Skip to content

පටුනට යන්න

අධ්‍යයනය—ප්‍රීතිදායක මෙන්ම ප්‍රතිඵල ගෙන දෙන්නකි

අධ්‍යයනය—ප්‍රීතිදායක මෙන්ම ප්‍රතිඵල ගෙන දෙන්නකි

අධ්‍යයනය—ප්‍රීතිදායක මෙන්ම ප්‍රතිඵල ගෙන දෙන්නකි

“එය දිගටම සොයන්නෙහි නම්, . . . ඔබට ඇත්තෙන්ම දෙවි පිළිබඳ දැනුම අත් වන්නේය.”—හිතෝපදේශ 2:4, 5NW.

1. විනෝදාංශයක් ලෙස කියවීමෙන් මහත් ප්‍රීතියක් ලබාගත හැක්කේ කෙසේද?

 බොහෝදෙනෙකු කියවීම සලකන්නේ විනෝදාංශයක් ලෙස පමණකි. කියවන පොත පත ගුණාත්මකභාවයෙන් ඉහළ නම්, ඉන් ආස්වාදයක් මෙන්ම ප්‍රයෝජනයක් ලබාගත හැක. නිතිපතා බයිබලය කියවීමේ වැඩසටහනකට ඇලී සිටීමට අමතරව, ගීතාවලියේ, හිතෝපදේශයේ, සුවිශේෂ වාර්තාවල හෝ බයිබලයේ වෙනත් පොත්වල කොටස් කියවීමෙන් ඇතැම් ක්‍රිස්තියානීහු සැබෑ ප්‍රීතියක් ලබති. එහි භාෂා අලංකාරය මෙන්ම අදහස් ගලා එන ආකාරය ඉමහත් සතුට දනවන්නකි. තවත් සමහරුන් තම විවේකය ගෙවන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත (ඉංග්‍රීසියෙන්), පිබිදෙව්! සඟරාව, මුරටැඹ සඟරාවේ පළ වන ජීවිත කතා නැතහොත් ඉතිහාසය, භූගෝලය සහ ස්වභාව ධර්මය ගැන පළ වී ඇති සඟරා පොත් පත් කියවීමෙනි.

2, 3. (අ) ගැඹුරු ආත්මික තොරතුරු ඝන ආහාර හා සැසඳිය හැක්කේ කොයි ආකාරයෙන්ද? (ආ) අධ්‍යයනය සඳහා කුමක් අවශ්‍ය වේද?

2 නිකම්ම පොතක් කියවීමෙන් විවේකීව කාලය ගත කළ හැකි වුවද, අධ්‍යයනයට මනස වෙහෙසවිය යුතුය. ඉංග්‍රීසි ජාතික දාර්ශනිකයෙකු වන ෆ්‍රැන්සිස් බේකන් පොතක් කියවීම ආහාරයක් භුක්ති විඳීමකට සමාන කරමින් මෙසේ ලීවේය. “සමහරක් රස බැලීමට පමණක්ය. තවත් සමහරක් ඉක්මනින් ගිල දැමිය යුතුය. ඒ අතුරින් අතළොස්සක් අනුභව කොට කෙමෙන් කෙමෙන් ජීරණය කළ යුතුයි.” බයිබලය කියවීම අනිවාර්යයෙන්ම වැටෙන්නේ අවසානයට සඳහන් කළ ගණයටයි. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “ඒ ගැන [රජෙකු හා පූජකයෙකු වූ මෙල්කිසදෙක්ට සමාන වන ක්‍රිස්තුස් ගැන] බොහෝ දේ කියන්ට අපට ඇත්තේය, නුමුත් නුඹලා ඇසීමට මැළිව සිටින බැවින් ඒවා තේරුම්කරදෙන්ට අමාරුය. . . . දැඩි [ඝන, NW] ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියයන් ඇති, සම්පූර්ණවූ [මේරූ, NW] තැනැත්තන්ටය.” (හෙබ්‍රෙව් 5:11,14) ඝන ආහාර ජීරණය වීමට නම්, එය හොඳට හපා කෑ යුතුය. එලෙසම ආත්මික තොරතුරු උරාගෙන මනසෙහි සහ හදවතෙහි නිදන් කරගැනීමට නම්, ඒවා ගැන මෙනෙහි කර බැලිය යුතුය.

