Skip to content

පටුනට යන්න

කියවීම සහ අධ්‍යයනය සඳහා කාලය අත් කරගැනීම

කියවීම සහ අධ්‍යයනය සඳහා කාලය අත් කරගැනීම

කියවීම සහ අධ්‍යයනය සඳහා කාලය අත් කරගැනීම

“දවස් නපුරු බැවින්, අවශ්‍ය කාලය දැඩි වෙහෙසක් දරා අත් කරගන්න.”—එපීස 5:16NW.

1. අපගේ කාලය වෙන් කිරීම ප්‍රඥාවන්ත දෙයක් වන්නේ මන්ද? අප කාලය භාවිත කරන ආකාරයෙන් පැහැදිලි වන්නේ කුමක්ද?

 කළ යුතු දේවල් කිරීමට නියමිත කාලයක් වෙන් කරන පුද්ගලයෙක්, තම කාලය වඩාත් හොඳින් පාවිච්චි කරයි. ප්‍රඥාවන්ත සාලමොන් රජ මෙසේ ලීවේය. “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත. අහසින් යට තිබෙන සෑම දෙයකටම කාලයක් ඇත.” (දේශනාකාරයා 3:1, මොෆට්) අප සැමටම ඇත්තේ පැය 24ක කාලයකි. එය භාවිත කරන ආකාරය සම්බන්ධයෙන්, අප පෞද්ගලිකව තීරණය කළ යුතුය. අප ප්‍රමුඛතා නියම කරගන්නා ආකාරය සහ කාලය මිඩංගු කරන ආකාරය සම්බන්ධයෙන් ගන්නා තීරණවලින්, අප සිතින් වඩාත් වැදගත් ලෙස සලකන දේ කුමක්ද යන්න පැහැදිලි වේ.—මතෙව් 6:21.

2. (අ) තම කන්ද උඩ දේශනාවේදී, අපගේ ආත්මික අවශ්‍යතාව ගැන යේසුස් පැවසුවේ කුමක්ද? (ආ) අප කුමන කාරණා සලකා බැලිය යුතුද?

2 අපගේ ශරීරයට අවශ්‍ය පෝෂණය සහ නින්ද සඳහා කාලය වෙන් කිරීමට අපි බැඳී සිටින්නෙමු. එනමුත් අපගේ ආත්මික අවශ්‍යතාද අතපසු නොකළ යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. තම කන්ද උඩ දේශනාවේදී, යේසුස් පැවසුවේ “තම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින්නන් සන්තෝෂය” ලබන බවය. (මතෙව් 5:3NW) බයිබල් කියවීම සහ අධ්‍යයනය සඳහා කාලය වෙන් කිරීමේ වැදගත්කම “විශ්වාසවූ නුවණ ඇති දාසයා” අපට නිතරම පාහේ සිහිගන්වන්නේ එමනිසාය. (මතෙව් 24:45) එය ඉතා වැදගත් යමක් ලෙස ඔබ සලකනවා විය හැක. එනමුත්, බයිබලය කියවීමට සහ අධ්‍යයනය කිරීමට කාලයක් නැතැයි ඔබට හැඟිය හැක. එමනිසා, දෙවිගේ වචනය කියවීමට, පෞද්ගලික පාඩමට සහ මෙනෙහි කිරීමට වැඩි කාලයක් වෙන් කරගත හැකි ආකාරය සලකා බැලීම ප්‍රයෝජනවත් වේ.

බයිබල් කියවීම සහ අධ්‍යයනය සඳහා කාලය සොයාගැනීම

3, 4. (අ) අප කාලය භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් දුන් උපදෙස කුමක්ද? මීට ඇතුළත් වන්නේ කුමක්ද? (ආ) “කාලය දැඩි වෙහෙසක් දරා අත් කරගන්න” යනුවෙන් උපදෙස් දුන් විට, පාවුල් අදහස් කළේ කුමක්ද?

