Skip to content

පටුනට යන්න

සදාකාලික සන්තෝෂය—කොතැනකදීද?

සදාකාලික සන්තෝෂය—කොතැනකදීද?

සදාකාලික සන්තෝෂයකොතැනකදීද?

ඔබේ සන්තෝෂය මූලිකව රඳා පවතින්නේ ඔබ ජීවත් වන ස්ථානය මතද? යහපත් සෞඛ්‍යයක්, ජීවිතයට හොඳ අරමුණක් හා අන්‍යයන් සමඟ සුහද සබඳතාවක් භුක්ති විඳීම වැනි කාරණා සන්තෝෂය සඳහා ඊටත් වඩා දායක වන බව බොහෝදෙනෙක් පිළිගනිති. බයිබල් හිතෝපදේශයක එම අදහස මෙසේ පැහැදිලි කර තිබේ. “වෛරය ඇතුව තර ගොනෙකුගේ මසට වඩා ප්‍රේමය ඇතුව පලා කෑම හොඳය.”—හිතෝපදේශ 15:17.

කනගාටුදායක ලෙස, අපේ පෘථිවි ග්‍රහයා තුළ ඉතිහාසය පුරාම වෛරය, සැහැසියාව හා වෙනත් ආකාරයේ දුෂ්ටකම් පැවතී ඇත. එමනිසා බොහෝදෙනෙකු විශ්වාස කරන්නේ මිය යෑමෙන් පසුව ඔවුන්ට ස්වර්ගයේ නැත්නම් ආත්ම විෂයේ වඩාත් හොඳ ජීවිතයක් බලාපොරොත්තු විය හැකි බවයි. එවැනි විශ්වාසයක් ගැන කුමක් කිව හැකිද? බොහෝදෙනෙකුගේ විශ්වාසයට අනුව, ස්වර්ගය සැමදා ගැටලුවලින් තොර සාමකාමී හා ප්‍රීතිමත් ස්ථානයක් වූවාද?

දෙවි, දේවදූතයන් වශයෙන් හඳුන්වන තම ආත්ම මැවිලි මිලියන ගණනක් සමඟ ස්වර්ගයේ වෙසෙන බව බයිබලයේ පවසා ඇත. (මතෙව් 18:10; එළිදරව් 5:11) ඔවුන්ව ආත්ම විෂයේ සිටින ‘දෙවිගේ පුත්‍රයන්’ වශයෙන්ද හඳුන්වා ඇත. (යෝබ් 38:4, 7) මනුෂ්‍යයන්ට මෙන් දේවදූතයන්ටද දෙවි නිදහස් කැමැත්ත දී තිබේ. ඔවුන් ක්‍රියා කරන්නේ රොබෝවරුන් මෙන් නොවේ. එමනිසා, ඔවුන්ටද හරි දේ කිරීම හෝ වැරදි දේ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික තීරණයක් ගත හැක. නමුත් දේවදූතයන් වැරදි දේ කිරීමට තීරණය කරාවිද? වසර දහස් ගණනකට පෙර දේවදූතයන් විශාල පිරිසක් දෙවිට විරුද්ධව කැරලිගසා පව් කළ බව දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් විය හැක.—යූද් 6.

ස්වර්ගයේ කැරැල්ලක්

ආත්ම විෂයට පාපය යනුවෙන් හඳුන්වන දෙය ඇතුල් වූයේ එක් දේවදූතයෙකුගේ කැරලිගැසීම හේතුවෙනි. පසුව ඔහුට සාතන් (විරුද්ධකාරයා) නමැති යක්ෂයා (අපහාස කරන්නා) යන නම ලැබිණ. එම දේවදූතයා කාලයක් කීකරුව දෙවිට සේවය කළත්, පසුව ස්ව කැමැත්තෙන්ම වැරදි දේ කිරීමට තීරණය කළේය. ඉන් අනතුරුව ඔහු වෙනත් දේවදූතයන්ගේ මනස් දූෂ්‍ය කිරීමට පටන්ගත්තේය. නෝවාගේ කාලයේ ජලගැල්ම සිදුවීමට පෙර සාතන් දෙවිට විරුද්ධව දියත් කළ කැරැල්ලට තවත් දේවදූතයන් විශාල සංඛ්‍යාවක් එකතු විය.—උත්පත්ති 6:2NW පාදසටහන; 2 පේතෘස් 2:4.

