Skip to content

පටුනට යන්න

අද සිටින දෙවිගේ සේවකයන් කවුද?

අද සිටින දෙවිගේ සේවකයන් කවුද?

අද සිටින දෙවිගේ සේවකයන් කවුද?

‘අපගේ සමර්ථකම දෙවිගෙන්ය. තවද ඔහු අලුත් ගිවිසුමක සේවකයන් කිරීමෙන් අප සමර්ථ කළේය.’—2 කොරින්ති 3:5, 6.

1, 2. පළමුවන සියවසේ සිටි සියලුම ක්‍රිස්තියානීන්ට පැවරී තිබූ වගකීම කුමක්ද? එහෙත් දේවල් වෙනස් වූයේ කෙසේද?

 පොදු යුගයේ පළමුවන සියවසේ සිටි සියලුම ක්‍රිස්තියානීහු තමන්ට පැවරී තිබූ වැදගත් වගකීමක් වූ ශුභාරංචිය දේශනා කිරීමට බැඳී සිටියහ. ආලේප ලත් ක්‍රිස්තියානීන් වූ ඔවුහු සියලුදෙනාම අලුත් ගිවිසුමේ සේවකයන් වූහ. සභාවේ ඉගැන්වීම වැනි අමතර වගකීම්ද සමහරුන්ට පැවරී තිබිණ. (1 කොරින්ති 12:27-29; එපීස 4:11) දෙමාපියන්ට පවුල තුළ භාරදූර වගකීම් පැවරී තිබිණ. (කොලොස්සි 3:18-21) මෙවන් වගකීම් තිබුණත්, ඔවුන් සියලුදෙනාම තමන්ගේ ජීවිතයේ අතිවැදගත් කාර්යය වූ දේශනා කිරීමෙහි හවුල් වූහ. ක්‍රිස්තියානි යුගයේ ග්‍රීක් භාෂාවෙන් ලියන ලද ශුද්ධ ලියවිලිවල මෙම වගකීම විස්තර කිරීමට ඩී·යා·කො·නීʹයා යන වචනය යොදාගැනිණ. සේවය හෝ දේවසේවය යන්න එයින් අදහස් විය.—කොලොස්සි 4:17.

2 කල්ගත වීමත් සමඟ දේවල් වෙනස් විය. පසු කාලයේදී දේශනා කිරීමේ වරප්‍රසාදය තමන්ට පමණක් සීමා කරගත් පූජක පංතියක් බිහි විය. (ක්‍රියා 20:30) පූජකයන් ලෙස සේවය කළේ ක්‍රිස්තියානීන්යයි කියාගත් අයගෙන් සුළු පිරිසකි. බහුතරයක්ව හඳුන්වන ලද්දේ ගිහියන් ලෙසය. පූජක පංතිය නඩත්තු කිරීම සඳහා සම්මාදම් දීම ඇතුළුව යම් නිශ්චිත වගකීම් තමන්ට පැවරී තිබෙන බව ගිහියන්ට උගන්වනු ලැබූ අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් දේශනාවලට සවන් දෙන්නන් පමණක් වූහ.

3, 4. (අ) ක්‍රිස්තියානි ලෝකයේ අය දේවසේවකයන් බවට පත් වන්නේ කෙසේද? (ආ) ක්‍රිස්තියානි ලෝකයේ දේවසේවකයෙකු ලෙස සලකන්නේ කාවද? නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර වෙනස් තත්වයක් තිබීමට හේතුව කුමක්ද?

3 දේවසේවකයන් වන්නේ තමන් පමණක් කියා පූජකයෝ කියා සිටිති (ඩී·යාʹකො·නොස් යන ග්‍රීක් වචනය “සේවකයා” ලෙස ලතින් භාෂාවට පරිවර්තනය කර ඇත). a දේවසේවකයන් ලෙස පත් කරනු ලැබුවේ උසස් විදුහල්වල හෝ සෙමනේරිවල අධ්‍යාපනය ලබා තිබෙන අයවයි. දි ඉන්ටනැෂනල් ස්ටෑන්ඩඩ් බයිබල් එන්සයික්ලොපීඩියාහි මෙසේ සඳහන් වේ. “සාමාන්‍යයෙන් ‘පැවිදි කිරීම’ යන්නෙන් අඟවන්නේ නිල වශයෙන් අනුමත කරගත් චාරිත්‍රවලට අනුකූලව දේවසේවකයන්ට නොහොත් පූජකයන්ට විශේෂ නිලතල පිරිනැමීමයි. දේවවචනය ප්‍රකාශ කිරීමේ හෝ සක්‍රමේන්තු ලබා දීමේ හෝ මේ දෙකම කෙරෙහි හෝ බලතල දේවසේවකයන්ට නොහොත් පූජකයන්ට පවරා දී තිබේ.” දේවසේවකයන්ව පත් කරනු ලබන්නේ කවුරුන් විසින්ද? ද නියූ එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාහි මෙසේ සඳහන් වේ. “පුරාණයේ සිට බිෂොප්වරුන්ගේ පාලනය යටතේ පවතින පල්ලිවල දේවසේවකයෙකුව පත් කරනු ලබන්නේ බිෂොප්වරයෙකු විසිනි. නමුත්, ප්‍රෙස්බිටේරියන් පල්ලිවල පූජකයන්ව පත් කරනු ලබන්නේ එහි සිටින දේවගැතියන් විසිනි.”

