Skip to content

පටුනට යන්න

බයිබලය කියවීම—ප්‍රයෝජනදායක මෙන්ම ප්‍රීතිය ගෙන දෙන්නකි

බයිබලය කියවීම—ප්‍රයෝජනදායක මෙන්ම ප්‍රීතිය ගෙන දෙන්නකි

බයිබලය කියවීම—ප්‍රයෝජනදායක මෙන්ම ප්‍රීතිය ගෙන දෙන්නකි

‘එහි ලියා තිබෙන සියල්ල රෑ දාවල් මෙනෙහි කරන්න [කියවන්න, NW].’—යෝෂුවා 1:8.

1. කියවීමෙන් සාමාන්‍යයෙන් ලබාගත හැකි ප්‍රයෝජන කිහිපයක් සඳහන් කරන්න.

 වටිනා දේවල් කියවීමට කාලය ගැනීම ප්‍රයෝජනදායක දෙයකි. ප්‍රංශ දේශපාලන ක්ෂේත්‍රයේ දාර්ශනිකයෙක් වූ මොන්ටෙස්ක්යූ (ෂාර්ල්-ලුවී ඩ සෙකොන්ඩහ්) මෙම අදහස පළ කළේය. “ජීවිතයේ කාන්සාවන්ට එකම පිළියම අධ්‍යයන කටයුතුවල නිරත වීමයි. පැයකට පමණ පොතක් පතක් කියවීමෙන් මගේ කනස්සල්ල දුරු වූ අවස්ථා එමටය.” බයිබලය කියවීම සම්බන්ධයෙන් නම්, මෙය විශේෂයෙන් සැබෑවකි. දෙවිගේ ආනුභාවයෙන් ගීතිකාකරු මෙසේ පැවසීය. ‘යෙහෝවාගේ ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත් කරන්නේය. යෙහෝවාගේ සාක්ෂිය සත්‍යය, නුවණ නැත්තන් ඥානවත් කරන්නේය. යෙහෝවාගේ පනත් සාධාරණය, සිත ප්‍රීති කරවන්නේය. යෙහෝවාගේ ආඥාව පවිත්‍රය, ඇස් එළිය කරන්නේය.’—ගීතාවලිය 19:7, 8.

2. යුග ගණනාවක් පුරාම යෙහෝවා බයිබලය ආරක්ෂා කර ඇත්තේ මන්ද? යෙහෝවාගේ කැමැත්ත වන්නේ ඔහුගේ සෙනඟ ඒ සම්බන්ධයෙන් කුමක් කරනවා දැකීමද?

2 පුරා සියවස් ගණනාවකට, ආගමික මෙන්ම ලෞකික සතුරන්ගේ විරුද්ධවාදීකම් මැද බයිබලය ආරක්ෂා වී ඇත්තේ එහි කර්තෘ වන යෙහෝවා දෙවිගේ මැදිහත් වීමට ස්තුතිවන්ත වන්නය. “සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීම” ඔහුගේ කැමැත්ත වන හෙයින්, යෙහෝවා තම වචනය මුළු මිනිස් සංහතියටම ලබා දීම සඳහා කටයුතු කර ඇත. (1 තිමෝති 2:3, 4) භාෂා 100ක් පමණ යොදාගැනීමෙන් පෘථිවි ජනගහනයෙන් සියයට 80ක් වෙතටම එළඹිය හැකි බවට ගණන් බලා ඇත. එනමුත් සම්පූර්ණ බයිබලය භාෂා 370කින් පළ වී ඇති අතර, කොටස් වශයෙන් තවත් භාෂා සහ උපභාෂා 1,860කින් ලබාගත හැක. එසේ නම්, තම වචනය ජනයා විසින් කියවීම යෙහෝවාගේ අභිප්‍රාය බව පැහැදිලිය. ඔහුගේ වචනයට අවධානය දෙමින් එය දිනපතා කියවන ඔහුගේ සේවකයන්ට ආශීර්වාද අත් වනවා නිසැකය.—ගීතාවලිය 1:1, 2.

බයිබලය කියවීම—අවේක්ෂකයන්ට අනිවාර්යය

3, 4. යෙහෝවාට අවශ්‍ය වූයේ ඉශ්‍රායෙල්හි රජවරුන් කුමක් කරනවා දැකීමටද? මෙම අවශ්‍යතාව අදදින ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ටත් අදාළ වන්නේ කුමන හේතු නිසාද?

