Skip to content

පටුනට යන්න

ත්‍යාගශීලිත්වය සතුට ගෙන දෙයි

ත්‍යාගශීලිත්වය සතුට ගෙන දෙයි

ත්‍යාගශීලිත්වය සතුට ගෙන දෙයි

ප්‍රේමනීය ක්‍රිස්තියානි අවේක්ෂකයෙකු වූ ප්‍රේරිත පාවුල් සෙසු ඇදහිලිවන්තයන්ගේ අවශ්‍යතා කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් දැක්වීය. (2 කොරින්ති 11:28) පොදු යුගයේ පළමුවන සියවසේ පනස් ගණන්වල මැද භාගයේදී ඔහු යුදයේ විසූ දිළිඳු ක්‍රිස්තියානීන්ගේ අවශ්‍යතා පිරිමැසීම සඳහා අරමුදලක් පිහිටුවීමට කටයුතු කළේය. ත්‍යාගශීලිභාවයේ තිබෙන වැදගත්කම ගැන ක්‍රිස්තියානීන්ට ඉගැන්වීම සඳහා ඔහු එම අවස්ථාව යොදාගත්තේය. සතුටු සිතින් දීම යෙහෝවා ඉතා අගය කොට සලකන බව අවධාරණය කරමින් ඔහු මෙසේ සඳහන් කළේය. “කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට [දෙවි ප්‍රේම කරයි].”—2 කොරින්ති 9:7.

ඉතා දිළිඳු වුවත් ත්‍යාගශීලීය

පළමු සියවසේ විසූ ක්‍රිස්තියානීන්ගෙන් බොහෝදෙනෙකු එදා පැවති සමාජයේ යමක් කමක් තිබූ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් නොවීය. ඔවුන් අතර ‘බලවත් අය බොහෝදෙනෙකු’ නොසිටි බව පාවුල් සඳහන් කළේය. ඔවුන්ව “ලෝකයේ දුර්වල දේවල්” ලෙස හා “ලෝකයේ . . . සුළුකොට සිතනු ලබන දේවල්” ලෙස සලකන ලදි. (1 කොරින්ති 1:26-28) උදාහරණයක් හැටියට, මකිදෝනියේ සිටි ක්‍රිස්තියානීහු ‘ඉතා දිළිඳු’ අය වූ අතර, “බොහෝ දුක්” වින්දහ. එහෙත් මකිදෝනියේ විසූ එම නිහතමානී ඇදහිලිවන්තයෝ “ශුද්ධවන්තයන්ට උපස්ථානකිරීම” සඳහා මුදලින් සම්මාදම් කිරීමේ වරප්‍රසාදයට තමන්වද හවුල් කරගන්නා මෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටියහ. ඔවුන් ලබා දුන් දේවල් ‘ඔවුන්ගේ පුළුවන්කමේ ප්‍රකාරයටත් වඩා වැඩි’ බව ඔවුන්ගේ තත්වය ගැන හොඳින් දැන සිටි පාවුල්ට නිසැකව පවසන්න හැකි විය.—2 කොරින්ති 8:1-4.

කෙසේවෙතත්, පරිත්‍යාග කරන පුද්ගලයා කොතෙක් දුරට ත්‍යාගශීලීද යන්න පරිත්‍යාග කළ ප්‍රමාණය මත තීරණය නොවීය. වැදගත්ම දෙය වූයේ පෙලඹීම, බෙදා ගැනීමට කැමැත්තෙන් සිටීම හා හෘදයේ තත්වය යනාදියයි. සම්මාදම් දීමේදී, එයට මනස හා හෘදය සම්බන්ධ වන බව පාවුල් කොරින්තියේ විසූ ක්‍රිස්තියානීන්ට පෙන්වා දෙමින් මෙසේ පැවසුවේය. නුඹලා “[මනසින්, NW] සූදානම්ව සිටියායයි මකිදෝනිවරුන්ට නුඹලා ගැන පාරට්ටුකරමි; නුඹලාගේ ජ්වලිතකමින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොලඹවනු ලැබුවෝය.” ඔවුහු නොමසුරු ලෙස දීමට ‘සිතින් නියම කරගත්හ.’—2 කොරින්ති 9:2, 7.

