Skip to content

පටුනට යන්න

සදාචාර පවිත්‍රකම රැකගැනීමට ඔබට පුළුවන

සදාචාර පවිත්‍රකම රැකගැනීමට ඔබට පුළුවන

සදාචාර පවිත්‍රකම රැකගැනීමට ඔබට පුළුවන

‘දෙවිට ප්‍රේමවීම නම් අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය. ඔහුගේ ආඥා බර නැත.’—1 යොහන් 5:3.

1. හැසිරීම සම්බන්ධව ජනයා අතරෙහි අදදින කුමන වෙනසක් දැකගත හැකිද?

වසර 2,400කට පමණ පෙර, දෙවිගේ සෙනඟගේ හැසිරීමත් දෙවිට සේවය නොකරන ජනයාගේ හැසිරීමත් අතර කැපීපෙනෙන වෙනසක් දක්නට ලැබෙන කාලයක් ගැන පුරෝකථනය කිරීමට අනාගතවක්තෘ මලාකී දෙවිගෙන් ආනුභාවය ලැබීය. ඒ අනාගතවක්තෘවරයා මෙසේ ලීවේය. “ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද [දෙවිට] සේවයකරන්නා සහ [ඔහුට] සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.” (මලාකී 3:18) මෙම අනාවැකිය වර්තමානයේ ඉටු වෙමින් පවතී. සදාචාර පවිත්‍රකම හා සම්බන්ධ ආඥා ඇතුළුව දෙවිගේ සියලු ආඥා පැවැත්වීම, අපගේ ජීවිතයේ ගත යුතු ප්‍රඥාවන්ත මෙන්ම නිවැරදි ක්‍රියාමාර්ගය වේ. එනමුත්, එය සැම විටම පහසු වන්නේ නැත. එසේ නම්, ගැළවීම ලබාගැනීමට වීර්යය කරන්න කියා යේසුස් ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ හොඳ හේතු ඇතුවය.—ලූක් 13:23, 24.

2. සදාචාර පවිත්‍රකම රැකගැනීම ඇතමුන්ට අසීරු වන්නේ කුමන බාහිර බලපෑම් නිසාද?

2 සදාචාර පවිත්‍රකම රැකගැනීම අසීරු දෙයක් වන්නේ මන්ද? බාහිර බලපෑම් ඊට එක් හේතුවකි. රූපවාහිනිය සහ චිත්‍රපටි වැනි මාධ්‍යයන් නොමනා ලිංගික සම්බන්ධකම් පැවැත්වීම කාලයට ගැළපෙන, උපරිම වින්දනයක් ලැබිය හැකි, ජනප්‍රිය, මේරූ පුද්ගලයන් කරන දෙයක් ලෙස දක්වන්නේ, ඒ හා බැඳි අහිතකර ප්‍රතිවිපාක ගැන කිසිදු ඉඟියක්වත් නොදෙමිනි. (එපීස 4:17-19) ඒවාවල වැඩි වශයෙන්ම පෙන්වන්නේ අවිවාහක අය අතර පවත්වන ලිංගික සම්බන්ධකම්ය. තවද චිත්‍රපටි සහ රූපවාහිනි වැඩසටහන්වල එන චරිත ගෙතී ඇත්තේ කිසිදු බැඳීමකින් තොරව, වින්දනය සඳහා පමණක් පවත්වන ලිංගික සම්බන්ධකම් වටාය. මෙවැනි සම්බන්ධකම්වලදී විශේෂයෙන් කාමදාහය රජයයි. මුදු මොළොක් සෙනෙහස සහ අන්‍යොන්‍ය ගෞරවය දක්නට නොලැබේ. බොහෝදෙනෙකු කුඩා කල සිට හැදී වැඩී ඇත්තේ එවැනි වාතාවරණයක් තුළය. තවද, අද පවතින ලිහිල් සදාචාරමය වාතාවරණයට අනුව හැඩගැසීම සඳහා ඉතා දැඩි තුල්‍ය පීඩනයක් එල්ල වන අතර, එසේ හැඩ නොගැසෙන අය සමච්චලයට හා සරදමට ලක් වේ.—1 පේතෘස් 4:4.

3. ලෝකයේ බොහෝදෙනෙකු දුරාචාරයෙහි යෙදීමට හේතු සමහරක් මොනවාද?

