Skip to content

පටුනට යන්න

“පැය පැමිණ තිබේ”

“පැය පැමිණ තිබේ”

“පැය පැමිණ තිබේ”

‘මේ ලෝකයෙන් පිටත්ව පියා ළඟට යන ඔහුගේ පැය පැමිණ තිබිණ.’—යොහන් 13:1.

1. පොදු යුගයේ 33 පවත්වන පාස්කුව ළං වෙද්දී යෙරුසලමෙහි රැස් වී සෙනඟ ඉතා උනන්දුවෙන් කතා කරන්නේ කුමක් ගැනද? එයට හේතුව කුමක්ද?

 යේසුස් පො.යු. 29 බව්තීස්ම වූ අවස්ථාවේදී ඔහුගේ මරණය, නැවත නැඟිටීම හා මහිමයට පැමිණවීම සිදු වන “පැය” පටන්ගත්තේය. දැන් එළඹ තිබෙන්නේ පො.යු. 33 වසන්ත සමයයි. සැන්හීඩ්‍රින් කියා හඳුන්වන යුදෙව් මන්ත්‍රණ සභාව යේසුස්ව මරා දැමීමට සැලසුම් කළ දා සිට ගත වී තිබෙන්නේ දවස් කිහිපයක් පමණි. තමන්ගේ මිතුරෙකුව සිටින යුදෙව් මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වන නිකොදේමුස්ගෙන් ඔවුන්ගේ සැලසුම් ගැන යේසුස්ට දැනගන්න ලැබුණා විය හැක. මේ නිසා යේසුස් යෙරුසලමෙන් පිට වී යොර්දාන් ගඟෙන් එගොඩ පිහිටි ගමකට ගොස් සිටී. පාස්කු මංගල්‍යය ළංව තිබෙන නිසා ගම් පළාත්වල සිටින මිනිස්සු යෙරුසලමට ඇදී එති. නගරයේ තැනින් තැන එක්රොක් වී සිටින සෙනඟ යේසුස් ගැන මහත් කුතුහලයෙන් යුතුව මෙසේ කතා වෙයි. ‘ඔබ කුමක් සිතනවාද? ඔහු මංගල්‍යයට එන්නේ නැද්ද?’ කියා සෙනඟ එකිනෙකාගෙන් අසයි. යේසුස් සිටින තැන යම් කෙනෙකු දැනගතහොත් ඒ ගැන තමන්ට දැන්විය යුතු බවට නායක පූජකයන් හා ඵරිසිවරුන් මේ වන විට නියෝග කර තිබූ නිසා සෙනඟගේ නොසන්සුන්බව තවත් වැඩි වෙයි.—යොහන් 11:47-57.

2. මතභේදයක් ඇතිවීමට තුඩු දෙන්නේ මරියා කළ කුමන ක්‍රියාවද? මරියා කළ දෙය අනුමත කරමින් යේසුස් පැවසූ දෙයින් ‘තමාගේ පැය’ ගැන ඔහු දැන සිටි බව ඇඟවෙන්නේ කෙසේද?

2 පාස්කුවට දවස් හයකට කලින් එනම් නීසාන් 8වනදා යේසුස් නැවතත් යෙරුසලමට ළඟා වෙමින් සිටියි. ඔහු සිකුරාදා සවස තමන්ගේ හිතවත් මිතුරන් වන මාර්තා, මරියා හා ලාසරුස්ගේ ගම වන බෙතානියට පැමිණෙයි. බෙතානිය පිහිටා තිබෙන්නේ යෙරුසලමට කිලෝමීටර් 3ක් පමණ ඈතිනි. යේසුස් සබත් දවස එහි ගත කරයි. ඊට පසුවදා සවස මරියා වටිනා සුවඳ තෙල්වලින් යේසුස්ව ආලේප කරන විට ගෝලයෝ එයට විරෝධය දක්වති. යේසුස් ඔවුන්ට මෙසේ උත්තර දෙයි. “මා තැන්පත්කරන දවසට මේ තෙල තබාගන්ට ඈට ඉඩ හරින්න. මක්නිසාද දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමි.” (යොහන් 12:1-8; මතෙව් 26:6-13) “මේ ලෝකයෙන් පිටත්ව [පියා] ළඟට යන තමන්ගේ පැය පැමිණි තිබෙන බව” යේසුස් දැන සිටියි. (යොහන් 13:1) “බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට තමාගේ ජීවිතය දෙන්ට” තිබෙන්නේ තව දවස් පහක් පමණි. (මාර්ක් 10:45) මෙතැන් පටන් යේසුස් කරන කියන සෑම දෙයක් තුළම හදිසිතාවයේ හැඟීම ගැබ් වී තිබේ. මේ ක්‍රමයේ අවසානය දෙස මහත් ඕනෑකමින් බලා සිටින අපට එය මොනතරම් කදිම ආදර්ශයක් සපයනවාද! යේසුස්ගේ දේවසේවයේ ඊළඟ දවසේ සිදු වන්නේ මොනවාද කියා දැන් සලකා බලන්න.

