Skip to content

පටුනට යන්න

“ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය”

“ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය”

“ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය”

‘නුඹේ දෙවි වෙත යටහත් [නිහතමානි, NW] ලෙස හැසිරීම මිස යෙහෝවා නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?’—මීකා 6:8.

1, 2. නිහතමානිකම කියන්නේ කුමක්ද? උඩඟුකම සහ නිහතමානිකම අතර තිබෙන වෙනස පැහැදිලි කරන්න.

 සුප්‍රසිද්ධ ප්‍රේරිතයෙක් මිනිසුන්ගේ අවධානය තමා වෙතටම ඇදගන්න උත්සාහ නොකරයි. ඉශ්‍රායෙල්හි ධෛර්ය සම්පන්න විනිසුරුවෙක් සිය පියාගේ පෙළපතේ කුඩාම තැනැත්තා ලෙස තමාව හඳුන්වා දෙයි. තම බලයට සීමාවක් තිබෙන බව මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මිනිසා පිළිගනියි. මේ මිනිසුන් තිදෙනා තුළම අපි දකින්නේ නිහතමානිකමයි.

2 නිහතමානිකම කියන්නේ උඩඟුකමේ විරුද්ධ දෙයයි. නිහතමානි තැනැත්තා තමාගේ හැකියාවන් හා තමන් සතු දේවල් ගැන පමණ දැන සිතන අතර, කිසි දිනෙක පුහුමාන්නයෙන් හිස උදුම්මවා නොගනියි. උඩඟු ලෙස පුරසාරම් දොඩමින් කීර්තියට පත්වීමේ අභිලාෂයෙන් කටයුතු කරනවා වෙනුවට, නිහතමානි පුද්ගලයා තමාට කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් මොනවාද කියා හොඳින් වටහාගනියි. මේ නිසා, මෙවැනි පුද්ගලයෙක් අනිත් අයගේ හැඟීම්වලට හා අදහස්වලට ගරු කරමින් නිසි සැලකිල්ල දක්වයි.

3. ප්‍රඥාව ‘නිහතමානි අය ළඟ තිබෙන්නේ’ කෙසේද?

3 “ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය” කියා බයිබලය පවසන්නේ හොඳ හේතු ඇතුවයි. (හිතෝපදේශ 11:2NW) නිහතමානි පුද්ගලයා දෙවි අනුමත කරන විදිහට ජීවත් වෙන නිසාත්, නින්දාවට මඟ පාදන උඩඟුකමේ ස්වභාවයෙන් වැළකී සිටීමට වෑයම් කරන නිසාත්, ඔහු නැණවත් කෙනෙක් කියා අපට පැවසිය හැකියි. (හිතෝපදේශ 8:13; 1 පේතෘස් 5:5) නිහතමානිකම, ප්‍රඥාවන්තම ක්‍රියාමාර්ගය වන බව දෙවිගේ සේවකයන් රැසකගේ අද්දැකීම්වලින් මනාව තහවුරු වෙනවා. මුල් ඡේදයේ සඳහන් කළ ආදර්ශ තුන අපි දැන් සලකා බලමු.

පාවුල්—‘සේවකයෙක්’ සහ ‘ගබඩාකාරයෙක්’

4. පාවුල් භුක්ති විඳි විශේෂ වරප්‍රසාද මොනවාද?

4 මුල් සියවසේ ක්‍රිස්තියානීන් අතර පාවුල් සුප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණා. ඔහු දේවසේවයේ නියැලී සිටි කාලය පුරාම මුහුදෙහි සහ ගොඩබිමෙහි සැතපුම් දහස්ගණනක් ගමන් කරමින් සභා ගණනාවක් පිහිටෙව්වා. ඒ විතරක් නොවෙයි, දර්ශන දැකීමට සැලැස්වීමෙන් හා අන්‍යභාෂාවලින් කතා කිරීමේ දීමනාව දීමෙන් යෙහෝවා පාවුල්ට තවත් ආශීර්වාද කළා. (1 කොරින්ති 14:18; 2 කොරින්ති 12:1-5) ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල අද ඇතුළත්ව තිබෙන ලිපි 14ක් ලිවීමටද පාවුල්ට දෙවිගේ ආනුභාවය ලැබුණා. සෙසු ප්‍රේරිතයන්ට වඩා පාවුල් බොහෝ වැඩ කළ බව කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්.—1 කොරින්ති 15:10.

5. පාවුල් තමා ගැන නිහතමානි ආකල්පයක් ඇතුව සිටි බව පෙන්වූයේ කෙසේද?