3 දැනුම හෝ අවබෝධය ලබාගැනීමට මනස යෙදවීමේ ක්‍රියාව හෝ ක්‍රියාවලිය “අධ්‍යයනය” ලෙස දැක්විය හැක. ඒ සඳහා කියවීම සහ පරිශීලනය ඉවහල් වේ. එසේ නම්, නිකම්ම උඩින් පල්ලෙන් කියවා, වචන යටින් ඉරිගැසීමට වඩා වැඩි යමක් මෙයට අයත් වන බව පැහැදිලිය. අධ්‍යයනය සඳහා පරිශ්‍රමයක් දැරීම, මනස වෙහෙසවීම, වටහාගැනීමේ ශක්තිය භාවිත කිරීම අවශ්‍ය වේ. කෙසේවෙතත්, අධ්‍යයනය සඳහා වෑයමක් දැරීමට සිදු වුවද, ඉන් ප්‍රීතියක් ලබාගත නොහැකි බව ඉන් අදහස් නොකරයි.

අධ්‍යයනය ප්‍රීතිය ගෙන දෙන්නක් කිරීම

4. ගීතිකාකරු පවසන ආකාරයට, දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමෙන් ප්‍රබෝධයක් මෙන්ම යහපත් ප්‍රතිඵල අද්දැකිය හැක්කේ කෙසේද?

4 දෙවිගේ වචනය කියවීම සහ අධ්‍යයනය කිරීම ප්‍රබෝධය ගෙන දෙන කාර්යයක් විය හැක. ගීතිකාකරුගේ මෙම අදහස සැලකිල්ලට ගන්න. ‘යෙහෝවාගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත් කරන්නේය. යෙහෝවාගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත් කරන්නේය. යෙහෝවාගේ පනත් සාධාරණය, සිත ප්‍රීති කරවන්නේය. යෙහෝවාගේ ආඥාව පවිත්‍රය, ඇස් එළිය කරන්නේය.’ (ගීතාවලිය 19:7, 8) යෙහෝවාගේ නීති සහ සිහිගැන්වීම් අපව ප්‍රාණවත් කරයි, අපගේ ආත්මික තත්වය ගොඩනංවයි, අපගේ සිතට ප්‍රීතියක් ගෙන දෙයි. යෙහෝවාගේ මහිමාන්විත අරමුණු සම්බන්ධයෙන් අපට පැහැදිලි දෘෂ්ටියක් ලැබෙන නිසා, අපගේ දෙනෙත් පැහැදේ. එය මොනතරම් ආශීර්වාදයක්ද!

5. අධ්‍යයනය තුළින් අපට ඉමහත් ප්‍රීතියක් ලබාගත හැක්කේ කොයි ආකාරවලින්ද?

5 අප නිරතව සිටින වැඩයකින් හොඳ ප්‍රතිඵල අද්දකින විට, සාමාන්‍යයෙන් ඉන් ප්‍රීතියක් ලැබේ. එමනිසා, අධ්‍යයනයෙන් ප්‍රීතියක් ලැබීමට, ඉන් ලබාගත් දැනුම ක්‍රියාවට නංවන්න අප උත්සුක විය යුතුය. “නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය” කියා යාකොබ් ලීවේය. (යාකොබ් 1:25) ඉගෙනගත් කාරණා විගස පෞද්ගලිකව අදාළ කරගැනීමෙන් ඉමහත් සතුටක් ලැබිය හැක. දේශනා කිරීමේ හෝ ඉගැන්වීමේ කාර්යයෙහිදී පැනනඟින පැනයකට පිළිතුරක් සෙවීමේ අරමුණින් ගවේෂණය කිරීමද ඉමහත් සතුටකට හේතු වනවා ඇත.

දෙවිගේ වචනය සඳහා ඇල්මක් වර්ධනය කරගැනීම

6. යෙහෝවාගේ වචනය සඳහා තිබෙන තම ඇල්ම ගීතා 119වන ගීතිකාවේ ලේඛකයා වචනයට නැඟුවේ කෙසේද?

