Skip to content

පටුනට යන්න

ඔබ “මේරූ” ක්‍රිස්තියානියෙක්ද?

ඔබ “මේරූ” ක්‍රිස්තියානියෙක්ද?

ඔබ “මේරූ” ක්‍රිස්තියානියෙක්ද?

මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කථාකෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනාකෙළෙමි.” මෙසේ ලීවේ ප්‍රේරිත පාවුල්ය. අපි සියලුදෙනාම වරෙක අසරණ ළදරුවන් මෙන් සිටියත් දිගටම එලෙස නොසිටි බව කවුරුත් දන්නා කරුණකි. පාවුල් මෙසේ පැවසීය. “දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි.”—1 කොරින්ති 13:11.

මීට සමාන ආකාරයකින් සියලුම ක්‍රිස්තියානීන් තම ආත්මික ජීවිතය ආරම්භ කරන්නේ ආත්මික ළදරුවන් ලෙසය. එහෙත් කාලයත් සමඟ අප සියලුදෙනාම ‘ඇදහීමේද දෙවිගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ මේරූභාවයටත්, ක්‍රිස්තුස්ගේ සම්පූර්ණවූ උස මහතේ ප්‍රමාණයටත්’ පැමිණිය හැකියි. (එපීස 4:12) ‘සහෝදරයෙනි, නුඹලා වටහාගැනීමේ ශක්තිය සම්බන්ධයෙන් ළමයි නොවෙන්න. . . වටහාගැනීමේ ශක්තිය සම්බන්ධයෙන් මේරූ පුරුෂයන් වෙන්න’ කියා 1 කොරින්ති 14:20හි [NW] අපට අවවාද කර තිබේ.

විශේෂයෙන්ම අදදින බොහෝ නවකයන් අප අතර සිටින නිසා මේරූ ක්‍රිස්තියානීන් සිටීම දෙවිගේ සෙනඟට ආශීර්වාදයක්. මන්ද මේරූ ක්‍රිස්තියානීන් සිටීමෙන් සභාවකට ස්ථාවරභාවයක් ලැබෙන බැවිනි. ඔවුහු ඒකාන්ත ආකල්පයකින් කටයුතු කරන අතර සභාවේ ස්ප්‍රීතුවට නොහොත් ජීවයට ප්‍රබල බලපෑමක් ඇති කරති.

අපිට නොදැනීම මොනයම් ආකාරයකින් හෝ අපගේ ශාරීරික වර්ධනය සිදු වන නමුත් ආත්මික වර්ධනය සිදු වන්නේ කාලය හා ශ්‍රමය දැරීම මගිනුයි. පාවුල්ගේ කාලයේදී සමහර ක්‍රිස්තියානීහු, දෙවිට අවුරුදු ගණනාවක් සේවය කළත් “මේරූභාවය කරා පැමිණීමට” අසමත් වූහ. (හෙබ්‍රෙව් 5:12; 6:1NW) ඔබ ගැන කුමක් පැවසිය හැකිද? ඔබ දෙවිට අවුරුදු ගණනාවක් සේවය කළත්, කෙටි කලක් සේවය කළත් අවංකවම ඔබව පරීක්ෂා කර බැලීම සුදුසුයි. (2 කොරින්ති 13:5) ඔබ මේරූ ක්‍රිස්තියානීන් ලෙස ගණන් ගැනෙන අය අතරේ සිටින කෙනෙක්ද? එසේ නැත්නම්, ඔබට මේරූ ක්‍රිස්තියානියෙක් විය හැක්කේ කෙසේද?

“වටහාගැනීමේ ශක්තිය සම්බන්ධයෙන් මේරූකම”

ආත්මික ළදරුවෙක් ‘මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත වීසි වෙමින් ගෙනයනු ලබයි.’ එමනිසා ‘ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කතා කරමින්, හිසව සිටින ක්‍රිස්තුස් උදෙසා සියලු දේවලදී වැඩෙන්න’ කියා පාවුල් උදක්ම ඉල්ලා සිටියි. (එපීස 4:14, 15) යමෙක් ආත්මික ලෙස වැඩෙන්නේ කෙසේද? හෙබ්‍රෙව් 5:14, [NW] එයට මෙසේ පිළිතුරු සපයයි. “නමුත් ඝන ආහාර අවශ්‍ය වන්නේ හරි වැරැද්ද නිශ්චය කරගැනීමට ව්‍යවහරයෙන් පුරුදු පුහුණු කළ විමර්ශන ශක්තියක් ඇති මේරූ පුද්ගලයන්ටය.”