5 පාවුල් ක්‍රිස්තියානි සභාවේ ක්‍රියාකාරකම්වල මුල් තැන ගෙන කටයුතු කළ නිසා ඔහු හැමදෙනාගේම පාහේ අවධානය ලබාගනිමින්, ඔහුගේ බලතල අහංකාර විදිහට යොදවන්න ඇති කියා සමහරු සිතන්න පුළුවන්. නමුත් පාවුල් නිහතමානි පුද්ගලයෙක් වූ නිසා ඔහු කොහොමටවත් එලෙස කටයුතු කළේ නැහැ. ඔහු තමාවම හැඳින්වූයේ “ප්‍රේරිතයන්ගෙන් ඉතා කුඩා තැනැත්තා” ලෙසයි. ඔහු මෙසේද පැවසුවා. “මම [දෙවිගේ] සභාවට පීඩාකළ බැවින් ප්‍රේරිතයෙකැයි කියනු ලබන්ට නොවටිමි.” (1 කොරින්ති 15:9) කලින් ක්‍රිස්තියානීන්ට පීඩා කරන්නෙක්ව සිටි තමාට දෙවි සමඟ සම්බන්ධතාවක් ඇති කරගනිමින් විශේෂ සේවා වරප්‍රසාද භුක්ති විඳින්න හැකි වූයේ, දෙවිගේ ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව නිසාය යන කාරණය පාවුල් කවදාවත් අමතක කළේ නැහැ. (යොහන් 6:44; එපීස 2:8NW) මෙසේ දේවසේවයේදී ලබා තිබුණ විශේෂ සමර්ථකම් නිසා තමා අනිත් අයට වඩා උතුම් කෙනෙක් කියා ඔහු සිතුවේ නැහැ.—1 කොරින්ති 9:16.

6. පාවුල් කොරින්තිවරුන් සමඟ කටයුතු කිරීමේදී නිහතමානිකම පෙන්වූයේ කෙසේද?

6 පාවුල් කොරින්තිවරුන් සමඟ කටයුතු කළ ආකාරයෙන් ඔහුගේ නිහතමානිකම පැහැදිලිව දැකගත හැකි වුණා. පෙනෙන විදිහට, ඔවුන්ගෙන් සමහරෙක්, ඇතැම් අවේක්ෂකයන්ව ප්‍රධාන තැනක් හිමි වී තිබෙන අය හැටියට සිතමින්, ඔවුන් කෙරෙහි විශේෂ ඇල්මක් දැක්වුවා. අපොල්ලොස්ද කේපස්ද පාවුල්ද ඒ අවේක්ෂකයන් අතර සිටියා. (1 කොරින්ති 1:11-15) එහෙත් පාවුල් මෙහිදී තමාටම ප්‍රශංසාව ලබාගැනීම සඳහා කොරින්තිවරුන්ව පොලඹවාගැනීමට උත්සාහ කළේ නැහැ. එමෙන්ම ඔවුන් තමාව අගය කළත් ඔහු එයින් අයුතු ප්‍රයෝජන ගත්තේද නැහැ. ඔහු ඔවුන්ව බැහැදකින්න ගිය අවස්ථාවලදී ‘කතාවෙන් හා ප්‍රඥාවෙන් උතුම් කෙනෙක්’ ලෙස පෙනී සිටියේද නැහැ. ඒ වෙනුවට, පාවුල් තමා ගැනත් තමාගේ සහකාර දේවසේවකයන් ගැනත් මෙසේ පැවසුවා. “මනුෂ්‍යයෝ අප [ක්‍රිස්තුස්ගේ] සේවකයන් මෙන්ද [දෙවිගේ] රහස්වල ගබඩාකාරයන් මෙන්ද ගණන්ගනිත්වා.” a1 කොරින්ති 2:1-5; 4:1.

7. පාවුල් උපදෙස් දෙන විට පවා නිහතමානිකම විදහාපෙන්වූයේ කෙසේද?

7 දැඩි උපදෙස් හා මඟ පෙන්වීම් දීමට සිදු වූ අවස්ථාවලදීත් පාවුල් නිහතමානිකම විදහාපෙන්වුවා. ප්‍රේරිතයෙකු හැටියට ඔහු සතු වූ බලතල යොදා නොගෙන, ‘දෙවිගේ දයාව’ මෙන්ම ‘ප්‍රේමය පදනම් කොටගෙන’ ඔහු සෙසු ක්‍රිස්තියානීන්ව යටහත් ලෙස දිරිගැන්වුවා. (රෝම 12:1, 2, පිලෙමොන් 8, 9) පාවුල් එසේ කටයුතු කළේ ඇයි? එයට හේතුව වූයේ තම සහෝදරයන්ගේ ‘ඇදහිල්ල කෙරෙහි බලයපාන්නෙක්’ හැටියට නොව, නමුත් ඔවුන්ගේ ‘හවුල් සේවකයෙක්, [NW]’ ලෙස පාවුල් තමාවම සැලකීමයි. (2 කොරින්ති 1:24) මුල් සියවසේ ක්‍රිස්තියානි සභාවේ සිටි අය පාවුල්ට විශේෂ ඇල්මක් දැක්වූයේ ඔහු තුළ තිබූ නිහතමානිකම නිසා බවට කිසිම සැකයක් නැහැ.—ක්‍රියා 20:36-38.

