Skip to content

පටුනට යන්න

අපේ අනගි උරුමය—ඔබට එය මොනතරම් වටිනවාද?

අපේ අනගි උරුමය—ඔබට එය මොනතරම් වටිනවාද?

පේ අනගි උරුමය—ඔබට එය මොනතරම් වටිනවාද?

‘මාගේ පියාගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.’—මතෙව් 25:34.

1. උරුමයක් ලෙස මිනිසුන්ට ලැබී තිබෙන දේවල් මොනවාද?

 සෑම මිනිසෙකුම උපතින් යම් දෙයකට උරුමකම් කියනවා. උරුමය කීමේදී යමෙකුට ද්‍රව්‍යමය අතින් හිමි සුඛෝපභෝගි ජීවන රටාවක් අදහස් විය හැකියි. නමුත් තවකෙකුට දිළිඳුකම උරුම වී තිබෙන බවද අදහස් විය හැකියි. ඇතැම් අවස්ථාවන්හිදී කලින් පරම්පරාවන් අද්දැක තිබූ හෝ ඔවුන් අසා තිබූ දේවල් නිසා වෙනත් වාර්ගික කණ්ඩායමකට විරුද්ධව දැඩි වෛරයක් ඉදිරියට ගෙන ගොස් තිබෙනවාත් විය හැකියි. කෙසේවෙතත්, අප සියලුදෙනාම පොදුවේ එක දෙයකට නම් උරුමකම් කියනවා. ඒ මුල් මිනිසා වූ ආදම්ගෙන් උරුම කරගත් පාපයටයි. මෙම උරුමය අවසානයේදී මරණයට මඟ පාදනවා.—දේශනාකාරයා 9:2, 10; රෝම 5:12.

2, 3. ආදම් සහ ඒවගෙන් පැවතෙන්නන්ට යෙහෝවා මුලින්ම සූදානම් කළේ කිනම් උරුමයක්ද? එමෙන්ම, ඔවුන්ට එය නොලැබුණේ මන්ද?

2 යෙහෝවා ආදරණීය ස්වර්ගික පියා හැටියට මනුෂ්‍යවර්ගයා සඳහා මුලින්ම ලබා දුන්නේ පාරාදීස පොළොවක පරිපූර්ණ සදාකාලික ජීවිතයක් ගත කිරීම නමැති උරුමයයි. අපේ මුල් දෙමාපියන්ට, එනම් ආදම් සහ ඒවට දෙනු ලැබුවේ පාපයෙන් තොර පරිපූර්ණ ආරම්භයක්. ඇත්තෙන්ම යෙහෝවා මනුෂ්‍යවර්ගයාට පෘථිවි ග්‍රහයා ලබා දුන්නේ තෑග්ගක් වශයෙන්. (ගීතාවලිය 115:16) යෙහෝවා ඔවුන්ට දුන් පුදුමාකාර, අභියෝගාත්මක පැවරුම්වලට දරුවන් බිහි කිරීමත්, පොළොව හා එහි ඇති විවිධ වර්ගයේ ගස් කොළන් මෙන්ම සත්ව ජීවිත රැකබලා ගැනීමත්, පාරාදීසයේ මායිම් පොළොව පුරා ව්‍යාප්ත කිරීමත් අයිති වුණා. ඇත්තෙන්ම යෙහෝවාට උවමනා වුණේ මුළු පොළොවම ඒදන් උයන මෙන් කරන්නයි. (උත්පත්ති 1:28; 2:8, 9, 15) එමෙන්ම ඔවුන්ගේ දරු මුනුපුරන්ද ඊට හවුල් විය යුතුව තිබුණා. දරුවන්ට දීම සඳහා ඔවුන්ට ලැබී තිබුණේ මොනතරම් මවිතකර උරුමයක්ද!

3 කෙසේවෙතත්, මේ සෑම දෙයක්ම භුක්ති විඳින්න නම්, ආදම් සහ ඒවත් ඔවුන්ගේ දරුවනුත් දෙවි සමඟ හොඳ සම්බන්ධතාවක් ඇති කරගත යුතු වුණා. ආදම් සහ ඒව යෙහෝවාට ප්‍රේමය දැක්වීම සහ කීකරු වීම සම්බන්ධයෙන් ණයගැතිව සිටියත්, දෙවි ඔවුන්ට සපයා දුන් දේවල් අගය කිරීමට ඔවුන් අසමත් වූ නිසා ඔහුගේ අණ පනත්වලට ඔවුන් අකීකරු වුණා. ඔවුන්ට ඔවුන්ගේ පාරාදීසමය නිවහන පමණක් නොව ඔවුන් ඉදිරියේ දෙවි තබා තිබූ තේජවත් අපේක්ෂාද අහිමි වුණා. එමනිසා, මේ දේවල් ඔවුන්ගේ දරු මුනුපුරන්ට ලබා දීමට ඔවුන්ට කිසි සේත්ම හැකි වුණේ නැහැ.—උත්පත්ති 2:16, 17; 3:1-24.

