Skip to content

පටුනට යන්න

බයිබලය මත ගොඩනැඟුණු සදාචාරය—හොඳම තේරීමද?

බයිබලය මත ගොඩනැඟුණු සදාචාරය—හොඳම තේරීමද?

බයිබලය මත ගොඩනැඟුණු සදාචාරය—හොඳම තේරීමද?

“සමාජය නිශ්චිත සදාචාර නීති පද්ධතියක් මත ගොඩනැඟිය යුතුයි. එම නීති පද්ධතිය මගින් ජනයාට නිසි මඟ පෙන්වීමක් හා සුරක්ෂිත හැඟීමක්ද ලබා දිය යුතුයි.” එසේ පැවසුවේ ජර්මනියේ දක්ෂ ලේඛකයෙක් මෙන්ම රූපවාහිනි නිවේදකයෙක්. ඇත්තෙන්ම, ඔහුගේ ප්‍රකාශයේ යම් සත්‍යතාවක් තිබෙනවා. සමෘද්ධිමත් මෙන්ම ශක්තිමත් සමාජයක් බිහි වෙන්න නම් ජනයාට හොඳ හා නරක, එහෙමත් නැත්නම් හරි දේ හා වැරදි දේ නිශ්චිතව වෙන් කොට හඳුනාගත හැකි ප්‍රමිති තිබිය යුතුයි. නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉස්මතු වෙනවා. එනම්, ජනයාට උපරිම යහපතක් අත් කර දෙන්නේ කුමන ප්‍රමිතිද යන්නයි.

බයිබලයේ සඳහන් ප්‍රමිති හොඳම ඒවා නම්, ඒ අනුව ජීවත් වෙන කෙනෙකුට වඩාත් ප්‍රීතිමත් මෙන්ම සාර්ථක ජීවිතයක් ගත කිරීමට ඒවා මඟ පෙන්විය යුතුයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමාජයේ සියලුදෙනාටම වඩාත් සතුටින් හා නිසැකභාවයකින් යුතුව ජීවත් වීමට මඟ සැලසිය යුතුයි. ඇත්තෙන්ම එසේ සිදු වෙනවාද? වැදගත් කාරණා දෙකක් වන විවාහ කලත්‍රයන් එකිනෙකාට විශ්වාසවන්තව සිටීම හා එදිනෙදා ජීවිතයේදී අවංකකම විදහාපෙන්වීම සම්බන්ධයෙන් බයිබලය පවසන දේ සලකා බැලීමෙන් අපට පිළිතුරක් ලබාගත හැකියි. අපි දැන් එසේ කරමු.

ඔබේ කලත්‍රයාට ඇලුම් වන්න

අපේ මැවුම්කරු, මුලින්ම ආදම්ව සාදා පසුව ඔහුට සහකාරියක් වශයෙන් ඒවව මැව්වා. ඔවුන් දෙදෙනාගේ එක්වීම ඉතිහාසයේ සිදු වූ මුල්ම විවාහය වශයෙන් සැලකිය හැකියි. දෙවිගේ අරමුණු වුණේ ඔවුන් දෙදෙනා සදාකාලයටම එකට සිටිනවා දැකීමයි. දෙවි පැවසූ මෙම වචනවලින් එය පැහැදිලි වෙනවා. “පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය.” එයින් වසර 4,000කට පමණ පසුව යේසුස් ක්‍රිස්තුස් තම ගෝලයන්ට නැවතත් එම ප්‍රමිතිය මතක් කර දුන්නා. ඒ වගේම ඔහු විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධකම් පැවැත්වීමද හෙළා දුටුවා.—උත්පත්ති 1:27, 28; 2:24; මතෙව් 5:27-30; 19:5.

