Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ අනුග්‍රහය ලැබූ යටහත් යොෂියා

යෙහෝවාගේ අනුග්‍රහය ලැබූ යටහත් යොෂියා

යෙහෝවාගේ අනුග්‍රහය ලැබූ යටහත් යොෂියා

පස් හැවිරිදි යොෂියා කුමරු සිටින්නේ ඉමහත් බියකිනි. ඔහුගේ මව යෙදීදා අඬමිනුයි සිටින්නේ. ඇය එසේ අඬමින් සිටින්නේ යොෂියාගේ සීයා වන මනස්සේ රජ මියගොස් ඇති නිසාය.—2 රාජාවලිය 21:18.

ඊළඟට යූදාහි රජු වන්නේ යොෂියාගේ පියා වන ආමොන්ය. (2 ලේකම් 33:20) එනමුත් දෙවසරකට පසු (පො.යු.පෙ. 659දී) ආමොන් තම සේවකයන් අතින් පහර ලැබ මරු දකියි. දේශයේ ජනයා කුමන්ත්‍රණකරුවන්ව මරා කුඩා යොෂියාව සිහසුනට පත් කරයි. (2 රාජාවලිය 21:24; 2 ලේකම් 33:25) සිය පියා පාලනය කළ දෑවුරුද්ද තුළදී, යෙරුසලම සිසාරා පැතිර ගිය සුවඳ දුම්වලට යොෂියා හුරු වී තිබිණ. ඒ මන්ද? සෑම නිවසකම පියස්ස මත ජනයා පූජාසන ගොඩනඟා බොරු දෙවිවරුන්ට වන්දනාමාන කළ නිසාය. දුටු දුටු තැන මිථ්‍යාදෘෂ්ටික වත් පිළිවෙත් අනුගමනය කළ පූජකයෝ ප්‍රසිද්ධියෙහි තම වතාවත්වල නිරත වෙමින් සිටියෝය. ඒ අතර සමහරෙක් යෙහෝවාට නමස්කාර කරන බව ප්‍රකාශ කළ අතරේදී, මල්කාම් නම් දෙවියාගේ නමින් දිවුරුවෝය.—ශෙපනියා 1:1, 5.

තම පිය වූ ආමොන් බොරු දෙවිවරුන්ට නමස්කාර කරමින් දුෂ්ට ලෙස ක්‍රියා කළ බව යොෂියා දැනගෙන සිටියි. ක්‍රමක්‍රමයෙන් දෙවිගේ අනාගතවක්තෘ ශෙපනියාගේ ප්‍රකාශයන් වඩාත් හොඳින් තේරුම්ගැනීමටද යූදාහි මෙම තරුණ රජ සමත් වේ. යොෂියාට අවුරුදු 15ක් වන විට (පො.යු.පෙ. 652), ඔහු අට වසරක් පුරා පාලනය කර තිබූ අතර, ශෙපනියාගේ වදන්වලට එකඟව කටයුතු කිරීමේ අදිටනකින්ද සිටියි. යොෂියා තවමත් බාල වියේ සිටියදීම, ඔහු යෙහෝවාව සෙවීමට පටන්ගනියි.—2 ලේකම් 33:21, 22; 34:3.

යොෂියා ක්‍රියාත්මක වේ!

සිව් වසරක් ගතවීමෙන් පසු, යොෂියා යූදා සහ යෙරුසලමෙන් බොරු ආගම් තුරන් කර දැමීමේ ව්‍යාපාරයක් දියත් කරයි. (පො.යු.පෙ. 648) ඔහු බාල් නමස්කාරයට භාවිත කරන පිළිම, ශුද්ධ කණු සහ සුවඳ දුම් පූජාසන වනසා දමයි. බොරු දෙවි දේවතාවන්ගේ පිළිම කුඩු කර, එම කුඩු එම දෙවිවරුන්ට නමස්කාර කළ අයගේ මිනිවළවල්වලට ඉසියි. පිළිකුල්සහගත නමස්කාර පිළිවෙත් සඳහා යොදාගෙන තිබෙන පූජාසන කෙලෙසා, ඒවා කුඩු පට්ටම් කරයි.—2 රාජාවලිය 23:8-14.

