Skip to content

පටුනට යන්න

බලා සිටීමට සිදු වන විට

බලා සිටීමට සිදු වන විට

බලා සිටීමට සිදු වන විට

ප්‍රමාදයක් අද්දකින විට අපට කොතරම් වේලාවක් බලා සිටීමට සිදු වෙනවාද කියා ඔබ කල්පනා කර තිබෙනවාද? සාප්පුවකට ගියත්, වාහනයකට පෙට්‍රල් ගහන්න ගියත් අපට පෝලිමක බලා සිටින්න සිදු වෙනවා. ආපන ශාලාවකට ගියත්, වෛද්‍යවරයෙක් හමුවීමට ගියත් බලා සිටීමට සිදුවීමෙන් කාලය සෑහෙන දුරට අපතේ යනවා. ඒ විතරක් නෙවෙයි, බස් එකක් හෝ කෝච්චියක් එන තෙක් කොතරම් වෙලා බලා සිටීමට සිදු වෙනවාද කියා අප කොයි කවුරුත් අද්දැක තිබෙනවා. ඔව්, අපේ ජීවිත කාලය පුරාම අපට බලා සිටීමට සිදු වන අවස්ථා අනන්ත අප්‍රමාණයි. එක් ගණනය කිරීමකට අනුව, ජර්මනියේ පමණක් වාහන තදබදය හේතුවෙන් අවුරුද්දකට පැය බිලියන 4.7ක්ම අපතේ යනවා. එම පැය ගණන මිනිසුන් 7,000දෙනෙකුගේ ජීවිත අපේක්ෂාවේ මුළු එකතුවට සමානයි කියා ගණන් බලා තිබෙනවා!

ඇත්තෙන්ම, සෑහෙන වේලාවක් බලා සිටීමට සිදුවීම අධෛර්යය කරවනසුලු අද්දැකීමක් විය හැකියි. අප ජීවත් වන්නේ ඉතාමත් කාර්ය බහුල යුගයක නිසා අපට කරන්න තිබෙන දේවලට කාලය මදියි කියා අපට හැඟෙන්න පුළුවන්. ඒ නිසා බලා සිටීමට සිදු වන විට අප කාලය අපතේ හරින බව අපට හැඟෙන්න පුළුවන් වගේම, එම කාලය වඩාත් ප්‍රයෝජනදායක ආකාරයකට යොදාගන්න තිබුණායයි සිතමින් අප මානසිකවත් තැවෙන්න පුළුවන්. කර්තෘ ඇලෙක්සාන්ඩර් රෝස් ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වයි. “ජීවිතයේ වඩාත්ම පීඩාකාරි දේවලින් එකක් වන්නේ බලා සිටීමට සිදුවීමයි.”

වසර 250කට කලින් අමෙරිකානු ජාතික දේශපාලනඥ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ප්‍රමාදයෙන් සිදු විය හැකි තවත් හානියක් හඳුනාගත්තා. ඔහු පැවසුවේ, “කාලය කියන්නේ මුදල්” කියායි. ඔව්, බලා සිටීමට සිදු වන විට විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති විය හැකියි. ව්‍යාපාරිකයන් තම වැඩ කරගෙන යද්දී අනවශ්‍ය ලෙස කාලය කා නොදැමීමට වෙර දරන්නේ එනිසයි. ඔවුන් සුළු වේලාවක් ඇතුළත බොහෝ භාණ්ඩ නිපදවීමට වෑයම් කරන්නේ, එතුළින් වැඩි ලාභයක් උපයාගත හැකියි කියා දන්නා නිසයි. ඒ වගේම, පොදු ජනයාගේ ශුභසාධනය සඳහා කෙළින්ම දායක වන ක්ෂණික ආහාර සපයන ආපන ශාලා හා ක්ෂණික ගනුදෙනු කළ හැකි බැංකු වැනි වෙනත් ආයතන පාරිභෝගිකයන්ට ඉක්මන් සේවාවන් සපයනවා. පාරිභෝගිකයන්ට අනවශ්‍ය ලෙස බලා සිටීමට සිදු වුණොත් ඔවුන් අසතුටට පත් වන බව ඔවුන් වටහාගෙන තිබෙනවා.

