Skip to content

පටුනට යන්න

සාර්ථකත්වය මනින්නේ කුමකින්ද?

සාර්ථකත්වය මනින්නේ කුමකින්ද?

සාර්ථකත්වය මනින්නේ කුමකින්ද?

එක් විශ්ව කෝෂයක් සාර්ථකත්වය යන්න නිර්වචනය කළේ “ධනය, පිළිගැන්ම නැතහොත් කීර්තිය ලබාගැනීම” ලෙසය. එය අංග සම්පූර්ණ නිර්වචනයක්ද? ඇත්තෙන්ම සාර්ථකත්වය මනින්නේ ධනය, කීර්තිය නැතහොත් පිළිගැනීම පමණකින්ද? මෙයට ඔබ පිළිතුරු දීමට මත්තෙන්, මොහොතකට මේ ගැන සිතන්න. යේසුස් ඔහුගේ මිහිපිට ජීවිත කාලය තුළ ධනය රැස් කර නොගත් අතර ඔහුට බොහෝ මනුෂ්‍යයන්ගේ අනුමැතිය ලැබුණේවත් එවකට සිටි කීර්තිමත් පුද්ගලයන්ගේ ප්‍රසාදයට ඔහුව ලක් වූයේවත් නැත. එනමුත් යේසුස් සාර්ථක පුද්ගලයෙකු කියා පැවසිය හැක. ඒ කෙසේද කියා අපි බලමු.

යේසුස් පොළොව මත සිටිද්දී ‘දෙවි කෙරෙහි ධනවත්’ වූ බව බයිබලයේ පවසයි. (ලූක් 12:21) යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පසු, යෙහෝවා “තේජස හා ගෞරවය” නමැති ඔටුන්න පැළඳවීමෙන් යේසුස්ට විපාක දෙනු ලැබූ අතර, ඔහුව “ඉතා උසස් කොට, සියලු නාමවලට වඩා උසස් නාමය [ඔහුට ලබා දුන්නේය].” (හෙබ්‍රෙව් 2:9; පිලිප්පි 2:9) යේසුස්ගේ ජීවන රටාව යෙහෝවාගේ සිත සතුටු කළ එකක් විය. (හිතෝපදේශ 27:11) ඇත්තෙන්ම ඔහු තම භූමික ජීවිතය සාර්ථකව ගත කළ බව පැවසිය හැක. මන්ද දෙවිගේ කැමැත්ත ඉටු කිරීම සහ ඔහුගේ නාමයට ගෞරවය ගෙන ඒම යේසුස්ගේ අරමුණ වූ අතර තම භූමික ජීවිත කාලය තුළදී එය සාක්ෂාත් කරගැනීමට ඔහුට හැකි විය. ඒ වෙනුවෙන් යෙහෝවා කිසි උගතෙකුට, දේශපාලනඥයෙකුට හෝ ක්‍රීඩා තරුවකට අත් කරගත නොහැකි වස්තුවක්, කීර්තියක් සහ පිළිගැනීමක් ලබා දීමෙන් යේසුස්ව ගෞරවයට පත් කළේය. ඇත්තෙන්ම මේ පොළොවේ සිටි සාර්ථකම මනුෂ්‍යයා යේසුස්ය කියා අවිවාදයෙන් පැවසිය හැක.

යේසුස්ගේ අඩිපාරේ ගමන් කරමින් දෙවි කෙරෙහි ධනවත් වුවහොත් තමන්ගේ යෞවන දරුවන්, වර්තමාන ජීවිතය තුළදීත් මතු ජීවිතය තුළදීත් සිතාගත නොහැකි තරම් ආශීර්වාද භුක්ති විඳින්න යන බව ක්‍රිස්තියානි මාපියන් තේරුම්ගෙන තිබේ. යෞවනයෙකුට යේසුස්ගේ අඩිපාරේ ගමන් කිරීමට හැකි හොඳම ක්‍රමය වන්නේ ඔහු විසින් කරන ලද වැඩය කිරීමය. එයින් අදහස් කරන්නේ, පූර්ණ කාලීන සේවය කිරීමට ඔබට හැකියාවක් තිබේ නම් එය ඔබේ ජීවන මාර්ගය කරගැනීමය.