සාර්ථක යුග දිවියක් ගෙවන්න නම්, විවාහ කලත්‍රයන් එකිනෙකාට ප්‍රේමය හා ගෞරවය දැක්විය යුතු බව බයිබලයේ සඳහන් වෙනවා. පුරුෂයා පවුලේ හිස වන අතර, ඔහු නිතරම තම භාර්යාවගේ ශුභසිද්ධිය සොයමින් ඇයට පරාර්ථකාමී ප්‍රේමයක් දැක්විය යුතුයි. ඔහු “දැනගැන්මේ හැටියට” ඇය සමඟ කටයුතු කළ යුතු අතර, කිසිවිටෙක ඇයට “සැර පරුෂ” [NW] ආකාරයකින් නොසැලකිය යුතුයි. අනෙක් අතට, භාර්යාව තම පුරුෂයාට “ගැඹුරු ගෞරවයක්” [NW] දැක්විය යුතුයි. විවාහ කලත්‍රයන් මෙම ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් සෑහෙන දුරට ගැටලු අඩු කරගන්න නැත්නම් ඒවාට වඩාත් සාර්ථක ලෙස මුහුණ දෙන්න ඔවුන්ට පුළුවන්. එවැනි සම්බන්ධයකදී පුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම එකිනෙකාට ඇලුම් වෙන බව නිසැකයි.—1 පේතෘස් 3:1-7; කොලොස්සි 3:18, 19; එපීස 5:22-33.

තම කලත්‍රයාට විශ්වාසවන්තව සිටීම සම්බන්ධයෙන් බයිබලයේ දී ඇති ප්‍රමිතිය ප්‍රීතිමත් විවාහයකට මඟ පාදනවාද? ජර්මනියේ කළ ජන මත විමසුමකින් හෙළි වූ දේ සලකා බලන්න. සාර්ථක විවාහයකට මඟ පාදන්නේ මොන වගේ දේවල්ද කියා එහිදී විමසනු ලැබුවා. එයට පිළිතුරක් වශයෙන්, වැදගත්ම දේ වන්නේ එකිනෙකාට විශ්වාසවන්තව සිටීම කියා බහුතරයක්ම පවසා තිබුණා. ඇත්තෙන්ම විවාහක යුවළයන් එකිනෙකාට විශ්වාසවන්තව සිටින විට ඔවුන්ට වඩාත් සතුටින් සිටිය හැකි බව නොකිවමනායි.

ගැටලු ඉස්මතු වූ විට

විවාහක යුවළක් අතර බහින් බස්වීමක් සිදු වුණොත් එහෙමත් නැත්නම් එකිනෙකා සඳහා කලින් තිබූ ආදරය නැති වී ඇත්නම් කුමක් කළ යුතුද? එවැනි තත්වයන් යටතේ හොඳම දේ විවාහ සම්බන්ධය නැති කර දැමීමද? එහෙමත් නැත්නම් එවැනි අවස්ථාවලදී පවා ගත යුතු නැණවත්ම ක්‍රියාමාර්ගය වන්නේ බයිබලයේ උපදෙස් පිළිපදිමින් එකිනෙකාට විශ්වාසවන්තව සිටීමටද?

අසම්පූර්ණත්වය හේතුවෙන් සෑම විවාහක යුවළකටම ගැටලුවලට මුහුණ දීමට සිදු වෙන බව බයිබල් ලේඛකයන් හොඳින් දැනගෙන සිටියා. (1 කොරින්ති 7:28) නමුත් බයිබලයේ ඇතුළත් සදාචාර ප්‍රමිතිවලට ගරු කරන විවාහක යුවළයන් එකිනෙකාට සමාව දෙමින් තම ගැටලු නිරාකරණය කරගැනීමට වෑයම් කරනවා. වෙන්වීමට හෝ දික්කසාද වීමට තීරණය කළ හැකි තත්වයන් ලෙස, නිරන්තරයෙන් අඩන්තේට්ටම්වලට ලක්වීම හෝ කලත්‍රයා කාමමිථ්‍යාචාරයේ යෙදීම සඳහන් කළ හැකියි. (මතෙව් 5:32; 19:9) නමුත් සාධාරණ හේතුවක් නොමැතිව හෝ වෙනත් ප්‍රේම සම්බන්ධයක් පටන්ගැනීමේ අදහසින් විවාහය අවසන් කිරීම ආත්මාර්ථකාමී දෙයක්. අන් අයගේ හැඟීම් ගැන කිසිම තැකීමක් නැති බව නොවේද ඉන් හෙළි වන්නේ? එවැනි ක්‍රියා කලාපයක් සාර්ථක මෙන්ම ප්‍රීතිමත් ජීවිතයකට දායක වෙයි කියා අපට කොහෙත්ම සිතිය නොහැකියි. අපි දැන් ඒ පිළිබඳව උදාහරණයක් සලකා බලමු.