යේසුස් ජයග්‍රාහි ලෙස යෙරුසලමට ඇතුල් වන දවස

3. (අ) නීසාන් 9වන ඉරිදා යේසුස් යෙරුසලමට ඇතුල් වන්නේ කෙසේද? ඔහු අවට සිටි සෙනඟගෙන් බොහෝදෙනෙකු එයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? (ආ) සෙනඟ කරන දෙය ගැන පැමිණිලි කරන ඵරිසිවරුන්ට යේසුස් දෙන උත්තරය කුමක්ද?

3 නීසාන් 9වන ඉරිදා යේසුස් ජයග්‍රාහි ලෙස යෙරුසලමට ඇතුල් වෙයි. සෙකරියා 9:9හි සඳහන් අනාවැකියේ ඉටුවීමක් හැටියට යේසුස් කොටළු වස්සෙකු පිට නැඟී නගරයට ඇතුල් වන විට, ඔහු වටා එක්රොක් වූ සෙනඟගෙන් බොහෝදෙනෙකු තමන්ගේ පිටත වස්ත්‍ර පාරේ අතුරන අතර තවත් අය ගස්වල අතු කපාගෙන ඇවිත් පාරේ අතුරති. ‘යෙහෝවාගේ නාමයෙන් එන්නාවූ රජ ආශීර්වාද ලත් කෙනෙකි’ කියා සෙනඟ මොරගසයි. තමන්ගේ ගෝලයන්ට තරවටු කරන්න කියා ඵරිසිවරුන්ගෙන් සමහරදෙනෙක් යේසුස්ට පවසති. එහෙත් යේසුස් ඔවුන්ට මෙසේ උත්තර දෙයි. “ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේය.”—ලූක් 19:38-40; මතෙව් 21:6-9.

4. යේසුස් යෙරුසලම් නගරයට ඇතුල් වන විට කැලඹිලි සහිත තත්වයක් ඇති වන්නේ මන්ද?

4 මේ සෙනඟ අතර සිටින බොහෝදෙනෙකු සති කිහිපයකට කලින් යේසුස් මියගොස් සිටි ලාසරුස්ව නැවත නැඟිටුවනවා දැක තිබේ. ඔවුහු මේ වන තුරුත් එම ප්‍රාතිහාර්යය ගැන වෙනත් අයට පවසමින් සිටිති. එනිසා යේසුස් යෙරුසලමට ඇතුල් වන විට මුළු නගරය පුරාම කැලඹිලි සහිත තත්වයක් ඇති වේ. “මේ කවුද?” කියා දැනගැනීමට සෙනඟට වුවමනා වී තිබේ. ඔවුන් අතරෙන් සමහරෙක් මෙසේ පවසති. ‘මොහු ගලීලයේ නාසරෙත් නුවර අනාගතවක්තෘ වූ යේසුස්ය.’ සිදු වෙමින් තිබෙන දෙය දකින ඵරිසිවරු “අන්න, ලෝකයා ඔහු පස්සේ ගියෝය” කියමින් ශෝක වෙති.—මතෙව් 21:10, 11; යොහන් 12:17-19.

5. යේසුස් දේවමාළිගාවේ සිටින විට එහි සිදු වන්නේ කුමක්ද?

5 උතුම් ගුරුවරයා වන යේසුස් යෙරුසලමට පැමිණ වෙනදා මෙන් දේවමාළිගාවට ගොස් උගන්වයි. අන්ධ හා ඇවිදීමට නොහැකි අයව ඔහු වෙතට ගෙනෙන අතර, ඔහු ඔවුන්ව සුව කරයි. නායක පූජකයෝද ලියන්නෝද මේ දේවල් දකිති. එමෙන්ම දේවමාළිගාවේ සිටින කුඩා දරුවන් “දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නා” කියා පවසනවා ඔවුන්ට ඇසෙයි. මේ දේවලින් කෝපයට පත් ඔවුහු යේසුස්ට මෙසේ පවසමින් තම විරෝධය දක්වති. “මොවුන් කියන දේ ඔබට ඇසෙනවාද?” “එසේය, බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණකර තිබේය යන්න නුඹලා කිසිකලක කියෙවුවේ නැද්ද?” කියා යේසුස් උත්තර දෙයි. යේසුස් දිගටම දේවමාළිගාවේ උගන්වමින් සිටින අතරතුර එහි සිදු වෙමින් තිබෙන දේවල් ගැනද සාවධානව සිටියි.—මතෙව් 21:15, 16; මාර්ක් 11:11.

6. යේසුස් මේ අවස්ථාවේදී යෙරුසලමට ඇතුල් වීම, කලින් වතාවලට වඩා වෙනස් වන්නේ කෙසේද? එයට හේතුව කුමක්ද?