4. ආදම් අහිමි කරගත් එම උරුමය අදදින සිටින අපි නැවත ලබාගන්නේ කෙසේද?

4 ආදම්ගේ වරද නිසා අහිමි වූ ඒ උරුමය ආදම් සහ ඒවගේ දරුවන්ට ලබා දීම සඳහා යෙහෝවා දයානුකම්පිතව විධිවිධාන යෙදුවා. ඒ කෙසේද? දෙවි විසින් නියම කළ කාලයේදී, ඔහුගේ පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ මිනිස් ජීවිතය ආදම්ගෙන් පැවතෙන්නන් උදෙසා පිදීම තුළිනුයි. මේ මාර්ගයෙන් ක්‍රිස්තුස් ඔවුන් සියලුදෙනාවම මිල දී ගත්තා. ඒ වුණත්, උරුමය ඉබේම ඔවුන්ට නැවත අයිති වන්නේ නැහැ. මේ සඳහා දෙවිගේ අනුමැතිය ලබාගැනීමට ඔවුන්ට සිදු වෙනවා. ඔවුන්ට එය ලබාගත හැක්කේ කෙසේද? යේසුස්ගේ ජීවිත පූජාවෙහි තිබූ පව් කමා කිරීමට ඇති බලය කෙරෙහි ඇදහිල්ල පැවැත්වීමෙන් සහ ඒ ඇදහිල්ල කීකරු ලෙස පිළිබිඹු කිරීමෙනුයි. (යොහන් 3:16, 36; 1 තිමෝති 2:5, 6; හෙබ්‍රෙව් 2:9; 5:9) ඔබ ඔබේ ජීවිත මාර්ගයෙන් එම සැපයුම අගය කරන බව හොඳින් පෙන්වනවාද?

ආබ්‍රහම් තුළින් ලබා දුන් උරුමයක්

5. ආබ්‍රහම් යෙහෝවා සමඟ තිබෙන තම සම්බන්ධය අගය කරන බව පෙන්නුවේ කෙසේද?

5 යෙහෝවා පොළොව සම්බන්ධයෙන් තම අරමුණ ක්‍රියාත්මක කරන අතරතුරේදීම ආබ්‍රහම් සමඟත් විශේෂ ආකාරයකින් ක්‍රියා කළා. මේ ඇදහිලිවන්ත මිනිසාව ඔහුගේ මව්බිමෙන් පිටත් කර හැර තමා විසින් පෙන්වන දේශයකට යෑම සඳහා දෙවි ඔහුට මඟ පෙන්නුවා. ආබ්‍රහම්ද ඊට කැමැත්තෙන්ම කීකරු වුණා. ආබ්‍රහම් එහි පැමිණි විට, එම දේශය උරුම කරගන්නේ ඔහු නොව නමුත් ඔහුගෙන් පැවතෙන්නන් බව යෙහෝවා ඔහුට කිව්වා. (උත්පත්ති 12:1, 2, 7) එවිට ආබ්‍රහම් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? කොතැන සිටියත් යෙහෝවා තමාට පවසන ඕනෑම ආකාරයකින් ඔහුට සේවය කිරීමට ආබ්‍රහම් කැමැත්තෙන් සිටියේ, ඔහුගෙන් පැවතෙන්නන්ට එම උරුමය හිමි වන පිණිසයි. ආබ්‍රහම් මිය යන තුරුම ඔහුට අයිති නැති දේශයක ජීවත් වෙමින් අවුරුදු 100ක් පුරාම යෙහෝවාට සේවය කළා. (උත්පත්ති 12:4; 25:8-10) ඔබත් එසේ කරනු ඇද්ද? ආබ්‍රහම් එසේ කළ නිසා ඔහුට “මිත්‍රයා” කියා යෙහෝවා පසුව පැවසුවා.—යෙසායා 41:8.

6. (අ) තම පුත්‍රයාව පූජා කිරීමට කැමැත්ත පළ කිරීමෙන් ආබ්‍රහම් නිරූපණය කළේ කුමක්ද? (ආ) ආබ්‍රහම්ට තම පැවතෙන්නන්ට දීමට හැකි වූ අනර්ඝ උරුමය කුමක්ද?

