Skip to content

පටුනට යන්න

මතභේදයක් පැනනැඟුණු විට ඔබ කටයුතු කරන්නේ කෙසේද?

මතභේදයක් පැනනැඟුණු විට ඔබ කටයුතු කරන්නේ කෙසේද?

මතභේදයක් පැනනැඟුණු විට ඔබ කටයුතු කරන්නේ කෙසේද?

දිනපතාම අපට විවිධ මාදිළියේ පෞද්ගලිකත්වයන් ඇති අය සමඟ කටයුතු කිරීමට සිදු වේ. මෙය සතුටට මෙන්ම අපගේ අද්දැකීම් වැඩි කරගැනීමටද මඟ පාදයි. නමුත් මෙය යම් අවස්ථාවල මතභේදයකට නැතහොත් එකඟ නොවීමකට පවා තුඩු දිය හැකියි. සමහර මතභේද සුළු ඒවා වන අතර තවත් සමහරක් අපව ව්‍යාකූල තත්වයකට පත් කරවයි. උද්ගත වන තත්වය කුමක් වුවත් මෙවන් මතභේද සමඟ අප කටයුතු කරන ආකාරය, අපගේ මනසට, චිත්තවේගයන්ට සහ ආත්මිකත්වයට බලපායි.

මතභේදයක් සමථයකට පත් කිරීමට අපට හැකි දේ කිරීමෙන් සුවදායි ජීවිතයක් භුක්ති විඳිය හැකි වන අතර අන් අය සමඟ සාමකාමී සබඳතාවක්ද ඇති කරගත හැකිය. “මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය” කියා පුරාණ හිතෝපදේශයක් පවසන්නේ එනිසාය.—හිතෝපදේශ 14:30.

ඊට වෙනස් සත්‍යයක් මතු දැක්වෙයි. එනම් “තමාගේ සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක් මෙන්ය.” (හිතෝපදේශ 25:28) අන් අයටත් අපටත් හිංසාවක් සිදු විය හැකි නොමනා හැසිරීමකට තුඩු දෙන වැරදි සිතුවිලි අප තුළ ඇති කරගැනීමට අපගෙන් කිසිවෙකුට අවශ්‍ය නැත. පාලනය කරගත නොහැකි කෝපයකින් කටයුතු කිරීම මගින් එවැනි හිංසාවක් සිදු විය හැකියි. වෙනත් අය සමඟ ඇති වූ මතභේදයක් විසඳාගැනීමේදී පළමු කොට අපේ ආකල්පය සෝදිසි කර බැලිය යුතුයි කියා යේසුස් කන්ද උඩ දේශනාවේදී පැහැදිලි කළේය. (මතෙව් 7:3-5) අප අන් අයව විවේචනය කරනවාට වඩා විවිධ අදහස් ඇති විවිධ පසුබිම්වල සිටින අය සමඟ සුහදත්වයක් ඇති කරගෙන එය පවත්වාගැනීමට වෑයමක් දැරිය යුතුයි.

අපේ ආකල්පය

වැරදි වැටහීමක් නිවැරදි කර ගැනීමේදී නැතහොත් මතභේදයක් විසඳාගැනීමේදී ගත යුතු පළමු පියවර වන්නේ අප වැරදි සිතුවිලි සහ ආකල්ප ඇති කරගැනීමට නැඹුරුවාවක් දක්වන අය බව තේරුම්ගැනීමයි. අප සියල්ලන් පව් කර ‘දෙවිගේ මහිමයෙන් හීන වී සිටින’ බව ශුද්ධ ලියවිලි අපට සිහිගන්වයි. (රෝම 3:23) මීට අමතරව, අපේ ගැටලුවට මුල අනෙක් පුද්ගලයා නොවන බව තේරුම්ගැනීමට විචාර බුද්ධිය උපකාරවත් වෙයි. මෙය තේරුම්ගැනීමට යෝනාගේ අද්දැකීම අපි සලකා බලමු.