6 ගීතාවලිය 119වන පරිච්ඡේදය රචනා කළේ තරුණ හෙසකියා කුමරු බවට උපකල්පනය කෙරේ. කෙසේවෙතත්, එහි ලේඛකයා යෙහෝවාගේ වචනය සඳහා තම ඇල්ම කාව්‍යමය ආකාරයකින් මෙසේ විස්තර කළේය. “ඔබගේ පනත්වලට ඇලුම් වන්නෙමි. ඔබගේ වචනය සිහි නැති නොකරන්නෙමි. ඔබගේ සිහිගැන්වීම්වලටද ඇලුම් වන්නෙමි . . . මා ප්‍රේම කළාවූ ඔබගේ ආඥාවන් කෙරෙහි ඇල්මක් පෙන්වන්නෙමි. මා ජීවත් වන පිණිස ඔබගේ දයාව මා වෙත පැමිණේවා. මක්නිසාද ඔබගේ ව්‍යවස්ථාවට ඇලුම් වන්නෙමි. යෙහෝවා, ඔබ දෙන ගැළවීම ගැන ආශා වෙමි. ඔබගේ ව්‍යවස්ථාවට ඇලුම් වන්නෙමි.”—ගීතාවලිය 119:16, 24, 47, 77, 174NW.

7, 8. (අ) එක් ආශ්‍රේය ග්‍රන්ථයකට අනුව, දෙවිගේ වචනය සඳහා ‘ඇල්මක් පෙන්වීමෙන්’ අදහස් වන්නේ කුමක්ද? (ආ) යෙහෝවාගේ වචනය සඳහා අපට ඇල්මක් ඇති බව අපට පෙන්නුම් කළ හැක්කේ කෙසේද? (ඇ) යෙහෝවාගේ ව්‍යවස්ථාව කියවීමට පෙර එස්රා තමාව සූදානම් කරගත්තේ කෙසේද?

7 ගීතාවලිය 119හි “ඇල්මක් පෙන්වන්නෙමි” ලෙස පරිවර්තනය කර ඇති වචනය පැහැදිලි කරමින් හෙබ්‍රෙව් ලියවිල්ල පදනම් කරගත් එක් ශබ්දකෝෂයක මෙසේ පැවසේ. “16වන පදයෙහි එය භාවිත කර ඇති අයුරු ගත් කල, එය ප්‍රීතිවීම . . . සහ මෙනෙහි කිරීම සඳහා යොදා ඇති ක්‍රියා පදවලට සමාන්තරව දිවයයි . . . එහි ප්‍රීති වන්න, මෙනෙහි කරන්න, සන්තෝෂයක් ලබන්න යන අනුපිළිවෙළ දක්නට ලැබේ . . . මින් අදහස් කරන්නේ යාහ්වේගේ වචනයෙන් සන්තෝෂයක් ලැබීමට නම්, යම් පරමාර්ථයක් ඇතුව මෙනෙහි කිරීම අවශ්‍ය බවය. . . . ඊට හැඟීම්වලින් සම්බන්ධ වීමත් අදහස් කරයි.” a

8 ඔව්, යෙහෝවාගේ වචනය සඳහා අපට තිබෙන ඇල්ම අපගේ හැඟීම්වල උල්පත වන හදවතින්ම නික්මිය යුතුය. පද කිහිපයක් කියවා, ටික වේලාවකට ඒවා ගැන සිතා බැලීම අපට සතුට ගෙන දෙන අද්දැකීමක් විය යුතුයි. එසේ නම්, ගැඹුරු ආත්මික සිතුවිලි ගැන කල්පනා කර බැලීම, එනම් ඒ සිතුවිලි තුළම නිමග්නව සිටීම නැතහොත් ඒවා මත මෙනෙහි කිරීම අවශ්‍යය. ඒ සඳහා නිරවුල් මනසක් ඇතුව සිටීම සහ යාච්ඤාව වැදගත් කාර්යයක් ඉටු කරයි. එස්රා මෙන් දෙවිගේ වචනය කියවා අධ්‍යයනය කිරීම සඳහා අප අපගේ හදවත් සූදානම් කරගත යුතුය. ඔහු ගැන මෙසේ පවසා තිබේ. “එස්රා [යෙහෝවාගේ] ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඉශ්‍රායෙල්හි පනත්ද විනිශ්චයන්ද උගන්වන්ටත් තමාගේ සිත යොමුකරගත්තේය [හදවත සූදානම් කළේය, NW].” (එස්රා 7:10) එස්රා තම හදවත සූදානම් කළේ කුමන හේතු තුනකටද කියා ඔබ දුටුවාද? අධ්‍යයනය කිරීමට, පෞද්ගලිකව අදාළ කරගැනීමට සහ ඉගැන්වීමටය. අප ඔහුගේ ආදර්ශය අනුකරණය කළ යුතුය.