අහිමි වී යන කාලය

දහනවවන සියවසේ විසූ අමෙරිකානු ජාතික කාව්‍ය රචක රැල්ෆ් වොල්ඩෝ එමසන් වරක් මෙසේ දුක් වුණා. “බලා සිටීමට සිදු වන නිසා මනුෂ්‍ය ජීවිතයෙන් කොයිතරම් කාලයක් අපතේ යනවාද!” බලා සිටීමට සිදුවීම හේතුවෙන් අපට අලසකමක් දැනෙනවා වගේම අප ශාරීරිකව පවා යම් අපහසුතාවකට පත් විය හැකි බව වඩාත් මෑතකදී කර්තෘ ලාන්ස් මොරෝ පවසා තිබුණා. නමුත් ඔහු ඉන් අත් වන ඊට වඩා වේදනාකාරි ප්‍රතිඵලයක් ගැනත් කතා කළා. ඒ කුමක්ද? “අපේ වටිනාම සම්පතක් වන කාලය, තත්පරයෙන් තත්පරය ගෙවී යනවාත් සමඟම ජීවිතයත් ක්‍රමක්‍රමයෙන් අපෙන් ගිලිහී යනවා” යන හැඟීමයි. මෙය අපට ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක් වේ. ප්‍රමාද වීමක් හේතුවෙන් අපතේ යන කාලය අපට නැවත කිසිදා ලබාගත නොහැකියි.

ජීවිතය මෙතරම් කෙටි නොවූවා නම්, බලා සිටීම එතරම් දුෂ්කර කාර්යයක් නොවෙයි. නමුත් ජීවිතය කෙටියි. එය අපට වෙනස් කළ හැකි දෙයක් නොවෙයි. සියවස් ගණනාවකට පෙර බයිබල් ගීතිකාකරුවෙක් එය මෙසේ විස්තර කළා. “අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.” (ගීතාවලිය 90:10) අප කවුරු වුවත් අප කොහේ ජීවත් වුවත්, අපට ඉතිරි වී තිබෙන දවස්, පැය හා තත්පර ගණන ඉතා සීමිතයි. නමුත් එම වටිනා කාලයෙන් කොටසක් අපතේ යන එක අපට වැළැක්විය නොහැකියි. අප කැමති වුවත් නැතත්, යම් පුද්ගලයෙක් නිසා හෝ යම් තත්වයක් නිසා හෝ අපට බලා සිටීමට සිදු වෙනවා.

බලා සිටීමට ඉගෙනගැනීම

සමහරවිට තමාට ඉදිරියෙන් තිබෙන වාහන නිතරම පසු කරගෙන යෑමට වෑයම් කරන පුද්ගලයෙක් සමඟ ඔබ වාහනයක ගමන් කර ඇති. බොහෝ අවස්ථාවලදී හදිසියක් නැති වුණත් ඔහු යන්නේ හදිසියෙන් වගෙයි. වෙනත් වාහනයකින් ඔහුගේ ගමනට බාධාවක් ඇති වෙනවාට ඔහු කොහෙත්ම කැමති නැහැ. ඔහුගේ නොඉවසිලිමත් ක්‍රියාකලාපයෙන් තේරෙන්නේ ඔහු බලා සිටීමට ඉගෙනගෙන නැති බවයි. ඔව්, ඉවසිල්ලෙන් බලා සිටීමට අප ඉගෙනගත යුතුයි. එය අපට ඉබේම කළ හැකි දෙයක් නොවෙයි. ළදරුවෙක් බඩගින්නේ සිටින විට හෝ ඔහුට යම් අපහසුතාවක් දැනෙන විට ක්ෂණික සහනයක් බලාපොරොත්තු වෙමින් අඬයි. තමා ඉල්ලන දේ ලබාගන්න යම් අවස්ථාවලදී තමාට බලා සිටීමට සිදු වන බව ඔහු වටහාගන්නේ ටිකක් ලොකු වුණාට පසුවයි. ඇත්තෙන්ම, බලා සිටීමට සිදුවීම අපේ ජීවිතයේ අනිවාර්යය අංගයක් වන නිසා, අවශ්‍ය වූ විට ඉවසිලිවන්තව බලා සිටින්න පුරුදු වීම මේරුකමේ සංකේතයක් වෙයි.

