Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්, රුධිරය පාවිච්චි කළ යුතු ආකාරය ගැන සඳහන් බයිබල් ආඥා පිළිබඳව තමා සතු අවබෝධයට අනුව, තම රුධිරය පරිහරණය කිරීම සැලකිය යුත්තේ කෙසේද?

එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික කැමැත්ත මත කෙරෙන්නක් නැතහොත් වෛද්‍යවරයෙකු නිර්දේශ කළ යුත්තක් කියා තීරණය කරනවා වෙනුවට, සෑම ක්‍රිස්තියානිවරයෙක්ම ඒ ගැන බයිබලය කියන්නේ කුමක්ද කියා බැරෑරුම් ලෙස සලකා බැලීම වැදගත්. මන්ද එය යෙහෝවාත් ඒ පුද්ගලයාත් අතර පවතින කාරණයක්.

යෙහෝවා අපේ ජීවිතවල අයිතිකරුවා හැටියට ලේ ශරීරගත නොකරන ලෙස අපිට ආඥා කර තිබෙනවා. (උත්පත්ති 9:3, 4) පුරාණයේ ඉශ්‍රායෙල්වරුන්ට දුන් ව්‍යවස්ථාවේ ලේ පරිහරණය කිරීම සම්බන්ධයෙන් සීමා පනවා තිබුණේ එමගින් ජීවිතය නියෝජනය වන නිසයි. දෙවි මෙසේ පැවසුවා. “මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය. මම එය නුඹලාගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමගිකමක් කරන පිණිස නුඹලාට නියම කෙළෙමි. . . . එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසාය.” එහෙත් යමෙක් ආහාරය පිණිස සතෙකු මැරුවොත්? එවිට “ඔහු උගේ ලේ වගුරුවා එය පස්වලින් වසා දැමිය යුතුය” කියා දෙවි ආඥා කළා. * (ලෙවී කථාව 17:11, 13) දෙවි මේ ආඥාව නැවත නැවතත් මතක් කර දුන්නා. (ද්විතීය කථාව 12:16, 24; 15:23) යුදෙව් සොන්සීනෝ කූමාෂ්හි මෙසේ සඳහන් කරනවා. “ලේ ගබඩා නොකළ යුතු වූ අතර, එය පොළොවට හළා දැමීමෙන් පාවිච්චියට ගත නොහැකි තත්වයකට පත් කළා.” ජීවිතය අයිති දෙවිට නිසා ඉශ්‍රායෙල්හි සිටි කිසිම කෙනෙකු වෙනත් ජීවියෙකුගේ ලේ තමන් සන්තකයේ තබාගැනීම, ගබඩා කිරීම හෝ පාවිච්චි කිරීම තහනම් කර තිබුණා.

මෙසියස්ගේ මරණයත් සමඟම මෝසෙස්ගේ ව්‍යවස්ථාව රැකීමේ අවශ්‍යතාව නැති වී ගියා. එහෙත්, ලෙයෙහි පරිශුද්ධභාවය සම්බන්ධයෙන් තිබෙන දෙවිගේ දෘෂ්ටිය ඒ හේතුවෙන් වෙනස් වෙන්නේ නැහැ. දෙවිගේ ශුද්ධාත්මයෙන් මඟ පෙන්වීම ලැබූ ප්‍රේරිතයන් ක්‍රිස්තියානීන්ට පැවසුවේ ‘ලෙයින් වැළකී සිටින්න’ කියායි. ඒ ආඥාව සැහැල්ලුවට නොගත යුතු එකක් වුණා. මන්ද එය ලිංගික දුරාචාරයෙන් සහ රූප වන්දනාවෙන් වැළකී සිටීමට සදාචාරමය වශයෙන් ගන්නා උත්සාහය තරම්ම වැදගත් එකක් වූ නිසායි. (ක්‍රියා 15:28, 29; 21:25) ලේ දන් දීම සහ රුධිර පාරවිලයනය හෙවත් ලේ ශරීරගත කිරීම විසිවන සියවසේ සාමාන්‍ය දෙයක් බවට පත් වූ විට, එම ක්‍රියාව දෙවිගේ වචනය හා ගැටෙන බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් වටහාගත්තා. *

