Skip to content

පටුනට යන්න

සදාචාරමය පවිත්‍රකම පිළිබඳව දිව්‍ය දෘෂ්ටියක්

සදාචාරමය පවිත්‍රකම පිළිබඳව දිව්‍ය දෘෂ්ටියක්

සදාචාරමය පවිත්‍රකම පිළිබඳව දිව්‍ය දෘෂ්ටියක්

“ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ [යෙහෝවා] වන මමය.”—යෙසායා 48:17.

1, 2. (අ) අදදින ජනයා පොදුවේ සදාචාරමය හැසිරීම සලකන්නේ කෙසේද? (ආ) ඒ පිළිබඳව ක්‍රිස්තියානීන්ට ඇත්තේ කෙබඳු දෘෂ්ටියක්ද?

වර්තමානයේ ලොව සෑම තැනකම පාහේ සදාචාරමය හැසිරීම සලකන්නේ පෞද්ගලිකව තීරණය කළ යුතු දෙයක් ලෙසය. ජනයා ලිංගික සම්බන්ධකම් සලකන්නේ, තමාට රිසි පරිද්දෙන් ආදරය පෙන්වීමට හැකි මඟක් ලෙසය. මේ නිසා, එය විවාහයට සීමා වූ යමක් ලෙස ඔවුහු නොසලකති. මෙලෙස ක්‍රියා කිරීමෙන් කිසිවෙකුට හානියක් නොවේ නම්, තමාට කැමති ආකාරයේ තීරණයක් ගැනීමෙහි ඇති වරදක් නැතැයි ඔවුහු සිතති. ඔවුන්ගේ මතය වන්නේ, සදාචාරය හා සම්බන්ධ කාරණාවලදී, විශේෂයෙන් ලිංගික කාරණාවලදී, පුද්ගලයන්ව විනිශ්චය නොකළ යුතු බවය.

2 කෙසේවෙතත්, යෙහෝවාව දැන හඳුනාගෙන ඇති අයට ඊට වඩා වෙනස් දෘෂ්ටියක් ඇත. ඔවුන් යෙහෝවාට ප්‍රේම කරන නිසාත්, ඔහුව සතුටු කරන්න ආශාවෙන් සිටින නිසාත්, ශුද්ධ ලියවිල්ලේ දී ඇති මඟ පෙන්වීම් ඔවුන් අනුගමනය කරන්නේ ඉමහත් සතුටකිනි. ඔවුන් එසේ කරන්නේ යෙහෝවා ඔවුන්ට ප්‍රේම කරන බවත්, ඔවුන්ගේ යහපත පිණිස මඟ පෙන්වීම් සපයන බවත් තේරුම්ගෙන ඇති නිසාය. දෙවිගෙන් ලබන මඟ පෙන්වීම් ඔවුන් තවදුරටත් සලකන්නේ ඔවුන්ට සැබෑ ප්‍රයෝජන සහ ප්‍රීතිය අත් කර දෙන උපදෙස් ලෙසය. (යෙසායා 48:17) දෙවි ජීවනයේ උල්පත වන නිසා, ජීවිතයක් බිහි කිරීමට ඔවුන් සතු හැකියාව ඇතුළුව, ඔවුන්ගේ සිරුරු භාවිත කළ යුතු ආකාරය සම්බන්ධව ඔහු දී තිබෙන මඟ පෙන්වීම්වලට අවනත වීම මොනතරම් වැදගත්ද!

ප්‍රේමනීය මැවුම්කරුවෙකුගේ තිළිණයකි

3. ක්‍රිස්තියානි ලෝකයේ බොහෝදෙනෙකුට ලිංගික සම්බන්ධකම් ගැන උගන්වා ඇත්තේ කුමක්ද? මෙය බයිබලයෙහි උගන්වා ඇති දෙයට පටහැනි වන්නේ කෙසේද?

3 අද ලෞකිකත්වයෙන් පිරුණු සමාජය පවසන දෙයට වෙනස්ව, ක්‍රිස්තියානි ලෝකයේ ඇතැම් උදවිය ලිංගික සම්බන්ධකම් පැවැත්වීම නින්දිත, පව්කාර දෙයක් බව උගන්වයි. තවද, ඒදන් උයනෙහිදී ආදම් සහ ඒව ලිංගික සම්බන්ධකම් පැවැත්වීම “මුල්ම පාපය” කියා ඔවුහු උගන්වති. දේවානුභාවයෙන් ලියන ලද ශුද්ධ ලියවිලි පවසන දේට මෙවැනි අදහසක් කොහෙත්ම එකඟ වන්නේ නැත. මුල් මිනිස් යුවළව ‘මනුෂ්‍යයා හා ඔහුගේ භාර්යාව’ ලෙස බයිබල් වාර්තාවෙහි හඳුන්වා ඇත. (උත්පත්ති 2:25) ඔවුන්ට දරුවන් බිහි කිරීමට ආඥා කරමින්, දෙවි මෙසේ පැවසීය. “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න.” (උත්පත්ති 1:28) යෙහෝවා ඔවුන්ට දරුවන් බිහි කරන්න කියා ආඥා කර, එම ආඥාවට එකඟව ඔවුන් ක්‍රියා කළ විට ඔවුන්ට දඬුවම් කරන්නේ නම් එය සාධාරණ දෙයක් වන්නේ නැත.—ගීතාවලිය 19:8.

