Skip to content

පටුනට යන්න

අසරණ වූ මොහොතක

අසරණ වූ මොහොතක

අසරණ වූ මොහොතක

“දෙවි මාව අත්හැරලා!” මෙසේ ශෝක වුණේ බ්‍රසීල ජාතික ස්ත්‍රියක්. ඇගේ පුරුෂයාගේ හදිසි මරණයෙන් පසුව ඇයට හැඟුණේ ජීවිතයට කිසිම අරුතක් නැති බවයි. දුකට පත් වූ එවැනි කෙනෙක්ව හෝ උපකාර අයදින කෙනෙක්ව සනසන්න ඔබ වෑයම් කර තිබෙනවාද?

ඇතැම් අය කොතරම් මානසිකව බිඳ වැටී ඇද්දැයි පවසනවා නම්, ඔවුන් සියදිවි හානි කරගැනීමට පවා පෙලඹෙනවා. මෙම සංඛ්‍යාව අතර තරුණ තරුණියන් බොහෝදෙනෙක්ද සිටියි. ෆොල්‍යා ඩේ සාඌ පාවුලො පුවත්පතට අනුව, “සියදිවි හානි කරගන්නා තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව දැන් සියයට 26කින්ම ඉහළ ගොස් තිබෙන” බව බ්‍රසීලයේ කළ එක් අධ්‍යයනයකින් හෙළි වුණා. සාඌ පාවුලොහි වෙසෙන තරුණ වොල්ටගේ a අද්දැකීම දැන් සලකා බලන්න. ඔහුට දෙමව්පියන් සිටියේ නැහැ. හිසට සෙවණක් තිබුණේ නැහැ. ඒ විතරක් නොවෙයි, ඔහුට අඩුම තරමේ එක හොඳ මිතුරෙක්වත් සිටියේ නැහැ. වොල්ට තම දුක්බර ජීවිතයෙන් මිදීමේ අදහසින් පාලමකින් පැන තම ජීවිතය නැති කරගන්න තීරණය කළා.

තනි මවක් වන එඩ්නාට දරුවන් දෙදෙනෙක් සිටියා. වැඩි කල් යන්න පෙර ඇය අලුත් පෙම්වතෙක් සොයාගත්තා. මාසයකට පසුව ඔවුන් දෙදෙනා එකම වහලක් යට ජීවත් වෙන්න තීරණය කළා. ඔවුන්ට ජීවත් වීමට සිදු වුණේ ඇගේ පෙම්වතාගේ මවගේ නිවසෙයි. ඇගේ නැන්දම්මා භූතවාදයේ නියැලී සිටියා විතරක් නෙවෙයි, බීමටද ඇබ්බැහි වී සිටියා. ඒ අතරතුර එඩ්නාට තවත් දරුවෙක් ඉපදුණා. ඇය අධික බීමත්කමටද වැටුණා. මානසිකව බිඳ වැටුණු එඩ්නා සියදිවි හානි කරගන්න උත්සාහ කළා. අවසානයේදී ඇගේ දරුවන්ව රැකබලා ගැනීමේ නීත්‍යනුකූල අයිතිය පවා ඇයට අහිමි වී ගියා.

