Skip to content

පටුනට යන්න

බලා සිටීමේ ආකල්පයක් විදහාපෙන්වන්න!

බලා සිටීමේ ආකල්පයක් විදහාපෙන්වන්න!

බලා සිටීමේ ආකල්පයක් විදහාපෙන්වන්න!

“මම මාගේ ගැළවීමේ දෙවි කෙරෙහි බලා සිටීමේ ආකල්පයක් විදහාපෙන්වන්නෙමි. මාගේ දෙවි මට සවන් දෙනවා ඇත.”—මීකා 7:7NW.

1, 2. (අ) වැරදි ආකල්පයක්, පාළුකරයේ සිටි ඉශ්‍රායෙල්වරුන්ට හානිකර ලෙස බලපෑවේ කෙසේද? (ආ) ක්‍රිස්තියානියෙකු නිසි ආකල්පයක් වර්ධනය කර නොගන්නේ නම් කුමක් සිදු විය හැකිද?

 ජීවිතයේ බොහෝ දේවල් දෙස ඒකාන්තව හෝ නිෂේධාත්මකව බැලීම රඳා පවතින්නේ අපේ ආකල්ප මතයි. ඉශ්‍රායෙල්වරුන් පාළුකරයේ සිටි කාලයේදී, ඔවුන්ට ආශ්චර්යවත් ලෙස මන්නා සපයනු ලැබුවා. තමන් සිටි නිසරු ප්‍රදේශයේ තත්වය හොඳින් තේරුම්ගෙන, තමන්ගේ ජීවිත රැකගැනීම සඳහා යෙහෝවා ලබා දුන් දෙය ඔවුන් අගය කළ යුතුව තිබුණා. ඇත්තෙන්ම ඔවුන් කළ යුතුව තිබුණේ ඒකාන්ත ආකල්පයක් විදහාපෙන්වීමයි. නමුත් ඔවුන් ඒ වෙනුවට කළේ මිසරයේදී අනුභව කළ විවිධ වර්ගයේ ආහාර මතක් කරමින් මන්නා රස නැතැයි කියා පැමිණිලි කිරීමයි. මෙය නිෂේධාත්මක ආකල්පයකට උදාහරණයක්.—ගණන් කථාව 11:4-6.

2 ඒ හා සමානව අද සිටින ක්‍රිස්තියානියෙකු දේවල් දෙස බලන්නේ ඒකාන්තවද නැත්නම් නිෂේධාත්මකවද යන්න රඳා පවතින්නේ ඔහුගේ ආකල්පය මතයි. හරි ආකල්පයක් නොමැති ක්‍රිස්තියානියෙකු පහසුවෙන්ම තම ප්‍රීතිය අහිමි කරගත හැකි අතර, මෙය සැලකිල්ල යොමු කළ යුතු බැරෑරුම් කාරණයකි. මන්ද නෙහෙමියා පැවසුවාක් මෙන් ‘යෙහෝවා කෙරෙහි ප්‍රීතිවීම අපගේ ශක්තියයි.’ (නෙහෙමියා 8:10) ඒකාන්ත හා ප්‍රීතිමත් ආකල්පයක් ඇතුව සිටීම, ශක්තිමත්ව සිටීමට අපට උපකාර කරන අතර, සභාව තුළ සාමය හා සමගිය නංවාලීමටද ඉවහල් වෙනවා.—රෝම 15:13; පිලිප්පි 1:25.

3. දුෂ්කර කාලයක ජීවත් වූ යෙරෙමියාට නිසි ආකල්පයක් පවත්වාගැනීම උපකාරවත් වූයේ කෙසේද?

3 යෙරෙමියා දුෂ්කර කාලවල ජීවත් වුණත් ඒකාන්ත ආකල්පයක් විදහාපෙන්නුවා. ඔහු පො.යු.පෙ. 607දී සිදු වූ යෙරුසලමේ විනාශය හා සම්බන්ධ බියජනක සිද්ධීන් සියැසින් දුටු කාලයේදී පවා ඒකාන්තව දේවල් කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහුට හැකි වුණා. යෙහෝවා ඉශ්‍රායෙල්ව අමතක කර දමන්නේ නැති බවත්, ඉශ්‍රායෙල් ජාතිය දිගටම පවතින බවත් ඔහු තේරුම්ගත්තා. යෙරෙමියා විලාප ගී පොතෙහි මෙසේ ලිව්වා. “අප විනාශ නූණේ [යෙහෝවාගේ] කරුණාවල් නිසාත් [ඔහුගේ] අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විස්වාසකම මහත්ය.” (විලාප ගී 3:22, 23) ඉතිහාසය පුරා ජීවත් වී තිබෙන දෙවිගේ සේවකයන් ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ පවා ඒකාන්ත මෙන්ම ප්‍රීතිමත් ආකල්පයක් ඇතුව සිටීමට වෑයම් කර තිබෙනවා.—2 කොරින්ති 7:4; 1 තෙසලෝනික 1:6; යාකොබ් 1:3.

4. යේසුස් දිගටම පවත්වාගත් ආකල්පය කුමක්ද? එය ඔහුට උපකාරවත් වූයේ කෙසේද?