යෙහෝවාගේ මඟ පෙන්වීම යටතේ යෝනා නිනිවය නම් නගරයට ගොස් එහි වැසියන්ට දෙවි පැමිණවීමට යන විනාශය පිළිබඳව දේශනා කළේය. ප්‍රතිඵලය සතුටුදායක එකක් විය. නිනිවයේ සිටි සියලුම වැසියන් පසුතැවිලි වී සැබෑ දෙවි මත ඇදහිල්ල තැබීය. (යෝනා 3:5-10) ඔවුන්ගේ එම පසුතැවිලි වීමේ ආකල්පය නිසා ඔවුන් සමාව ලැබීමට සුදුසු බව යෙහෝවා තීරණය කළේය. “නුමුත් යෝනා ඊට අතිශයින් අප්‍රසන්නව, කෝපවිය.” (යෝනා 4:1) යෙහෝවා පෙන්වූ දයාවට යෝනා දැක්වූ ප්‍රතිචාරය ඇත්තෙන්ම පුදුමයට හේතුවකි. යෙහෝවාත් සමඟ යෝනා උරණ වූයේ මන්ද? පෙනෙන ආකාරයට ඔහු පුරෝකථනය කළ දේ සිදු නොවූ නිසා නිනිවයේ වැසියන් හමුවේ තමා අගෞරවයට පත් වූ බව සිතමින් යෝනා තමාගේම සිතුවිලිවල නිමග්නව සිටින්ට ඇත. ඔහු යෙහෝවාගේ දයාව අගය කිරීමට අසමත් විය. එමනිසා යෙහෝවා කාරුණිකව ආදර්ශ පාඩමක් තුළින් යෝනාගේ ආකල්පය වෙනස් කිරීමට සහ දෙවිගේ දයාවේ නියම වටිනාකම දැකීමට සැලැස්වීය. (යෝනා 4:7-11) ආකල්පය වෙනස් කරගැනීමේ අවශ්‍යතාව තිබුණේ යෝනාට මිස යෙහෝවාට නොවන බව මෙයින් මනාව පැහැදිලි වේ.

මේ හා සමානව අපත් යම් කාරණයක් සම්බන්ධව අපගේ ආකල්පය වෙනස් කරගත යුතු අවස්ථා නැද්ද? ප්‍රේරිත පාවුල් මෙසේ අපට උපදෙස් දෙයි. “ගෞරවයෙන් තම තමාට වඩා අනික් අය උතුම්කොට සලකන්න.” (රෝම 12:10) ඔහු මෙයින් අදහස් කළේ කුමක්ද? ඔහු අපව දිරිගන්වමින් සිටියේ අනෙක් ක්‍රිස්තියානීන් සමඟ සාධාරණව හා ගැඹුරු ගෞරවයකින් සැලකීමටය. මෙයට සෑම කෙනෙකුටම නිදහසේ කටයුතු කිරීමට අයිතියක් ඇති බව තේරුම්ගැනීමද ඇතුළත් වෙයි. “එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය” කියා පාවුල් අපට තවදුරටත් සිහි කරයි. (ගලාති 6:5) මතභේදය ගැටලුවක් බවට පත්වීමට පෙර අපගේ ආකල්ප සකස් කළ යුතුද නැද්ද කියා සලකා බැලීම කොතරම් නැණවත්ද! එලෙසම අප යෙහෝවා සිතන ආකාරයට අනුව අපගේ සිතුවිලි හැඩගස්වා ගැනීමට උත්සාහ කළ යුතු අතර, දෙවිට සැබෑවටම ප්‍රේම කරන අන් අය සමඟ සමගියෙන් සිටීමටත් වෑයමක් දරන්න අවශ්‍යයි.—යෙසායා 55:8, 9.

අපේ එළඹීම

කුඩා දරුවන් දෙන්නෙකු එකම සෙල්ලම් බඩුවකට පොරබදන ආකාරය සිතින් මවාගන්න. එක් දරුවෙක් තමාට එය ලබාගැනීමට හැකි තරම් වෙර දමා පොරබදයි. සමහරවිට ඔවුන් එකිනෙකාට බැණවැදීමට පවා පුළුවන. කෙසේවුවත්, මෙහිදී එක්කෙනෙක් සටන අත්හැරිය යුතුයි. එසේ නැතහොත් එය නැවැත්වීම සඳහා වෙන කෙනෙකුට එයට මැදිහත් වීමට සිදු වෙයි.