ලෙවී පූජකයෙකුගේ පුත්‍රයෙක් වූ යෙරෙමියා යෙරුසලමට පැමිණෙන විට, යොෂියාගේ මෙම ව්‍යාපාරය කඩිනමින් ක්‍රියාත්මක වේ. (පො.යු.පෙ. 647) යෙහෝවා දෙවි තරුණ යෙරෙමියාව තම අනාගතවක්තෘ හැටියට පත් කර ඇත. බොරු ආගම්වලට එරෙහිව යෙහෝවාගේ පණිවිඩය ඔහු ප්‍රකාශ කරන්නේ මොනතරම් ප්‍රබල හඬකින්ද! යොෂියා සහ යෙරෙමියා එකම වයසේ සිටියෝය. බොරු නමස්කාරය දේශයෙන් උදුරා දැමීමට යොෂියා එඩිතර උත්සාහයක් දැරූ අතර, යෙරෙමියා නිර්භීතව යෙහෝවාගේ විනිශ්චයන් ප්‍රකාශ කළේය. එනමුත්, ජනයා නැවතත් බොරු නමස්කාරය තුළට ඇද වැටේ.—යෙරෙමියා 1:1-10.

අමිල වස්තුවක් සම්බ වේ!

දැන් තවත් වසර පහක් පමණ ගත වී හමාරය. විසිපස් වියේ පසු වන යොෂියා පුරා වසර 18ක් රජකම් කර ඇත. හෙතෙම තමන් ඉදිරියට, තම ලේකම් වූ ෂාපාන්ද, නුවර අධිපතියා වූ මයසේයාද, වාර්තාකරුවා වන යෝවාද කැඳවයි. යොෂියා රජ ෂාපාන්ට මෙලෙස ආඥා කරයි. ‘නුඹ නායක පූජකයා වූ හිල්කියා වෙතට ගොස් යෙහෝවාගේ ගෘහයට ගෙනෙන ලද මුදල් වන දොරටු පාලයන් සෙනඟගෙන් එකතු කරගත් ඒවා භාර දෙන ලෙස ඔහුට දන්වා, ගෘහය අලුත්වැඩියා කිරීමට ඒවා වැඩකාරයන්ට දෙන්න.’—2 රාජාවලිය 22:3-6; 2 ලේකම් 34:8.

හිමිදිරි උදෑසනම, අලුත්වැඩියා කරන්නෝ කඩිසරව දේවමාළිගාව අලුත්වැඩියා කරති. මොවුන් යොෂියාගේ දුෂ්ට මුතුන්මිත්තන් කිහිපදෙනෙකු හානි කළ දෙවිගේ ගෘහය පිළිසකර කරමින් සිටින නිසා, යොෂියා යෙහෝවාට කෘතඥපූර්වක වන බවට සැකයක් නැත. ඒ වැඩ සිදු වන අතරතුරේදී, වාර්තාවක් ඉදිරිපත් කිරීමට පැමිණෙන ෂාපාන්ගේ අතේ යමක් තිබේ. ඒ කුමක්ද? අකුලන ලද ලියවිල්ලක්! උත්තම පූජක හිල්කියාට “මෝසෙස්ගේ අතින් දෙනලද [යෙහෝවාගේ] ව්‍යවස්ථා පොත” සම්බ වූ බව ඔහු කියා සිටියි. (2 ලේකම් 34:12-18) ඔහුට සම්බ වී තිබෙන්නේ මොනතරම් මිල කළ නොහැකි වස්තුවක්ද! මෙය ව්‍යවස්ථාවේ මුල්ම පිටපත වන බවට සැකයක් නැත.