4 මෙයින් පැහැදිලි වන්නේ ක්‍රිස්තියානි ආගම්වලට අයත් පල්ලිවල දේවසේවකයෙකු ලෙස සේවය කිරීමේ වරප්‍රසාදය සුළු පිරිසකට පමණක් සීමා වී තිබෙන බවයි. එහෙත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර එවන් දෙයක් දැකිය නොහැක. එයට හේතුව කුමක්ද? මුල් සියවසේ පැවති ක්‍රිස්තියානි සභාව තුළ එවන් දෙයක් දැකගත නොහැකි වූ නිසාය.

දෙවිගේ සැබෑ සේවකයන් කවුද?

5. බයිබලයේ සඳහන් වන පරිදි දේවසේවකයන් ලෙස සේවය කරන අයට ඇතුළත් වන්නේ කවුද?

5 බයිබලයේ සඳහන් වන පරිදි දේවදූතයන් හෝ වේවා මිනිසුන් හෝ වේවා යෙහෝවාට නමස්කාර කරන සියලුදෙනාම දේවසේවකයෝ වෙති. දේවදූතයෝ යේසුස්ට සේවය කිරීමට ඉදිරිපත් වූහ. (මතෙව් 4:11; 26:53; ලූක් 22:43) ඔවුහු ‘ගැළවීම උරුම කරගැනීමට සිටින අය උදෙසාද සේවය කරති.’ (හෙබ්‍රෙව් 1:14; මතෙව් 18:10) යේසුස් දේවසේවකයෙකු විය. ඔහු මෙසේ පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේය.” (මතෙව් 20:28; රෝම 15:8) එබැවින් යේසුස්ගේ අනුගාමිකයන් ‘ඔහුගේ අඩි පාරේ යා යුතු’ නිසා ඔහු මෙන් ඔවුන්ද දේවසේවකයන් විය යුතු බව නොකිවමනාය.—1 පේතෘස් 2:21.

6. සිය ගෝලයන් දේවසේවකයන් විය යුතු බව යේසුස් ඇඟෙව්වේ කෙසේද?

6 යේසුස් ස්වර්ගයට යෑමට මොහොතකට කලින් සිය ගෝලයන්ට මෙසේ පැවසුවේය. ‘ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.’ (මතෙව් 28:19, 20) යේසුස්ගේ අනුගාමිකයන් ගෝලයන් සාදන්නන් නොහොත් දේවසේවකයන් ලෙස සේවය කළ යුතුව තිබිණ. මේ අනුව ඔවුන් විසින් සාදනු ලැබූ අලුත් ගෝලයෝ යේසුස් අණ කළ සියල්ලම පැවැත්වීමට ඉගෙනගත්හ. ගෝලයන් සෑදීමද එම අණට ඇතුළත් විය. පුරුෂයෙකු හෝ ස්ත්‍රියක වේවා, වැඩිහිටියෙකු හෝ බාලයෙකු වේවා යේසුස් ක්‍රිස්තුස්ගේ සැබෑ ගෝලයෙකු වූ සෑම කෙනෙක්ම දේවසේවකයෙකුද විය.—යෝවෙල් 2:28, 29.

7, 8. (අ) සැබෑ ක්‍රිස්තියානීන් සියලුදෙනාම දේවසේවකයන් විය යුතු බව පෙන්වා දෙන්නේ කිනම් ශුද්ධ ලියවිලි පාඨද? (ආ) දේවසේවකයන්ව පත් කිරීම හා සම්බන්ධව කිනම් ප්‍රශ්න මතු වේද?

7 මීට එකඟව, පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී රැස්ව සිටි යේසුස්ගේ ගෝලයන් සියලුදෙනාම ‘දෙවිගේ බලවත් ක්‍රියා’ ගැන කතා කළහ. ඔවුන් අතර පුරුෂයෝ මෙන්ම ස්ත්‍රීහුද සිටියහ. (ක්‍රියා 2:1-11) එපමණක්ද නොව, ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියාදෙන්නේය.” (රෝම 10:10) පාවුල් එම වදන්වලින් ඇමතුවේ සීමිත පිරිසකගෙන් යුත් පූජක පංතියකට නොව, නමුත් ‘දෙවිට ප්‍රිය වූ රෝමයෙහි සිටි සියලුදෙනාටයි.’ (රෝම 1:1, 3, 4) ඒ හා සමානව, ‘එපීසයෙහි, ශුද්ධවන්තයන්ව හා ක්‍රිස්තුස් යේසුස් තුළ ඇදහිලිවන්තයන්ව සිටින’ සියලුදෙනාම ‘සමාදානයේ ශුභාරංචිය නමැති වහන් පය ලා’ සිටිය යුතු විය. (එපීස 1:1; 6:15) එමෙන්ම හෙබ්‍රෙව්වරුන්ට ලියන ලද ලිපිය මගින් අමතන ලද සියලුදෙනාම “[ඔවුන්ගේ] බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන” සිටිය යුතු විය.—හෙබ්‍රෙව් 10:23.