3 සදාචාර පවිත්‍රකම රැකගැනීම අසීරු කරවන තවත් හේතුවකි පුද්ගලයෙකු තුළින්ම ඇති වන බලපෑම. යෙහෝවා මනුෂ්‍යයන්ව මැව්වේ ලිංගික ආශාවන් සමඟින් වන අතර, එම හැඟීම් උත්සන්න විය හැක. සාමාන්‍යයෙන් යම් දෙයකට ආශාවක් හෝ තෘෂ්ණාවක් ඇති වන්නේ, කෙනෙකු කල්පනා කරන දේවල් නිසාය. දුරාචාරයෙහි යෙදීමට පෙලඹීමක් ඇති වන්නේ, යෙහෝවාගේ සිතුවිලිවලට එකඟ නොවන දේවල් ගැන කල්පනා කරන විටය. (යාකොබ් 1:14, 15) බ්‍රිතාන්‍යයෙහි එක් වෛද්‍ය සඟරාවක පළ වූ මෑතක කළ සමීක්ෂණයකදී හෙළි වූයේ, මුල් වරට ලිංගික සම්බන්ධකම්වල නියැලුණු බොහෝදෙනෙකු එසේ කළේ කුතුහලය නිසා බවය. තවත් අය ඊට පෙලඹී ඇත්තේ ඔවුන්ගේ වයසේ බොහෝදෙනෙකු ලිංගික සම්බන්ධකම්වල නියැලුණු නිසාය. තමන්ව ලිංගික සම්බන්ධකම් පවත්වා නැති කෙනෙකු ලෙස හංවඩු ගසනවාට ඔවුහු අකමැති වූහ. තවත් සමහරුන් කියා සිටියේ, තම හැඟීම් පාලනය කිරීමට නොහැකි වූ නිසා හෝ ඒ මොහොතේ වෙරි වී සිටි නිසා ඔවුන් එවැනි සම්බන්ධකම් පැවැත්වූ බවයි. දෙවිව සතුටු කිරීමට නම්, අප ඊටත් වඩා වෙනස් ආකාරයකින් සිතිය යුතුය. සදාචාර පවිත්‍රකම රැකගැනීමට අපට උපකාර කරන්න යන්නේ කෙබඳු චින්තන රටාවක්ද?

ස්ථිර අදිටනක් ගොඩනැඟීම

4. සදාචාර නිර්මලකම රැකගැනීමට අප කුමක් කළ යුතුද?

4 සදාචාර නිර්මලකමක් රැකගැනීමට නම්, එවැනි ජීවිතයක් ගත කිරීම ප්‍රයෝජනදායක වන බව අප මුලින්ම තේරුම්ගත යුතුය. ප්‍රේරිත පාවුල් රෝමයේ විසූ ක්‍රිස්තියානීන්ට ලියූ දෙයට මෙය එකඟ වේ. ඔහු මෙසේ පැවසීය. “[දෙවිගේ] කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්න.” (රෝම 12:2) සදාචාර නිර්මලකම රැකීම ප්‍රයෝජනදායක දෙයක් බව තේරුම්ගැනීම, දුරාචාරය දෙවිගේ වචනයෙහි හෙළාදැක ඇති බව දැනසිටීමට වඩා වැඩි යමකි. දුරාචාරය හෙළාදැකීමට හේතු සහ ඉන් වැළකී සිටීමෙන් අප ප්‍රයෝජන ලබන ආකාරය තේරුම්ගැනීම ඊට අයත් වේ. මෙම කාරණා සමහරක් කලින් ලිපියෙහි සලකා බැලිණ.

5. ක්‍රිස්තියානීන් සදාචාර නිර්මලකම රැකගැනීමට ආශා විය යුතු ප්‍රබලතම හේතුව කුමක්ද?

5 ඇත්තෙන්ම ක්‍රිස්තියානීන් ලිංගික දුරාචාරයෙන් වැළකී සිටීමට ප්‍රබලතම හේතුව, දෙවි සමඟ තිබෙන ඔවුන්ගේ සම්බන්ධතාවයි. අපගේ යහපතට වඩාත්ම සුදුසු වන්නේ කුමක්ද කියා ඔහු දන්නා බව අප ඉගෙන ඇත. එමනිසා ඔහු සඳහා අපට තිබෙන ප්‍රේමය, නපුර ද්වේෂ කිරීමට රුකුලක් වේ. (ගීතාවලිය 97:10) “සෑම යහපත් දීමද සෑම සම්පූර්ණ දීමනාවද” සපයා දෙන්නා දෙවිය. (යාකොබ් 1:17) ඔහු අපට ප්‍රේම කරයි. අපද ඔහුට ප්‍රේම කරන බවත්, අප උදෙසා ඔහු කර ඇති සියල්ල අගය කරන බවත් අපගේ කීකරුකමෙන් පෙන්වමු. (1 යොහන් 5:3) යෙහෝවාගේ ධර්මිෂ්ඨ ආඥා කැඩීමෙන් ඔහුගේ සිතට වේදනා ගෙන දීමට අප කොහෙත්ම කැමති නැත. (ගීතාවලිය 78:41) තවද ඔහුගේ ශුද්ධ, ධර්මිෂ්ඨ නමස්කාර පිළිවෙත නිග්‍රහයට ලක් වන ආකාරයෙන් ක්‍රියා කිරීමට අප කිසිවිටකත් කැමති වන්නේ නැත. (තීතස් 2:5; 2 පේතෘස් 2:2) සදාචාර නිර්මලකම රැකගැනීමෙන්, අපි මහෝත්තමයාගේ සිතට ප්‍රීතිය ගෙන දෙන්නෙමු.—හිතෝපදේශ 27:11.

