ෆීජි දූපත්වල දෙවිගේ රාජ්‍යය ප්‍රචාරය කිරීම
අපි ඇදහිල්ල ඇත්තෝ වන්නෙමු
ෆීජි දූපත්වල දෙවිගේ රාජ්‍යය ප්‍රචාරය කිරීම
එක්තරා අවස්ථාවක යේසුස් ක්‍රිස්තුස් මාර්ග දෙකක් ගැන කතා කළේය. ඉන් එක් මාර්ගයක් පුළුල්ය. එය මඟ පෙන්වන්නේ මරණයටය. අනෙක් මාර්ගය පටුය. නමුත් එය මඟ පෙන්වන්නේ ජීවනයටය. (මතෙව් 7:13, 14) නිවැරදි මාර්ගය මනුෂ්‍යයන්ට දැනගැනීම සඳහා, රාජ්‍යයේ ශුභාරංචිය ලොව වටා දේශනා කිරීමට යෙහෝවා දෙවි අරමුණු කළේය. (මතෙව් 24:14) මේ නිසා සෑම තැනකම සිටින මනුෂ්‍යයන්ට රාජ්‍යයේ පණිවුඩයට ඇහුම්කන් දීමට හැකි වන අතර, මෙතුළින් සමහරු “ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහීමට අයිති” අය බව පෙන්වමින් ජීවනයේ මාර්ගය තෝරාගනිති. (හෙබ්‍රෙව් 10:39) ෆීජිවල සහ ඒ අවට දකුණු පැසිෆික් දූපත්වල සිටින සමහර අය ජීවනය තෝරාගත්තේ කෙසේද කියා සොයා බලන මෙන් අපි ඔබට ඇරයුම් කරන්නෙමු.
ඔවුන් යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබීය
මේරි නමැත්තියට පළමු වතාවට රාජ්‍ය පණිවුඩය අසන්න ලැබුණේ 1964දීය. එවකට ඇය පාසැල් යන දැරියක්ව සිටියාය. ඉතා දුර බැහැර දූපතක ඇය පදිංචිව සිටි නිසා ඇයට යෙහෝවාගේ සාක්ෂිකාරයන් සමඟ වැඩි දුරට සම්බන්ධකම් පැවැත්වීමට හැකියාවක් ලැබුණේ නැත. කෙසේ හෝ අවසානයේදී බයිබලය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගන්නා විට ඈ ගම් මුලාදෑනියෙකු සමඟ විවාහ වී සිටියාය. මේරි බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වීමට තෝරාගත් නිසා ඇගේ ස්වාමිපුරුෂයා සහ ඔහුගේ නෑදෑයන් ඇයට ඉතා කෲර ලෙස හිරිහැර කළ අතර, ගමේ උදවිය පවා ඇය දෙස වපර ඇසින් බැලූහ. එහෙත් ඈ මෙම බාධක සියල්ල අභිභවා 1991දී බව්තීස්ම වූවාය.
ටික කාලයකට පසු මේරිගේ ස්වාමිපුරුෂයා වූ ජොෂුවාගේ නපුරු ස්වභාවය වෙනස් වීමට පටන්ගත්තේය. මේරි තම දරුවන් සමඟ කළ බයිබල් සාකච්ඡාවන්ට පවා ඔහු හවුල් විය. පසුව ඔහු මෙතෝදිස්ත පල්ලියට යෑම නවතා දැමුවේය. නමුත් ඔහු ගමේ මුලාදෑනිකම හෙබවූ නිසා සතිපතා පැවැත්වූ ගම් සභා රැස්වීම්වල මූලිකත්වය ගෙන කටයුතු කළේය. ෆීජියානු ගැමි ජීවිතය තුළ මෙතෝදිස්ත පල්ලියට වැදගත් ස්ථානයක් හිමි වී තිබූ නිසා ගම්වැසියන්ට ජොෂුවාව පෙනුණේ ද්‍රෝහියෙකු ලෙසයි. එම හේතුව නිසා, ගමේ දේවගැතිවරයා ජොෂුවාට ඔහුගේ කලින් ආගමට යළි හැරෙන්න කියා පෙරැත්ත කළේය.
නමුත් ඔහු සහ ඔහුගේ පවුලේ උදවිය යෙහෝවා දෙවිට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කිරීමට තීරණය කර ඇති බව ජොෂුවා ස්ථිරයෙන්ම කියා සිටියේය. (යොහන් 4:24) ඊට පසු පැවැත්වූ ගම් සභා රැස්වීමේදී, ප්‍රධාන මුලාදෑනියා ජොෂුවාට සහ ඔහුගේ පවුලේ අයට ගමෙන් පිටවීමට නියෝග කළේය. දින හතක් ඇතුළත ඔවුන්ට ඔවුන්ගේ නිවස, වතු පිටි සහ සියලු ආදායම් මාර්ග අත්හැර යෑමට සිදු විය.
