය කර තිබෙන්නේ වගකීම් මඟහැරීමට හෝ දෙමාපියෙකු වීමේ අභියෝගයට මුහුණ දීමට ඇති බිය නිසා නොවෙයි. ඒ වෙනුවට ඔවුන් පූර්ණ කාලීන දේවසේවයේ විවිධ අංගයන්වල තම කාලය හා ශක්තිය මුළුමනින්ම වැය කිරීමට තීරණය කර ඇති නිසා දරුවන් ඇති දැඩි නොකර සිටිනවා. මෙසේ සමහර අය මිෂනාරිවරුන් ලෙසද වෙනත් අය සංචාරක සේවයේ හෝ බෙතෙල් නිවෙස්වලද යෙහෝවාට සේවය කරමින් සිටිනවා.
ඔවුන් අනෙක් සියලුම ක්‍රිස්තියානීන් මෙන් හදිසිතාවේ හැඟීමකින් යුතුව කිරීමට යම් වැඩක් තමන්ටත් ඇති බව වටහාගෙන සිටිනවා. යේසුස් මෙසේ පැවසුවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” මෙම වැඩය අදදින සීඝ්‍රයෙන් සිදු වෙමින් පවතිනවා. ඇත්තෙන්ම මෙය ඉතාමත් වැදගත් වැඩයකි. මන්ද “අන්තිමය” පැමිණෙන විට ශුභාරංචියට ප්‍රතිචාරයක් නොදක්වා තිබෙන අයව විනාශ වන නිසයි.—මතෙව් 24:14; 2 තෙසලෝනික 1:6-8.
අපේ කාලය, නෝවා සහ ඔහුගේ පවුල ජලගැල්මෙන් ආරක්ෂා වීම සඳහා විශාල නැවක් තැනූ කාලයට බොහෝ සෙයින් සමාන කළ හැකියි. (උත්පත්ති 6:13-16; මතෙව් 24:37) ඒ කාලය වන විට නෝවාගේ පුතුන් තිදෙනා විවාහ වී සිටියත්, ජලගැල්ම අවසන් වන තුරු ඔවුන් දරුවන් බිහි කළේ නෑ. සමහරවිට මෙයට එක් හේතුවක් වන්න ඇත්තේ, තමන්ගේ සම්පූර්ණ අවධානය සහ ශක්තිය යෙහෝවා දුන් අතිවැදගත් වැඩයට කැප කිරීමට ඔවුන්ට වුවමනා වූ නිසා විය හැකියි. එමෙන්ම ඔවුන් දරුවෙකුව බිහි නොකිරීමට එදා ලෝකයේ පැවති අශීලාචාර සහ සාහසික තත්වයද හේතුවක් වන්න ඇති. “මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම [තිබුණා]” කියා බයිබලයෙහි එම කාලය විස්තර කර ඇත.—උත්පත්ති 6:5.
අදදින, විවාහක යුවළයන් දරුවන් බිහි කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි කියා මෙයින් කිසි සේත් අදහස් කරන්නේ නෑ. නමුත් බොහෝ ක්‍රිස්තියානි යුවළයන් දරුවන් බිහි කිරීමෙන් වැළකී සිටින්නේ, යෙහෝවා තමන්ගේ සෙනඟට දී ඇති වැඩයෙහි හදිසිතාවේ හැඟීමකින් යුතුව පූර්ණ ලෙස හවුල් වීමටයි. සමහර යුවළයන් ටික කාලයක් යන තුරු දරුවන් නොහදා සිටියි. ඇතැම් අය දිගටම දරුවන් නොමැතිව සිටින අතර ඉදිරියේදී පැම්ණෙන යෙහෝවාගේ ධර්මිෂ්ඨ නව පොළොවෙහිදී දරුවන් බිහි කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය අනුවණකමක් කියා ඔබට සිතෙනවාද? නැතිනම් ඔවුන්ට ජීවිතයෙන් යමක් අහිමි වී ඇති බව ඔබට හැඟෙනවාද? ඇත්තෙන්ම ඔවුන්ට අප අනුකම්පා කළ යුතුද?