ව්‍යවස්ථා පොතෙහි සෑම වචනයකටම සවන් යොමු කිරීමට යොෂියා සිටින්නේ ඉමහත් උනන්දුවකිනි. ෂාපාන් එය කියවන අතර, සෑම ආඥාවක්ම තමාට හා තම සෙනඟට අදාළ වන ආකාරය තේරුම්ගැනීමට රජ ඉමහත් උත්සාහයක් දරයි. ව්‍යවස්ථා පොතෙහි සැබෑ නමස්කාරය පිළිබඳව අවධාරණය කර ඇති ආකාරයද, බොරු ආගම්වලට පැටලීමෙන් ජනයා පිට පැමිණෙන වසංගත ගැන සහ වහල්භාවය ගැන පුරෝකථනය කර ඇති ආකාරයද විශේෂයෙන්ම ඔහුගේ සිත්ගනී. තමා දෙවිගේ සියලුම ආඥා පවත්වා නැති බව දැන් තේරුම්ගන්නා යොෂියා, තම වස්ත්‍ර ඉරා, හිල්කියා, ෂාපාන් සහ වෙනත් අයට මෙම විධානය නිකුත් කරයි. ‘මේ සම්බ වුණ පොතේ සඳහන් වචන ගැන යෙහෝවාගෙන් විචාරන්න. මක්නිසාද අපේ පියවරුන් විසින් මේ පොතේ වචනවලට ඇහුම්කන් නුදුන් නිසා අප කෙරේ ඇවිළ තිබෙන යෙහෝවාගේ උදහස මහත්ය.’—2 රාජාවලිය 22:11-13; 2 ලේකම් 34:19-21.

යෙහෝවාගේ තීන්දුව

යොෂියාගේ පණිවිඩකාරයෝ යෙරුසලමෙහි වෙසෙන හුල්දා නම් අනාගතවක්තෘවරිය වෙත ගොස්, තීන්දුවක් රැගෙන නැවත පැමිණෙති. යෙහෝවාගේ තීන්දුව ප්‍රකාශ කරන හුල්දා කියා සිටින්නේ, ඇදහිල්ල අත්හළ යූදා ජාතියට ඔවුන් මෑතක සොයාගත් පොත තුළ වාර්තා වී ඇති විපත් අත් වන බවය. කෙසේවෙතත්, යොෂියා යෙහෝවා දෙවි ඉදිරියෙහි යටත් වූ නිසා, එම විපත් ඔහුගේ කාලයේදී සිදු නොවේ. යොෂියාගේ මරණය ගැන කතා කරමින්, ඔහුව තම පියවරුන් ළඟට පමුණුවා, තම සොහොනට සමාදානයෙන් පැමිණෙන බව දන්වනු ලැබේ.—2 රාජාවලිය 22:14-20; 2 ලේකම් 34:22-28.

යොෂියා යුද්ධයේදී තුවාල ලබා මියගිය නිසා, හුල්දාගේ පුරෝකථනය නිවැරදි එකක් සේ ගණන් ගත හැකිද? (2 රාජාවලිය 23:28-30) ඔව්. යොෂියා තම සොහොනට ගියේ සමාදානයෙනි. ඊට වෙනස්ව යූදා පිට “විපත්ති” පැමිණීමට නියමිතව තිබිණ. (2 රාජාවලිය 22:20; 2 ලේකම් 34:28) යොෂියා මිය ගියේ, බබිලෝනිවරුන් යෙරුසලම වටලා එය විනාශ කළ කාලපරිච්ඡේදය වන පො.යු.පෙ. 609-607හි සිදු වූ විපත්තියට පෙරය. තවද ‘තම පියවරුන් ළඟට පමුණුවාගැනීම’ යන්නෙහි අදහස දරුණු මරණයක් විඳීමට සීමා වී නැත. ඒ හා සමාන යෙදුමක් දරුණු මෙන්ම දරුණු නොවන මරණ සම්බන්ධයෙන් බයිබලයෙහි වෙනත් තැන්වල සොයාගත හැක.—ද්විතීය කථාව 31:16; 1 රාජාවලිය 2:10; 22:34, 40.