අධ්‍යයනය—නමස්කාරයේ අංගයකි

9, 10. (අ) ගීතිකාකරු යෙහෝවාගේ වචනයට අවධානයක් දුන්නේ කිනම් ආකාරවලින්ද? (ආ) ‘අවධානය දීම’ ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් ක්‍රියා පදයෙහි තේරුම කුමක්ද? (ඇ) බයිබලය අධ්‍යයනය කිරීම අපගේ නමස්කාරයේ අංගයක් ලෙස සැලකීම වැදගත් වන්නේ මන්ද?

9 තමා යෙහෝවාගේ නීති, ආඥාවන් සහ සිහිගැන්වීම්වලට අවධානය දුන් බව ගීතිකාකරු පවසයි. “ඔබගේ නියෝගවලට අවධානය දෙන්නෙමි. ඔබගේ මාර්ග සලකන්නෙමි. . . . මා ප්‍රේම කළාවූ ඔබගේ ආඥාවන් දෙස මාගේ අත් ඔසවමින්, ඔබගේ පනත්වලට අවධානය දෙන්නෙමි. ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම්ද! දවස මුළුල්ලේම ඊට මාගේ අවධානය දෙමි. මාගේ සියලු ගුරුවරුන්ට වඩා මට තීක්ෂ්ණ බුද්ධිය ඇත. මක්නිසාද ඔබගේ සිහිගැන්වීම්වලට මාගේ අවධානය දෙන්නෙමි.” (ගීතාවලිය 119:15, 48, 97, 99NW) යෙහෝවාගේ වචනයට ‘අවධානය දීමෙන්’ අදහස් කරන්නේ කුමක්ද?

10 ‘අවධානය දීම’ ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් ක්‍රියා පදයට “මෙනෙහි කිරීම, කල්පනා කර බැලීම,” “යම් කාරණයක් ගැන නැවත නැවත සිතා බැලීම” යන අදහස් මුසුව ඇත. “දෙවිගේ ක්‍රියා . . . සහ දෙවිගේ වචනය ගැන නිරවුල් මනසක් ඇතුව කල්පනා කර බැලීමටද එය භාවිත කෙරේ.” (Theological Wordbook of the Old Testament) “ගීතිකාකරුගේ මෙනෙහි කිරීම” හා දෙවිගේ ව්‍යවස්ථාව ගැන “මහත් ඇල්මෙන් ඔහු කළ අධ්‍යයනය” යන කාරණා දෙක “නමස්කාරයේ අංගයක්” බව, “අවධානය” ලෙස පරිවර්තනය කර ඇති නාම පදයෙන් අඟවයි. දෙවිගේ වචනය අධ්‍යයනය කිරීම අපගේ නමස්කාරයේ අංගයක් ලෙස සැලකීම ඊට යම් බැරෑරුම්කමක් එක් කරයි. එසේ නම්, එය අවංක උත්සාහයක් දරමින්, යාච්ඤාපූර්වකව කළ යුත්තකි. අධ්‍යයනය අපගේ නමස්කාරයේ අංගයක් වන අතර අප එය කරන්නේ අපගේ නමස්කාරයේ ගුණය තවත් වැඩිදියුණු කිරීම පිණිසය.

දෙවිගේ වචනය තවත් ගැඹුරට හාරා බැලීම

11. යෙහෝවා තම සෙනඟට ගැඹුරු ආත්මික සිතුවිලි එළිදරව් කරන්නේ කෙසේද?

11 ගරුබිය මුසු වූ අගයක් ඇතුව ගීතිකාකරු මෙසේ කියා සිටියේය. “[යෙහෝවා] ඔබගේ ක්‍රියා කොපමණ මහත්ද! ඔබගේ කල්පනා [සිතුවිලි, NW] ඉතා ගැඹුරුය.” (ගීතාවලිය 92:5) ප්‍රේරිත පාවුල්ද ‘දෙවිගේ ගැඹුරු දේවල්’ ගැන කතා කළේය. ඒවා නම්, විශ්වාස වූ නුවණ ඇති දාස පංතිය තුළින් ක්‍රියාත්මක වන ‘ඔහුගේ ආත්මය කරණකොටගෙන’ යෙහෝවා තම සෙනඟට එළිදරව් කරන ගැඹුරු සිතුවිලිය. (1 කොරින්ති 2:10; මතෙව් 24:45) දාස පංතිය තම කාර්යය මැනවින් ඉටු කරයි. සියලුදෙනාටම ආත්මික පෝෂණයක් ලැබේ. නවකයන්ට “කිරි” ආහාරද, ‘මේරූ අයට ඝන ආහාරද [NW]’ සපයනු ලැබේ.—හෙබ්‍රෙව් 5:11-14.