3 අප ජීවත් වන කාලය හේතුවෙන්, ප්‍රේරිත පාවුල්ගේ මතු දැක්වෙන වදන් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගැනීම සඳහා අප සැමට අවශ්‍යතාවක් ඇත. “අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ඔබ ගමන් කරන ආකාරය වෙත තියුණු අවධානයක් යොමු කරන්න. දවස් නපුරු බැවින් අවශ්‍ය කාලය දැඩි වෙහෙසක් දරා අත් කරගන්න. එමෙන්ම, අනුවණ නොවී, යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි වටහාගැනීමට උත්සාහ කරන්න.” (එපීස 5:15-17NW) මෙම උපදෙස් කැප වූ ක්‍රිස්තියානීන් වන අපගේ ජීවිතයේ සෑම අංගයකටම බලපායි. ඊට යාච්ඤාව, අධ්‍යයනය, රැස්වීම් සහ ‘රාජ්‍යයේ ශුභාරංචිය’ දේශනා කිරීමේ වැඩයට පූර්ණ ලෙස සහභාගි වීම ඇතුළත් වේ.—මතෙව් 24:14; 28:19, 20.

4 වර්තමානයේ යෙහෝවාගේ සේවකයන් බොහෝදෙනෙකුට බයිබලය කියවීමට සහ ගැඹුරට අධ්‍යයනය කිරීමට කාලය සොයාගැනීම අසීරු කාර්යයක් බව පෙනී ගොස් ඇත. අපට දවසකට අමතර පැයක් එකතු කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. එමනිසා, පාවුල්ගේ උපදේශයට වෙනත් අදහසක් තිබිය යුතුය. “අවශ්‍ය කාලය දැඩි වෙහෙසක් දරා අත් කරගන්න” යන ග්‍රීක් යෙදුමෙන් යමක් පරිත්‍යාග කොට වෙනත් දෙයක් මිල දී ගැනීම අදහස් වේ. “යම් ප්‍රස්තාවක් ඔබේ අතින් ගිලිහී නොයන පිණිස, සෑම ප්‍රස්තාවකින්ම උපරිම ප්‍රයෝජන ගැනීම හෝ ඉන් වැඩිම වාසි නෙළාගැනීම” එයින් අදහස් වන බව ඩබ්. ඊ. වයින් පැහැදිලි කරයි. (Expository Dictionary) එසේ නම් බයිබලය කියවා අධ්‍යයනය කිරීමට අවශ්‍ය කාලය දැඩි වෙහෙසක් දරා ලබාගත හැක්කේ වෙනත් කුමන දේවලින්ද?

අප ප්‍රමුඛතා තැබිය යුතුය

5. අප “වඩාත් වැදගත් දේ ගැන සහතික” විය යුත්තේ මන්ද? එමෙන්ම එය කරන්නේ කෙසේද?

5 දෛනික ජීවිතයේදී අපට බොහෝ වගකීම් ඉසිලීමට සිදු වේ. මීට අමතරව අපගේ අවධානය ඉල්ලා සිටින ආත්මික කාරණා රැසක්ද ඇත. යෙහෝවාගේ කැප වූ සේවකයන් වශයෙන්, “ස්වාමින්ගේ මෙහෙයෙහි බොහෝ දේ කිරීමට” අපට සිදු වන බව පැහැදිලිය. (1 කොරින්ති 15:58NW) ඒ හේතුවෙන්, “වඩාත් වැදගත් දේ ගැන සහතික වන්න” කියා පාවුල් පිලිප්පියේ ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නේය. (පිලිප්පි 1:10NW) මින් අදහස් කරන්නේ ප්‍රමුඛතාවන් නියම කරගත යුතු බවය. ද්‍රව්‍යමය අවශ්‍යතාවලට වඩා ආත්මික දේවලට සැමවිටම මුල් තැන දිය යුතුය. (මතෙව් 6:31-33) කෙසේවෙතත්, අපගේ ආත්මික වගකීම් ඉසිලීමට සමබරතාවද අවශ්‍යය. අපගේ ක්‍රිස්තියානි ජීවිතයේ විවිධ අංගයන් සඳහා අප කාලය වෙන් කරන්නේ කෙසේද? ක්‍රිස්තියානියෙකු අවධානය දිය යුතු “වඩාත් වැදගත් දේ” මොනවාද? පෞද්ගලික පාඩම සහ බයිබල් කියවීම සාමාන්‍යයෙන් නොසලකා හරිනු ලබන බව සංචාරක අවේක්ෂකයන් වාර්තා කරන නිසා මෙය සැලකිල්ලට ගැනීම වටී.