4. දෙවි මිනිසාට ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට ඉඩ දුන්නේ මන්ද?

4 අපගේ මුල් දෙමාපියන්ටද ඉන්පසුව නෝවාට සහ ඔහුගේ පුත්‍රයන්ටද දෙවි දුන් ආඥාවෙන් ලිංගික සම්බන්ධකම්වල ප්‍රධාන අරමුණ කුමක්ද කියා පැහැදිලි වේ. එනම් දරුවන් බිහි කිරීමය. (උත්පත්ති 9:1) කෙසේවෙතත්, ලිංගික සම්බන්ධකම් පැවැත්වීම දරුවන් බිහි කිරීම සඳහා පමණක් සීමා කිරීමට විවාහක යුවළයන් බැඳී නැති බව දෙවිගේ වචනය පෙන්වයි. මෙවන් සම්බන්ධකම් පැවැත්වීමෙන් නිසි චිත්තවේගීය සහ කායික අවශ්‍යතා පිරිමැසෙන අතර, විවාහක යුවළකගේ සතුටටද එය දායක වනවා ඇත. එය එකිනෙකා සඳහා තම ගැඹුරු ආදරය පෙන්නුම් කිරීමට ක්‍රමයක් වේ.—උත්පත්ති 26:8, 9; හිතෝපදේශ 5:18, 19; 1 කොරින්ති 7:3-5.

දෙවි පනවා ඇති තහංචි

5. ලිංගික සම්බන්ධකම් පිළිබඳව දෙවි පැනවූ තහංචි මොනවාද?

5 ලිංගිකත්වය දෙවිගෙන් ලද දීමනාවක් වුවද, එය සංයමයකින් තොරව ප්‍රකාශ වන්නක් නොවේ. මෙම ප්‍රතිපත්තිය විවාහ විධිවිධානය තුළ පවා අදාළ වේ. (එපීස 5:28-30; 1 පේතෘස් 3:1, 7) විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් පැවැත්වීම බයිබලයේ තහනම් කර තිබේ. මේ කාරණය සම්බන්ධයෙන් බයිබලයේ ස්ථාවරය ඉතා පැහැදිලිය. දෙවි ඉශ්‍රායෙල් ජාතියට දුන් ව්‍යවස්ථාවෙහි මෙසේ සඳහන් වේ. “කාමමිථ්‍යාචාරය නොකරව.” (නික්මයාම 20:14) යේසුස්ද මිනිසා තුළ පහළ වන දූෂ්‍ය කරවන ‘නපුරු සිතිවිලිවලට,’ “වේශ්‍යාකම්” සහ “කාමමිථ්‍යාචාරකම්” ඇතුළත් වන බව පෙන්නුම් කළේය. (මාර්ක් 7:21, 22) “වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න” කියා කොරින්තියේ ක්‍රිස්තියානීන්ට උපදෙස් දීමට ප්‍රේරිත පාවුල්ට දෙවිගෙන් ආනුභාවය ලැබිණ. (1 කොරින්ති 6:18) හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපියෙහිද පාවුල් මෙසේ පැවසීය. “විවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව, යහන නොකිලුටුව තිබේවා; මක්නිසාද වේශ්‍යාකම්කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද [දෙවි විනිශ්චය කරන්නේය].”—හෙබ්‍රෙව් 13:4.

6. බයිබලයෙහි “වේශ්‍යාකම” යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්ද?

