Skip to content

පටුනට යන්න

සෝදා පාළුවට ලක් වන සදාචාරය

සෝදා පාළුවට ලක් වන සදාචාරය

සෝදා පාළුවට ලක් වන සදාචාරය

“ඉස්සර නම් මේ වගේ අපරාධ ගැන ඇහුවෙවත් නෑ.” මෙසේ පැවසුවේ ජර්මනියේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටි හෙල්මූට් ෂ්මිට්. ඔහු කතා කරමින් සිටියේ මෑතකදී තම රටේ ආණ්ඩු නිලධාරීන් විසින් සිදු කර තිබූ බරපතළ වංචාවන් ගැනයි. ඒ සම්බන්ධයෙන් පුවත්පත් සිරස්තලවල පවා පළ වී තිබුණා. “මිනිසුන්ගේ ගිජු ආකල්ප නිසා සදාචාර ප්‍රමිති සම්පූර්ණයෙන්ම වගේ නැති වෙලා ගිහින්” කියා ඔහු තවදුරටත් පැවසුවා.

බොහෝදෙනෙක් ඔහු සමඟ එකඟ වේවි. හරි හා වැරදි පිළිබඳව ප්‍රමිති පිහිටුවන්නේ දේවවචනය වන බයිබලය මත පදනම් වී ඇති සදාචාරයයි කියා දිගු කාලයක් පුරා පොදුවේ පිළිගෙන තිබුණත්, දැන් බයිබලයේ පවසන දේ සම්පූර්ණයෙන්ම පසෙක දමා තිබෙනවා. ක්‍රිස්තියානියයි සැලකෙන රටවල පවා පවතින්නේ එවැනිම තත්වයක්.

බයිබලය මත ගොඩනැඟුණු සදාචාරය—අදට ඔබිනවාද?

බයිබල් ප්‍රතිපත්ති මත පදනම් වූ සදාචාරයට අවංකකම හා සාරධර්මවලට ඇලී සිටීම ඇතුළත් වෙනවා. නමුත් අද ඒ අනුව ජීවත් වන්නේ සුළු පිරිසක් පමණයි. වංකකම, වංචාව හා අල්ලස් දූෂණය දසත පැතිරිලා. ලන්ඩනයේ ද ටයිම්ස් පුවත්පතට අනුව, ඇතැම් රහස් පරීක්ෂකයන් විසින් “අපරාධකරුවන් ළඟ තිබී පොලීසියට හසු වූ මත්ද්‍රව්‍ය නැවතත් අපරාධකරුවන්ටම විකිණීමෙන් හෝ පාතාල ලෝකයේ ප්‍රධාන පෙළේ අපරාධකරුවන්ට විරුද්ධව තිබෙන සාක්ෂි සැඟවීමෙන් පවුම් 1,00,000ක් තරම් විශාල මුදලක් උපයාගන්නවා.” ඔස්ට්‍රියාවේ රක්ෂණ මුදල් වංචනික ලෙස යොදාගැනීම නැත්නම් ලබාගැනීම ඉතා සුලභව දක්නට ලැබෙනවා. ඒ වගේම, “ජර්මනියේ විද්‍යා ක්ෂේත්‍රයේ මෙතෙක් සිදු වූ විශාලතම ප්‍රෝඩාව හෙළි වූ” අතර එම ක්ෂේත්‍රයට සම්බන්ධ අය එයින් මහත් කම්පනයකට පත් වුණා. එසේ සිදු වූයේ “ප්‍රවේණි විද්‍යාවේ ශූරයෙක්” වශයෙන් සැලකූ මහාචාර්යවරයෙක් තම පර්යේෂණ කටයුතුවලදී විශාල පරිමාණයෙන් සාවද්‍ය දත්ත යොදාගත් බවට චෝදනා ලැබූ විටයි.

බයිබලය මත පදනම් වූ සදාචාරය අනුව ජීවත් වෙන අය විවාහය කල්පවතින සබඳතාවක් විය යුතු බව වටහාගන්නා නිසා තම විවාහ කලත්‍රයාට විශ්වාසවන්තව සිටිනවා. අනෙක් අතට, දික්කසාදයෙන් තම විවාහය අවසන් කරගන්නා යුවළයන්ගේ සංඛ්‍යාව දැන් එන්න එන්නම වැඩි වෙනවා. “‘ගතානුගතික’ ස්විට්සර්ලන්තයේ පවා දික්කසාද වන යුවළයන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඉහළ යන” බව කතෝලික පුවත්පතක (Christ in der Gegenwart) සඳහන් වී තිබුණා. ඒ වගේම, නෙදර්ලන්තයේ විවාහයන්ගෙන් සියයට 33ක්ම අසාර්ථක වෙන බව දැනට ගණන් බලා තිබෙනවා. ජර්මනියේ තත්වය කුමක්ද? එහි සිදු වී ඇති සමාජීය වෙනස්කම් පිළිබඳව ස්ත්‍රියක් ශෝකයෙන් පැවසුවේ මෙලෙසයි. “විවාහ වෙන එක දැන් සලකන්නේ කෝපි කාලයේ කරපු දෙයක් හැටියටයි. දැන් දෙන්නෙක් විවාහ වුණත් එහෙම කරන්නේ ජීවිතාන්තය දක්වා එකට සිටීමේ අදහසින් නම් නෙවෙයි.”

කොහොම වුණත්, බයිබලයේ සදාචාරාත්මක ප්‍රමිති විශ්වාසවන්ත මෙන්ම නූතන ජීවිතයට ප්‍රායෝගික බව පිළිගන්නා මිලියන ගණනක් සිටිනවා. ඇත්තෙන්ම, බයිබලයේ සාරධර්ම අනුව ජීවත් වීමෙන් වඩාත් සන්තෝෂවත් ජීවිතයක් ගත කළ හැකියි. ස්විට්සර්ලන්තය හා ජර්මනිය වෙන් කරන මායිම අසල ජීවත් වන විවාහක යුවළක් එය අද්දැකීමෙන්ම ඉගෙනගත්තා. ඔවුන් මෙසේ අදහස් දක්වනවා. “ජීවිතයේ සෑම කාරණයක් ගැනම අපට ප්‍රායෝගික මඟ පෙන්වීම සපයන්නේ බයිබලය විතරයි.”

ඔබ මේ සම්බන්ධයෙන් සිතන්නේ කුමක්ද? බයිබලය අපට වටිනා මඟ පෙන්වීමක් සපයන පොතක්ද? බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති මත ගොඩනැඟුණු සදාචාරයක් අදදිනට ප්‍රායෝගිකද?