නමුත් සමහර සංස්කෘතීන්වල යෞවනයන්ව පූර්ණ කාලීන සේවය තෝරාගැනීමට දිරිගන්වන්නේ නැත. සාමාන්‍යයෙන් අධ්‍යාපනය නිම කළ යෞවනයෙකුගෙන් අන් අය බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන රැකියාවක් සොයාගැනීම හෝ විවාහයක් කරගෙන එකලසක් වී සාමාන්‍ය ජීවන රටාවක් ගෙනයෑමය. එවැනි පසුබිම්වල සිටින යෞවනයන් ඇතැම්විට පූර්ණ කාලීන සේවය තෝරාගැනීමෙන් වැළකී සිටිය හැකියි. (හිතෝපදේශ 3:27) මෙයට හේතුව, සමාජයෙන් එල්ල වන පීඩනය නිසා ඔවුන් එම ක්‍රමයට අනුව හැඩගැසී සිටීමය. රොබට් නමැති තරුණයාට මෙම තත්වයට මුහුණ දීමට සිදු විය. *

සංස්කෘතිය සහ හෘදය සාක්ෂිය එකිනෙක ගැටෙන විට

රොබට් යෙහෝවාගේ සාක්ෂිකාරයෙකු ලෙස හැදී වැඩුණත් නහඹර වියට පත් වූ විට ඔහුගේ හැසිරීම එතරම් යහපත් නොවූ අතර ඔහුගේ ආශ්‍රිතයන්ද යහපත් අය නොවීය. මෙයින් ඔහුගේ මව කනස්සල්ලට පත් වූවාය. ඇය තම පුතුව යහමඟට ගැනීමට උපකාර කරන මෙන් පුරෝගාමී සහෝදරයෙකුගෙන් ඉල්ලා සිටියාය. ඉන්පසුව, සිදු වූ දේ රොබට් මෙසේ විස්තර කරයි.

“පුරෝගාමී සහෝදරයා ලබා දුන් උපකාරය ඇත්තෙන්ම මම අගය කළා. ඔහුගේ ආදර්ශය නිසා මටත් ඕන වුණා පාසැල් අධ්‍යාපනය අවසන් වුණ හැටියෙම පූර්ණ කාලීන සේවය පටන්ගන්න. ඒත් එක හේතුවක් නිසා අම්මා ඒකට අකමැති වුණා. අපේ සංස්කෘතියට අනුව ගැහැනු ළමයෙකුට අධ්‍යාපනය අවසන් වුණ හැටියෙම පුරෝගාමී සේවය තෝරාගන්න පුළුවන් වුණත් පිරිමි ළමයෙකුට එහෙම කරන්න බෑ. මුල්‍යමය පැත්තෙන් යම් ස්ථාවරයකට ආවට පස්සේ තමයි පිරිමි ළමයෙකුට පුරෝගාමී සේවය ගැන හිතන්න පුළුවන්.”