පාපයට වැටුණු එම දේවදූතයන්ව එක විගසම ස්වර්ගයෙන් ඉවත් කළේ නැත. ඔවුන්ට යම් සීමාවන් පනවා තිබුණත්, වසර දහස් ගණනාවක් පුරා ඔවුන්ට ස්වර්ගයට ඇතුල් වීමට ඉඩහැර තිබිණ. a නමුත් නියමිත කාලය පැමිණි විගසම දෙවි එම දුෂ්ට ආත්ම ජීවීන්ව ස්වර්ගයෙන් පොළොවට ‘හෙළනු ලැබූ’ අතර, ඒ සමඟම “ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න” යනුවෙන් ස්වර්ගයෙන් හඬක් නික්මුණේය. අවසානයේදී ඔවුන්ට අත් වන්නේ විනාශයයි. (එළිදරව් 12:7-12) එම දුෂ්ට කැරලිකාරයන්ව ස්වර්ගයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විශ්වාසවන්ත දේවදූතයන් කොතරම් ප්‍රීති වුණාද කියා මින් පැහැදිලියි.

සාමාන්‍යයෙන් ජනයා නොදන්නා මෙම තොරතුරු සලකා බැලීමෙන් අපට පෙනී යන්නේ කුමක්ද? දෙවිගේ ප්‍රඥාවන්ත මැවිලි ඔහුගේ නීති හා ප්‍රතිපත්ති පසෙක දමන සැමවිටකම සැබෑ සාමය ඔවුන්ගෙන් ගිලිහී යන බවයි. (යෙසායා 57:20, 21; යෙරෙමියා 14:19, 20) ඊට වෙනස්ව, සියලුදෙනාම දෙවිගේ නීතිවලට කීකරුව සිටින විට සාමය හා නිශ්චලත්වය රජයයි. (ගීතාවලිය 119:165; යෙසායා 48:17, 18) එසේ නම්, සෑම මනුෂ්‍යයෙක්ම දෙවිගේ නීති කෙරෙහි ඇල්මක් වර්ධනය කරගනිමින් ඒවාට කීකරු වෙනවා නම් සහ එකිනෙකාට ප්‍රේම කරනවා නම් මෙම පෘථිවිය සතුටින් පිරි වාසස්ථානයක් නොවනු ඇද්ද? එසේ වන බවට බයිබලය තහවුරු කරයි.

ආත්මාර්ථකාමී ලෙස තම දුෂ්ට මාර්ගවල දිගටම ගමන් කරන ජනයා ගැන කුමක් කිව හැකිද? ඔවුන් දෙවිගේ කැමැත්ත කිරීමට අවංක වෑයමක් දරන ජනයාගේ සාමයට සෑමදාම තර්ජනයක් එල්ල කරාවිද? දෙවි දිගටම එසේ කිරීමට කොහෙත්ම ඉඩ දෙන්නේ නැත. ඔහු ස්වර්ගයේ සිටි දුෂ්ට ආත්ම ජීවීන්ට දඬුවම් කළාක් මෙන් පොළොවේ සිටින දුෂ්ට ජනයාටත් නිසි විපාක ලබා දෙයි.

පවිත්‍ර කරන ලද ලොවක්

“අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය” කියා දෙවි පවසා ඇත. (යෙසායා 66:1) ශුද්ධකමේ උල්පත වන දෙවි සදාකාලයටම තම “පාපුටුව” දුෂ්ටකමෙන් පිරිහීමට ඉඩ නොදෙයි. (යෙසායා 6:1-3; එළිදරව් 4:8) ඔහු ස්වර්ගයෙන් දුෂ්ට ආත්ම සම්පූර්ණයෙන්ම ඉවත් කළාක් මෙන් පොළොවෙන්ද දුෂ්ට ජනයාව තුරන් කරන බව නිසැකයි. පහත සඳහන් බයිබල් පාඨ ඒ සඳහා සාක්ෂි සපයයි.

“නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. නුමුත් [යෙහෝවා] කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුමකරගන්නෝය.”—ගීතාවලිය 37:9.

“අවංක අයවල් දේශයෙහි වාසයකරන්නෝය. නිර්දෝෂ අයවල්ද එහි නැවතී සිටින්නෝය. නුමුත් දුර්ජනයෝ දේශයෙන් සිඳදමනු ලබන්නෝය, ද්‍රෝහිකම්කරන්නෝද එයින් උදුරාදමනු ලබන්නෝය.”—හිතෝපදේශ 2:21, 22.