‘ඔවුහු තමුන්ගේ ආත්මයෙන්ම කැමති වූහ’

ප්‍රේරිත පාවුල් ත්‍යාගශීලී වීම ගැන කතා කරන විට, ඔහු ජීවත් වූ කාලයේ සිට සියවස් පහළොවකට වඩා ඉහතදී ඒ සම්බන්ධයෙන් ඉශ්‍රායෙල්වරුන් තබා තිබූ ආදර්ශය ඔහුගේ මනසෙහි තිබුණා විය හැක. ඒ වන විට ඉශ්‍රායෙල් ගෝත්‍ර 12 මිසරයේ වහල්භාවයෙන් නිදහස ලබා තිබිණ. නමස්කාරය සඳහා මණ්ඩපයක් සෑදීමටත්, නමස්කාරයේදී යොදාගැනෙන දේවල් එහි තැබීමටත් යෙහෝවා සීනයි කඳු පාමුල රැස්ව සිටි ඉශ්‍රායෙල් සෙනඟට අණ කළේය. එම කාර්යය ඉටු කිරීමට බොහෝ දේවල් අවශ්‍ය වූ අතර, ඒ සඳහා සම්මාදම් කරන්න කියා ජාතියට ඇරයුම් කරන ලදි.

ඉශ්‍රායෙල්වරුන් එයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? “තමුන්ගේ සිත් පොලඹවනලද්දාවූ තමුන්ගේ ආත්මයෙන් කැමති කරනලද්දාවූ සියල්ලෝ අවුත් සම්මුඛවීමේ කූඩාරමේ කර්මාන්ත පිණිස . . . [යෙහෝවාට] පඬුරු ගෙනාවෝය.” (නික්මයාම 35:21) ඉශ්‍රායෙල් සෙනඟ නොමසුරු ලෙස සම්මාදම් කළාද? ඔව්, ඔවුහු අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් පරිත්‍යාග කළහ. “කරන්ට කියා [යෙහෝවා] අණකළ කර්මාන්ත මෙහෙවරය සඳහා සෑහෙන පමණට හුඟක් වැඩියෙන් සෙනග ගෙනෙති” කියා මෝසෙස්ට දන්වනු ලැබීමෙන් එය පැහැදිලි වේ.—නික්මයාම 36:5.

ඒ කාලයේදී ඉශ්‍රායෙල්වරුන්ගේ ආර්ථික තත්වය ගැන කුමක් කිව හැකිද? කලින් ඔවුහු වහලුන් ලෙස දුක්ඛිත ජීවිතයක් ගත කළහ. ‘බර වැඩවලින් පීඩා වින්ද’ අතර, ඔවුන්ට ජීවිතය “තික්ත” වී තිබිණ. මේ අවස්ථාව වන විට, ඔවුන් එම තත්වයෙන් නිදහස් වී වැඩි කලක් ගත වී නොතිබිණ. (නික්මයාම 1:11, 14; 3:7; 5:10-18) මේ නිසා නිදහස ලැබූ මුල් කාලයේදී ඔවුන් ද්‍රව්‍යමය අතින් සමෘද්ධිමත් තත්වයක සිටි බව සිතිය නොහැක. ඉශ්‍රායෙල්වරුන් වහල් දේශයෙන් පිටත්ව එද්දී එහි සිටි එළු, බැටළු හා ගව රැළවල් රැගෙන ආ බව සැබෑවකි. (නික්මයාම 12:32) එහෙත් ඔවුන්ට සම්පත් බොහොමයක් එක්රැස් කරගැනීමට නොහැකි වූ බව සිතිය හැක. ඔවුන් මිසරයෙන් පිට වී ගොස් වැඩි දවසක් ගත වෙන්නත් කලින් තමන්ට කෑමට මස් මාංශ හා රොටි නැතැයි කියා පැමිණිලි කිරීමෙන් එය පැහැදිලි වේ.—නික්මයාම 16:3.

