Skip to content

පටුනට යන්න

අමිල උරුමයකින් ආශීර්වාද ලබා

අමිල උරුමයකින් ආශීර්වාද ලබා

ජීවිත කතාව

අමිල උරුමයකින් ආශීර්වාද ලබා

පැවසුවේ කැරල් ඇලන්

මම තනියෙම මගේ අලුත් පොතත් බදාගෙන බයේ ගැහි ගැහි ඇඬුවා. මම එතකොට අවුරුදු හතක පුංචි කෙල්ලෙක්. දෙනෝදාහක් මැද මං අතරමං වුණා!

සිද්ධිය වෙලා අවුරුදු 60කට විතර පස්සේ, මගේ ළමා කාලයේ මතකයන් එකපිට එක මගේ මතකයට නැඟෙන්න පටන්ගත්තා. එහෙම වුණේ මගේ ස්වාමිපුරුෂයා වන පෝල් එක්ක මම නියූ යෝක් පැටසන්වල තියෙන වොච් ටවර් අධ්‍යාපනික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදියි. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සංචාරක අවේක්ෂකයන් ලෙස සේවය කරන අය සඳහා පැවැත්තුව දෙවෙනි පංතියට සහභාගි වෙන්න කියලා එයාට ආරාධනා කරල තිබුණා.

හිරු රැස්වලින් නැහැවුණු ප්‍රවේශ ශාලාවේ එහා මෙහා ඇවිදිද්දී, ලොකු අකුරින් “සමුළු” කියා ලියා තිබුණු ප්‍රදර්ශන පුවරුවක් මම දැක්කා. පුංචි කාලේ මා ළඟ තිබුණු පොතක් ඉහළට ඔසවාගෙන වනමින් ප්‍රීතියෙන් ඉපිල ගිය ළමුන් සිටින පරණ කළු සුදු ඡායාරූපයක් ඒකෙ මැදට වෙන්න තිබුණා! ඒ එක්කම යටින් ලියල තිබුණු දේ මම කියෙව්වා. ඒකෙ තිබුණේ මෙහෙමයි. 1941දී ශාන්ත ලුයී, මිසූරිහි පැවති සමුළුවේ උදෑසන සැසිවාරයේ ආරම්භයත් සමඟම, වයස අවුරුදු 5ත් 18ත් අතර වයස් මට්ටමේ සිටි ළමුන් 15,000දෙනෙක් පමණ වේදිකාව ඉදිරියෙන්ම අසුන්ගෙන සිටියහ. . . . මෙහිදී සහෝදර රදෆ’ඩ් දරුවන් නමැති අලුත් පොත මුදාහැරියේය.”

ඒ සමුළුවේදී හැම ළමයෙකුටම පොතේ පිටපතක් දුන්නා. ඊට පස්සේ හැම ළමයෙක්ම තම තමන්ගේ දෙමාපියන් ගාවට ගියා. මං විතරයි ඉතුරු වුණේ. අනේ මාව අතරමං වුණා! කරුණාවන්ත සහෝදරයෙක් ඇවිත් මාව වඩාගෙන ගිහිල්ලා උස සම්මාදම් පෙට්ටියක් උඩ හිටවලා මම දන්න කවුරුත් ඉන්නවාද කියලා ඇහැව්වා. මම බයෙන්, පඩිපෙළ දිගේ එහාට මෙහාට යන අය දිහා බැලුවා. එකපාරටම මම දැක්කා අඳුරන කෙනෙක්ව! “අංකල් බොබ්! අංකල් බොබ්!” ඇති යන්තම්, බොබ් රේනර් මාව මගේ අම්මයි තාත්තයි ළඟට එක්කගෙන ගියා. ඒගොල්ලෝ හොඳටම කලබල වෙලයි හිටියේ.

මගේ ජීවිත මඟ වෙනස් කළ මුල් සිදුවීම්

ප්‍රදර්ශන පුවරුව බැලුවට පස්සේ මගේ අතීත මතකයන් එකිනෙක අවදි වෙන්න පටන්ගත්තා. එදා ඒ සිදු වුණ සිදුවීම් මගේ ජීවිතය වෙනස් කළා වගේම අපිට මේ ලස්සන පැටසන් නිවාසයට එන්න ප්‍රස්තාවත් උදා කළා. මගේ සිතුවිලි දැනට අවුරුදු සියයකට විතර කලින් සිද්ධ වුණු දේවල් වෙත දිව ගියා. ඒ සිදුවීම් මම මගේ සීයාගෙන් සහ ආච්චිගෙනුත්, මගේ අම්මාගෙන් සහ තාත්තාගෙනුත් අසා දැනගත් ඒවායි. මම දැන් ඒ කතාව ඔයගොල්ලන්ට කියන්න කැමතියි.

