වෛරයේ ග්‍රහණයට හසු වූ ලොවක්
වෛරයේ ග්‍රහණයට හසු වූ ලොවක්
“අපි පුද්ගලයන්ව තේරුම්ගන්න කොහොමටවත් උත්සාහ කරන්නේ නැති නිසයි ඔවුන්ට වෛර කරන්නේ.”—රචකයෙක් හා තානාපතියෙක් වන ජේම්ස් රසල් ලොවල්.
වෛරය දසත පැතිරී ඇත. කොසොවෝ, නැඟෙනහිර ටිමෝර්, ලයිබීරියාව, ලිට්ල්ටන් සහ සරයේවෝ ගැන මෙන්ම නූතන නාට්සිවාදී සහ ජාතිවාදී අදහස්වලට දිරි දෙන විවිධ සුදු ජාතික කණ්ඩායම් ගැන සඳහන් කළ විගසම තැතිගන්වනසුලු දර්ශන කිහිපයක් මනසට නැඟේ. ඒවා නම්, ගිනි අඟුරු ගොඩක් බවට පත් වූ ගොඩනැඟිලි, මළ සිරුරු තොග පිටින් වළලන ලද විශාල මිනි වළවල් හා කෲර මිනි මැරීම් වැනි දර්ශනයි.
වෛරය, සැහැසියාව හා ගැටුම්වලින් තොර කාලයක් ගැන වරක් ජනයා බලාපොරොත්තු තබමින් සිටියත්, එය දැන් හුදු සිහිනයක් බවට පත් වී ඇත. ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයෙකුගේ භාර්යාව වන ඩාන්යෙල් මිටරන්ඩ් ඇගේ යෞවන කාලය සිහිපත් කරමින් මෙසේ පැවසීය. “සියලුදෙනාම සහෝදරයන් වගේ සාමයෙන්, සමගියෙන් හා අන්‍යොන්‍ය විශ්වාසයකින් යුතුව ජීවත් වන කාලයක් ගැන අපි සිහින මැව්වා. අපිට හොඳ සෞඛ්‍යයක් ඇතුව, කිසිම දෙයකින් අඩුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලත් අපි හිතුවා. අපි හිතං හිටියේ ඉදිරියේදී එකිනෙකා ගැන සැලකිල්ල දක්වන ශක්තිමත් සමාජයක් බිහි වෙයි කියලයි. හැබැයි අවුරුදු පනහකට පස්සේ අපේ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා ගියා.”
වෛරය යළිත් කෲර ලෙස තම හිස ඔසවා ඇත. මෙය අපට නිකම්ම පසෙක දැමිය හැකි කාරණයක් නොවේ. වෛරය සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිර පවතින අතර, එය පෙර කවර යුගයකටත් වඩා දරුණු මෙන්ම තැතිගන්වනසුලු ආකාරවලින් ප්‍රකාශ වේ. ජනයා කලින් සුරක්ෂිතභාවයේ හැඟීමකින් යුතුව ජීවත් වූහ. සමහරවිට ඔවුන් එය ගණනකටවත් නොගත්තා විය හැක. නමුත් අද හිතක් පපුවක් නැතුව සිදු කරන අපරාධ නිසා සුරක්ෂිතභාවයේ හැඟීම් අපෙන් සම්පූර්ණයෙන්ම පාහේ ගිලිහී ගොස් ඇත. සෑම අපරාධයක්ම කලින් සිදු වූ ඒවාට වඩා දරුණු ආකාරයකින් සිදු වන බවක්ද පෙනී යයි. අපේ නිවසේ හෝ අප ජීවත් වන රටේ වෛරය දක්නට නැතත්, කොයියම් ආකාරයකින් හෝ අප එහි ග්‍රහණයට හසු වේ. අප දිනපතාම නරඹන රූපවාහිනියේ ප්‍රවෘත්ති වැඩසටහන්වලින් හා අන්තර්ජාලයෙන් පවා මෙය මනාව පිළිබිඹු වේ. අපි දැන් නිදසුන් කිහිපයක් සලකා බලමු.
පසුගිය දශකය තුළදී ජාතිවාදී හැඟීම් හිණිපෙත්තටම නැඟ ඇත. ජාත්‍යන්තර කටයුතු පිළිබඳ හාවඩ් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක, කනිෂ්ඨ ජෝසෆ් එස්. නී මෙසේ නිරීක්ෂණය කළේය. “ජාතිවාදී හැඟීම් දැන් ලෝකයේ හැම තැනකම වාගේ දක්නට ලැබෙනවා. එම හැඟීම එන්න එන්නම වැඩි වෙනවා මිසක අඩුවීමක් නම් දකින්න නැහැ. ලෝකයේ වටේම දැන් දැන් වැඩි පිරිසක් එකිනෙකා ගැන අවබෝධය ලබමින් සිටිනවා. හැබැයි එතුළින් ලෝකය විශ්ව ගම්මානයක් වී නැහැ. ඒ වෙනුවට ගැටුම් ඇතිවීමට තිබෙන ඉඩ කඩ සෑහෙන දුරට වැඩි වී තිබෙනවා.”