8 කෙසේවෙතත්, යමෙකු දේවසේවකයෙකු වන්නේ, එසේ නැතහොත් ඔහුව දේවසේවකයෙකු වශයෙන් පත් කරනු ලබන්නේ කවර අවස්ථාවේදීද? එමෙන්ම ඔහුව පත් කරනු ලබන්නේ කවුරුන් විසින්ද?

දේවසේවකයෙකු ලෙස පත් වන අවස්ථාව

9. යේසුස්ව දේවසේවකයෙකු ලෙස පත් කරනු ලැබුවේ කවදාද? කවුරුන් විසින්ද?

9 යමෙකුව දේවසේවකයෙකු ලෙස පත් කරනු ලබන්නේ කවර අවස්ථාවේදීද, කවුරුන් විසින්ද යන ප්‍රශ්නයට උත්තර දීමේදී යේසුස් ක්‍රිස්තුස් තැබූ ආදර්ශය සලකා බලන්න. තමන් දේවසේවකයෙකු බව ඔප්පු කිරීම සඳහා සෙමනේරියකින් ලැබූ උපාධියක් හෝ වෙනත් සහතික පත්‍රයක් ඔහුට නොතිබිණ. කිසිම මිනිසෙකු ඔහුව දේවසේවකයෙකු ලෙස පත් කළේ නැත. එසේනම්, ඔහු දේවසේවකයෙකු ලෙස සේවය කළා කියා අපට පැවසිය හැක්කේ මන්ද? එයට හේතුව වන්නේ යෙසායා දේවානුභාවයෙන් පැවසූ මෙම වදන් ඔහු තුළ ඉටු වූ නිසාය. ‘යෙහෝවාගේ ආත්මය මා කෙරෙහිය. මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්නට ඔහු මා ආලේප කළේය.’ (ලූක් 4:17-19; යෙසායා 61:1) ශුභාරංචිය දේශනා කිරීමට යේසුස්ට බලතල ලැබී තිබූ බව එම වදන්වලින් මනාව පැහැදිලිය. ඒ සඳහා ඔහුට බලතල දුන්නේ කවුද? ශුභාරංචිය දේශනා කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස්ව ආලේප කරනු ලැබුවේ යෙහෝවාගේ ආත්මය මගින් නිසා, දේවසේවකයෙකු ලෙස ඔහුව පත් කළේ යෙහෝවා දෙවි බව පැහැදිලිය. මෙය සිදු වූයේ කවදාද? යෙහෝවාගේ ආත්මය යේසුස් කෙරෙහි පැමිණියේ ඔහු බව්තීස්ම වූ අවස්ථාවේදීය. (ලූක් 3:21, 22) එමනිසා යේසුස්ව දේවසේවකයෙකු ලෙස පත් කරනු ලැබුවේ ඔහු බව්තීස්ම වූ අවස්ථාවේදීය.

10. ක්‍රිස්තියානි දේවසේවකයෙකු තම ‘සමර්ථකම්’ ලබන්නේ කාගෙන්ද?

10 පළමුවන සියවසේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් ගැන කුමක් කිව හැකිද? දේවසේවකයන් ලෙස සේවය කිරීමේ වරප්‍රසාදය ඔවුන්ට ලැබුණේද යෙහෝවාගෙනි. මේ ගැන පාවුල් මෙසේ පැවසුවේය. ‘අපගේ සමර්ථකම දෙවිගෙන්ය. තවද ඔහු අලුත් ගිවිසුමක සේවකයන් කිරීමෙන් අප සමර්ථ කළේය.’ (2 කොරින්ති 3:5, 6) යෙහෝවා සිය නමස්කාරකයන්ට දේවසේවකයන් වීම සඳහා සමර්ථකම ලබා දී තිබෙන්නේ කෙසේද? ‘ක්‍රිස්තුස්ගේ ශුභාරංචියෙහි දේවසේවකයා’ ලෙස පාවුල් හැඳින්වූ තිමෝතිගේ ආදර්ශය සලකා බලන්න.—1 තෙසලෝනික 3:2.

11, 12. දේවසේවකයෙකු වීම සඳහා තිමෝති ප්‍රගතියක් ලැබුවේ කෙසේද?