3 ඉශ්‍රායෙල් ජාතිය රජෙකු විසින් පාලනය කරනු ඇති බව අපේක්ෂා කළ යෙහෝවා, ඒ රජුගෙන් ඉටු විය යුතු යමක් ගැන මෙසේ පැවසීය. “ඔහු තමාගේ රාජ්‍යයෙහි සිංහාසනය පිට හිඳින කල, ලෙවීවරුන් වන පූජකයන් ඉදිරියෙහි තිබෙන පොතේ හැටියට ඔහු මේ ව්‍යවස්ථාවෙන් පිටපතක් ලියා, තමා ළඟ තබාගත යුතුය. ඔහුගේ හෘදය තමාගේ සහෝදරයන් කෙරේ උඩඟුනොවී, ඔහු ආඥාවෙන් දකුණට හෝ වමට හැරී නොගොස්, මේ ව්‍යවස්ථාවේ සියලු වචනද මේ නියෝගද පවත්වා රක්ෂාකරන හැටියට, තමාගේ දෙවිවූ [යෙහෝවාට] භයවෙන්ට ඉගෙන ගන්න පිණිසද මෙසේ තමාගේ රාජ්‍යය කෙරෙහි තමාගේ සහ තමාගේ පුත්‍රයන්ගේත් දවස් ඉශ්‍රායෙල් මැද වැඩිකරගන්න පිණිසද තමාගේ ජීවිතයේ සියලු දවස්වලදී ඒ පිටපත කියවන්නේය.”—ද්විතීය කථාව 17:18-20.

4 ඉශ්‍රායෙල්හි රජ වන සෑම කෙනෙකුම දිව්‍ය නීතිය සඳහන්ව ඇති පොත දිනපතා කියවිය යුතුයි කියා යෙහෝවා නියම කළේ කවර හේතු නිසාදැයි සැලකිල්ලට ගන්න. (1) ‘ව්‍යවස්ථාවේ සියලු වචනද නියෝගද පවත්වා රක්ෂා කරන හැටියට, තමාගේ දෙවි වූ යෙහෝවාට භය වෙන්ට ඉගෙනගැනීම,’ (2) ‘ඔහුගේ හෘදය තමාගේ සහෝදරයන් කෙරේ උඩඟු නොවීම’ සහ (3) ‘ඔහු ආඥාවෙන් දකුණට හෝ වමට හැරී නොයෑම’ සඳහා එය නියම කර තිබිණ. යෙහෝවාට භයවීම, ඔහුගේ නියෝගවලට කීකරු වීම, තම සහෝදරයන් ඉදිරියෙහි උඩඟු නොවී සිටීම සහ යෙහෝවාගේ ආඥාවලින් ඉවතට නොහැරීම සම්බන්ධයෙන් අදදින ක්‍රිස්තියානි අවේක්ෂකයන් විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු නොවේද? එසේ නම්, ඉශ්‍රායෙල්හි රජවරුන් කළාක් මෙන්ම, අවේක්ෂකයන් විසින්ද දිනපතා බයිබලය කියවීම වැදගත් වේ.

5. බයිබලය කියවීම සම්බන්ධයෙන් පාලක මණ්ඩලය ශාඛා කමිටු සාමාජිකයන් වෙත ලියා යැව්වේ කුමක්ද? සියලුම ක්‍රිස්තියානි වැඩිමහල්ලන් එම උපදේශය අනුගමනය කිරීම ප්‍රඥාවන්ත ක්‍රියාමාර්ගය වන්නේ මන්ද?