6 මේ වතාවේදී යේසුස් යෙරුසලමට පැමිණීම, මීට මාස හයකට කලින් ඔහු එහි පැමිණි අවස්ථාවට වඩා මොනතරම් වෙනස්ද! යේසුස් ඒ අවස්ථාවේදී කූඩාරම් මංගල්‍යය සඳහා යෙරුසලමට පැමිණියේ ‘ප්‍රසිද්ධියේ නොව රහසින්ය.’ (යොහන් 7:10) කලින් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වූ සෑම අවස්ථාවකදීම ඔහු ආරක්ෂාකාරිව පලා ගියේය. නමුත් දැන්, තමන්ව අල්ලාගැනීමට නියෝග නිකුත් කර තිබෙන නගරයට ඔහු ප්‍රසිද්ධියේම ඇතුල් වෙයි! මෙසියස් වශයෙන් තමාව ප්‍රසිද්ධ කරගැනීමට යේසුස් කලින් කිසිවිටකත් උත්සාහ කළේ නැත. (යෙසායා 42:2; මාර්ක් 1:40-44) මිනිසුන් තැන් තැන්වල මහ හඬින් තමන් ගැන ප්‍රසිද්ධ කරනවා දැකීමටවත් තමන් ගැන වැරදි ආරංචි පැතිරෙනවා දැකීමටවත් යේසුස් අකමැති විය. දැන්, රජු හා ගැළවුම්කරු වන මෙසියස් ඔහු කියා සෙනඟ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරයි. නමුත් මේ වතාවේදී යේසුස් ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයකටය. සෙනඟව නිශ්ශබ්ද කරන්න කියා ආගමික නායකයන් කරන ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කරයි! මෙම වෙනසට හේතු වූයේ කුමක්ද? යේසුස් පසුවදා පවසන පරිදි එයට හේතු වූයේ “මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පැය පැමිණ [තිබීමයි].”—යොහන් 12:23.

නිර්භීත ක්‍රියාවකින් පසුව ජීවිත ගළවන ඉගැන්වීම්

7, 8. පොදු යුගයේ 33 නීසාන් 10වනදා යේසුස් ගත් ක්‍රියාමාර්ගය, පො.යු. 30 පාස්කුව සැමරීම සඳහා ඔහු දේවමාළිගාවට පැමිණි අවස්ථාවේ කළ දෙයට සමාන වන්නේ කෙසේද?

7 නීසාන් 10වන සඳුදා දේවමාළිගාවට පැමිණෙන යේසුස්, කලින් දවසේ සැන්දෑවේ ඔහු එහි සිටියදී දුටු දෙයක් ගැන දැන් යේසුස් ක්‍රියාමාර්ගයක් ගනියි. ඔහු ‘දේවමාළිගාවේ විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි අය පිටතට පන්නාහරින්ට පටන්ගෙන, මිල මාරු කරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළා දමා, දේවමාළිගාව මැදින් කිසි භාජනයක් ගෙනයන්ට කිසිවෙකුට ඉඩ නොදෙයි.’ වැරදිකරුවන්ව හෙළා දකිමින් ඔහු මෙසේ පවසයි. “මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද? නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළහුය.”—මාර්ක් 11:15-17.

8 මේ අවස්ථාවේදී යේසුස් කටයුතු කරන ආකාරය මීට අවුරුදු තුනකට කලින්, එනම් පො.යු. 30 පාස්කුව සැමරීම සඳහා ඔහු දේවමාළිගාවට ගිය අවස්ථාවේදී කටයුතු කළ ආකාරයට බෙහෙවින් සමානය. කෙසේවෙතත්, මේ අවස්ථාවේදී ඔහු ප්‍රසිද්ධියේ කරන හෙළාදැකීම කලින් වතාවට වඩා දැඩිය. ඔහු දැන් දේවමාළිගාවේ වෙළඳාම් කරන අයව “සොරුන්” වශයෙන් හඳුන්වයි. (ලූක් 19:45, 46; යොහන් 2:13-16) ඔවුන්ව මෙසේ හඳුන්වන්නේ පූජා ඔප්පු කිරීම සඳහා සතුන්ව මිල දී ගැනීමට පැමිණෙන අයගෙන් ඔවුන් අධික මිලක් අය කරන නිසාය. යේසුස් කරන දේවල් ගැන නායක පූජකයන්ටද, ලියන්නන්ටද, සෙනඟගේ ප්‍රධානීන්ටද දැනගන්න ලැබෙන අතර, ඔවුහු ඔහුව මරන්න නැවතත් මං සොයති. එහෙත් ඔහුගේ ඉගැන්වීම් ගැන විස්මයට පත්ව ඔහුට මහත් උනන්දුවෙන් සවන් දෙන ජනයාගෙන් ඔහුව වෙන් කරගත හැක්කේ කෙසේද කියා ඔවුන්ට සිතාගත නොහැක.—මාර්ක් 11:18; ලූක් 19:47, 48.

9. යේසුස් උගන්වන පාඩම කුමක්ද? දේවමාළිගාවේ සිටින සිය සවන් දෙන්නන්ට යේසුස් කරන ආරාධනාව කුමක්ද?