ආබ්‍රහම්ගේ එඬේරුන් සහ ඔහුගේ බෑණා වූ ලොත්ගේ එඬේරුන් අතර ඇති වූ බහින්බස් වීම ගැන දැනගන්ට ලැබුණු ආකාරය උත්පත්ති පොතේ වාර්තාව අපට පවසයි. ආබ්‍රහම් ලොත් වෙතට යෑමට මුල් පියවර ගෙන මෙසේ පැවසීය. “මා සහ නුඹ අතරෙහිද මාගේ එඬේරුන් සහ නුඹේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය.” ආබ්‍රහම්ගේ අධිෂ්ඨානය වූයේ ඔවුන්ගේ සම්බන්ධතාව පළුදු වීමට කිසි ගැටුමකට ඉඩ නොදීමයි. ඔහුට එයින් අවාසියක්ද විය. එනම් වැඩිමහල් කෙනෙකුට උරුමව තිබූ මුලින් තෝරාගැනීමේ වරප්‍රසාදය ඔහු කැප කර, ලොත්ට තම නිවැසියන් සහ සත්ව රැළ සඳහා කැමති ස්ථානයක් තෝරාගැනීමට ආබ්‍රහම් ඉඩ දුන්නේය. අවසානයේදී, ලොත් සාරවත් පළාතක් වන සොදොම සහ ගොමොරාව තෝරාගත් අතර, දෙදෙනාම සාමයෙන් වෙන් වී ගියහ.—උත්පත්ති 13:5-12.

අප අන් අය සමඟ සාමකාමී සබඳතාවක් පවත්වාගැනීමේදී ආබ්‍රහම් කටයුතු කළ ආකාරයට කටයුතු කරන්න අපත් සූදානම්ද? අපත් මතභේදයක් සමඟ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව බයිබලයේ සඳහන් මෙම සිද්ධියෙන් අපට අනර්ඝ ආදර්ශයක් සපයයි. “ඩබරයක් නොවේවා” කියා ආබ්‍රහම් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේය. ආබ්‍රහම්ගේ එකම ආශාව වූයේ සාමකාමී විසඳුමකට එළඹීමයි. සාමකාමී සබඳතාවක් පවත්වාගැනීමට එවැනි ක්‍රියා මාර්ගයක් ගැනීමෙන් වරදවා වටහාගැනීමක් පවා පහසුවෙන් මඟහරවාගත හැකියි. “අපි සහෝදරයෝය” යන ප්‍රකාශයෙන් ආබ්‍රහම් සංවාදය අවසන් කළේය. පෞද්ගලික අදහස් නිසා හෝ උඩඟුකම නිසා අප සතු වටිනා සබඳතාවක් නැති කරගන්නේ මන්ද? ආබ්‍රහම් කළ දෙයින් ඇත්තෙන්ම කළයුතු වැදගත්ම දේ කුමක්ද කියා පෙන්නුම් කළේය. ඔහු එසේ කළේ ඔහුගේ ආත්ම ගෞරවයටත් ඔහුගේ බෑණාගේ ආත්ම ගෞරවයටත් ගරු කරමිනුයි.

යම් අවස්ථාවල මතභේදයක් විසඳාගැනීමට වෙනත් කෙනෙකුගේ මැදිහත් වීමක් අවශ්‍ය විය හැකි වුවත් ගැටලුව පෞද්ගලිකවම විසඳාගත හැකි නම් එය කෙතරම් අගනේද! සහෝදරයන් සමඟ සාමකාමී වීමට මූලික පියවර ගන්න කියාත්, අවශ්‍ය නම් සමාව දීමට සුදානම්ව සිටින්න කියාත් යේසුස් අපව උනන්දු කළේය. * (මතෙව් 5:23, 24) මේ සඳහා නිහතමානිකම නැතහොත් යටහත් මනසක් අවශ්‍යයි. පේතෘස් මෙසේ ලීවේය. “නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද [දෙවි] උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව [දෙයි].” (1 පේතෘස් 5:5) අප සෙසු නමස්කාරකයන්ට සලකන ආකාරය, දෙවිත් සමඟ ඇති අපේ සබඳතාවට කෙළින්ම බලපාන්න යන බව කිසිවිටකත් අමතක නොකරන්න.—1 යොහන් 4:20.