එසේනම්, ඉශ්‍රායෙල්වරුන් මණ්ඩපය සෑදීම සඳහා සම්මාදම් කළ වටිනා දේවල් ඔවුන්ට ලැබුණේ කොහෙන්ද? ඒවා ලැබුණේ ඔවුන්ව වහල්භාවයේ තබාගෙන සිටි මිසරවරුන්ගෙනි. ඒ ගැන බයිබලයෙහි මෙසේ සඳහන් වේ. “ඉශ්‍රායෙල් පුත්‍රයෝ . . . මිසරවරුන්ගෙන් රිදීබඩුත් රත්රන් බඩුත් වස්ත්‍රත් ඉල්ලා ගත්තෝය. . . . ඔව්හු [මිසරවරු] ඔවුන් ඉල්ලූ දේ දුන්නෝය.” මිසරවරුන්ගෙන් ලද මෙම පරිත්‍යාගය, ඵාරාවෝගෙන් නොව යෙහෝවාගෙන් ලැබූ ආශීර්වාදයක් විය. දෙවිගේ ආනුභාවය ලත් වාර්තාවේ ඒ ගැන මෙසේ සඳහන් වේ. “[යෙහෝවා] මිසරවරුන්ගෙන් සෙනගට කරුණාව ලබාදුන් බැවින් ඔව්හු ඔවුන් ඉල්ලූ දේ දුන්නෝය.”—නික්මයාම 12:35, 36.

මිසරවරුන් ඔවුන් සතු වටිනා දේවල් තමන්ට දුන් අවස්ථාවේදී ඉශ්‍රායෙල්වරුන්ට ඇති වූ හැඟීම ගැන සිතා බලන්න. පරම්පරා ගණනාවක් ඔවුන් දුක්ඛිත වහල් ජීවිතයක් ගත කර තිබිණ. ඔවුන් සිටියේ ඉතාමත් දිළිඳු තත්වයකය. එහෙත් දැන් ඔවුන් නිදහස් මෙන්ම වටිනා ධනයකටද හිමිකම් කියන සෙනඟකි. වටිනා ද්‍රව්‍ය රැගෙන මිසරයෙන් පිට වී යන විට ඔවුන්ට කෙසේ හැඟෙන්න ඇද්ද? එම දේවල් තමන් විසින් ලබාගත් නිසා ඒවා තමන් ළඟ තබාගැනීමට අයිතියක් තිබෙනවා කියා ඔවුන්ට හැඟුණා විය හැක. කෙසේවෙතත්, නිර්මල නමස්කාරය නඟාසිටුවීම සඳහා වටිනා දේවල් සම්මාදම් කරන්න කියා ඔවුන්ගෙන් ඉල්ලා සිටි විට, ඔවුහු අදිමදි නොකර නොමසුරුව සම්මාදම් කළහ. මෙම වටිනා දේවල් තමන්ට ලබාගැනීමට හැකි වූයේ යෙහෝවා නිසා බව ඔවුන් අමතක කළේ නැත. මේ නිසා ඔවුන් සතුව තිබූ රන් රිදී හා සතුන් ඔවුහු නොමසුරුව පරිත්‍යාග කළහ. ඔවුන්ට දීමට “කැමති සිතක්” තිබිණ. ඔවුන්ගේ ‘සිත් ඔවුන්ව පොලඹවන’ ලදි. පරිත්‍යාග කිරීමට ‘ඔවුහු තමුන්ගේ ආත්මයෙන්ම කැමති වූහ.’ ඇත්තෙන්ම ඔවුන් කළ පරිත්‍යාගය ‘යෙහෝවාට ඔප්පු කළ ස්වේච්ඡා පඬුරක්’ විය.—නික්මයාම 25:1-9; 35:4-9, 20-29; 36:3-7.