9 යේසුස් දේවමාළිගාවේ උගන්වමින් සිටින අතරතුර මෙසේ පවසයි. “මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පැය පැමිණ තිබේ.” ඔව්, මිනිසෙකු හැටියට තමන් ජීවත් වන්නේ තව දවස් කිහිපයක් පමණක් බව ඔහු දනියි. තිරිඟු බීජයක් පැළ වී ඵල දැරීම සඳහා මිය යා යුතු ආකාරය සහ තමාගේ මරණය අනිත් අයට සදාකාල ජීවනය ලබා දෙන මාධ්‍යයක් බවට පත් වන ආකාරය අතර තිබෙන සමානකම ගෙනහැර දැක්වීමෙන් අනතුරුව, සිය ශ්‍රාවකයන්ට යේසුස් මෙසේ ආරාධනා කරයි. “යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ [පියා ගෞරව කරයි].”—යොහන් 12:23-26.

10. තමා අද්දකින්න යන වේදනාකාරි මරණය ගැන යේසුස්ට හැඟෙන්නේ කෙසේද?

10 තව දවස් හතරකින් සිදුවීමට නියමිත තම වේදනාකාරි මරණය ගැන සිතමින් යේසුස් තවදුරටත් මෙසේ පවසයි. “දැන් මාගේ සිත කැලඹෙයි; ඉඳින් කුමක් කියම්ද? පියාණෙනි, මේ පැයෙන් මා [ගළවන්න].” එහෙත් දැන් සිදුවීමට යන දේවලට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වේ. “නුමුත් මේ පිණිසම මේ පැයට පැමුණුණෙමි” කියා ඔහු තවදුරටත් පවසයි. ඇත්තෙන්ම, යේසුස් කටයුතු කරන්නේ දෙවිගේ සැලැස්මේ සෑම අංගයකටම එකඟවයි. තම යාගික මරණය දක්වා තමාට සිදු වන සෑම දෙයක්ම දෙවිගේ කැමැත්තට අනුව සිදුවීමට ඉඩ දෙන්න ඔහු අදිටන් කරගෙන සිටියි. (යොහන් 12:27) දෙවිගේ කැමැත්තට සම්පූර්ණයෙන්ම යටත් වීම සම්බන්ධයෙන් ඔහු අපට සපයන්නේ මොනතරම් කදිම ආදර්ශයක්ද!

11. ස්වර්ගයෙන් පැමිණි හඬ ඇසුණු සෙනඟට යේසුස් උගන්වන්නේ කුමක්ද?

11 තමා අද්දකින්න යන මරණය තම පියාගේ නමට බලපාන්න යන ආකාරය ගැන බොහෝ සෙයින් සැලකිලිමත් වන යේසුස් මෙසේ යාච්ඤා කරයි. ‘පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පමුණුවන්න.’ දේවමාළිගාවේ රැස්ව සිටින සෙනඟව මවිතයට පත් කරවමින් මෙම වදන් ස්වර්ගයෙන් නික්මෙයි. “මම එය මහිමයට පැමිණවීමි, නැවතත් මහිමයට පමුණුවන්නෙමි.” එතැන සිටින සෙනඟ මේ හඬ ඇසීමට හේතුවත්, තම මරණයේ ප්‍රතිඵල ගැනත්, ඔවුන් ඇදහිල්ල විදහාපෙන්විය යුත්තේ ඇයි කියාත් ඔවුන්ට පහදා දීමට උතුම් ගුරුවරයා එම අවස්ථාව යොදාගනියි. (යොහන් 12:28-36) ඇත්තෙන්ම යේසුස් පොළොව මත ගත කරන අවසාන දවස් දෙක පුරාම ඔහුට කිසිම විවේකයක් නොලැබෙයි. එහෙත් තීරණාත්මක දවස තවම පැමිණ නැත.

හෙළාදැකීමේ දවස

12. නීසාන් 11වන අඟහරුවාදා ආගමික නායකයන් යේසුස් පවසන දෙයකින් වරදක් සොයාගැනීමට වෑයම් කරන්නේ කෙසේද? එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද?