12. දාස පංතිය පැහැදිලි කර ඇති ‘දෙවිගේ ගැඹුරු දේවලට’ නිදසුනක් දෙන්න.

12 ‘දෙවිගේ ගැඹුරු දේවල්’ වටහාගැනීමට නම්, දෙවිගේ වචනය යාච්ඤාපූර්වකව අධ්‍යයනය කොට ඒ ගැන මෙනෙහි කිරීම අවශ්‍යය. නිදසුනකට, යෙහෝවා යුක්තිය සහ දයාව එක විටම දක්වන බව පෙන්නුම් කළ කදිම තොරතුරු අපගේ ප්‍රකාශනවල පළ කර තිබේ. යෙහෝවා දයාව පෙන්වුවද, ඉන් ඔහුගේ යුක්තිය බාල වන්නේ නැත. ඇත්තෙන්ම දිව්‍ය දයාව යනු දෙවිගේ යුක්තියේ සහ ප්‍රේමයේ ප්‍රකාශ වීමකි. පව්කාරයෙකු විනිශ්චය කරද්දී, තම පුත්‍රයාගේ මිදීමේ පූජාව පදනම් කරගෙන දයාව පෙන්වීමට හැකිදැයි යෙහෝවා මුලින්ම සලකා බලයි. පව්කාරයා පසුතැවිලි නොවී කැරලිකාර ස්වභාවයක් දක්වනවා නම්, අනවශ්‍ය ලෙස දයාවක් නොපෙන්වා යෙහෝවා යුක්තිය ක්‍රියාත්මක කරයි. දයාව පෙන්වීම සඳහා අවශ්‍යතාවක් පැනනැඟුණත් නැතත්, යෙහෝවා තම උදාර ප්‍රමිතිවලට විශ්වාසවන්තව ඇලී සිටියි. b (රෝම 3:21-26) ‘දෙවිගේ ප්‍රඥාවේ බහුලත්වය කොපමණ ගැඹුරුද!’—රෝම 11:33.

13. මෙතෙක් එළිදරව් කර ඇති ආත්මික සත්‍යයන් සම්භාරයට අප අගය පෙන්විය යුත්තේ කෙසේද?

13 ගීතිකාකරු සමඟ කළාක් මෙන් යෙහෝවා අප සමඟත් සිතුවිලි රැසක් බෙදාගන්නා නිසා එය අපගේ ඉමහත් සතුටට හේතුවක් වේ. දාවිත් මෙසේ ලීවේය. “[දෙවියනි], ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද! ඒවා ගණින්නෙම් නම් වැලිවලටත් වැඩිය. මම පිබිදෙන විටත් ඔබ සමඟ වෙමි.” (ගීතාවලිය 139:17, 18) දැන් අප සතු දැනුම යෙහෝවා ඉදිරියේදී සදාකාලය පුරාම අපට එළිදරව් කරන නිමක් නැති සිතුවිලිවලින් අල්පමාත්‍රයක් පමණි. කෙසේවෙතත්, මේ තාක් දුරට එළිදරව් කර ඇති අනර්ඝ ආත්මික සත්‍යයන් “ගණන” අපි බෙහෙවින් අගය කරන්නෙමු. තවද දෙවිගේ වචනයෙහි සම්පූර්ණ අදහස නොහොත් නියම සාරය තේරුම් ගැනීමට තව තවත් හාරා බැලීමට අප තුළ පෙලඹීමක් ඇති වනවා නොඅනුමානය.—ගීතාවලිය 119:160.

වෑයම සහ හොඳ මෙවලම් අවශ්‍යය

14. දෙවිගේ වචනය අධ්‍යයනය කිරීම සඳහා වෑයමක් අවශ්‍ය බව හිතෝපදේශ 2:1-6 අවධාරණය කරන්නේ කෙසේද?