හදිසි අවස්ථාවකදී පුද්ගලයෙක් නොඉවසිලිමත්ව කටයුතු කරන්නේ ඇයි කියා අපට තේරුම්ගත හැකියි. උදාහරණයකට, තරුණ පුරුෂයෙක්, තම භාර්යාවට බබා හම්බ වෙන්න ඔන්න මෙන්න කියා තිබෙද්දී රෝහලට ගෙන යන අවස්ථාවේදී ප්‍රමාදයක් ඇති වුණොත් නොඉවසිල්ලෙන් කටයුතු කරන එක සාධාරණයි. තවද සොදොම්හි සිටි ලොත්ට එතැනින් පලා යන්න කියා අනතුරු ඇඟවූ දේවදූතයන්, ලොත් ප්‍රමාද වූ විට බලා සිටීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. විනාශය අත ළඟ වූ බැවින් ලොත් හා ඔහුගේ පවුලේ සියලුදෙනාගේම ජීවිත අවදානම් තත්වයකයි තිබුණේ. (උත්පත්ති 19:15, 16) නමුත් බලා සිටීමට සිදු වන බොහෝ අවස්ථාවලදී මිනිසුන්ගේ ජීවිත අවදානම් තත්වයක තිබෙනවායයි පැවසිය නොහැකියි. එවැනි අවස්ථාවලදී සියලුදෙනාම ඉවසීම වර්ධනය කරගන්නවා නම් එම තත්වයට වඩා හොඳින් මුහුණ දීමට පුළුවන් වෙයි. යමෙකුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් හෝ අලසකම හේතුවෙන් අපට බලා සිටීමට සිදු වන විට පවා ඉවසිලිවන්ත වීම තමයි හොඳම දේ. තවද, බලා සිටින කාලය ප්‍රයෝජනදායක ආකාරයට යොදාගැනීමට පුරුදු වෙනවා නම් වඩා ඉවසිලිවන්තව කටයුතු කිරීමට පුළුවන් වේ. බලා සිටීම වඩාත් පහසු කරගැනීමට මෙන්ම එයින් යම් ප්‍රයෝජනයක් අත් කරගැනීමට උපකාරවත් වන යෝජනා කිහිපයක් සඳහා 5වන පිටුවේ ඇති කොටුව බලන්න.

ඇත්තෙන්ම නොඉවසිලිමත් ලෙස කටයුතු කිරීමෙන් අඟවන්නේ අප තුළ උඩඟු ආකල්පයක් ඇති බවයි. එනම්, මං වගේ වැදගත් පුද්ගලයෙකුට වෙනත් කෙනෙක් නිසා බලා සිටින්න අවශ්‍ය නැහැයි යන ආකල්පය අප තුළ තිබිය හැකියි. එවැනි ආකල්පයක් ඇති සියලුදෙනාම බයිබලයේ සඳහන් මෙම වදන් සලකා බැලීම යෝග්‍යයි. “උඩඟු අයට වඩා ඉවසිලිවන්තයා උතුම්ය.” (දේශනාකාරයා 7:8) “උඩඟු සිත් ඇති කවුරු නුමුත් [යෙහෝවාට] පිළිකුලක්” බව බයිබල් හිතෝපදේශයක පවසනවා. (හිතෝපදේශ 16:5) උඩඟුකම කියන්නේ පුද්ගලයෙකු තුළ තිබිය හැකි බරපතළ අඩුපාඩුවක් බව මින් පැහැදිලියි. ඉවසීම වර්ධනය කරගැනීමට එහෙම නැත්නම් බලා සිටීමට ඉගෙනගැනීමට නම්, අප ගැන හා අන්‍යයන් සමඟ අප කටයුතු කරන ආකාරය ගැන හොඳ ආත්ම සෝදිසියක් කිරීම අවශ්‍ය විය හැකියි.