4 යෙරෙමියාගේ කාලයට අවුරුදු හයසියයකට පසු, යේසුස්ටද විඳදරාගැනීමට උපකාරවත් වුණේ ඔහු තුළ තිබූ ඒකාන්ත ආකල්පයයි. ඔහු ගැන අපිට මෙසේ කියවීමට තිබෙනවා. ‘ඔහු වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, වධ කණුව දරාගන, පසුව දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි හිඳගත්තේය.’ (හෙබ්‍රෙව් 12:2) මුහුණ දීමට සිදු වූ ඕනෑම විරුද්ධවාදිකමක් හෝ හිංසා පීඩාවක් මැද වුණත්, ඔහු “තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය” කෙරෙහි සිත යොමු කළා. වධ කණුව මත එල්ලා තිබියදී දරුණු ලෙස වේදනා අද්දකින විට පවා ඔහු එසේ කළා. ඔහුගේ ප්‍රීතියට හේතු වුණේ යෙහෝවාගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමට හා නාමය විශුද්ධවත් කිරීමට හවුල් වීමේ වරප්‍රසාදය මෙන්ම කීකරු මිනිසුන්ට අනාගතයේදී ඉමහත් ආශීර්වාද ලබා දීමේ අපේක්ෂාවයි.

බලා සිටීමේ ආකල්පයක් පවත්වාගන්න

5. නිසි දෘෂ්ටියකින් යුතුව දේවල් දෙස බැලීමට, බලා සිටීමේ ආකල්පය අපිට උපකාරවත් වන සාමාන්‍ය තත්වයක් සඳහන් කරන්න.

5 යේසුස්ට තිබුණා හා සමාන මානසික ආකල්පයක් අප වර්ධනය කරගන්නවා නම්, ඇතැම් දේවල් අපි සිතන ආකාරයට හා අපට අවශ්‍ය වේලාවට සැමවිටම සිදු නොවුණත්, යෙහෝවා කෙරෙහි ප්‍රීතිවීම අපි අත්හරින්න යන්නේ නැහැ. අනාගතවක්තෘ මීකා මෙසේ පැවසුවා. “මම වනාහි යෙහෝවා දෙස මහත් ඕනෑකමින් දිගටම බලා සිටින්නෙමි. මම මාගේ ගැළවීමේ දෙවි කෙරෙහි බලා සිටීමේ ආකල්පයක් විදහාපෙන්වන්නෙමි.” (මීකා 7:7; විලාප ගී 3:21NW) මේ හා සමානව අපිටත් බලා සිටීමේ ආකල්පයක් විදහාපෙන්විය හැකියි. කෙසේද? බොහෝ ආකාරවලින් මෙය කළ හැකියි. උදාහරණයක් හැටියට, අධිකාරය හොබවන යම් සහෝදරයෙක් වරදක් කර තිබෙන බවත්, විගස එය නිවැරදි කළ යුතු බවත් අපිට හැඟී යා හැකියි. බලා සිටීමේ ආකල්පයක් ඇතුව සිටීම, මෙම කාරණය දෙස මේ ආකාරයට බැලීමට අපිට උපකාරවත් වෙනවා. ‘ඇත්තටම ඔහු වරදක් කරල තියෙනවද? නැත්නම් මම එහෙම හිතන්නේ මා තුළ තිබෙන වරදවා වටහාගැනීමක් නිසාද? ඔහු වරදක් කරලා තියෙනවා නම්, ඒ කාරණය සම්බන්ධයෙන් ඔහු ඉදිරියේදී දියුණුවක් ලබන්න ඉඩ තිබෙන බැවින් ඔහුට දැඩි නිවැරදි කිරීමක් අවශ්‍ය නැහැයි කියලා යෙහෝවාට හැඟෙන නිසා, දේවල් තිබෙන විදිහටම තිබෙන්න යෙහෝවා ඉඩ හරිනවා විය හැකිද?’

6. යමෙක් පෞද්ගලික ගැටලුවකින් ජයගැනීමට කරන සටනේදී බලා සිටීමේ ආකල්පය ඔහුට උපකාරවත් වන්නේ කෙසේද?

6 අපි යම් පෞද්ගලික ගැටලුවක් නිසා මානසික පීඩනයකට ලක්ව සිටිනවා නම් හෝ දුර්වලකමකින් ජයගැනීමට දැඩි සටනක නියැලී සිටිනවා නම්, බලා සිටීමේ ආකල්පයක් ඇතුව සිටීම අවශ්‍ය විය හැකියි. අපි යෙහෝවාගෙන් උපකාරය ඉල්ලුවත්, තවමත් ගැටලුව එහෙමම තිබෙනවා කියා සිතමු. දැන් කළ යුත්තේ කුමක්ද? ගැටලුව විසඳගැනීම සඳහා අපිට කළ හැකි සෑම දෙයක්ම දිගටම කරමින්, යේසුස්ගේ මේ වදන් කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටිය යුතුයි. “ඉල්ලමින් සිටින්න. එවිට ඔබට දෙනු ලබනවා ඇත. සොයමින් සිටින්න. එවිට ඔබට සම්බ වෙනවා ඇත. තට්ටු කරමින් සිටින්න. එවිට ඔබට දොර විවෘත වෙනවා ඇත.” (ලූක් 11:9NW) දිගටම යාච්ඤා කරමින් යෙහෝවා කෙරෙහි බලා සිටින්න. යෙහෝවා සුදුසු කාලයේදී, ඔහුගේ ක්‍රමයට දේවල් හසුරුවමින් ඔබේ යාච්ඤාවට උත්තර දෙනු ඇත.—1 තෙසලෝනික 5:17.