6 අවුරුදු ගණනාවක් පුරා පුත්‍රයෙක් ලැබෙන තුරු බලා සිටීමෙන් පසු තමාට ලැබුණු පුත්‍රයා වන ඊසාක්ට ආබ්‍රහම් පණටත් වැඩිය ආදරය කළා. ඊසාක් තරුණ පුරුෂයෙක් වූ විට ඔහුව පූජා කරන්නය කියා යෙහෝවා ආබ්‍රහම්ට උපදෙස් දුන්නා. දෙවි ඔහුගේ පුත්‍රයාව මිදීමේ මිලයක් ලෙස දීමට යෑම තමන් නිදර්ශනය කරමින් සිටින බව ආබ්‍රහම් දැනගෙන සිටියේ නැහැ. ඒ වුණත්, ඔහු යෙහෝවාට කීකරු වී ඊසාක්ව පූජා කරන්න ඔන්න මෙන්න කියා තිබියදී, යෙහෝවාගේ දූතයෙක් ඔහුව වැළැක්වූවා. (උත්පත්ති 22:9-14) යෙහෝවා ඔහුට දී තිබූ පොරොන්දුව ඊසාක් තුළින් ඉටු කරවන බව ආබ්‍රහම්ට කලින්ම පවසා තිබුණා. එමනිසා, මීට පෙර කිසිමදාක සිදු වී නැතත් අවශ්‍ය වුවහොත් ඊසාක්ව මළවුන්ගෙන් පවා නැඟිටුවන්ට දෙවිට හැකි බවට ආබ්‍රහම් තුළ පැහැදිලි විශ්වාසයක් තිබුණා. (උත්පත්ති 17:15-18; හෙබ්‍රෙව් 11:17-19) මෙසේ ආබ්‍රහම් තමාගේ පුත්‍රයාව තමා වෙතම තබා නොගත් නිසා යෙහෝවා මෙසේ ප්‍රකාශ කළා. “නුඹේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය.” (උත්පත්ති 22:15-18) මෙමගින් ඇඟවූයේ, උත්පත්ති 3:15හි සඳහන් වූ වංශය නැතහොත් මෙසියානු ගැළවුම්කරුවා ආබ්‍රහම්ගේ පෙළපතෙන් පැමිණෙන බවයි. මතු පරම්පරාවන්ට ඉදිරිපත් කිරීම සඳහා මොනතරම් අනර්ඝ උරුමයක්ද මෙය!

7. ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් ඔවුන්ගේ උරුමය කෙරෙහි අගය පෙන්නුවේ කෙසේද?

7 යෙහෝවා කරමින් සිටි දෙයෙහි වැදගත්කම ආබ්‍රහම්වත්, “එම පොරොන්දුවට උරුමක්කාරයන් වූ” ඔහුගේ පුත්‍ර ඊසාක්වත්, මුනුපුරා වූ යාකොබ්වත් දැනගෙන සිටියේ නැහැ. එහෙත් ඔවුන් සියලුදෙනාටම යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුණා. ඔවුන් පොළොවේ තිබෙන කිසිම රාජ්‍යයක් කෙරෙහි තමන්ගේ බලාපොරොත්තු නොතැබුවේ, ‘දෙවි විසින් යෝජනා කර සෑදූ, සැබෑ අත්තිවාරම් ඇති’ වඩා හොඳ රාජ්‍යයක් සඳහා ඔවුන් ආශා කළ නිසයි. (හෙබ්‍රෙව් 11:8-10, 13-16) එහෙත්, ආබ්‍රහම් තුළින් දී තිබූ උරුමයේ වටිනාකම ආබ්‍රහම්ගෙන් පැවත ආ සමහරුන් අගය කළේ නැහැ.

උරුමය එපා කරන ලද්දෝ

8. තමන්ට ලැබුණු උරුමයේ වටිනාකම අගය කළේ නැති බව ඒසව් පෙන්නුම් කළේ කෙසේද?

8 පවුලේ කුලුඳුලා හැටියට ඔහුට තිබූ අයිතිය අගය කිරීමට ඊසාක්ගේ වැඩිමහල් පුත්‍ර වූ ඒසව් අපොහොසත් වුණා. ඔහු පරිශුද්ධ දේවල් අගය කළේ නැහැ. දිනක් ඒසව් ඔහුගේ කුලුඳුල්කම තම සහෝදර වූ යාකොබ්ට වික්කා. වික්කේ මොනවටද? රොටි සහ කොල්ලු ව්‍යංජනයකට! (උත්පත්ති 25:29-34; හෙබ්‍රෙව් 12:14-17) ඒ නිසා, ආබ්‍රහම්ට දෙවි දුන් පොරොන්දු ඉටු කරන්න යන ජාතිය පැමිණෙන්නේ දෙවි පසුව ඉශ්‍රායෙල් කියා නම් තැබූ යාකොබ්ගෙන්. මේ විශේෂිත උරුමය ඔවුන්ට විවෘත කර දුන්නේ කිනම් ප්‍රස්තාවන්ද?