ඉවසීමෙන් විපාක ලැබෙයි

අපට බලා සිටීමට සිදු වන්නේ ඇත්තෙන්ම වටිනා හේතුවක් නිසාය කියාත්, අවසානයේදී අප බලාපොරොත්තු වන දේ ලැබේවි කියාත් අප තුළ නිසැකභාවයක් තිබෙනවා නම් බලා සිටීම වඩාත් පහසු වෙයි. මේ සම්බන්ධයෙන් අපට මතක තබාගත හැකි වැදගත් කාරණයක් වන්නේ, දෙවි බයිබලයේ දී ඇති මවිතකර පොරොන්දු ඉටු වන තෙක් තම නමස්කාරකයන්ට බලා සිටීමට සිදු වන බවයි. උදාහරණයකට, දේවානුභාවයෙන් ලියන ලද ගීතිකාවක අපට මෙසේ පවසා ඇත. “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” මෙම පොරොන්දුව සනාථ කරමින් ප්‍රේරිත යොහන් මෙසේ ලීවා. “[දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.” (ගීතාවලිය 37:29; 1 යොහන් 2:17) ඇත්තෙන්ම, අපට සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන් නම් බලා සිටීම ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නොවෙයි. නමුත් දැන්, අප සදාකාලිකව ජීවත් වන්නේ නැහැ. එහෙම නම් සදාකාල ජීවනයක් ගැන කතා කිරීම යථාර්ථවාදීද?

එම ප්‍රශ්නයට පිළිතුරක් සොයාගැනීමට පෙර මෙය සලකා බලන්න. දෙවි අපේ මුල් දෙමව්පියන්ව මැව්වේ සදාකාලිකව ජීවත් වීමේ අපේක්ෂාව ඇතුවයි. ඔවුන් පාපයට වැටුණු නිසයි ඔවුන්ටත්, අප ඇතුළුව ඔවුන්ගෙන් පැවතෙන දරුවන්ටත් එම ප්‍රස්තාව අහිමි වී ගියේ. නමුත් ඔවුන් පව් කළ විගසම ඔවුන්ගේ අකීකරුකමෙන් ඇති වූ ප්‍රතිඵල නැති කර දැමීමට දෙවි තම අරමුණ ප්‍රකාශ කළා. ඔහු පැමිණීමට නියමිත ‘වංශයක්’ සම්බන්ධයෙන් පොරොන්දු වූ අතර එම වංශය යේසුස් ක්‍රිස්තුස් බව ඔප්පු වුණා.—උත්පත්ති 3:15; රෝම 5:18.

අප පෞද්ගලිකව එම පොරොන්දුවල ඉටුවීම අද්දකිනවාද නැද්ද යන්න රඳා පවතින්නේ අප ගන්නා තීරණ මතයි. තවද, එය සිදු වන තෙක් බලා සිටීමට නම් අප ඉවසීම වර්ධනය කරගත යුතුයි. එවැනි ඉවසීමක් වර්ධනය කරගැනීම සඳහා ගොවියෙකුගේ ආදර්ශය ගැන මෙනෙහි කරන්න කියා බයිබලය අපට උනන්දු කරයි. බීජ වැපිරුවාට පසුව, ගොවියාට කළ හැකි එකම දෙය වන්නේ තම වගාව ආරක්ෂා කිරීමට පියවර ගනිමින් අස්වැන්න නෙළන කාලය පැමිණෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටීමයි. අන්තිමේදී ඔහුගේ ඉවසිලිවන්තකමට නිසි විපාක ලැබෙයි. ඔහු අස්වැන්න නෙළාගනියි. (යාකොබ් 5:7) ප්‍රේරිත පාවුල් ඉවසීම පිළිබඳව තවත් උදාහරණ සපයයි. මේ සඳහා ඔහු අපට පුරාණයේ විසූ ඇදහිලිවන්ත ස්ත්‍රී පුරුෂයන් ගැන මතක් කර දෙනවා. ඔවුන් දෙවිගේ අරමුණුවල ඉටුවීම ඉතා උනන්දුවෙන් බලා සිටියත්, දෙවිගේ නියම කරන ලද කාලය එන තෙක් ඔවුන්ට බලා සිටීමට සිදු වුණා. පාවුල් අපට දිරිගැන්වූයේ “ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන [සිටින්නන්ව]” ආදර්ශයට ගන්න කියායි.—හෙබ්‍රෙව් 6:11, 12.