6. අපගේ සදාචාර ප්‍රමිති අන්‍යයන්ට දැනගැනීමට සැලැස්වීම උපකාරයක් වන්නේ කෙසේද?

6 නිර්මල සදාචාරය රැකගැනීමට අදිටන් කරගත් පසු, එම අදිටන අන්‍යයන්ට දැනගැනීමට සැලැස්වීම තවත් ආරක්ෂාවක් වේ. ඔබ යෙහෝවා දෙවිගේ සේවකයෙකු බවත්, ඔහුගේ උසස් ප්‍රමිති පැවැත්වීමට අදිටන් කරගෙන සිටින බවත් සියලුදෙනාටම දැනගැනීමට සලස්වන්න. ඔබේ ජීවිතය, ඔබේ ශරීරය අයිති ඔබටය. එමනිසා තේරීම ඔබ අතෙහිය. එනමුත් ඔබ කරන තේරීම ඔබේ ස්වර්ගික පිය වූ දෙවි සමඟ ඔබට තිබෙන අනගි සම්බන්ධතාවට බලපායි. එමනිසා සදාචාර ප්‍රමිති සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය මොනම කාරණයක් නිසාවත් අත්හරින්නේ නැති බව පැහැදිලි කර දෙන්න. දෙවිගේ ප්‍රමිතිවලට ඇලී සිටීමෙන් ඔහුගේ සේවකයෙකු වශයෙන් පෙනී සිටිය හැකි අතර, ඒ ගැන ආඩම්බර වන්න. (ගීතාවලිය 64:10) ඔබේ සදාචාර ප්‍රමිති අන්‍යයන් සමඟ සාකච්ඡා කිරීමට කිසිවිටකත් ලජ්ජා නොවන්න. මෙය නිර්භීතව කතා කිරීමට ඔබව ශක්තිමත් කළ හැකි අතර, එය ඔබට ආරක්ෂාවක්ද වේ. තවද ඔබේ ආදර්ශය අනුගමනය කිරීමට අන්‍යයන්ද එයින් දිරිගැන්වීමක් ලබනු ඇත.—1 තිමෝති 4:12.

7. සදාචාර නිර්මලකම රැකගැනීමට වූ අපගේ අධිෂ්ඨානය අප දිගටම පවත්වාගන්නේ කෙසේද?

7 සදාචාර නිර්මලකම රැකගැනීමට අදිටන් කරගෙන, එම අදිටන අන්‍යයන්ට දැනගැනීමට සැලැස්වීමෙන් පසු, එම ස්ථාවරයෙහි රැඳී සිටීමට පියවර ගත යුතුය. මෙය කළ හැකි එක් මාර්ගයකි, මිත්‍රයන් තෝරාගැනීමේදී පරෙස්සම් වීම. බයිබලය මෙසේ උපදෙස් දෙයි. “ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය.” ඔබ පිළිපදින සදාචාර ප්‍රමිතිම පිළිපදින අය සමඟ ඇසුරු කිරීම ඔබට මහත් රුකුලක් වනු ඇත. “එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය” කියාත් එහි පෙන්වා දෙයි. (හිතෝපදේශ 13:20) ඔබේ අදිටනට බාධාවක් විය හැකි අයගේ ආශ්‍රයෙන් හැකි තරම් වැළකී සිටින්න.—1 කොරින්ති 15:33.

8. (අ) අපගේ මනස් හිතකර දේවලින් පෝෂණය කළ යුත්තේ මන්ද? (ආ) අප මඟහැරිය යුත්තේ කුමන දේවල්ද?