9. යාකොබ් හෙවත් ඉශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන්ගේ ආත්මික උරුමය නිසා, ඔවුන් අද්දැක්කේ කිනම් ගැළවීමක්ද?

9 සාගතයක් පැවති කාලපරිච්ඡේදයකදී යාකොබ් ඔහුගේ පවුල සමඟ මිසරයට පිටත් වුණා. එහිදී ඔවුන්ගේ ගණන බොහෝ සේ වැඩි වුණා. එහෙත් ඔවුන් වහලුන් බවටද පත් වුණා. කෙසේවෙතත්, යෙහෝවා තමන් ආබ්‍රහම් සමඟ ඇති කරගත් ගිවිසුම අමතක කළේ නැහැ. දෙවි තම නියමිත කාලයේදී, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ව වහල්භාවයෙන් මුදවාගත්තා. ආබ්‍රහම්ට පොරොන්දු වූ “කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට” ඔවුන්ව පමුණුවන බව දන්වා සිටියා.—නික්මයාම 3:7, 8; උත්පත්ති 15:18-21.

10. සීනයි කන්දේදී, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමය සම්බන්ධයෙන් තවදුරටත් සිදු වූ අසාමාන්‍ය සිදුවීම් මොනවාද?

10 ඉශ්‍රායෙල් පුත්‍රයන් පොරොන්දු දේශයට යන අතරමඟදී යෙහෝවා ඔවුන්ව සීනයි කඳු පාමුලට එක්රැස් කෙරෙව්වා. එහිදී ඔවුන්ට මෙසේ කිව්වා. “නුඹලා සැබවින් මාගේ හඬට කීකරුව මාගේ ගිවිසුම රක්ෂා කරන්නහුනම් සියලු සෙනග අතරෙන් නුඹලා මට අසහාය වස්තුවක් වන්නහුය. මක්නිසාද මුළු පොළොව මාගේය. නුඹලා මට පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් වන්නහුය.” (නික්මයාම 19:5, 6) සෙනඟ ඒකමතිකව ස්වේච්ඡාවෙන් මීට එකඟ වුණාට පසු, යෙහෝවා ඔහුගේ ව්‍යවස්ථාව ඔවුන්ට දුන්නා. එය දෙවි වෙන කිසිම ජාතියකට දී තිබුණේ නැහැ.—ගීතාවලිය 147:19, 20.

11. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ආත්මික උරුමයට ඇතුළත් වූ වටිනා දේවල් සමහරක් මොනවාද?

11 එම අලුත් ජාතියට ලැබුණු ඒ ආත්මික උරුමය මොනතරම් වටිනවාද! ඔවුන් වන්දනා කළේ එකම සැබෑ වූ දෙවිටයි. ඔහු ඔවුන්ව මිසරයෙන් මුදවාගත් අතර, සීනයි කන්දේදී ව්‍යවස්ථාව දෙද්දී සිදු වූ ගරුබිය දනවන සිද්ධීන් ඔවුන් සියැසින්ම දුටුවා. එපමණක් නොව අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් “දෙවිගේ [අමතර] පරිශුද්ධ ප්‍රකාශන” ඔවුන්ට ලැබුණු විට මේ උරුමයේ වටිනාකම තව තවත් වැඩියෙන් ඔවුන්ට දැනෙන්ට පටන්ගත්තා. (රෝම 3:1, 2NW) තවදුරටත්, ඔවුන්ව තම සාක්ෂිකරුවන් බවට පත් කරගත්තේ යෙහෝවා විසින්මයි. (යෙසායා 43:10-12) එමෙන්ම, මෙසියානු වංශයද ඔවුන්ගේ ජාතියෙන් පැමිණීමට තිබුණා. මෙම මෙසියානු වංශය කවරෙක්ද කියා හඳුන්වා දීමටත්, ඔහුගේ අවශ්‍යතාව අගය කිරීමටත් ව්‍යවස්ථාව ඔවුන්ට උපකාර කළා. (ගලාති 3:19, 24) තවදුරටත්, ඔවුන්ට එම මෙසියානු වංශය සමඟ පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් හැටියට හවුලේ වැඩ කරන්නද ප්‍රස්තාව ලැබී තිබුණා.—රෝම 9:4, 5.

12. ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වුණත්, ඔවුන්ට අද්දකින්ට නොහැකි වුණේ කුමක්ද? ඒ මන්ද?