“එනිසා මම මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගත්තා. ඒත් වැඩි දවසක් යන්න කලින් මගේ මුළු කාලයම ව්‍යාපාර කටයුතුවලට යොදවන්න මට සිදු වුණා. මම රැස්වීම් සහ දේශනා සේවයේ ගියේ යන්නං වාලේ. යෙහෝවාට වැඩියෙන් සේවය කරන්න පුළුවන්කම තිබිලත් මම සේවය නොකරපු නිසා මගේ හිත මට වද දුන්නා. මට තිබුණ ප්‍රශ්නය තමයි අනිත් අය මගෙන් බලාපොරොත්තු වන දේවල්වලින් ගැළවෙන එක. ඇත්තෙන්ම ඒක ලොකු සටනක්. සන්තෝෂයි කියන්න, මම ඒ සටනෙන් ජයගත්තා. දැන් මම විවාහකයි. මම මගේ බිරිඳත් එක්ක පසුගිය අවුරුදු දෙක පුරාම පුරෝගාමී සේවයේ නිරත වුණා. මෑතකදී මාව සභාවේ උපස්ථායක සේවකයෙක් ලෙස පත් කළා. දැන් මගේ උපරිමයෙන්ම මම යෙහෝවාට සේවය කරන නිසා, මම ඇත්තටම තෘප්තිමත්ව ඉන්නවා කියලා මට කියන්න පුළුවන්.”

පාසැල් යන කාලය තුළදීම යම් වෘත්තියක් පිළිබඳව පුහුණුවක් ලබාගැනීමට හෝ තමන්ට ප්‍රයෝජනවත් වේවියයි සිතන අධ්‍යාපන සුදුසුකම් අත් කරගන්නා ලෙස මෙම සඟරාව නිතර නිතර යෞවනයන්ව දිරිගන්වා තිබේ. නමුත් එවන් පුහුණුවක් ලබාගත යුත්තේ කුමන අරමුණක් ඇතිවද? ධනවත් වීමේ අරමුණින්ද? එසේ නොව, මූලිකවම වැඩිහිටියන් වූ විට කිසිවෙකුට බරක් නොවී යෙහෝවාට උපරිම අන්දමින් සේවය කිරීමේ අරමුණින්ය. නැතහොත් හැකියාවක් තිබේ නම් යෙහෝවාට පූර්ණ කාලීනව සේවය කිරීම සඳහාය. නමුත් සමහර යෞවනයන් ලෞකික රැකියා පසුපස කොතරම් වේගයෙන් හඹා යනවාද කිවහොත් දේවසේවයේ සහභාගි වීම පවා ඔවුන්ගෙන් ගිලිහී ගොස් තිබේ. තවත් සමහරුන් පූර්ණ කාලීන සේවය ගැන සිතන්න පවා අකමැතිය. එයට හේතුව කුමක්ද?

රොබට් පැවසූ දේවල්වලට අවධානය දීමෙන් එයට හේතුව සොයාගත හැක. ඔහු වෘත්තියක් පිළිබඳ පුහුණුවක් ලැබීමෙන් පසු ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කළේය. එතැන් පටන් ඔහුට ඔහුගේ ව්‍යාපාරයෙන් තොර ලොවක් තවත් නොවීය. ඔහුගේ එකම ඉලක්කය වූයේ මුල්‍යමය වශයෙන් හොඳ ස්ථාවරයකට පැමිණීමයි. නමුත්, එලෙස ක්‍රිස්තියානි සභාව තුළ හෝ සභාවෙන් පිට සිටින යම් කෙනෙකු සම්පූර්ණ වශයෙන් එම ඉලක්කය අත් කරගෙන තිබේද? ක්‍රිස්තියානියෙකු මුල්‍යමය වශයෙන් තමාට ඇති වගකීම් ඉටු කිරීමට උත්සාහයක් දැරිය යුතු බව සැබෑවකි. නමුත්, මෙම දුෂ්කර වකවානුව තුළදී යම් මුල්‍යමය ස්ථාවරයකට පැමිණෙන්නේ ඉතා සුළු පිරිසක් පමණි. එමනිසා, මතෙව් 6:33 සඳහන් යේසුස්ගේ පොරොන්දුව ක්‍රිස්තියානීන්ට මහත් සහනයක් වී ඇත.