අපේ වරප්‍රසාද කෙරෙහි නිහතමානි ආකල්පයක්

8, 9. (අ) අපි ගැන නිහතමානි ආකල්පයක් තබාගත යුත්තේ ඇයි? (ආ) වගකීම් උසුලන අයට නිහතමානිකම විදහාපෙන්විය හැක්කේ කෙසේද?

8 අදදින සිටින ක්‍රිස්තියානීන් සඳහා පාවුල් කදිම ආදර්ශයක් තැබුවා. අපිට විශ්වාසයෙන් යුතුව පවරා තිබෙන වගකීම් කුමක් වුණත්, අපි අනිත් අයට වඩා උසස් අය කියා කොහොමටවත් නොසිතිය යුතුයි. “කිසිත් නොවන කෙනෙක් තමා වැදගත් කෙනෙක්යයි සිතන්නේ නම්, ඔහු තමාම රවටාගනියි” කියා පාවුල් ලිව්වා. (ගලාති 6:3) එයට හේතුව කුමක්ද? “සියල්ලෝම පව්කොට [දෙවිගේ] මහිමයෙන් හීනව [සිටීමයි.]” (රෝම 3:23; 5:12, ඇල අකුරු අපේය.) අපි හැමකෙනෙක්ම ආදම්ගෙන් පාපය සහ මරණය උරුම කරගෙන සිටින බව කිසිවිටකත් අමතක නොකළ යුතුයි. විශේෂ වරප්‍රසාද දැරීම නිසා අපේ පහත් පව්කාර තත්වයෙන් උසස් තත්වයකට අපි පැමිණෙන්නේ නැහැ. (දේශනාකාරයා 9:2) පාවුල් සම්බන්ධයෙන් සැබෑ වූවාක් මෙන් මිනිසුන්ට දෙවි සමඟ සම්බන්ධතාවක් ඇති කරගෙන, ඇතැම් වරප්‍රසාද භුක්ති විඳීමට හැකි වී තිබෙන්නේ ඔහුගේ ලබන්න නොවටිනා තරම් වූ කරුණාව ඔවුන්ට ලැබී තිබීම නිසයි.—රෝම 3:12, 24.

9 මේ දෙය තේරුම්ගන්න නිහතමානි පුද්ගලයෙක් තමන් භුක්ති විඳින වරප්‍රසාද ගැන උදම් අනන්නේ නැහැ. එමෙන්ම ඔහුගේ සමර්ථකම් ගැන පාරට්ටු කරගන්නෙත් නැහැ. (1 කොරින්ති 4:7) යම් උපදෙසක් හෝ මඟ පෙන්වීමක් දෙන විට, ඔහු එය දෙනු ලබන්නේ හවුල් සේවකයෙකු ලෙස මිස ස්වාමියෙකු ලෙස නොවෙයි. විශේෂ කුසලතාවලින් පිරුණු අය, අනිත් අයගේ ප්‍රශංසාව තමාට ලබාගැනීමට උත්සාහ කිරීමත්, සෙසු ඇදහිලිවන්තයන් තමන්ව අගය කිරීමේදී එයින් අයුතු ප්‍රයෝජන ගන්න යෑමත් වැරදියි. (හිතෝපදේශ 25:27; මතෙව් 6:2-4) යම් දෙයක් සඳහා ප්‍රශංසාව ලබන්න වටිනවා නම්, එය ලබාගැනීම සඳහා අන් අයට කිසිදු බලපෑමක් නොකළ යුතුයි. එය පැමිණිය යුත්තේ ඔවුන්ගේ හදවත්වලින්මයි. අපිට අනිත් අයගෙන් ප්‍රශංසාව ලැබෙන විට, අපි ගැනම ඕනෑවට වඩා සිතන්න එය හේතුවක් කර නොගත යුතුයි.—හිතෝපදේශ 27:2; රෝම 12:3.

10. වැඩි වශයෙන් අවාධනයට ලක් නොවන ඇතැම් අය “ඇදහිල්ලෙහි ධනවත්” අය විය හැකි ආකාරය ගැන පැහැදිලි කරන්න.