මගේ තාත්තාගේ තාත්තා වන ක්ලේටන් ජේ. වූඩ්ව’ත් බැඳපු අලුත, පදිංචි වෙලා හිටියේ අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ස්ක්‍රැන්ටන්වලයි. වර්ෂ 1894 දෙසැම්බර් මාසයේ දවසක බයිබල් ශිෂ්‍යයන් ලෙස එවකට හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ කාලීන දේවසේවකයෙක් ඒගොල්ලන්ගේ ගෙදරට ආවා. ඊට පස්සේ, සීයා වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටිහි සභාපති වූ චාල්ස් ටේස් රසල්ට ලියුමක් යැව්වා. ඒක 1895 ජූනි 15දා මුරටැඹ (ඉංග්‍රීසියෙන්) කලාපයේ පළ වුණා. සීයා ඒකේ සඳහන් කරල තිබුණේ මෙහෙමයි.

“අවුරුදු දහයක පමණ කාලයක් පුරා මෙතෝදිස්ත පල්ලියේ සාමාජිකයන් වී සිටින අප තරුණ යුවළකි. එහෙත් දැන් අප එහි අන්ධකාරයෙන් ඉවත් වී ඇති බවත් මහෝත්තමයාගේ අභිෂේක ලත් දරුවන්ට අලුත් දවසක් උදා වී තිබෙන බවත් විශ්වාස කරන්නෙමු. . . . අප දෙදෙනාගේ හමුවීමට බොහෝ කලකට පෙර සිටම අපේ අවංක ආශාව වූයේ ස්වාමීන්ට සේවය කිරීමය. ඔහුගේ කැමැත්ත එය නම්, විදේශ රටක වුවත් මිෂනාරිවරුන් සේ සේවය කිරීමටද අප කැමතිය.”

මගේ අම්මාගේ සීයයි ආච්චියි වන සෙබැස්ටියන් සහ කැත්රින් ක්‍රෙස්ගී පදිංචි වෙලා හිටියේ පෙන්සිල්වේනියාවේ සුන්දර පොකොනෝ කඳුකර ගම්මානයේ පිහිටා තිබුණු විශාල ගොවිපොළකයි. වර්ෂ 1903දී වොච් ටවර් සමිතියේ නියෝජිතයන් දෙන්නෙක් ඔවුන්ට බයිබල් පණිවිඩය ගැන කතා කළ විට ඔවුන් කැමැත්තෙන්ම ඒකට සවන් දුන්නා. ඔවුන්ගේ දූවරුන් වූ කෝරා සහ මේරි තම ස්වාමිපුරුෂයන් වූ වොෂිංටන් හෝවල් සහ එඩ්මන්ඩ් හෝවල් යන අය සමඟ පදිංචිව ඒ සිටියේත් ගොවිපොළේමයි. වොච් ටවර් සමිතියේ නියෝජිතයන් වූ කාල් හැමලි සහ රේ රැට්ක්ලිෆ් සතියක්ම එහි නැවතී, හුඟාක් දේවල් ඔවුන්ට ඉගැන්නුවා. මේ පවුල් සාමාජිකයන් හයදෙනාම ඒ පණිවිඩය හොඳට හිතට අරං බයිබලය පාඩම් කරල වැඩි කල් යන්න මත්තෙන් ජ්වලිත බයිබල් ශිෂ්‍යයන් බවට පත් වුණා.

ඒ අවුරුද්දේදීම, ඒ කියන්නේ 1903දීම තමයි, කෝරා සහ වොෂිංටන් හෝවල්ට දුවෙක් ලැබුණේ. ඇගේ නම කැත්රින්. පසු කාලයකදී ඇය මගේ තාත්තා වන කනිෂ්ඨ ක්ලේටන් ජේ. වූඩ්ව’ත් සමඟ විවාහ වුණා. ඒක උනන්දුව අවුස්සන දිරිගන්වනසුලු කතාවක් කියලා මං හිතනවා. ජ්‍යෙෂ්ඨ ක්ලේටන් ජේ. වූඩ්ව’ත් වන මගේ සීයා, තාත්තා කෙනෙක් වශයෙන් දරුවන්ට දක්වපු ආදරය, සැලකිල්ල සහ දූරදර්ශීබව ඒකෙන් හුවා දැක්වෙනවා.

තාත්තා ලැබූ ප්‍රේමනීය උපකාර

මගේ තාත්තා ඉපදුණේ 1906දී ස්ක්‍රැන්ටන්වලයි. එහි සිට හෝවල් ගොවිපොළට කිලෝමීටර් 80ක් විතර දුරයි. මුල් කාලයේදී මගේ සීයා වන වූඩ්ව’ත් හෝවල් පවුලේ අය සමඟ බොහෝම කිට්ටුවෙන් ආශ්‍රය කළා. හෝවල් පවුල ආගන්තුක සත්කාරයට හරිම ලැදියි. සීයා ඒ පළාතේ තිබුණ බයිබල් ශිෂ්‍යයන්ගේ සභාවට ලොකු හයියක් වුණා. කාලයක් යද්දී, හෝවල් පවුලේ පුතුන් තුන්දෙනාගේ විවාහයන් සිදු කිරීමට සීයාට ආරාධනා කළා. සීයා තම පුතාගේ ඉදිරි යහපත ගැන සිතා ඔහුවත් මේ විවාහ මංගල්‍යවලට රැගෙන ගියා.