තම විවාහය තුළ මුලින් තිබූ උණුසුම්බව නැති වී ඇති බව පීටර්ට හැඟුණා. * ඒ නිසා ඔහු තම භාර්යාව අත්හැර මොනිකා සමඟ ජීවත් වෙන්න තීරණය කළා. මොනිකාත් තම පුරුෂයාව අත්හැර දමා තිබුණා. අවසානයේදී සිදු වුණේ කුමක්ද? මාස කිහිපයකට පසුව, මොනිකා සමඟ ජීවත් වීම තමා “හිතුව තරම් ලේසි වුණේ නැහැ” කියා පීටර් පිළිගත්තා. එහෙම වුණේ ඇයි? ඔහුගේ කලින් සම්බන්ධයේදී වගේම මෙම අලුත් සම්බන්ධයේදීත් මිනිස් අසම්පූර්ණකම හේතුවෙන් ගැටලු ඉස්මතු වූ නිසයි. ඒ වගේම, ඔහු ආත්මාර්ථකාමි ලෙස ගත් හදිසි තීරණය නිසා බරපතළ ආර්ථික ගැටලුවලට පවා ඔහුට මුහුණ දෙන්න සිදු වුණා. මොනිකාට සිදු වුණේ කුමක්ද? ඇගේ පවුලේ ඇති වූ හැලහැප්පීම් නිසා ඇගේ දරුවන් මානසිකව බිඳ වැටුණා.

විවාහක යුවළයන් කුණාටු වැනි තත්වයන්ට මුහුණ දෙන විට ඉක්මන් වී විවාහය අවසන් කර දැමීම, එයට පිළියම නොවන බව මෙම අද්දැකීමෙන් අපට පැහැදිලියි. ඒ වෙනුවට එවැනි ගැටලු හමුවෙහි දේවවචනයේ සඳහන් සදාචාර ප්‍රමිතිවලට ඇලී සිටීමෙන් විවාහය වඩාත් ශක්තිමත් වන අතර වඩාත් සන්සුන් තත්වයක් ඇති කරගත හැකියි. තොමස් හා ඩොරිස් මෙය අද්දැකීමෙන් ඉගෙනගත්තා.

තොමස් හා ඩොරිස් විවාහ වී අවුරුදු 30කටත් වඩා ගත වුණාට පස්සේ තොමස් හිටිහැටියේම බීමත්කමට වැටුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩොරිස් මානසිකව බිඳ වැටෙන්න පටන්ගත් අතර වැඩි කල් යන්න කලින් ඔවුන්ගේ විවාහය දෙකඩ වන තත්වයකට පත් වුණා. ඔවුන් දික්කසාද වෙන එක ගැනත් කල්පනා කරමින් සිටියා. ඒ අතරතුර ඩොරිස් යෙහෝවාගේ සාක්ෂිකාරියක් සමඟ තමා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කතා කළා. සාක්ෂිකාරිය ඩොරිස්ට විවාහය පිළිබඳව බයිබලය පවසන දේ පැහැදිලි කර දුන් අතර, වෙන්වීමට හදිසි නොවී පුරුෂයා සමඟ එකතු වී ගැටලු විසඳගන්න වෑයම් කරන්න කියා උනන්දු කළා. ඩොරිස් එම උපදෙස් පිළිපැද්දා. දික්කසාද වීමට තිබූ ඔවුන්ගේ අදහස මාස කිහිපයකට පසුව ඔවුන් සම්පූර්ණයෙන්ම අත්හැර දැමුවා. තොමස්ට හා ඩොරිස්ට සාකච්ඡා මාර්ගයෙන් ගැටලු නිරාකරණය කරගැනීමට හැකි වුණා. මෙසේ බයිබලයේ සඳහන් උපදෙස් පිළිපැදීම තුළින් ඔවුන්ගේ විවාහය වඩාත් ශක්තිමත් වූ අතර ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්නත් ඔවුන්ට හැකි වුණා.