12 නීසාන් 11වන අඟහරුවාදා යේසුස් නැවත වතාවක් දේවමාළිගාවට ගොස් සෙනඟට උගන්වයි. මොවුන් අතර ඔහුගේ විරුද්ධවාදීන්ද සිටියි. කලින් දවසේ යේසුස් කළ දේවල් ගැන සඳහන් කරමින් නායක පූජකයෝ සහ වැඩිමහල්ලෝ ඔහුගෙන් මෙසේ අසති. “නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? මේ බලය නුඹට දුන්නේ කවුද?” මෙයට උත්තර දෙනවා වෙනුවට, උතුම් ගුරුවරයා ඔවුන්ව උත්තරයක් දිය නොහැකි තත්වයකට පත් කරවමින් හරස් ප්‍රශ්නයක් අසයි. ඉන් අනතුරුව, ඔහු තම විරුද්ධවාදීන්ගේ දුෂ්ටකම හෙළි කරන උපමා තුනක් ගෙනහැර දක්වයි. උපමා දෙකක් මිදි වත්තක් සම්බන්ධයෙන් වන අතර, අනෙක විවාහ මංගල්‍යය උත්සවයක් ගැනය. තමන්ට ඇසෙන දේවලින් කෝපයට පත් ආගමික නායකයෝ යේසුස්ව අල්ලාගැනීමට වෑයම් කරති. එහෙත් යේසුස්ව අනාගතවක්තෘවරයෙකු ලෙස පිළිගන්නා සෙනඟට ඔවුහු බිය වෙති. එමනිසා යේසුස් පවසන දෙයකින් වරදක් සොයාගෙන, එමගින් ඔහුව අත්අඩංගුවට ගැනීමට ඔවුහු වෑයම් කරති. නමුත් මෙහිදී යේසුස් දෙන උත්තරයෙන් ඔවුන් නිහඬ වෙයි.—මතෙව් 21:23–22:46.

13. යේසුස් ලියන්නන් හා ඵරිසිවරුන් සම්බන්ධයෙන් සිය සවන් දෙන්නන්ට දෙන අවවාදය කුමක්ද?

13 තමන් මිනිසුන්ට දෙවිගේ ව්‍යවස්ථාවේ තිබෙන දේවල් උගන්වන බව ලියන්නෝ හා ඵරිසිවරු කියා සිටිති. මේ නිසා යේසුස් තමන්ට සවන් දෙන අයගෙන් ඉතා ඕනෑකමින් මෙසේ ඉල්ලා සිටියි. “ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වන්න. නුමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න; මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත.” (මතෙව් 23:1-3) ප්‍රසිද්ධියේ කරන මේ හෙළාදැකීම මොනතරම් ප්‍රබල එකක්ද! එහෙත් යේසුස් ඔවුන්ව හෙළාදැකීම එතැනින් නතර කරන්නේ නැත. ඔහු දේවමාළිගාවේ පෙනී සිටින අවසාන දවසේදී, ප්‍රසිද්ධියේ ඔවුන්ගේ දුෂ්ටකම නිර්භීත ලෙස හෙළි කරමින් ඔහු දිගින් දිගටම ඔවුන්ව හෙළාදකියි.

14, 15. යේසුස් ලියන්නන් හා ඵරිසිවරුන්ව දැඩි ලෙස හෙළාදකින්නේ කෙසේද?

14 “ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ!” කියා යේසුස් මෙහිදී හය වතාවක් ප්‍රකාශ කරයි. ඔවුන්ට එසේ පැවසීමෙහි වරදක් නැත. මන්දයත් යේසුස් පැහැදිලි කරන පරිදි ඔවුන් ඇතුල් වෙමින් සිටින්නන්ට ඇතුල් වීමට ඉඩ නොලැබෙන පරිදි ස්වර්ග රාජ්‍යය වසා තිබෙන බැවිනි. මේ වංචාකාරයෝ එක්කෙනෙකුව හරවාගන්න පිණිස මුහුදේ හා ගොඩබිමේ සෑම තැනකම ගමන් කරති. එහෙත් ඔහුව හරවාගන්නේ සදාකාල විනාශය සඳහාය. ඔවුහු “යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා” නොසලකා හරිමින් දසයෙන් කොටස ගෙවීමට වැඩි අවධානයක් දෙති. ඇත්තෙන්ම, ඔවුහු “කුසලානද තැටියද පිටින් පවිත්‍රකරන්නහුය, නුමුත් ඇතුළේ ඒවා කොල්ල කෑමෙනුත් තෘෂ්ණාධිකකමෙනුත් පිරී තිබේ.” ඔවුහු පිටතින් පෙන්වන භක්තිවන්තකමෙන් තම ඇතුළාන්ත දූෂිතකම් වසාගෙන සිටිති. එපමණක්ද නොව, මොවුහු වනාහි “අනාගතවක්තෘවරුන් මැරූවන්ගේ පුත්‍රයෝය.” එහෙත් තමන්ගේ භක්තිවන්ත ක්‍රියා මිනිසුන්ට පෙන්වීම සඳහා ඔවුහු එම අනාගතවක්තෘවරුන් සඳහා සොහොන් ගෙවල් සාදා ඒවා සරසති.—මතෙව් 23:13-15, 23-31.

