Skip to content

පටුනට යන්න

වෛරය තුරන් කිරීමට එකම මඟ

වෛරය තුරන් කිරීමට එකම මඟ

වෛරය තුරන් කිරීමට එකම මඟ

“වෛරය ඇති තැන බියත් තිබේ. . . . අප බිය වන දෙයට වෛර කරන නිසා වෛරයට තුඩු දෙන්නේ බියයි.”සාහිත්‍ය පිළිබඳ විවේචක හා සංස්කාරක සිරිල් කොනලී.

සමාජවිද්‍යාඥයන් බොහෝදෙනෙකු විශ්වාස කරන්නේ වෛරය මිනිසාට සහජයෙන්ම උරුම වන දෙයක් බවය. එය මිනිස් ස්වභාවයට ආවේණික, එනම් “උපතේ සිටම මිනිසා තුළ ගැබ් වී ඇති” දෙයක් බව දේශපාලන විද්‍යාඥයෙක් පැවසුවේය.

මිනිස් ස්වභාවය අධ්‍යයනය කරන අය එවැනි නිගමනයකට එළඹීම පුදුමයට කාරණයක් නොවේ. බයිබලයට අනුව, ඔවුන් විසින් අධ්‍යයනය කරනු ලබන සෑම පුරුෂයෙකු හා ස්ත්‍රියක තුළම “අයුතුකම” හා ‘පාපය’ ගැබ් වී තිබේ. (ගීතාවලිය 51:5) අසම්පූර්ණ මිනිසාව නිරීක්ෂණය කරමින් සිටි මැවුම්කරු පවා, ‘මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවත් ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවත් දුටුවේය.’—උත්පත්ති 6:5.

අගතිය, අසාධාරණය හා ඒවායින් හටගන්නා වෛරය, උරුම වූ පාපයේ හා ආත්මාර්ථකාමිත්වයේ අතුරු ඵල වේ. (ද්විතීය කථාව 32:5) කනගාටුදායක ලෙස, මිනිසාගේ සිත තුළ පවතින මෙවැනි හැඟීම් නැති කර දැමීමට කිසිම මිනිස් ආයතනයක් හෝ ආණ්ඩුවක් සමත් වී නැත. විදෙස් පුවත් වාර්තාකරුවෙකු වන ජොහැන්න මක්ගිරී මෙසේ පවසා තිබිණ. “බොස්නියාව, සෝමාලියාව, ලයිබීරියාව, කාශ්මීරය හා කොකෝස් දූපත් ලේ ගංගා බවට පත් කර ඇති වෛරය නැති කර දැමීමට කිසිම ජාත්‍යන්තර බලයකට වුවද හැකි වී නැත.”

නමුත් විසඳුම් සොයාගැනීමට ප්‍රථමයෙන්, වෛරයට තුඩු දෙන්නේ කුමක්ද කියා වටහාගැනීමට අපි වෑයම් කරමු.

වෛරයට දිරි දෙන බිය

වෛරයට පැති කිහිපයක්ම තිබෙන අතර, එය විවිධ ආකාරවලින් ප්‍රකාශ වේ. කර්තෘ ඇන්ඩෲ සලිවන් එය මනා ලෙස විස්තර කළේ මෙලෙසයි. “බිය හේතුවෙන් හටගන්නා වෛරයක්ද, අනුන් දෙස නිග්‍රහාත්මක ඇස්වලින් බලන නිසා හටගන්නා වෛරයක්ද තිබේ. බලය තිබෙන විටත් කිසිම බලයක් නැති වන විටත් වෛරයක් හටගනියි. පළිගැනීමේ චේතනා හා ඊර්ෂ්‍යාසහගත හැඟීම්ද වෛරය උපදවයි. . . . පීඩා කරන්නා තුළ වෛරයක් ඇත්තාක් මෙන් පීඩා විඳින්නා තුළද වෛරයක් ඇත. වෛරය ක්‍රමක්‍රමයෙන් වර්ධනය විය හැකි අතර එය කාලයත් සමඟ නැති වී යෑමටද හැක. විගස පිට කරන වෛරයක්ද, කිසිදා පිට නොකරන වෛරයක්ද ඇත.”