තාත්තා බයිබල් ශිෂ්‍යයන්ගේ දේශනා කටයුතු සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ. සීයා සමහර අය එක්ක බයිබලය සාකච්ඡා කරන්න යන විට තාත්තා තමයි සීයාව ඒ ඒ තැන්වලට එක් කරගෙන ගියේ. නමුත් ක්‍රියාශීලී වීමට සීයා කොච්චර දිරිගැන්නුවත් ඔහු නෙමෙයි ඒවා ඒ තරම් මායිම් කළේ. මේ කාලයේදී වෙන කිසිම දෙයකට වඩා තාත්තා උනන්දු වුණේ සංගීතය ගැනයි. ඒ පිළිබඳව ඔහුගේ හැකියාව වැඩිදියුණු කරගෙන සංගීතය තමන්ගේ වෘත්තිය කරගන්නයි ඔහු හිතාගෙන හිටියේ.

කැත්රින්, ඒ කියන්නේ කෝරා සහ වොෂිංටන් හෝවල්ගේ දුවත් දක්ෂ සංගීත ශිල්පිනියක්. ඇය දක්ෂ විදිහට පියානෝව වාදනය කළා. ශිෂ්‍යයන්ට ඉගැන්නුවා. ඒත්, වෘත්තියක් හැටියට එය තෝරාගැනීමට ඇයට හැකියාව තිබුණත්, ඇය එම වෘත්තිය ලුහුබැඳීම පැත්තක තියල පූර්ණ කාලීන දේවසේවය තෝරගත්තා. මං හිතන විදිහට, තමාගේ පුතාට ඊට වඩා හොඳින් ගැළපෙන වෙන සහකාරියක් ගැන සීයාට හිතාගන්නවත් බැරුව යන්න ඇති! තාත්තා බව්තීස්ම වෙලා මාස හයකට පස්සේ, ඒ කියන්නේ 1931 ජූනි මාසයේදී ඇය සමඟ විවාහ වුණා.

සීයා එයාගේ පුතාගේ සංගීත හැකියාවන් ගැන පුදුම විදිහට සතුටු වුණා. වර්ෂ 1946දී ඔහායෝ ක්ලේව්ලන්ඩ්හි පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවේ තූර්ය වාදක කණ්ඩායම පුහුණු කරන්න තාත්තාට පැවරුවාම සීයා ඊටත් වඩා සතුටු වුණා. ඉන් පසු අවුරුදුවලදී තාත්තා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වෙනත් සමුළුවල තූර්ය වාදක කණ්ඩායමුත් මෙහෙයෙව්වා.

සීයා මුහුණ දුන් නඩුහබ සහ හිරබත් කෑම

පැටසන්වල ප්‍රවේශ ශාලාවේ ඉන්නකොට අපි මේ සඟරාවේ ඊළඟ පිටුවේ තිබෙන ඡායාරූපයත් දැක්කා. සීයා එක පිටපතක් දැනට අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා මට එවල තිබුණ හින්දා, මට ඒක ඉක්මනින්ම අඳුනගන්න පුළුවන් වුණා. ඒකේ දකුණු පැත්තේ කොනේම ඉන්නේ මගේ සීයා.

පළමු ලෝක මහා යුද්ධ සමයේදී පැවති දේශානුරාගී හැඟීම් හින්දා වොච් ටවර් සමිතියේ සභාපති වූ ජෝසෆ් එෆ්. රදෆ’ඩ් (මැද වාඩි වී සිටින) ඇතුළු බයිබල් ශිෂ්‍යයන් අටදෙනෙකුව බොරු චෝදනා මත සිරගත කරලා, ඔවුන්ට ඇප දීම පවා ප්‍රතික්ෂේප කළා. ඔවුන්ට විරුද්ධව චෝදනා කළේ අභිරහසේ නිමාව යන තේමාවෙන් යුතු වූ ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ හත්වන කාණ්ඩය සම්බන්ධයෙනුයි. එසේ කළේ එක්සත් ජනපදය Iවන ලෝක මහා යුද්ධයට සහභාගි වීම සුදුසු නැති බවට එහි අඟවා තිබුණා කියා චෝදනා කළ අය වටහාගෙන තිබුණ නිසයි.

අවුරුදු ගණනාවක් පුරා චාල්ස් ටේස් රසල් ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීම යනුවෙන් පොත් කාණ්ඩ හයක් ලිව්වා. හත්වෙනි එක ලියන්න කලින් ඔහු මියගියා. ඒ වුණත් සහෝදර රසල් එයාගේ සටහන් සීයාටයි තවත් බයිබල් ශිෂ්‍යයෙකුටයි දීල තිබුණා. ඉතින් ඔවුන් තමයි හත්වෙනි කාණ්ඩය ලිව්වේ. ඒ කාණ්ඩය යුද්ධය ඉවර වෙන්න කලින් 1917දී මුදාහැරියා. නඩු විභාගයේදී සීයාටත් අනිත් හුඟදෙනෙකුටත් චෝදනා හතරක් එල්ල වුණා. එක් චෝදනාවකට අවුරුදු 20ක සිරදඬුවමක් බැගින් චෝදනා හතරටම අවුරුදු 80ක් නියම වුණත්, අවුරුදු 20ක් ඇතුළත එම දඬුවම් අවසන් වුණා.