10 යම් සැලකිය යුතු වගකීම් අපිට විශ්වාසයෙන් යුතුව භාර දී තිබෙන විට අපිටම අනිසි අවධානයක් ලබාගැනීමෙන් වැළකීමට අපිට උපකාර කරන්නේ නිහතමානිකමයි. එවිට සභාවේ වර්ධනයට එකම හේතුව අපේ හැකියාවන් හා අපි දරන වෑයම් බවට හැඟීමක් අනිත් අය තුළ ඇති කරන්න උත්සාහ කරන්නේ නැහැ. උදාහරණයක් හැටියට, දක්ෂ ලෙස ඉගැන්වීමේ හැකියාව අපිට තිබෙන්න පුළුවන්. (එපීස 4:11, 12) කෙසේවෙතත්, සභා රැස්වීමකින් ඉගෙනගන්නා වටිනා දේවලින් සමහරක් අප ඉගෙනගන්නේ, වේදිකාවෙන් ඉදිරිපත් කරන කතාවලින් පමණක්ම නොවන බව නිහතමානි පුද්ගලයන් හැටියට අපි සෑම කෙනෙක්ම පිළිගත යුතුයි. උදාහරණයක් හැටියට, තනි මාපියෙක් දරුවන් සමඟ නිතිපතා රාජ්‍ය ශාලාවට පැමිණෙනවා දකින විට ඇත්තෙන්ම ඔබව දිරිගැන්වෙන්නේ නැද්ද? සැමවිටම නොවටිනාබවේ හැඟීම්වලින් බරව සිටියත් රැස්වීම්වලට පැමිණෙන, ගැටලු ප්‍රශ්නවලින් මිරිකී සිටින කෙනෙකුව දකින විට හෝ පාසැලෙන් හෝ වෙනත් තැන්වලින් එල්ල වන නරක බලපෑම් මැද ආත්මික දියුණුව කරා ගමන් කරන යෞවනයෙකුව දකින විට ඔබ දිරිගැන්වෙන්නේ නැද්ද? (ගීතාවලිය 84:10) ඇතැම්විට මේ අය කාගෙවත් අවධානයට ලක් නොවෙන්න පුළුවන්. හුඟාක් වේලාවට මේ අය මුහුණ දෙන පරීක්ෂණ ගැන අනිත් අය දන්නේවත් නැහැ. ඒ වුණත්, සභාවේ කාගෙත් අවධානයට ලක් වෙන අය වගේම මොවුනුත් “ඇදහිල්ලෙහි ධනවත්” අය විය හැකියි. (යාකොබ් 2:5) අපි කුමන තත්වයක සිටියත්, අවසානයේදී යෙහෝවාගේ අනුමැතිය අපට හිමි වන්නේ ඇදහිලිවන්තකම නිසයි.—මතෙව් 10:22; 1 කොරින්ති 4:2.

ගිඩියොන්—සිය පියාගේ නිවසෙහි ‘කුඩාම තැනැත්තා’

11. දෙවිගේ දූතයා සමඟ කතා කරද්දී ගිඩියොන් නිහතමානිකම විදහාපෙන්වූයේ කෙසේද?

11 මනස්සේගේ ගෝත්‍රයෙන් පැමිණෙන ශක්ති සම්පන්න තරුණයෙක්ව සිටි ගිඩියොන් ජීවත් වූයේ ඉශ්‍රායෙල් ඉතිහාසයේ බොහෝ කැලඹිලි සහිත කාලයකයි. මේ වෙද්දී මිදියන්වරුන්ගේ හිංසාකාරි පාලනය යටතේ දෙවිගේ සෙනඟ අවුරුදු හතක් තිස්සේ දුක් විඳ තිබුණා. කෙසේවෙතත්, යෙහෝවාට තම සෙනඟව ගළවාගැනීමට නියමිත කාලය පැමිණ තිබුණා. දේවදූතයෙක් ගිඩියොන් ඉදිරියෙහි පෙනී සිට මෙසේ පැවසුවා. ‘ධෛර්යමත් බලවත් මනුෂ්‍යය, යෙහෝවා නුඹ සමඟ සිටියි.’ ගිඩියොන් නිහතමානි පුද්ගලයෙක් වූ නිසා බලාපොරොත්තු නොවුණු විදිහට තමාව ප්‍රශංසාවට ලක් කිරීම ගැන ඔහු උද්දාමයට පත් වුණේ නැහැ. ඒ වෙනුවට, ඔහු ගෞරවාන්විත ලෙස දේවදූතයාට මෙසේ පැවසුවා. “මාගේ ස්වාමිනි, මට සමාවන්න, යෙහෝවා අපි සමඟ සිටිනවා නම් මේ සියල්ල මේ ආකාරයෙන් අපට සිද්ධ වී ඇත්තේ මන්ද?” දේවදූතයා කරුණු පැහැදිලි කර දෙමින් ගිඩියොන්ට මෙසේ පැවසුවා. “නිසැකවම, නුඹ මිදියන්වරුන් අතින් ඉශ්‍රායෙල් ගළවාගන්නේය.” ගිඩියොන් එයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? ජාතියේ වීරයා වීමට තමන්ට ලැබුණු කදිම අවස්ථාවක් හැටියට සලකා තමාට දුන් පැවරුම ඔහු විගස භාරගන්න ගියේ නැහැ. ඒ වෙනුවට ගිඩියොන් මෙසේ උත්තර දුන්නා. “මට සමාවෙන්න යෙහෝවා, මම ඉශ්‍රායෙල් ගළවාගන්නේ කුමකින්ද? මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලක්ය, මමද මාගේ පියාගේ නිවසෙහි කුඩාම තැනැත්තා වෙමි.” ඔහුට තිබුණේ මොනතරම් නිහතමානි ආකල්පයක්ද!—විනිශ්චයකාරයා 6:11-15NW.