6 “වේශ්‍යාකම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? පෝ·ර්නෙʹයා නමැති ග්‍රීක් වචනය “වේශ්‍යාකම” ලෙස පරිවර්තනය කර ඇත. මෙම වචනය යොදාගන්නේ අවිවාහක පුද්ගලයන් අතර පවත්වන ලිංගික සම්බන්ධකම් විස්තර කිරීමටය. (1 කොරින්ති 6:9) මතෙව් 5:32 සහ මතෙව් 19:9 වැනි පදවල එය වඩාත් පුළුල් අරුතකින් භාවිත කොට ඇත. එම ස්ථානවලදී, අවිවාහක පුද්ගලයන් අතර සිදු වන ලිංගික සම්බන්ධකම්වලට අමතරව, කාමමිථ්‍යාචාරය (තම විවාහක කලත්‍රයා නොවන වෙනත් පුද්ගලයෙකු සමඟ සංවාසයේ යෙදීම), ව්‍යභිචාරය සහ සතුන් සමඟ සංවාසයේ යෙදීම යන අරුත්ද ඉන් ආවරණය කෙරේ. අවිවාහක පුද්ගලයන් අතර සිදු වන වෙනත් ලිංගික ක්‍රියාද පෝ·ර්නෙʹයා ලෙස වර්ග කළ හැක. මෙම ක්‍රියාවලට මුඛ සංවාසය හා ගුද සංවාසය මෙන්ම වෙනත් පුද්ගලයෙකුගේ ලිංගේන්ද්‍රයන් ලිංගික ක්‍රියාකාරකම් සඳහා පාවිච්චි කිරීම ඇතුළත්ය. දෙවිගේ වචනය මෙම ක්‍රියාවල් සියල්ලම ඍජුව හෝ වක්‍රාකාරව හෙළා දකියි.—ලෙවී කථාව 20:10, 13, 15, 16; රෝම 1:24, 26, 27, 32. *

දෙවිගේ සදාචාර නීතිවලින් ප්‍රයෝජන ලැබීම

7. සදාචාර පවිත්‍රකම රැකගැනීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

7 අසම්පූර්ණ මනුෂ්‍යයන් හැටියට, ලිංගික හැසිරීම සම්බන්ධයෙන් යෙහෝවා දී ඇති මඟ පෙන්වීමට කීකරු වීම අභියෝගයක් විය හැක. දොළොස්වන සියවසේ විසූ සුප්‍රසිද්ධ යුදෙව් දාර්ශනිකයෙකු වූ මයිමොනඩිස් මෙසේ ලීවේය. “තහනම් නෑයන් සමඟ ලිංගික සම්බන්ධකම් සහ නීතිවිරෝධී ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ තහනම, මුළු ටෝරාවේම [මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ] තිබෙන අසීරුතම තහනම වේ.” එනමුත් අපි දෙවිගේ මඟ පෙන්වීමට කීකරු වන්නෙමු නම්, ඉමහත් ප්‍රයෝජන ලබනවාට සැකයක් නොමැත. (යෙසායා 48:18) නිදසුනකට, අප මෙම කාරණය සම්බන්ධයෙන් කීකරු වනවා නම්, ලිංගික සංවාසය හේතුවෙන් පැතිරෙන රෝගවලින් ආරක්ෂාවක් ලැබේ. මින් සමහරකට ප්‍රතිකාරයක් නොමැති අතර, ඉන් මරණය පවා සිදු විය හැක. * එපමණක්ද නොව, එමගින් විවාහයෙන් පිටත සිදු වන ගැබ්ගැනීම්වලින්ද අපට ආරක්ෂාව ලැබේ. තවද දිව්‍ය ප්‍රඥාව අදාළ කරගැනීමෙන් පිරිසිදු හෘදය සාක්ෂියක්ද ඇතුව සිටීමට හැක. මේ හේතුවෙන්, පුද්ගලයෙකුගේ ආත්ම ගරුත්වය රැකෙන අතරම, නෑදෑ හිත මිතුරන්, සහකරුවා හෝ සහකාරිය, දරු දැරියන් සහ ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන්ගේ ගෞරවය ලැබීමටද හේතු වේ. මීට අමතරව, ලිංගික කාරණා සම්බන්ධයෙන් පිරිසිදු, ඒකාන්ත ආකල්පයක් ඇතුව සිටීමටද එය උපකාර වේ. මෙවන් ආකල්පයක් විවාහය තුළ සන්තෝෂය පවත්වාගැනීමට දායක වනවා ඇත. එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක් මෙසේ පැවසුවාය. “ලබාගන්න පුළුවන් හොඳම ආරක්ෂාව තමයි දෙවිගේ වචනයෙහි තිබෙන සත්‍යතාවය. මම තවමත් විවාහ වෙලා නැහැ. ඒ වුණාට විවාහ වුණහම, මම විවාහ වෙන ක්‍රිස්තියානි පුරුෂයාට මම පවිත්‍රව සිටියා කියල ආඩම්බරයෙන් කියන්න මට පුළුවන් වේවි.”

8. අපගේ පිරිසිදු හැසිරීම නිර්මල නමස්කාරයේ උන්නතියට රුකුලක් විය හැක්කේ කෙලෙසද?