සමාජයෙන් එල්ල වන බලපෑම් මෙන්ම පවතින ආර්ථිකමය වාතාවරණය වෛරයෙන් පිරි ගැටුම්වලට තුඩු දෙන ප්‍රධාන හේතු දෙකකි. ධනවතුන් සුළු පිරිසක් සිටින ප්‍රදේශයක අගතිය හා වෛරය ඉතා කැපීපෙනෙන ආකාරයකට ප්‍රකාශ වේ. එමෙන්ම යම් ප්‍රදේශයකට විදේශිකයන් පැමිණීම හේතුවෙන් එහි ජීවන තත්වයට තර්ජනයක් එල්ල වන විටද වෛරය හටගනියි.

අලුතෙන් පැමිණෙන විදේශිකයන් අඩු වැටුපකට රැකියා කිරීමට සූදානම්ව සිටින නිසා තමන්ට රැකියා අහිමි වෙයි කියා හෝ එම ප්‍රදේශයේ ඉඩම්වල වටිනාකම අඩු වෙයි කියා ඇතමෙකු තුළ බියක් හටගන්නවා විය හැක. මෙය සාධාරණ වුවත් නැතත්, ආර්ථිකයට පහරක් ලැබේවී යන බිය හා තම ප්‍රදේශයේ ජීවන තත්වය පහත බසී යන බිය අගතිසහගත හැඟීම් හා වෛරය උපදවයි.

එසේ නම්, වෛරය තුරන් කිරීමට ගත යුතු මූලික පියවර කුමක්ද? ජනයාගේ ආකල්පයන් වෙනස් කළ යුතුයි.

ආකල්ප වෙනස් කරගැනීම

“පුද්ගලයෙකු තුළ සැබෑ වෙනසක් ඇති කරන්න නම්, ඒ වෙනස කිරීමට ඔහු තුළම පෙලඹීමක් තිබිය යුතුයි” කියා මක්ගිරී අවබෝධ කරගත්තේය. එසේ නම්, වෙනසක් කිරීමට ඔහුව පොලඹවන්නේ කෙසේද? වෙන කිසිම දෙයකට වඩා කෙනෙකු මත යහපත් මෙන්ම කල්පවතින බලපෑමක් ඇති කළ හැක්කේ දේවවචනය වන බයිබලයට බව අද්දැකීම්වලින් ඔප්පු වී තිබේ. ඔව්, වෛරය හටගැනීමට එරෙහිව තිබෙන බලවත්ම ආයුධය එයයි. බයිබලය මෙසේ පවසයි. “[දෙවිගේ] වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.”—හෙබ්‍රෙව් 4:12.

වෛරය, අගතිය වැනි හැඟීම් සම්පූර්ණයෙන්ම නැති කර දැමීමට කාලය සහ උත්සාහය අවශ්‍ය වන බව ඇත්තයි. ඇත්තෙන්ම, එය කළ හැකි බව යේසුස් ක්‍රිස්තුස් ඔප්පු කළේය. අවශ්‍ය වෙනස්කම් කිරීම සඳහා මිනිසුන් තුළ පෙලඹීමක් ඇති කිරීමට ඔහුට හැකි විය. ඔහු එසේ කළේ, ඔවුන්ගේ සිත් පෙලඹවීමෙන් හා හෘදය සාක්ෂියට අවනත වීමට ඔවුන්ව පුහුණු කිරීමෙනුයි. මිලියන ගණන්දෙනෙක් යේසුස් ක්‍රිස්තුස්ගේ මෙම නැණවත් වදන්වලට අවනත වීමෙන් යහපත් ප්‍රතිඵල අත් කරගෙන තිබේ. “නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න.”—මතෙව් 5:44.