14 බයිබලය ගැඹුරින් අධ්‍යයනය කිරීමට වෑයම අවශ්‍යය. අප හිතෝපදේශ 2:1-6 පරෙස්සමින් කියවා බැලුවොත් මෙම කාරණය මැනවින් තහවුරු වේ. දෙවිගේ දැනුම, ප්‍රඥාව සහ විචාර බුද්ධිය ලබාගැනීමට වෑයමක් අවශ්‍ය බව අවධාරණය කිරීමට ප්‍රඥාවන්ත සාලමොන් රජ යොදාගත් ක්‍රියා පද මොනවාදැයි ඔබ සැලකිල්ලට ගත්තාද? ඔහු මෙසේ ලීවේය. “මාගේ පුත්‍රය, නුඹ මාගේ කීම් පිළිගෙන, මාගේ ආඥා නුඹ වෙත තබාගෙන, ප්‍රඥාවට ඇහුම්කන්දී, ඥානයට නුඹේ සිත යොමුකරන්නෙහි නම්, එසේය, නුඹ නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම්, නුඹ රිදී මෙන් ඇය සොයා, නිධාන ගැන මෙන් ඇය ගැන විභාගකරන්නෙහි නම්, නුඹ [යෙහෝවා] කෙරෙහි භයවීම තේරුම්ගන්නෙහිය. [දෙවි] හැඳිනගැනීමටද පැමිණෙන්නෙහිය. මක්නිසාද ප්‍රඥාව දෙන්නේ [යෙහෝවාය; ඔහුගේ] මුඛයෙන් දැනගැන්මද ඥානයද පැමිණෙන්නේය.” (අකුරු ඇල කළේ අපය.) ප්‍රතිඵල ගෙන දෙන ආකාරයකින් අධ්‍යයනය කිරීමට නම්, අප ක්‍රියාශීලීව ගවේෂණය කළ යුතුයි. ඔව්, සැඟවුණු නිධානයක් සොයන්නාක් මෙන් හාරා බැලිය යුතුය.

15. හොඳ අධ්‍යයන ක්‍රම භාවිත කිරීමේ අවශ්‍යතාව කුමන බයිබල් උදාහරණයෙන් පැහැදිලි වේද?

15 අපගේ අධ්‍යයනයෙන් ආත්මික විපාක ලැබීමට නම්, හොඳ අධ්‍යයන ක්‍රම උපයෝගි කරගත යුතුය. සාලමොන් පැවසූ මෙම කාරණය සැලකිල්ලට ගන්න. “යකඩ මොට්ටවූ විට මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදන්ට ඕනෑය.” (දේශනාකාරයා 10:10) කම්කරුවෙකු මුවහත් නොකළ ආයුධයක් යොදාගත්තොත්, එසේ නැතහොත් එය දක්ෂ ලෙස භාවිත නොකළොත්, ඔහුගේ ශ්‍රමය අපතේ යන අතරම, ඔහුට තම කාර්යය සාර්ථකව නිම කිරීමට හැකි වන්නේ නැත. එමනිසා, අප අධ්‍යයනය සඳහා යොදන කාලයෙන් නෙළාගන්නා ප්‍රයෝජන බොහෝ දුරට රඳා පවතින්නේ අධ්‍යයනය සඳහා උපයෝගි කරගන්නා ක්‍රම අනුවය. අප අධ්‍යයනය කරන ආකාරය දියුණු කරගැනීමට ප්‍රායෝගිකව අදාළ කරගත හැකි කදිම යෝජනා කිහිපයක් දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොතේ 7වන පාඩමෙහි සොයාගත හැක. c

16. ගැඹුරු අධ්‍යයනයක් කිරීමට උපකාරයක් වශයෙන් කුමන ප්‍රායෝගික යෝජනා ක්‍රියාත්මක කළ හැකිද?