11 තිමෝති දේවසේවකයෙකු බවට පත් වූයේ කෙසේද කියා තේරුම්ගැනීමට ඔහුට ලියන ලද මෙම වදන් අපට උපකාරවත් වේ. “නුඹ ඉගෙනගත්තාවූ, නුඹට සහතිකවූ [විශ්වාස කිරීම සඳහා ඒත්තුගන්වන ලද, NW] කාරණා කොයි තැනැත්තන්ගෙන් ඉගෙනගත්තෙහිද කියාත්, ක්‍රිස්තුස් [යේසුස්] කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත්කරන්ට පුළුවන්වූ ශුද්ධලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගන සිටින බවත් දැන, ඒවායෙහි පිහිටා සිටින්න.” (2 තිමෝති 3:14, 15) තිමෝතිගේ ඇදහිල්ලට පදනම වූයේ ශුද්ධ ලියවිලි පිළිබඳව ඔහු සතු වූ දැනුමය. තම ඇදහිල්ල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට එය ඔහුව පෙලඹවීය. ශුද්ධ ලියවිලි පෞද්ගලිකව කියවීම පමණක්ම ඒ සඳහා ප්‍රමාණවත් වූවාද? නැත. ඔහු කියවූ දේවල් සම්බන්ධයෙන් නිවැරදි දැනුමක් සහ අවබෝධයක් ලබාගැනීම සඳහා ඔහුට උපකාරය අවශ්‍ය විය. (කොලොස්සි 1:9) එම උපකාරය පිරිනැමීම මගින් ‘විශ්වාස කිරීම සඳහා [තිමෝතිට] ඒත්තුගන්වන’ ලදි. “බාල වයසේ පටන්” ඔහු ශුද්ධ ලියවිලි ගැන දැන සිටි නිසා ඔහුගේ ගුරුවරුන් වන්නට ඇත්තේ ඔහුගේ මව සහ ආච්චිය. පෙනෙන ප්‍රකාරයට ඔහුගේ පියා ඇදහිලිවන්තයෙකු නොවීය.—2 තිමෝති 1:5.

12 කෙසේවෙතත්, තිමෝති දේවසේවකයෙකු බවට පත්වීම සඳහා ඊට වඩා දේවල් කළ යුතු විය. අසල්වැසි සභාවල සිටි ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමෙන් ඔහුගේ ඇදහිල්ල තවත් ශක්තිමත් විය. අප ඒ බව දන්නේ කෙසේද? පාවුල්ට තිමෝතිව මුලින්ම හමු වූ අවස්ථාවේදී යොවුන් වියේ පසු වූ ඔහු “ලුස්ත්‍රාවෙහිද ඉකෝනියෙහිද සිටි සහෝදරයන් අතරේ යහපත්යයි [ප්‍රසිද්ධව]” සිටි නිසාය. (ක්‍රියා 16:2) මීට අමතරව, ඒ දවස්වලදී සමහර සහෝදරයෝ සභාවල සිටි සෙසු නමස්කාරකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමේ අරමුණින් ලිපි ලියූහ. ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් අවේක්ෂකයෝ ඔවුන්ව බැහැදැක්කෝය. තිමෝති වැනි ක්‍රිස්තියානීන්ට ආත්මිකව දියුණු වීමට ඒ සෑම දෙයක්ම උපකාරවත් විය.—ක්‍රියා 15:22-32; 1 පේතෘස් 1:1.

13. දේවසේවකයෙකු ලෙස තිමෝතිව පත් කරනු ලැබුවේ කවදාද? දේවසේවකයෙකු ලෙස පත්වීමෙන් පසු ඔහුගේ ආත්මික ප්‍රගතිය අවසන් නොවූ බව ඔබ පවසන්නේ මන්ද?

13 මතෙව් 28:19, 20හි සඳහන් යේසුස් දුන් ආඥාව සලකා බලන කල, යේසුස්ව අනුකරණය කරමින් බව්තීස්ම වීමට තිමෝති තුළ තිබූ ඇදහිල්ල ඔහුව පෙලඹවූ බවට අපට නිසැක විය හැක. (මතෙව් 3:15-17; හෙබ්‍රෙව් 10:5-9) දෙවිට ආත්ම-පූර්ණව සේවය කිරීමට තිමෝති කැප වී සිටි බව ඔහුගේ බව්තීස්මයෙන් සංකේතවත් විය. තිමෝති බව්තීස්ම වූ අවස්ථාවේදී දේවසේවකයෙකු බවට පත් විය. එතැන් සිට ඔහුගේ ජීවිතය, ඔහුගේ ශක්තිය ඇතුළු ඔහු සතු වූ සෑම දෙයක්ම අයිති වූයේ දෙවිටය. මෙසේ ඔහු සතු සෑම දෙයක්ම දෙවිට අයිති වීම, ඔහුගේ නමස්කාරයේ නොහොත් ‘පරිශුද්ධ සේවයේ’ ප්‍රධාන අංගයක් විය. කෙසේවෙතත්, තිමෝති තමා ලබා තිබූ කීර්තිය ගැන සෑහීමට පත් වී සේවය සම්බන්ධයෙන් උදාසීන වූයේ නැත. ඔහු මේරූ ක්‍රිස්තියානි දේවසේවකයෙකු බවට පත් වෙමින් දිගටම ආත්මිකව වර්ධනය වූයේය. මෙයට හේතු වූයේ පාවුල් වැනි මේරූ ක්‍රිස්තියානීන් සමඟ පැවැත්වූ සමීප ඇසුර, ඔහුගේ පෞද්ගලික පාඩම හා දේශනා සේවයේ ජ්වලිතව හවුල් වීම යනාදියයි.—1 තිමෝති 4:14; 2 තිමෝති 2:2; හෙබ්‍රෙව් 6:1.