පැටසන් ප්‍රවේශ ශාලාවේ තියෙන ඡායාරූපයේ යටින් ලියා තිබෙන කොටසේ මෙහෙම සඳහන් වෙනවා. “රදෆ’ඩ් සහ ඔහුගේ හවුල්කරුවන්ව සිරගත කර මාස නවයකට පසුව, එනම් 1919 මාර්තු 21වනදා අභියාචනා උසාවියේදී විත්තිකරුවන් අටදෙනාව ඇප පිට නිදහස් කිරීමට නියම කෙරිණ. ඒ වන විට යුද්ධයත් අවසන් වී තිබිණ. මාර්තු 26වනදා බෘක්ලින්හිදී ඔවුන්ව අමෙරිකානු ඩොලර් 10,000ක ඇපයක් පිට නිදහස් කරන ලදි. වර්ෂ 1920 මැයි 5වෙනිදා ජේ. එෆ්. රදෆ’ඩ් ඇතුළු අනිත් අයව සියලුම චෝදනාවලින් නිදහස් කරන ලදි.”

දඬුවම් නියම කළාට පසුව, ජෝර්ජියාවේ ඇට්ලන්ටාහි පිහිටි රජයේ දණ්ඩනාගාරයට යවන්න කලින්, මේ අටදෙනාව මුල් දවස් කිහිපය තුළ සිර කර තැබුවේ නියූ යෝක් බෘක්ලින්හි රේමන්ඩ් මාවතේ තියෙන බන්ධනාගාරයේ. අඩි 6x8 හිර කුටියක හිටිය ආකාරය ගැන සීයා විස්තරයක් ලියා තිබුණා. ඔහු කියන විදිහට ඔවුන් සිටියේ “කියන්න බැරි තරම් ජරා ගොඩක. හිර කුටිය ඇතුලේ පරණ පත්තර තියල තියෙනවා. ඒවා වැඩක් නැහැයි කියා ඔබ මුලින්ම හිතන්න පුළුවන්. ඒත් කෙනෙකුගේ පිරිසිදුකමත් ආත්ම-ගරුත්වයත් සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ටොයිලට් පේපර් වෙනුවට තබා තිබෙන ඒ පරණ පත්තරත්, සබනුත්, පිහදගන්න තිබෙන රෙදි කෑල්ලත් මත බව වැඩි කල් යන්න මත්තෙන් ඔබට වැටහෙයි.”

ඒ වුණත්, මගේ සීයා විහිළුවෙන්ම තමයි ඉඳල තියෙන්නේ. එයා හිර ගේ හෝටලයක් වශයෙන් හඳුන්වමින් එයට “ඔතෙල් ද රෙමොන්දි” කියන විකට නාමය දුන්නා. ඔහු තවදුරටත් කියලා තියෙන්නේ “මම වෙලාව ආවම හෝටලෙන් පිට වෙන්නම්” කියලයි. දවසක් එළිමහනේ ඇවිදිනකොට සිද්ධ වුණ දෙයක් ගැන ඔහු විස්තර කරල තිබුණා. ඔහු කොණ්ඩෙ පීරගන්න ටිකකට නැවතුණාම, දම්වැලකින් සම්බන්ධ කරල තිබුණ ඔහුගේ පොකට් ඔරලෝසුව මිනිහෙක් හොරෙන් ගන්න හදලා. නමුත් සීයා මෙහෙම ලියල තිබුණා. “දම්වැල කැඩුණු හින්දා යාන්තම් ඒක බේරුණා.” මම 1958දී බෘක්ලින් බෙතෙල් එකට ගිය වෙලාවේ, වොච් ටවර් සමිතියේ එවකට භාණ්ඩාගාරිකව සිටි ග්‍රාන්ට් සූටර් මාව එයාගේ කාර්යාලයට අඬගහලා ඒ ඔරලෝසුව මගෙ අතට දුන්නා. ඒක මං ගාව තවමත් ආරක්ෂා සහිතව තියෙනවා.

තාත්තා කෙරෙහි ඇති වූ බලපෑම

වර්ෂ 1918දී අසාධාරණ චෝදනා පිට සීයාව හිර කරද්දී, මගේ තාත්තාට වයස අවුරුදු 12යි. ආච්චි ගේ දොර වහලා දාලා, ආච්චිගේ අම්මා සහ නංගිලා තුන්දෙනා එක්ක පදිංචි වෙන්න තාත්තාවත් අරගෙන ආච්චිගේ අම්මාගේ ගෙදරට ගියා. ආච්චි බඳින්න කලින් එයාගේ වාසගම ආතර්. එක්සත් ජනපදයේ 21වන ජනාධිපති, චෙස්ටර් ඇලන් ආතර් ඔවුන්ගේ නෑදෑයෙක් නිසා ඒ පවුලේ අය හිටියේ බොහෝම මහන්තත්වෙන්.