යේසුස් තමාගේ ඉගැන්වීම්වලට එකඟව, කලින් සුංගම් අය කරන්නෙකු වූ මතෙව්ව තමාගේ කිට්ටු මිත්‍රයෙකු හැටියට පිළිගත්තේය. ඔව්, යුදෙව් සමාජය විසින් පිළිකුල් කරනු ලැබූ පුද්ගලයෙකු කෙරෙහි විශ්වාසය තබන්න ඔහු පසුබට වූයේ නැත. (මතෙව් 9:9; 11:19) එපමණක්ද නොව, කලින් වෛර කර තිබූ හා කොන් කර තිබූ අන්‍ය ජාතිකයන්ට පවා නිර්මල නමස්කාරයේ මාර්ගය යේසුස් විවෘත කර දුන්නේය. ප්‍රතිඵලයක් ලෙස පසු කලෙක එම මාර්ගයට අන්‍යජාතිකයන් දහස්ගණනක් එකතු වූහ. (ගලාති 3:28) ඒ කාලයේදී සෑම රටකම පාහේ පුද්ගලයන් යේසුස් ක්‍රිස්තුස්ගේ ගෝලයෝ බවට පත් වූහ. (ක්‍රියා 10:34, 35) ඔවුන් ප්‍රසිද්ධ වී සිටියේ අද්විතීය ලෙස ප්‍රේමය දක්වන කණ්ඩායමක් හැටියටයි. (යොහන් 13:35) වෛරයෙන් පිරි මිනිසුන් යේසුස්ගේ අනුගාමිකයෙකු වූ ස්තේපන්ව ගල් ගසා මරණයට පත් කළ අවස්ථාවේදී, ඔහු මෙම අවසන් වදන් පැවසුවේය. ‘යෙහෝවා, මේ පාපය ඔවුන් පිට නොතබන්න.’ ඔව්, ස්තේපන්ට අවශ්‍ය වූයේ ඔහුට වෛර කළ ජනයාට යහපතක් සිදු වෙනවා දකින්නයි.—ක්‍රියා 6:8-14; 7:54-60.

නවීන දින ක්‍රිස්තියානීහුද යේසුස්ගේ උපදෙස් පිළිපදිමින් තම ක්‍රිස්තියානි සහෝදරයන්ට පමණක් නොව, නමුත් තමන්ට වෛර කරන අයට පවා යහපත්කම් කරති. (ගලාති 6:10) විනාශකාරි ප්‍රතිඵල ඇති කරවන වෛරය ඔවුන්ගේ සිත්වලින් සම්පූර්ණයෙන්ම අහක් කර දැමීමට ඔවුහු උපරිම වෑයමක් දරති. තම සිත් තුළ පහසුවෙන්ම වෛරය හටගත හැකි බව දන්නා බැවින්, වෛරයේ හැඟීම් යටපත් කරමින් ඔවුහු ප්‍රේමය දැක්වීමට දැඩි උත්සාහයක් දරති. පුරාණයේ විසූ ප්‍රඥාවන්ත මිනිසෙකු පැවසූ පරිදි, “වෛරය ඩබර උපදවයි; එහෙත් ප්‍රේමය සියලු වැරදි වසයි.”—හිතෝපදේශ 10:12.