සුරක්ෂිත සහ ප්‍රීතිමත් ජීවිත
කලින් සඳහන් කළ ඩෙල් සහ ෆොලා විවාහ වී දැනට අවුරුදු දහයක් පමණ ගත වී ඇතත් දිගටම දරුවන් නොමැතිව සිටීමට ඔවුන් තීරණය කරලා තියෙනවා. “තවමත් අපේ නෑදෑයෝ දරුවෙක් හදන්න කියලා අපිට කරදර කරනවා” කියා ඩෙල් පවසයි. “එයාලට තියෙන එකම ප්‍රශ්නේ තමයි අපේ අනාගතය. අපි ගැන එයාලා දක්වන සැලකිල්ල අගය කරන ගමන්ම අපේ සේවයෙන් ලැබෙන සන්තෝෂය ගැනත් ඒගොල්ලන්ට නිතරම අපි උපායශීලිව කියනවා. ඒගොල්ලන් සුරක්ෂිතකම සම්බන්ධයෙන් අපෙන් අහනකොට, යෙහෝවා තමන්ට විශ්වාසවන්තව හා පක්ෂපාතව සිටින අයගේ සුභසාධනය ගැන හොඳින් සැලකිලිමත් වන ආකාරය අපි ඒ අයට පෙන්වා දෙනවා. තවදුරටත් දෙමාපියන් වයසට ගියාම දරුවන් දෙමාපියන්ව රැකබලා ගනියි කියලා ස්ථිර විශ්වාසයක් තියාගන්න බැරි බවත් අපි පැහැදිලි කරනවා. සමහර ළමයි තමන්ගේ දෙමාපියන්ව තුට්ටුවකටවත් ගණන් ගන්නේ නෑ. තවත් අයට දෙමාපියන්ට සලකන්න හැකියාවකුත් නෑ. දෙමාපියන්ට කලින් ළමයි මැරෙන වෙලාවලුත් තියෙනවා. ඇත්තටම අපිට අනාගතය ගැන ස්ථිර බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් යෙහෝවාට විතරමයි.”
ඩෙල් සහ ඔහු මෙන් කටයුතු කරන තවත් අය යෙහෝවා තමන්ගේ විශ්වාසවන්ත සේවකයන්ට දී ඇති මෙම පොරොන්දුව කෙරෙහි තම විශ්වාසය තබනවා. “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමි.” (හෙබ්‍රෙව් 13:5) එමෙන්ම “ගළවන්ට බැරි ලෙස [යෙහෝවාගේ] අත කොටවෙලාවත් නෑසෙන ලෙස [ඔහුගේ] කන බිහිරිවෙලාවත් නැත” යන වදන් කෙරෙහිද ඔවුන් විශ්වාසය තබයි.—යෙසායා 59:1.
යෙහෝවා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව රැකබලා ගෙන ඇති ආකාරය දෙස හොඳින් බැලීමෙනුත් විශ්වාසය තැබීමට මහත් දිරිගැන්වීමක් අපට ලබා දෙනවා. දාවිත් රජ මෙසේ ලිව්වා. “මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බව . . . නුදුටිමි.” මෙම දිරිගන්වන වදන් ගැන සිතන්න. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් කෙනෙකුව “අත්හරිනු” ලැබූ බව ඔබ දැක තිබෙනවාද?—ගීතාවලිය 37:25.