12 යෙහෝවා තමාගේ වචනයට එකඟව ඉශ්‍රායෙල්වරුන්ව පොරොන්දු දේශයට ගෙන ගියා. නමුත් ප්‍රේරිත පාවුල් පසු අවස්ථාවක විස්තර කළ ආකාරයට, ඔවුන්ගේ ඇදහිල්ලේ මදිකම නිසා එම දේශය සැබෑ ‘විශ්‍රාම ස්ථානයක්’ වුණේ නැහැ. ජනතාවක් හැටියට ඔවුන් ‘දෙවිගේ විශ්‍රාම ස්ථානයට’ ඇතුල් නොවුණේ, ආදම් සහ ඒව මැවූ දා සිට ඇරඹුණු දෙවිගේ විශ්‍රාම දවසේ අරමුණුවලට එකඟව ජීවත් වන්ටත්, ඒවා වටහාගන්ටත් ඔවුන් අසමත් වූ නිසයි.—හෙබ්‍රෙව් 4:3-10.

13. ඉශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ ආත්මික උරුමය අගය නොකළ නිසා ජාතියක් හැටියට ඔවුන්ට අහිමි වුණේ කුමක්ද?

13 පූජක රාජ්‍යයක් සහ ශුද්ධ ජාතියක් හැටියට මෙසියස් සමඟ ඔහුගේ ස්වර්ග රාජ්‍යයෙහි පාලනයට හවුල් වන සියලුදෙනාවම ඉදිරිපත් කරන්න ස්වාභාවික ඉශ්‍රායෙල්ට හැකියාවක් තිබුණා. එහෙත් ඔවුන් ඔවුන්ගේ අනර්ඝ උරුමය අගය කළේ නැහැ. මෙසියස් පැමිණි විට ඔහුව පිළිගත්තේ ස්වාභාවික ඉශ්‍රායෙල්වරුන්ගෙන් සුළුතරයක් පමණයි. ප්‍රතිඵලයක් හැටියට, පුරෝකථනය කළ පූජක රාජ්‍යයට ඉශ්‍රායෙල් ජාතියෙන් ඇතුල් කළේ කුඩා සංඛ්‍යාවක් පමණයි. එම රාජ්‍යය ස්වාභාවික ඉශ්‍රායෙල්වරුන්ගෙන් අහක් කර “ඵල උපදවන ජාතියකට දෙනු” ලැබුවා. (මතෙව් 21:43) ඒ ජාතිය කුමක්ද?

ස්වර්ගික උරුමය

14, 15. (අ) යේසුස්ගේ මරණයෙන් පසු, ආබ්‍රහම්ගේ “වංශය” මාර්ගයෙන් ජාතීන් ආශීර්වාද ලබන්න පටන්ගත්තේ කෙසේද? (ආ) ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ ලබන උරුමය කුමක්ද?

14 රාජ්‍යය දෙනු ලැබූ ජාතිය වූයේ ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ නැතහොත් යේසුස් ක්‍රිස්තුස්ගේ ආත්මයෙන් උපදවන ලද අනුගාමිකයන් 1,44,000දෙනාගෙන් සෑදුණු ආත්මික ඉශ්‍රායෙල්ය. (ගලාති 6:16; එළිදරව් 5:9, 10; 14:1-3) මේ 1,44,000දෙනාගෙන් සමහරෙක් ස්වාභාවික යුදෙව්වන් වූ අතර, බහුතරයක් අන්‍යජාතීන් වුණා. මේ ආකාරයට, ආබ්‍රහම්ගේ “වංශය” කරණකොටගෙන සියලු ජාතීන්ට ආශීර්වාද කරනවා කියා යෙහෝවා ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු වෙන්න පටන්ගත්තා. (ක්‍රියා 3:25, 26; ගලාති 3:8, 9) එම මුල් ඉටුවීමේදී, යෙහෝවා දෙවි අන්‍යජාතීන් අතරින් සෙනඟක් තෝරාගෙන, ඔවුන්ව ශුද්ධාත්මයෙන් ආලේප කර, තම දරුවන් ලෙසත් යේසුස් ක්‍රිස්තුස්ගේ සහෝදරයන් ලෙසත් පිළිගත්තා. මෙසේ ඔවුන්ද ‘වංශයේ’ දෙවන හෙවත් ද්විතියික කොටස බවට පත් වුණා.—ගලාති 3:28, 29.