7. බයිබලය පිළිබඳව අවබෝධ කරගෙන තිබෙන දේවල් ක්‍රමානුකූලව පැහැදිලි කරන විට නිසි දෘෂ්ටියක් තබාගැනීමට බලා සිටීමේ ආකල්පය අපිට උපකාරවත් වන්නේ කෙසේද?

7 බයිබල් අනාවැකි ඉටු වන විට ශුද්ධ ලියවිලි පිළිබඳ අපි අවබෝධ කරගෙන තිබෙන දේවල් තවදුරටත් පැහැදිලි කරනු ලබනවා. සමහර පැහැදිලි කිරීම් කරන්නේ බොහෝ කාලයක් ගතවීමෙන් පසුවයි කියා ඇතැම් අවස්ථාවලදී අපිට සිතෙන්න පුළුවන්. අපි කැමති කාලයේදී එම පැහැදිලි කිරීම් කරනු නොලබන විට, බලා සිටීමට අපි සූදානම්ද? “ක්‍රිස්තුස් හා සම්බන්ධ පරිශුද්ධ රහස [NW]” අනාවරණය කිරීමට සුදුසුම කාලය, අවුරුදු 4,000ක පමණ කාලයක් ගතවීමෙන් පසුව කියා යෙහෝවා තීරණය කළ බව මතක තබාගන්න. (එපීස 3:3-6) එසේනම්, නොඉවසිලිමත් වීමට අපිට යම් හේතුවක් තිබෙනවාද? “විශ්වාසවූ නුවණ ඇති [දාසයාව]” පත් කර තිබෙන්නේ යෙහෝවාගේ සෙනඟට “නියම වේලාවට කෑම” දීමටයි කියන දෙය ගැන අපිට සැකයක් තිබෙනවාද? (මතෙව් 24:45, ඇල අකුරු අපේය.) සෑම දෙයක්ම සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න නොහැකි වීම නිසා, දෙවිට සේවය කිරීමෙන් ලබන ප්‍රීතිය අපි නැති කරගන්නේ ඇයි? තවද තමන්ගේ ‘රහසිගත කාරණා’ එළිදරව් කළ යුත්තේ කවදාද, කෙසේද කියා තීරණය කරන්නේ යෙහෝවා බව මතක තබාගන්න.—ආමොස් 3:7NW.

8. යෙහෝවාගේ ඉවසීමෙන් බොහෝදෙනෙකුට ප්‍රයෝජන අත් වන බව ඔප්පු වී තිබෙන්නේ කෙසේද?

8 වසර ගණනාවක් ඇදහිලිවන්තව සේවය කිරීමෙන් පසුව පවා, “[යෙහෝවාගේ] මහත්වූ භයානකවූ දවස” දැකීමට තමන් ජීවත් වෙන එකක් නැහැ කියා හැඟෙන නිසා සමහර අය අධෛර්යයට පත් විය හැකියි. (යෝවෙල් 2:30, 31) එහෙත් ඒකාන්ත දේවල් වෙත සිත යොමු කිරීමෙන් ඔවුන්ට දිරිගැන්වීමක් ලබාගත හැකියි. පේතෘස් මෙසේ උපදෙස් දුන්නා. “අපගේ [ස්වාමීන්ගේ] ඉවසිලිවන්තකම ගැළවීමයයි සලකන්න.” (2 පේතෘස් 3:15) යෙහෝවාගේ ඉවසීම නිසා අවංක හදවත් ඇති තවත් දශලක්ෂ ගණනකට සත්‍යය ඉගෙනගැනීමට හැකි වී තිබෙනවා. ඇත්තෙන්ම මෙය සතුටට හේතුවක් නොවේද? තවදුරටත් ‘භයෙනුත් වෙවුලුමෙනුත් අපේ ගැළවීම ඉෂ්ට කරගැනීමට’ යෙහෝවාගේ ඉවසීම අපිට වැඩි වැඩියෙන් ප්‍රස්තාව ලබා දෙනවා.—පිලිප්පි 2:12; 2 පේතෘස් 3:11, 12.

9. යෙහෝවාගේ සේවයෙහි අපිට කළ හැකි ප්‍රමාණය සීමිත නම්, එවන් තත්වයකදී විඳදරාගැනීමට අපිට බලා සිටීමේ ආකල්පය උපකාරවත් වන්නේ කෙසේද?