15 සිය විරුද්ධවාදීන්ගේ ආත්මික සාරධර්මවල තිබෙන ඌනතාව නිසා, ඔවුන්ව හෙළාදකිමින් යේසුස් මෙසේ පවසයි. “අන්ධවූ මග පෙන්වන්නෙනි, නුඹලාට දුක්වේ!” ඇත්තෙන්ම සාරධර්ම සම්බන්ධයෙන් බලන කල ඔවුන් අන්ධය. මන්ද දෙවිට නමස්කාරය සඳහා යොදාගනු ලබන දේවමාළිගාවේ තිබෙන ආත්මික වටිනාකමට වඩා වැඩියෙන් ඔවුන් අවධාරණය කරන්නේ එහි තිබෙන රන් ගැනය. ඔවුන්ව තවදුරටත් හෙළාදකිමින් යේසුස් දැඩි ලෙස මෙසේ පවසයි. “සර්පයෙනි, පොළොංවංශයෙනි, නුඹලා නිරයේ [ගෙහෙන්නාවේ, NW] දඬුවමින් කෙසේ ගැළවෙන්නහුද?” ඔව්, යේසුස් ඔවුන්ට පවසන්නේ ඔවුන් අත් නෑර දිගටම දුෂ්ට ලෙස කටයුතු කරන නිසා සදාකාලයටම විනාශ වන බවයි. (මතෙව් 23:16-22, 33) අපිත් නිර්භීතව රාජ්‍ය පණිවිඩය ප්‍රකාශ කරමු. බොරු ආගම්වල වැරදි හෙළි කිරීමට සිදු වන අවස්ථාවලදී පවා නිර්භීතකම පෙන්වමු.

16. ඔලීව කන්දේ වාඩි වී සිටියදී යේසුස් ඔහුගේ ගෝලයන්ට පවසන වැදගත් අනාවැකිය කුමක්ද?

16 දැන් යේසුස් දේවමාළිගාවෙන් පිටත් වේ. අපරභාගය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී, යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ ඔලීව කන්දට යයි. එහිදී ඔහු දේවමාළිගාවේ විනාශය ගැන, තමන්ගේ පැමිණ සිටීම සිදු වන කාලය ගැන හා පවතින ක්‍රමයේ අවසානය පිළිබඳ ලකුණ ගැන ඔවුන්ට අනාවැකියක් පවසයි. එම අනාවැකිමය වදන්වල වැදගත්කම අපේ කාලයටත් අදාළ වේ. එම සන්ධ්‍යාවේදී යේසුස් ඔහුගේ ගෝලයන්ට තවදුරටත් මෙසේ පවසයි. “තව දෙදවසකට පසු පාස්කුව පැමිණෙන බව නුඹලා දන්නහුය, මනුෂ්‍ය පුත්‍රයා [වධ කණුවෙහි] ඇණගැසීමට පාවාදෙනු ලැබේ.”—මතෙව් 24:1-14; 26:1, 2.

යේසුස් ‘අන්තිමය දක්වාම ඔවුන්ට ප්‍රේම කරයි’

17. (අ) නීසාන් 14වනදා පාස්කුව පවත්වන අතරතුර යේසුස් දොළොස්දෙනාට උගන්වන්නේ කිනම් පාඩමද? (ආ) යූදස් ඉස්කාරියොත්ව පිටත් කර හැරීමෙන් පසු යේසුස් ස්ථාපිත කරන අනුස්මරණය කුමක්ද?

17 ඊළඟ දවස් දෙකේදී, එනම් නීසාන් 12වනදා හා 13වනදා යේසුස් දේවමාළිගාවට ගොස් ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළකී සිටියි. මේ වන විට ආගමික නායකයන් ඔහුව මරන්න සොයන අතර, තම ගෝලයන් සමඟ පවත්වන පාස්කුවට එයින් බාධාවක් ඇති නොවන ලෙස කටයුතු කරන්න ඔහු මෙහිදී වෑයම් කරයි. බ්‍රහස්පතින්දා හිරු බැස යෑමත් සමඟම නීසාන් 14වනදා ආරම්භ වේ. මිනිසෙකු ලෙස යේසුස් මිහිපිට ගත කරන අන්තිම දවස එයයි. එදා සවස යේසුස් ඔහුගේ ප්‍රේරිතයන් සමඟ යෙරුසලමෙහි නිවසක එක්රැස් වෙයි. පාස්කුව පැවැත්වීම සඳහා සියලුම කටයුතු එම නිවසේ සූදානම් කර තිබේ. ඔවුන් පාස්කුව පවත්වමින් සිටින අතරතුර, යේසුස් දොළොස්දෙනාගේම පාද සේදීමෙන් නිහතමානිකම පිළිබඳව කදිම පාඩමක් ඔවුන්ට උගන්වයි. මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව, දාසයෙකු සඳහා ගෙවන මිල වන රිදී මිල තිහකට තම ස්වාමියාව පාවා දීමට එකඟ වී සිටින යූදස් ඉස්කාරියොත්ව පිටත් කර හැරීමෙන් පසු, යේසුස් තම මරණය සිහි කිරීම හඳුන්වා දෙයි.—නික්මයාම 21:32; මතෙව් 26:14, 15, 26-29; යොහන් 13:2-30.