15 යේසුස් තම ජීවිතය පිදීමට කලින්, මේ අලුත් ජාතියේ සාමාජිකයන් වීමට සිටි යුදෙව්වන්ට ඔහුගේ රුධිරය මගින් වලංගු වීමට යන අලුත් ගිවිසුම හඳුන්වා දුන්නා. එම ගිවිසුමට ඇතුළත් අය එම පූජාව කෙරෙහි තබන ඇදහිල්ල මත, ඔවුන්ව ‘සෑම කලටම සම්පූර්ණ කරනු ලබනවා.’ (හෙබ්‍රෙව් 10:14-18) ඔවුන්ව ‘ධර්මිෂ්ඨ කරනු ලැබ’ ඔවුන්ගේ පාපවලට සමාව දෙනු ලැබුවා. (1 කොරින්ති 6:11) ඔවුන්ගේ මේ තත්වය සලකා බලද්දී, එය හරියට ආදම් පව් කිරීමට පෙර දෙවි ඉදිරියේ ඔහුට තිබූ තත්වය වගෙයි. කෙසේවෙතත්, ඔවුන් ජීවත් වන්ට යන්නේ භූමික පාරාදීසයක නෙවෙයි. ඔවුන්ට ස්වර්ගයෙහි ස්ථානයක් පිළියෙළ කරන්ට යන බව යේසුස් කියා සිටියා. (යොහන් 14:2, 3) ‘ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ උරුමය’ ලබාගැනීම සඳහා ඔවුන් භූමික බලාපොරොත්තුව අත්හරිනවා. (1 පේතෘස් 1:4) ඔවුන් එහි ගොස් කරන්නේ කුමක්ද? යේසුස් මේ ගැන විස්තර කරන්නේ මෙසේයි. “මම ඔබ සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් කරමි.”—ලූක් 22:29NW.

16. ආලේප ලත් ක්‍රිස්තියානීන්ට අනාගතයේදී ඇති මවිතකර පැවරුම කුමක්ද?

16 ක්‍රිස්තුස් සමඟ ස්වර්ගයේ සිට පාලනය කිරීමට යන මොවුන් කරන්න යන දේවල් අතරට, යෙහෝවාගේ පරමාධිපත්‍යයට විරුද්ධව පැනනැඟී ඇති කැරැල්ලේ සෑම අංශුමාත්‍රයක්ම ඉවත් කරන්න උපකාර කිරීමත් ඇතුළත්. (එළිදරව් 2:26, 27) තවදුරටත්, ඔවුන් ආබ්‍රහම්ගේ ආත්මික වංශයේ ද්විතියික කොටස හැටියට, සියලුම ජාතීන්ට අයත් ජනයාට පරිපූර්ණ ජීවිතයක් ගෙන ඒමේ හවුල් වෙන්ටද යනවා. (රෝම 8:17-21) ඔවුන්ට ඇත්තේ මොනතරම් වටිනා උරුමයක්ද!—එපීස 1:16-18.

17. පොළොව මත සිටින විට ආලේප ලත් ක්‍රිස්තියානීන් භුක්ති විඳින්නේ ඔවුන්ගේ උරුමයේ කිනම් අංගද?

17 එහෙත් යේසුස්ගේ ආලේප ලත් අනුගාමිකයන්ගේ උරුමය සීමා වී තිබෙන්නේ අනාගතයටම විතරක් නෙවෙයි. වෙන කිසිම කෙනෙකුට කළ නොහැකි ආකාරයෙන් යේසුස් එකම සැබෑ දෙවි වන යෙහෝවා ගැන ඉගෙනගැනීමට ඔවුන්ට උපකාර කළා. (මතෙව් 11:27; යොහන් 17:3, 26) වචනයෙන් සහ ආදර්ශයෙන්, ‘යෙහෝවා කෙරෙහි විශ්වාස කිරීම’ සහ යෙහෝවාට කීකරු වීම කියන්නේ කුමක්ද කියා ඔහු ඔවුන්ට ඉගැන්නුවා. (හෙබ්‍රෙව් 2:13; 5:7-9) යේසුස් ඔවුන්ට දෙවිගේ අරමුණු පිළිබඳ සැබෑ දැනුම විශ්වාසයෙන් භාර දුන්නා පමණක් නොව, ඒවා පූර්ණ ලෙස තේරුම්ගැනීමට ශුද්ධාත්මය මඟ පෙන්වන බව ඔවුන්ට සහතික කළා. (යොහන් 14:24-26) ඔහු දෙවිගේ රාජ්‍යයේ වැදගත්කම ඔවුන්ගේ මනස්වලත් හෘදවලත් පැලපදියම් කළා. (මතෙව් 6:10, 33) තවදුරටත් යෙරුසලමේ, යුදයේ, සමාරියේ මෙන්ම පොළොවේ දුරස්තර ප්‍රදේශවල දේශනා කිරීමේත් ගෝලයන් සෑදීමේත් පැවරුම යේසුස් තම ගෝලයන්ට භාර දුන්නා.—මතෙව් 24:14; 28:19, 20; ක්‍රියා 1:8.