වෙනත් දූපතක සිටි ආත්මික සහෝදරයෝ ජොෂුවාට සහ ඔහුගේ පවුලේ අයට නවාතැනක් සහ වගා කිරීමට බිම් කොටසක් ලබාගැනීමට උපකාර කළෝය. ඔවුන්ට කොතරම් බාධා පැමිණියත් ජොෂුවා සහ ඔහුගේ පවුලේ අය සත්‍යය වෙනුවෙන් තමන් ගත් ස්ථාවරය දිගටම පවත්වාගත්තෝය. දැන් ජොෂුවා සහ ඔහුගේ වැඩිමහල් පුතා බව්තීස්ම වී සිටින අතර, තවත් පුතෙක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු ලෙස සේවය කරයි. මේරි මෑතකදී ස්ථාවර පුරෝගාමියක් (පූර්ණ කාලීන රාජ්‍ය දේශනාකරන්නියක්) ලෙස සේවය කිරීම ආරම්භ කළාය. ඔවුන් යෙහෝවා දෙවිට සේවය කිරීමට තෝරාගත් නිසා, උසස් තනතුරු හා උන් හිටි තැන් පවා ඔවුන්ට අහිමි වී ගියේය. එහෙත්, උරුම වුණ ආත්මික දේට අහිමි වුණ දේ සම කළ නොහැකි බව ප්‍රේරිත පාවුල්ට මෙන් ඔවුන්ටද හැඟිණ.—පිලිප්පි 3:8.
හෘදසාක්ෂියට සම්බන්ධ තේරීමක්
බයිබලයේ ඇති සාරධර්මවලට අනුව පුහුණු කර ඇති හෘදසාක්ෂියට එකඟව ජීවත් වීමට ඇදහිල්ල සහ ධෛර්යය අවශ්‍යයි. කිරිබාතිහි දූපතක් වන ටාරාවාවල ජීවත් වන, මෑතකදී බව්තීස්ම ලත් සුරාන්ට මෙම අභියෝගයට මුහුණ දීමට සිදු විය. හෙදියක් ලෙස රෝහලක සේවයේ නිරත වී සිටි සුරාන්, තම වගකීම්වලින් එක වගකීමක් කපාහරින මෙන් ඉල්ලා සිටියාය. ඇයගේ මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, නොසිතූ දෙයක්ද සිදු විය. ඇයව ඉතා ඈත දූපතක තිබෙන කුඩා වෛද්‍ය මධ්‍යස්ථානයකට මාරු කරන ලදි. මෙය සෙසු ඇදහිලිවන්තයන්ගෙන් ඇයව ඈත් කරලීය.
එම දූපතට අලුතෙන් පැමිණෙන අය එම දූපතට අරක්ගත් “යක්ෂ ආත්මයට” පූජාවක් ඔප්පු කිරීම සාමාන්‍ය සිරිතකි. එලෙස පුද පූජා නොපැවැත්වුවහොත් එම පුද්ගලයාට මරණය අද්දකින්න සිදු වන බවට එම දූපත්වාසීන් තුළ දැඩි විශ්වාසයක් තිබේ. සුරාන් ඇය සහ ඇය සමඟ පැමිණි අය
වෙනුවෙන් සූදානම් කර තිබූ මෙම රූප වන්දනාවේ චාරිත්‍රයේ හවුල් වීම ප්‍රතික්ෂේප කළ නිසා ඒ ගැන කෝපාවිෂ්ට වූ ආත්මය විසින් ඇගේ ගෙල සිර කොට මරා දමන තුරු ගම්මු බලා සිටියහ. නමුත් සුරාන්ටවත් ඇයත් සමඟ පැමිණි අයටවත් කිසිම විපතක් සිදු නොවීය. මෙයින් ඇයට සාක්ෂි දැරීමට කදිම ප්‍රස්තාවක් උදා විය.නමුත් සුරාන්ගේ පරීක්ෂණ එතනින් අවසන් නොවීය. එම දූපතේ සිටි සමහර තරුණයන් ඇයව මුළා කරගැනීමට මාන බැලීය. ඇත්තෙන්ම, එම දූපතට අලුතෙන් පැමිණෙන තරුණියන්ව ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට පෙලඹවීම සිත්ගන්නාසුලු දෙයක් වශයෙන් ඔවුහු සැලකූහ. නමුත් සුරාන් ඔවුන්ගේ චාටු බස්වලට නොරැවටී දෙවි කෙරෙහි වූ තම අඛණ්ඩතාව දිගටම පවත්වාගත්තාය. ඇය පැය 24ක් පුරා අඛණ්ඩව සේවයේ නියැලිය යුතු හෙදියක් වුවත් ස්ථාවර පුරෝගාමියක් ලෙස සේවය කිරීමටත් ඇයට හැකියාවක් ලැබිණ.