පරිත්‍යාග කිරීමට ඇති කැමැත්ත

පරිත්‍යාග කරන්නා ත්‍යාගශීලී කෙනෙකුද නැද්ද යන කාරණය සම්මාදම් කරන ප්‍රමාණයෙන් තීරණය කළ නොහැක. දිනක් යේසුස් ක්‍රිස්තුස් දේවමාළිගාවේ තිබූ සම්මාදම් පෙට්ටිවලට මිනිසුන් මුදල් දමනවා බලාගෙන සිටියේය. ධනවත් අය කාසි බොහොමයක් දැමූහ. එහෙත් දිළිඳු වැන්දඹුවක් සුළු වටිනාකමකින් යුත් කුඩා කාසි දෙකක් දමනවා දුටු යේසුස්ගේ සිතට එය තදින්ම කාවැදුණේය. ඔහු මෙසේ පැවසීය. “මේ දිළිඳු වැන්දඹුව සියල්ලන්ට වඩා දැමුවාය. . . . මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවාය.”—ලූක් 21:1-4; මාර්ක් 12:41-44.

යේසුස් පැවසූ ඒ වදන් පාවුල් කොරින්තිවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ කළ වදන් හා එකඟ වේ. දිළිඳු ඇදහිලිවන්තයන්ට උපකාර කිරීම සඳහා සම්මාදම් එකතු කිරීම ගැන පාවුල් මෙසේ අදහස් දැක්වීය. “මනාපය තිබේ නම්, යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට පිළිගනු ලැබේ.” (2 කොරින්ති 8:12) සම්මාදම් කිරීම තරඟකාරි ලෙස කරන දෙයක්වත් සැසඳීමට ලක් කළ යුතු දෙයක්වත් නොවේ. පුද්ගලයෙකු සම්මාදම් කරන්නේ ඔහුගේ හැකියාව අනුවයි. ත්‍යාගශීලී ස්වභාවයකින් දෙන විට යෙහෝවා සතුටට පත් වෙයි.

සෑම දෙයකම අයිතිකරු වන යෙහෝවාව ධනවත් කිරීමට කිසිවෙකුට නොහැක. එහෙත් සම්මාදම් කිරීම මගින් යෙහෝවා කෙරෙහි තිබෙන තමන්ගේ ප්‍රේමය පෙන්වීමට ඔහුගේ නමස්කාරකයන්ට අවස්ථාවක් සැලසෙන නිසා, ඇත්තෙන්ම එය වරප්‍රසාදයකි. (1 ලේකම් 29:14-17) සම්මාදම් කළ යුත්තේ තමන්ගේ ත්‍යාගශීලීබව අනිත් අයට පෙන්වීමට හෝ ආත්මාර්ථකාමී චේතනා ඇතුව හෝ නොවේ. එය කළ යුත්තේ සැබෑ නමස්කාරයේ අභිවෘද්ධිය පෙරදැරි කරගත් නිසි ආකල්පයක් ඇතුවය. මෙවන් ආකල්පයක් ඇතුව සම්මාදම් කිරීම මගින් ප්‍රීතිය මෙන්ම දෙවිගේ ආශීර්වාදද අද්දැකිය හැක. (මතෙව් 6:1-4) මේ ගැන යේසුස් මෙසේ පැවසුවේය. “ගැනීමට වඩා දීමෙන් මහත් ප්‍රීතියක් ලැබේ.” (ක්‍රියා 20:35NW) යෙහෝවාගේ සේවය සඳහා අපේ ශක්තිය යෙදවීමෙන්ද, සැබෑ නමස්කාරයේ වර්ධනය සඳහාත් අවශ්‍යතාව ඇති අයට උපකාර කිරීම සඳහාත් අප සතු ද්‍රව්‍යමය දේවලින් යමක් පරිත්‍යාග කිරීමෙන්ද, එම ප්‍රීතිය අපටත් අද්දැකිය හැක.—1 කොරින්ති 16:1, 2.