මගේ සීයා වූඩ්ව’ත් එක්සත් ජනපදයට විරුද්ධ අපරාධකාරයෙක් බවට චෝදනා ලබලා දිගු කාලයකට හිර දඬුවම් ලැබුවාම, ආතර් පවුලේ අය හිතුවේ ඔහු ඔවුන්ගේ මුහුණේ දැලි ගෑවා කියලයි. ඒක මගේ තාත්තාට දැඩි සිත්තැවුලක් හේතුවක් වුණා. මුලින් මුලින් එයා දේශනා වැඩවලට පස්ස ගහන්නත් ඒක හේතුවක් වෙන්න ඇති.

සීයාව හිරෙන් නිදහස් කළාට පස්සේ, එයා ස්ක්‍රැන්ටන්හි ක්වින්සි මාවතෙන් ලොකු ගෙයක් අරගත් අතර, මුළු පවුලම එහි පදිංචි වුණා. පුංචි කාලේ ඉඳලා මම ඒ ගේ ගැන හැම දෙයක්ම වගේ හොඳට දැනගෙන හිටියා. ආච්චිගේ පිඟන් බඩු තිබුණ තැනත් මම දැනගෙන හිටියා. ඒවා සාදා තිබුණේ චීන මැටිවලින්. අපි ඒවා දිහා හුඟක් ආශාවෙන් බලාගෙන හිටිය විදිහත් මට තාම මතකයි. අපි ඒවාට කියන්නේ ආච්චිගේ ශුද්ධ මැටි බඩු කියලා. ආච්චි ඒවා හෝදන්න තියා කාටවත් අත තියන්නවත් දෙන්නේ නැහැ. ආච්චි 1943දී මැරුණට පස්සේ අම්මා ඒ ලස්සන පිඟන් බඩු පාවිච්චි කළා.

රාජ්‍ය වැඩයේ කාර්ය බහුලව

තවත් දවසක පැටසන් පාසලේදී මම තවත් ඡායාරූපයක් දැක්කා. ඒක සහෝදර රදෆ’ඩ්ගේ. ඒක අරගෙන තිබුණේ ඔහු 1919දී ඔහායෝ සීඩා පොයින්ට්හි සමුළුවකදී කතාවක් දෙන විටයි. එහිදී ඔහු සියලුදෙනාගෙන්ම උදක්ම ඉල්ලා තිබුණේ දෙවිගේ රාජ්‍යය ජ්වලිතව ප්‍රකාශ කරන්න හා එම සමුළුවේදී මුදාහැරිය රන්වන් යුගය (ඉංග්‍රීසියෙන්) නමැති අලුත් සඟරාව පාවිච්චි කරන්න කියලයි. සීයාව ඒකේ සංස්කාරක හැටියට පත් කළා. ඔහු 1940 ගණන්වල මැරෙන්න ළං වෙන තුරුම ඒකට ලිපි ලිව්වා. වර්ෂ 1937දී ඒ සඟරාවේ නම කොන්සලේෂන් කියාත් 1946දී එවේක්! (එනම් පිබිදෙව්!) කියාත් වෙනස් කළා.

සීයා මේ සඟරාවට ලිපි ලිව්වේ ස්ක්‍රැන්ටන්හි පිහිටි නිවසේදී මෙන්ම එහි සිට කිලෝමීටර් 240ක් දුරින් පිහිටි බෘක්ලින්වලදියි. ඒ තැන් දෙකේම ඔහු සති දෙක බැගින් ගත කළා. හුඟක් දවස්වලදී පාන්දර පහට සීයා ටයිප්රයිටරයේ වැඩ පටන්ගත්ත හැටි තාත්තාට මතකයි. සීයා දේශනා කිරීමේ වැඩයේ ඉතා උනන්දුවෙන් හා වගකීමකින් යුතුව යෙදුණා. බයිබල් පොත් පත් ගෙන යෑමට සීයා ලොකු සාක්කු දැමූ කමිසයක් පවා නිර්මාණය කළා. වයස අවුරුදු 94ක් වයසැති මගේ නැන්දා වන නෙයෝමි හෝවල් ගාව තවමත් එයින් එකක් තියෙනවා. කාන්තාවන්ටත් පොත් පත් ගෙනයන්න පුළුවන් විදියේ බෑග් එකක් එයා නිර්මාණය කළා.

ඉතාමත් සාර්ථක බයිබල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු සීයා සමඟ දේශනා සේවයේ හවුල් වුණු කෙනා මෙහෙම කිව්වා. “සී. ජේ. ඔයා එක වරදක් කළා.”

“මොකක්ද වරද?” කියල සීයා ඇහැව්වා. ඊට පස්සේ ඔහු කමිසේ අත ගාලා බැලුවා. සාක්කුවල එක පොතක්වත් තිබුණේ නැහැ.

“රන්වන් යුගයට දායකයක් ඉදිරිපත් කරන්න ඔයාට අමතක වුණා.” සඟරාවේ සංස්කාරකට එය ඉදිරිපත් කරන්න අමතක වීම ගැන මතක් කරලා දෙන්නා එදා හොඳටම හිනා වුණා.