5 කෙසේවෙතත්, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් කාර්ය බහුල අය වන නිසා, දිනපතා බයිබලය කියවීම අභියෝගයක් විය හැක. නිදසුනකට, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සහෝදරයෝ සහ ලෝ වටා ඇති ශාඛා කමිටුවල සාමාජිකයෝ ඉතා කාර්ය බහුල අය වෙති. එනමුත් මෑතකදී පාලක මණ්ඩලය විසින් සියලුම ශාඛා කමිටු වෙත යවනු ලැබූ ලිපියක, දිනපතා බයිබලය කියවීමේ සහ පුරුද්දක් වශයෙන් අධ්‍යයනය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණ. ඒ ලිපියට අනුව, එසේ කිරීමෙන්, යෙහෝවා සඳහාත්, සත්‍යය සඳහාත් අපට තිබෙන ප්‍රේමය වැඩි වන අතර, එය “අපගේ ඇදහිල්ල, ප්‍රීතිය ගෙන දෙන සහ විපාකදායී අවසානයක් කරා අපගේ අඛණ්ඩ උත්සාහය පවත්වාගෙන යෑමට රුකුලක් වනවා ඇත.” යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල සිටින වැඩිමහල්ලන්ටද එම අවශ්‍යතාව දැනේ. ශුද්ධ ලියවිලි දිනපතා කියවීම “ප්‍රඥාවන්තව ක්‍රියා කිරීමට” [NW] ඔවුන්ට රුකුලක් වනවා ඇත. (යෝෂුවා 1:7, 8) බයිබලය කියවීම “ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්” වන්නේ විශේෂයෙන්ම ඔවුන්ටය.—2 තිමෝති 3:16.

බාල මහලු සැමට

6. යෝෂුවා එක්රැස්ව සිටි ඉශ්‍රායෙල් ගෝත්‍ර සහ ඉශ්‍රායෙලිතයන් සමඟ වාසය කළ විදේශීන් යන සියල්ලන් ඉදිරියෙහි යෙහෝවාගේ ව්‍යවස්ථාවේ වචන ශබ්ද නඟා කියෙව්වේ මන්ද?

6 පුරාණයේදී, ශුද්ධ ලියවිලි පොදුවේ පෞද්ගලික පාවිච්චිය සඳහා පිටපත් කර තිබුණේ නැත. එමනිසා, බයිබලය කියවනු ලැබුවේ, එක්රැස් වූ සමූහයක් ඉදිරියෙහිය. යෙහෝවා හායි නගරය අත් කර දුන්නායින් පසු, යෝෂුවා ඉශ්‍රායෙල්හි ගෝත්‍ර ඒබාල් කන්ද සහ ගෙරිසීම් කන්ද ඉදිරියෙහි එක්රැස් කළේය. ඊළඟට වාර්තාවෙහි මෙසේ සඳහන් වේ. “ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට ආශීර්වාදයත් ශාපයත් යන ව්‍යවස්ථාවේ සියලු වචන ඔහු කියෙවුවේය. මෝසෙස් අණකළ සියල්ලෙන් යෝෂුවා මුළු ඉශ්‍රායෙල් සභාවද ස්ත්‍රීන්ද බාලයන්ද ඔවුන් අතරෙහි හැසුරුණ විදේශීන්ද ඉදිරියේදී නොකියෙවු එකද වචනයක් නොවීය.” (යෝෂුවා 8:34, 35) යෙහෝවාගේ ආශීර්වාදයට සහ අප්‍රසාදයට හේතු වන්නේ කවර ක්‍රියා කලාපයක්ද යන්න බාල මහලු, ඉශ්‍රායෙලිතයන් සහ ඉශ්‍රායෙලිතයන් සමඟ පදිංචිව සිටි විදේශීන් තම මනස් සහ හදවත්වල පැලපදියම් කිරීමේ අවශ්‍යතාවක් තිබිණ. අප නිතිපතා බයිබලය කියවනවා නම්, එසේ කිරීමට අපටද හැකි වේ.

7, 8. (අ) අදදින “විදේශීන්” කාට සම කළ හැකිද? ඔවුන්ද දිනපතා බයිබලය කියවිය යුත්තේ මන්ද? (ආ) යෙහෝවාගේ සෙනඟ අතර සිටින ‘බාලයන්ට’ යේසුස්ගේ ආදර්ශය අනුකරණය කළ හැකි ආකාර මොනවාද?

7 අදදින, මිලියන ගණනක් යෙහෝවාගේ සේවකයන් ආත්මික අර්ථයකින් එම “විදේශීන්” හා සමාන වේ. වරක් ලෝකයේ ප්‍රමිති අනුව ජීවත් වුවද, දැන් ඔවුන් තම ජීවිත මුළුමනින්ම වෙනස් කර ඇත. (එපීස 4:22-24; කොලොස්සි 3:7, 8) යහපත සහ නපුර පිළිබඳව යෙහෝවාගේ ප්‍රමිති මොනවාද කියා ඔවුන් නිතරම සිහියට ගත යුතුය. (ආමොස් 5:14, 15) ඒ සඳහා ඔවුන්ට උපකාරවත් වන්නේ දිනපතා දෙවිගේ වචනය කියවීමයි.—හෙබ්‍රෙව් 4:12; යාකොබ් 1:25.