‘ස්වාමි වූ යේසුස් තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව් වී, දෙවි නාඳුනන්නන්ටත් අපගේ ස්වාමි වූ යේසුස්ගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල, නුඹලාට දුක්දෙන්නන්ට දුකද දුක් විඳින නුඹලාට අප සමඟ සහනයද දීම දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ වූ කාරණයක්ය. ඒ [දුෂ්ට] තැනැත්තෝ ඔහුගේ අභිමුඛයෙන්ද ඔහුගේ බලයේ තේජස ඉදිරියෙන්ද සදාකාල විනාශයේ දඬුවම විඳින්නෝය.’—2 තෙසලෝනික 1:6-8, 10.

දුෂ්ට මනුෂ්‍යයන්ගෙන් සමන්විත ‘ලෝකයත් එහි තෘෂ්ණාවත් පහව යන්නේය. නමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.’—1 යොහන් 2:17.

සාමය සැමදා පවතීවිද?

දෙවි දුෂ්ටකම සැමදා පැවතීමට ඉඩ නොදෙන බව ශුද්ධ ලියවිල්ලේ පැහැදිලි කර දී තිබුණත්, එය තුරන් කළ පසු යළි මතු නොවෙයි කියා අපට සහතික විය හැක්කේ කෙසේද? නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්මෙන් පසුව දුෂ්ටකම කොතරම් පැතිරුණාද කිවහොත් මිනිසාගේ දුෂ්ට කුමන්ත්‍රණ අසාර්ථක කිරීම සඳහා දෙවිට ඔවුන්ගේ භාෂාව අවුල් කිරීමට පවා සිදු විය. එවැනි දෙයක් නැවත සිදු විය නොහැකිද?—උත්පත්ති 11:1-8.

ජලගැල්මෙන් පසුව පොළොව පාලනය කරනු ලැබුවේ මිනිසා විසිනි. නමුත් ඉදිරියේදී එය පාලනය කරන්නේ දෙවි විසිනි. මෙය දුෂ්ටකම නැවත මතු නොවන බවට අපට තිබෙන ප්‍රබලතම සාක්ෂියයි. දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ සිට මෙම පොළොව පාලනය කිරීමට යන අතර, වෙන කිසිම පාලන ක්‍රමයක් පවතින්න යන්නේ නැත. (දානියෙල් 2:44, 45ආ; 7:13, 14) දුෂ්ටකමට නැඹුරුවාවක් දක්වන කිසිම කෙනෙකු සාර්ථක නොවන්නේ දේවරාජ්‍යය එවැනි අයට එරෙහිව ඉක්මන් පියවර ගන්නා නිසයි. (යෙසායා 65:20) එපමණක්ද නොවේ, දුෂ්ටකමේ උල්පත වන සාතන් නමැති යක්ෂයාව හා ඔහුගේ අනුගාමිකයන් වන දුෂ්ට ආත්ම ජීවීන්ව පවා ඒ ආණ්ඩුව මගින් විනාශ කෙරේ.—රෝම 16:20.

අදදින ආහාර, ඇඳුම් පැළඳුම්, රැකියා හෝ නිවාස නොමැති ඇතමෙක් තම අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා අපරාධ කිරීමට පෙලඹෙති. නමුත් මුළු පොළොවම සෞභාග්‍යමත් පාරාදීසයක් බවට පත් වන නිසා ජනයාට එවැනි දේවල් ගැන කරදර වීමට අවශ්‍යතාවක් පැනනඟින්නේ නැත. එදින දෙවි සියලුදෙනාගේම අවශ්‍යතා සපුරාලයි.—යෙසායා 65:21-23; ලූක් 23:43.