16 වඩු කාර්මිකයෙක් තම වැඩය ආරම්භ කිරීමට මත්තෙන්, අවශ්‍ය ආයුද මොනවාදැයි තෝරා පහසු තැනක තබයි. මේ හා සමානව, අධ්‍යයනය කරන විට, අපගේ පෞද්ගලික පුස්තකාලයෙන් අධ්‍යයනය සඳහා අවශ්‍ය මෙවලම් තෝරා ළඟ තබාගත යුතුය. අධ්‍යයනය විවේකයෙන් කල් ගෙවීමක් නොව, නමුත් මානසික වෑයමක් අවශ්‍ය කරන වැඩක් බව මතක තබාගෙන, සුදුසු ඉරියව්වකින් සිට අධ්‍යයනය කිරීම යෝග්‍යය. අවදියෙන් සිටීමට නම්, ඇඳක වැතිර සිටීම හෝ හාන්සි පුටුවක සිටීමට වඩා මේසයක් අසල පුටුවක අසුන් ගෙන සිටීම සුදුසුයි. ස්වල්ප වේලාවක් සිත එක්තැන් කරගෙන කල්පනා කිරීමෙන් පසු, නැඟිට නැවුම් වාතාශ්‍රයේ පහස විඳීමට එළිමහනට ගොස් විවේකයක් ගැනීමද ප්‍රයෝජනදායක විය හැක.

17, 18. ඔබට ලබාගත හැකි කදිම අධ්‍යයන මෙවලම් භාවිත කළ හැකි ආකාරය පැහැදිලි කරන්න.

17 අපගේ භාවිතය සඳහා අනර්ඝ අධ්‍යයන මෙවලම් කිහිපයක්ද ඇත. මේවායින් මුල් තැන හිමි වන්නේ සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් භාෂා 37කින් ලබාගත හැකි බයිබලයේ නව ලෝක පරිවර්තනයටයි (ඉංග්‍රීසියෙන්). නව ලෝක පරිවර්තනයේ සාමාන්‍ය සංස්කරණයෙහි හරස් යොමු සටහන් ඇති අතර, ‘බයිබල් පොත් ඇතුළත් වගුවක්’ ඇත. එම වගුවේ ලේඛකයාගේ නම, ලියූ ස්ථානය, ආවරණය කරන කාලපරිච්ඡේදය සඳහන්ය. බයිබල් වචන ඇතුළත් තේමා පටුනක්, උපග්‍රන්ථයක් සහ සිතියම්ද ඇතුළත් වේ. ඇතැම් භාෂාවලින් (ඉංග්‍රීසියෙන්), මෙම බයිබලය විශාල ප්‍රමාණයේ සංස්කරණයක් සේ මුද්‍රණය කොට ඇති අතර, එය හඳුන්වන්නේ රෙෆරන්ස් බයිබලය හැටියටය. මෙහි සාමාන්‍ය සංස්කරණයේ සියලුම අංගයන් ඇතුළත් කරනවාට අමතරව තවත් බොහෝ කරුණු සපයා ඇති අතර, සෑහෙන විස්තර සපයන පාදසටහන්ද ඇත. මෙම පාදසටහන්වලටද සූචියක් ඇත. දෙවිගේ වචනය ගැඹුරින් හාරා බැලීමට ඔබේ භාෂාවෙන් ලබාගත හැකි මෙවලම්වලින් ඔබ පූර්ණ ප්‍රයෝජන ගන්නවාද?

18 තවත් මිල කළ නොහැකි අධ්‍යයන මෙවලමකි, වෙළුම් දෙකකින් යුත් බයිබල් විශ්වකෝෂය වන ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය. ඔබට ඉංග්‍රීසි භාෂාව තේරෙනවා නම්, අධ්‍යයනය කරන විට එය ළඟ තබාගැනීම බෙහෙවින් උපකාරවත් වේ. යම් බයිබල් විෂයක් ගැන අමතර තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම්, එය සෝදිසි කොට බැලිය හැක. උපකාරවත් විය හැකි තවත් මෙවලමකි, කොටස් වශයෙන් පළ වන “මුළු ලියවිල්ල”—විශ්වාසවන්තය, ප්‍රයෝජනවත්ය” යන ප්‍රකාශනය. බයිබලයේ අලුත් පොතක් කියවීමට කලින්, “මුළු ලියවිල්ල” යන ප්‍රකාශනයේ අදාළ පාඩම පරීක්ෂා කර බැලීම ප්‍රයෝජනවත්ය. එතුළින් භූගෝල සහ ඓතිහාසික පසුබිම මෙන්ම එම බයිබල් පොතේ අන්තර්ගත දේ පිළිබඳ සාරාංශයක් සහ ඉන් අපට නෙළාගත හැකි ප්‍රයෝජන දැනගත හැක. මුද්‍රිත පොත් පත් වශයෙන් ලබාගත හැකි අධ්‍යයන මෙවලම්වලට අමතරව, භාෂා නවයකින් වොච්ටවර් පුස්තකාලය යනුවෙන් හඳුන්වන පරිගණක තැටිය ලබාගත හැක.