ශල්‍ය කර්මයක් කිරීමට සති කිහිපයකට පෙර රෝගියාගේම ලේ ගබඩා කර තැබීමට සමහර වෛද්‍යවරුන් රෝගීන්ගෙන් ඉල්ලා සිටිනවා. (පූර්ව ශල්‍ය ස්වයංවිද රුධිර ගබඩාව හෙවත් PAD) එසේ කරන්නේ අවශ්‍යතාවක් පැනනැඟුණොත් ගබඩා කර ඇති රෝගියාගේ ලේ ඔහුගේම ශරීරයට නැවත ඇතුල් කිරීමේ අරමුණෙන්. කෙසේවෙතත්, ඒ ආකාරයට ලේ එකතු කිරීම, ගබඩා කිරීම සහ ශරීරගත කිරීම ලෙවී කථාව සහ ද්විතීය කථාව යන පොත්වල සඳහන් දෙයට කෙළින්ම විරුද්ධයි. එහි පවසා ඇති ආකාරයට ලේ ගබඩා නොකළ යුතුයි. ඒ වෙනුවට එය පොළොවට හැළිය යුතුයි. වෙනත් ආකාරයකට කිවහොත් දෙවිගේ දේ නැවත දෙවිට දිය යුතුයි. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැන් ක්‍රියාත්මක නොවන බව ඇත්තයි. කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් එම ව්‍යවස්ථාවේ දෙවි සඳහන් කළ ප්‍රතිපත්තිවලට තවමත් ගරු කරනවා. ඒ නිසා, ‘ලෙයින් වැළකී සිටීමට’ ඔවුන් අධිෂ්ඨාන කරගෙන සිටිනවා. මේ අනුව, අපි ‘භූමියට හැළිය යුතු’ ලේ දන් දෙන්නේවත්, ශරීරගත කිරීම සඳහා ගබඩා කර තබන්නේවත් නැහැ. ඊට හේතුව නම් එම ක්‍රියාව දෙවිගේ ව්‍යවස්ථාව හා ගැටීමයි.

දෙවි සඳහන් කර ඇති ප්‍රතිපත්ති හා කෙළින්ම නොගැටෙන, ලේ සම්බන්ධයෙන් ගත හැකි වෙනත් ආකාරයේ ක්‍රියාමාර්ග සහ කළ හැකි වෙනත් පරීක්ෂණද තිබෙනවා. උදාහරණයක් හැටියට, බොහෝ ක්‍රිස්තියානීන් එවැනි පරීක්ෂණ හෝ විශ්ලේෂණවලට මුහුණ දීමෙන් පසුව ඒ සඳහා යොදාගත් ලේ සාම්පලය විසි කර දැමීමට ඉඩහැර තිබෙනවා. එහෙත් වෙනත් ආකාරයේ සංකීර්ණ පියවර ගැනීමේදී එම ලේ නැවතත් ශරීරගත කිරීමට වෛද්‍යවරු යෝජනා කළ හැකියි.

උදාහරණයක් වශයෙන්, සමහර ශල්‍ය කර්මවලදී යම් රුධිර ප්‍රමාණයක් එහි නියමිත ගමන් මඟෙන් වෙනතකට යොමු කරනවා. මෙම ක්‍රියාවලිය හඳුන්වන්නේ රුධිර තනුකකරණය (හීමඩයලූෂන්) කියායි. එමගින් රෝගියාගේ ශරීරයේ තිබෙන ලේවල තනුක හෙවත් උකු ගතිය අඩු කෙරෙනවා. පසුව බාහිර පරිපථයකට යැවූ ඔහුගේ ලේ නැවත ඔහුගේම ශරීරය වෙතට ගෙන එනවා. මේ අනුව, ඔහුගේ රුධිර ගණනය (බ්ලඩ් කවුන්ට්) යථා තත්වය කරා ළඟා කිරීමට හැකියාවක් ලැබෙනවා. ඒ හා සමානව, තුවාලයකින් ගලා යන ලේ එකතු කර එහි අඩංගු රතු රුධිරාණු නැවත රෝගියාගේ සිරුර තුළට යැවීමේ ක්‍රමයක්ද තිබෙනවා. එය සෛල මුදාගැනීම (සෙල් සැල්වේජ්) ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් ශරීරයේ ඉන්ද්‍රියයන් (හෘදය, පෙණහලු හෝ වකුගඩු නිදසුන් ලෙස දැක්විය හැකියි) මගින් ලේ සම්බන්ධයෙන් සිදු කරන කාර්යයන් තාවකාලිකව යන්ත්‍රයකට පවරා පසුව එම යන්ත්‍රයේ සිට නැවත රෝගියා වෙතට රුධිරය ප්‍රවාහණය කිරීමේ ක්‍රියාවලියකුත් තිබෙනවා. වෙනත් පියවරවලදී, කේන්ද්‍ර අපසරණය (සෙන්ට්‍රිෆියුජ්) ලෙස හඳුන්වන උපකරණයක් වෙත ලේ යවනවා. එමගින් ලේවල ඇති හානි වූ හෝ දුර්වල වූ කොටස් ඉවත් කරගත හැකියි. එසේ නැතහොත්, උපකරණය වෙත යැවූ රුධිරයෙන් සමහර රුධිර කොටස් වෙන් කර ඒවා ශරීරයේ වෙනත් ස්ථානයකට එක් කිරීමත් එහි අරමුණ විය හැකියි. රෝගියාගෙන් ලේ සාම්පලයක් ලබාගෙන එයට හඳුනාගැනීමේ ලකුණක් දමන අතර, පසුව එය බෙහෙත් සමඟ මිශ්‍ර කර නැවත එම රෝගියාගේ ශරීරයටම ඇතුල් කිරීමේ පරීක්ෂණයක්ද තිබෙනවා.

