Skip to content

පටුනට යන්න

ඇගේ සිහිනය සැබෑ විය

ඇගේ සිහිනය සැබෑ විය

ඇගේ සිහිනය සැබෑ විය

“යෙහෝවා? ඔහු කවුද?” යන සිතුවිල්ල අට හැවිරිදි ළදැරියක් වූ සිල්වියාගේ මනසට නැගුණි. ඇගේ පුංචි සිත කැලඹීමට හේතුව වූයේ ආමේනියානු බයිබලයක යෙහෝවා යන නම ඇයට දැකගැනීමට ලැබුණු නිසාය. ඇයට එම නාමය පෙන්වනු ලැබුවේ තවත් පුංචි ගැහැනු ළමයෙකු විසිනි. යෙහෝවා කියන්නේ කවුද යන්න පිළිබඳව ඇගේ දෙමව්පියන්ගෙන්ද ගුරුවරුන්ගෙන්ද පල්ලියේ පූජකයන්ගෙන්ද ඇසූ නමුත් ඔවුන්ගෙන් කිසිවෙක් ඇගේ ප්‍රශ්නයට නිසි පිළිතුරු දුන්නේ නැත. ඇය ජීවත් වූයේ ආමේනියාවේ පිහිටි යෙරවාන් නගරයේ වන අතර එහි සිටි කිසිම කෙනෙකුට ඊට පිළිතුරක් දීමට හැකි වූයේ නැත.

දැන් සිල්වියා පාසැල් අධ්‍යාපනයෙන් සමුගෙන රැකියාවක නිරත වන වැඩිහිටි තරුණියක්ය. නමුත් ඇය මේ වන තුරුත් යෙහෝවා කියන්නේ කවුද කියා දැනගෙන සිටියේ නැත. මේ කාලයේදී තරුණියක්ව සිටි ඇයට ආමේනියාව අත්හැර පෝලන්තය වෙත පලා යෑමට සිදු විය. එහිදී ඇගේ නවාතැන වූයේ සරණාගතයන් කිහිපදෙනෙකු නැවතී සිටි පුංචි කාමරයකි. මේ අතර, එම කාමරයේම නැවතී සිටි එක් ගැහැනු ළමයෙකු බැහැදැකීමට අමුත්තෝ වගයක් පැමිණියහ. ඔවුන් කවුදැයි කියා සිල්වියා ඇගෙන් විමසුවාය. එවිට ඇය පිළිතුරු දෙමින් “ඒ අය යෙහෝවාගේ සාක්ෂිකරුවන්, ඒගොල්ලෝ මට බයිබලය ගැන කියලා දෙන්න එනවා” කියා පැවසුවාය.

යෙහෝවා යන නම සිල්වියාගේ සවනට වැකුණු විට ඇගේ සිත ප්‍රීතියෙන් ඉපිල ගියාය. කෙසේ හෝ අවසානයේදී යෙහෝවා කවුද යන්නත් ඔහු කොතරම් ප්‍රේමනීය දෙවිකෙනෙක්ද යන්නත් ඇය ඉගෙනගැනීමට පටන්ගත්තාය. මේ අතර ඇගේ ආරක්ෂාව ගැන මීට වඩා ඇය සැලකිලිමත් විය යුතුය යන හැඟීම ඇය තුළ ඇති විය. එමනිසා පෝලන්තය අත්හැර ඩෙන්මාර්කය බලා පිටත් වීමට ඇය තීරණය කළ අතර මෙහිදී බෝල්ටික් මුහුද හරහා යෑමට සිදු විය. මේ ගමන සඳහා සිල්වියා අත්‍යවශ්‍යම දේවල් හා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොත් පත් හා සඟරා පමණක් ගෙන ගියාය. එම ප්‍රකාශනවල අවසාන පිටුවේ වොච් ටවර් ශාඛා කාර්යාලවල ලිපිනයන් සඳහන්ව තිබෙන බව ඇය සොයාගත්තාය. මෙය ඇත්තෙන්ම ඇයට වැදගත් විය. මන්ද එතුළින් ඇයට යෙහෝවා ගැන සෙවීමට මඟක් විවෘත වූ නිසාය.