9 විරුද්ධවාදිකම්, අසනීප, වයසට යෑම හා වෙනත් ගැටලු නිසා රාජ්‍යයේ කටයුතුවල අපට නිරත විය හැකි ප්‍රමාණය සීමිත විය හැකියි. මෙවන් තත්වයක් අද්දකින විට අධෛර්යයට පත් නොවී සිටීමට අපිට උපකාර කරන්නේද බලා සිටීමේ ආකල්පයයි. යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන්නේ පූර්ණ හෘදයෙන් ඔහුට සේවය කිරීමයි. (රෝම 12:1) කෙසේවෙතත්, පියා මෙන් ‘දුප්පතුන් සහ දිළිඳුන් කෙරෙහි අනුකම්පා කරන’ ඔහුගේ පුත්‍රයාත් සාධාරණ ලෙස අපිට කළ හැකි දේවලට වඩා වැඩි යමක් අපෙන් ඉල්ලා සිටින්නේ නැහැ. (ගීතාවලිය 72:13) පවතින මේ ක්‍රමයේදී හෝ පැමිණෙන නව ක්‍රමයේදී තත්වයන් වෙනස් වන තෙක් ඉවසිලිවන්තව බලා සිටිමින් අපිට කළ හැකි දෙය කිරීමට එය අපිට දිරිගැන්වීමක් සපයනවා. ‘ඔබේ වැඩයද ඔබ ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවිගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතක නැති කරන්ට දෙවි අධර්මිෂ්ඨ නැති’ බව මතක තබාගන්න.—හෙබ්‍රෙව් 6:10.

10. බලා සිටීමේ ආකල්පයක් ඇතුව සිටින කෙනෙකුට වැළකී සිටිය හැකි දෙවි හෙළාදකින ලක්ෂණය කුමක්ද? මෙය පැහැදිලි කරන්න.

10 බලා සිටීමේ ආකල්පය උඩඟු ලෙස කටයුතු කිරීමෙන් වැළකීමටද අපිට උපකාරවත් වෙනවා. ඇදහිල්ල අත්හැර ගිය සමහරුන් බලා සිටීමට කැමැත්තෙන් සිටියේ නැහැ. බයිබලයේ සඳහන් සමහර දේවල් තේරුම්ගන්න ආකාරය හෝ සංවිධානයේ ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් සකස් කිරීම් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා කියා ඔවුන්ට හැඟෙන්න ඇති. එහෙත් අවශ්‍යයි කියා අපිට හැඟෙන කාලයේදී නොව, නමුත් යෙහෝවා ඔහුගේ නියමිත කාලයේදී සකස් කිරීම් කිරීමට විශ්වාස වූ නුවණ ඇති දාසයාව ඔහුගේ ආත්මය මගින් පොලඹවනු ලබන බව පිළිගන්න ඔවුන් කැමති වුණේ නැහැ. සිදු කරනු ලබන ඕනෑම සකස් කිරීමක් අපේ පෞද්ගලික අදහස්වලට එකඟව නොව, යෙහෝවාගේ කැමැත්තට අනුව විය යුතුයි. ඇදහිල්ල අත්හැර ගිය අයගේ සිතුවිලි ඔවුන්ව නොමඟ යවමින් බාධාවට පත් කිරීමට හේතුව උඩඟුකමේ ආකල්පයක් ඔවුන් තුළ තිබීමයි. නමුත් ඔවුන් යේසුස්ට තිබූ මානසික ආකල්පයට අනුව ඔවුන්ගේ ආකල්ප හැඩගස්වාගෙන තිබුණා නම්, ඔවුන් කලින් භුක්ති විඳිමින් සිටි ප්‍රීතිය දිගටම භුක්ති විඳිමින් යෙහෝවාගේ සෙනඟ සමඟ සිටින්න ඔවුන්ට ඉඩ තිබුණා.—පිලිප්පි 2:5-8.

11. අපට බලා සිටීමේ කාලය ප්‍රයෝජනවත් ලෙස ගත කළ හැක්කේ කෙසේද? ඒ සඳහා අනුගමනය කළ හැක්කේ කාගේ ආදර්ශයද?

11 බලා සිටීමේ ආකල්පයක් දිගටම පවත්වාගෙන සිටීම යන්නෙන්, කම්මැළිව හෝ අක්‍රියාශීලීව සිටීමක් අදහස් නොකරන බව අමුතුවෙන් කිව යුතු නැහැ. අපිට කරන්න දේවල් තිබෙනවා. උදාහරණයක් හැටියට අපි බයිබලය පෞද්ගලිකව අධ්‍යයනය කිරීම අවශ්‍යයි. මෙය කිරීමෙන් අපි පෙන්වන්නේ ආත්මික දේවල් කෙරෙහි ඇදහිලිවන්ත අනාගතවක්තෘවරුන් හා දේවදූතයන් පවා පෙන්වූ මහත් උනන්දුව අපි තුළත් තිබෙන බවයි. එවැනි උනන්දුවක් ගැන කතා කරමින් පේතෘස් මෙසේ පවසනවා: “අනාගතවක්තෘවරු ඒ ගැළවීම ගැන බොහෝසෙයින් විභාගකොට සෙවුවෝය. . . . ඒ දේවල් බලා දැනගන්ට දේවදූතයෝ ආශාවෙති.” (1 පේතෘස් 1:10-12) පෞද්ගලික පාඩම පමණක් නොව, නිතිපතා රැස්වීම්වලට යෑම හා යාච්ඤා කිරීමත් අත්‍යවශ්‍යයි. (යාකොබ් 4:8) නිතිපතා ආත්මික ආහාර ගැනීමෙන් හා සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමෙන් තමන්ගේ ආත්මික අවශ්‍යතා සපුරාගැනීමේ වැදගත්කම වටහාගෙන තිබෙන අය, ක්‍රිස්තුස්ට තිබූ මානසික ආකල්පයට අනුව තමන්ගේ ආකල්පයද හැඩගස්වාගෙන තිබෙන බව පෙන්වයි.—මතෙව් 5:3NW.