තම ජීවිතය යෙහෝවා සහ සෙසු ක්‍රිස්තියානින් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැප කර ඇති අය ඒ ගැන තෘප්තියක් අද්දකිනවා මිසක කිසිදා පසුතැවෙන්නේ නෑ. අවුරුදු 45ක් පුරා පූර්ණ කාලීන සේවයේ යෙදී, දැන් නයිජීරියාවේ සංචාරක අවේක්ෂකයෙක් ලෙස සේවය කරනු ලබන සහෝදර ඉරෝ උමා මෙසේ පැවසුවා. “අපිට දරුවෝ නැති එක ඇත්ත. නමුත් යෙහෝවා මෙතෙක් කල් අපිව ආත්මිකවත් ද්‍රව්‍යමවත් හොඳින් රැකබලා ගෙන තිබෙනවා. අපිට කිසිම දෙයකින් අඩුවක් වෙලා නෑ. අපි වයසට ගිය කාලෙකටත් ඔහු අපිව බලාගනියි කියලා අපිට විශ්වාසයි. ඇත්තටම පූර්ණ කාලීන සේවයේ යෙදුණු අවුරුදු කිහිපය තමයි අපේ ජීවිතේ ප්‍රීතිමත්ම කාලය කියලා අද්දැකීමෙන් අපිට කියන්න පුළුවන්. අපේ සහෝදරයන්ට සේවය කරන්න ලැබුණ එක ගැන අපි ඇත්තෙන්ම සන්තෝෂ වෙනවා. ඒ වගේම සහෝදරයොත් අපේ සේවය අගය කරනවා විතරක් නෙමෙයි අපිට උපකාරත් කරනවා.”
බොහෝ යුවළයන් තමන්ගේම දරුවන් නොවැදුවත් යෙහෝවාට නමස්කාර කරන ආත්මික දරුවන්, එනම් ගෝලයන් බිහි කර තිබෙනවා. ප්‍රේරිත යොහන් මතු සඳහන් දේ ලියද්දී ඔහු අවුරුදු සියයක් වයස්ගතව සිටියා. “මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන බව ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත.” (3 යොහන් 4) “සත්‍යතාවෙහි” හැසිරුණ යොහන්ගේ ‘දරුවෝ’ නම් ඔහු සත්‍යයට මඟ පෙන්වූ අයයි. ඔවුන් ඔහුට මහත් ප්‍රීතියක් ගෙන දුන්නා.
අදදිනත් බොහෝදෙනෙක් එම ප්‍රීතියම අද්දැක තිබෙනවා. නයිජීරියානු ජාතික බර්නීස් විවාහ වී දැනට අවුරුදු දහනවයක් ගත වී ඇතත් දරුවන් නොමැතිව සිටීමට ඔවුන්ගේම කැමැත්තෙන් තීරණය කර තිබෙනවා. ඇය පසුගිය අවුරුදු දහහතර පුරාම පුරෝගාමියෙක් ලෙස සේවය කර තිබෙනවා. දරුවෙකු බිහි කරන්න බැරි වයසට දැන් ඇය පැමිණ ඇතත්, තම ජීවිතයේ හොඳම කාලය ගෝලයන් සෑදීමේ වැඩයට කැප කිරීම ගැන ඇය කිසිවිටකවත් පසුතැවෙන්නේ නෑ. ඇය මෙසේ පැවසුවා. “මගේ ආත්මික දරුවන් වැඩෙනවා දකිද්දී මට හරිම සන්තෝෂයි. මම සත්‍යය ඉගෙනගන්න උපකාර කරපු අය මට පෙන්වන ලෙන්ගතුකම ගැන බලනකොට මට හිතෙන්නේ මගේම දරුවෝ හිටියත් මේ වගේ ලෙන්ගතුකමක් කවදාවත් පෙන්වන එකක් නැහැ කියලයි. එයාලා මට සලකන්නේ හරියට ඒගොල්ලන්ගෙම අම්මාට වගෙයි. හැම සතුටක් ගැන වගේම හැම ප්‍රශ්නයක් ගැනම ඒ අය මාත් එක්ක කතා කරනවා. මගෙන් උපදෙස් ලබාගන්නවා. ඒ වගේම එයාලා අපිට ලිපි එවනවා. අපි ඒ එක් එක්කෙනාව බලන්නත් යනවා.