සැබෑ නමස්කාරය වැජඹේ

යොෂියා යෙරුසලමේ ජනයා දේවමාළිගයට රැස් කරවා, යෙහෝවාගේ ගෘහයෙහි තිබී හමු වූ “ගිවිසුම් පොතේ සියලු වචන” ඔවුන්ට කියවයි. ඊළඟට ‘ඒ පොතේ ලියා තිබුණ ගිවිසුමේ වචන ඉෂ්ට කරමින් යෙහෝවා අනුව යෑමටත් ඔහුගේ ආඥාද ඔහුගේ ශික්ෂාද පනත්ද මුළු සිතින් හා මුළු ආත්මයෙන් පැවැත්වීමටත්’ යොෂියා යෙහෝවා ඉදිරියෙහි ගිවිසුමක් කරගනියි. මුළු ජනතාවම ගිවිසුමට එකඟ වේ.—2 රාජාවලිය 23:1-3.

දැන් යොෂියා රජ රූප නමස්කාරය මුලිනුපුටා දැමීමේ අරමුණින් ඊටත් වඩා ප්‍රබල ව්‍යාපාරයක් දියත් කරයි. මේ අනුව යූදාහි බොරු දෙවිවරුන්ගේ පූජකයන් වශයෙන් කටයුතු කරන අයව පහ කෙරේ. අපවිත්‍ර නමස්කාර පිළිවෙත්වල නිරතව සිටින ලෙවී පූජකයන්ට යෙහෝවාගේ පූජාසනයෙහි සේවය කිරීමේ වරප්‍රසාදයද අහිමි වේ. සාලමොන් රජුගේ පාලන සමයේදී ගොඩනැඟූ උස් තැන් කඩා දමනු ලැබේ. මෙම ව්‍යාපාරය අෂූරියන් අතින් පරදවනු ලැබූ (පො.යු.පෙ. 740) ගෝත්‍ර දසයේ ඉශ්‍රායෙල් රාජ්‍යය පැවති ප්‍රදේශයේද දියත් කෙරේ.

ඊළඟට යොෂියා පළමුවන යෙරොබොවම් රජු විසින් බෙතෙල්හි පිහිටුවන ලද පූජාසනය පිට බාල් පූජකයන්ගේ ඇට කටු පුලුස්සා දමයි. මෙය ‘සැබෑ දෙවිගේ මනුෂ්‍යයෙකු’ විසින් වසර 300කට පෙර පුරෝකථනය කරන ලද්දක ඉටුවීමක් වේ. ඔහුගේ නම සඳහන් කර නැත. බෙතෙල්හි හා වෙනත් නුවරවල උස් තැන් ඉවත් කරන අතර, රූප නමස්කාරයෙහි නිරත වූ පූජකයන්ව තම පූජා ඔප්පු කළ පූජාසන පිටම මරා දමනු ලැබේ.—1 රාජාවලිය 13:1-4; 2 රාජාවලිය 23:4-20.

විශිෂ්ට ගණයේ පාස්කුවක් පැවැත්වේ

නිර්මල නමස්කාරයේ උන්නතිය තකා ක්‍රියා කරන යොෂියා එසේ කළේ දෙවිගේ උපකාරයද ඇතුවය. තමා ජීවත් වන කාලය පුරා ජනතාව ‘තමුන්ගේ පියවරුන්ගේ දෙවි වූ යෙහෝවා වෙතින් පහව නොයන’ හෙයින්, රජ දෙවිට කෘතඥපූර්වක වේ. (2 ලේකම් 34:33) යොෂියා රජගේ පාලනයේ 18වන වසරේදී අමතක නොවන යමක් සිදු වේ.

ඔහු ජනතාවට මෙසේ අණ දෙයි. “[මෑතක හමු වූ] මේ ගිවිසුම් පොතේ ලියා තිබෙන ප්‍රකාර නුඹලාගේ දෙවිවූ [යෙහෝවාට] පාස්කුව පවත්වන්න.” (2 රාජාවලිය 23:21) මේ සඳහා ජනතාවගෙන් ලැබෙන කදිම ප්‍රතිචාරය යොෂියාගේ ප්‍රීතියට හේතුවකි. යොෂියාම පාස්කුව සඳහා සතුන් 30,000ක්ද ගොනුන් 3,000ක්ද පරිත්‍යාග කරයි. එය විශිෂ්ට ගණයේ පාස්කුවකි. පූජා කරන ලද සත්ව ප්‍රමාණය, සංවිධානය වී ඇති අන්දම සහ සහභාගි වන නමස්කාරකයන් ගත් කල, එය සාමුවෙල්ගේ කාලයෙන් පසු පැවැත්වූ විශාලම පාස්කුව වේ.—2 රාජාවලිය 23:22, 23; 2 ලේකම් 35:1-19.