8 පිරිසිදු හැසිරීමක් පවත්වාගැනීමෙන්, සැබෑ නමස්කාරය සම්බන්ධයෙන් තිබෙන වැරදිසහගත අදහස් නිෂ්ප්‍රභ කළ හැකි අතර, අප නමස්කාර කරන දෙවි වෙතට පුද්ගලයන්ව ආකර්ෂණය කළ හැකිය. ප්‍රේරිත පේතෘස් පැවසූ දෙයින් මෙය පැහැදිලි වේ. ඔහු මෙසේ ලීවේය. “නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී [දෙවිට] ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.” (1 පේතෘස් 2:12) යෙහෝවාට සේවය නොකරන ඇතැම් අයට අපගේ පිරිසිදු හැසිරීම ගැන පැහැදීමක් නොතිබුණද, එය අනුමත කිරීමට ඔවුන් අපොහොසත් වුවද, අපගේ ස්වර්ගික පියාගේ මඟ පෙන්වීම අනුගමනය කිරීමට අප දරන වෑයම ඔහු දකින බවත්, අනුමත කරන බවත්, ඒ ගැන ප්‍රීතියෙන් පවා සිටින බවත් අපට නිසැක විය හැක.—හිතෝපදේශ 27:11; හෙබ්‍රෙව් 4:13.

9. දෙවි මඟ පෙන්වීම් සැපයීමට හේතු ඇතැම් අවස්ථාවලදී අපට සම්පූර්ණයෙන් නොතේරුණද, ඒ ගැන අපට විශ්වාසයක් තිබිය යුත්තේ මන්ද? පැහැදිලි කරන්න.

9 දෙවි කෙරෙහි ඇදහිල්ල යනු කුමක්ද? ඊට ඇතුළත් වන්නේ, දෙවි යම් ආකාරයකින් අපට මඟ පෙන්වද්දී, එම මඟ පෙන්වීම් අප සම්පූර්ණයෙන් තේරුම් නොගත්තද, අපගේ උපරිම යහපතට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න ඔහු දන්නා බවට ස්ථිර විශ්වාසයකින් සිටීමය. මෝසෙස්ට දුන් ව්‍යවස්ථාවෙන් එක් නිදසුනක් සලකා බලමු. හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට කඳවුරු බැඳගත් අවස්ථාවලදී අදාළ වූ එක් රෙගුලාසියක් වූයේ කඳවුරෙන් පිට අසූචි වැළලීමය. (ද්විතීය කථාව 23:13, 14) මෙවැනි මඟ පෙන්වීමක් දීමට හේතුව කුමක්දැයි ඉශ්‍රායෙලිතයන් කල්පනා කළා විය හැක. එය අනවශ්‍යයි කියා ඇතමෙකු සිතුවා විය හැක. කෙසේවෙතත්, වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ එවන් නීතියක්, ජල සැපයුම පිරිසිදුව තබාගැනීමට සහ කෘමීන්ගෙන් බෝවන රෝගවලින් සෙනඟව ආරක්ෂා කිරීමට දායක වූ බව පැහැදිලි විය. ඊට සමානව දෙවි ලිංගික සම්බන්ධකම් විවාහයට පමණක් සීමා කර ඇත්තේ ආත්මික, සමාජීය, චිත්තවේගීය, කායික සහ මානසික හේතු පදනම් කරගෙනය. අපි දැන් සදාචාර පවිත්‍රකම ඇතුව සිටි කිහිපදෙනෙකුගේ ආදර්ශ බයිබලය ඇසුරෙන් බලමු.

සදාචාර පවිත්‍රකම නිසා ආශීර්වාද ලැබූ යෝසෙප්

10. යෝසෙප්ව ලිංගික දුරාචාරයට පොලඹවන්න උත්සාහ කළේ කවුද? ඔහු ඊට පිළිතුරු දුන්නේ කෙසේද?

10 බයිබලයෙහි සඳහන් යාකොබ්ගේ පුත් යෝසෙප්ගේ ආදර්ශය ඔබට නුහුරු එකක් නොවේ. යෝසෙප් දාහත්වන වියේ පසු වන විට, ඔහු මිසරයේ ඵාරාවෝගේ රැකවලුන්ගේ නායකයා වූ පෝතිඵර්ගේ දාසයෙකු ලෙස සේවය කළේය. යෙහෝවාගේ ආශීර්වාද ලැබූ යෝසෙප්ව, කල් යත්ම පෝතිඵර්ගේ නිවසේ ප්‍රධානියා ලෙස පත් කරන ලද්දේය. යෝසෙප් ඒ වන විට සිය 20ගණන්වල පසු වූ අතර, ඔහු “රූපසම්පන්න ශෝභමාන කෙනෙක්” වූයේය. පෝතිඵර්ගේ භාර්යාවගේ සිත ඔහු වෙත ඇදී ගිය අතර, ඔහුව වරදට පොලඹවාගැනීමට උත්සාහ දැරුවාය. තම ස්ථාවරය කුමක්ද කියා යෝසෙප් ඇයට පෙන්වා දුන්නේය. එවන් දෙයකට එකඟ වීම තම ස්වාමියාට ද්‍රෝහිවීමක් පමණක් නොව නමුත් ‘දෙවිට විරුද්ධව කරන පාපයක්’ බවත් හෙතෙම පැහැදිලි කළේය. යෝසෙප් මෙවන් නිගමනයකට එළඹුණේ මන්ද?—උත්පත්ති 39:1-9.