ප්‍රේරිත යොහන් පැවසුවේ, “තමාගේ සහෝදරයාට වෛරකරන කවරෙක් නුමුත් මිනීමරන්නෙක්ය. කිසි මිනීමරන්නෙකු තුළ සදාකාල ජීවනය නොපවතින බව නුඹලා දනිහුය” කියාය. (1 යොහන් 3:15) යෙහෝවාගේ සාක්ෂිකරුවෝ එම ප්‍රකාශනයට එකඟව ක්‍රියා කරති. එහි ප්‍රතිඵලයක් වශයෙන් දැන් සෑම ජනවාර්ගික, සංස්කෘතික, ආගමික හා දේශපාලනික පසුබිමකින්ම පැමිණෙන ජනයා යෙහෝවාගේ සාක්ෂිකරුවන් හා සමඟ එක් වී සමස්ත ලෝක පවුලක් සේ ක්‍රියා කරමින් සිටිති. ඔව්, වෛරයෙන් තොර, එක්සත් සහෝදරත්වයක් බිහි වී තිබේ.—මෙහි දක්නට ඇති කොටු කියවා බලන්න.

වෛරය තුරන් වේ!

‘සමහරදෙනෙක් එලෙස වෛරයෙන් ජයගෙන තිබුණත්, ලෝකයෙන් එය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට එය සාර්ථක ක්‍රමයක් නොවෙයි’ කියා ඔබ කල්පනා කරනවා විය හැක. ඔබේ සිතේ වෛරයක් නොතිබුණත්, ඔබ වෛරයේ ගොදුරක් බවට පත්වීමට ඉඩ තිබේ. එමනිසා, මෙම සමස්ත ලෝක ගැටලුව සඳහා සැබෑ විසඳුමක් ලබාගැනීමට නම් අප දෙවිගෙන් පිහිට පැතිය යුතුයි.

වෛරයේ සේයාවක්වත් මෙම පොළොවේ ඉතිරි නොවන බවට දෙවි පොරොන්දු වී ඇත. ඔහු එම අරමුණ ඉටු කිරීමට යන්නේ තම ස්වර්ගික පාලනය තුළින්ය. යේසුස් අපට එම පාලනය සම්බන්ධයෙන් යාච්ඤා කිරීමට ඉගැන්වූයේ මෙලෙසයි. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.’—මතෙව් 6:9, 10.

එම යාච්ඤාවේ සම්පූර්ණ ඉටුවීම අද්දකිද්දී වෛරයට තුඩු දෙන කිසිදු තත්වයක් නොතිබෙනු ඇත. හානිකර ප්‍රචාරණ, නොදැනුවත්කම හා අගතිය වෙනුවට ප්‍රඥාව, සත්‍යය හා ධර්මිෂ්ඨකම රජයන කාලයක් උදා වෙයි. එම කාලයේදී දෙවි ඇත්තෙන්ම ‘සියලු කඳුළු පිසදමන්න යන අතර, මරණය, වැලපීම, හැඬීම හා වේදනාව පවා තිබෙන්න යන්නේ නැත.’—එළිදරව් 21:1-4.

සතුටු වීමට තවත් කාරණයක් තිබේ. අප ජීවත් වෙමින් සිටින්නේ “අන්තිම දවස්වල” බව කිසිම සැකයකින් තොරව පැවසිය හැක. තවද එය සනාථ කිරීමට සාක්ෂි බොහොමයක් ඇත. එමනිසා ළඟදීම මෙම පොළොවෙන් වෛරය තුරන් වෙන බවට අපට නිසැකකමක් තබාගත හැකියි. (2 තිමෝති 3:1-5; මතෙව් 24:3-14) දෙවි පොරොන්දු කරන ලද නව ලොවේ මිනිසා නැවතත් පරිපූර්ණත්වයට පත්වීමට යන නිසා, සැබෑ සහෝදරත්වයක් පවතිනු ඇත.—ලූක් 23:43; 2 පේතෘස් 3:13.

නමුත් සැබෑ සහෝදරත්වයක් භුක්ති විඳින්න ඔබට ඒ වන තෙක් බලා සිටින්න අවශ්‍ය නැත. මෙම ලිපියත් සමඟ කියවීමට තිබෙන අද්දැකීම පෙන්වන පරිදි, අද පවා මිලියන ගණන්දෙනෙක් වෛරයේ ග්‍රහණයට හසු නොවී ක්‍රිස්තියානි ප්‍රේමය විදහාපෙන්වමින් ජීවත් වෙති. ඔබත් එම ප්‍රේමනීය සහෝදරත්වයට එක් වන්න කැමතිද?