සුරාන් එම දූපතෙන් යන්න සූදානම් වන විට දූපත්වාසීන් ඇය වෙනුවෙන් උත්සවයක් සූදානම් කළේය. එම උත්සව අවස්ථාවට පෙර ගමේ සිටි මුලාදෑනින් ප්‍රකාශ කළේ ගමට පැමිණි එකම සැබෑ මිෂනාරිවරිය ඇය කියාය. බයිබල් ප්‍රතිපත්ති සඳහා ඇයට තිබූ නොසැලෙන ස්ථාවරය නිසා එම දූපතේ බොහෝදෙනෙක් රාජ්‍ය පණිවුඩයට යහපත් ප්‍රතිචාරයක් දැක්වූහ.
වෙනත් අභියෝගයන්
මෙවැනි හුදෙකලා දූපත් ගම්මානවල සිටින යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට දේවසේවයේ හවුල් වීමට සහ ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමට විශාල වෑයමක් දැරීමට සිදු වේ. එවැනි හුදෙකලා ප්‍රදේශයක සිටි බව්තීස්ම ලත් සහෝදරයෙකු සහ සහෝදරියන් තිදෙනෙකුගේ අද්දැකීම දැන් සලකා බලන්න. ඔවුන් රැස්වීම්වලට යෑමට සහ ආපසු ඒමට පැය ගණන් කැප කළේය. ඔවුන්ගේ මෙම ගමනේදී ගංගා තුනකින් එගොඩ වීමට ඔවුන්ට සිදු විය. ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති විට මෙම සහෝදරයා ඉවුම් පිහුම් සඳහා යොදාගන්නා විශාල භාජනයකට ඔවුන්ගේ බෑග්, පොත් පත්, රැස්වීමට අඳින ඇඳුම් ආදිය දමා එම භාජනයද රැගෙන එගොඩට පීනයි. පසුව සහෝදරියන්ට උපකාර කිරීම සඳහා නැවතත් ඔහු මෙගොඩට පීනා එයි.
කිරිබාතිහි නොනොඌටි දූපතේ, රැස්වීම්වලට සහභාගි වන කුඩා කණ්ඩායමකට වෙනත් ආකාරයේ අභියෝගයන්ටත් මුහුණපෑමට සිදු විය. ඔවුන් රැස්වීම් සඳහා රැස් වන නිවසේ ඉඩ කඩ තිබෙන්නේ හත්දෙනෙකුට හෝ අටදෙනෙකුට පමණි. මේ නිසා රැස්වීමට පැමිණෙන අනෙක් අයට පිටත සිට දැල් අතරින් සභාව දෙස බලමින් රැස්වීමට අවධානය දීමට සිදු වේ. ඒ අවට පිහිටි දැකුම්කලු පල්ලිවලට යන එන ගම්වැසියන්ට මෙම රැස්වීම් පවත්වන ස්ථානය හොඳින් පෙනේ. නමුත් දෙවිට වැදගත් වන්නේ පුද්ගලයන් මිස, ගොඩනැඟිලි නොවන බව යෙහෝවාගේ සෙනඟ වටහාගෙන තිබේ. (හග්ගයි 2:7) එම දූපතේ සිටින එක් බව්තීස්ම ලත් මහලු සහෝදරියකට ශාරීරික දුර්වලකම් තිබෙන නිසා වැඩි දුරක් පයින් ඇවිදිය නොහැකියි. එහෙත් බව්තීස්ම නොලත් තරුණියක්, එම සහෝදරියව අත් කරත්තයක තබා තල්ලු කරගෙන යෑමෙන් ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට ඇයට උපකාරය පිරිනමයි. සත්‍යය වෙනුවෙන් ඔවුන් පෙන්වන අගය මොනතරම්ද!
ෆීජි දූපත්වල 2,100කට වඩා සිටින ප්‍රචාරකයන්ගේ එකම අධිෂ්ඨානය වන්නේ නොකඩවා දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රචාරය කිරීමයි. මෙතුළින් තවත් බොහෝදෙනෙකු ‘ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහිල්ල ඇත්තන් වෙයි’ කියා ඔවුන්ගේ විශ්වාසයයි.
[8වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ඕස්ට්‍රේලියාව
ෆීජි