මහත් සමූහයකට අනර්ඝ උරුමයක්

18. ආබ්‍රහම්ගේ “වංශය” තුළින් සියලු ජාතීන්ට ආශීර්වාද කරනවා යන යෙහෝවාගේ පොරොන්දුව අදදින ඉටු වන්නේ කිනම් ආකාරයටද?

18 පෙනෙන විදිහට, ආත්මික ඉශ්‍රායෙල් නොහොත් රාජ්‍යයේ උරුමක්කාරයන්ගේ ‘කුඩා රැළේ’ මුළු සංඛ්‍යාව තෝරාගෙන අවසන්. (ලූක් 12:32) දැනට දශක ගණනාවක් පුරා, සියලු ජාතීන්ගෙන්ම මහත් සමූහයක් එක්රැස් කිරීමේ වැඩයකට අවධානය යොමු කර තිබෙනවා. මේ ආකාරයට, ආබ්‍රහම්ගේ “වංශය” කරණකොටගෙන සියලු ජාතීන්ට ආශීර්වාද කරනවායයි යෙහෝවා ආබ්‍රහම්ට වූ පොරොන්දුව විශාල ආකාරයකින් ඉටු වෙමින් තිබෙනවා. මේ ආශීර්වාද ලත් මහත් සමූහය යෙහෝවාට පරිශුද්ධ සේවය පුදමින් සිටිනවා පමණක් නොව, ඔවුන්ගේ ගැළවීම රඳා පවතින්නේ දෙවිගේ බැටළුපැටවා වන යේසුස් ක්‍රිස්තුස් මත ඇදහිල්ල තැබීම මත බවත් ඔවුන් වටහාගෙන තිබෙනවා. (එළිදරව් 7:9, 10) ඒ ප්‍රීතිමත් කණ්ඩායමේ කොටසක් වෙන්න කියා යෙහෝවාගෙන් ලැබී තිබෙන කාරුණික ආරාධනාව ඔබ පිළිගෙන තිබෙනවාද?

19. දැන් ආශීර්වාද ලබමින් සිටින ජාතීන් බලා සිටින්නේ කිනම් උරුමය දෙසද?

19 කුඩා රැළට අයත් නැති අයට යෙහෝවා දෙන අනර්ඝ උරුමය කුමක්ද? එය ස්වර්ගීය උරුමයක් නම් නෙවෙයි. එය ආදම් විසින් ඔහුගෙන් පැවතෙන්නන්ට දිය යුතු වූ උරුමයයි. එනම්, ක්‍රමානුකූලව මුළු පොළොව පුරාම ව්‍යාප්ත වීමට තිබූ පාරාදීසයක, පරිපූර්ණත්වයෙන් සදාකාලයටම ජීවත් වීමේ අපේක්ෂාවයි. එය ‘මරණය තවත් නැති, වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නැති’ ලෝකයක්. (එළිදරව් 21:4) එසේ නම් ඔබටයි දෙවි මේ කතා කරන්නේ. ‘යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරන්න. දේශයෙහි වාසය කරමින් විශ්වාසකම අනුව යන්න. යෙහෝවා කෙරෙහි ප්‍රීතිමත් වෙන්න. ඔහුද ඔබේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරන්නේය. මද කලකින් දුෂ්ටයා නැති වන්නේය. නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය. ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය. ධර්මිෂ්ඨයෝ දේශය උරුම කරගන්නෝය. එහි සදාකල් වාසය කරන්නෝය.’—ගීතාවලිය 37:3, 4, 10, 11, 29.

20. ‘වෙනත් බැටළුවන්’ ආලේප ලත් අයගේ ආත්මික උරුමයෙන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