14. අදදින, “සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් දක්වන” කෙනෙකුට දේවසේවකයෙකු වීම සඳහා ප්‍රගතියක් ලැබිය හැක්කේ කෙසේද?

14 අදදිනද ක්‍රිස්තියානි දේවසේවකයන්ව පත් කරනු ලබන්නේ ඒ ආකාරයටය. “සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් දක්වන” කෙනෙකුට දෙවි ගැනත් ඔහුගේ අරමුණු ගැනත් ඉගෙනගැනීම සඳහා බයිබල් පාඩමක් තුළින් උපකාර කරනු ලැබේ. (ක්‍රියා 13:48NW) එම තැනැත්තා බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වන ආකාරය ගැනත් අර්ථවත් ලෙස දෙවිට යාච්ඤා කරන ආකාරය ගැනත් ඉගෙනගනියි. (ගීතාවලිය 1:1-3; හිතෝපදේශ 2:1-9; 1 තෙසලෝනික 5:17, 18) ඔහු සෙසු ඇදහිලිවන්තයන් සමඟ ඇසුරු කරන අතර, “විශ්වාසවූ නුවණ ඇති දාසයා” මගින් පිළියෙළ කර තිබෙන සැපයුම්වලින් ප්‍රයෝජන ගනියි. (මතෙව් 24:45-47; හිතෝපදේශ 13:20; හෙබ්‍රෙව් 10:23-25) මෙසේ ඔහු විධිමත් ලෙස සැලසුම් කර තිබෙන අධ්‍යාපනික වැඩසටහන්වලින් ප්‍රගතියක් ලබයි.

15. පුද්ගලයෙකු බව්තීස්ම වන විට සිදු වන්නේ කුමක්ද? (පාදසටහනද බලන්න.)

15 කලක් ගතවීමෙන් පසු, යෙහෝවා දෙවි කෙරෙහි ප්‍රේමයක් හා ප්‍රබල ඇදහිල්ලක් වර්ධනය කරගත් බයිබල් ශිෂ්‍යයා තුළ තමාගේ ජීවිතය තම ස්වර්ගික පියාට සම්පූර්ණයෙන්ම කැප කිරීමට මහත් ආශාවක් ඇති වේ. (යොහන් 14:1) ඔහු පෞද්ගලිකව කරන යාච්ඤාව මගින් තම කැපවීම දෙවිට ප්‍රකාශ කර, අනතුරුව පෞද්ගලිකව ගත් එම තීරණය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමක් හැටියට බව්තීස්ම වෙයි. දෙවිට සම්පූර්ණයෙන්ම කැප වී සිටින දේවසේවකයෙකු ලෙස ඔහුව සලකනු ලබන්නේ ඔහු බව්තීස්ම වන අවස්ථාවේදීය. මේ නිසා, ඔහු දේවසේවකයෙකු (ඩී·යාʹකො·නොස්) ලෙස නිල වශයෙන් පත් වන්නේ එම අවස්ථාවේදීය. එතැන් පටන් ඔහු දිගටම ලෝකයෙන් වෙන්ව සිටිය යුතුය. (යොහන් 17:16; යාකොබ් 4:4) ඔහු කොන්දේසි විරහිතව ‘ජීවමාන වූ, ශුද්ධ වූ, දෙවි විසින් පිළිගත හැකි වූ යාගයක් කොට’ තමන්ගේ මුළු ජීවිතයම දෙවිට බාර දී තිබේ. (රෝම 12:1) b ඔහු ක්‍රිස්තුස්ව අනුකරණය කරන දෙවිගේ සේවකයෙකි.

ක්‍රිස්තියානි දේවසේවයට අයත් වන්නේ මොනවාද?

16. දේවසේවකයෙකු ලෙස තිමෝතිට පැවරී තිබූ ඇතැම් වගකීම් මොනවාද?

16 තිමෝති කළ දේවසේවයට ඇතුළත් වූයේ මොනවාද? පාවුල් කළ සංචාරවලට හවුල් වූ කෙනෙකු ලෙස ඔහුට විශේෂ වගකීම් පැවරී තිබිණ. තිමෝති වැඩිමහල්ලෙකු වූ පසු, සෙසු ක්‍රිස්තියානීන්ට උගන්වමින් හා ඔවුන්ව දිරිමත් කරමින් වෙහෙස මහන්සි වී වැඩ කළේය. යේසුස් හා ප්‍රේරිත පාවුල් කළ දේවසේවයේදී මෙන් තිමෝතිගේ දේවසේවයේද ප්‍රධානතම අංගය වූයේ ශුභාරංචිය දේශනා කිරීම හා ගෝලයන් සෑදීමයි. (මතෙව් 4:23; 1 කොරින්ති 3:5) පාවුල් තිමෝතිට මෙසේ පැවසුවේය. “සිහි ඇතුව සිටින්න, දුක් ඉවසන්න, ශුභාරංචිය ප්‍රකාශකරන්නෙකුගේ වැඩේ කරන්න, නුඹේ සේවය සම්පූර්ණකරන්න.”—2 තිමෝති 4:5, අකුරු ඇල කළේ අපය.