6. රැකියාව හෝ ගෙදර දොරේ වැඩ සම්බන්ධයෙන් ගත් කල, කාලය දැඩි වෙහෙසක් දරා අත් කරගැනීමෙන් අදහස් වන්නේ කුමක්ද?

6 ඉහත සඳහන් පරිදි, අවශ්‍ය කාලය දැඩි වෙහෙසක් දරා අත් කරගැනීමට නම් “සෑම ප්‍රස්තාවකින්ම උපරිම ප්‍රයෝජන ගැනීම” සහ “ඉන් වැඩිම වාසි නෙළාගැනීම” අවශ්‍ය වේ. එමනිසා, අපගේ බයිබල් කියවීම සහ අධ්‍යයන පුරුදු තවත් දියුණු කරගත යුතු නම්, අප කාලය වැය කරන ආකාරය ගැන පෞද්ගලික සෝදිසියක් කිරීම උපකාරවත් වේ. අපගේ රැකියාව අප මත අනවශ්‍ය පීඩනයක් ඇති කරමින්, අපගේ කාලය සහ ශ්‍රමය අධික ලෙස කා දමනවා නම්, ඒ සම්බන්ධයෙන් යෙහෝවාට අවංක ලෙස යාච්ඤා කළ යුතුය. (ගීතාවලිය 55:22) අපට යම් සකස් වීම් කළ හැකි නම්, අධ්‍යයනය සහ බයිබල් කියවීම ඇතුළුව යෙහෝවාගේ නමස්කාරයට සම්බන්ධ වැදගත් දේ සඳහා වැඩි කාලයක් වෙන් කරගත යුතුය. ස්ත්‍රීන්ට කිරීමට බොහෝ කාර්යයන් ඇති බව කවුරුත් දන්නා දෙයකි. එමනිසා ක්‍රිස්තියානි සහෝදරියන්ද ප්‍රමුඛතා නියම කොට, බයිබල් කියවීම සහ ගැඹුරට අධ්‍යයනය කිරීම සඳහා නිශ්චිත කාලපරිච්ඡේදයන් වෙන් කරගත යුතුය.

7, 8. (අ) කියවීමට සහ අධ්‍යයනයට කාලය ලබාගැනීම සඳහා කුමන ක්‍රියාකාරකම් පරිත්‍යාග කළ හැකිද? (ආ) විනෝද වීමේ අරමුණ කුමක්ද? මෙය සිහියේ තබාගැනීම ප්‍රමුඛතා නියම කිරීමට දායක වන්නේ කෙසේද?

7 සමස්තයක් වශයෙන් ගත් කල, අත්‍යවශ්‍ය නොවූ දේවලින් අධ්‍යයනය සඳහා කාලය ලබාගැනීමට අපගෙන් බොහෝදෙනෙකුට හැකිය. අපට අපගෙන්ම මෙසේ ඇසිය හැක. ‘පුවත් පත් සඟරා කියවීමට, රූපවාහිනී වැඩසටහන් නැරඹීමට, සංගීතයට සවන් දීමට, වීඩියෝ ක්‍රීඩා කිරීමට මම කොතරම් කාලයක් වැය කරනවාද? මම වැඩි කාලයක් යොදවන්නේ බයිබලය කියවන්නද, නැත්නම් පරිගණකය භාවිත කිරීමටද?’ “අනුවණ නොවී, යෙහෝවාගේ කැමැත්ත කුමක්දැයි වටහාගැනීමට උත්සාහ කරන්න” කියා පාවුල් පවසයි. (එපීස 5:17NW) සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් පෞද්ගලික පාඩමට සහ බයිබල් කියවීමට ප්‍රමාණවත් කාලයක් වැය නොකිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ රූපවාහිනිය නැරඹීමට අනවශ්‍ය ලෙස කාලය මිඩංගු කිරීම බව පෙනී යයි.—ගීතාවලිය 101:3; 119:37, 47, 48.