සැමවිටම අවංක වීම

තම කලත්‍රයාට විශ්වාසවන්තව සිටීමට නම් සදාචාරාත්මක අතින් කෙනෙකුට නොසැලෙන ස්ථාවරයක් තිබිය යුතුයි. ඒ වගේම හරි දේ සඳහා ඇල්මක් වර්ධනය කරගැනීමත් වැදගත් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ සදාචාරමය ප්‍රතිපත්තිවලට ඇලී සිටින්න අවශ්‍ය වන බවයි. මෙම වංක ලෝකයේ අවංකව සිටීමටත් එවැනිම ස්ථාවරයක් තිබිය යුතුයි. අවංක වීමේ වැදගත්කම ගැන බයිබලයේ නැවත නැවත සඳහන් වී තිබෙනවා. පළමුවන සියවසේ යුදයේ විසූ ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ ලිව්වා. “අපි සියල්ලේදී අවංක ලෙස හැසිරීමට ආශා වෙමු.” (හෙබ්‍රෙව් 13:18NW) එයින් අදහස් වන්නේ කුමක්ද?

අවංක පුද්ගලයෙක් සැමවිටම සත්‍යය කතා කරන අතර ඔහු තුළ කිසිම වංචාවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔහු නිතරම අන්‍යයන් සමඟ සාධාරණව, එනම් ඍජු මෙන්ම ගෞරවනීය ලෙස කටයුතු කරනවා. ඒ වගේම කෙනෙකුව රැවටීමට හෝ මුළා කිරීමට ඔහු කිසිම විටෙක තැත් කරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, අවංක කෙනෙක් ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක් වන අතර තම අසල්වැසියාට කිසිදු වංචාවක් නොකරයි. ඇත්තෙන්ම, අවංක පුද්ගලයන් අන්‍යයන් තුළ විශ්වාසය හා නිසැකභාවය ජනිත කරවනවා. ඔවුන් සමඟ කටයුතු කිරීම පහසුයි. එමනිසා අවංකකම ශක්තිමත්, සුහද සබඳතා ගොඩනඟා ගැනීමට ඉවහල් වෙයි.

අවංක පුද්ගලයන් සතුටින් සිටින බව පැවසිය හැකිද? ඇත්තෙන්ම සතුටු වීමට ඔවුන්ට හොඳ හේතු තිබෙනවා. අද දූෂිත හා වංචනික ක්‍රියාවන් දසත පැතිරිලා තිබුණත් සාමාන්‍යයෙන් ජනයා අවංක අයව අගය කරනවා. සමහරවිට ඔවුන්ව අගය කරන්නේ අවංකකම ඉතා දුර්ලභ දෙයක් වන නිසාම වෙන්නත් ඇති. තරුණයන් අතර කළ එක් ජන මත විමසුමකට අනුව හෙළි වූයේ ඔවුන්ගෙන් සියයට 70ක්ම අවංකකම ඉතා උසස් කොට සැලකූ බවයි. ඇත්තෙන්ම, වංක පුද්ගලයෙක්ව තම මිත්‍රයා කරගන්න කැමති වන්නේ කවුද?

ක්‍රිස්ටීන් වයස අවුරුදු 12 සිටම සොරකමට පුරුදු වුණා. කල් යත්ම ඇය ඉතා දක්ෂ ගැට කපන්නියක් බවට පත් වුණා. “සමහර දවස්වල මං ගෙදර එද්දී මගේ අතේ ඩොයිෂ් මාක් 5,000ක් [රු. 1,71,600ක්] විතර තිබුණා” කියා ඇය පවසනවා. නමුත් ක්‍රිස්ටීන්ව කිහිප වතාවක්ම අත්අඩංගුවට ගෙන තිබුණා. ඇය නිතරම ජීවත් වුණේ හිරේ යන්න වෙයි කියන බයෙනුයි. නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇයට අවංකකම පිළිබඳ බයිබල් ප්‍රතිපත්ති පැහැදිලි කර දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ක්‍රිස්ටීන්ගේ සිත බයිබලයේ සාරධර්ම වෙතට ඇදී ගියා. වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඇය “සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා” කියන ආඥාවට එකඟව ක්‍රියා කරන්න පටන්ගත්තා.—එපීස 4:28.