යොෂියාගේ මරණය

වසර 31ක් පුරා (පො.යු.පෙ. 659-629) යොෂියා යහපත් රජෙකු ලෙස තම පාලනය ගෙන යයි. තම පාලනයේ අගභාගයේදී, ඵාරාවෝ නෙකෝ යුප්‍රටීස් ගඟ අසබඩ පිහිටි කර්කෙමිෂ්හි අෂූරීය රජට උපකාර කිරීමේ අරමුණින්, යූදා දේශය මැදින් ගොස් අෂූරියට විරුද්ධව සටන් කරන බබිලෝනිය හමුදාවට බාධා පමුණුවන්න අදහස් කරන බව ඔහු දැනගනී. අප නොදන්නා යම් හේතුවක් නිසා යොෂියා නෙකෝ හා සටන් වැදීමට උත්සාහ කරයි. නෙකෝ පණිවිඩකාරයන් යවමින්, ඔහුට මෙසේ පවසයි. ‘දෙවි මා සමඟ සිටියි. ඔහු ඔබව විනාශ නොකරන පිණිස ඔහුගේ කාරණාවලට හරස් නොවන්න.’ එනමුත් යොෂියා වෙස් මාරු කරගෙන මෙගිද්දෝහි සිටි මිසරවරුන් පලවාහැරීමට උත්සාහ දරයි.—2 ලේකම් 35:20-22.

අභාග්‍යයකට මෙන්, යූදාහි රජ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වේ. සතුරු දුනුකාරයන් අතින් ඔහුට මරු පහරක් එල්ල වේ. ඔහු තම සේවකයන්ට මෙසේ පවසයි. “මට බොහෝ තුවාලවූ බැවින් මා අහකට ගෙනයන්න.” ඔවුහු යොෂියාව තම යුද රථයෙන් වෙනත් රථයකට මාරු කොට යෙරුසලම බලා ගමන් කරති. එසේ යන අතරමඟදී, යොෂියා රජ තම අවසන් හුස්ම හෙළයි. “ඔහු මැරී තමාගේ පියවරුන්ගේ සොහොන් ගෙවල තැන්පත්කරනලද්දේය. සියලු යූදාවරුද යෙරුසලමේ වැසියෝද යොෂියා ගැන වැලපුණාහ” කියා දේවානුභාවය ලත් වාර්තාවේ පවසයි. යෙරෙමියා ඔහු ගැන විලාප ගීයක් ගැයූ අතර, ඉන්පසුවත් ජනයා විලාප ගී කියමින් යොෂියා ගැන කතා කරයි.—2 ලේකම් 35:23-25.

යොෂියා රජ, මිසර රජ හා යුද්ධ කිරීමට ගත් තීරණය දුරදිග නොබලා ගත් එකක් විය යුතුය. (ගීතාවලිය 130:3) එනමුත් ඔහු යටහත් පහත්, සැබෑ නමස්කාරය සඳහා ස්ථිරව සිටි කෙනෙකු වූ නිසා, ඔහුට දෙවිගේ අනුමැතිය හිමි විය. මේ අනුව යටහත් සිතකින්, යෙහෝවාට ඇප කැප වී සේවය කරන අයට යෙහෝවා කොතරම් අනුග්‍රහයක් දක්වනවාද යන්න යොෂියාගේ ජීවිතයෙන් මනාව ඔප්පු වේ.—හිතෝපදේශ 3:34; යාකොබ් 4:6.

[29වන පිටුවේ පින්තූරය]

තරුණ යොෂියා රජ යෙහෝවාව සෙවීමට ඉමහත් පරිශ්‍රමයක් දැරීය

[31වන පිටුවේ පින්තූරය]

යොෂියා උස් තැන් වනසා, සැබෑ නමස්කාරය නඟාසිටෙව්වේය