8 යෙහෝවාගේ සෙනඟ අතර “බාලයන්” බොහෝදෙනෙක්ද සිටිති. මොවුන්ගේ දෙමාපියන් යෙහෝවාගේ ප්‍රමිති ඔවුන්ට උගන්වා තිබුණද, කළ යුතුව තිබෙන නිවැරදි දේ දෙවිගේ කැමැත්ත කිරීම බව ඔවුන් විසින්ම ඒත්තුගත යුතුය. (රෝම 12:1, 2) එසේ කිරීමට ඔවුන්ට හැක්කේ කෙසේද? ඉශ්‍රායෙල්හි පූජකයන් සහ වැඩිමහල්ලන්ට මෙම උපදේශය ලැබිණ. “මේ ව්‍යවස්ථාව සියලු ඉශ්‍රායෙල්වරුන් අසාගන සිටිද්දී ඔවුන් ඉදිරිපිට කියවන්න. පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද නුඹේ දොරටු ඇතුළෙහි සිටින විදේශියාද අසා ඉගෙනගන නුඹලාගේ දෙවිවූ [යෙහෝවාට] භයවී මේ ව්‍යවස්ථාවේ සියලුම වචනවල හැටියට කරන්ට බලාගන්න පිණිසද, එය දැනනොගත් ඔවුන්ගේ දරුවන්ද අසා . . . නුඹලාගේ දෙවිවූ [යෙහෝවාට] භයවෙන්ට ඉගෙනගන්න පිණිසද සෙනඟ රැස්කරන්න.” (ද්විතීය කථාව 31:11-13) ව්‍යවස්ථාව යටතේ ජීවත් වූ යේසුස්, අවුරුදු 12ක් තරම් ළාබාල වයසේ සිටම තම පියාගේ නීති තේරුම්ගැනීමට ඉමහත් උනන්දුවක් දැක්වීය. (ලූක් 2:41-49) පසුව, සිනගෝගවල ශුද්ධ ලියවිල්ල කියෙවූ අවස්ථාවලදී, ඊට සවන් දීම නැත්නම් එම කියවීමට කෙළින්ම සහභාගි වීම ඔහුගේ පුරුද්ද විය. (ලූක් 4:16; ක්‍රියා 15:21) අදදින බාලයන්ට යේසුස්ගේ ආදර්ශය අනුකරණය කළ හැක්කේ කෙසේද? දිනපතා දෙවිගේ වචනය කියවීමෙන් සහ බයිබලය කියවා අධ්‍යයනය කරන රැස්වීම්වලට නිතිපතා යෑමෙනි.

බයිබලය කියවීමට මුල් තැනක් දෙමු

9. (අ) අප කියවන දේ සම්බන්ධයෙන් අප තෝරා බේරා කටයුතු කිරීමේ අවශ්‍යතාවක් ඇත්තේ මන්ද? (ආ) මෙම සඟරාවේ මුල්ම සංස්කාරක බයිබල් අධ්‍යයන ආධාරක ගැන පැවසුවේ කුමක්ද?

9 “මෙයින් දැනමුතුකම් ලබන්න. බොහෝ පොත් සෑදීමේ කෙළවරක් නැත; බොහෝ ඉගෙනගැන්මෙන්ද මාංසයට වෙහෙස පැමිණෙන්නේය” කියා ප්‍රඥාවන්ත සාලමොන් රජ ලීවේය. (දේශනාකාරයා 12:12) ඇත්තෙන්ම අදදින තිබෙන බොහෝ පොත් කියවීම මාංසය වෙහෙස කරවන්නක් පමණක් නොව, මනසටද හානිකර බව පැවසුවහොත් නිවැරදිය. එමනිසා, කියවන දේ සම්බන්ධයෙන් තෝරා බේරා කටයුතු කිරීම වැදගත්ය. බයිබල් ආධාරක පොත් කියවීමට අමතරව අප බයිබලයද කියවිය යුතුය. මෙම සඟරාවේ මුල්ම සංස්කාරක එහි පාඨකයන්ට වරක් මෙසේ ලීවේය. “බයිබල් ආධාරක දෙවිගෙන් ලද්දක් ලෙස සැලකිය යුතු වුවද, අපගේ ඉගැන්වීම්වල පදනම බයිබලය බව මතක තබාගන්න. අපට තිබෙන පොත් පත් ‘ආධාරක’ ලෙස මිසක බයිබලයට ආදේශකයන් සේ නොසැලකිය යුතුය.” a එමනිසා, අප බයිබල් පාඩම් ආධාරක පොත් කියවීම අතපසු නොකරන අතරේදී, බයිබලය කියවීමට මුල් තැනක් දීම අවශ්‍යය.

10. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” බයිබලය කියවීමේ වැදගත්කම අවධාරණය කර ඇත්තේ කෙසේද?

10 “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මෙම අවශ්‍යතාව ගැන වසර ගණනාවක් පුරා සැලකිලිමත් වී ඇත. එමනිසා, සෑම සභාවකම පවත්වන දිව්‍යාණ්ඩු සේවා පාසැලේ අංගයක් ලෙස බයිබලය කියවීමට සැලසුම් යොදා තිබේ. (මතෙව් 24:45) දැනට ක්‍රියාත්මක වන බයිබල්-කියවීමේ කාලසටහනින් මුළු බයිබලයම වසර හතකින් පමණ පියවිය හැක. මෙම කාලසටහන සියලුදෙනාටම ප්‍රයෝජනවත් වන අතර එය බයිබලය සම්පූර්ණයෙන්ම කියවා නැති නවකයන්හට විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වනවාට සැකයක් නැත. මිෂනාරිවරුන් සඳහා පවත්වන ගිලියද් මුරටැඹ බයිබල් පාසැල සහ උපස්ථායක පුහුණු පාසැලට සහභාගි වන්නන් මෙන්ම බෙතෙල් පවුලට අලුතෙන් බැඳෙන අය මුළු බයිබලයම අවුරුද්දක් ඇතුළත කියවිය යුතු වේ. පෞද්ගලිකව හෝ පවුලක් වශයෙන් ඔබ අනුගමනය කරන කාලසටහන කුමක් වුවත්, වැදගත් දේ වන්නේ එම කාලසටහනට ඇලී සිටීමෙන් බයිබල් කියවීමට මුල් තැනක් දීමය.

ඔබේ කියවීමේ පුරුදුවලින් අනාවරණය වන්නේ කුමක්ද?

11. අපට දිනපතා යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන වචනවලින් පෝෂණය ලැබිය හැක්කේ කෙසේද? අප එසේ කළ යුත්තේ මන්ද?

11 ඔබේ බයිබල් කියවීමේ කාලසටහනට එකඟව බයිබලය කියවීම ඔබට අතපසු වනවා නම්, ඔබෙන් මෙසේ ඇසීම යෝග්‍යය. ‘යෙහෝවාගේ වචනය කියවීමට මට තිබෙන ප්‍රස්තාවට රූපවාහිනිය නැරඹීමට සහ වෙනත් දේ කියවීමට මා ගන්නා කාලය බලපාන්නේ කෙසේද?’ “මනුෂ්‍යයා [දෙවිගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය” යන කරුණ මෝසෙස් පමණක් නොව යේසුස් පවා අවධාරණය කළ බව මතක තබාගන්න. (මතෙව් 4:4; ද්විතීය කථාව 8:3) අපේ සිරුරට අවශ්‍ය පෝෂණය දෛනිකව ලබා දීම සඳහා රොටි නැතහොත් ඊට සමාන යමක් දිනපතා අවශ්‍ය වන්නා සේම, අපගේ ආත්මිකත්වය පවත්වාගැනීම සඳහා යෙහෝවාගේ අදහස් දිනපතා උරාගැනීම අත්‍යවශ්‍යය. දෙවිගේ ඒ අදහස් අප වෙත ගලා ඒමට මඟ විවෘත වන්නේ ශුද්ධ ලියවිල්ල දවසින් දවස කියවීමෙනි.