තමන්ගේ සංස්කෘතියේ තිබූ මති මතාන්තරවලට වඩා තමාගේ සිතේ තිබූ ආශාවට අනුව පූර්ණ කාලීන සේවය තෝරාගැනීමට තීරණය කළ නිසා රොබට් අද සන්තෝෂයෙන් සිටියි. ඇත්තෙන්ම පූර්ණ කාලීන සේවය ගෞරවනීය ජීවන මාර්ගයක් කියා පැවසිය හැක. රොබට් පවසන ආකාරයට ‘ඔහුගේ මුළු හැකියාවෙන්ම’ ඔහු යෙහෝවාට සේවය කරන නිසා දැන් කියා නිම කළ නොහැකි තෘප්තියක් අද්දැකීමට ඔහුට හැකි වී තිබේ.

ඔබේ දක්ෂතාවලින් ප්‍රයෝජන ගන්න

යෙහෝවාගේ සාක්ෂිකාරුවන් අතර බොහෝ කුසලතා ඇති අය සිටිති. සමහරෙකුට බුද්ධිමය හැකියාවන්ද තවත් සමහරෙකුට දෑතේ වැඩ සම්බන්ධයෙන් විශේෂ හැකියාවන්ද තිබීමට පුළුවන. මේ සෑම කුසලතාවක්ම ලැබෙන්නේ “සියල්ලන්ට ජීවිතයද හුස්මද සියලු දේවල්ද දෙන” යෙහෝවාගෙන්ය. (ක්‍රියා 17:25) කුසලතාවන් තිබුණත් ජීවිතය අහිමි වේ නම් ඉන් කිසි ප්‍රයෝජනයක් නැත.

එමනිසා යෙහෝවාට කැප කළ අපේ ජීවිතය ඔහුගේ සේවයේ යෙදවීම වඩා සුදුසුයි. කුසලතාවන්ගෙන් පිරුණු එක් පුද්ගලයෙක් මේ දේ කිරීමට තීරණය කළේය. ඔහු ජීවත් වූයේ පළමු ශතවර්ෂයේය. ප්‍රභූ පවුලක කෙනෙකු වූ ඔහු, ඔහුගේ යෞවන කාලය කිලිකියේ තාර්සස්වල ගත කළේය. උපතින් ඔහු යුදෙව්වෙකු වුවත් තම පියාගෙන් උරුම වූ රෝම පුරවැසිභාවය නිසා ඔහුට බොහෝ අයිතිවාසිකම් තිබූ අතර ප්‍රස්තාවන්ද ඉන් උදා විය. ඔහු වයසින් මුහුකුරා ගිය විට ඒ කාලයේ සිටි “මහාචාර්යවරයෙකු” වූ ගමාලියෙල් යටතේ ව්‍යවස්ථාව ඉගෙනගත්තේය. පෙනෙන ආකාරයට වැඩිකල් යන්න පෙර ඔහුට ධනය, පිළිගැන්ම සහ කීර්තිය ලබාගැනීමට හැකියාවක් ලැබිණ.—ක්‍රියා 21:39; 22:3, 27, 28.

මෙම යෞවනයා කවුද කියා දැනගැනීමට ඔබ තුළ කුතුහලයක් ඇති බවට නිසැකයි. ඔහු සාවුල්ය. සාවුල් ක්‍රිස්තියානියෙකු වූ අතර අවසානයේදී ප්‍රේරිත පාවුල් බවට පත් විය. ඔහුගේ මුල් ආශාවන් පසෙක දමා ක්‍රිස්තියානියෙකු ලෙස ඔහු තම ජීවිත කාලයම යෙහෝවාගේ සේවයට කැප කළේය. පාවුල් ප්‍රසිද්ධ වූයේ නීතිඥයෙකු ලෙස නොව ශුභාරංචියේ ජ්වලිත දේශනාකරුවෙකු ලෙසය. මිෂනාරිවරයෙකු ලෙස අවුරුදු 30ක් පමණ ගත කිරීමෙන් පසු පාවුල් විසින් පිලිප්පියේ සිටි තම මිතුරන්ට ලිපියක් ලියන ලදි. ක්‍රිස්තියානියෙකු වීමට පෙර තමා අත් කරගෙන තිබූ දේ සඳහන් කළ පසු ඔහු එහි මෙසේ ලීවේය. ‘යේසුස් ක්‍රිස්තුස් නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව, ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස් ලබාගන්න පිණිසය.’ (පිලිප්පි 3:8) පාවුල් තම ජීවිතය ගත කළ ආකාරය ගැන කිසිවිටක කනගාටු වූයේ නැත!