12. ගිඩියොන් ඔහුට පැවරූ වැඩය නැණවත් ලෙස ඉටු කළේ කෙසේද?

12 ගිඩියොන්ව සටනට යවන්න කලින් යෙහෝවා ඔහුව පරීක්ෂණයකට ලක් කළා. කෙසේද? ඔහුගේ පියාට අයිතිව තිබූ බාල්ගේ පූජාසනය සහ පරිශුද්ධ ලෙස සැලකූ කණු කඩා දමන්න කියා යෙහෝවා ගිඩියොන්ට පැවසුවා. ඇත්තෙන්ම ඔහුට පැවරූ මේ වැඩය කරන්න ධෛර්යය අවශ්‍ය වුණා. ගිඩියොන් ඒ වැඩය කළ ආකාරයෙන් ඔහුගේ නිහතමානිකම මෙන්ම නැණවත්කම මැනවින් පෙනෙනවා. හැමකෙනාටම පෙනෙන විදිහට එය කරනවා වෙනුවට ගිඩියොන් ඒ දේ කළේ වැඩිදෙනෙකුට දැකිය නොහැකි වන ලෙස රාත්‍රි කාලයේදීයි. ඒ විතරක් නොවෙයි, ගිඩියොන් ඔහුට පැවරූ වැඩය කළේ ඉතා කල්පනාකාරිවයි. මෙහිදී ඔහු සේවකයන් දසදෙනෙකුව මෙම වැඩයට හවුල් කරවාගත්තා. ඇතැම්විට මෙසේ කළේ ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ උපකාරය ඇතුව පූජාසනය හා පරිශුද්ධ කණු විනාශ කරමින් සිටියදී ඉතිරි අය විසින් ඔවුන්ට ආරක්ෂාව සපයා දීම සඳහා විය හැකියි. b ගිඩියොන් මේ වැඩය කළ ආකාරය කුමක් වුණත්, ඔහුට පැවරූ වැඩය ඉටු කරද්දී යෙහෝවාගේ ආශීර්වාද හිමි වුණා. පසුව මිදියන්වරුන්ගෙන් ඉශ්‍රායෙල්වරුන්ව මුදවාගැනීමට දෙවි ඔහුව යොදාගත්තා.—විනිශ්චයකාරයා 6:25-27.

නිහතමානිව හා නැණවත්ව ක්‍රියා කිරීම

13, 14. (අ) අපිට යම් සේවා වරප්‍රසාදයක් ලැබුණු විට නිහමානිකම විදහාපෙන්විය හැක්කේ කෙසේද? (ආ) සහෝදර ඒ. එච්. මැක්මිලන් නිහතමානිකම සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබුවේ කෙසේද?

13 ගිඩියොන් විදහාපෙන්වූ නිහතමානිකමෙන් අපිට ඉගෙනගත හැකි දේවල් බොහොමයක් තිබෙනවා. උදාහරණයක් හැටියට, සේවා වරප්‍රසාදයක් ලැබුණු විට අපි එය සලකන්නේ කෙසේද? අපි මුලින්ම කල්පනා කරන්නේ අපට එයින් හිමි වන තත්වය ගැන හෝ ගරු නම්බුව ගැනද? එහෙම නැත්නම් අපිට ලැබී තිබෙන පැවරුමට අයත් වන දේවල් ඉටු කරන්න පුළුවන්ද කියා අපි නිහතමානිව හා යාච්ඤාපූර්වකව සිතා බලනවාද? වර්ෂ 1966දී සිය භූමික ජීවිතයෙන් සමුගත් සහෝදර ඒ. එච්. මැක්මිලන් මේ සම්බන්ධයෙන් කදිම ආදර්ශයක් තැබුවා. තමන් නැති අවස්ථාවලදී වැඩකටයුතු මෙහෙයවීම සඳහා පත් කිරීමට සුදුසුම පුද්ගලයා කවුරුන් විය හැකිද කියා වොච් ටවර් සමිතියේ පළමු සභාපති වූ සී. ටී. රසල් සහෝදර මැක්මිලන්ගෙන් ඇසුවා. ඒ අවස්ථාවේ පැවැත්වූ සාකච්ඡාවේදී සුදුසුම කෙනා තමන් බව නිර්දේශ කරගන්න සහෝදර මැක්මිලන් කිසි සේත් උත්සාහ කළේ නැහැ. ඔහුට වුවමනාවක් තිබුණා නම් පහසුවෙන්ම එය කරගන්න තිබුණා. මේ පැවරුම භාරගැනීම ගැන කල්පනා කර බලන්න කියා එම සාකච්ඡාව අවසානයේදී සහෝදර රසල් සහෝදර මැක්මිලන්ට පැවසුවා. අවුරුදු කිහිපයකට පසු සහෝදර මැක්මිලන් මෙසේ ලිව්වා. “ඒ වෙලාවේ මම පුදුම වුණා. ඔහුට උපකාර කිරීම සඳහා මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න මම සූදානම් කියා කියන්න කලින්, මම ඒ ගැන සෑහෙන්න වෙලා කල්පනා කළා. ඒ වගේම හුඟාක් යාච්ඤා කළා.”