8 මීට අමතරව, සැබෑ, ගරු කටයුතු, ධර්මිෂ්ඨ, පිරිසිදු, ආදරණීය, ගුණවත්, ප්‍රශංසනීය දේවල්වලින් අපගේ මනස පෝෂණය කළ යුතුය. (පිලිප්පි 4:8) අප නරඹන සහ කියවන දේවල් මෙන්ම සවන් දෙන සංගීතය සම්බන්ධයෙන්ද තෝරා බේරා කටයුතු කිරීමෙන් අපට මෙය කළ හැකිය. දුරාචාරමය පොත් පත් ආදියෙන් කිසිදු හානියක් එල්ල නොවේය කියා පැවසීම, ගුණාත්මක පොත් පත් ආදියෙන් කිසිදු ප්‍රයෝජනයක් නොලැබෙනවා කියා පවසනවා හා සමානය. අසම්පූර්ණ මනුෂ්‍යයන් දුරාචාරය නමැති උගුලට පහසුවෙන් හසු විය හැකි බව මතක තබාගන්න. එමනිසා, කාමුක හැඟීම් අවුස්සන පොත් පත්, සඟරා, චිත්‍රපටි සහ සංගීතය වැරදි තෘෂ්ණාවලට මඟ පාදන අතර, මේවා අන්තිමේදී පාපයට දොර විවෘත කළ හැක. සදාචාර පවිත්‍රකම රැකගැනීමට නම්, අපගේ මනස් දිව්‍ය ප්‍රඥාවෙන් පෝෂණය කළ යුතුය.—යාකොබ් 3:17.

දුරාචාරයට මඟ

9-11. සාලමොන්ගේ විස්තරයට අනුව, එක්තරා තරුණයෙකුව දුරාචාරයට ක්‍රමක්‍රමයෙන් ඇද දැමුවේ කුමන පියවරද?

9 දුරාචාරයට මඟ පාදන පහසුවෙන් හඳුනාගත හැකි පියවර තිබේ. මේ සෑම පියවරක්ම ගනු ලැබුවායින් පසු, ආපසු හැරීම දුෂ්කර යමක් වේ. හිතෝපදේශ 7:6-23හි මෙය විස්තර කර ඇති ආකාරය සැලකිල්ලට ගන්න. සාලමොන් “හෘදයේ අඩුවක්” [NW] නැත්නම් පිරිසිදු චේතනාවලින් ඌනව සිටින ‘තරුණයෙකුව’ දකියි. මේ තරුණයා “සවස ඇඳිරියෙහි, මධ්‍යම රාත්‍රියේ කළුවරෙහි, ඇගේ [ගණිකාවකගේ] ගෙයි කොන ළඟ වීථිය පසුකොට, ඇගේ ගෙට යන මාර්ගයෙහි ගියේය.” ඔහු කරන පළමු වරද එයයි. සවස් යාමේදී ඔහුගේ ‘හෘදය’ ඔහුට මඟ පෙන්වා ඇත්තේ, සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකු ගමන් ගන්නා වීථියකට නොව, නමුත් නිතරම ගණිකාවක් සොයාගත හැකි බව දන්නා වීථියකට යෑමටය.

10 ඊළඟට එහි මෙසේ පැවසේ. “එවිට වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය.” දැන් ඔහු ඇයව දකියි! අවශ්‍ය නම් ඇයට පිටු පා තම නිවස බලා යෑමට ඔහුට හැකිකම තිබිණ. එනමුත්, ඔහු සදාචාරමය වශයෙන් පහත් අඩියටම වැටී සිටින නිසා, ඔහුට එසේ කිරීම ඉතා අසීරුය. ඇය ඔහු අල්ලාගෙන ඔහුව සිපගනී. සිපගැනීමෙන් පසු, ඇගේ කාමුක බස්වලට ඔහු තම සවන් යොමු කරයි. “ශාන්ති පූජා මා ළඟ තිබේ; අද මාගේ භාර ඉෂ්ටකෙළෙමි” කියා ඇය පවසයි. ශාන්ති පූජාවලට, මස්, පිටි, තෙල් සහ මුද්‍රිකපානය ඇතුළත් විය. (ලෙවී කථාව 19:5, 6; 22:21; ගණන් කථාව 15:8-10) ඇය මේවා ගැන සඳහන් කරන්නේ මන්ද? සමහරවිට ඇය ආත්මික දේවල් ගැන සලකන කෙනෙකු කියා ඇඟවීමට විය හැක. ඒත් සමඟම, ඇගේ නිවසේ කෑමට සහ බීමට රසවත් දේවල් රැසක් තිබෙනවා කියා දැන්වීමටද විය හැක. ඒ හේතුවෙන් ඇය මෙසේ ආයාචනා කරයි. “එන්න, උදය දක්වා අපි ප්‍රේමය බොමු; ආදරයෙන් ප්‍රීතිවෙමු.”