12, 13. (අ) අප දෙවිගේ වචනය සඳහා ඇති කරගත යුතු ආශාව ප්‍රේරිත පේතෘස් උදාහරණයකින් පැහැදිලි කරන්නේ කෙසේද? (ආ) පාවුල් පේතෘස්ට වෙනස්ව කිරි හා සම්බන්ධ උදාහරණය යොදාගන්නේ කෙසේද?

12 බයිබලය “මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම [දෙවිගේ] වචනය” ලෙස පිළිගන්නෙමු නම්, බිළිඳෙකු මවකගෙන් කිරි බීමට පෙලඹෙන්නාක් මෙන් අපිද දෙවිගේ වචනයට දැඩි ආශාවක් දක්වන්නෙමු. (1 තෙසලෝනික 2:13) ප්‍රේරිත පේතෘස් එම උදාහරණය මෙසේ යොදාගත්තේය. ‘ස්වාමීන් යහපත් බව නුඹලා රස බලා දැනගත්තහු නම්, ආත්මික වූ අමිශ්‍ර වූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනය වන පිණිස අලුත උපන් බිළිඳුන් මෙන් එයට බොහෝ ආශා වෙන්න.’ (1 පේතෘස් 2:2, 3) අප පෞද්ගලික අද්දැකීමෙන් ‘ස්වාමීන් යහපත් බව’ රස බලා දැනගෙන ඇත්නම්, බයිබල් කියවීම සඳහා දැඩි ආශාවක් වර්ධනය කරගන්නවාට සැකයක් නැත.

13 මෙම කොටසෙහි පේතෘස් සහ ප්‍රේරිත පාවුල් කිරි යොදාගත් ආකාරය එකිනෙකට වෙනස්ය. අලුත උපන් බිළිඳෙක් කිරිවලින් සම්පූර්ණ පෝෂණයක් ලබයි. පේතෘස්ගේ උපහැරණයෙන් පැහැදිලි වන්නේ “ගැළවීම සඳහා වර්ධනයවන පිණිස” අපට අවශ්‍ය සියල්ල දෙවිගේ වචනයෙහි අන්තර්ගතව පවතින බවයි. අනික් අතට, ආත්මික වැඩිහිටියන් බව කියා සිටින සමහරෙකු පෝෂණය වන ආකාරයේ ඇති දුර්වලකම් ගෙනහැර දැක්වීමට පාවුල් කිරිවල අවශ්‍යතාව යොදාගනියි. හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියමින් පාවුල් මෙසේ පැවසීය. “කාලය ප්‍රකාරයට නුඹලා ගුරුවරයෝව සිටින්ට යුතුව තිබියදීත්, [දෙවිගේ] වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමෙකු විසින් නුඹලාට උගන්වන්ට ඕනෑව තිබේ; නුඹලා ඝන ආහාර නොව කිරි ඕනෑකරන අයව සිටින්නෝය. ඉතින් කිරි බොන සෑමදෙනම ළදරුවන් බැවින් ඔව්හු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති. නුමුත් දැඩි [ඝන, NW] ආහාර ඕනෑවන්නේ යහපත සහ අයහපත විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණුවූ ඉන්ද්‍රියයන් ඇති, සම්පූර්ණවූ [මේරූ, NW] තැනැත්තන්ටය.” (හෙබ්‍රෙව් 5:12-14) අපගේ වටහාගැනීමේ ශක්තිය දියුණු කරගැනීමට සහ ආත්මික දේවල් සඳහා අපගේ රුචිය පුබුදුවාලීමට හොඳ අවධානයකින් යුතුව බයිබලය කියවීම මහෝපකාරි වේ.

බයිබලය කියවිය යුතු අන්දම

14, 15. (අ) බයිබලයේ කර්තෘ අපට ලබා දෙන්නේ කුමන වරප්‍රසාදයද? (ආ) අපට දිව්‍ය ප්‍රඥාවෙන් ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද? (නිදසුන් දෙන්න.)