අදදින ත්‍යාගශීලිත්වය

අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ‘රාජ්‍යයේ ශුභාරංචිය’ දේශනා කිරීමේ වැඩකටයුතු ලොව පුරා වර්ධනය වනවා දකින විට ඉමහත් ප්‍රීතියක් අද්දකිති. (මතෙව් 24:14) විසිවන සියවසේ අවසාන දශකය තුළ 30,00,000කට වැඩි පිරිසක් යෙහෝවා දෙවිට තමන්ගේ කැපවීම බව්තීස්මයෙන් සංකේතවත් කළ අතර, එම කාලය තුළ අලුතින් සභා 30,000ක් පමණ බිහි විය. අද තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවලින් තුනෙන් එකක්ම පිහිටුවනු ලැබුවේ පසුගිය අවුරුදු දහය තුළයි! මේ වර්ධනයට වැඩියෙන්ම හේතු වී තිබෙන්නේ, සෙසු ජනයා සමඟ යෙහෝවාගේ අරමුණු ගැන කතා කිරීමට තමන්ගේ කාලය හා ශ්‍රමය වැය කරන අවංක ක්‍රිස්තියානි පුරුෂයන් හා ස්ත්‍රීන් විසින් වෙහෙස මහන්සි වෙමින් සිදු කරනු ලබන වැඩයයි. එලෙසම මිෂනාරිවරුන් කරන සේවයද මෙම වර්ධනයට හේතු වී තිබේ. ඔවුහු සිය නිවෙස්වලින් බැහැරව දුර රටවලට ගොස්, එහි රාජ්‍යය දේශනා කිරීමේ වැඩයට සහය වෙති. මෙම වර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට නව චාරිකා බිහි වී ඇත. මෙම නව චාරිකාවල සේවය කිරීම සඳහා චාරිකා අවේක්ෂකයන් අවශ්‍ය වී තිබේ. මීට අමතරව, දේශනා කිරීමේදී භාවිත කිරීම සඳහාත් පෞද්ගලික අධ්‍යයනයේදී යොදාගැනීම සඳහාත් තව තවත් බයිබල් අවශ්‍ය වේ. එපමණක් නොව, තව තවත් මුද්‍රිත පොත් පත්ද අවශ්‍ය වී තිබේ. රටවල් බොහොමයක ශාඛා කාර්යාලවලට අයත් ගොඩනැඟිලි විශාල කිරීමට හෝ වඩා විශාල ගොඩනැඟිලි අලුතින් සෑදීමට සිදු වී තිබේ. මෙම අවශ්‍යතා සියල්ලම සපුරාලීමට හැකි වී තිබෙන්නේ යෙහෝවාගේ සෙනඟගෙන් ලැබෙන ස්වේච්ඡා සම්මාදම්වලිනි.

තව රාජ්‍ය ශාලා අවශ්‍යයය

යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගණනින් වැඩි වෙත්ම තව තවත් රාජ්‍ය ශාලා අවශ්‍ය වේ. නොදියුණු රටවල රාජ්‍ය ශාලා 11,000කට වඩා වැඩි ගණනක අවශ්‍යතාවක් තිබෙන බව වසර 2000 මුලදී කළ සමීක්ෂණයකින් හෙළි විය. එම රටවල රාජ්‍ය ශාලා ඉදි කිරීම සඳහා මුදල් සොයාගැනීම දුෂ්කරය. උදාහරණයකට ඇන්ගෝලාව ගැන සලකා බලන්න. එම රටේ සිවිල් යුද්ධයක් පැවතියත්, රාජ්‍ය ප්‍රචාරකයන්ගේ සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය සියයට 10ක් වී තිබේ. විශාල අප්‍රිකානු රටක් වන මෙහි තිබෙන සභා 675න් වැඩි ප්‍රමාණයක රැස්වීම් පවත්වන්නේ එළිමහනේය. එම රටෙහි රාජ්‍ය ශාලා තිබෙන්නේ 22ක් පමණි. එයින්ද වහලවල් සහිත ශාලා තිබෙන්නේ 12කි.