8 සෑම අවස්ථාවකම අධ්‍යයනය කළ නොහැකි බවත්, විනෝදය සඳහා යම් කාලයක් අවශ්‍ය බවත් සමහරුන් පවසනවා විය හැක. මෙම අදහසෙහි යම් සැබෑවක් ගැබ්ව ඇතත්, විනෝදය සඳහා වැය කරන කාලය, බයිබලය කියවීමට හෝ අධ්‍යයනය කිරීමට වැය කරන කාලය හා සැසඳුවොත් ඔබ පුදුමයට පත් විය හැක. විනෝදයට සහ විවේකයට කාලය අවශ්‍ය වුවත්, ඒවා නිසි ස්ථානයෙහි තැබිය යුතුය. ඒවායෙහි අරමුණ වන්නේ ආත්මික කටයුතු දිගටම කරගෙන යෑම සඳහා අපට ප්‍රබෝධයක් සහ නව ජීවයක් ලබා දීමය. බොහෝ රූපවාහිනී වැඩසටහන් නැරඹීමෙන් පසු, නැතහොත් වීඩියෝ ක්‍රීඩාවක් කිරීමෙන් පසු අපි ඉමහත් වෙහෙසකට පත් වන්නෙමු. අනික් අතට දෙවිගේ වචනය කියවීම සහ අධ්‍යයනය කිරීම ප්‍රබෝධයක් ගෙන දෙන කාර්යයකි.—ගීතාවලිය 19:7, 8.

අධ්‍යයනය සඳහා ඇතමෙකු කාලය වෙන් කරන ආකාරය

9. දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම—1999හි සඳහන් උපදෙස් අනුගමනය කිරීමේ ප්‍රයෝජන මොනවාද?

9 දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම යන පොත් පිංචයේ 1999 සංස්කරණයේ පෙරවදනෙහි මෙසේ සඳහන් විය. “මෙම පොත් පිංචය ඇසුරෙන් දිනපදය සහ විස්තරය උදෑසනදීම සාකච්ඡා කිරීම තමයි වඩාත්ම වාසිදායක ක්‍රමය. ඔබේ උදාර උපදේශක වන යෙහෝවා, තම උපදේශවලින් ඔබව පුබුදුවනවා වගේ ඔබට හැඟෙයි. යෙහෝවාගෙන් ලැබෙන උපදේශවලින් හැම උදෑසනකම ප්‍රයෝජන ලැබීම ගැන අනාවැකිමය ප්‍රකාශයක් යේසුස් ක්‍රිස්තුස් ගැන පළ වී තිබෙන්නේ මෙලෙසිනි: ‘ඔහු [යෙහෝවා] උදයක් උදයක් පාසා පුබුදුවයි; උගතුන් මෙන් මාගේ කන් පුබුදුවයි.’ එවැනි උපදේශ ‘විඩාවූ අයට වචනවලින් පිළිතුරක් දීමට දැනගත’ හැකි වන පරිද්දෙන්, යේසුස්ට ‘උගතුන්ගේ දිව’ ලබා දුන්නා. (යෙසා. 30:20; 50:4NW; මතෙ. 11:28-30) දෙවිගේ වචනයෙන් ලැබෙන කාලෝචිත උපදෙස්වල හඬට අවදි වීම, ඔබේම ගැටලුවලට උර දෙන්න ඔබට රුකුලක් වෙනවා පමණක් නොව, අනුන්ට උපකාර කරන්නත් ‘උගතුන්ගේ දිව’ ඔබට ලබා දෙනවා.” a

10. බයිබලය කියවීමට සහ අධ්‍යයනයට සමහරුන් කාලය සොයාගන්නේ කෙසේද? කුමන ප්‍රයෝජන අද්දකිමින්ද?