18. යේසුස් සිය ප්‍රේරිතයන් එකළොස්දෙනාට තවදුරටත් ප්‍රේමනීය ලෙස උගන්වන්නේ මොනවාද? තව ටික වේලාවකින් සිදු වන තමාගේ වෙන්ව යෑමට මුහුණ දීම සඳහා ඔහු ඔවුන්ව සූදානම් කරන්නේ කෙසේද?

18 යේසුස්ගේ මරණය සිහි කිරීම ස්ථාපිත කිරීමෙන් පසු, ප්‍රේරිතයෝ තමන් අතර වඩා උතුම් කෙනා කවුද යන්න ගැන උණුසුම් වාදයක පැටලෙති. ඔවුන්ට බැණ වදිනවා වෙනුවට, එකිනෙකාට සේවය කිරීමේ තිබෙන වැදගත්කම ගැන යේසුස් ඉවසිලිවන්තව ඔවුන්ට උගන්වයි. තමා මුහුණ දුන් පරීක්ෂාවලදී ඔවුන් තමන් ළඟ සිටීම ගැන ඔවුන්ව අගය කරමින් යේසුස් තම ප්‍රේරිතයන් සමඟ රාජ්‍යයක් සඳහා ගිවිසුමක් පිහිටුවා ගනියි. (ලූක් 22:24-30) තමන් ඔවුන්ට ප්‍රේම කළාක් මෙන්, එකිනෙකාට ප්‍රේම කරන්නය කියා යේසුස් ඔවුන්ට ආඥාවක් දෙයි. (යොහන් 13:34) තව සුළු වේලාවකින් සිදු වන තමාගේ වෙන්ව යෑමට මුහුණ දීම සඳහා යේසුස් ඔවුන්ව ප්‍රේමනීය ලෙස සූදානම් කරයි. තමාගේ මිත්‍රකම ඔවුන් සමඟ සැමදාම තිබෙන බවට සහතික කරමින් යේසු ඔවුන්ගේ බිය සැක දුරු කරයි. එමෙන්ම දිගටම ඇදහිලිවන්තව සිටීමට ඔහු ඔවුන්ව දිරිමත් කරයි. ශුද්ධාත්මයේ උපකාරය ඔවුන්ට ලැබෙන බවටද පොරොන්දු වෙයි. (යොහන් 14:1-17; 15:15) පාස්කුව පැවැත්වූ නිවසෙන් පිට වී යෑමට කලින් යේසුස් සිය පියාට මෙසේ කන්නලව් කරයි. ‘පැය පැමිණ තිබේ; ඔබව ගෞරවයට පමුණුවන පිණිස ඔබගේ පුත්‍රයාව ගෞරවයට පමුණුවන්න.’ මේ වන විට යේසුස් තමන්ගේ වෙන්ව යෑමට මුහුණ දීම සඳහා සිය ප්‍රේරිතයන්ව සූදානම් කර තිබෙන අතර, ‘අන්තිමය දක්වාම ඔවුන්ට ප්‍රේම කර’ තිබෙන බවද පැහැදිලියි.—යොහන් 13:1; 17:1, 2.

19. යේසුස් ගෙත්සෙමන උයනේදී මහත් සේ දුක් වන්නේ මන්ද?

19 යේසුස් හා ඔහුගේ විශ්වාසවන්ත ප්‍රේරිතයන් එකළොස්දෙනා ගෙත්සෙමන උයනට පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය පසු වී තිබෙන්නට ඇත. ඔහු බොහෝ අවස්ථාවලදී සිය ප්‍රේරිතයන් සමඟ ඒ ස්ථානයට ගොස් තිබේ. (යොහන් 18:1, 2) තව පැය කිහිපයකින් දරුණු අපරාධකරුවෙකු ලෙස යේසුස්ව මරා දමනු ඇත. තමන් මුහුණ දීමට යන වේදනාකාරි මරණය හා එමගින් තම පියාගේ නාමයට සිදු විය හැකි නින්දාව ගැන කල්පනා කිරීම නිසා අද්දකින මානසික පීඩනය මොනතරම්ද කියනවා නම් ඔහු ඒ ගැන යාච්ඤා කරමින් සිටින අතරතුර ඔහුගේ දහඩිය ලේ බින්දු මෙන් බිම වැටෙයි. (ලූක් 22:41-44) “පැය පැමිණ තිබේ. . . . මා පාවාදෙන්නා ළඟය” කියා යේසුස් සිය ප්‍රේරිතයන්ට පවසයි. යේසුස් ඔවුන් සමඟ කතා කරමින් සිටින අතරතුර යූදස් ඉස්කාරියොත් කඩු මුගුරු හා පන්දම් අතැති මහත් සමූහයක් සමඟ එතැනට පැමිණෙයි. ඔවුන් ඇවිත් තිබෙන්නේ යේසුස්ව අත්අඩංගුවට ගැනීමටය. යේසුස් ඔවුන්ගෙන් ගැළවී යෑමට වෑයම් නොකරයි. දේවල් මෙසේ සිදු වන්නේ ‘මේ ආකාර වෙන්ට ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණ වීම සඳහාය’ කියා යේසුස් පැහැදිලි කරයි.—මාර්ක් 14:41-43; මතෙව් 26:48-54.