මේරූ පුද්ගලයන් තම විමර්ශන ශක්තිය පුරුදු පුහුණු කර ඇත්තේ බයිබල් ප්‍රතිපත්ති තම ජීවිතයට අදාළ කරගැනීමෙන් ලබන පළපුරුද්ද තුළින් බව සැලකිල්ලට ගන්න. යම් කෙනෙකුගේ ආත්මික වර්ධනය සඳහා කාලය ගත වන අතර එය එක් රැයකින් අත් කරගත හැකි යමක් නොවන බව ඉන් පැහැදිලියි. පෞද්ගලික පාඩම තුළින් ඔබට විශාල ආත්මික වර්ධනයක් ලබාගත හැකියි. විශේෂයෙන්ම මේ සඳහා දෙවිගේ වචනයේ ගැඹුරු දේවල් අධ්‍යයනය කළ යුතුයි. මෑතකදී මුරටැඹ සඟරාවේ බොහෝ ගැඹුරු විෂයන් සාකච්ඡා කරන ලදි. මේරූ අය “තේරුම්ගන්ට අමාරු සමහර දේ” ඇති එවැනි ලිපි ඉවත නොදමති. (2 පේතෘස් 3:16) ඔවුහු එවැනි දැඩි ආහාර ඉතාමත් ආශාවෙන් භුක්ති විඳිති.

ජ්වලිත දේශනාකරුවන් සහ ගුරුවරුන්

යේසුස් තම ගෝලයන්ට මෙසේ අණ කළේය. ‘එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තිස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.’ (මතෙව් 28:19, 20) දේශනා වැඩයෙහි උනන්දුමත් ලෙස සහභාගි වීමෙන් ඔබේ ආත්මිකත්වය වර්ධනය කරගත හැකියි. ඔබගේ තත්වයන් ඉඩ සලසන ආකාරයට සේවයෙහි පූර්ණ ලෙස සහභාගි වීමට වෑයමක් නොදරන්නේ මන්ද?—මතෙව් 13:23.

යම් අවස්ථාවලදී ජීවිතේ ඇති වන පීඩනයන් නිසා දේශනා කිරීමට කාලය සොයාගැනීම අභියෝගයක් විය හැකියි. නමුත් ඔබ දේශනාකරුවෙක් ලෙස ක්‍රියා කිරීමට ‘වීර්යය කිරීම තුළින්’ “ශුභාරංචිය” සඳහා ඇති ඔබේ වගකීම නිරූපණය කරයි. (ලූක් 13:24; රෝම 1:16) එවිට ඔබව ‘අදහන්නන්ට ආදර්ශයක්’ ලෙස සලකනු ලබන බව නිසැකයි.—1 තිමෝති 4:12.

අඛණ්ඩතාව පවත්වන්නෝ

මේරූභාවය කරා වර්ධනය වීම සඳහා ඔබේ අඛණ්ඩතාව රැකගැනීමට ප්‍රයත්නයක් දැරීමද ඇතුළත් වෙයි. දාවිත් කළ ප්‍රකාශයක් ගීතාවලිය 26:1හි වාර්තා කර ඇත. ‘යෙහෝවා, මා විනිශ්චය කළ මැනව, මම නිර්දෝෂකමින් හැසුරුණෙමි [අඛණ්ඩතාවෙන් ගමන් කළෙමි, NW].’ අඛණ්ඩතාව යනු සදාචාරාත්මක නිදොස්කම නැතහොත් සම්පූර්ණත්වයයි. නමුත් ඉන් පරිපූර්ණත්වයක් කිසිවිටෙක අදහස් නොකරයි. මන්ද දාවිත් පවා බරපතළ පාපයන් කළේය. නමුත් ඔහු තරවටුව පිළිගෙන ඔහුගේ මාර්ගයන් නිවැරදි කරගැනීමෙන්, යෙහෝවා දෙවි සඳහා අව්‍යාජ ප්‍රේමයක් ඔහුගේ හද තුළ ඇති බව නිරූපණය කළේය. (ගීතාවලිය 26:2, 3, 6, 8, 11NW) අඛණ්ඩතාවට සම්පූර්ණ සිතකින් පිදෙන භක්තියද ඇතුළත් වෙයි. දාවිත් ඔහුගේ පුත් සාලමොන්ට මෙසේ පැවසීය. ‘මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවිව හැඳින සම්පූර්ණ සිතකින් ඔහුට මෙහෙ කරන්න.’—1 ලේකම් 28:9.