ගමාලියෙල්ගෙන් පාවුල් ලැබූ පුහුණුව ගැන කුමක් කිව හැකිද? ඔහුට එම පුහුණුව ප්‍රයෝජනවත් වූවාද? ඇත්තෙන්ම! බොහෝ අවස්ථාවලදී ‘ශුභාරංචියට පක්ෂව කතා කරන්නත් එය නීත්‍යනුකූලව ස්ථාපිත කරන්නත්’ ඔහු එම පුහුණුව යොදාගත්තේය. නමුත් ඔහුගේ ලෞකික අධ්‍යාපනයෙන් ඉගෙන නොගත් දෙයක් වන ශුභාරංචිය දේශනා කිරීම පාවුල්ගේ ජීවිතයේ ප්‍රධාන කාර්යය විය.—පිලිප්පි 1:7NW; ක්‍රියා 26:24, 25.

මේ හා සමානව අදදිනත් සමහරෙකුට තම කුසලතා රාජ්‍ය කටයුතුවල උන්නතිය තකා යෙදවීමට හැකි වී තිබේ. මෙලෙස තම දක්ෂතා රාජ්‍ය දේශනා සේවයට කැප කළ ඒමිගේ අද්දැකීම සලකා බලන්න. ඇය වානිජ්‍ය සහ නීතිවේදය පිළිබඳ උපාධිධාරිණියකි. කාලයක් ඇය නීතික ආයතනයක උසස් රැකියාවක්ද කළාය. නමුත් දැන් ඇය වොච් ටවර් ශාඛා කාර්යාලයක ගෙවීමක් නොලබන ස්වේච්ඡා සේවිකාවක් ලෙස සේවය කරයි. දැන් ගත කරමින් සිටින ජීවිතය ගැන ඒමි මෙසේ පවසන්නීය. “මම විශ්වාස කරනවා මගේ ජීවිතයේ හොඳම තේරීම මම කළා කියලා. . . . මගේ විශ්වවිද්‍යාල මිතුරන්ගේ ඉහළ තනතුරු දැක්කාම මට දුකක් ඇති වෙන්නේ නෑ. මම තෝරගත්ත දේ ගැන මම ආඩම්බර වෙනවා. මගේ ජීවිතයට අවශ්‍ය හැම දෙයක්ම වගේ මට තියෙනවා. මම ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා. ඒ වගේම මම තෝරගෙන තියෙන ජීවිත මාර්ගයෙන් මම තෘප්තියක් අද්දකිනවා.”

ඒමි පූර්ණ කාලීන දේවසේවය තෝරාගත් නිසා මානසික සැනසීම, තෘප්තිය වගේම යෙහෝවාගේ ආශීර්වාදද අද්දකිමින් සිටියි. සෑම ක්‍රිස්තියානි මාපියෙකුම තම දරුවන්ට මීට වඩා අඩු ආශීර්වාදයක් ලැබෙයි කියා බලාපොරොත්තු නොවන බව ස්ථිරයි!