ක්‍රිස්තියානි සභාව තුළ සාමය පවත්වාගැනීමට අපේ අයිතිවාසිකමක් පවා අත්හැරීමට සිදු විය හැක. පසුගිය වසර පහ තුළ යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කළ විශාල පිරිසක් සැබෑ නමස්කාරකයන් වන දෙවිගේ පවුලට එකතු වී ඇත. මෙය අපේ හදවතට මොනතරම් ප්‍රීතියක්ද! කෙසේවුවත් අපි හැසිරෙන ආකාරය මෙම නවකයන්ටත් සභාවේ අනෙක් අයටත් බලපායි. එමනිසා අප විනෝදාංශ, සමාජීය ක්‍රියාකාරකම් හෝ රැකියාවක් තෝරාගැනීමේදී අන් අය අප ගැන සිතන ආකාරය ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. අපගේ ක්‍රියාවන් හෝ වචන වැරදි ලෙස වටහාගැනීමෙන් වෙනත් අය බාධාවට පත් විය හැකිද?

ප්‍රේරිත පාවුල් අපට මෙසේ සිහිගන්වයි. “සියලු දේ ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල වර්ධනය නොකෙරේ. කිසිවෙක් තමාගේම කාරණ [වාසිය, NW] නොසොයා, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ යහපත සොයාවා.” (1 කොරින්ති 10:23, 24) ක්‍රිස්තියානීන් වශයෙන්, අපි අතර පවතින සහෝදරත්වය ප්‍රේමයෙන් සහ එකමුතුකමින් ගොඩනැංවීමට අව්‍යාජ සැලකිල්ලක් දක්වමු.—ගීතාවලිය 133:1; යොහන් 13:34, 35.

සුවදායි වචන

දේවල් යහපත් අතට හැරවීමට වචනවලට හැකියාවක් ඇත. “[සුවදායි වචනNW] මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.” (හිතෝපදේශ 16:24) ගිඩියොන් සහ එප්‍රායිම්වරුන් අතර ඇතිවීමට ගිය සටන ගිඩියොන් විසින් වළක්වාගැනීමේ සිද්ධිය මගින් මෙම හිතෝපදේශයේ ඇති සත්‍යතාව හොඳින් නිදර්ශනය කරයි.

මිදියන්වරුන් සමඟ කළ යුද්ධය උග්‍ර වූ අවස්ථාවේදී ගිඩියොන් එප්‍රායිම් ගෝත්‍රයේ උපකාරය පැතීය. එහෙත් යුද්ධය අවසන් වූ පසු එප්‍රායිම්වරු ඉතා කෝපයෙන් ගිඩියොන්ට දොස් නැඟූහ. එසේ කළේ සටන ආරම්භයේදීම ගිඩියොන් ඔවුන්ගේ උපකාරය නොපැතූ නිසාය. එම වාර්තාවේ පවසන්නේ ‘ඔවුන් ඔහු සමඟ ගැටුමක් ඇති කරගැනීමට තැත් කළ’ බවය. නමුත් ගිඩියොන් එයට ප්‍රතිචාරය දක්වමින් “නුඹලා කළ දේ බැලුවාම මා කළේ කුමක්ද? අබියෙශෙර්ගේ මුළු මුද්‍රික ඵලදාවට වඩා එප්‍රායිම්ගේ ඉතුරු ඵල හොඳ නොවේද? නුඹලා අතට [දෙවි] මිදියන්හි අධිපතීන්වූ ඔරෙබ්ද ශීබ්ද [පාවා දුන්නේය]. නුඹලා කළ දේට සමවෙන්ට මට කරන්ට පුළුවන්වුණේ කීමෙක්දැයි ඔවුන්ට කිවේය.” (විනිශ්චයකාරයන් 8:1-3) ගිඩියොන් හොඳින් තෝරා බේරා, සන්සුන් ලෙස වචන හැසිරවීමෙන් එහිදී ඇතිවීමට ගිය විනාශකාරි අන්තර් ගෝත්‍රික ගැටුමක් වළක්වාගන්නා ලදි. එප්‍රායිම් ගෝත්‍රිකයන්ට මමත්වය සහ උඩඟුකම තිබුණත් සාමකාමී තත්වයක් ඇති කිරීමට ගිඩියොන් එය බාධාවක් කර නොගත්තේය. අපිත් එලෙස ක්‍රියා කිරීමට අදිටන් කරගනිමුද?