දිවි නසාගැනීම් සම්බන්ධයෙන් බලද්දී වයස්ගත වූ අයගේ තත්වය කුමක්ද? මරියාට සිදු වූ දේ සලකා බලන්න. ඇය කලින් කතාවට දක්ෂ, විනෝදකාමි තැනැත්තියක්. නමුත් වයසට යන්න යන්න හෙදියක් වශයෙන් ඇය කළ රැකියාව ගැන ඇය අනවශ්‍ය ලෙස කරදර වෙන්න පටන්ගත්තා. ඇය සිතුවේ ඇගේ අතින් වරදක් සිදු වුණොත් රැකියාවෙන් අයින් වෙන්න සිදු වේවි කියායි. වැඩි කල් යන්න පෙර ඇය මානසික ලෙඩෙක් බවට පත් වුණා. ඒ තත්වයෙන් මිදෙන්න පෞද්ගලිකව කළ හැකි සෑම දෙයක්ම කරලත්, අන්තිමේදී ඇයට වෛද්‍යවරයෙකුගෙන් උපකාර පතන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේදී වෛද්‍යවරයා දුන් ප්‍රතිකාරයෙන් ඇයට සහනයක් ලැබුණත්, වයස අවුරුදු 57දී ඇගේ රැකියාව අහිමි වී ගියාට පසුව ඇගේ තත්වය නැවතත් නරක අතට හැරෙන්න පටන්ගත්තා. ඇයට දැනුණ වේදනාව දරාගන්න බැරි අවස්ථාවලදී ඇය දිවි නසාගැනීමට පවා කල්පනා කළා.

“දැඩි සිත්තැවුලට මුහුණ දෙන අයගෙන් සියයට 10දෙනෙක් සියදිවි හානි කරගන්න වෑයම් කරනවා” කියා සාඌ පාවුලො විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හූසේ ඇල්බර්ටූ ඩෙල් පොර්ත්යූ පැවසුවා. “දිවි නසාගැනීම් හේතුවෙන් මිය යන සංඛ්‍යාව මිනි මැරීම් හේතුවෙන් මිය යන සංඛ්‍යාවට වඩා වැඩියි කියා විශ්වාස කිරීම අපහසුයි. නමුත් ඒක තමයි ඇත්ත තත්වය” කියා එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය නිලධාරියෙක් වන ඩේවිඩ් සැචර් වාර්තා කළා.

සමහර අවස්ථාවලදී සියදිවි හානි කරගැනීමට කෙනෙක් දරන උත්සාහයක්, ඇත්තෙන්ම උපකාර පතා කරන අයැදීමක් විය හැකියි. බලාපොරොත්තු සුන් වූ එවැනි කෙනෙකුට හැකි සෑම උපකාරයක්ම ලබා දීමට පවුලේ සියලුදෙනා මෙන්ම මිතුරන්ද වෙර දැරිය යුතුයි. නමුත්, “දේවල් ඕනෑවට වඩා හිතට ගන්න එපා,” “ඔයාට වඩා ප්‍රශ්න තියෙන අය මේ ලෝකයේ ඉන්නවා,” නැත්නම් “අපි හැමෝටම ඉඳලා හිටලා ප්‍රශ්න තියෙනවා” වැනි ප්‍රකාශනවලින් වැළකී සිටින්න. ඒ වෙනුවට එවැනි කෙනෙකුට සැබෑ මිත්‍රයෙක් හා හොඳ සවන් දෙන්නෙක් වීමට වෙර දරන්න. බලාපොරොත්තු නැති කරගෙන ඇති ඔහුට ජීවිතයේ වටිනාකම පැහැදිලි කර දෙන්න.

ප්‍රංශ කතුවරයෙක් වන වොල්ට්‍යෑර් මෙසේ ලියා තිබුණා. “කලකිරුණ මොහොතකදී සියදිවි හානි කරගත් තැනැත්තෙක් තවත් සතියක් ජීවත් වුණා නම් සමහරවිට එසේ නොකරන්න ඉඩ තිබුණා.” එසේ නම්, බලාපොරොත්තු සුන් වූ කෙනෙකුට තම ජීවිතය අගය කිරීමට ඉගෙනගත හැක්කේ කෙසේද?

[පාදසටහන]

a මෙහි සමහර නම් වෙනස් කර තිබේ.

[3වන පිටුවේ පින්තූරය]

සියදිවි හානි කරගන්නා තරුණ තරුණියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද සංඛ්‍යාව දැන් වැඩි වෙමින් පවතිනවා

[4වන පිටුවේ පින්තූරය]

බලාපොරොත්තු සුන් වූ කෙනෙකුට උපකාර කිරීමට ඔබට හැක්කේ කෙසේද?