[5වන පිටුවේ කොටුව]

“මේ වගේ අවස්ථාවක යේසුස් කොහොම ක්‍රියා කරාවිද?”

වර්ෂ 1998 ජූනි මාසයේදී, අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සස්හි ගම්බද පළාතක, සුදු ජාතික පිරිමින් තිදෙනෙකු කනිෂ්ඨ ජේම්ස් බර්ඩ් නම් ලත් කළු ජාතිකයෙකුට දරුණු ලෙස පහර දී තිබිණ. ඔවුහු එම මනුෂ්‍යයාව සෑහෙන ඈතක තිබෙන පාළු ප්‍රදේශයකට ගෙන ගොස්, ඔහුට හොඳටම තළා ඔහුගේ කකුල් දෙක දම්වැල්වලින් බැඳ දැමූහ. ඔවුන් එතැනින් නතර වූයේ නැත. ඔහුව ට්‍රක් රථයක පිටුපසට වෙන්න බැඳ කි.මී. 5ක පමණ දුරක් පාර දිගේ ඇදගෙන ගියහ. වාහනය නැවැත්වූයේ ඔහු කානුවක හැප්පුණායින් පසුවයි. මෙම සිද්ධිය 1990ගණන්වල වෛරය හා බැඳුණු දරුණුතම අපරාධය වශයෙන් සලකන ලදි.

ජේම්ස් බර්ඩ්ගේ සහෝදරියන් තිදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ වෙති. මෙම කෲර අපරාධය සිදු කළ අය ගැන ඔවුන් දරන ආකල්පය කුමක්ද? පවුලක් වශයෙන් කළ ප්‍රකාශනයකදී ඔවුන් මෙසේ පවසා තිබිණ. “අපි ආදරය කරන කෙනෙක් දස වද විඳලා මැරුණ එක ගැන අපිට දැනෙන වේදනාව වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ වගේ කෲර ක්‍රියාවකට අපි ප්‍රතිචාරය දැක්වූයේ පළිගැනීමෙන්වත්, කෝපයෙන්වත් නෙවෙයි. අපරාධකරුවන්ව හෙළා දකින වෛරයෙන් පිරුණු ප්‍රචාරණවලට අපි දිරි දුන්නෙවත් නැහැ. ඒ වෙනුවට අපි කල්පනා කළේ ‘මේ වගේ අවස්ථාවකදී යේසුස් කොහොම ක්‍රියා කරාවිද, මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද’ කියලයි. යේසුස්ගේ පණිවිඩය සාමයට දිරි දෙන බලාපොරොත්තු ජනිත කරවන ආකාරයේ එකක් වූ නිසා, එවැනි අවස්ථාවකදී ඔහු පිළිතුරු දෙන ආකාරය අපට හොඳටම පැහැදිලි වුණා.”

සිතේ වෛරයක් වර්ධනය කරගැනීමෙන් වැළකී සිටීමට ඔවුන්ට උපකාරවත් වූ ශුද්ධ ලියවිලිමය පාඨයක් වන්නේ රෝම 12:​17-19යි. එහි ප්‍රේරිත පාවුල් මෙසේ ලියා ඇත. “කාටවත් නපුරට නපුර නොකරන්න. . . . පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න. ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියී [යෙහෝවා කියන්නේය].”