10 දිනපදය මෙන්ම එහි අදහස් කියවීමෙන් සහ උදෙන්ම බයිබලය කියවීමෙන් හෝ අධ්‍යයනය කිරීමෙන් ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් මෙම උපදේශය අනුගමනය කරති. ප්‍රංශයේ විශ්වාසවන්ත පුරෝගාමියෙක් හිමිදිරි උදෑසන පිබිද බයිබලය කියවීම සඳහා විනාඩි 30ක් යොදාගනියි. වර්ෂ ගණනාවක් පුරාම මෙසේ කිරීමට ඇය සමත් වී ඇත්තේ කුමක් නිසාද? ඇගේ පිළිතුර මෙයයි. “මට පුදුම ආශාවක් තියෙනවා ඒක කරන්න. මොනව වුණත් මගේ කියවීමේ කාලසටහනට මම ඇලී සිටිනවා.” අප දවසේ කවර වේලාවක් තෝරාගත්තද, වැදගත් දේ වන්නේ අපගේ කාලසටහනට ඇලී සිටීමයි. පුරා වසර 40ක් යුරෝපයේ සහ උතුරු අප්‍රිකාවේ පුරෝගාමී සේවයෙහි නිරතව ඇති රෙනේ මිකා මෙසේ පවසයි. “හැම අවුරුද්දකම මුළු බයිබලයම කියවීම 1950 ඉඳන් මගේ ඉලක්කය වෙලා තිබෙනවා. දැන් මම එහෙම 49 වරක් කරල තියෙනවා. මගේ මැවුම්කරු සමඟ කිට්ටු සම්බන්ධයක් පැවැත්වීමට ඒක ගොඩක් වැදගත් කියලා මට හොඳටම තේරෙනවා. දෙවිගේ වචනය ගැන මෙනෙහි කිරීමෙන්, යෙහෝවාගේ යුක්තිය සහ වෙනත් ගුණාංග වඩාත් හොඳින් තේරුම්ගැනීමට පුළුවන් වෙලා තියෙනවා වගේම, මට ඉමහත් ශක්තියක්ද ඒකෙන් ලැබිලා තියෙනවා.” b

“නියම වේලාවට කෑම කොටස”

11, 12. (අ) ‘විශ්වාස වූ ගබඩාකාරයා’ විසින් සපයා ඇති ආත්මික “කෑම කොටස” විස්තර කරන්න. (ආ) “කෑම කොටස” නියම වේලාවට සපයා ඇති ආකාරය විස්තර කරන්න.

11 නියමිත වේලාවට ආහාර අනුභව කිරීමෙන් හොඳ ශරීර සෞඛ්‍යයක් ලබනවා වගේම, අධ්‍යයනය සහ බයිබල් කියවීම සඳහා නිතිපතා කාලසටහනක් අනුගමනය කිරීම හොඳ ආත්මික සෞඛ්‍යයකට දායක වේ. ලූක්ගේ සුවිශේෂයේ යේසුස්ගේ වදන් මෙසේ වාර්තා වී ඇත. “ඉඳින් ස්වාමියා විසින් තමාගේ ගෙයි වැසියන්ට නියම වේලාවට කෑම කොටස දෙන්ට ඔවුන් කෙරේ පත්කරන විශ්වාසවූ නුවණ ඇති ගබඩාකාරයා කවුද?” (ලූක් 12:42) ඔහු මුරටැඹ සඟරාව සහ බයිබලය මත පදනම් වෙනත් පොත් පත් මාර්ගයෙන් වසර 120ක් පුරා, “නියම වේලාවට කෑම කොටස” සපයා ඇත.