11 මේ සියල්ල කෙළවර වන්නේ කුමකින්ද යන්න සිතාගැනීම අපහසු කාර්යයක් නොවේ. “ඇගේ බොහෝ මිහිරි කථාවලින් ඔහු කැමැතිකරවා, ඇගේ තොල්වල ඉච්චාවෙන් ඔහු ඇදගනයයි. ගොනෙකු මරණයට යන්නාක් මෙන්ද, . . . පක්ෂියෙක් ඊට [මලපතට] යුහුව යන්නාක්මෙන්ද” ඔහු ඇය සමඟ යන්නේය. සාලමොන් තම විස්තරයට මෙම බැරෑරුම් වදන්ද ඇතුළත් කරයි. “තම ප්‍රාණය හානිකිරීමට තිබෙන බව” ඔහු නොදනියි. ඔහුගේ ප්‍රාණය නොහොත් ජීවිතය මීට සම්බන්ධ වන්නේ ‘දෙවි වේශ්‍යාකම් කරන්නන්ද කාමමිථ්‍යාචාරිකයන්ද විනිශ්චය’ කරන නිසාය. (හෙබ්‍රෙව් 13:4) ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම මොනතරම් ප්‍රබල පාඩමක්ද! දෙවිගේ අප්‍රසාදයට හේතු විය හැකි මාර්ගයකට පිවිසීමේ මුල් පියවර ගැනීමෙන් පවා අප වැළකී සිටිය යුතුය.

12. (අ) “හෘදයේ අඩුවක්” යන යෙදුමෙහි තේරුම කුමක්ද? (ආ) අපට සදාචාරය සම්බන්ධයෙන් ශක්තිමත් ස්ථාවරයක් ගොඩනැඟිය හැක්කේ කෙසේද?

12 මෙම වාර්තාවෙහි සඳහන් තරුණයාගේ “හෘදයේ අඩුවක්” තිබූ බව සැලකිල්ලට ගන්න. මින් අදහස් කරන්නේ ඔහු සිතූ දේ, ආශා කළ දේ, ඇල්මක් දැක්වූ දේ සහ ඔහුගේ චිත්තවේගයන් මෙන්ම ඉලක්කයන් දෙවි අනුමත කරන දේවලට එකඟව දිව ගියේ නැති බවය. සදාචාර ප්‍රමිති රැකීමට ඔහු තුළ ශක්තියක් නොතිබුණු නිසා ඛේදනීය ප්‍රතිඵල අද්දැකීමට සිදු විය. මෙම අර්බුදකාරි “අන්තිම දවස්වල” සදාචාරය සම්බන්ධයෙන් ශක්තිමත් ස්ථාවරයක් ගොඩනැඟීමට සෑහෙන ප්‍රයත්නයක් දැරිය යුතුය. (2 තිමෝති 3:1) දෙවි අපගේ උපකාරය සඳහා බොහෝ දේ සපයා ඇත. නිවැරදි මඟෙහි දිගටම යෑමට අපට අවශ්‍ය දිරිගැන්වීම ලබා දීමටත්, අප හා සමාන ඉලක්කයන් ඇති අය සමඟ ආශ්‍රය කිරීමටත් ඔහු ක්‍රිස්තියානි සභාවේ රැස්වීම් සපයා ඇත. (හෙබ්‍රෙව් 10:24, 25) අපව රැකබලා ගනිමින්, ධර්මිෂ්ඨකමේ මාවත් අපට කියා දෙන සභා වැඩිමහල්ලෝද සිටිති. (එපීස 4:11, 12) අපට මඟ පෙන්වීම සඳහා දෙවිගේ වචනය වන බයිබලයද අපට දී ඇත. (2 තිමෝති 3:16) තවද, උපකාරය සඳහා දෙවිගේ ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කිරීමටද අපට ඕනෑම අවස්ථාවක පුළුවන.—මතෙව් 26:41.

දාවිත්ගේ පාපවලින් උගත හැකි පාඩමක්

13, 14. දාවිත් රජ බරපතළ පාපයකට ඇද වැටුණේ කෙසේද?

13 දෙවිට ඉතා විශිෂ්ට සේවයක් පිරිනැමූ අය පවා ලිංගික දුරාචාරයේ උගුලට හසුවීම කනගාටුවට කරුණකි. දශක ගණනාවක් පුරා යෙහෝවාට විශ්වාසවන්ත සේවයක් පිරිනැමූ දාවිත් රජ එවන් අයෙකි. ඔහු දෙවිට ඉතා ගැඹුරින් ප්‍රේම කළ බවට සැකයක් නැත. එනමුත්, ඔහු බරපතළ පාපයකට ඇද වැටුණේය. සාලමොන් විස්තර කළ තරුණයා හා සමානව, දාවිත්ගේ පාපයට හේතු වූ පියවර කිහිපයක් සහ එම පාපය තවත් බරපතළ කළ දේවල් සමහරක් අපි දැන් බලමු.