19. (අ) යෙහෝවා බයිබල් අධ්‍යයනය සඳහා කදිම මෙවලම් අපට සපයා ඇත්තේ මන්ද? (ආ) නිසි ලෙස බයිබලය කියවීමට හා අධ්‍යයනය කිරීමට අවශ්‍ය වන්නේ කුමක්ද?

19 යෙහෝවා “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මාර්ගයෙන් මෙම මෙවලම් සියල්ල සපයා ඇත්තේ, තම සේවකයන්ට ‘දෙවි පිළිබඳව දැනුම සොයා එය අත් කරගන්නා’ පිණිසය. (හිතෝපදේශ 2:4, 5) අප හොඳ අධ්‍යයන පුරුදුවල නිරත වනවා නම්, යෙහෝවාව වඩාත් හොඳින් දැනහඳුනා ගත හැකි අතරම, ඔහු සමඟ වඩාත් කිට්ටු සම්බන්ධයක්ද භුක්ති විඳිය හැක. (ගීතාවලිය 63:1-8) අධ්‍යයනය සඳහා වෙහෙසක් දැරිය යුතු වුවද, එය ප්‍රීතිදායක මෙන්ම ප්‍රතිඵල ගෙන දෙන කාර්යයකි. කෙසේවෙතත්, ඒ සඳහා සෑහෙන කාලයක් ගත යුතු වේ. එමනිසා, ‘මගේ බයිබල් කියවීම සහ පෞද්ගලික අධ්‍යයනය හොඳින් කිරීමට මම කොහොමද කාලය හොයන්නේ’ කියා ඔබ කල්පනා කරනවා විය හැක. එම කාරණය ගැන මෙම ලිපි මාලාවේ අවසන් ලිපිය තුළ සාකච්ඡා කෙරේ.

[පාදසටහන්වල]

a New International Dictionary of Old Testament Theology & Exegesis, Volume 4, pages 205-7.

b 1998 අගෝස්තු 1 මුරටැඹෙහි, 13වන පිටුවේ 7වන ඡේදය බලන්න. මෙම බයිබල් විෂය ගැන ගවේෂණය කිරීමට කැමති නම්, ඉහත සඳහන් සඟරාවේ පාඩම් ලිපි දෙක අධ්‍යයනය කළ හැකි අතර, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්, it) නමැති බයිබල් විශ්වකෝෂයේ “යුක්තිය,” “දයාව” සහ “ධර්මිෂ්ඨකම” (“Justice,” “Mercy” සහ “Righteousness”) යන විෂයන් යටතේ බලන්න.

c Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත මෙම අත්පොත ඔබේ භාෂාවෙන් ලබාගත නොහැකි නම්, අධ්‍යයන ක්‍රම සම්බන්ධයෙන් කදිම උපදෙස් කිහිපයක් මතු දැක්වෙන මුරටැඹ කලාපවල සොයාගත හැක. 1993 අගෝස්තු 15, 13-17 පිටු; 1987 සැප්තැම්බර් 1, 24-27 පිටු.

පුනරීක්ෂණය සඳහා ප්‍රශ්න

• අපගේ පෞද්ගලික අධ්‍යයනයෙන් ප්‍රබෝධයක් සහ යහපත් ප්‍රතිඵල ලැබීමට කුමක් කළ හැකිද?

• ගීතිකාකරු මෙන් යෙහෝවාගේ වචනය සඳහා “ඇල්මක්” පෙන්වීමට සහ එයට ‘අවධානයක්’ දීමට හැක්කේ කෙසේද?

• දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමට වෑයමක් අවශ්‍ය බව හිතෝපදේශ 2:1-6 කාවද්දන්නේ කෙසේද?

• යෙහෝවා කුමන කදිම අධ්‍යයන මෙවලම් සපයා ඇද්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ පින්තූරය]

නිරවුල් මනසකින් මෙනෙහි කිරීමත් යාච්ඤා කිරීමත් අප තුළ දේවවචනය සඳහා ඇල්මක් වර්ධනය කිරීමට දායක වේ

[17වන පිටුවේ පින්තූර]

දෙවිගේ වචනය තවත් ගැඹුරින් හාරා බැලීමට ලබාගත හැකි අධ්‍යයන මෙවලම් ඔබ හොඳින් භාවිත කරනවාද?