යථාර්ථවාදී දෘෂ්ටියක් තබාගන්න

12. (අ) ආදම් සහ ඒව සෙවූ ස්වාධීනත්වය කුමක්ද? (ආ) ආදම් සහ ඒව ගත් ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමෙන් මනුෂ්‍යවර්ගයා අද්දැක තිබෙන ප්‍රතිඵල මොනවාද?

12 දෙවි මුල් මිනිස් යුවළව මැවූ අවස්ථාවේදී හරි වැරැද්ද ගැන ප්‍රමිති නියම කිරීමේ අයිතිය තමා සතුව තබාගත්තා. (උත්පත්ති 2:16, 17) එහෙත් දෙවිගේ මඟ පෙන්වීම්වලින් නිදහස්ව කටයුතු කරන්න ආදම්ට සහ ඒවට වුවමනා වුණා. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ අද අප අවට තිබෙන දුක්ඛිත ලෝකය බිහිවීමයි. ප්‍රේරිත පාවුල් මෙසේ පැවසුවා. “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” (රෝම 5:12) ආදම් ජීවත් වූ කාලයේ සිට අද දක්වා මිනිස් ඉතිහාසයේ ගත වී තිබෙන අවුරුදු හයදහසක කාලය තුළ යෙරෙමියාගේ මෙම වදන්වල සත්‍යතාව මැනවින් තහවුරු වී තිබෙනවා. “[යෙහෝවා], මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” (යෙරෙමියා 10:23) යෙරෙමියාගේ එම වදන්වල සත්‍යතාව අකමැත්තෙන් හෝ පිළිගැනීමට සිදු වේ. එයයි යථාර්ථය. මිනිසුන් දෙවිව නොසලකා හරිමින් ස්වාධීනව පාලනය කිරීම නිසා ගත වූ සියවස් ගණනාව “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් . . . ආණ්ඩුකරන කාලයක්” වී තිබෙන බව යෙරෙමියාගේ ඉහත වදන්වලින් පැහැදිලි වෙයි.—දේශනාකාරයා 8:9.

13. මිනිසුන්ට ඉටු කළ හැකි දේවල් සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට තිබෙන්නේ කිනම් යථාර්ථවාදී දෘෂ්ටියද?

13 වර්තමාන ක්‍රමය තුළ මිනිසුන්ට ඉටු කරගත හැකි දේවලට සීමා තිබෙන බව මනුෂ්‍යවර්ගයා මුහුණ පා තිබෙන තත්වය සැලකිල්ලට ගැනීමේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් තේරුම්ගෙන සිටිනවා. අපේ ප්‍රීතිය දිගටම පවත්වාගැනීමට ඒකාන්ත ආකල්පයක් අපිට උපකාරවත් විය හැකි වුණත්, සෑම දෙයකටම විසඳුම එය නොවෙයි. අමෙරිකානු පූජකයෙක් 1950 ගණන්වලදී ඒකාන්තව සිතීමේ හැකියාව (ඉංග්‍රීසියෙන්) නමැති පොත ප්‍රකාශයට පත් කළ අතර, එයට හොඳ ඉල්ලුමක් තිබුණා. ඒකාන්ත ආකල්පයකින් යුතුව බොහෝ බාධකවලට මුහුණ දෙන්න උත්සාහ කරනවා නම්, ඒවා ජයගත හැකි බව එම පොතෙහි සඳහන් වුණා. ඇත්තෙන්ම ඒකාන්ත සිතුවිලි ඇතුව සිටීම ප්‍රශංසනීය දෙයක්. නමුත් අද්දැකීම්වලින් පැහැදිලි වන්නේ දැනුම, කුසලතා, වත්කම් හා වෙනත් බොහෝ සාධකයන් නිසා පුද්ගලයන් හැටියට අපිට ඉටු කරගත හැකි දේවලට සීමාවන් පැනවෙන බවයි. තවද මිනිසුන් කොතරම් ඒකාන්තව සිතුවත්, ලෝක පරිමාණයෙන් ගත් කල, පවතින ගැටලු මිනිසුන්ට විසඳගත නොහැකි තරම් විශාල ඒවා බව පැහැදිලියි.

14. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට නිෂේධාත්මක ආකල්පයක් තිබෙනවාද? පැහැදිලි කරන්න.