14 ඒ වන විට දාවිත් වයසින් අවුරුදු 50ක් පමණ වන්නට ඇත. තම රජගෙදර සඳලුතලයේ සක්මන් කරමින් සිටියදී, ඔහු ඉතා රූමත් බැත්-ෂෙබා නානවා දුටුවේය. ඇය ගැන විමසූ විට, ඇගේ පුරුෂයා උරියා බවත්, ඔහු රබ්බා නම් අම්මොන් නුවර වැටලීමේ කාර්යයෙහි නිරත වන බවත් දැනගත්තේය. දාවිත් ඇයව රජගෙදරට ගෙන්වාගෙන, ඇය සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීය. එනමුත්, පසුව ගැටලුවක් පැනනැඟිණ. ඇය ගර්භිණි වූවාය. උරියා ඔහුගේ භාර්යාව සමඟ රාත්‍රියක් ගත කරයි යන අපේක්ෂාවෙන්, දාවිත් ඔහුව යුධ බිමෙන් කැඳවීය. එසේ කළේ බැත්-ෂෙබාගේ දරුවා සියලුදෙනා විසින් උරියාගේ දරුවා ලෙස සැලකීමට මඟ උදා කරගත හැකියි කියා ඔහු සිතූ නිසාය. එනමුත් උරියා තම නිවසට ගියේ නැත. තම පාපය වසං කිරීමට දාවිත් කොතරම් දුරදිග ගියාද කිවහොත්, ඔහු උරියාව රබ්බාවලට නැවත යවද්දී, පහසුවෙන් මරණයට ලක් විය හැකි ස්ථානයකට ඔහුව දමන ලෙස සඳහන් කරමින් උරියා අතේම හමුදාපතිට ලිපියක් යැවීය! එහි ප්‍රතිඵලයක් ලෙස උරියා මිය ගියේය. එවිට, වැන්දඹුවක් වූ බැත්-ෂෙබා ගර්භිණි බව ප්‍රසිද්ධ වීමට කලින් දාවිත් ඇය හා විවාහ විය.—2 සාමුවෙල් 11:1-27.

15. (අ) දාවිත්ගේ පාපය හෙළි වූයේ කෙසේද? (ආ) නාතාන් දක්ෂ ලෙස ඉදිරිපත් කළ තරවටුවට දාවිත් ප්‍රතික්‍රියා කළේ කෙසේද?

15 තම පාපය වසං කිරීමට දාවිත් යෙදූ උපාය සාර්ථක වූ බවක් පෙනිණ. මාස කිහිපයක්ම ගත වූ පසු දරුවෙකු එනම් පුතෙකු මෙලොව එළිය දිටීය. දාවිත් ගීතා 32වන ගීතිකාව රචනා කළේ මෙම සිද්ධිය මනසෙහි තබාගෙන නම්, එය ඔහුගේ හෘදය සාක්ෂියට සෑහෙන්න වද දී ඇති බව අපට පෙනේ. (ගීතාවලිය 32:3-5) කෙසේවෙතත්, මෙම පාපය දෙවිගෙන් සඟවාගත නොහැකි විය. බයිබලයෙහි මෙසේ පැවසේ. “දාවිත් කළ ක්‍රියාව [යෙහෝවා] ඉදිරියෙහි දුෂ්ටව තිබුණේය.” (2 සාමුවෙල් 11:27) එමනිසා, යෙහෝවා අනාගතවක්තෘ නාතාන්ව දාවිත් වෙත යැවූ අතර, නාතාන් දාවිත් කළ ක්‍රියාව ඔහුට දක්ෂ ලෙස පෙන්වා දුන්නේය. දාවිත් වහාම තම පාපය පිළිගෙන, යෙහෝවාගෙන් සමාව අයැද සිටියේය. ඔහුගේ අවංක පසුතැවිල්ල, දෙවි සමඟ නැවත සමඟි වීමට මඟ පෑදීය. (2 සාමුවෙල් 12:1-13) දාවිත් තමා ලැබූ තරවටුවට පිටුපෑවේ නැත. ඒ වෙනුවට ඔහු ගීතාවලිය 141:5හි විස්තර කර ඇති ආකල්පය විදහාපෙන්වීය. “ධර්මිෂ්ඨයා මට පහරදේවා. ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා.”