11, 12. වේශ්‍යාකම සහ කාමමිථ්‍යාචාරය තහනම් කරන ලිඛිත නීතියක් දෙවි ලබා දී නොතිබුණත්, යෝසෙප් ගත් ස්ථාවරයට හේතු වූයේ කුමක්ද?

11 යෝසෙප් ගත් තීරණය මනුෂ්‍යයන්ගේ අතට අසුවීමේ බියක් මත පදනම් වූ එකක් නොවූ බව පැහැදිලිය. යෝසෙප්ගේ පවුල සිටියේ බොහෝ දුර ඈතකය. ඔහුගේ පියා සිතුවේ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. යෝසෙප් ලිංගික දුරාචාරයෙහි යෙදුණත්, ඔහුගේ පවුලේ අයට ඒ ගැන දැනගැනීමට ප්‍රස්තාවක් නොලැබේ. කිසිවෙකු නිවසේ නොසිටි අවස්ථාවල් තිබූ නිසා, එවන් පාපයක් කළහොත් පෝතිඵර්ගෙන් සහ ඔහුගේ සේවකයන්ගෙන් පවා සඟවාගැනීමටද හැකිකම තිබිණ. (උත්පත්ති 39:11) එනමුත්, එවන් හැසිරීමක් දෙවිගෙන් සැඟවිය නොහැකි බව යෝසෙප් දැනසිටියේය.

12 යෝසෙප් යෙහෝවා ගැන තමා දත් දේ පිළිබඳව කල්පනා කළා විය හැක. යෙහෝවා විවාහය සම්බන්ධයෙන් ඒදන් උයනෙහි පැවසූ දේ ඔහු දැනසිටි බවට සැකයක් නැත. “පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය” යන්න යෙහෝවාගේ දෘෂ්ටිය විය. (උත්පත්ති 2:24) එපමණක්ද නොව, යෝසෙප්ගේ සීයාගේ අම්මා වූ සාරාට අතවර කරන්න මාන බලමින් සිටි පිලිස්තිය රජකෙනෙකුට යෙහෝවා පැවසූ දේද යෝසෙප් දැනසිටියා විය හැක. යෙහෝවා එම රජට මෙසේ පැවසීය. “බලව, නුඹ ගෙන්වාගත් ස්ත්‍රිය නිසා නුඹ මළ කෙනෙක්ය, මක්නිසාද ඈ මනුෂ්‍යයෙකුගේ භාර්යාවය . . . මට විරුද්ධව පව්කිරීමෙන් නුඹ වැළැක්කුවේ මමය. එබැවින් ඈට ස්පර්ශකරන්ට නුඹට ඉඩනෑරියෙමි.” (උත්පත්ති 20:3, 6, අකුරු ඇල කළේ අපය.) යෙහෝවා ලිඛිත නීතියක් සපයා දී නොතිබුණත්, විවාහය සම්බන්ධයෙන් ඔහුට ඉතා පැහැදිලි ස්ථාවරයක් තිබූ බව මින් පැහැදිලි වේ. සදාචාරමය පවිත්‍රකම සම්බන්ධයෙන් යෝසෙප්ට තිබූ හැඟීම සහ යෙහෝවාව සතුටු කිරීමට ඔහු තුළ තිබූ ආශාව, දුරාචාරය ප්‍රතික්ෂේප කිරීමට ඉවහල් විය.

13. යෝසෙප්ට පෝතිඵර්ගේ භාර්යාවව සම්පූර්ණයෙන්ම මඟහැරීමට නොහැකි වීමට ඇතැම්විට හේතු වන්න ඇත්තේ කුමක්ද?

13 කෙසේවෙතත්, පෝතිඵර්ගේ භාර්යාව තම උත්සාහය අත්හැරියේ නැත. ඇය “දවසින් දවස” යෝසෙප්ගෙන් ඉල්ලා සිටියේ තමා සමඟ සයනය කරන ලෙසටය. යෝසෙප්ට ඇයව මඟහැරීමට ක්‍රමයක් තිබුණේ නැද්ද? ඔහු දාසයෙකු වූ බව මතක තබාගන්න. දාසයෙකු වශයෙන් ඔහුට ඉටු කළ යුතු වගකම් තිබූ අතර, තමාට කැමති දේ කිරීමට කිසිදු බලයක් ඔහු සතු නොවීය. පුරාවිද්‍යාත්මක කැණීම්වලින් මිසර නිවෙස්වල සැලැස්ම ගැන යමක් හෙළි වේ. ගබඩා කාමර වෙත පිවිසීමට නිවස මැදින් යෑමට සිදු විය. එමනිසා, තම දෛනික කටයුතු කරන අතරතුරේදී, පෝතිඵර්ගේ භාර්යාවව මඟහැරීම යෝසෙප්ට අසීරු කාර්යයක් වන්නට ඇත.—උත්පත්ති 39:10.