14 යෙහෝවාගේ සාක්ෂිකරුවන් එවන් කාරණා කෙරෙහි යථාර්ථවාදීව බලන නිසා, ඔවුන් නිෂේධාත්මක ආකල්ප ඇති පිරිසක් කියා ඇතැම් අවස්ථාවලදී ඔවුන්ට චෝදනා කරනු ලබනවා. නමුත් ඊට වෙනස්ව ඔවුන් කල්පවතින ආකාරයකට මනුෂ්‍යවර්ගයාගේ ජීවිතය හොඳ අතට පත් කළ හැකි එකම තැනැත්තා ගැන මහත් උනන්දුවෙන් මිනිසුන්ට කතා කරනවා. මෙහිදීද ඔවුන් විදහාපෙන්වන්නේ ක්‍රිස්තුස්ගේ මානසික ආකල්පයයි. (රෝම 15:2) දෙවි සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟා ගැනීම සඳහා ජනයාට උපකාර කිරීමට ඔවුන් හැකි සෑම දෙයක්ම කරනවා. අවසානයේදී මිනිසුන්ට උපරිම යහපතක් සිදු වන්නේ මෙම වැඩයෙන් බව ඔවුන් දන්නවා.—මතෙව් 28:19, 20; 1 තිමෝති 4:16.

15. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩය මගින් මිනිසුන්ගේ ජීවිත යහපත් අතට පත් කරනු ලබන්නේ කෙසේද?

15 යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමාජයේ තිබෙන ගැටලු, විශේෂයෙන්ම ශුද්ධ ලියවිල්ලට පටහැනි දූෂිත දේවල් නොසලකා හරින්නේ නැහැ. උනන්දුව දක්වන කෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වීමට කලින් වෙනස්කම් සිදු කරනවා. බොහෝ අවස්ථාවලදී දෙවිව අසතුටට පත් කරන ඇබ්බැහි කරවනසුලු දුසිරිත්වලින් ජයගන්න ඔහුට සිදු වෙනවා. (1 කොරින්ති 6:9-11) මෙසේ සත්‍යයට යහපත් ප්‍රතිචාරයක් දක්වන අයට බේබදුකමෙන්, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන්, දුරාචාරයෙන් හා සූදුවට ඇබ්බැහි වීමෙන් ජයගන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් උපකාර කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් කර තිබෙන එවන් පුද්ගලයන්, තමන්ගේ පවුල්වල අයගේ අවශ්‍යතා සපුරාලීම වගකීමෙන් යුතු දෙයක් ලෙස සලකමින් අවංක මාර්ගවලින් එසේ කරන්න ඉගෙනගෙන තිබෙනවා. (1 තිමෝති 5:8) මෙයාකාරයෙන් පුද්ගලයන්ට හා පවුල්වලට උපකාර කිරීමෙන් සමාජයේ ගැටලු මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ගණන අඩු වෙනවා. එමෙන්ම පවුල්වල සිදු වන ප්‍රචණ්ඩකාරි ක්‍රියා හා වෙනත් එවැනි ක්‍රියාද අඩු වෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් නීති ගරුක පුරවැසියන් වීමෙන් හා යහපත් ජීවිත ගත කිරීමට අනිත් අයට උපකාර කිරීමෙන් සමාජ ගැටලු සමඟ කටයුතු කරන ආයතනවලට තිබෙන පීඩනය අඩු කරමින් සිටිනවා.

16. වෙනසක් ඇති කිරීම සඳහා මිනිසුන් දියත් කරන ව්‍යාපාරවලට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සම්බන්ධ නොවන්නේ මන්ද?

16 යෙහෝවාගේ සාක්ෂිකරුවන් අද ලෝකයේ පවතින සදාචාරමය අතින් දූෂිත වාතාවරණය යහපත් අතට පත් කිරීමට දායක වී තිබෙනවාද? පසුගිය අවුරුදු දහය ඇතුළත යෙහෝවාගේ සාක්ෂිකරුවන් 38,00,000 සිට 60,00,000ට ආසන්න සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙය 22,00,000ක වැඩිවීමක්. මොවුන්ගෙන් බොහෝදෙනෙකු ක්‍රිස්තියානීන් බවට පත්වීමෙන් පසු වැරදි ක්‍රියා අත්හැර තිබෙනවා. බොහෝදෙනෙකුගේ ජීවිත හොඳ අතට හැරී තිබෙනවා. එහෙත් මේ පිරිස එම කාලය ඇතුළත වැඩි වූ ලෝක ජනගහනය වන 87,50,00,000 සමඟ බලන කල ඉතාමත් සුළු පිරිසක්! ලොව පුරා සිටින මිනිසුන් අතරින් ජීවනයට යන මාර්ගයේ ගමන් කරන්නේ ස්වල්පදෙනෙක් බව දැන සිටියත්, සත්‍යයට හිතකර ප්‍රතිචාරයක් දක්වන අයට උපකාර කිරීමෙන් මහත් ප්‍රීතියක් ලැබිය හැකි බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් අද්දැක තිබෙනවා. (මතෙව් 7:13, 14) දෙවිට පමණක් කළ හැකි දෙයක් වන යහපත් ලෝකයක් බිහි කිරීම සඳහා වූ වෙනස්කම් සිදු වන තෙක් සාක්ෂිකරුවන් බලා සිටියි. මේ අතරතුර, ලෝකයේ පවතින තත්වයන් වෙනස් කිරීම සඳහා මිනිසුන් ගෙන යන ව්‍යාපාරවලට ඔවුන් හවුල් වෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී මෙවන් ව්‍යාපාර යහපත් චේතනාවලින් ආරම්භ වුවත්, එහි අවසානය මුළාවක් විය හැකියි. එමෙන්ම ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලට තුඩු දිය හැකියි.—2 පේතෘස් 3:13.