අප අනෙක් අය සමඟ සාමකාමීව ක්‍රියා කළත් ඔවුන් තුළ කෝපයක් පැවතිය හැකි අතර, අප කෙරෙහි වෛරයේ හැඟීමක් පෙන්විය හැක. එවිට අප ඔවුන්ගේ හැඟීම් වටහාගෙන ඔවුන්ගේ ආකල්ප තේරුම්ගැනීමට උත්සාහ කළ යුතුයි. සමහරවිට අපත් යම් ආකාරයකින් ඔවුන්ගේ එම හැඟීම්වලට දායක වී තිබෙන්න පුළුවන. අප එසේ කර ඇත්නම්, ගැටලුව ඇතිවීම සම්බන්ධයෙන් අපත් වගකිව යුතු බව පිළිගෙන, ප්‍රශ්නය තවත් දිග්ගැස්සීම ගැන අපගේ ශෝකය ඔවුන්ට ප්‍රකාශ කළ හැකියි. මන්ද හොඳින් සිතා මතා පවසන සහනදායි වදන්වලට, පලුදු වූ සබඳතාව යළි සකස් කිරීමේ හැකියාවක් තිබේ. (යාකොබ් 3:4) සමහරෙකු කලකිරීමට පත්ව ඇත්නම් අපේ කාරුණික දිරිගැන්වීම ඔවුනට අවශ්‍ය විය හැක. “දර නැති තැන ගින්න නිවීයයි” කියා බයිබලයේ පවසයි. (හිතෝපදේශ 26:20) ඇත්තෙන්ම පරෙස්සමින් වචන හැසිරවීමෙන් ‘කෝපය පහ කිරීමටත්’ සුවදායි වාතාවරණයක් ඇති කිරීමටත් හැකි බව පැහැදිලියි.—හිතෝපදේශ 15:1.

ප්‍රේරිත පාවුල් මෙසේ නිර්දේශ කරයි. “පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.” (රෝම 12:18) අපට අන් අයගේ හැඟීම් පාලනය කිරීමට නොහැකි බව ඇත්තයි. එහෙත් සාමය ඇති කිරීමට අපගේ කොටස අපට කළ හැකියි. අපේම වැරදි ප්‍රතිචාරය එසේ නැතහොත් වෙනත් අයගේ වැරදි ප්‍රතිචාරයන් නිසා යටපත් නොවී, අප දැන් හොඳින් දන්න බයිබල් ප්‍රතිපත්ති මත ක්‍රියා කළ යුතුයි. මතභේදයන් සමඟ කටයුතු කිරීමේදී යෙහෝවා අපට දෙන උපදෙස් අදාළ කරගැනීම අපේ සදාකාලික සාමයට සහ ප්‍රීතියට දායක වන බවට කිසිම සැකයක් නැත.—යෙසායා 48:17.

[පාදසටහන]

^ 13 ඡේ. 1999 ඔක්තෝබර් 15 මුරටැඹ කලාපයේ “හෘදයෙන්ම සමාව දෙන්න” සහ “ඔබේ සහෝදරයාව දිනාගන්න ඔබට පුළුවන්” යන ලිපි බලන්න.

[24වන පිටුවේ පින්තූරය]

අපේ මතයට අනුවම දේවල් කිරීමට අප නිතරම බලකර සිටිනවාද?

[25වන පිටුවේ පින්තූරය]

මතභේදයක් විසඳාගැනීමේදී නම්‍යසුලු වීම පිළිබඳව ආබ්‍රහම් කදිම ආදර්ශයක් සපයන ලදි