12 “නියම වේලාවට” යන කොටස සැලකිල්ලට ගැනීම වටී. අපගේ “උදාර උපදේශක” [NW] වන යෙහෝවා, තම පුත්‍රයා සහ දාස පංතිය මාර්ගයෙන්, මූලධර්මයන් සහ හැසිරීම සම්බන්ධයෙන් තම සෙනඟට නියම වේලාවට මඟ පෙන්වීම සපයා ඇත. එය හරියට ‘දකුණට හැරෙන විටද වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි’ කියන හඬක් අපට සමූහයක් වශයෙන් ඇසෙන්නාක් මෙනි. (යෙසායා 30:20, 21) එපමණක්ද නොව පුද්ගලයෙක් හොඳ අවධානයකින් බයිබලය සහ බයිබල් ප්‍රකාශන සියල්ල කියවන විට, ඒවායෙහි ඇති අදහස් විශේෂයෙන්ම තමා සඳහාය යන හැඟීම ඔහුට නිතරම පාහේ දැනේ. දිව්‍යමය උපදෙස් සහ මඟ පෙන්වීම අපට ලැබෙන්නේ නියම වේලාවටය. පරීක්ෂාවලට එරෙහිව සිටීමටත්, ප්‍රඥාවන්ත තීරණ ගැනීමටත් ඉන් අපට උපකාර ලැබේ.

කෑම ගැනීමේදී හොඳ පුරුදු ඇති කරන්න

13. ආත්මික ආහාර ලබාගැනීමේදී නුසුදුසුයයි සැලකිය හැකි පුරුදු මොනවාද?

13 නියම වේලාවට සපයා ඇති “කෑම කොටස” උපරිම අන්දමින් ප්‍රයෝජනයට ගැනීම සඳහා, හොඳ පුරුදු ඇති කරගත යුතුය. බයිබලය කියවීමට සහ පෞද්ගලික අධ්‍යයනයට නිතිපතා කාලසටහනක් තිබීමත්, ඊට ඇලී සිටීමත් අත්‍යවශ්‍යය. ආත්මික ආහාර ගැනීමේදී ඔබට හොඳ පුරුදු තිබෙනවාද? ඔබ නිතිපතා ගැඹුරු පෞද්ගලික අධ්‍යයනයක නිරත වෙනවාද? එසේ නැතහොත් සෑහෙන වෙහෙසක් දරා අපට පිළියෙළ කර ඇති තොරතුරු උඩින් පල්ලෙන් කියවනවාද? නැත්නම්, සම්පූර්ණයෙන්ම අතපසු කරනවාද? හොඳ පුරුදු නොමැති නිසා, සමහරුන් ඇදහිල්ලෙහි දුර්වල වී ඇති අතර, ඉන් වැටී ගොස් ඇත.—1 තිමෝති 1:19; 4:15, 16.

14. දැනටමත් දන්නවායයි පෙනෙන තොරතුරු පරෙස්සමින් පරිශීලනය කිරීම ප්‍රයෝජනදායක වන්නේ මන්ද?

14 දැනටමත් මූලික ඉගැන්වීම් මොනවාද කියා දන්න නිසාත්, පළ වන සෑම අලුත් ලිපියකම අලුත්යයි සැලකිය හැකි තොරතුරු නැතැයි කියා ඔවුන්ට හැඟෙන නිසාත්, ක්‍රමවත් අධ්‍යයනයක් කිරීම සහ රැස්වීම්වලට යෑම අනවශ්‍ය බවට සමහරුන් තර්ක කළ හැක. එනමුත්, ඉගෙනගෙන ඇති දේවල් පවා නිතර නිතර සිහිගැන්වීමේ ඇති අවශ්‍යතාව බයිබලයේ පෙන්වා දී ඇත. (ගීතාවලිය 119:95, 99; 2 පේතෘස් 3:1; යූද් 5) හොඳ කෝකියෙක් එකම ආහාරය විවිධ ක්‍රමවලට පිළියෙළ කරන්නාක් මෙන්, දාස පංතිය පෝෂ්‍යදායි ආත්මික ආහාර විවිධ ආකාරවලින් සපයයි. කලින් කිහිප අවස්ථාවකම කතා කළ විෂයක් ගැන නැවත නැවත ලිපි පළ වුවත්, එම ලිපිවල අතපසු නොකළ යුතු අලුත් පැති ඇතුළත් වේ. ඇත්තෙන්ම අප කියවන දෙයින් ලබන ප්‍රයෝජන බොහෝදුරට රඳා පවතින්නේ එය අධ්‍යයනය කිරීමට අප වැය කරන කාලය සහ දරන වෑයම මතය.