17, 18. (අ) ක්‍රිස්තියානීන් නිරත වන්නේ කිනම් සේවයකද? (ආ) දේශනා සේවයේ නිරත වීම ක්‍රිස්තියානි දේවසේවකයෙකුට කොපමණ වැදගත්ද?

17 අදදින සිටින ක්‍රිස්තියානි දේවසේවකයන් සම්බන්ධයෙන්ද තත්වය ඒ හා සමානය. ඔවුහුද ප්‍රසිද්ධ දේවසේවයේ නිරත වෙති. යේසුස්ගේ ජීවිත පූජාවේ පදනම මත ලැබෙන ගැළවීම ගැන අන් අය සමඟ කතා කරමින්ද යෙහෝවාගේ නාමය කියා යාච්ඤා කිරීමට මොළොක් ගුණැති අයට උගන්වමින්ද ඔවුහු ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි හවුල් වෙති. (ක්‍රියා 2:21; 4:10-12; රෝම 10:13) දුක් විඳින මිනිසුන්ට සහනය සඳහා තිබෙන එකම බලාපොරොත්තුව දෙවිගේ රාජ්‍යය බව හේතු සාධක ඇතුව බයිබලයෙන් පැහැදිලි කරන ඔවුහු, දෙවි දී තිබෙන ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීමෙන් දැනුත් වඩාත් යහපත් ජීවිතයක් ගත කළ හැකි බව පෙන්වා දෙති. (ගීතාවලිය 15:1-5; මාර්ක් 13:10) ක්‍රිස්තියානි දේවසේවකයෙක් සමාජයේ ගැටලු ක්‍රිස්තියානි ප්‍රමිති මගින් විසඳිය හැකි ආකාරය ගැන දේශනා නොකරයි. එසේ කරනවා වෙනුවට ඔහු උගන්වන්නේ ‘දේවභක්තියට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන’ බවය.—1 තිමෝති 4:8.

18 දේවසේවකයන් වැඩිදෙනෙකුට සෙසු දේවසේවකයන්ට විවෘත වී නොතිබෙන මාර්ගවලින් සේවය කළ හැකි බව සැබෑවකි. එක් දේවසේවකයෙකු පිරිනමන සේවය වෙනත් දේවසේවකයෙකු පිරිනමන සේවයට වඩා වෙනස් විය හැක. බොහෝදෙනෙකුට පවුල් වගකීම් තිබේ. (එපීස 5:21–6:4) වැඩිමහල්ලන්ට හා උපස්ථායක සේවකයන්ට සභාවේ වගකීම් තිබේ. (1 තිමෝති 3:1, 12, 13; තීතස් 1:5; හෙබ්‍රෙව් 13:7) බොහෝදෙනෙක් රාජ්‍ය ශාලා ඉදි කිරීමේ වැඩකටයුතුවල නිරත වී සිටිති. වොච් ටවර් සමිතියට අයත් බෙතෙල් නිවාසවල ස්වේච්ඡා සේවකයන් හැටියට සේවය කිරීමේ වරප්‍රසාදය සමහරුන්ට ලැබී ඇත. ඒ කෙසේවෙතත්, ක්‍රිස්තියානි දේවසේවකයන් සෑම කෙනෙක්ම ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වෙති. ශුභාරංචිය දේශනා කිරීම වෙනුවට කළ හැකි වෙනත් විකල්ප සේවයක් නැත. යමෙකු සැබෑ ක්‍රිස්තියානි දේවසේවකයෙකු බව ප්‍රසිද්ධියේ හඳුන්වා දෙන්නේ එම වැඩයේ නිරත වීම මගිනි.

දේවසේවකයෙක් තුළ තිබිය යුතු ආකල්පය

19, 20. ක්‍රිස්තියානි දේවසේවකයන් වර්ධනය කරගත යුත්තේ කිනම් ආකල්පයද?