ඩෙන්මාර්කයට ගිය පසු අනාථ කඳවුරුවල රැඳී සිටීමට සිල්වියාට සිදු විය. එහි ගිය විගස ඇගේ පළවන කාර්යය වූයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන සොයා බැලීමට ප්‍රයත්නයක් දැරීමය. ඇය සතුව තිබූ ලැයිස්තුවට අනුව ඩෙන්මාර්කයේ වොච් ටවර් ශාඛා කාර්යාලය පිහිටා තිබුණේ හොල්බෙක් නගරය තුළ බව ඇය දැන සිටියාය. නමුත් හොල්බෙක් නගරය පිළිබඳව මේ වන විට ඇය කිසිවක් නොදැන සිටියාය. මේ අතර සිල්වියාව වෙනත් කඳවුරකට මාරු කරන ලදි. ඇයට මෙම කඳවුර කරා යෑමට සිදු වූයේ දුම්රියෙනි. අලුත් ප්‍රදේශය කරා යන අතරතුර ඇගේ නෙත් ඒ අවට පරිසරය සිසාරා ඇදී ගියාය. මේ අතර එක්වරම ඇගේ නෙත ගැටුණේ හොල්බෙක් නගර සීමා පුවරුවය. නැවතත් ඇගේ සිත ප්‍රීතියෙන් ඉපිල ගියාය.

ඉන්පසු පැහැබර සෞම්‍ය දවසක සිල්වියා දුම්රියෙන් හොල්බෙක් නගරය බලා පිටත් වූවාය. දුම්රියෙන් බැසගත් ඇය ශාඛා කාර්යාලය වෙත පියමැන්නාය. එම සොඳුරු මතකය ඇය මෙසේ අවදි කරයි. “මම ශාඛා කාර්යාලයේ වත්තට ඇතුල් වුණා. ඊට පස්සේ බංකුවක් මත වාඩි වෙලා මම මටම මෙසේ කියාගත්තා. ‘මේක නම් ඇත්තටම පාරාදීසයක් වගෙයි!’” ශාඛා කාර්යාලයේ සිටි අය ඇයව ඉතා උණුසුම්ව පිළිගත් අතර අන්තිමේදී ඇය බයිබල් පාඩමක් ආරම්භ කිරීමට සැලසුම් කළාය.

නමුත් සිල්වියාට අනාථ කඳවුරු කිහිපයකටම මාරුවීමට සිදු විය. මේ හැම අවස්ථාවකම එම පළාතේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් හමු වී ඇගේ බයිබල් පාඩම නැවත නැවතත් ආරම්භ කිරීමට ඇයට සිදු විය. කෙසේවෙතත්, අවුරුදු දෙකක් පුරා ඇය ලද දැනුම යෙහෝවා දෙවිට කැප වී බව්තීස්ම වීමට ප්‍රමාණවත් විය. බව්තීස්මයෙන් පසු ඇය පූර්ණ කාලීන සේවය ආරම්භ කළාය. ඉන් අනතුරුව, 1998දී ඇගේ රැකවරණය ඩෙන්මාර්කයේ අධිකාරය භාරගත්තේය.

දැන් සිල්වියාගේ වයස අවුරුදු 26ක් වන අතර, ඇය සේවය කරන්නේ ඩෙන්මාර්කයේ ශාඛා කාර්යාලයේය. එනම් වරක් ඇගේ මනසේ රැඳුණු පාරාදීසය තුළය. ඇය මොහොතකට අතීතයට ගමන් කරයි. “මම යෙහෝවා දෙවිව සොයන්න පටන්ගත්තේ පුංචි කාලයේ ඉඳලමයි. ඉතිං දැන් මම ඔහුව සොයාගෙනයි තියෙන්නේ. ඉන්පසු මම සිහින මැව්වා යෙහෝවා දෙවිගේ සේවයට මගේ ජීවිතය කැප කරන්න ඕනේ කියලා. ඇත්තටම මම දැන් බෙතෙල් ගෘහය තුළ ඔහුට සේවය කරමින් ඉන්නවා.” තවදුරටත් ඇය මෙසේද පැවසුවාය. “වසර ගණනාවකටම මගේ නිවහන මේ ගෘහය වෙන්න කියලා මම නිතරම යාච්ඤා කරනවා.”