14. (අ) යෝසෙප් පෝතිඵර්ගේ භාර්යාව වෙතින් පලා ගිය විට සිදු වූයේ කුමක්ද? (ආ) එනමුත් යෝසෙප්ගේ විශ්වාසවන්තකමට යෙහෝවා ආශීර්වාද කළේ කෙසේද?

14 ඔවුන් දෙදෙනා නිවසේ තනි වූ දවසක් කෙසේ හෝ උදා විය. යෝසෙප්ව අල්ලාගත් පෝතිඵර්ගේ භාර්යාව “මා සමග සයනයකරන්නැයි” පෙරැත්ත කළාය. යෝසෙප් පලා දිව්වේය. යෝසෙප්ගේ අඛණ්ඩ ක්‍රියාමාර්ගයට ඔහුට යෙහෝවාගෙන් ක්ෂණිකව විපාක ලැබුණාද? නැත. යෝසෙප් පෝතිඵර්ගේ භාර්යාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නිසා ඇය පළිගැනීමක් වශයෙන් ඔහු තමාව දූෂණය කිරීමට උත්සාහ කළ බවට චෝදනා කළාය. ප්‍රතිඵලය? ඔහුව බැඳ සිර අඩස්සියට දමන ලදි. (උත්පත්ති 39:12-20; ගීතාවලිය 105:18) සිදු වූ අයුක්තිය දුටු යෙහෝවා, නිසි කාලයේදී යෝසෙප්ව සිර අඩස්සියේ සිට රජ මාළිගයෙහි සේවයට උසස් කළේය. මිසරයේ ඵාරාවෝට පමණක් දෙවනි වූ ඔහු, භාර්යාවක සහ දරුවන් සිටීමේ ආශීර්වාදය භුක්ති වින්දේය. (උත්පත්ති 41:14, 15, 39-45, 50-52) යෝසෙප්ගේ අඛණ්ඩතාව පිළිබඳ එම වාර්තාව වසර 3,500කට පෙර වාර්තා කළේ, එදා පටන් අද දක්වා සිටින දෙවිගේ සේවකයන්ගේ ප්‍රයෝජනය සඳහාය. දෙවිගේ ධර්මිෂ්ඨ නීතිවලට අවනත වීම මොනතරම් ආශීර්වාද ගෙන දේද! අදදිනත් දිගටම සදාචාර ප්‍රමිතියක් රැකීමෙන් ක්ෂණික ප්‍රයෝජන නොලැබුණද අපට එක් දෙයක් ගැන නිසැක විය හැක. එනම් යෙහෝවා අපගේ ස්ථාවරය දකින බවත්, නිසි කාලයේදී අපට ආශීර්වාද කරන බවත්ය.—2 ලේකම් 16:9.

‘තම ඇස් සමඟ ගිවිසුමක් කළ’ යෝබ්

15. යෝබ් ‘තම ඇස් සමඟ කළ ගිවිසුම’ කුමක්ද?

15 අඛණ්ඩතාව පැවැත්වූ තවත් කෙනෙකි යෝබ්. පීඩාවට ලක් වූ අවස්ථාවේදී, යෝබ් තම ජීවිතයේ කළ දේවල් යළි සලකා බලා, සදාචාර පවිත්‍රකම හා සම්බන්ධ යෙහෝවාගේ ප්‍රතිපත්තිය ඇතුළුව යෙහෝවාගේ ප්‍රමිති උල්ලංගනය කර තිබුණා නම්, ඒ සඳහා දෙන ඕනෑම දඬුවමකට යටත් වන්න තමා කැමති බව ප්‍රකාශ කළේය. යෝබ් මෙසේ පැවසීය. “මාගේ ඇස් සමග ගිවිසුමක් කෙළෙමි; එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද?” (යෝබ් 31:1) දෙවි ඉදිරියෙහි අඛණ්ඩතාව රැකගැනීමේ අංගයක් වශයෙන්, ස්ත්‍රියක් දෙස කාමදාහයෙන් නොබලන්න පවා ඔහු අදිටන් කරගෙන සිටි බව මින් පැහැදිලි වේ. දෛනික ජීවිතයේදී මුණගැසෙන ස්ත්‍රීන්ට උපකාර අවශ්‍ය වූ විට එය පිරිනැමීමට ඔහු ඉදිරිපත් විය. එනමුත්, කාමුක ආශාවන් ඉටු කරගැනීමේ අරමුණින් ස්ත්‍රීන් කෙරෙහි අවධානය යොමු කිරීමට ඔහු කිසි සේත් නැඹුරු වූයේ නැත. තම පීඩාවන් ඇරඹීමට මත්තෙන්, යෝබ්ට ඉමහත් ධන සම්භාරයක් තිබූ අතර, “නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.” (යෝබ් 1:3) කෙසේවෙතත්, ස්ත්‍රීන් බොහෝදෙනෙකු තමා වෙත ආකර්ෂණය කිරීමට තම ධනය ඇමක් ලෙස ඔහු යොදාගත්තේ නැත. යෞවන ස්ත්‍රීන් සමඟ නොමනා ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ අදහස පවා ඔහු තම සිතේ පෝෂණය වීමට ඉඩ දුන්නේ නැත.