දේවරාජ්‍යය මගින් ඉටු කරන වඩාත් වැදගත් දෙයක් වන්නේ, එහි යටත්වැසියන්ට සාමකාමී ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳව අධ්‍යාපනයක් ලබා දීම හා ඔවුන්ව මිනිස් පරිපූර්ණත්වය කරා ගෙන ඒමයි. (යොහන් 17:3; රෝම 8:21) එතැන් පටන් මිනිසාට දුර්වලකම් හා අසම්පූර්ණ නැඹුරුවාවන් සමඟ පොරබදින්න අවශ්‍ය වන්නේ නැත. ඉන්පසු පරිපූර්ණ මිනිසා වූ යේසුස් මෙන් දෙවිට පරිපූර්ණ ලෙස කීකරු වීමට ඔවුන්ට හැකි වන අතර ඔවුන්ට ඉමහත් සතුටක් අත් කරගත හැක. (යෙසායා 11:3) ඇත්තෙන්ම යේසුස් දෙවිට පක්ෂපාතව සිටියේ දරුණුතම ආකාරයේ පරීක්ෂා හා වද හිංසා යටතේදීය. නමුත් පාරාදීස පොළොවේදී එවැනි දේවල් කිසිදා අද්දැකීමට සිදු නොවේ.—හෙබ්‍රෙව් 7:26.

ඇතමෙකුට ස්වර්ගික ජීවිතයක්—මන්ද?

ඔබ බයිබලය කියවා ඇත්නම්, ‘මාගේ පියාගේ ගෘහයෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය. නුඹලාට ස්ථානයක් පිළියෙළ කරන පිණිස යමි’ යන යේසුස්ගේ වදන් ඔබ සමහරවිට අසා තිබෙනවා විය හැක. (යොහන් 14:2, 3) මෙය භූමික පාරාදීසයක් මත සදාකාල ජීවනය ලබාගැනීම පිළිබඳ අදහසට පටහැනිව දිව යනවාද?

මෙම ඉගැන්වීමි දෙක පරස්පර විරෝධී වනවා වෙනුවට එකකින් අනික තහවුරු වේ. බයිබලයට අනුව, ස්වර්ගික නැවත නැඟිටීමක් ලබා එහි ආත්ම ජීවීන් හැටියට වාසය කිරීමට යන්නේ විශ්වාසවන්ත ක්‍රිස්තියානීන් සීමිත සංඛ්‍යාවක් වන 1,44,000දෙනෙකු පමණක් වන බව මෙහිදී අප මුලින්ම සඳහන් කළ යුතුයි. ඔවුන්ට මෙම මවිතකර බලාපොරොත්තුව දී තිබෙන්නේ මන්ද? ප්‍රේරිත යොහන් දර්ශනයකින් දුටු ලෙස ‘නැවත ජීවනයට පැමිණ ක්‍රිස්තුස් සමඟ අවුරුදු දහසක් රජකම් කිරීම’ සඳහායි. (එළිදරව් 14:1, 3; 20:4-6) පොළොවේ ජීවත් වීමට යන බිලියන ගණන් ජනයා සමඟ සැසඳූ විට 1,44,000 ඇත්තෙන්ම ‘කුඩා රැළක්’ බව පැහැදිලිය. (ලූක් 12:32) තවද යේසුස් මෙන් ඔවුන්ද වරක් මෙලොවේ ජීවත්ව සිට මනුෂ්‍යයන් පොදුවේ අද්දකින ප්‍රශ්න ගැටලුවලට මුහුණ දී ඇති බැවින් “අපේ දුර්වලකම්වලදී අපේ දුක” තේරුම්ගැනීමට ඔවුන්ට හැකි වෙයි. ඒ වන විට, මිනිස්වර්ගයාව පරිපූර්ණත්වය කරා ගෙන ඒම හා පොළොව ප්‍රතිසංස්කරණය කිරීම අධීක්ෂණය කිරීමට ඔවුන් සුදුසුකම් ලබා තිබෙයි.—හෙබ්‍රෙව් 4:15.

පොළොව—මිනිසාගේ සදාකාලික වාසස්ථානය වන කල

අවුරුදු 2,000කට පමණ කලින් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මිදීමේ මිලය සැපයීමත් සමඟම දෙවි 1,44,000දෙනා එක්රැස් කිරීමට පටන්ගත්තේය. එම එක්රැස් කිරීම දැන් අවසන් වී ඇති බවට ලකුණු පෙනෙන්න තිබේ. (ක්‍රියා 2:1-4; ගලාති 4:4-7) නමුත් යේසුස්ගේ පූජාවෙන් ප්‍රයෝජන ලබන්නේ 1,44,000දෙනා පමණක් නොවේ. එය “මුළු ලෝකයාත් උදෙසාය.” (1 යොහන් 2:2) එමනිසා යේසුස් කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කරන කවරෙකුට වුණත් සදාකාල ජීවනය අපේක්ෂා කළ හැක. (යොහන් 3:16) මරණ නින්දේ සැතපී සිටින අය අතුරින් දෙවිගේ මතකයේ සිටින අයට නැවත නැඟිටීමක් ලැබේ. එසේ නැඟිටුවන්නේ ස්වර්ගයේ ජීවත් වීම සඳහා නොව, නමුත් පවිත්‍ර කරන ලද පොළොවක ජීවත් වීම සඳහාය. (දේශනාකාරයා 9:5; යොහන් 11:11-13, 25; ක්‍රියා 24:15) නැවත නැඟිටුවීමෙන් පසුව ඔවුන්ට බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද?