ක්‍රිස්තියානි සේවය තුළ ලබන සාර්ථකත්වය

ක්‍රිස්තියානි දේවසේවය තුළ සාර්ථකත්වය ලබාගැනීම පිළිබඳව හරි ආකල්පයක් තබාගැනීමද ඉතා වැදගත්ය. අප දේවසේවය සඳහා වැඩි පැය ගණනක් යොදවමින් බයිබලය මත පදනම් පොත් පත් බෙදා දෙන විට හෝ නවකයන් සමඟ උද්‍යෝගිමත් අයුරින් බයිබල් සාකච්ඡාවන් පවත්වන විට අප තුළ සාර්ථකත්වයේ හැඟීමක් ඇතිවීම සාධාරණය. නමුත් අප දේශනා සේවයෙහි යෙදෙන විට අපේ පණිවිඩයට සවන් දෙන කෙනෙකුව හමු වන්නේ කලාතුරකින් නම්, නැතහොත් වැඩිදෙනෙකු එතරම් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් අප කාලය නාස්ති කරනවා කියා හැඟීමට පුළුවන. එහෙත් සාර්ථකත්වයේ එක් නිර්වචනයක් වන්නේ ‘පිළිගැන්ම ලබාගැනීම’ බව අමතක නොකරන්න. ඇත්තෙන්ම අපට අවශ්‍ය කරන්නේ කාගේ පිළිගැනීමද? යෙහෝවාගේ පිළිගැනීම මිස සමාජයේ පිළිගැනීම නොවෙයි. අපට මෙවන් ආකල්පයක් තිබේ නම් මනුෂ්‍යයන් අපේ පණිවිඩය පිළිගත්තත් නැතත් අපි ඒ ගැන එතරම් කනස්සලු නොවන්නෙමු. මේ සම්බන්ධයෙන් යේසුස් තම ගෝලයන්ට වටිනා පාඩමක් ඉගැන්වීය.

එක් අවස්ථාවකදී යේසුස් දේශනාකරුවන් 70දෙනෙකුව “තමන් යන්ට සිටිය සියලු නුවරවලටත් ස්ථානවලටත්” පිටත් කර යවනු ලැබූ ආකාරය ඔබේ සිහියට නැඟේවි. (ලූක් 10:1) ඔවුන්ට යේසුස්ගේ සහභාගිත්වයක් නොමැතිව නගරවල සහ ගම්වල දේශනා කිරීමට සිදු විය. ඇත්තෙන්ම මෙය ඔවුන්ට අලුත් අද්දැකීමක් විය. එනිසා, යේසුස් ඔවුන් පිටත් කර යැවීමට පෙර නිශ්චිත උපදෙස් ලබා දුන්නේය. ‘සමාදානයේ පුත්‍රයෙකු’ මුණගැසුණ විට ඔහුට රාජ්‍යය ගැන පුළුල් සාක්ෂියක් ලබා දිය යුතු විය. එමෙන්ම ඔවුන්ව පිළිගනු නොලැබූ විට ඒ පිළිබඳව දුක් නොවී පිටත්ව යා යුතුව තිබිණ. ඔවුන්ට සවන් දීම ප්‍රතික්ෂේප කරන අය ඇත්තෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ යෙහෝවාව බව යේසුස් පැහැදිලි කළේය.—ලූක් 10:4-7, 16.

හැත්තෑදෙනා දේශනා සේවය අවසන් කර ආපසු පැමිණ, යේසුස්ට සේවය පිළිබඳ තම අද්දැකීම් ප්‍රීතියෙන් වාර්තා කළේ මෙසේය. “ස්වාමීනි, ඔබගේ නාමය නිසා යක්ෂයෝ පවා අපට යටත්වෙති.” (ලූක් 10:17) එම අසම්පූර්ණ මනුෂ්‍යයන්ට බලවත් ආත්මයන් පලවාහැරීම සිත්ගන්නාසුලු දෙයක් වූවා විය හැක. නමුත් උද්දාමයට පත්ව සිටි තම ගෝලයන්ට යේසුස් මෙසේ අනතුරු ඇඟවීය. “ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප්‍රීතිවෙන්න.” (ලූක් 10:20, අකුරු ඇල කළේ අපය) එයින් අදහස් කළේ එම 70දෙනාට සෑමවිටම යක්ෂයන් දුරු කිරීමේ බලය සහ දේවසේවයේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණත් ඔවුන් විශ්වාසවන්තව සිටින තාක් කල් යෙහෝවාගේ අනුමැතිය ලැබෙන බවයි.