14 මෙය සිදු වී වැඩි කල් යන්න කලින් සහෝදර රසල් මියගියා. මේ නිසා වොච් ටවර් සමිතියේ සභාපති ලෙස කෙනෙකුව පත් කරගන්න අවශ්‍ය වුණා. සහෝදර රසල් ඔහුගේ අවසන් දේශනා සංචාරයේ යෙදී සිටි කාලයේදී වැඩකටයුතු භාරව සිටියේ සහෝදර මැක්මිලන් නිසා, එක් සහෝදරයෙක් ඔහුට මෙසේ පැවසුවා. “මැක්, දැන් තමයි නියම වෙලාව ඔයාට සමිතියේ සභාපති වෙන්න. සහෝදර රසල් නැති වෙලාවට එයාගේ වැඩකටයුතු භාරව හිටියේ ඔයයි. එයා අපි හැමෝටම කියල තිබුණේ ඔයා කියන විදිහට දේවල් කරන්න කියලයි. එයා දැන් අපෙන් සමුගෙන තියෙන හින්දා මේ වැඩේට හොඳම කෙනා ඔයා තමයි.” සහෝදර මැක්මිලන් ඒ සහෝදරයාට මෙසේ පැවසුවා. “සහෝදරයා, මේ කාරණය දිහා බලන්න ඕනෙ ඔය විදිහට නෙමෙයි. මේ වැඩය ස්වාමීන්ගේ වැඩක්. ඒ නිසා ස්වාමීන්ගේ සංවිධානයේ අපිට හිමි වෙන්නේ අපිට සුදුසුයි කියා ස්වාමීන් සිතන පැවරුමයි. මේ වැඩයට සුදුසුම කෙනා මම නෙමෙයි කියලා නම් මම හොඳටම දන්නවා.” පසුව, සමිතියේ සභාපතිකම සඳහා සහෝදර මැක්මිලන් වෙනත් කෙනෙකුගේ නම යෝජනා කළා. මේ කාරණයේදී ගිඩියොන් වගේ තමා ගැන නිහතමානි ආකල්පයක් ඔහුට තිබුණා. අපි හැමකෙනෙක්ම වර්ධනය කරගත යුතු ආකල්පයත් එයයි.

15. අපි අනිත් අයට දේශනා කරන විට නැණවත් ලෙස කටයුතු කළ හැකි ප්‍රායෝගික පැති සමහරක් මොනවාද?

15 අපිට ලැබී තිබෙන පැවරුම් ඉටු කරන ආකාරයෙන් අපිත් නිහතමානිකම විදහාපෙන්විය යුතුයි. ගිඩියොන් නැණවත්ව කටයුතු කළ අතර, අනවශ්‍ය විදිහට ඔහුගේ විරුද්ධවාදීන්ව කෝපයට පත් කරන්න ගියේ නැහැ. මේ හා සමානව, දේවසේවයේදී අන් අය සමඟ කතා කරන ආකාරයෙන් අපේ නිහතමානිකම හා නැණවත්කම පිළිබිඹු කළ යුතුයි. “බලකොටු [වැනි දේවල්]” හා “තර්ක, [NW]” බිඳහෙළන ආත්මික යුද්ධයක අපි නිරත වී සිටින බව ඇත්තයි. (2 කොරින්ති 10:4, 5) එහෙත් අපි අනිත් අයව කිසි සේත් සුළු කොට නොසැලකිය යුතුයි. අපේ පණිවිඩය දෝෂාරෝපණයට ලක් කිරීම සඳහා කිසිම හේතුවක් ඔවුන් ඉදිරියෙහි නොතැබිය යුතුයි. ඒ වෙනුවට, අපි ඔවුන්ගේ අදහස්වලට ගරු කළ යුතුයි. ඔවුන් සමඟ අපිට එකඟ විය හැකි දේවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, අපේ පණිවිඩයේ තිබෙන ප්‍රයෝජනවත් දේවල් ඔවුන්ට අවධාරණය කළ යුතුයි.—ක්‍රියා 22:1-3; 1 කොරින්ති 9:22; එළිදරව් 21:4.

නිහතමානිකමේ විශිෂ්ටතම ආදර්ශය යේසුස්

16. යේසුස් තමා ගැනම නිහතමානි ආකල්පයක් දැරූ බව පෙන්වූයේ කෙසේද?