20 ස්වර්ගීය රාජ්‍යයේ භූමික විෂය තුළ යේසුස්ගේ ‘වෙනත් බැටළුවන්ට’ උරුමයක් තිබෙනවා. (යොහන් 10:16අ) ඔවුන් සිටින්න යන්නේ ස්වර්ගයේ නොවුණත්, ආලේප ලත් අය භුක්ති විඳින ආත්මික උරුමයෙන් වැඩි හරියක් ඔවුන්ද භුක්ති විඳින්න යනවා. දෙවිගේ වචනයේ අඩංගු වටිනා පොරොන්දු තේරුම්ගැනීමට වෙනත් බැටළුවන්ට හැකි වී තිබෙන්නේ, පොළොව මත සිටින ආලේප ලත් අය හෙවත් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මාර්ගයෙනුයි. (මතෙව් 24:45-47; 25:34) ආලේප ලත් අය සහ වෙනත් බැටළුවන් සැබෑ දෙවි වන යෙහෝවාව හඳුනනවා. ඔවුන් එකමුතුව ඔහුට නමස්කාර කරනවා. (යොහන් 17:20, 21) යේසුස්ගේ පූජාවේ පව් සමා කිරීමේ වටිනාකම සම්බන්ධයෙන් එක්සත්ව දෙවිට ස්තුති කරන ඔවුන් එක රැළක් හැටියට එකම එඬේරා වන යේසුස් ක්‍රිස්තුස් යටතේ එකට සේවය කරමින් සිටිනවා. (යොහන් 10:16ආ) ඔවුන් එකම ප්‍රේමනීය ලෝක ව්‍යාප්ත සහෝදරත්වයක කොටසක්. ඔවුන් යෙහෝවා සහ ඔහුගේ රාජ්‍යය පිළිබඳ සාක්ෂිකරුවන් හැටියට ඔවුන්ගේ එම වරප්‍රසාදයේ එකට හවුල් වෙනවා. ඔව්, ඔබ යෙහෝවාගේ කැප වූ බව්තීස්ම ලත් සේවකයෙක් නම්, මේ සෑම දෙයක්ම ඔබේ ආත්මික උරුමයට ඇතුළත් වෙනවා.

21, 22. අපි අපේ ආත්මික උරුමය රැකබලා ගන්නවා කියා අපට ඔප්පු කළ හැක්කේ කෙසේද?

21 ඔබට ලැබී තිබෙන මේ ආත්මික උරුමය මොනතරම් වටිනවාද? දෙවිගේ කැමැත්ත කිරීම ඔබේ ජීවිතයේ වැදගත්ම දෙය කරගැනීමට තරම් ඔබ එම උරුමය අගය කරනවාද? ඊට සාක්ෂි වශයෙන්, ක්‍රිස්තියානි සභාවේ සියලුම රැස්වීම්වලට නිතිපතාම සහභාගි වීමට ඔබට දෙවිගේ වචනයෙන් සහ සංවිධානයෙන් ලැබෙන උපදෙස් ඔබ පිළිගන්නවාද? (හෙබ්‍රෙව් 10:24, 25) ඒ උරුමය ඔබට ඒ තරම්ම වැදගත් නිසා, දුෂ්කරතා හමුවේ වුණත් දිගටම දෙවිට සේවය කරන්න ඔබ සූදානම්ද? එමෙන්ම, ඔබේ උරුමයට විරුද්ධව පැමිණිය හැකි ඕනෑම පරීක්ෂාවකට එරෙහිව සිටීමට තරම් ඒ කෙරෙහි ඔබ දක්වන අගය කිරීම ශක්තිමත්ද?

22 දෙවි අපිට දී තිබෙන ආත්මික උරුමය අපි සියලුදෙනාම රැකගනිමු. අපි ඉදිරියේ තිබෙන පාරාදීසය වෙතම අපේ ඇස් යොමාගෙන සිටිමින්, යෙහෝවා දැන් දෙන ආත්මික වරප්‍රසාදවල පූර්ණ ලෙස හවුල් වෙමු. යෙහෝවා සමඟ ඇති සම්බන්ධය වටා අපේ ජීවිත ගොඩනඟා ගන්නා විට දෙවි දුන් උරුමය අපිට මොනතරම් වටිනවාද කියා අපි පෙන්වනවා. ‘මාගේ දෙවි වූ රජ්ජුරුවෙනි, ඔබ උසස් කරන්නෙමි. ඔබගේ නාමයට සදාකාලේටම ප්‍රශංසා කරන්නෙමි’ කියා ප්‍රකාශ කරන අය අතර අපත් සිටීවා!—ගීතාවලිය 145:1.

ඔබ පහදා දෙන්නේ කෙසේද?

• ආදම් දෙවිට පක්ෂපාතව සිටියා නම්, ඔහුගෙන් අප ලබන උරුමය කුමක්ද?

• ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් ඔවුන් ඉදිරියේ තිබූ උරුමය සැලකුවේ කෙසේද?

• ක්‍රිස්තුස්ගේ ආලේප ලත් අනුගාමිකයන්ගේ උරුමයට අයත් වන්නේ මොනවාද?

• මහත් සමූහයේ උරුමය කුමක්ද? එමෙන්ම, ඔවුන් එය ඇත්තටම අගය කරන බව පෙන්වීමට ඔවුන්ට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20වන පිටුවේ පින්තූර]

ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් අනර්ඝ උරුමයක පොරොන්දුවක් ලැබුවා

[23වන පිටුවේ පින්තූර]

ඔබ ඔබේ ආත්මික උරුමය අගය කරනවාද?