තුරුණු වියේ මතකයන්

මට තවම මතකයි මම චූටි කාලෙ සීයාගේ ඔඩොක්කුවේ ඉඳගෙන සෙල්ලම් කරපු හැටි. එයා මගේ චූටි අත අල්ලගෙන මගේ ඇඟිලිවලට එක එක නම් දදා කතා කියල දුන්නා. මහපට ඇඟිල්ලට “ටොමී.” දඹරැඟිල්ලට “පීටර්.” ඒ වගේ හැම ඇඟිල්ලකටම නමක් දැම්මා. ඊට පස්සේ එයා මේ ඔක්කොම ඇඟිලි එකට නමල මෙහෙම පාඩමක් ඉගැන්නුවා. “මේ ඔක්කොම එකතු වුණොත් විතරයි හරියට වැඩ කරන්න පුළුවන් වෙන්නේ.”

මගේ අම්මයි තාත්තයි බැන්දට පස්සේ ඒගොල්ලො ඔහායෝ ක්ලේව්ලන්ඩ්වලට ගියා. එහෙදී ඔවුන් එඩ් සහ මේරි හූපර් යුවළගේ කිට්ටුම යාළුවන් බවට පත් වුණා. ඒගොල්ලන්ගේ පවුල්වල අය මුල ඉඳලම බයිබල් ශිෂ්‍යයන් වෙලා හිටිය අයයි. මගේ අම්මයි තාත්තයි, අංකල් එඩ් සහ ආන්ටි මේරියි වෙන් කරන්න බැරි තරමටම ගජ යාළුවෝ. හූපර් යුවළට ඉඳලා තියෙන්නේ එකම දරුවයි. මම 1934දී ඉපදෙනකොට ඇය මියගිහින්. ඉතින් ඒ දෙන්නා මාව සැලකුවේ ඒගොල්ලන්ගේම “දුව” හැටියටයි. මම ඒ තරම්ම හොඳ ආත්මික පරිසරයක වැඩුණු නිසා වයස අවුරුදු අටක් වෙන්නත් කලින් දෙවිට කැප වෙලා බව්තීස්ම වෙන්න මට පුළුවන් වුණා.

මම පොඩි කාලේ ඉඳලම බයිබලය කියවීම මගේ ජීවිතයේ කොටසක් කරගත්තා. දෙවිගේ නව ලෝකයේ ජීවිතය ගැන යෙසායා 11:6-9 දක්වා තියෙන විස්තරය තමයි බයිබලයේ මම වැඩියෙන්ම ආස කළ කොටස. බයිබලය සම්පූර්ණයෙන්ම කියවන්න මම මුලින්ම උත්සාහ කළේ 1944දී. ඒ නියූ යෝක් බෆලෝහි පැවැත්වූ සමුළුවේදී අමෙරිකන් ස්ටෑන්ඩඩ් වර්ෂන්හි විශේෂ සංස්කරණය මුදාහැරියාට පස්සෙයි. මටත් ඒකෙන් පිටපතක් ලැබුණා. යෙහෝවා කියන දෙවිගේ නම “පරණ ගිවිසුමේ” තැන් 7,000ක පමණ නිවැරදිව පරිවර්තනය කරලා තිබුණ ඒ අනුවාදය කියවන්න ලැබීම මොනතරම් ප්‍රීතියක් වුණාද!

සති අන්ත ප්‍රීතියෙන් උතුරා යන අවස්ථාවල් වුණා. මගේ අම්මයි තාත්තයි හූපර් යුවළයි මාවත් අරගෙන දේශනා කරන්න පිටිසර ගම්මානයකට යනවා. අපි කෑම ඔතාගෙන ගිහිල්ලා දවල්ට දිය කඩිත්තක් ගාව නැවතිලා කෑම කනවා. ඊට පස්සේ කාගෙ හරි ගොවිපොළකට ගිහිල්ලා අසල්වැසියන්ටත් එන්න කියලා එළියේ ඉඳගෙන බයිබල් සාකච්ඡාවක් කරනවා. ජීවිතය මොනතරම් සරලද ඒ දවස්වල! අපේ පවුල් බොහෝම ප්‍රීතියෙනුයි කාලය ගෙව්වේ. අපේ පවුලේ යාළුවන් කිහිපදෙනෙක්ම පසු කාලයේදී සංචාරක අවේක්ෂකයන් බවට පත් වුණා. මේ අතර එඩ් හූපර්, බොබ් රේනර් සහ එයාගේ පුතුන් දෙන්නාත් හිටියා. රිචඩ් රේනර් එයාගේ බිරිඳ වන ලින්ඩා එක්ක තවමත් සංචාරක සේවයේ යෙදෙනවා.