16 නිහතමානිකම ගැන විශිෂ්ටතම ආදර්ශය සපයන්නේ යේසුස් ක්‍රිස්තුස් මිස වෙන කිසිවෙකු නොවෙයි. c සිය පියා සමඟ ළඟින්ම ඇසුරු කළත්, සමහර කාරණා හැසිරවීමට තමන්ට අයිතියක් නැති බව පිළිගන්න යේසුස් පසුබට වුණේ නැහැ. (යොහන් 1:14) උදාහරණයක් හැටියට, ඔහුගේ රාජ්‍යයේදී තම පුතුන් දෙදෙනාව වම් පැත්තෙන් හා දකුණු පැත්තෙන් තබාගන්න කියා යාකොබ්ගේ සහ යොහන්ගේ මව ඔහුගෙන් ඉල්ලූ විට යේසුස් මෙසේ පැවසුවා. “මාගේ දකුණු පැත්තේද වම් පැත්තේද ඉන්ට දීම මට අයිති නැත.” (මතෙව් 20:20-23) එක් අවස්ථාවක යේසුස් මෙසේ පිළිගත්තා. “මට තනියම කිසිවක් කරන්ට නුපුළුවන. . . . මාගේම කැමැත්ත නොව මා එවූ [තැනැත්තාගේ] කැමැත්ත සොයමි.”—යොහන් 5:30; 14:28; පිලිප්පි 2:5, 6.

17. යේසුස් අනිත් අය සමඟ කටයුතු කරද්දී නිහතමානිකම පෙන්වූයේ කෙසේද?

17 යේසුස් අසම්පූර්ණ මිනිසුන්ට වඩා සෑම අතින්ම උසස් පුද්ගලයෙක්ව සිටියා. කිසිම කෙනෙකුට නැති බලයක් ඔහුගේ පියා වන යෙහෝවාගෙන් ඔහුට ලැබී තිබුණා. ඒ වුණත්, යේසුස් ඔහුගේ අනුගාමිකයන් සමඟ කටයුතු කළේ ඉතා නිහතමානි පුද්ගලයෙකු ලෙසයි. තමා මහා දැනුම් සම්භාරයක් හිමි උත්තමයෙක් බව අඟවමින් යේසුස් කිසිවිටෙක ඔවුන්ව පාලනය කරන්න ගියේ නැහැ. ඔහු ඔවුන්ගේ හැඟීම් හොඳින් තේරුම්ගෙන, දයානුකම්පාවෙන් යුතුව ඔවුන්ගේ අවශ්‍යතා කෙරෙහි සැලකිල්ල දැක්වුවා. (මතෙව් 15:32; 26:40, 41; මාර්ක් 6:31) යේසුස් සම්පූර්ණ කෙනෙක් වුණත්, අනිත් අයගෙන් සම්පූර්ණකම බලාපොරොත්තු වුණේ නැහැ. ඔහු කරන්න බැරි දේවල් ඔහුගේ ගෝලයන්ගෙන් කවදාවත් ඉල්ලා සිටියෙත් නැහැ. එමෙන්ම ඔවුන්ට දරාගන්න බැරි දේවල් පැවසුවෙත් නැහැ. (යොහන් 16:12) ඔහුව සහනයක් ගෙන දෙන කෙනෙකු හැටියට බොහෝදෙනෙක් සැලකීම පුදුමයක්ද!—මතෙව් 11:29.

නිහතමානිකම පිළිබඳ යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන්න

18, 19. (අ) අපි ගැන අපි දරන ආකල්පයේදී හා (ආ) අපි අනිත් අයව සලකන ආකාරයෙන් යේසුස්ගේ නිහතමානිකම අනුකරණය කළ හැක්කේ කෙසේද?

18 ශ්‍රේෂ්ඨතම මිනිසා නිහතමානිකම විදහාපෙන්නුවා නම්, අපි මොනතරම් නිහතමානි වෙන්න ඕනෙද? තමන් අධිකාරියක් හොබවන විට එයට යම් සීමාවන් තිබෙන බව අසම්පූර්ණ මිනිසුන් බොහෝ අවස්ථාවලදී පිළිගැනීමට කැමති නැහැ. කෙසේවෙතත්, යේසුස්ව අනුකරණය කරන ක්‍රිස්තියානීන් නිහතමානි වීමට වෑයම් කළ යුතුයි. සුදුසුකම් ලත් අයට වගකීම් භාර නොදී සිටීමට තරම් ඔවුන් අහංකාර වන්නේ නැහැ. යම් මඟ පෙන්වීම් දීමට අධිකාරියක් තිබෙන අයගෙන් මඟ පෙන්වීම් ලැබෙන විට ඔවුන් උඩඟු ලෙස ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් අනිත් අය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සභාවේ සෑම දෙයක්ම “ඔබිනාලෙසද පිළිවෙළින්ද” කිරීමට ඔවුන් කටයුතු කරනවා.—1 කොරින්ති 14:40.