17. යේසුස් ඔහුගේ දවසේ සිටි මිනිසුන්ට උපකාර කිරීමට කළේ කුමක්ද? ඔහු නොකළේ කුමක්ද?

17 මෙසේ කටයුතු කිරීමෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්, යේසුස් පොළොව මත සිටි කාලයේදී ඔහු යෙහෝවා කෙරෙහි දැක්වූ නිසැකකමම පෙන්වමින් සිටිනවා. මුල් සියවසේදී යේසුස් ආශ්චර්යවත් ලෙස සුව කිරීම් කළා. (ලූක් 6:17-19) ඔහු මිය ගිය අයව පවා නැවත නැඟිට්ටෙව්වා. (ලූක් 7:11-15; 8:49-56) නමුත් ඔහු අසනීප නැති කළේවත් මරණය නමැති සතුරාව පරාජය කළේවත් නැහැ. මේ දේවල් කිරීම සඳහා දෙවිගේ කාලය ඒ වන විට පැමිණ තිබුණේ නැති බව ඔහු දැන සිටියා. පරිපූර්ණ මිනිසෙකු හැටියට උසස් හැකියාවන්ගෙන් පිරී සිටි නිසා වුවමනා නම් එදා පැවති දේශපාලන හා සමාජ ගැටලු විසඳීමේදී වැදගත් කාර්යයක් ඉටු කරන්න යේසුස්ට හැකියාව තිබුණා. පෙනෙන විදිහට, යේසුස්ගේ කාලයේ සිටි සමහර අයට වුවමනා වුණෙත් ඔහු බලයට පත් වී ගැටලු ප්‍රශ්න විසඳනවා දකින්නයි. එහෙත් ඔහු එසේ කිරීම ප්‍රතික්ෂේප කළා. මේ ගැන අපිට මෙසේ කියවීමට තිබෙනවා. “ඒ මනුෂ්‍යයෝ [ඔහු] විසින් කළාවූ මේ හාස්කම දැක: සැබෑවටම [මොහු] ලෝකයට එන්නාවූ අනාගතවක්තෘමයයි කීවෝය. එබැවින් රජකමට පත්කරගන්නා පිණිස [තමන්ව] බලාත්කාරයෙන් අල්ලාගන්ට ඔවුන් එන බව [යේසුස්] දැන, නැවත තනියම කන්දට [ගියේය].”—යොහන් 6:14, 15.

18. (අ) යේසුස් නිතරම බලා සිටීමේ ආකල්පයක් විදහාපෙන්වා ඇත්තේ කෙසේද? (ආ) යේසුස් ක්‍රියා කරන ආකාරය 1914 සිට වෙනස් වී තිබෙන්නේ කෙසේද?

18 යේසුස් දේශපාලනයට සම්බන්ධ වීම හෝ සමාජ සේවාවල පමණක්ම නිරත වීම ප්‍රතික්ෂේප කළා. ඔහු මෙසේ කළේ රජෙකු සේ තමන් පාලනය කරන්න යන කාලය හා සෑම තැනකම සිටින සෑම කෙනෙකුටම සුවයක් ගෙන ඒමේ වැඩය සඳහා ඒ වන විටත් නියමිත කාලය පැමිණ නොතිබූ බව දැන සිටි නිසයි. අමරණීයත්වය හිමි ආත්ම පුද්ගලයෙකු හැටියට ස්වර්ගයට යෑමෙන් පසුව පවා, රජෙකු සේ ක්‍රියා කිරීම සඳහා යෙහෝවාගේ නියමිත කාලය එන තෙක් බලා සිටින්න ඔහු කැමැත්තෙන් සිටියා. (ගීතාවලිය 110:1; ක්‍රියා 2:34, 35) කෙසේවෙතත්, 1914දී දේවරාජ්‍යයේ රජ ලෙස සිංහාසනාරූඪ වූ දා සිට ඔහු “ජයගනිමින්ද ජයගන්න පිණිසද” ගමන් කරමින් සිටිනවා. (එළිදරව් 6:2; 12:10) ක්‍රිස්තියානීන් කියා පවසන අය දේවරාජ්‍යය හා සම්බන්ධ බයිබලයේ සඳහන් ඉගැන්වීම් නොසලකා හැරියත්, අපිට යේසුස්ගේ පාලන තන්ත්‍රයට යටත් වෙන්න ලැබීම ගැන අපි මොනතරම් ස්තුතිවන්ත විය යුතුද!

බලා සිටීම මඟ පාදන්නේ කලකිරීමටද නැත්නම් ප්‍රීතියටද?

19. බලා සිටීම ‘කලකිරීමට’ හේතු වන්නේ කුමන අවස්ථාවලදීද? එය ප්‍රීතියට හේතුවක් වන්නේ කුමන අවස්ථාවලදීද?