16. (අ) යෝබ් විවාහක ක්‍රිස්තියානීන් සඳහා කදිම ආදර්ශයක් වන්නේ මන්ද? (ආ) මලාකීගේ කාලයේ විසූ පුරුෂයන් හැසිරුණු ආකාරය යෝබ්ගේ හැසිරීමට හාත්පසින්ම වෙනස් වූ ආකාරය විස්තර කරන්න. අදදින ගැන කුමක් කිව හැකිද?

16 මෙසේ, යෝබ් තමාට පහසු මෙන්ම අපහසු අවස්ථාවලදී පවා සදාචාර පවිත්‍රකම අඛණ්ඩව රැක්කේය. මෙය නිරීක්ෂණය කළ යෙහෝවා, ඔහුට විපුල විපාක හිමි කර දුන්නේය. (යෝබ් 1:10; 42:12) විවාහක ක්‍රිස්තියානි පුරුෂයන් සහ ස්ත්‍රීන් සඳහා යෝබ් ඉතා කදිම ආදර්ශයකි. යෙහෝවා ඔහුට ප්‍රේම කිරීම පුදුමයක්ද! මීට වෙනස්ව, අදදින අප දකින හැසිරීම මලාකීගේ දවසේ දක්නට තිබූ හැසිරීමට සමානය. පුරුෂයන් බොහෝදෙනෙකු, තරුණ ස්ත්‍රීන් හා විවාහ වීමේ අරමුණින් තම භාර්යාවන් අත්හළ ආකාරය එම අනාගතවක්තෘවරයා හෙළා දුටුවේය. මෙලෙස අත්හළ භාර්යාවන්ගේ කඳුළුවලින් යෙහෝවාගේ පූජාසනය තෙමී තිබුණේය. එමනිසා, දෙවි තම කලත්‍රයන් සමඟ “ද්‍රෝහිලෙස ක්‍රියා” කළ අයව හෙළා දැක්කේය.—මලාකී 2:13-16.

නිර්මල ළඳක්

17. ෂූලම්මීය ළඳ ‘වැටකින් වට කළ උයනක්’ හා සමාන වූයේ කෙසේද?

17 අඛණ්ඩතාව පැවැත්වූ තුන්වැන්නා, ෂූලම්මීය ළඳය. රූපශ්‍රීයෙන් ශෝභමාන වූ මෙම තරුණ කත, එඬේර කොලුවෙකුගේ ආදරය ලැබුවා පමණක් නොව, ඉශ්‍රායෙල්හි ධනවත් රජ වූ සාලමොන්ගේ අවධානයටද යොමු විය. සාලමොන්ගේ ගීතිකාව ලෙස ප්‍රසිද්ධ වී ඇති මෙම ලස්සන කතාව පුරාම පෙන්වා දෙන ආකාරයට, මෙම ෂූලම්මීය ස්ත්‍රිය තම නිර්මලකම රැකගත් නිසා, තමන් අවට සැමගේ ගෞරවය දිනාගත්තාය. ඇය සාලමොන්ව ප්‍රතික්ෂේප කළද, ඇගේ කතාව වාර්තා කිරීමට ඔහු දෙවිගේ ආනුභාවය ලැබීය. ඇය පෙම් කළ එඬේර කොලුවාද ඇගේ නිර්මල හැසිරීමට ගෞරව කළේය. එක් අවස්ථාවකදී, ඔහු ඇයව ‘වැටකින් වට කළ උයනකට’ සමාන කළේය. (සාලමොන්ගේ ගීතිකාව 4:12) පුරාණ ඉශ්‍රායෙල්හි අලංකාර උද්‍යානවල විවිධාකාර, දැකුම්කලු එළවළු, සුවඳැති පුෂ්ප සහ ගස් දක්නට තිබිණ. මෙවැනි උද්‍යාන වැටකින් හෝ තාප්පයකින් වට කර තිබූ අතර, එතුළට පිවිසීම සඳහා තිබුණේ අගුල් දැමූ දොරටුවක් පමණි. (යෙසායා 5:5) එඬේර කොලුවාට ෂූලම්මීය ළඳගේ රූපශ්‍රීය සහ සදාචාර නිර්මලකම ඉතා අලංකාර උද්‍යානයක් හා සමාන විය. ඇය ඇත්තෙන්ම නිර්මල විය. ඇගේ ආදරය ලැබෙනු ඇත්තේ ඇගේ අනාගත පුරුෂයාට පමණි.