කියවීමෙන් සහ අධ්‍යයනයෙන් ලැබෙන ආත්මික ප්‍රයෝජන

15. බයිබලය කියවා අධ්‍යයනය කිරීම දෙවිගේ වචනය වඩාත් හොඳින් හැසිරවීමට උපකාරවත් වන්නේ කෙසේද?

15 බයිබලය කියවීමෙන් සහ අධ්‍යයනය කිරීමෙන් අපි ප්‍රයෝජන රැසක් නෙළාගන්නෙමු. “සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්” වීමේ මූලික ක්‍රිස්තියානි වගකීම හරියාකාරව ඉටු කිරීමට එමගින් අපට හැකි වේ. (2 තිමෝති 2:15) අපි බයිබලය කියවා, අධ්‍යයනය කරන තරමටම, අපගේ මනස් දෙවිගේ සිතුවිලිවලින් පුරවාගන්නෙමු. එමගින්, පාවුල් මෙන්, යෙහෝවාගේ අරමුණු හා බැඳි සිත්ගන්නා සත්‍යතාවන් පිළිබඳව ‘ජනයාට කතා කර, ලියවිලි තෝරා දීමට’ අපිද සමත් වන්නෙමු. (ක්‍රියා 17:2, 3) ඉගැන්වීමේදී අපගේ දස්කම් තවත් ප්‍රගුණ කරගැනීමට එමගින් හැකි වන අතර, අපගේ සංවාදයන්, කතා සහ උපදෙස් ආත්මිකව වඩාත් වර්ධනය ගෙන දෙන තත්වයකට පත් වනවාට සැකයක් නැත.—හිතෝපදේශ 1:6.

16. දෙවිගේ වචනය කියවීමෙන් සහ අධ්‍යයනය කිරීමෙන් අප පෞද්ගලිකව ප්‍රයෝජන ලබන ක්‍රම මොනවාද?

16 මීට අමතරව, දෙවිගේ වචනය පරීක්ෂා කිරීමට අප කාලය මිඩංගු කිරීම නිසා, අපගේ ජීවිත යෙහෝවාගේ මාර්ගවලට එකඟව වඩාත් පූර්ණ ලෙස හැඩගැස්වීමට අපට හැකි වේ. (ගීතාවලිය 25:4; 119:9, 10; හිතෝපදේශ 6:20-23) යටහත් පහත්කම, පක්ෂපාතිත්වය සහ ප්‍රීතිය වැනි අපගේ ආත්මික ගුණාංග ශක්තිමත් කිරීමටද එය දායක වේ. (ද්විතීය කථාව 17:19, 20; එළිදරව් 1:3) බයිබලය කියවීමෙන් සහ අධ්‍යයනය කිරීමෙන් අප ලබන දැනුම අදාළ කරගන්නා විට, අපගේ ජීවිතය තුළ දෙවිගේ ශුද්ධාත්මය ක්‍රියාත්මක වන ආකාරය අද්දැකීමට අපට පුළුවන. ප්‍රතිඵලයක් වශයෙන් අප කරන සියල්ලේදී ආත්මයේ ඵල බහුලව නිපදවීමට අප සමත් වනවා ඇත.—ගලාති 5:22, 23.

17. අපගේ පෞද්ගලික බයිබල් කියවීම සහ අධ්‍යයනය සඳහා අප යොදාගන්නා කාලය සහ වෑයම යෙහෝවා සමඟ අපගේ සම්බන්ධතාවට බලපාන්නේ කෙසේද?