19 බලා සිටීම කලකිරීමට මඟ පෑදිය හැකි බව සාලමොන් දැන සිටියා. ඒ ගැන ඔහු මෙසේ ලිව්වා. “පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය.” (හිතෝපදේශ 13:12) ඇත්තෙන්ම, යම් කෙනෙක් හොඳ පදනමක් නොමැතිව යම් දේවල් ගැන මහත් ආශාවෙන් බලා සිටියොත්, යම් කාලයකදී බලාපොරොත්තු කඩවීම නිසා කලකිරීමට පත් විය හැකියි. කෙසේවෙතත්, ප්‍රීතිය ගෙන දෙන විවාහ උත්සවයක්, දරුවෙකුගේ උපතක් හෝ අපි ආදරය කරන අයව නැවත හමුවීමේ අවස්ථාවක් වැනි දේවල් බලා සිටීමෙන්, ඒවා ඉටුවීමට කලින් සිටම අපේ සිත් මහත් ප්‍රීතියෙන් පිරී යනවා. ඉදිරියේදී ඉටුවීමට යන දෙය සඳහා සූදානම් වෙමින්, බලා සිටින කාලය නැණවත් ලෙස අපි පාවිච්චි කරනවා නම්, අපේ ප්‍රීතිය තව තවත් වැඩි වෙන්න යනවා.

20. (අ) අපි මහත් විශ්වාසයකින් යුතුව බලා සිටින්නේ කිනම් මවිතකර සිදුවීම්ද? (ආ) යෙහෝවාගේ අරමුණු ඉටු වෙන තෙක් බලා සිටින අතරතුරේදී අපිට ප්‍රීතිය භුක්ති විඳිය හැක්කේ කෙසේද?

20 අපේ බලාපොරොත්තු ඉටු වෙන්නේ කවදාද කියා අපි හරියටම දන්නේ නැති වුණත්, ඒවා ඉටු වන බවට සම්පූර්ණ විශ්වාසයක් අපිට තිබෙනවා නම්, බලා සිටීමට සිදු වන කාලය ‘කලකිරීමට’ හේතුවක් නොවෙයි. ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය ආසන්න බව දෙවිගේ ඇදහිලිවන්ත නමස්කාරකයන් දන්නවා. මරණයේ සහ අසනීපවල නිමාව තමන් දකින බව ඔවුන්ට ස්ථිරයි. තමන්ගේ මිය ගිය ප්‍රේමනීයයන් ඇතුළුව, කෝටි සිය ගණනක් නැවත නැඟිටින විට ඔවුන්ව සාදරයෙන් පිළිගැනීමට කාලය එන තෙක් ඔවුන් මහත් ආශාවෙන් බලා සිටිනවා. (එළිදරව් 20:1-3, 6; 21:3, 4) පාරිසරික ගැටලුවලින් පිරි මේ කාලයේදී ඔවුන් පොළොව පාරාදීසයක් බවට පත්වීමේ කාලය පැමිණෙන තෙක් මහත් සතුටින් බලා සිටිනවා. (යෙසායා 35:1, 2, 7) එසේනම්, ‘ස්වාමීන්ගේ මෙහෙයෙහි වඩ වඩා පවතිමින්’ බලා සිටින කාලය බුද්ධිමත්ව පාවිච්චි කිරීම මොනතරම් නැණවත් දෙයක්ද! (1 කොරින්ති 15:58) ආත්මික ආහාර දිගටම ගන්න. යෙහෝවා සමඟ තිබෙන සබඳතාව තව තවත් වැඩි කරගන්න. යෙහෝවාට සේවය කිරීමට පෙලඹෙන හදවත් තිබෙන අයව සොයන්න. සෙසු ඇදහිලිවන්තයන්ව දිරිමත් කරන්න. යෙහෝවා ඉඩහරින්නේ කොතරම් කාලයක්ද, එම කාලයෙන් උපරිම ප්‍රයෝජන අත් කරගන්න. මෙසේ කිරීමෙන් යෙහෝවා දෙස බලා සිටීම කවදාවත් ‘කලකිරීමට’ හේතුවක් වන්නේ නැහැ. ඒ වෙනුවට, එය මහත් ප්‍රීතියට හේතුවක් වන බව ඔබ අද්දකීවි!

ඔබට පැහැදිලි කළ හැකිද?

• යේසුස් බලා සිටීමේ ආකල්පයක් විදහාපෙන්නුවේ කෙසේද?

• ක්‍රිස්තියානීන් බලා සිටීමේ ආකල්පයක් ඇතුව සිටිය යුත්තේ කිනම් තත්වයන්වලදීද?

• යෙහෝවා දෙස බලා සිටීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටු වන්නේ මන්ද?

• යෙහෝවා කෙරෙහි බලා සිටීම ප්‍රීතියට හේතු වන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූර]

යේසුස් තමා ඉදිරියෙහි තබා තිබූ ප්‍රීතිය ගැන සිතමින් විඳදරාගත්තා

[13වන පිටුවේ පින්තූරය]

වසර ගණනාවක් සේවය කිරීමෙන් පසුව පවා අපිට ප්‍රීතිය දිගටම පවත්වාගත හැකියි

[15වන පිටුවේ පින්තූර]

දශලක්ෂ ගණනක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් වීමෙන් පසු තම ජීවිත යහපත් තත්වයකට ගෙනැවිත් තිබෙනවා