අඛණ්ඩතාව පැවැත්වීමට ‘ලෝකයේ කොටසක් නොවී’ සිටීමත් ඇතුළත් වෙයි. එයින් අදහස් වන්නේ ජාතීන්ගේ දේශපාලන කටයුතු සහ යුධ කටයුතු ආදියෙන් ඈත් වී සිටිය යුතු බවයි. (යොහන් 17:16) ඒ වගේම දූෂිත ක්‍රියාවල් වන වේශ්‍යාකම, කාමමිථ්‍යාචාරය සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැනි දේවලින් ඔබ වැළකී සිටිය යුතුයි. (ගලාති 5:19-21) අඛණ්ඩතාව පැවැත්වීමට එවැනි ක්‍රියාවන් මඟහැරීමට වඩා දේවල් ඇතුළත්ව ඇත. සාලමොන් මෙසේ අනතුරු අඟවයි. “මළ මැස්සන් නිසා තෛල මිශ්‍රකරන්නාගේ තෙල් ගඳගසා නරක් වේ. එසේම ප්‍රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය.” (දේශනාකාරයා 10:1) එනම් අනවශ්‍ය විහිළු තහළු හෝ විරුද්ධ ලිංගයේ අය සමඟ නොහොබිනා ලෙස හැසිරීම වැනි “ස්වල්ප මෝඩකමක්” නිසා ‘ප්‍රඥාවන්ත’ කෙනෙකුගේ හොඳ නමට කැලලක් ඇති විය හැකියි. (යෝබ් 31:1) එබැවින් ‘සියලු අන්දමේ නපුරු දේවලින්’ වැළකී ඔබේ හැසිරීමේදී ආදර්ශවත් වීමට වෑයමක් දරමින් ඔබේ මේරූකම නිරූපණය කරන්න.—1 තෙසලෝනික 5:22.

පක්ෂපාත අය

පක්ෂපාතකම මේරූ ක්‍රිස්තියානියෙකුගේ තවත් කැපීපෙනෙන ලක්ෂණයකි. මේ සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ව උනන්දු කළ ආකාරය, එපීස 4:24, [NW] අපට කියවීමට තිබේ. “සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂාතකමින්ද දෙවිට සමානව මවනලද්දාවූ අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න.” ග්‍රීක් ලියවිලි මුලින්ම ලියා තිබූ භාෂාවේ “පක්ෂපාතකම” යන වචනයෙන් ශුද්ධකම, ධර්මිෂ්ඨකම, ගෞරවය වැනි දේවල් අදහස් කරයි. පක්ෂපාත පුද්ගලයෙක් භක්තිවන්තයි. ඔහු දෙවිට කළ යුතු ඔහුගේ වගකීම් ගැන හොඳින් සැලකිලිමත් වෙයි.

එවන් පක්ෂපාතකමක් ඔබටත් වර්ධනය කරගැනීමට උපකාරවත් වන මාර්ග මොනවාද? ඔබේ සභාවේ වැඩිමහල්ලන් සමඟ සහයෝගීව කටයුතු කිරීම මේ සඳහා එක් මාර්ගයක් වේ. (හෙබ්‍රෙව් 13:17) ක්‍රිස්තියානි සභාවේ පත් කරන ලද නායකයා යේසුස් බව අවබෝධ කරගනිමින් මේරූ ක්‍රිස්තියානීහු ‘දෙවිගේ සභාව පෝෂණය’ කිරීමට පත් කර ඇති අයට පක්ෂපාතකම දක්වති. (ක්‍රියා 20:28) එසේ නම් පත් කරන ලද වැඩිමහල්ලන්ගේ අධිකාරිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හෝ එය සුළු කිරීම කොතරම් නුසුදුසු දෙයක්ද! එමෙන්ම “නියම වේලාවට කෑම දෙන්ට” පත් කරන ලද “විශ්වාසවූ නුවණ ඇති දාසයා” කෙරෙහි සහ ආත්මික ආහාර බෙදාහැරීමට ඔවුන් උපයෝගි කරගන්නා වෙනත් මාර්ගයන් කෙරෙහිත් පක්ෂපාත හැඟීමක් ඔබට තිබිය යුතුයි. (මතෙව් 24:45) එමෙන්ම මුරටැඹ සහ ඊට අනුගාමී සහායක සඟරා තුළ ඇති තොරතුරු කියවීමටත් ඒවා අදාළ කරගැනීමටත් උත්සුක වන්න.