ඇතැම්විට වෛරය කාටත් නොදැනෙන ලෙස හිස ඔසවයි. සමහරවිට එය එකම රටේ මිනිසුන් අතර හෝ එකම ගමේ මිනිසුන් අතර පවතිනවා විය හැක. කැනඩාවේ අන්තවාදී අදහස් තිබෙන කණ්ඩායමකට අයත් තරුණයන් පස්දෙනෙක් මහලු සීක් ජාතික මනුෂ්‍යයෙකුව ඝාතනය කළහ. “සෑම කෙනෙකුටම සමාන අයිතිවාසිකම් ලබා දෙනවායයි ප්‍රශංසාවට ලක් වී ඇති රටක පවා වෛරය මුල් කරගෙන සිදු කරන අපරාධ වැඩි වී තිබෙන” බව මෙයින් පැහැදිලි විය. කලක් ජාතිවාදී හැඟීමෙන් සිදු කළ අපරාධ අඩු වී තිබූ ජර්මනියේ පවා, 1997දී එවැනි අපරාධ සියයට 27ක් දක්වා ඉහළ ගොස් තිබිණ. රටේ අභ්‍යන්තර කටයුතු භාර ඇමති මැන්ෆ්‍රඩ් කාන්ටර් පැවසූ ආකාරයට, “මෙය ඇත්තෙන්ම කනගාටුදායක දෙයක්.”
උතුරු ඇල්බේනියාවේ එක් වාර්තාවකින් හෙළි වූයේ, තම ජීවිතය අහිමි වෙයි යන බිය නිසා එහි දරුවන් 6,000කටත් වැඩිදෙනෙකු නිවස තුළම සිරකරුවන් බවට පත් වී තිබෙන බවය. එයට හේතු වී ඇත්තේ තම පවුල්වලට සතුරුකම් පාන අයගෙන් එල්ල වන ප්‍රහාරයන්ය. “පවුල් දහස්ගණනකගේ ජීවිතවලට හානි පමුණුවන” පරම්පරා ගණනාවක සිටම පැවතෙන බද්ධ වෛරයන්වලට දිරි දෙන සංස්කෘතියක ජීවත් වන එම දරුවන්, අහිංසක ගොදුරු බවට පත් වී තිබේ. එක් අමෙරිකානු අපරාධ විමර්ශන අංශයකට (FBI) අනුව, “1998දී [අමෙරිකා
එක්සත් ජනපදයේ] වෛරය හේතුවෙන් සිදු වූ අපරාධ 7,755න් අඩක්ම සිදු වූයේ ජාති භේද නිසායයි එම සංවිධානයට ලැබී තිබූ තොරතුරුවලින් හෙළි විය.” විවිධ රටවලින් පැමිණි විදේශිකයන් අතර මෙන්ම විවිධ ආගමික හා ජනවාර්ගික කණ්ඩායම් අතර හටගත්තාවූ අගතිය, සිදු වූ ඉතිරි අපරාධවලට හේතු වශයෙන් සඳහන් කළ හැක. ආබාධිතයන් කෙරෙහි දක්වන අගතියද තවත් හේතුවකි.මෑතකදී ව්‍යාප්ත වී ඇති වෙනත් ආකාරයේ වෛරයක් ගැනද පුවත්පත් සිරස්තලවල දැන් නිතරම පාහේ කියවීමට තිබේ. එයට තුඩු දී ඇත්තේ විදේශිකයන් පිළිබඳව ඇති වන බියයි. ප්‍රධාන වශයෙන්ම ඉලක්කය වී ඇත්තේ දැන් ලෝවටා විදේශගතව සිටින මිලියන 21කටත් වඩා සිටින සරණාගතයන්ය. කනගාටුදායක ලෙස, මෙම සරණාගතයන්ට විරුද්ධව පෙරමුණ ගෙන කටයුතු කරන්නේ තරුණයන්ය. ප්‍රතිපත්ති නැති දේශපාලනඥයෝ හා එම යෞවනයන්ව තම ඉත්තන් කරගන්න මාන බලන වෙනත් පුද්ගලයෝද ඔවුන්ට උල්පන්දම් දෙති. ජනයා වඩාත් සූක්ෂ්ම ආකාරවලින්ද විදේශිකයන් කෙරෙහි වෛරය ප්‍රකාශ කරති. එනම්, තමන්ට වඩා වෙනස් පසුබිමක හැදී වැඩුණු පුද්ගලයන්ව නිතරම සැක කිරීම, ඔවුන් සමඟ නොඉවසිලිවන්තව කටයුතු කිරීම හා ඔවුන්ව යම් නිෂේධාත්මක අච්චුවකට දැමීම තුළිනි.
අදදින ජනයා වෛරයේ ග්‍රහණයට හසු වී ඇත්තේ මන්ද? වෛරය මුළුමනින්ම නැති කර දැමිය හැක්කේ කෙසේද? මෙම කාරණා ඊළඟ ලිපියෙහි සාකච්ඡා කෙරේ.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cover, top: UN PHOTO 186705/J. Isaac
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Daud/Sipa Press