Skip to content

පටුනට යන්න

චිලි රටෙහි සත්‍ය ජලය ගලා යද්දී එහි බීජ රෝපණය වේ

චිලි රටෙහි සත්‍ය ජලය ගලා යද්දී එහි බීජ රෝපණය වේ

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

චිලි රටෙහි සත්‍ය ජලය ගලා යද්දී එහි බීජ රෝපණය වේ

වසර ගණනාවක් පුරාම වර්ෂාව නොලැබීම නිසා උතුරු චිලි ප්‍රදේශය දැඩි වියළි තත්වයක පවතී. නමුත් මෙම ගල් බොරළු සහිත කාන්තාරයක් බඳු ප්‍රදේශය සිසාරා නැවතත් ඇද හැළෙමින් පවතින වර්ෂාව හේතුවෙන්, එහි විචිත්‍ර වර්ණයෙන් යුත් නානා වර්ගයේ මල් පිපී දිදුලමින් තිබෙන අයුරු දැකගත හැක. අති රමණීය වූ මෙම දර්ශනය දේශයට පැමිණෙන බොහෝ විදේශිකයන්ගේ සිත් ක්ෂණිකවම ඇද බැඳගනී.

කෙසේවෙතත්, ඊටත් වඩා සිත්ගන්නා අද්විතීය දෙයක් චිලි රටෙහි මනුෂ්‍යයන් තුළ දැකගත හැක. එනම් ශුද්ධ ලියවිල්ලෙහි වූ සත්‍ය ජලය දේශය සිසාරා ගලා යද්දී අවංක සිත් ඇති මනුෂ්‍යයන් ‘මල් පූදිනවා’ මෙන් යේසුස් ගිය අඩිපාරේ ගමන් කිරීමට පෙලඹීමයි. දුරකථනය එහි සත්‍ය ජලය ගලා යෑම සඳහා එක් මාධ්‍යයකි. එයින් සාර්ථක ප්‍රතිඵල නෙලාගැනීමට සමත් වූ කදිම සාක්ෂි දැරීම් කිහිපයක් පහත දැක්වේ.

• එක් චාරිකා එක්රැස්වීමකදී පූර්ණ-කාලීන සේවයේ යෙදී සිටි සහෝදරියක වූ කරීනාට, සාක්ෂි දැරීමට දුරකථනය භාවිත කරන ආකාරය පිළිබඳව නිරුපණයක් ඉදිරිපත් කිරීමට ලැබුණාය. නමුත් ඇය මීට කලින් මේ ආකාරයට සාක්ෂි දැරීමක් කර තිබුණේ නැත. නමුත් එක්රැස්වීමේ වැඩසටහනට සහභාගි වීමට හොඳ දිරිගැන්වීමක් ලබා දීම සඳහා එක් වැඩිමහල්ලෙක් සහ ඔහුගේ භාර්යාව දුරකථනය භාවිත කරගෙන සාක්ෂි දැරීමට අවශ්‍ය උපදෙස් ඇය සමඟ සාකච්ඡා කළහ. ඔවුන් ඇයව උනන්දු කළේ මේ කාරණය සම්බන්ධව යෙහෝවාගෙන් උපකාරය පතා යාච්ඤා කරන ලෙසටය. පසුව ඇය මෙම සාක්ෂි දැරීමේ මාධ්‍යය අත්හදා බැලීමට තීරණය කළාය.

කරීනා ළඟපාත ගමක දුරකථන අංකයක් තෝරාගෙන එම අංකය ඔස්සේ ඇමතූ විට ඇය සමඟ කතා කළේ දුරකථන ක්‍රියාකරවන්නියකි. එවිට කරීනා මේ ආකාරයෙන් ඇමතීමට හේතුව එම තැනැත්තියට පැහැදිලි කළාය. මෙම සංවාදයෙන් ඇය සතුටුදායක ප්‍රතිචාරයක් ලැබුවාය. එපමණක්ද නොව, දින තුනකට පසුව නැවත කතා කිරීමට පවා සැලසුම් කරගත්තාය. මෙය දුරකථනය භාවිතයෙන් ඇරඹි නැවත බැලීමක් වූ අතරම පසුව බයිබල් පාඩමක් බවටද පත් විය. මේ අනුව දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? යන විවරණිකාවෙන් බයිබල් පාඩමක් ඇරඹිණ. මේ නිසා කරීනාට උනන්දුමත් මෙන්ම ප්‍රාණවත් බයිබල් පාඩමක් කරගෙන යෑමට අවස්ථාවක් ලැබුණු අතරම එම තැනැත්ති ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් එයට අදාළ පොත් පත්ද යැවිය හැකි විය.

• බර්නාඩා මුලින්ම සාක්ෂි දැරීමකට මුල පිරුවේ, එක්තරා පුද්ගලයෙකු වැරදීමකින් ඇගේ දුරකථන අංකය කරකැවීම හේතුවෙන් පැමිණි ඇමතුමක් නිසාය. බර්නාඩා ඔහු සමඟ කතාබහක යෙදුණු අතර පසුව ඇය යෙහෝවාගේ සාක්ෂිකාරියක බව හඳුන්වා දී ඔහුට උපකාරද කළාය. එපමණක්ද නොව දෙවිගේ රාජ්‍යයේදී අයුක්තිය සදහටම ඉවත් කරන ආකාරය ගැනද ඇය පැහැදිලි කළාය. පසුව ඔහු බර්නාඩාට තම දුරකථන අංකය දුන් අතර එමගින් ඇය දුරකථනය මාර්ගයෙන් නැවත බැලීම් කළාය. ඇය ඔහු සමඟ කළ එක් සාකච්ඡාවක් අතරතුරේදී සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතෙහි කොටසක් ඔහුට කියෙව්වාය. ඔහු එම පොතෙහි පිටපතක් එවන ලෙස ඇගෙන් ඉල්ලා සිටියේය. එවිට බර්නාඩා එම පිටපත සමඟ බයිබලයක්ද ඔහු වෙත යැව්වාය. පසුව ඇය ඔහු සිටින ප්‍රදේශයේ සහෝදරයෙකුට එම බයිබල් පාඩම භාර දුන් අතර දැන් ඔහු එය පවත්වමින් සිටින්නේය. එය පීදීගෙන එන පුංචි “පැළයක” වර්ධනයට අවශ්‍ය “ජලය” සපයන මාර්ගයක් විවෘත කර දුන්නා හා සමානය.

අද ලෝකයේ තිබෙන ආත්මික වශයෙන් වියළී ගිය ප්‍රදේශ හරහා සත්‍ය නමැති ජීවනදායක ජලය ගලා යද්දී සැඟවී ඇති බීජ රෝපණය වේ. සාපිපාසා ඇති දසදහස් ගණන් දෙනා යෙහෝවාගේ විශ්වාසවන්ත සේවකයන් වීමට ආත්මිකව “පූදින” ආකාරය දැකගත හැක.—යෙසායා 44:3, 4NW.