“සමහර අය හිතන්නේ තමන්ටම කියලා දරුවෙක් නොහදා ඉන්න එක මහා ශාපයක් කියලා. එයාලා කියන්නේ කවදාහරි වයසට ගියාම අපිට ඒ ගැන දුක් වෙන්න වෙයිලු. ඒත් මට නම් එහෙම හිතෙන්නේ නෑ. මම දන්නවා යෙහෝවාට මුළු ආත්මයෙන්ම සේවය කරන තාක් කල් ඔහු මට ආශීර්වාද කරලා, මාව රැකබලා ගනියි කියලා. මම වයසට ගියදාක කවදාවත් ඔහු මාව අහක දාන්නේ නෑ.”
දෙවි විසින් අගය කරයි
දරුවන්ව බිහි කර පසුව ඔවුන්ට ‘සත්‍යයේ මාර්ගයේ’ යෑමට පුහුණු කර ඇති දෙමාපියන්ට ඒ ගැන ස්තුතිවන්ත විය හැකියි. මන්ද බයිබලයේ පවසන්නේ, “ධර්මිෂ්ඨයාගේ පියා ඉතා ප්‍රීතිමත්වන්නේය; බුද්ධිමත් හිතෝපදේශ 23:24, 25.
දරුවෙකු ජනිතකරන්නාද ඔහු නිසා ප්‍රීතිවන්නේය. නුඹේ පියාද මවුද සතුටුවෙත්වා, එසේය, නුඹ බිහිකළ තැනැත්තී ප්‍රීතිමත්වේවා” කියායි.—දරුවන් ලෝකයට බිහි කිරීමේ ප්‍රීතිය අද්දැක්කේ නැතත්, ඔවුන් වෙනත් මාර්ගවලින් බොහෝ ආශීර්වාද ලබා තිබෙනවා. මෙම යුවළයන්ගෙන් බොහෝදෙනෙක් රාජ්‍ය කටයුතු ව්‍යාප්ත කිරීමේදී ඉතා වටිනා මෙහෙවරක් ඉටු කරනවා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් රාජ්‍ය කටයුතු සඳහා ඉවහල් වන අද්දැකීම්, දැනුම සහ පුහුණුව අවුරුදු ගණනක් පුරා ලබාගෙන ඇති අතර මෙම සේවයේ පෙරමුණේ සිටිනවා.
රාජ්‍ය කටයුතු වෙනුවෙන් තම ජීවිතය කැප කිරීම නිසා දරුවන් නොමැතිව සිටියත් ඔවුන්ගේ කැප කිරීම් ඇත්තටම අගය කරන ප්‍රේමනීය ආත්මික පවුලක් ලබා දීමෙන් යෙහෝවා ඔවුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කර තිබෙනවා. යේසුස් පැවසූ මේ දේ ඔවුන්ගේ අද්දැකීම වී තිබෙනවා. “මා නිසාද ශුභාරංචිය නිසාද ගෙය හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මවු හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නුමුත්, දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද . . . අනාගත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය.”—මාර්ක් 10:29, 30.
යෙහෝවාට විශ්වාසවන්තව සිටින සියලුදෙනාවම ඔහුට ඉතා අනර්ඝයි! දරුවන් සිටින සහ නොසිටින සියලුම පක්ෂපාත අයට ප්‍රේරිත පාවුල් මෙම සහතිකය දෙයි. “නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් [දෙවිගේ] නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට [ඔහු] අධර්මිෂ්ඨ නැත.”—හෙබ්‍රෙව් 6:10.
[පාදසටහන]
a මෙහි සඳහන් නම් වෙනස් කර ඇත.
[23වන පිටුවේ පින්තූර]
දරුවන් නොමැති යුවළයන් ප්‍රේමනීය ආත්මික පවුලක් ඇතුව සිටීම මගින් ආශීර්වාද ලබා තිබෙනවා