ඒ හා සමාන තත්වයක් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේද පවතී. එහි අගනුවර වන කින්ෂාසාහි සභා 300කට ආසන්න ගණනක් තිබුණත්, රාජ්‍ය ශාලා තිබෙන්නේ දහයක් පමණි. මුළු රටේම රාජ්‍ය ශාලා 1,500කට වැඩි ගණනක අවශ්‍යතාවක් තිබේ. මෙය ඉක්මනින්ම සපුරාලිය යුතුව තිබේ. එමෙන්ම නැඟෙනහිර යුරෝපීය රටවල වේගවත් වර්ධනයක් සිදු වන අතර, රුසියාව හා යුක්‍රේනය යන රටවල් දෙකෙහි රාජ්‍ය ශාලා සියගණනක අවශ්‍යතාවක් පවතින බව වාර්තා වේ. ලතින් අමෙරිකානු රටවල සිදු වන වේගවත් වර්ධනය බ්‍රසීලය ගැන සලකා බැලීමෙන් පැහැදිලි වේ. මෙම රටෙහි සාක්ෂිකරුවන් මිලියන භාගයකට වැඩියෙන් සිටින අතර, තවත් රාජ්‍ය ශාලා සඳහා මහත් අවශ්‍යතාවක් තිබේ.

මෙවන් රටවල පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ රාජ්‍ය ශාලා ඉදි කිරීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිති. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය අරමුදල් ලැබෙන්නේ ලොව පුරා සිටින පරිත්‍යාගශීලී සහෝදරයන්ගේ සම්මාදම්වලිනි. මේ නිසා නමස්කාරය සඳහා සුදුසු ස්ථානයක එක්රැස් වීමට බොහෝ දිළිඳු සභාවලට පවා හැකියාව ලැබේ.

පුරාණ ඉශ්‍රායෙල්හි සිදු වූවාක් මෙන් අවංක ක්‍රිස්තියානීන් ‘තමන්ගේ සම්පත්වලින් යෙහෝවාව ගෞරවයට පත් කරන’ නිසා බොහෝ දේවල් ඉටු කරගත හැක. (හිතෝපදේශ 3:9, 10) සම්මාදම් කිරීම සඳහා තමන්ගේ හදවත්වලින් පෙලඹෙන සෑම කෙනෙකුටම ස්තූතිය ප්‍රකාශ කිරීම සඳහා මේ අවස්ථාව යොදාගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය සතුටුය. අඛණ්ඩව වර්ධනය වන රාජ්‍ය වැඩකටයුතුවලට සහයෝගය දැක්වීම සඳහා යෙහෝවා සිය සෙනඟගේ හදවත් තම ආත්මය මගින් පොලඹවයි කියා අපට නිසැක විය හැක.

ලොව පුරා සිදු වන රාජ්‍ය වැඩකටයුතු දිගටම වර්ධනය වෙමින් පවතී. අපේ කාලය, ශ්‍රමය හා සම්පත් දීමෙන් එම වර්ධනයට දායක වීමට අපි සතුටින් හා කැමැත්තෙන් සිටින බව පෙන්වීමට මං සොයමු. මෙසේ පරිත්‍යාගශීලී වීමෙන් ඇති වන සැබෑ ප්‍රීතිය අපිත් අද්දකිමු.