18. යෝසෙප්, යෝබ් සහ ෂූලම්මීය ළඳගේ ආදර්ශයන් අපට මතක් කර දෙන කාරණය කුමක්ද?

18 ෂූලම්මීය ළඳ සදාචාරය අඛණ්ඩව රැකගැනීම සම්බන්ධයෙන් අදදින ක්‍රිස්තියානි ස්ත්‍රීන්ට ඉතා කදිම ආදර්ශයක් සැපයීය. ෂූලම්මීය ළඳගේ සුචරිතවත් හැසිරීම දැක එය අගය කළ යෙහෝවා, යෝසෙප්ට සහ යෝබ්ට ආශීර්වාද කළාක් මෙන් ඇයටද ආශීර්වාද කළේය. දෙවිගේ වචනයෙහි ඔවුන්ගේ අඛණ්ඩතාව ගැන වාර්තා වී ඇත්තේ අපට මඟ පෙන්වීම සඳහාය. අදදින අපගේ අඛණ්ඩතාව රැකීමට අප දරන ප්‍රයත්නයන් බයිබලයෙහි වාර්තා නොවුණද, තම කැමැත්ත කිරීමට උත්සාහ දරන සැමදෙනා ගැන සඳහන් වන “සිහිවීමේ පොතක්” යෙහෝවා සතුය. යෙහෝවා අප කෙරෙහි “අවධානය යොමු කරමින්” [NW] සිටින බවත්, සදාචාර පවිත්‍රකම රැකගැනීමට අප පක්ෂපාතව උත්සාහ දරන විට ඔහු ඒ ගැන ප්‍රීති වන බවත් කිසිදා අමතක නොකරමු.—මලාකී 3:16.

19. (අ) අප සදාචාරමය පවිත්‍රකම සැලකිය යුත්තේ කෙසේද? (ආ) මීළඟ ලිපියෙහි සාකච්ඡා කරනු ලබන්නේ කුමක්ද?

19 ඇදහිල්ලක් නොමැති අය අපට නිග්‍රහ කළත්, අපගේ ප්‍රේමනීය මැවුම්කරුට කීකරු වීම ගැන අපි ප්‍රීති වන්නෙමු. අප අනුගමනය කරන සදාචාර ප්‍රමිති ඉතා උසස් ඒවා වන්නේ, ඒවා දෙවිට එකඟ සදාචාර ප්‍රමිති වන නිසාය. එම ප්‍රමිති ගැන අප ආඩම්බර විය යුතුයි. එමෙන්ම එය රැකිය යුතුයි. පිරිසිදු සදාචාර ස්ථාවරයක් පවත්වාගැනීම නිසා දෙවි අපට ආශීර්වාද කරන විට, අපට අතිශයින් ප්‍රීති විය හැකි අතර, නිමක් නැති අනාගත ආශීර්වාද ලැබීමේ දීප්තිමත් බලාපොරොත්තුවද තබාගත හැක. කෙසේවෙතත්, සදාචාරමය වශයෙන් පවිත්‍රව සිටීමට අපට ප්‍රායෝගිකව කුමක් කළ හැකිද? මෙම වැදගත් පැනයට පිළිතුරු මීළඟ ලිපියෙහි සාකච්ඡා කෙරේ.

[පාදසටහන්වල]

^ 6 ඡේ. මුරටැඹ (ඉංග්‍රීසියෙන්) 1983 මාර්තු 15, 29-31 පිටු බලන්න.

^ 7 ඡේ. අභාග්‍යකට මෙන්, දෙවිගේ මඟ පෙන්වීම අනුගමනය නොකළ නොඇදහිලිකාර කලත්‍රයෙකුගේ ද්‍රෝහිකම හේතුවෙන්, අහිංසක ක්‍රිස්තියානියෙකුට ලිංගික සංවාසයෙන් බෝවන රෝගයක් හටගත හැකි අවස්ථා පැනනැඟිය හැක.

ඔබට පැහැදිලි කළ හැකිද?

• බයිබලය ලිංගික සම්බන්ධකම් ගැන උගන්වන්නේ කුමක්ද?

• බයිබලයෙහි සඳහන් “වේශ්‍යාකම” යන වචනයෙන් අදහස් වන්නේ කුමක්ද?

• සදාචාර පවිත්‍රකම රැකගැනීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

• යෝසෙප්, යෝබ් සහ ෂූලම්මීය ළඳ අදදින ක්‍රිස්තියානීන් සඳහා කදිම ආදර්ශයක් වන්නේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

යෝසෙප් දුරාචාරයෙන් පලා ගියේය

[10වන පිටුවේ පින්තූරය]

ෂූලම්මීය ළඳ ‘වැටකින් වට කළ උයනක්’ හා සමාන විය

[11වන පිටුවේ පින්තූරය]

යෝබ් ‘තම ඇස් සමඟ ගිවිසුමක්’ කර තිබිණ