මේ පිළිබඳව තිබෙන තොරතුරු එකිනෙකට වෙනස් විය හැකියි. එමෙන්ම, අලුත් ක්‍රියාපිළිවෙත්, ප්‍රතිකාර ක්‍රම සහ පරීක්ෂණ දිනෙන් දින වර්ධනය වන බව නොකිවමනායි. එහෙත් මේ සෑම වෙනස් වීමක්ම සොයා බලා ඒ සම්බන්ධයෙන් තීරණයක් දීම අපේ වගකීම නෙවෙයි. ශල්‍ය කර්මයකදී, වෛද්‍ය පරීක්ෂණයකදී හෝ දැනට සිදු කෙරෙමින් පවතින චිකිත්සාවකදී තමන්ගේ ලේ පාවිච්චි කිරීමට ඉඩ දෙන්නේ කිනම් ආකාරයකටද කියා එක් එක් ක්‍රිස්තියානිවරයා තීරණය කළ යුතුයි. ක්‍රිස්තියානිවරයෙක් තම ලේ සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍යවරයා හෝ රසායනාගාර ශිල්පීන් ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග මොනවාද කියා කල් වේලා ඇතුව දැනගත යුතුයි. ඉන්පසු ඔහු තම හෘදය සාක්ෂියට එකඟව තීරණයක් ගත යුතුයි. (කොටුව බලන්න.)

දෙවිට ‘මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද මුළු ශක්තියෙන්ද මුළු බුද්ධියෙන්ද ප්‍රේම කිරීමට’ ඔවුන්ට තිබෙන වගකීමත් තමන් කර ඇති කැපවීමත්, ක්‍රිස්තියානීන් නිතරම මතකයේ තබාගත යුතුයි. (ලූක් 10:27) ලෝකයේ සිටින බොහෝදෙනෙක් මෙන් නොව, යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවි සමඟ ඇති කරගන්නාවූ යහපත් සබඳතාවක රසය විඳිනවා. ජීවිතයේ උල්පත වන දෙවි අප සැමගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ යේසුස් වැගිරෙවූ රුධිරය කෙරෙහි ඇදහිල්ල තබන ලෙසයි. බයිබලයෙහි අපිට ඒ ගැන කියවීමට තිබෙන්නේ මෙසේයි. ‘යේසුස් ක්‍රිස්තුස් තුළ එනම්, ඔහුගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.’—එපීස 1:7.

[පාදසටහන්වල]

^ 4 ඡේ. මහාචාර්ය ෆ්‍රෑන්ක් එච්. ගෝමන් මෙසේ ලියනවා. “සතෙකුගේ ලේ පොළොවට හැළීම උගේ ජීවිතයට ගෞරවය දැක්වීමක් වුණා. එමෙන්ම ඒ සතාව මවා ඌ කෙරෙහි දිගටම සැලකිල්ල දක්වන දෙවිට ඇති ගෞරවයද ඉන් පිළිබිඹු වුණා.”

^ 5 ඡේ. මේ විෂය පිළිබඳව මූලික කරුණු කිහිපයක් 1951 ජූලි 1වනදා මුරටැඹ (ඉංග්‍රීසියෙන්) කලාපයේ පළ වුණා. ලේ ශරීරගත කිරීම හා දන් දීම නුසුදුසු වන්නේ ඇයි කියා එහි පෙන්නුවා.

[31වන පිටුවේ කොටුව⁄පින්තූර]

මේ ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න

මගේ ලේ ශරීරයෙන් පිටතට ගෙන ‘පොළොවට හළා’ දමන්නේ නැතුව වෙනත් ස්ථානයකට යවා එහි ගලා යෑම ටිකකට කෘත්‍රිම ලෙස නතර කළහොත්, තවදුරටත් එම රුධිරය මගේ ශරීරයේ කොටසක් ලෙස පිළිගැනීමට මම කැමතිද?

රෝග නිශ්චය කිරීමක් හෝ වෙනත් චිකිත්සක ක්‍රියාමාර්ගයක් සඳහා ශරීරයෙන් ඉවතට ගන්නා ලේ අවශ්‍ය වෙනස්කම් සිදු කර, නැවත මගේ ශරීරයට ඇතුල් කිරීමට සිදු වුණොත්, බයිබලය මත පදනම් මගේ හෘදය සාක්ෂිය එමගින් බාධාවට පත් වෙයිද?