[29වන පිටුවේ කොටුව]

“එය නැණවත් ලෙස පාවිච්චි කරන්න”

“මගේ වයස අවුරුදු දහයයි. පොත් පත් මුද්‍රණය කරන්න අවශ්‍ය කඩදාසි හෝ වෙනත් දෙයක් මිල දී ගන්න මේ මුදල් එවන්න මම කැමතියි.”—සින්ඩි.

“අපිට තව තවත් පොත් ලබා දීම සඳහා මේ මුදල් එවන්න මම කැමතියි. මම මේ මුදල් ටික සොයාගත්තේ මගේ තාත්තාගේ වැඩවලට උදව් කරලයි. එය නැණවත් ලෙස පාවිච්චි කරන්න.”—පෑම්, වයස අවුරුදු හතයි.

“සුළි සුළඟ නිසා ඇති වුණ විපත්තිය ගැන අහල මට හුඟක් දුක හිතුණා. ඔයාලට කරදරයක් වෙලා නැහැ කියලා මම හිතනවා. මගේ බැංකුවේ තියෙන සල්ලි ඔක්කොම ටික [ඩොලර් 2] දෙන්න මම කැමතියි.”—ඇලිසන්, වයස අවුරුදු හතරයි.

“මගේ නම රූඩි. වයස අවුරුදු 11යි. මගේ මල්ලි රැල්ෆ්ගේ වයස අවුරුදු හයයි. මගේ නංගි ජුඩිත්ගේ වයස අවුරුදු දෙකහමාරයි. මාස්පතා අපේ දෙමාපියන්ගෙන් ලැබෙන සල්ලි අපි මාස තුනක් තිස්සේ ඉතුරු කරගත්තේ [යුද්ධයෙන් පීඩා විඳින ප්‍රදේශයක සිටින] අපේ සහෝදරයන්ට උදව් කරන්නයි. අපිට පුළුවන් වුණා ඩොලර් 20ක් ඉතුරු කරගන්න. අපි ඒ සල්ලි ටික එවන්න සතුටුයි.”

“[කුණාටුවට හසු වුණ] අපේ සහෝදරයන් ගැන අහල මට හුඟාක් දුක හිතුණා. මගේ තාත්තත් එක්ක වැඩ කරල මම ඩොලර් 17ක් සොයාගත්තා. මම එවන මේ මුදල් ඔබ කැමති දෙයකට යොදවන්න.”—මැක්ලීන්, වයස අවුරුදු අටයි.

[31වන පිටුවේ කොටුව]

සමහරුන් තෝරාගන්නා ක්‍රම

ලෝක ව්‍යාප්ත වැඩය සඳහා සම්මාදම් කිරීමට

“සමිතියේ ලෝක ව්‍යාප්ත වැඩයට සම්මාදම්—මතෙව් 24:14” යනුවෙන් සඳහන් කර ඇති සම්මාදම් පෙට්ටිවලට දැමීමට බොහෝදෙනෙක් යම් මුදලක් ඉතිරි කරති, නැතහොත් වෙන් කරති. සෑම මසකම සභාවන් මෙම මුදල් නියූ යෝක්, බෘක්ලින්හි ලෝක මූලස්ථානයට හෝ දේශීය ශාඛා කාර්යාලයට යවයි.

ස්වේච්ඡා සම්මාදම් මුදල් කෙළින්ම වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් ලංකා, 711 දුම්රියපොළ පාර, වත්තල, 11300 යන ලිපිනයට හෝ ඔබේ රටේ පිහිටි සමිතියේ ශාඛා කාර්යාලයට එවිය හැක. රන් ආභරණ මෙන්ම වෙනත් වටිනා භාණ්ඩද පරිත්‍යාග කළ හැක. මේවා සම්පූර්ණයෙන්ම තෑග්ගක් ලෙස දී ඇති බව සඳහන් කරන කෙටි ලිපියක්ද මෙම සම්මාදම් සමඟ එවිය යුතුය.