ගිම්හාන කාලවල් විශේෂයෙන්ම ප්‍රීතිමත් ඒවා වුණා. මම මගේ ඥාති සහෝදරියන් එක්ක හෝවල් ගොවිපොළේ තමයි ඒ කාලය ගත කළේ. වර්ෂ 1949දී ග්‍රේස් කියන මගේ ඥාති අක්කා මැල්කම් ඇලන් එක්ක විවාහ වුණා. ඒ කාලෙදී මම දැනගෙන හිටියේ නැහැ පසු කාලයකදී මම මැල්කම්ගේ මල්ලිව බඳියි කියලා. මගේ ඥාති නංගි කෙනෙක් වන මේරියන් උරුග්වේවල මිෂනාරි සේවයේ යෙදිලා ඉන්නවා. එයා 1966දී හෝවඩ් හිල්බෝන් එක්ක විවාහ වුණා. මගේ මේ ඥාති සහෝදරියන් දෙන්නාම ඒගොල්ලන්ගේ ස්වාමිපුරුෂයන් එක්ක අවුරුදු ගානක් බෘක්ලින් මූලස්ථානයේ සේවය කළා.

සීයාගේ අවසාන දවස් සහ මගේ උපාධිය

උසස් පාසැලේ මම හිටපු දවස්වල සීයා නිතරම මට ලියුම් එව්වා. එයාගේ ලියුම් එක්ක පවුලේ පරණ ඡායාරූප ගොඩාක් එවලා තිබුණා. ඒවායේ පිටුපස විස්තර ලියා තිබුණා. සීයා එහෙම කළේ පවුලේ ඉතිහාසය ගැන තොරතුරු බෙදාගන්නයි. අන්න ඒ විදිහටයි සීයාත් අසාධාරණ චෝදනා පිට හිරබත් කෑ අනිත් අයත් ඉන්න ඡායාරූපය මට හම්බ වුණේ.

වර්ෂ 1951 වෙද්දී පිළිකාවක් හේතුවෙන් සීයාට කතා කරන්න බැරුව ගියා. ඒත් ඒ වන විටත් එයාගේ මතකය හොඳින් තිබුණා. යමක් කියන්න ඕන වෙද්දී එයා ඒක කඩදාසියක ලිව්වා. ඒ නිසා එයා යන යන තැන පුංචි සටහන් පොතක් අරං ගියා. මගේ උසස් පාසැලේ උපාධිය පිරිනැමීමේ උත්සවය යෙදිලා තිබුණේ 1952 ජනවාරි මාසයේ. උත්සවයේ ආරම්භක කතාව දෙන්න තෝරගෙන තිබුණේ මාව. ඒ හින්දා කතාවේ කෙටි සටහනක් හදල මම ඒක දෙසැම්බර් මාසයේදී සීයාට තැපැල් කළා. සීයා ඒකේ යම් යම් දේවල් ලකුණු කරලා තිබුණා. ඒකේ අන්තිම පිටුවේ මට කවදාවත්ම අමතක නොවන විදිහේ වාක්‍යයක් ලියලා තිබුණා. “සීයාගේ ප්‍රීතිය කියා නිම කරන්න බෑ.” වර්ෂ 1951 දෙසැම්බර් 18වෙනිදා, වයස අවුරුදු 81දී සීයා එයාගේ භූමික ජීවිතය අවසන් කළා. a ඔහු අමතක නොවන වාක්‍යයක් ලියූ මගේ ආරම්භක කතාවේ පරණ කටු සටහන තවමත් මම පරෙස්සමෙන් තියාගෙන ඉන්නවා.

මම උපාධිය ලැබුවත් එක්කම යෙහෝවාගේ සාක්ෂිකරුවන් පූර්ණ කාලීන දේශනා වැඩය ලෙස හඳුන්වන පුරෝගාමී සේවය පටන්ගත්තා. වර්ෂ 1958දී නියූ යෝක්වල යැංකි සහ පෝලෝ ක්‍රීඩාංගණවල පැවැත්වූ අතිවිශාල සමුළුවට මම සහභාගි වුණා. ඒකට රටවල් 123ක නියෝජිතයන් පැමිණියා. පැමිණි වැඩිම සංඛ්‍යාව 2,53,922දෙනෙක්. එහිදී එක දවසක් මට අප්‍රිකාවෙන් පැමිණි නියෝජිතයෙක්ව මුණගැහුණා. එයාගේ හඳුනාගැනීමේ කාඩ්පතේ ලියා තිබුණේ, “වූඩ්ව’ත් මිල්ස්” කියලයි. එයාට මගේ සීයාගේ නම දාලා තිබෙන්නේ ඊට අවුරුදු 30කට කලිනුයි!

මගේ උරුමය ගැන ප්‍රීතියෙන්

මට වයස අවුරුදු 14දී මගේ අම්මා ආයෙත් සැරයක් පුරෝගාමී සේවය පටන්ගත්තා. 1988දී ඒ කියන්නේ ඊට අවුරුදු 40කට පස්සේ මියයන තුරුම ඇය පුරෝගාමි සේවයේ යෙදී සිටියා! තාත්තාත් එයාට පුළුවන් හැම අවස්ථාවකම පුරෝගාමී සේවයේ යෙදුණා. ඔහු අම්මා මැරෙන්න මාස නවයකට කලින් මියගියා. අපිත් එක්ක බයිබලය පාඩම් කරපු අය අපේ සදාකාලික මිතුරන් බවට පත් වුණා. ඔවුන්ගෙන් සමහරෙකුගේ පුත්තු බෘක්ලින්හි මූලස්ථානයේ සේවය සඳහා ගියා. අනිත් අය පුරෝගාමී සේවයට එක් වුණා.