මනුෂ්‍ය පුත්‍රයා මහිමයට පැමිණෙයි!

20. (අ) යේසුස්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු කරන අවමන්සහගත සැලකිලි මොනවාද? (ආ) යේසුස් අවසන් හුස්ම හෙළන්න කලින් “තීන්දුවුණේය” කියා මහත් හඬින් පවසන්නේ මන්ද?

20 යේසුස්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු බොරු සාක්ෂිකරුවෝ ඔහුට චෝදනා එල්ල කරති. අසාධාරණ විනිශ්චයක් මගින් ඔහුව වරදකරුවෙකු බවට තීන්දු කරන අතර, පිලාත් විසින් ඔහුට මරණ දඬුවමද නියම කරයි. පූජකයෝ හා ඔවුන් සමඟ සිටි කලහකාරි පිරිස යේසුස්ට අවමන්සහගත ලෙස සලකති. සොල්දාදුවෝ ඔහුට සමච්චල් කරමින් වධ හිංසා කරති. (මාර්ක් 14:53-65; 15:1, 15; යොහන් 19:1-3) සිකුරාදා දහවල් දොළහ වන විට යේසුස්ව වධ කණුවක් මත තබා ඇණගසයි. සිරුරේ බර නිසා ඇණගසා තිබෙන අත් හා පාද ඉරෙන අතර, එයින් දැනෙන වේදනාව ඉවසාගත නොහැකි තරම්ය. (යොහන් 19:17, 18) සවස තුනට පමණ යේසුස් “තීන්දුවුණේය” කියා හඬගා පවසයි. ඔව්, යේසුස් මේ පොළොවට පැමිණ කිරීමට නියමිතව තිබූ සියල්ලම මේ වන විට සම්පූර්ණ කර තිබේ. දෙවිට තම ජීවිතය භාර දෙමින් ඔහු හිස නමා අවසන් හුස්ම හෙළයි. (යොහන් 19:28, 30; මතෙව් 27:45, 46; ලූක් 23:46) ඉන් දවස් තුනකට පසු යෙහෝවා ඔහුගේ මියගිය පුත්‍රයාව නැවත නැඟිටුවයි. (මාර්ක් 16:1-6) මළවුන්ගෙන් නැවත නැඟිටීමෙන් දවස් හතළියකට පසු යේසුස් ස්වර්ගයට නැඟී යන අතර, එහිදී ඔහුව මහිමයට පත් කරනු ලැබේ.—යොහන් 17:5; ක්‍රියා 1:3, 9-12; පිලිප්පි 2:8-11.

21. අපට යේසුස්ව අනුගමනය කළ හැක්කේ කෙසේද?

21 අපට ‘යේසුස්ගේ අඩි පාර කිට්ටුවෙන් අනුගමනය’ කළ හැක්කේ කෙසේද? (1 පේතෘස් 2:21NW) යේසුස් මෙන් අපිත් අපේ උපරිම ශක්තිය යොදවමින් රාජ්‍යය දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ වැඩයේ ජ්වලිතව හවුල් වෙමු. නිර්භීතව දෙවිගේ වචනය ගැන කතා කරමු. (මතෙව් 24:14; 28:19, 20; ක්‍රියා 4:29-31; පිලිප්පි 1:14) යෙහෝවාගේ කාලසටහනෙහි අපි සිටින්නේ කොතැනද කියා හොඳින් අවබෝධ කරගනිමු. ප්‍රේමයට සහ යහපත් ක්‍රියාවලට එකිනෙකාව පොලඹවමු. (මාර්ක් 13:28-33; හෙබ්‍රෙව් 10:24, 25) අප කරන සෑම දෙයක්ම යෙහෝවා දෙවිගේ කැමැත්ත මගින් මෙන්ම අපි ජීවත් වන්නේ ‘අන්තිම කාලයේ’ බවට වූ අප සතු අවබෝධය මගින් පාලනය වීමට ඉඩහරිමු.—දානියෙල් 12:4.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• තම මරණය ආසන්න බව යේසුස් දැනසිටීම, අවසන් දින කිහිපයේදී යෙරුසලමේ දේවමාළිගාවේ ඔහු කළ සේවයට බලපෑවේ කෙසේද?

• යේසුස් ‘අන්තිමය දක්වාම තම ගෝලයන්ට ප්‍රේම කළ’ බව පැහැදිලි වන්නේ කුමකින්ද?

• යේසුස්ගේ ජීවිතයේ අවසාන පැය කිහිපයේදී සිදු වන දේවලින් ඔහු ගැන කියාපාන්නේ මොනවාද?

• දේවසේවයේ හවුල් වන විට ක්‍රිස්තුස් යේසුස්ව අනුගමනය කිරීමට අපට හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

යේසුස් ‘අන්තිමය දක්වාම ඔවුන්ට ප්‍රේම කළේය’