16. වැරදි කිරීම ගැන සාලමොන් දුන්නේ කුමන අනතුරු ඇඟවීම මෙන්ම අවවාදයද?

16 දාවිත් සහ බැත්-ෂෙබාගේ දෙවන පුත් සාලමොන්, තම පියාගේ ජීවිතයේ මෙම ඛේදජනක සිද්ධිය ගැන ගැඹුරින් කල්පනා කළා විය හැක. එහෙයින් ඔහු මෙසේ ලීවේය. “තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.” (හිතෝපදේශ 28:13) අප බරපතළ පාපයකට ඇද වැටී ඇත්නම්, අනතුරු ඇඟවීමක් මෙන්ම අවවාදයක්ද වන මෙම දේවානුභාවය ලත් උපදේශයට අප අවනත විය යුතුය. එමෙන්ම යෙහෝවා ඉදිරියෙහි අපගේ පාපය පිළිගෙන, උපකාරය සඳහා සභා වැඩිමහල්ලන් වෙත එළඹිය යුතුය. මන්ද වැඩිමහල්ලන්ට තිබෙන වැදගත් වගකීමක් වන්නේ, වරදකට වැටී ඇති කෙනෙකුව හරිගැස්වීමය.—යාකොබ් 5:14, 15.

පාපයේ ප්‍රතිවිපාක දරාගැනීම

17. යෙහෝවා පව්වලට සමාව දුන්නද, අපව කුමකින් ආරක්ෂා නොකරයිද?

17 යෙහෝවා දාවිත්ට සමාව දුන්නේය. ඒ මන්ද? දාවිත් අඛණ්ඩතාව රැකගත්, අන්‍යයන්ට දයාව පෙන්වූ, සැබෑ පසුතැවිල්ලක් පෙන්වූ පුරුෂයෙකු වූ නිසාය. එනමුත්, යෙහෝවා එහි ඛේදනීය ප්‍රතිවිපාකවලින් දාවිත්ව ආරක්ෂා කළේ නැත. (2 සාමුවෙල් 12:9-14) මෙය අදදිනටත් අදාළය. යෙහෝවා පසුතැවිලි වන අයට නපුරක් නොකළද, ඔවුන්ගේ වැරදි ක්‍රියාවල ප්‍රතිවිපාකවලින් ඔවුන්ව ආරක්ෂා කරන්නේ නැත. (ගලාති 6:7) දික්කසාදය, අනපේක්ෂිත ගැබ්ගැනීම්, ලිංගිකව බෝවන රෝග, විශ්වාසය සහ ගෞරවය නැතිවීම ආදිය ලිංගික දුරාචාරයේ ප්‍රතිඵල විය හැක.

18. (අ) ඉතා බරපතළ ලිංගික දුරාචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් සභාව කටයුතු කළ යුතු ආකාරය ගැන පාවුල් කොරින්ති සභාවට පැවසුවේ කුමක්ද? (ආ) යෙහෝවා පව්කාරයන්ට ප්‍රේමය සහ දයාව පෙන්වන්නේ කෙසේද?

18 අප අතින් යම් බරපතළ වරදක් සිදු වී ඇත්නම්, එම වරදේ ප්‍රතිවිපාක විඳින විට, අධෛර්යයට පත්වීමට තිබෙන ඉඩ කඩ වැඩිය. කෙසේවෙතත්, පසුතැවිලි වී, දෙවි සමඟ නැවත සමඟි වීමට කිසිවක් බාධාවක් කර නොගනිමු. මුල් සියවසේදී, ව්‍යභිචාරයේ නිරත වී සිටි පුරුෂයෙකුව සභාවෙන් ඉවත් කර දැමිය යුතු බව පාවුල් කොරින්තිවරුන්ට දැන්වීය. (1 කොරින්ති 5:1, 13) එනමුත්, එම පුරුෂයා සැබෑ පසුතැවිල්ලක් දැක්වූවායින් පසු, ‘ඔහුට කමා වෙන්ට, ඔහු සනසන්ට හා ඔහු කෙරෙහි තිබෙන ප්‍රේමය ස්ථිර කරන්ට’ කියා පාවුල් සභාවට උපදෙස් දුන්නේය. (2 කොරින්ති 2:5-8) දේවානුභාවයෙන් ලද මෙම උපදෙස් තුළින්, පසුතැවිලි වූ පව්කාරයන් කෙරෙහි යෙහෝවාට තිබෙන ප්‍රේමය සහ දයාව අපි දකින්නෙමු. පව්කාරයෙකු පසුතැවිලි වන විට, ස්වර්ගයෙහි දේවදූතයෝ පවා ප්‍රීති වෙති.—ලූක් 15:10.