කොන්දේසි සහිතව ප්‍රදානය කිරීමේ විධිවිධානය

පෞද්ගලික අවශ්‍යතාවක් ඇති වුවහොත් එය දායකයාට ආපසු දෙන බවට වූ විශේෂ කොන්දේසියක් මත, වොච් ටවර් සමිතියට මුදල් ලබා දිය හැක. තවත් තොරතුරු සඳහා ඉහත සඳහන් ලිපිනයට ලියා සමිතියේ භාණ්ඩාගාරයෙන් විමසන්න.

සැලසුම් කරන ලද පරිත්‍යාග

සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ කොන්දේසි සහිතව මුදල් ප්‍රදානය කරනවාට අමතරව, ලෝක ව්‍යාප්ත රාජ්‍ය සේවයට ප්‍රයෝජනවත් වන ආකාරයට පරිත්‍යාග කළ හැකි වෙනත් ක්‍රමද තිබේ. මෙයට පහත සඳහන් දේවල් ඇතුළත් වේ.

රක්ෂණ: ජීවිත රක්ෂණ ඔප්පුවක නැතහොත් විශ්‍රාම වැටුප් සැලැස්මක අර්ථලාභියා හැටියට වොච් ටවර් සමිතිය නම් කළ හැක.

බැංකු ගිණුම්: රටේ පවතින බැංකු නීතිය අනුව බැංකු ගිණුම්, තැන්පතු සහතික හෝ විශ්‍රාම දීමනා යනාදිය වොච් ටවර් සමිතියේ භාරකාරත්වය යටතේ පවත්වා ගෙන යෑමට හෝ මරණින් පසු ඒවායේ හිමිකාරත්වය වොච්ටවර් සමිතියට ලැබෙන සේ ඒවා පවරා දිය හැක.

ව්‍යාපාර කොටස් හා බැඳුම්කර: සම්පූර්ණ තෑග්ගක් හැටියට හෝ ලාභය දිගටම දායකයාට ලැබෙන විධිවිධානයක් හැටියට ව්‍යාපාර කොටස් හෝ බැඳුම්කර වොච් ටවර් සමිතියට ප්‍රදානය කළ හැක.

නිශ්චල දේපොළ: සම්පූර්ණ තෑග්ගක් හැටියට නැතහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරා තමාට වාසය කළ හැකි වන පරිදි ජීවිත භුක්තිය දායකයා වෙත තබාගෙන, විකිණිය හැකි නිශ්චල දේපොළ වොච් ටවර් සමිතියට පරිත්‍යාග කළ හැක. යම් නිශ්චල දේපොළක් සමිතිය වෙත පැවරීමට කලින් එම තැනැත්තා එසේ කිරීමට වූ තම අදහස සමිතියට දැනුම් දිය යුතුය.

අන්තිම කැමති පත්‍ර හා විශ්වාස භාරයන්: නීත්‍යනුකූල අන්තිම කැමති පත්‍රයකින් වොච් ටවර් සමිතිය වෙත දේපොළ හා මුදල් පවරා දීමට හෝ විශ්වාස ගිවිසුමක අර්ථලාභියා හැටියට සමිතිය නම් කිරීමට පුළුවන. ආගමික සංවිධානයකට ප්‍රයෝජන ගෙන දෙන විශ්වාස භාරයක් පිරිනැමීම මගින් ඇතැම් බදු සහන සපයා දිය හැක.

ඕනෑම ආකාරයකින් පරිත්‍යාග කිරීමට සතුටු අයට, ඉහත සඳහන් ලිපිනයට හෝ ඔබේ රටෙහි තිබෙන සමිතියේ ශාඛා කාර්යාලයට ඒ බව දැන්විය හැක. මෙම සැලසුම්වලට සම්බන්ධ ලියවිලිවල පිටපතක් සමිතියට ලබා දිය යුතුය.