ඔව්, බලා සිටීමට සිදුවීම අපේ ජීවිතයේ වැළැක්විය නොහැකි කාරණයක්. නමුත් ඒ නිසා අප කලකිරීමට පත් වෙන්න අවශ්‍ය නැහැ. ඇත්තෙන්ම, දෙවිගේ අරමුණු ඉටු වන තෙක් බලා සිටින අයට සතුටු වෙන්න පුළුවන්. මන්ද දෙවි සමඟ කිට්ටු සම්බන්ධතාවක් ඇති කරගැනීමටත්, තමන්ගේ ඇදහිල්ල ප්‍රකාශ වන වැඩවල නියැලීමටත් ඔවුන්ට එය කදිම ප්‍රස්තාවක් සපයා දෙන නිසයි. තවද, යාච්ඤාව, පෞද්ගලික අධ්‍යයනය හා මෙනෙහි කිරීම තුළින් දෙවි පොරොන්දු කර ඇති සියල්ල නියමිත කාලයේදී ඉටු වන බවට නිසැකකමක් වර්ධනය කරගත හැකියි.

[5වන පිටුවේ කොටුව⁄පින්තූර]

බලා සිටීමට සිදු වන අවස්ථාවලින් ප්‍රයෝජන අත් කරගන්න!

කලින් සැලසුම් කරගන්න! ඔබට යම් අවස්ථාවකදී බලා සිටීමට සිදු වන බව දන්නවා නම්, කියවීමට, ලිවීමට, ගෙතීමට එහෙමත් නැත්නම් වෙන යම් ප්‍රයෝජනදායක වැඩක නිරත වීමට සූදානමින් ඉන්න.

මෙම කාර්ය බහුල ලොවේ මෙනෙහි කිරීමට තිබෙන කාලය ඉතා අඩුයි. එමනිසා බලා සිටීමට සිදු වන කාලය ඒ සඳහා යොදාගන්න.

දුරකථනයෙන් කතා කරන විට ඔබ අමතන කෙනා ඔබට ටිකක් ඉන්න කිව්වොත්, එම කාලය තුළ කියවීමට හැකි වන පිණිස දුරකථනය ළඟ පොත් පත් කිහිපයක් තබාගන්න. විනාඩි පහකින් හෝ දහයකින් පිටු කිහිපයක්ම කියවන්න පුළුවන් බව මතක තබාගන්න.

සමූහයක් අතර බලා සිටීමට සිදු වෙනවා නම්, එම කාලය ඔවුන් සමඟ සාකච්ඡාවක හවුල් වීම සඳහා යොදාගන්න. ඔවුන් සමඟ දිරිගන්වනසුලු දේවල් ගැන කතා කරන්න. එය කළ යුත්තේ එම ස්ථානයට උචිත නම් පමණක් බව මතක තබාගන්න.

නොසිතූ මොහොතකදී ඔබට බලා සිටීමට සිදු වන විට කියවීමට යමක් හෝ ලිවීමට හැකි වන පිණිස අභ්‍යාස පොතක් වාහනයේ තබාගන්න.

ඇස් පියාගන්න. මදකට හාංසි වෙන්න. එහෙමත් නැත්නම් යාච්ඤා කරන්න.

කලින් සැලසුම් කරගන්නවා නම් හා සුදුසු ආකල්පයක් වර්ධනය කරගන්නවා නම් බලා සිටීම ප්‍රියමනාප අද්දැකීමක් විය හැකියි!