19 ක්‍රිස්තියානි ආගම්වල සිටින දේවසේවකයන් බොහෝදෙනෙක් අනිත් අයගෙන් විශේෂ ගෞරවයක් බලාපොරොත්තු වෙති. “අතිඋත්තම” සහ “පියතුමා” වැනි පදවි නාමවලින් ඔවුන්ව අමතනවාට ඔවුහු කැමති වෙති. කෙසේවෙතත්, භක්තිය මුසු වූ ගෞරවය හිමි විය යුත්තේ යෙහෝවාට පමණක් බව දේවසේවකයෙකු දනියි. (1 තිමෝති 2:9, 10) කිසිම දේවසේවකයෙකු එවන් ගරු නම්බු නාම ලබාගැනීමට වෑයම් නොකරයි. එමෙන්ම විශේෂ පදවි නාමවලින් තමන්ව අමතනු ලැබීම ඔවුන් ප්‍රතික්ෂේප කරයි. (මතෙව් 23:8-12) ඩී·යා·කො·නීʹයා යන වචනයේ මූලික අර්ථය “සේවය” කිරීම බව ඔහු දනියි. ආපන ශාලාවක මේසවලට කෑම ගෙන යෑම වැනි, යම් කෙනෙකුට පිරිනමන සේවය යන අර්ථයෙන්ද මෙම ග්‍රීක් වචනයේ ක්‍රියා පදය ඇතැම් අවස්ථාවලදී බයිබලයේ භාවිත කර තිබේ. (ලූක් 4:39; 17:8; යොහන් 2:5) මෙම වචනය ක්‍රිස්තියානි දේවසේවය සම්බන්ධයෙන් භාවිත කරන විට එයට ගෞරවනීය තත්වයක් හිමි වුවත්, ඩී·යාʹ·කො·නොස් යනු සේවකයෙකි.

20 මේ නිසා තමා උතුම් කෙනෙකු යන හැඟීම ඇති කරගැනීම සඳහා කිසිම දේවසේවකයෙකුට හේතුවක් නැත. සභාවේ විශේෂ වගකීම් දැරුවද සැබෑ ක්‍රිස්තියානි දේවසේවකයන් නිහතමානි සේවකයෝය. ඒ ගැන යේසුස් මෙසේ පැවසුවේය. “නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය. නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය.” (මතෙව් 20:26, 27) තමන්ගේ ගෝලයන් ඇති කරගත යුතු හරි ආකල්පය පෙන්වා දීමට යේසුස් පහත්ම සේවකයෙකු කරන්නාක් මෙන් ඔවුන්ගේ පාද සේදුවේය. (යොහන් 13:1-15) මෙය නිහතමානි සේවයක් සඳහා මොනතරම් විශිෂ්ට ආදර්ශයක්ද! මේ නිසා ක්‍රිස්තියානි දේවසේවකයෝ නිහතමානිව යෙහෝවාටත් යේසුස් ක්‍රිස්තුස්ටත් සේවය කරති. (2 කොරින්ති 6:4, 10; 11:23) එකිනෙකාට සේවය කිරීමේදී ඔවුහු යටහත් පහත් ස්වභාවයක් විදහාපෙන්වති. එමෙන්ම ඔවුහු ශුභාරංචිය දේශනා කරමින් තමන්ගේ ඇදහිල්ලට අයත් නැති අයට පරාර්ථකාමී ලෙස සේවය කරති.—රෝම 1:14, 15; එපීස 3:1-7.

දේවසේවය තුළ විඳදරාගෙන

21. විඳදරාගැනීමෙන් යුක්තව දේවසේවය කරගෙන යෑම තුළින් පාවුල් ප්‍රතිඵල අත් කරගත්තේ ලැබුවේ කෙසේද?

21 දේවසේවකයෙකු ලෙස සේවය කරන විට පාවුල්ට විඳදරාගැනීමට සිදු විය. කොලොස්සිවරුන්ට ශුභාරංචිය දේශනා කිරීම සඳහා තමන් බොහෝ දුක් වින්ද බව ඔහු ඔවුන්ට පැවසුවේය. (කොලොස්සි 1:24-26) කෙසේවෙතත්, ඔහු විඳදරාගැනීමේ ප්‍රතිඵලයක් හැටියට බොහෝදෙනෙක් ශුභාරංචිය පිළිගෙන දේවසේවකයන් බවට පත් වූහ. තමන් සමඟ ස්වර්ගයේ සේවය කිරීම සඳහා ආත්මික මැවිලි බවට පත්වීමේ බලාපොරොත්තුව ඇති දෙවිගේ පුතුන් මෙන්ම යේසුස් ක්‍රිස්තුස්ගේ සහෝදරයන් ලෙස ඔවුහු දෙවිගේ ආත්මයෙන් උත්පාදනය වූහ. විඳදරාගැනීම නිසා ලැබුණු විපාකය මොනතරම් විශිෂ්ට එකක්ද!

22, 23. (අ) අදදින ක්‍රිස්තියානි දේවසේවකයන් විඳදරාගත යුත්තේ මන්ද? (ආ) ක්‍රිස්තියානියෙකු ලෙස විඳදරාගැනීමෙන් අත් වන මහඟු ප්‍රයෝජන මොනවාද?