වර්ෂ 1959 මට බොහෝම විශේෂ අවුරුද්දක් වුණා. මොකද ඒ අවුරුද්දෙදී තමයි මම පෝල් ඇලන්ව හඳුනාගත්තේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිෂනාරිවරුන්ව පුහුණු කරන ගිලියද් පාසැලේ හත්වෙනි පංතියෙන් උපාධිය ලැබුවාට පස්සේ 1946දී ඔහුව සංචාරක අවේක්ෂකයෙකු ලෙස පත් කර තිබුණා. අපි දෙන්නට දෙන්නා මුලින්ම මුණගැහුණු අවස්ථාවේදී කොහෙත්ම හිතුවේ නැහැ පෝල්ගේ ඊළඟ සේවා පැවරුම ඔහායෝ ක්ලේව්ලන්ඩ් ප්‍රදේශය කියලා. ඒ තමයි මම පුරෝගාමී සේවය කරමින් හිටපු ප්‍රදේශය! තාත්තා එයාට ගොඩාක් කැමතියි. අම්මාත් ඒ වගේමයි. වර්ෂ 1963 ජූලි මාසයේදී හෝවල් ගොවිපොළේදී නෑදෑයෝ මැද අපි අතිනත ගත්තා. අපේ විවාහය සිදු කළේ එඩ් හූපර්. එදා මගේ සිහිනය සැබෑ වුණා!

පෝල්ට කවදාවත් කාර් එකක් තිබුණේ නැහැ. එයාගේ ඊළඟ පැවරුම සඳහා යද්දී අපි සන්තක දේවල් මගේ 1961 ෆොක්ස්වැගන් එකට පටවාගත්තා. සඳුදාට තමයි අපි තවත් සභාවකට යන්න ලක ලැහැස්ති වෙන්නේ. ඉතින් එදාට අපේ යාළුවෝ එනවා අපි කාර් එකට බඩු පටවනවා බලන්න. ඒ පුංචි කාර් එකට සූට් කේස්, බ්‍රීෆ් කේස්, ෆයිල් පෙට්ටිය, ටයිප් රයිටරය මේ හැම දෙයක්ම දාන කොට එයාලට හරි පුදුමයි.

මේ සේවයේ ප්‍රීතිමත් අවස්ථා රස විඳිමින් දුක්මුසු අවස්ථා විඳදරාගනිමින් අපි කිලෝමීටර් දහස් ගණනක් ගමන් කරල ඇති. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වුණේ යෙහෝවාගෙන් ලැබුණ ශක්තිය නිසයි. පහු වෙච්ච අවුරුදු ගණනාව තුළ, යෙහෝවා කෙරෙහිත් අනිත් අය කෙරෙහිත් අපේ අලුත් සහ පරණ යාළුවෝ කෙරෙහිත් උතුරා යන ප්‍රේමයක් වර්ධනය වෙලා තියෙනවා. පෝල් පුහුණුව ලැබූ පැටසන්හි අපි ගත කරපු මාස දෙක තමයි අපේ ජීවිතයේ මේ දක්වා අපි ලබපු විශේෂම අද්දැකීම. යෙහෝවාගේ භූමික සංවිධානය සමඟ එතරම් කිට්ටුවෙන් ආශ්‍රය කරන්න ලැබීමෙන්, මේක තමයි යෙහෝවාගේ සංවිධානය කියලා මට තව තවත් තහවුරු වුණා. මේක තමයි පරම්පරාවෙන් මට ලැබුණු මගේ අනර්ඝ ආත්මික උරුමය. ඒකේ පුංචි කොටස්කාරියක් හරි වෙන්න ලැබුණු එක මොනතරම් ප්‍රීතියක්ද!

[පාදසටහන]

a වර්ෂ 1952 පෙබරවාරි 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 128වන පිටුව බලන්න.

[25වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1941දී “දරුවන්” නමැති පොත මුදාහැරිය ශාන්ත ලුයීහි පැවති සමුළුවට පෙර මම එඩ් හූපර් සමඟ

[26වන පිටුවේ පින්තූරය]

1948දී සීයා

[26වන පිටුවේ පින්තූරය]

හෝවල් ගොවිපොළේදී මගේ දෙමාපියන් විවාහ වූ දා (රවුම් කර)

[27වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1918දී බොරු චෝදනා මත සිරගත කළ බයිබල් ශිෂ්‍යයන් අටදෙනා (දකුණු කෙළවරේ සිටගෙන ඉන්නේ මගේ සීයා)

[29වන පිටුවේ පින්තූරය]

අපි සන්තක දේ ෆොක්ස්වැගන් කාර් එකට පටවන්න සූදානම්

[29වන පිටුවේ පින්තූරය]

මගේ ස්වාමිපුරුෂයා වන පෝල් සමඟ