14 ප්‍රයෝජන අත් කරගත හැකි ආකාරයට බයිබලය කියවීමට නම්, කියවීමට පෙර යාච්ඤා කිරීම අවශ්‍ය වේ. ඇත්තෙන්ම යාච්ඤාව යනු අද්විතීය වරප්‍රසාදයකි. යම් ගැඹුරු විෂයක් අළලා ලියවී තිබෙන පොතක් පරිශීලනය කිරීමට කලින්, කියවන දේ තේරුම්ගැනීමට උපකාරයක් වශයෙන් එම පොතෙහි කර්තෘගෙන් යම් මඟ පෙන්වීමක් ලැබේ නම් එය කොතරම් ප්‍රයෝජනදායක දෙයක් විය හැකිද! බයිබලයේ කර්තෘ වන යෙහෝවා ඔබට එම වරප්‍රසාදය ලබා දෙයි. මුල් සියවසේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් තම සහෝදරයන්ට මෙසේ ලියමින් එය පැහැදිලි කළේය. “නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ [දෙවිගෙන්] ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ. නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා.” (යාකොබ් 1:5, 6) ඒ හා සමානව නවීන දින පාලක මණ්ඩලය අපට නොකඩවා අවවාද කරන්නේ යාච්ඤාපූර්වකව බයිබලය කියවීමෙහි නිරත වීමටය.

15 ප්‍රඥාව යනු දැනුම ප්‍රායෝගිකව අදාළ කරගැනීමට තිබෙන හැකියාවය. එමනිසා ඔබේ බයිබලය විවෘත කිරීමට පෙර, කියවන විට ඔබේ පෞද්ගලික ජීවිතයට අදාළ කරගත යුතු කාරණා හඳුනාගැනීමට යෙහෝවාගෙන් උපකාර ඉල්ලා යාච්ඤා කරන්න. කලින් ඔබට තිබුණු දැනුම සමඟ ඉගෙනගත් අලුත් දේවල් සසඳා බලන්න. මෙමගින් කාලයත් සමඟ ඔබ හඳුනාගත් “සාර වූ වචනවල රටාව” සමඟ ඒවා ගළපාගත හැකියි. (2 තිමෝති 1:13NW) යෙහෝවාගේ අතීත සේවකයන්ගේ ජීවිතවල යම් යම් සිද්ධීන් ගැන මෙනෙහි කර, ඒ හා සමාන තත්වයන්වලදී ඔබ කෙසේ ක්‍රියා කරනු ඇද්දැයි ඔබෙන්ම අසන්න.—උත්පත්ති 39:7-9; දානියෙල් 3:3-6, 16-18; ක්‍රියා 4:18-20.

16. අපගේ බයිබල් කියවීමෙන් වැඩි ප්‍රයෝජන සහ ප්‍රතිඵල ලබාගැනීමට දී ඇති ප්‍රායෝගික යෝජනා සමහරක් විස්තර කරන්න.

16 නිකම්ම පිටු ආවරණය කිරීමේ අරමුණෙන් නොකියවන්න. කියවීමට කාලය ගන්න. කියවන දේ ගැන ගැඹුරින් සිතා බලන්න. යම් කාරණයකට ඔබේ අවධානය යොමු වූ විගස, ඔබේ බයිබලයෙහි හරස් සටහන් ඇත්නම් ඒවා බලන්න. කාරණය තවමත් පැහැදිලි නැත්නම්, පසු අවස්ථාවක අමතර පර්යේෂණ කිරීමට අමතක නොකරන්න. කියවද්දී, විශේෂයෙන්ම මතක තබාගැනීමට අවශ්‍ය පද සටහන් කරන්න, නැත්නම් පොතක ඒවා ලියාගන්න. මීට අමතරව බයිබලයේ පිටුවල දෙපැත්තේ ඇති හිස් තීරුවල අමතර සටහන් සහ අදාළ වෙනත් බයිබල් පදද ඇතුළත් කළ හැක. ඔබේ දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ වැඩයට ඉදිරියේදී ප්‍රයෝජනවත් විය හැකියයි සිතන පදවල ප්‍රධාන වචනය සටහන් කර, ඔබේ බයිබලයේ පිටුපස තේමා පටුනක් හෝ සමපද අකාරාදියක් ඇත්නම්, එය සෝදිසි කර බලන්න. b

බයිබල් කියවීමෙන් ප්‍රීතිය ලබන්න

17. බයිබලය කියවීම අප ප්‍රීතියක් ලෙස සැලකිය යුත්තේ මන්ද?