ඔබේ ක්‍රියා තුළින් ප්‍රේමය පෙන්වන්න

“එකිනෙකා කෙරෙහි තිබෙන නුඹලා සියල්ලන්ගේ ප්‍රේමය අධිකව [තිබේවා]” කියා පාවුල් තෙසලෝනික ක්‍රිස්තියානීන්ට ලීවේය. (2 තෙසලෝනික 1:3) ප්‍රේමය වර්ධනය කරගැනීම ආත්මික වර්ධනයට අවශ්‍ය වන ඉතා වැදගත් අංගයකි. මේ සම්බන්ධයෙන් යේසුස් පැවසූ දේ යොහන් 13:35හි සඳහන්ව ඇත. “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” එවන් සහෝදර ප්‍රේමයක් හුදු චිත්තවේගීය හැඟීමක් නොවෙයි. වයින්ස් එක්ස්පොසිටරි ඩික්ෂනරි ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් නිව් ටෙස්ටමන්ට් වර්ඩ්ස් මෙසේ ප්‍රකාශ කරයි. කෙනෙකු තුළ තිබෙන “ප්‍රේමය දැනගත හැකි වන්නේ, ඔහු ක්‍රියා කරන ආකාරයෙන්ය.” ඇත්තෙන්ම ඔබ මේරූභාවය කරා පියනඟන්නේ ප්‍රේමය ක්‍රියාවට නැංවීමෙනි.

උදාහරණයකට, රෝම 15:7හි අපට මෙසේ කියවීමට තිබේ. “එකිනෙකා පිළිගන්න.” සභාවේ රැස්වීම්වලට පැමිණෙන සෙසු නමස්කාරකයන්ට සහ නවකයන්ට උණුසුම් ලෙස ආචාර කිරීමද ප්‍රේමය පෙන්විය හැකි එක් මාර්ගයකි! ඔවුන්ව පෞද්ගලිකව දැන හඳුනාගන්න. ඒ වගේම අන් අය ගැන ‘පෞද්ගලික උනන්දුවක්’ දක්වන්න. (පිලිප්පි 2:4NW) ආගන්තුක සත්කාරය පෙන්වීම සඳහා විවිධ අයව ඔබේ නිවසට ආරාධනා කිරීමට ඔබට හැකියි. (ක්‍රියා 16:14, 15) නමුත් යම් අවස්ථාවලදී අන් අයගේ අසම්පූර්ණකම් නිසා ඔබේ ප්‍රේමයේ ගැඹුර පරීක්ෂාවට ලක් විය හැක. නමුත් ඔබ ‘ඔවුන් සමඟ ප්‍රේමයෙන්’ කටයුතු කරන්න ඉගෙනගන්නා විට ඔබ මේරූ කෙනෙකු වෙමින් සිටින බව නිරූපණය වෙයි.—එපීස 4:2.

පරිශුද්ධ නමස්කාරයේ දියුණුවට අපගේ ද්‍රව්‍යමය දේ යෙදවීම

පුරාණ කාලයේදී යෙහෝවාගේ මාළිගාවට සහයෝගය දැක්වීමේ වගකීම ඔහුගේ සෙනඟගෙන් වැඩිදෙනෙකු විසින් ඉටු නොකරන ලදි. යෙහෝවා මේ සම්බන්ධයෙන් තම සෙනඟව උනන්දු කිරීමට හග්ගයි සහ මලාකී වැනි අනාගතවක්තෘවරුන් යැවීය. (හග්ගයි 1:2-6; මලාකී 3:10) අදදින සිටින මේරූ ක්‍රිස්තියානීහු තම ද්‍රව්‍යමය දේපළ යෙහෝවාගේ නමස්කාරයට සහයෝගය දැක්වීම සඳහා ප්‍රීතියෙන් යොදවති. එවැනි අයව අනුකරණය කරමින් 1 කොරින්ති 16:1, 2හි සඳහන් ප්‍රතිපත්තිය අදාළ කරගනිමින් නිතිපතාම සභාවට සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වැඩය වෙනුවෙන් ‘සම්මාදම් කිරීමට යමක්’ වෙන් කරන්න. මන්ද “නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය” කියා දෙවිගේ වචනය අපට පොරොන්දු වන බැවිනි.—2 කොරින්ති 9:6.

