Skip to content

පටුනට යන්න

යෙහෝවාට ප්‍රේමකරන්නෝ ඔහුට අනර්ඝ වස්තුවකි

යෙහෝවාට ප්‍රේමකරන්නෝ ඔහුට අනර්ඝ වස්තුවකි

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

යෙහෝවාට ප්‍රේමකරන්නෝ ඔහුට අනර්ඝ වස්තුවකි

ලෙබනනය ස්වාභාවික සම්පත්වලින් අනූන රටක් බව බයිබලය වාර්තා කරයි. (ගීතාවලිය 72:16; යෙසායා 60:13) එහි උසස්ම දායාදය නම් එම පරිසරය තේජවත් කළ දේවදාර ගස්ය. එම චමත්කාරජනක දර්ශනය දුටුවන්ගේ සිත් කුල්මත් කළ අතර, එම ගස්වල සුගන්දවත්, ශක්තිමත් හා අලංකාරවත් අරටු ගෘහ කර්මාන්තයට පිටුවහලක් විය. පළමුවන සියවසේ ලෙබනනයේ පුරාණ නගර වන තීර් හා සීදොන්වල ඊටත් වඩා පැසසිය යුතු කාරණයක් තිබූ බව මාර්ක්ගේ සුවිශේෂ වාර්තාවේ දැක්වේ. එහි මෙසේ පැවසේ. “මහත් සමූහයක් [යේසුස්] විසින් කරනලද මහත් ක්‍රියා ගැන අසා [ඔහු] ළඟට ආවෝය.”—මාර්ක් 3:8.

එදා මෙන්ම අදත් ලෙබනනය යෙහෝවාගේ ඇස් ඉදිරියේ අනර්ඝ ඵල දරන රටකි. මේ අනුව මතු දැක්වෙන අද්දැකීම සලකා බලමු.

• විසැම් නමැති සාක්ෂිකාර යෞවනයාට ඔහුගේ පාසැලේ පංතිය අමතා විනාඩි 30ක කතාවක් ඉදිරිපත් කිරීමට සිදු විය. සාක්ෂියක් දැරීමට මෙය හොඳ ප්‍රස්තාවක්යයි සිතාගෙන ඔහු කතාව සකස් කළේය. ජීවය—මෙහාට පැමිණියේ කොහොමද? පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද? (ඉංග්‍රීසියෙන්) යන පොත උපයෝගි කරගනිමින් මැවීම නමැති මාතෘකාව මත පදනම්ව කතාව සකස් කෙරිණ. එහි තිබුණු වැදගත් කරුණු සැලකිල්ලට ගත් ගුරුතුමා කතාව විනාඩි 45කට දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියේය.

ඔහු කතාව දීමට පටන්ගත් වහාම විසැම්ගේ ගුරුතුමා ස්වල්ප වේලාවකට කතාව නතර කරන ලෙස ඉල්ලා විදුහල්පතිනියට පැමිණෙන්න කියා පණිවිඩයක් යැවීය. විගසම විදුහල්පතිනිය පැමිණි අතර, විසැම් කතාව නැවත පටන්ගත්තේය. ඒ අතරතුර මාතෘකාවට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු සපයන ආකාරය දැක විස්මිත වූ විදුහල්පතිනිය, කතාවේ පිටපතක් සෑම ශිෂ්‍යයෙකුටම ලබා දෙන මෙන් පවසා සිටියාය.

ටික වේලාවකට පසු එක් ගුරුවරයෙක් මෙම පංති කාමරය පසු කරගෙන යද්දී, එහි යම්කිසි කලබලයක් ඇති බව දැක ඊට හේතුව විමසීය. තමා ඔප්පු කරන්න උත්සාහ කරන්නේ පරිණාමයද නැතහොත් මැවීමද කියා ඔහු විසැම්ගෙන් ඇසුවේය. පිළිතුර වූයේ “මැවීමයි.” විසැම් යෙහෝවාගේ සාක්ෂිකාරයෙකු බව දැනගත් ගුරුවරයා පංතිය අමතා මෙසේ පැවසීය. “මේ කතාවෙන් ළමයින්ට තේරෙන්න ඇති විද්‍යානුකූල වන්නේ මැවීම මිසක පරිණාමය නෙවෙයි කියලා.”

මැවීමේ පොතක් තමා ළඟ තිබෙන බව මේ ගුරුවරයා පැවසුවේය. එමෙන්ම ඔහු විශ්ව විද්‍යාලීය දේශනවලට එය යොදාගනිමිනුයි සිටියේ. තවද පසුදා ඔහුගේ සිසු සිසුවියන්ට එම කතාව ඉදිරිපත් කරන ලෙස ඔහු යන්න මොහොතකට කලින් විසැම්ගෙන් ඉල්ලා සිටියේය. මෙහි ප්‍රතිඵලය වූයේ යෙහෝවා වෙනුවෙන් තවත් එක් විශිෂ්ට සාක්ෂියක් ඉදිරිපත් වීමයි.

• නීනා සත්‍යයට බොහෝ ආශා කළ විසිදෙහැවිරිදි යුවතියකි. දවසක් ඥාති සහෝදරයෙක් ඇයට බයිබලයක් දුන් අතර පෙන්තකොස්ත සභාවද හඳුන්වා දුන්නේය. නීනාට බයිබලය කියවද්දී අසීමිත සතුටක් දැනුණ අතර, ක්‍රිස්තියානියෙක් අනිවාර්යයෙන් දේශනා කළ යුතු බවත් ඇය තේරුම්ගත්තාය. ඉතින් ඇය දන්න කියන අයට දේශනා කළාය. මේ හැම කෙනෙක්ම ඇසුවේ, ඔයා යෙහෝවාගේ සාක්ෂිකාරයෙක්ද කියාය. මෙය ඇයට ප්‍රහේලිකාවක් විය.

අවුරුදු හයකට පසු නීනාගේ නිවසට යෙහෝවාගේ සාක්ෂිකරුවෝ පැමිණ, දෙවිගේ රාජ්‍යය ගැන පැවසූහ. මුලින්ම ඇය ඔවුන්ගේ ඉගැන්වීම්වල වැරදි සෙවීමට උත්සාහ දැරුවාය. නමුත් ඔවුන්ගේ සෑම පිළිතුරක්ම තර්කානුකූල, බයිබලය මත පදනම් වූ ඒවා බව ඇය තේරුම්ගත්තාය.

නීනා, දෙවිගේ නම යෙහෝවා බවත්, රාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ගැනත් එමෙන්ම තවත් මූලික දේවල් ගැනත් ඉගෙනගත් විට, මේ ලැබී ඇත්තේ සත්‍යයයි කියා ඇයට තහවුරු විය. නීනා ඇගේ ජීවිතය යෙහෝවාට කැප කර බව්තිස්ම වූවාය. ගෙවීගිය අවුරුදු හත තුළ, නීනා පූර්ණ කාලීනව ශුභාරංචිය ප්‍රචාරය කරන්නියක හැටියට සේවය කර ඇත. යෙහෝවාට අව්‍යාජ ප්‍රේමයක් දක්වන සියල්ලන්ටම, ඔහුගේ ආශීර්වාද ලැබෙන බව මෙයින් අපට ස්ථිරය.—1 කොරින්ති 2:9.