මේ වන විට ක්‍රිස්ටීන් සොරකම් කිරීම සම්පූර්ණයෙන්ම අත්හැර තිබෙනවා. ඇය දැන් යෙහෝවාගේ බව්තීස්ම ලත් සාක්ෂිකාරියක් වන අතර සෑම කාරණයකදීම අවංක වීමට වෙර දරනවා. මෙම අද්දැකීමට අනුව පෙනී යන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් අවංකකම ඇතුළු වෙනත් ක්‍රිස්තියානි ගුණාංග සෑහෙන වැදගත් කොට සලකන බවයි. එක් පුවත්පතක (Lausitzer Rundschau) ඒ සම්බන්ධයෙන් මෙසේ කියවීමට තිබෙනවා. “අවංකකම, පමණ දැන ක්‍රියා කිරීම, අසල්වැසියන්ට ප්‍රේම කිරීම වැනි සාරධර්ම යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඉතා උසස් කොට සලකනවා.” ඇගේ ජීවිතය තුළ කර ඇති වෙනස්කම් සම්බන්ධයෙන් ක්‍රිස්ටීන්ට හැඟෙන්නේ කෙසේද? “මම දැන් හොරකම් කරන්නේ නැති නිසා මගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. මිනිස්සු දැන් මාව පිළිගන්නවා කියලා මට හැඟෙනවා” කියා ඇය පිළිතුරු දෙනවා.

සියල්ලන්ටම මහඟු ප්‍රයෝජන

තම කලත්‍රයාට විශ්වාසවන්තව සිටින අවංක පුද්ගලයෙක් වඩාත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා විතරක් නෙවෙයි, සමාජයටද වටිනා දායාදයක් වෙනවා. ස්වාමිවරුන් කැමති වෙන්නේත් වංචා නොකරන සේවකයන්ටයි. ඒ වගේම අපි කවුරුත් කැමති විශ්වාසය තැබිය හැකි අසල්වැසියන් සමඟ ඇසුරු කිරීමටයි. අවංක ව්‍යාපාරිකයන් සමඟ ගනුදෙනු කරන්න මිස වංක අය සමඟ ගනුදෙනු කරන්න කැමති කවුද? දූෂණයෙන් වැළකී සිටින දේශපාලනඥයන්ව, පොලිස් නිලධාරීන්ව හා විනිසුරුවන්ව අප කවුරුත් අගය කරන්නේ නැද්ද? ඇත්තෙන්ම සියලුදෙනාම තමන්ට පහසු අවස්ථාවලදී පමණක් නොව නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් නිතරම අවංකව කටයුතු කරනවා නම් මුළු සමාජයටම එය ප්‍රයෝජනදායක වේවි.

ඊට අමතරව, එකිනෙකාට විශ්වාසවන්තව කටයුතු කරන විවාහක යුවළයන්ට ශක්තිමත් පවුලක් ගොඩනඟාගැනීමේ හැකියාවද තිබෙනවා. යුරෝපීය දේශපාලනඥයෙක් මෙසේ පැවසුවා. “අද පවා මිනිසාට සුරක්ෂිත හා අර්ථවත් ජීවිතයක් සලසා දෙන ප්‍රධාන මාධ්‍යය වන්නේ [සම්ප්‍රදායික] පවුල් ඒකකයයි.” බොහෝදෙනෙක් ඔහු සමඟ එකඟ වන බව නිසැකයි. මන්ද සාමකාමී පවුල් ජීවිතයක් ගත කිරීම මගින් බාල මහලු සැමදෙනාගේ චිත්තවේගීය අවශ්‍යතා සැපිරෙන නිසයි. ඒ නිසා තම විවාහ කලත්‍රයාට විශ්වාසවන්තව සිටින අය ශක්තිමත් සමාජයක් ගොඩනැඟීමට දායක වන බව පැවසිය හැකියි.