ඔබ පූර්ණ කාලීන සේවකයන්ව අගය කරනවාද?

“මම විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්තට පස්සේ රස්සාවක් හොයාගන්න උත්සාහ කරනවා. රස්සාවක් හොයාගන්න මට බැරිම වුණොත් පූර්ණ කාලීන සේවයේ යෙදීම ගැන හිතලා බලනවා” කියා එක් යෞවනයෙක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුට පැවසුවේය. නමුත් පුරෝගාමී සේවය තෝරගන්නා බොහෝදෙනෙකුගේ ආකල්පය මෙය නොවෙයි. මන්ද, සමහරෙකු පුරෝගාමී සේවය කිරීම සඳහා උසස් රැකියා අවස්ථාවන් කැප කර ඇති අතර තවත් සමහරු ශිෂ්‍යත්ව වැනි අනගි උසස් අධ්‍යාපන වරප්‍රසාදයන් පවා පසෙක දමා ඇත. ප්‍රේරිත පාවුල් මෙන් ඔවුනුත් බොහෝ කැප කිරීම් කර තිබේ. එහෙත් පාවුල්, රොබට් සහ ඒමි තමන් කළ තේරීම ගැන පසුතැවිලි නොවුණාක් මෙන් ඔවුන්ද කිසිදා තම තේරිම ගැන පසුතැවෙන්නේ නැත. ඒ වෙනුවට, ඔවහු යෙහෝවාට උපරිමයෙන් සේවය කීරිමට ලද වරප්‍රසාදය අගය කරමින් තමන් සතු කුසලතා ප්‍රශංසාව ලබන්න වටින තැනැත්තා වන යෙහෝවාට පුද කරති.

යෙහෝවාගේ විශ්වාසවන්ත සාක්ෂිකරුවන්ගෙන් බොහෝදෙනෙකු යම් යම් හේතු නිසා පුරෝගාමී සේවය කිරීමට නොහැකි තත්වයක සිටියි. ඇතැම්විට යම් වගකීම් ඉටු කළ යුතු නිසා පුරෝගාමී සේවයෙන් වැළකී සිටිනවා විය හැක. නමුත් ඕනෑම කෙනෙකු ‘මුළු හෘදයෙන් මුළු ආත්මයෙන් හා මුළු බුද්ධියෙන්’ සේවය කරනවා නම් එය යෙහෝවාට ප්‍රසන්නය. (මතෙව් 22:37) තමන්ට පුරෝගාමී සේවයේ හවුල් වීමට නොහැකි වුවත් පුරෝගාමී සේවය කිරීමට තෝරාගෙන ඇති අයව ඔවුන් අගය කරයි.

‘මේ ලෝකයේ ආකාරයට සමාන නොවෙන්න’ කියා ප්‍රේරිත පාවුල් පැවසීය. (රෝම 12:2) පාවුල්ගේ උපදෙසට අනුව සංස්කෘතියට හෝ මේ ලෝකයේ ක්‍රමයට අපේ සිතීමේ රටාව පාලනය කිරීමට අපි ඉඩ නොදෙමු. ඔබට පුරෝගාමී සේවය කළ හැකි වුවත් කළ නොහැකි වුවත් යෙහෝවාගේ සේවය ඔබේ ජීවිතයේ කේන්ද්‍රය කරගන්න. ඔබට යෙහෝවාගේ අනුමැතිය තිබෙන තුරා ඔබ සාර්ථක කෙනෙකු කියා පැවසිය හැක.

[පාදසටහන]

^ 5 ඡේ. මෙහි සඳහන් නම් වෙනස් කර ඇත.

[19වන පිටුවේ පින්තූරය]

ආත්මික කාරණාවලට බාධා පැමිණෙන සේ වෘත්තීය කටයුතුවල ඇලී ගැලී නොසිටින්න