19 අපි අනිත් අයගෙන් දේවල් බලාපොරොත්තු වන විට සාධාරණ වීමට හා ඔවුන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වීමට අපව පොලඹවන්නෙත් නිහතමානිකමයි. (පිලිප්පි 4:5NW) අනිත් අයට නැති ඇතැම් හැකියාවන් අපිට ලැබී තිබෙන්න පුළුවන්. ඒ වුණත්, අපි නිහතමානි නම්, අනිත් අය නිතරම අපි කැමති විදිහට දේවල් කළ යුතුයි කියා සිතන්නේ නැහැ. හැමකෙනෙක්ටම කරන්න පුළුවන් දේවල් හා බැරි දේවල් තිබෙන බව මතක තබාගන්නවා නම්, අපි නිහතමානි ලෙස අනිත් අයගේ අඩු පාඩුකම් නොසලකා හරින්න යනවා. පේතෘස් මෙසේ ලිව්වා. “ප්‍රේමය පව් රාශියක් වසන බැවින්, සියලු දේවලට වඩා එකිනෙකා කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.”—1 පේතෘස් 4:8.

20. නිහතමානි නොවීමට යම් නැඹුරුවාවක් අප තුළ තිබෙනවා නම්, එයින් අපට ජයගත හැක්කේ කෙසේද?

20 අපි ඉගෙනගත්තාක් මෙන් ඇත්තෙන්ම ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟයි. ඒ වුණත්, නිහතමානි නොවීමට හෝ උඩඟු වීමට නැඹුරුවාවක් ඔබ තුළ තිබෙන බව ඔබට පෙනෙනවා නම් ඒ ගැන කුමක් කිව හැකිද? අධෛර්යය වෙන්න එපා. දාවිත්ගේ ආදර්ශය අනුගමනය කරන්න. ඔහු ඒ ගැන මෙසේ යාච්ඤා කළා. “එඩිතරව [උඩඟු වී, NW] පව්කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැලැක්වුව මැනව; ඒවා මා කෙරෙහි අධිපතිකම් නොකෙරේවා.” (ගීතාවලිය 19:13) පාවුල්, ගිඩියොන් වැනි ඇදහිලිවන්තයන්ව හා සියල්ලන්ටම වඩා ඉහළින් යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කිරීමෙන්, “ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය” යන වදන්වල තිබෙන සත්‍යතාව අපට පෞද්ගලිකව අද්දැකිය හැකියි.—හිතෝපදේශ 11:2.

[පාදසටහන්වල]

a “සේවකයන්” යනුවෙන් පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචනය පුරාණ කාලයේ තිබූ විශාල නාවික යාත්‍රාවක හබල් ගැසූ දාසයන්ගෙන් කෙනෙකුට යොමුදැක්විය හැකියි. මීට වෙනස්ව, ‘ගබඩාකාරයන්ට’ ඊටත් වඩා වැඩි වගකීම්, විශ්වාසයෙන් යුතුව පැවරිය හැකියි. ඇතැම්විට දේපොළ ඉඩකඩම් බලාගැනීම පවා එයට ඇතුළත් විය හැකියි. කෙසේවෙතත්, බොහෝ ස්වාමිවරුන් ඉදිරියෙහි ගබඩාකාරයෙකුත් යාත්‍රාවක හබල් ගසන දාසයෙකු හා සමානයි.

b ගිඩියොන් නැණවත්ව හා කල්පනාකාරිව කටයුතු කළ බව පෙනේ. නමුත් ඔහු බියගුල්ලෙක් බව එයින් අඟවන්නේ නැහැ. ඔහු ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් බව හෙබ්‍රෙව් 11:32-38 සඳහන් දෙයින් පැහැදිලියි. ‘ශක්තිමත් කරනු ලැබූ’ අය සහ “යුද්ධයෙහි බලසම්පන්නවූ” අය අතර ගිඩියොන්ද සිටියා.

c යමෙක් තමන්ගේ සීමාවන් තේරුම්ගැනීම නිහතමානිකමට ඇතුළත් වන දෙයක් නිසා, යෙහෝවාව නිහතමානි කෙනෙකු හැටියට හැඳින්විය නොහැකියි. කෙසේවෙතත් ඔහු යටහත් පුද්ගලයෙක්.—ගීතාවලිය 18:35NW.

ඔබට මතකද?

• නිහතමානිකම කියන්නේ කුමක්ද?

• පාවුල් විදහාපෙන්වූ නිහතමානිකම අපිට අනුකරණය කළ හැක්කේ කෙසේද?

• ගිඩියොන්ගේ ආදර්ශයෙන් අපිට නිහතමානිකම ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද?

• යේසුස් නිහතමානිකම පිළිබඳ විශිෂ්ටතම ආදර්ශය තැබුවේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

පාවුල් නිහතමානි පුද්ගලයෙකු වූ නිසා සෙසු ක්‍රිස්තියානීන් ඔහුට ළං වුණා

[17වන පිටුවේ පින්තූරය]

දෙවිගේ කැමැත්ත කිරීමේදී ගිඩියොන් නැණවත්ව කටයුතු කළා

[18වන පිටුවේ පින්තූරය]

දෙවිගේ පුත් යේසුස්, ඔහු කරන සෑම දෙයකදීම නිහතමානිකම විදහාපෙන්වයි