17 වෙනත් දේවල් පරිත්‍යාග කොට දෙවිගේ වචනය කියවා අධ්‍යයනය කිරීමට කාලය වැය කිරීම, දෙවි සමඟ තිබෙන අපගේ සම්බන්ධය තවත් අර්ථවත් කිරීමටද මඟ පාදයි. “සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස [දෙවිගේ] කැමැත්ත දැනගැනීමෙන් පූර්ණවී . . . [යෙහෝවාට] ඔබිනලෙස සියලු ආකාරයෙන් ප්‍රසන්නව [හැසිරීමට]” හැකි වන පිණිස, පාවුල් සෙසු ක්‍රිස්තියානීන් වෙනුවෙන් යාච්ඤා කළේය. (කොලොස්සි 1:9, 10, 12) ‘යෙහෝවාට ඔබින ලෙස හැසිරෙන්න’ නම්, අපද ‘සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස ඔහුගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණව’ සිටිය යුතුය. එසේ නම්, යෙහෝවාගේ ආශීර්වාදය සහ අනුමැතිය ලබාගැනීම සෑහෙන දුරකට රඳා පවතින්නේ බයිබලය පෞද්ගලිකව කියවීමට සහ අධ්‍යයනය කිරීමට අප යොදන කාලය සහ වෑයම මතය.

18. යොහන් 17:3හි වාර්තා වී ඇති යේසුස්ගේ වදන් අනුගමනය කිරීමෙන් අපට අත් කරගත හැකි ආශීර්වාද මොනවාද?

18 “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය —එනම් එකම සැබෑ දෙවි වන ඔබ ගැන සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැන ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3NW) දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමේ වැදගත්කම අන්‍යයන්ට ඒත්තුගැන්වීමේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් අන්‍යයන්ට ඉතා පුළුල්ව භාවිත කරන බයිබල් පදයකි එය. අප සැමදෙනාත් පෞද්ගලිකව ඒ දැනුම ලබාගැනීමේ වැදගත්කම අවතක්සේරු නොකළ යුතුය. සදාකල් ජීවත් වීමේ අපගේ බලාපොරොත්තුව රඳා පවතින්නේ යෙහෝවා සහ ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස් පිළිබඳව දැනුමෙන් වර්ධනය වීම මතය. ඉන් අදහස් කරන්නේ කුමක්දැයි මදක් සිතා බලන්න. යෙහෝවා ගැන ඉගෙනගැනීමට සීමාවක් නැත. ඇත්තෙන්ම ඔහු ගැන ඉගෙනගැනීමට අප ඉදිරියේ ඇත්තේ සදාකාලික ප්‍රස්තාවකි.—දේශනාකාරයා 3:11; රෝම 11:33.

[පාදසටහන්වල]

a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිතය.

b 1995 මැයි 1 මුරටැඹ කලාපයේ 20-1 පිටුවල “ඔවුන් එය කියවන වේලාව සහ ඉන් ප්‍රයෝජන ලබන ආකාරය” යන ලිපිය බලන්න.

පුනරීක්ෂණය සඳහා ප්‍රශ්න

• අප කාලය වැය කරන ආකාරයෙන් හෙළි වන්නේ කුමක්ද?

• බයිබලය කියවීමට සහ අධ්‍යයනය කිරීමට අවශ්‍ය කාලය ලබාගැනීම සඳහා කුමන දේවල් පරිත්‍යාග කළ හැකිද?

• අපගේ ආත්මික ආහාර ගැනීමේ පුරුදු ගැන සැලකිලිමත් විය යුත්තේ මන්ද?

• ශුද්ධ ලියවිල්ල කියවීමෙන් සහ අධ්‍යයනය කිරීමෙන් නෙළාගත හැකි ප්‍රයෝජන මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[20, 21වන පිටුවේ පින්තූර]

බයිබලය නිතිපතා කියවීම සහ අධ්‍යයනය කිරීම, ‘සැබෑවේ වචනය හරියාකාරව පහදා දීමට’ අපට මං උදා කරයි

[23වන පිටුවේ පින්තූර]

අපගේ කාර්යබහුල ජීවිතයේ වැඩකටයුතු සමඟ ආත්මික දේවල් සමබරව කිරීම හොඳ ප්‍රතිඵල ගෙන දෙයි