එළිදරව් 21:1-4හි අපට පිළිතුරු සපයන්නේ, ‘මෙන්න, දෙවිගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය’ කියාය. (අකුරු ඇල කළේ අපය.) මේ ගැන කල්පනා කර බලන්න. මරණයෙන් හා එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන වැලපීමෙන් හා වේදනාවෙන් සදාකාලයටම නිදහසක්! පොළොව සඳහාත් මනුෂ්‍යවර්ගයා සඳහාත් වූ යෙහෝවාගේ මුල් අරමුණ මවිතාකාර ලෙස ඉටු වෙයි.—උත්පත්ති 1:27, 28.

මරණයද ජීවනයද—තේරීම ඔබ සතුයි

ආදම් සහ ඒවට ස්වර්ගයට යෑමේ බලාපොරොත්තුවක් කිසිදාක දී තිබුණේ නැත. ඔවුන් ඉදිරියේ තිබුණේ, දෙවිට කීකරු වෙමින් පාරාදීස පොළොවක් මත සදාකාලිකව ජීවත් වෙනවාද නැතහොත් දෙවිට අකීකරු වී මිය යනවාද යන තේරීම් දෙක පමණි. ඔවුහු අකීකරු වීමට තීරණය කළ නිසා නැවතත් භූමියේ “දූවිල්ලට” හැරී ගියහ. (උත්පත්ති 2:16, 17; 3:2-5, 19) මිනිස් පවුල මිය ගොස් ස්වර්ගයට යෑම දෙවි කිසිවිටකවත් අරමුණු කළේ නැත. ස්වර්ගයේ ජීවත් වීම සඳහා දෙවි දූතයන් මැව්වේය. මොවුන් මිය ගොස් ස්වර්ගික නැවත නැඟිටීමක් ලැබූ මනුෂ්‍යයන් නොවේ.—ගීතාවලිය 104:1, 4; දානියෙල් 7:10.

පාරාදීස පොළොව මත සදාකාල ජීවනය භුක්ති විඳින්න නම් අප කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා අප ගත යුතු මුල්ම පියවර නම් දෙවිගේ වචනය වන ශුද්ධ බයිබලය අධ්‍යයනය කිරීමයි. ඊට එකඟව, “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය. එනම් එකම සැබෑ දෙවි වන ඔබ ගැන සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැන ඔවුන් විසින් දැනුම ලබාගැනීමය” කියා යේසුස් තම යාච්ඤාවේදී පැවසුවේය.—යොහන් 17:3NW.

එම දැනුම ක්‍රියාවට නැංවීම, පාරාදීස පොළොවේ සදාකාල ජීවනය ලබාගැනීම උදෙසා ගත යුතු ඊළඟ පියවරයි. (යාකොබ් 1:22-24) දෙවිගේ වචනයට අනුව ජීවත් වන ජනයාගේ ඇස් පනාපිටම අනාවැකි රැසක්ම ඉටු වන විට ඔවුන්ගේ හදවත් ප්‍රීතියෙන් උතුරා යයි. යෙසායා 11:9හි එවැනි අනාවැකියක් සඳහන් වේ. එහි මෙසේ පවසා ඇත. මනුෂ්‍යවර්ගයා විසින් ‘මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් සිදු නොකරන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන්, යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරී යන්නේය.’ (අකුරු ඇල කළේ අපය.)

[පාදසටහන]

a දෙවි ස්වර්ගයේ හා පොළොවේ දුෂ්ටකම පැවතීමට ඉඩ දී තිබෙන්නේ මන්ද කියා දැනගැනීම සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති ප්‍රකාශනයේ 70-9 පිටු බලන්න.

[7වන පිටුවේ පින්තූර]

“ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:29