ඔවුන් තවදුරටත් මෙසේ කියා තිබිණ. “සංවිධානයේ ප්‍රකාශනවල යථාර්ථවාදී ලෙස කියලා තියෙන දෙයක් අපිට නිතරම මතක් වෙනවා. සමහර අපරාධ කොච්චර දරුණුද කිව්වොත්, ‘මම ඔයාට සමාව දෙනවා’ කියලා ඒක අමතක කරලා දාන එක පහසු වෙන එකක් නැහැයි කියලා ඒ ප්‍රකාශනවල කාවද්දලා තිබුණා. ඒ වගේ තත්වයන්වලදී සමාව දෙනවා කියන්නේ, දිගටම අමනාපය තියාගන්නේ නැතුව පුළුවන් තරම් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට වෑයම් කිරීමයි. අමනාපය දිගටම පවත්වාගන්නවා නම් ඒක අපේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට බලපාන්න පුළුවන්.” බද්ධ වෛරයක් හටගැනීම වැළැක්වීමට බයිබලයට තිබෙන බලය ගැන මෙය මොනතරම් කදිම සාක්ෂියක්ද!

[6වන පිටුවේ කොටුව]

සතුරෙක් මිතුරෙක් බවට පත් වෙයි

මෑතක සිට, විවිධ රටවලින් විදේශිකයෝ දහස්ගණනක් රැකියා සොයමින් ග්‍රීසියට ඇදෙමින් සිටිති. නමුත් එම රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමක නොමැති නිසා රැකියා සොයාගැනීම දුෂ්කර කාර්යයක් බවට පත් වී තිබේ. එමනිසා රැකියා වෙළඳ පොළේ තරඟකාරිත්වය එන්න එන්නම වැඩි වෙමින් පවතී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර සෑහෙන වෛරයක් හටගෙන ඇත. මෙයට හොඳ නිදසුනක් වන්නේ, අල්බේනියාවේ හා බල්ගේරියාවේ සිට පැමිණි අය අතර පවතින තත්වයයි. මෙම කණ්ඩායම් දෙක අතර පවතින තරඟකාරිත්වය නිසා ග්‍රීසියේ බොහෝ ප්‍රදේශවල සෑහෙන ගැටලු ඉස්මතු වී තිබේ.

පෙලපොනීසස් ප්‍රදේශයේ ඊසානදිග දිශාවේ පිහිටි කියෑටෝ නම් කුඩා නගරයේ සිදු වූ දේ දැන් සලකා බලමු. එහි බල්ගේරියානු ජාතික පවුලක් හා ඇල්බේනියානු ජාතික මනුෂ්‍යයෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්හ. කාලයක් ගත වෙද්දී ඔවුන්ට එකිනෙකාව හඳුනාගැනීමට ප්‍රස්තාවක් ලැබිණ. මෙම පුද්ගලයන් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත් නිසා, එම ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර සාමාන්‍යයෙන් පවතින වෛරය හා අගතිය පිටුදැකීමට ඔවුන්ට හැකි විය. සියල්ලටම වඩා ඔවුන් අතර සැබෑ සහෝදරත්වයක්ද වර්ධනය වී ඇත. බල්ගේරියානු ජාතිකයෙකු වන ඊවාන්, අල්බේනියානු ජාතිකයෙකු වන ලූලිස්ට තම නිවස අසල ගෙයක් පවා සොයා දුන්නේය. මෙම පවුල් දෙක අතර කිට්ටු බැඳීමක් තිබෙන අතර, ඔවුහු බොහෝ අවස්ථාවලදී කෑම බෙදා හදාගෙන කති. තම ද්‍රව්‍යමය දේවල් පවා බෙදාගනිති. එම පුරුෂයන් දෙදෙනා දැන් යෙහෝවාගේ බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් වන අතර ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට ඔවුහු තම උපරිමයෙන් සහයෝගය දක්වති. මොවුන් දෙදෙනාගේ මිත්‍රකම අසල්වැසියන්ගේ අවධානයට ලක් වී තිබීම පුදුමයට කාරණයක්ද?

[7වන පිටුවේ පින්තූරය]

දෙවිගේ රාජ්‍යය යටතේ පොළොවේ වෛරයේ සේයාවක්වත් ඉතිරි වන්නේ නැත