මෙහිදී ඔබ සතු අනෙක් දේපළ වන කාලය සහ ශක්තියද අවතක්සේරු නොකළ යුතුයි. එතරම් වටිනාකමක් නැති ක්‍රියාකාරකම්වලින් ‘කාලය මිල දී ගැනීමට’ උත්සාහ කරන්න. (එපීස 5:15, 16NW; පිලිප්පි 1:10) ඔබේ කාලය හොඳින් පාවිච්චි කිරීමට ඉගෙනගැනීමද මෙයට ඇතුළත් වෙයි. එසේ කිරීමෙන් රාජ්‍ය ශාලා නඩත්තු ව්‍යාපෘතියට සහ යෙහෝවාගේ නමස්කාරය වැඩි දියුණු කරන වෙනත් ඒ හා සමාන ක්‍රියාකාරකම්වලට සහභාගි වීමට ඔබට හැකියාවක් ලැබෙයි. මෙලෙස ඔබේ දේපොළ හරියාකාරව පාවිච්චි කිරීමෙන් පෙන්වන්නේ ඔබ මේරූ ක්‍රිස්තියානියෙකු බවට පත් වෙමින් සිටින බවයි.

මේරූභාවය කරා!

රාජ්‍ය කටයුතුවලට තම ශාරීරික මෙන්ම ද්‍රව්‍යමය සහයෝගය දෙන, අඛණ්ඩතාව, පක්ෂපාතකම හා ප්‍රේමය පෙන්වීම ගැන හොඳ නමක් දිනාගෙන ඇති, දැනුම් තේරුම් තිබෙන ජ්වලිත රාජ්‍ය ප්‍රකාශකයන් ඔබ අතර සිටිනවාද? එවැනි ස්ත්‍රීන් හා පුරුෂයන් ඇත්තෙන්ම ආශීර්වාදයක්! එසේ නම් ‘ක්‍රිස්තුස්ගේ මුල් කාරණා පසු කර, මේරූභාවයට පැමිණෙන්න’ කියා පාවුල් විසින් අපව දිරිගැන්වීම පුදුමයට හේතුවක් නොවේ!—හෙබ්‍රෙව් 6:2NW.

ඔබ මේරූ ක්‍රිස්තියානියෙක්ද? නැතිනම් සමහර පැතිවලින් තවමත් ආත්මික ළදරුවෙක්ද? (හෙබ්‍රෙව් 5:13) ඔබ කුමන තත්වයක සිටියත් පෞද්ගලික පාඩම කිරීමට, දේශනා සේවයේ සහභාගි වීමට සහ ඔබේ සහෝදරයන් සඳහා ප්‍රේමය පෙන්වීමට අදිටන් කරගන්න. මේරූ කෙනෙකුගෙන් ලැබෙන උපදෙස් සහ හික්මවීම සතුටෙන් පිළිගන්න. (හිතෝපදේශ 8:33) එමෙන්ම ක්‍රිස්තියානියෙකු හැටියට ඔබ සතු වගකීම් සියල්ලම හොඳින් ඉටු කරන්න. කාලය සහ වෑයම මගින් ඔබටත් ‘ඇදහීමේද දෙවිගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත්, සම්පූර්ණ මේරූභාවයටත්, ක්‍රිස්තුස්ගේ සම්පූර්ණ වූ උස මහතේ ප්‍රමාණයටත් පැමිණිය හැකියි.’—එපීස 4:12.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මේරූ ක්‍රිස්තියානීහු සභාවකට ස්ථාවරභාවයක් ලබා දෙති. ඔවුන් ඒකාන්ත ආකල්පයකින් කටයුතු කරන අතර සභාවේ ස්ප්‍රීතුවට නොහොත් ජීවයට හොඳ බලපෑමක් කරති

[29වන පිටුවේ පින්තූර]

මේරූ අය අන් අය කෙරෙහි උනන්දුව දැක්වීම සභාව තුළ හොඳ ස්ප්‍රීතුවක් ඇති කිරීමට දායක වෙයි