19. ගත් වැරදි ක්‍රියාමාර්ගයක් ගැන නිසි ලෙස ශෝකවීම කුමන ප්‍රයෝජනවලට මඟ පෑදිය හැකිද?

19 අප ගත් වැරදි ක්‍රියාමාර්ගයක් ගැන අප ශෝකයට පත් වුවද, අපට දැනෙන එම ශෝකය ‘අධර්මිෂ්ඨකමට සිත නොයෙදීමට’ රුකුලක් විය හැක. (යෝබ් 36:21) ඇත්තෙන්ම, පාපයක බරපතළ ප්‍රතිඵල නැවත එම වරද නොකිරීමට අපව ශක්තිමත් කළ යුතුය. තවද දාවිත්, පව්කාර හැසිරීම හා සම්බන්ධ තම කනගාටුදායක අද්දැකීම අන්‍යයන්ට උපදෙස් දීමට පදනමක් වශයෙන්ද යොදාගත්තේය. ඔහු මෙසේ පැවසීය. “මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි; පව්කාරයෝද ඔබ වෙතට හරවනු ලබන්නෝය.”—ගීතාවලිය 51:13.

යෙහෝවාට සේවය කිරීමෙන් සන්තෝෂය අත් වේ

20. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට කීකරු වීමෙන් අත් වන ප්‍රයෝජන මොනවාද?

20 “[දෙවිගේ] වචනය අසා එය පවත්වන්නෝ සැබවින්ම වාසනාවන්තයෝය [සන්තෝෂවත්ය, NW]” කියා යේසුස් පැවසීය. (ලූක් 11:28) දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට කීකරු වීම දැනුත් සදහටත් සන්තෝෂය ගෙන දෙයි. අප සදාචාර පවිත්‍රකම රැකගෙන ඇත්නම්, අපගේ උපකාරය සඳහා යෙහෝවා සපයා ඇති සියල්ලෙන් ප්‍රයෝජන ගනිමින් එම ගමන් මාර්ගයෙහි දිගටම රැඳී සිටීම අපගේ අදිටන විය යුතුය. අප දුරාචාරයේ උගුලට හසුව ඇත්නම්, සැබවින්ම පසුතැවිලි වන අයට යෙහෝවා සමාව දෙන්න කැමති බව මතක් කරගනිමින් ධෛර්යයෙන් යුතුව, එම පාපය නැවත කිසිදාක නොකිරීමට අදිටන් කරගත යුතුය.—යෙසායා 55:7.

21. සදාචාර පවිත්‍රකම රැකගැනීමට ප්‍රේරිත පේතෘස්ගේ කුමන අවවාදය අදාළ කරගැනීම උපකාරවත් වේද?

21 මෙම අධර්මිෂ්ඨ ලෝකය, එහි පවතින දුරාචාරමය ආකල්ප සහ ක්‍රියා සමඟ ළඟදීම පහව යනු ඇත. සදාචාර පවිත්‍රකම රැකගැනීමෙන් දැනුත් සදහටත් අප ප්‍රයෝජන නෙළාගනු ඇත. ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය. “ප්‍රේමවන්තයෙනි, නුඹලා මේ දේවල් බලාසිටින බැවින්, [ඔහු] ඉදිරියෙහි කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහකරන්න. . . . නුඹලා මේ දේවල් කලින් දැනගන සිටින බැවින්, දුෂ්ටයන්ගේ මුළාවෙන් ඇදීගොස් නුඹලාගේම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස පරෙස්සම්වෙන්න.”—2 පේතෘස් 3:14, 17.

ඔබට පැහැදිලි කළ හැකිද?

• සදාචාර පවිත්‍රකම රැකගැනීම අසීරු කාර්යයක් විය හැක්කේ මන්ද?

• උසස් සදාචාර ප්‍රමිති අනුගමනය කිරීමට වූ අපගේ අධිෂ්ඨානයට රුකුලක් විය හැකි දේවල් සමහරක් මොනවාද?

• සාලමොන් සඳහන් කළ තරුණයාගේ පාපවලින් අපට උගත හැකි පාඩම් මොනවාද?

• දාවිත්ගේ ආදර්ශයෙන් අපට පසුතැවිල්ල ගැන උගත හැක්කේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[13වන පිටුවේ පින්තූරය]

සදාචාරය සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය අන්‍යයන්ට දැනගැනීමට සැලැස්වීම ඔබට ආරක්ෂාවකි

[16, 17වන පිටුවේ පින්තූර]

දාවිත් අවංකව පසුතැවිලි වූ නිසා, යෙහෝවා ඔහුට සමාව දුන්නේය