අත්හැර දමනු ලැබූ කලත්‍රයන් සිටියේ නැත්නම්, දික්කසාද හා ළමා රැකවරණය පිළිබඳ නඩු තිබුණේ නැත්නම් සමාජයට කොතරම් යහපතක් සිදු වේවිද කියා නිකමට සිතා බලන්න. ඒ වගේම ගැට කපන්නන්, සාප්පුවලින් බඩු සොරාගන්නා අය, බදු මුදල් වංචනික ලෙස යොදාගන්නා අය, දූෂණයට යොමු වෙන ආණ්ඩු නිලධාරීන් හා ප්‍රෝඩාවන් කිරීමට පෙලඹෙන විද්‍යාඥයන් තවත් නැත්නම් ඔබ කැමති නැද්ද? එය කිසිදා ඇති නොවන තත්වයක් කියා ඔබ සිතනවාද? අනාගතය පිළිබඳව බයිබලයේ පවසා ඇති දේ ගැන උනන්දුවක් දක්වන අයට නම් එය නිකම්ම සිහිනයක් නොවෙයි. යෙහෝවාගේ මෙසියානු රාජ්‍යය මිනිස් සමාජයේ පාලනය භාරගන්නා බවට දේවවචනයෙහි පොරොන්දු වී තිබෙනවා. එම රාජ්‍යයේ පාලනය යටතේ ජීවත් වන සෑම කෙනෙකුටම බයිබලයේ සදාචාර ප්‍රමිති අනුව ජීවත් වීමට උගන්වනු ලබයි. ඒ කාලයේදී “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:29.

බයිබලය මත ගොඩනැඟුණු සදාචාරය—හොඳම තේරීම

ශුද්ධ ලියවිලි කෙරෙහි අවධානය යොමු කරන මිලියන සංඛ්‍යාත ජනයා එහි තිබෙන උපදෙස් මනුෂ්‍ය ප්‍රඥාවට වඩා බෙහෙවින් උසස් බව වටහාගෙන තිබෙනවා. එම උපදෙස් දේවප්‍රඥාව මත පදනම් වී ඇති බව ඔවුන් පිළිගන්නා අතර අදදිනට පවා බයිබලය අදාළ වන බවත් එහි උපදෙස් නොවරදිනසුලු බවත් ඔවුන්ට ස්ථිරයි. ඒ වගේම එහි උපදෙස් පිළිපැදීමෙන් ඔවුන්ට යහපතක්ම සිදු වෙන බවත් ඔවුන් වටහාගෙන තිබෙනවා.

එමනිසා බයිබලයෙහි සඳහන් මෙම උපදෙස ඔවුන් සිතට ගෙන තිබෙනවා. “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් [යෙහෝවා] කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී [ඔහු] සලකන්න, එවිට [ඔහු] නුඹේ මාවත් සමතලාකරනවා ඇත.” (හිතෝපදේශ 3:5, 6) මෙතුළින් ඔවුන් වඩාත් සාර්ථක ජීවිත ගත කරමින් සිටිනවා පමණක් නෙවෙයි තමන් අවට ජීවත් වන ජනයාටත් ප්‍රයෝජන අත් කර දෙනවා. “මතු ජීවිතය” ගැන ස්ථිර විශ්වාසයක් වර්ධනය කරගැනීමටත් මෙය ඔවුන්ට උපකාරවත් වෙනවා. අනාගතයේදී මුළු මිනිස්වර්ගයාම බයිබලයේ සඳහන් සදාචාර ප්‍රමිති අනුගමනය කරන බව නිසැකයි.—1 තිමෝති 4:8.

[පාදසටහන]

^ 11 ඡේ. මෙම ලිපියේ සඳහන් නම් වෙනස් කර ඇත.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කුණාටු වැනි තත්වයන්ට මුහුණ දෙන විට බයිබල් ප්‍රමිතිවලට ඇලී සිටීමෙන්, විවාහ සම්බන්ධය වඩාත් ශක්තිමත් කරගත හැකි අතර වඩාත් සන්සුන් තත්වයක්ද උදා කරගත හැකියි

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අද දූෂණය හා වංචනික ක්‍රියා දසත පැතිර ඇතත්, අවංක අයව ජනයා අගය කරන්නේ සමහරවිට අවංකකම ඉතා දුර්ලභ දෙයක් වන නිසාම වෙන්නත් ඇති