17 ‘යෙහෝවාගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීති වන්නාවූ, ඔහුගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහි කරන්නාවූ’ ප්‍රීතිමත් මනුෂ්‍යයෙකු ගැන ගීතිකාකරු කතා කළේය. (ගීතාවලිය 1:2) අපගේ බයිබල් කියවීමද අකමැත්තෙන් කරන යමක් නොව සැබෑ ප්‍රීතියක් ලබන දෙයක් විය යුතුය. අප ඉගෙනගන්නා දේවල් කොතරම් වටිනවාද යන්න නිතරම මනසෙහි තබාගන්නවා නම්, එය ප්‍රීතිමත් අවස්ථාවක් කරගත හැකිය. ප්‍රඥාවන්ත සාලමොන් රජ ලීවේ මෙසේය. “ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයා . . . [වාසනාවන්තය]. ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය, ඇගේ සියලුම මාවත් සමාදානයය. ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය.” (හිතෝපදේශ 3:13, 17, 18) ප්‍රඥාව ලබාගැනීමට දරන වෑයම අපතේ නොයන බව ස්ථිරය. මන්ද ඇගේ මාර්ග ප්‍රසන්නය. ඉන් සමාදානය, සන්තෝෂය සහ අන්තිමේදී ජීවනය ලැබෙන්නේය.

18. බයිබලය කියවීමට අමතරව අවශ්‍ය වන්නේ කුමක්ද? මීළඟ ලිපියෙහි අප සලකා බලන්නේ කුමක්ද?

18 බයිබලය කියවීම ප්‍රයෝජනදායක මෙන්ම ප්‍රීතියට හේතුවක් බව මනාව පැහැදිලිය. එනමුත් එසේ කිරීම පමණක් සෑහේද? සියවස් ගණනාවක් පුරා බයිබලය කියවා ඇති ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි සාමාජිකයන්ට “නිතර ඉගෙනගන්න නුමුත් කිසිකලකත් සත්‍යය දැනගැනීමට පැමිණෙන්ට බැරි” වී ඇත. (2 තිමෝති 3:7) බයිබලය කියවීමෙන් නියම ප්‍රතිඵල ලබාගැනීමට නම්, අප එහි නිරත විය යුත්තේ ඉන් ලබන දැනුම අපගේ පෞද්ගලික ජීවිතයට අදාළ කරගෙන, අපගේ දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ වැඩයට යොදාගැනීමේ අටියෙනි. (මතෙව් 24:14; 28:19, 20) මේ සඳහා වෑයම සහ අධ්‍යයනය කිරීමේදී හොඳ ක්‍රම භාවිත කිරීම අවශ්‍යය. මෙයින් ඉමහත් ප්‍රීතියක් සහ ප්‍රයෝජන නෙළාගත හැකි ආකාරය අපි මීළඟ ලිපිය තුළින් සලකා බලමු.

[පාදසටහන්වල]

a Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—දේවරාජ්‍යයේ ප්‍රකාශකයෝ (ඉංග්‍රීසියෙන්), 241වන පිටුව බලන්න.

b මුරටැඹ 1995 මැයි 1 16-17 පිටුවල “ඔබේ බයිබල් කියවීම දියුණු කිරීමට යෝජනා” යන කොටස බලන්න.

පුනරීක්ෂණය සඳහා ප්‍රශ්න

• ඉශ්‍රායෙල්හි රජවරුන්ට දුන් කුමන උපදෙස අදදින අවේක්ෂකයන්ට අදාළ වේද? ඒ මන්ද?

• අදදින “විදේශීන්” සහ ‘බාලයන්ගෙන්’ නිරූපණය වන්නේ කවුරුන්ද? ඔවුන් දිනපතා බයිබලය කියවිය යුත්තේ මන්ද?

• නිතිපතා බයිබලය කියවීමට අත්වැලක් වශයෙන් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” අපට හඳුන්වා දී තිබෙන ප්‍රායෝගික ක්‍රම මොනවාද?

• අපගේ බයිබල් කියවීමෙන් සැබෑ ප්‍රයෝජන සහ ප්‍රීතිය නෙළාගත හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

දිනපතා බයිබලය කියවීම විශේෂයෙන්ම වැඩිමහල්ලන්ගෙන් අපේක්ෂා කෙරේ

[10වන පිටුවේ පින්තූරය]

සිනගෝගයේ ශුද්ධ ලියවිල්ල කියවද්දී යේසුස් පුරුද්දක් වශයෙන් ඊට සහභාගි විය