22 අදදිනද දෙවිගේ සැබෑ සේවකයන් වන අය විඳදරාගැනීම නමැති ගුණාංගය වර්ධනය කරගැනීම අවශ්‍ය වේ. බොහෝදෙනෙක් අසනීප හා මහලු වියේදී අද්දකින වේදනා සමඟ පොරබදිති. තම දරුවන්ව හදාවඩා ගැනීමට දෙමාපියන් වෙහෙසෙන අතර, ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට එසේ කිරීමට සිදු වී තිබෙන්නේ සහකරුවෙකු නැතිවය. දරුවන් පාසැලේදී තමන්ට එල්ල වන නරක බලපෑම්වලට එරෙහි වීම සඳහා ධෛර්ය සම්පන්නව කටයුතු කරයි. ක්‍රිස්තියානීන් බොහෝදෙනෙක් දරුණු ආර්ථික ගැටලු සමඟ පොරබදිති. අද අප ජීවත් වන්නේ “කටයුතු කිරීමට දුෂ්කර අර්බුදකාරි කාලවල” නිසා බොහෝදෙනෙක් හිංසා පීඩාවලට මුහුණ දෙති. නැත්නම් දුෂ්කරතා අද්දකිති. (2 තිමෝති 3:1NW) අදදින යෙහෝවාට සේවය කරන දේවසේවකයන් දශලක්ෂ හයකට ආසන්න පිරිසට ප්‍රේරිත පාවුල් මෙන් මෙසේ පැවසිය හැක. ‘බොහෝ ඉවසීමෙන් [විඳදරාගැනීමෙන්, NW] යුක්තව, සෑම ආකාරයකින්ම අපි දෙවිගේ සේවකයන් වශයෙන් අපවම පිළිගන්වමු.’ (2 කොරින්ති 6:4, 10ආ) මුහුණ දීමට සිදු වන දෙය කුමක් වුවත්, ක්‍රිස්තියානි දේවසේවකයෝ තම සේවය අත් නොහරිති. මොවුන්ගේ විඳදරාගැනීම ඇත්තෙන්ම පැසසීමට ලක් කළ යුතුය.

23 එපමණක්ද නොව, පාවුල්ට මෙන් අපටත් විඳදරාගැනීමෙන් කදිම ප්‍රයෝජන අද්දැකිය හැක. විඳදරාගැනීම තුළින්, යෙහෝවා සමඟ තිබෙන අපේ කිට්ටු සබඳතාව දිගටම පවත්වාගනිමින් ඔහුගේ හදවත සතුටු කළ හැක. (හිතෝපදේශ 27:11) එමෙන්ම විඳරාගැනීමෙන් අපි අපේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරගන්නෙමු. එමෙන්ම, ගෝලයන් සෑදීමේ වැඩයේ නියැලෙමින් ක්‍රිස්තියානි සහෝදරත්වයට තවත් අයව එකතු කරන්නෙමු. (1 තිමෝති 4:16) යෙහෝවා තම සේවකයන්ව උසුලමින් මේ අන්තිම දවස්වලදී ඔවුන් කරන දේවසේවයට ආශීර්වාද කර තිබේ. මෙහි ප්‍රතිඵලයක් හැටියට 1,44,000ට අයත් අවසන් සාමාජිකයන්ව එක්රැස් කර තිබේ. තවත් දශලක්ෂ ගණනක්දෙනා පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ නිසැක අපේක්ෂාව ඇතුව සිටිති. (ලූක් 23:43; එළිදරව් 14:1) සැබවින්ම, ක්‍රිස්තියානි දේවසේවය අපට යෙහෝවාගේ කරුණාව ලැබී තිබෙන බවට සාක්ෂියකි. (2 කොරින්ති 4:1) අපි සියලුදෙනාම එය උතුම් වස්තුවක් ලෙස සලකමු. දේවසේවයෙන් ලැබිය හැකි සදාකාලික ප්‍රයෝජන සඳහා අපේ දෙවිට ස්තුතිය ප්‍රකාශ කරමු.—1 යොහන් 2:17.

[පාදසටහන්වල]

a පල්ලියක නිල වශයෙන් පත් කර සිටින කෙනෙකුව හැඳින්වීමට යොදන “සහයක දේවගැතියා” යන වචනය පැමිණ තිබෙන්නේ ඩී·යාʹකො·නොස් යන ග්‍රීක් වචනයෙනි. සහයක දේවගැති පදවිය ස්ත්‍රීන්ට ලබා දෙන පල්ලිවල, ඔවුන්ට සහයක දේවගැතිවරිය යන පදවි නාමය ලබා දිය හැක.

b රෝම 12:1හි සඳහන් වදන් විශේෂයෙන්ම අදාළ වන්නේ ආලේප ලත් ක්‍රිස්තියානීන්ට වුවත්, එහි දැක්වෙන ප්‍රතිපත්තිය ‘වෙනත් බැටළුවන්ටද’ අදාළ වේ. (යොහන් 10:16) මොවුහු ‘යෙහෝවාගේ සේවකයන් ලෙස ඔහුට මෙහෙකරන්ටත් ඔහුගේ නාමයට ප්‍රේම කරන්ටත් එක් වෙති.’—යෙසායා 56:6.

ඔබට පැහැදිලි කළ හැකිද?

• පළමුවන සියවසේ සිටි සියලුම ක්‍රිස්තියානීන්ට පැවරී තිබූ වගකීම කුමක්ද?

• දේවසේවකයෙකුව පත් කරනු ලබන්නේ කවදාද? කවුරුන් විසින්ද?

• දේවසේවකයෙකු වර්ධනය කරගත යුතු ආකල්පය කුමක්ද?

• දේවසේවකයෙකු දුෂ්කරතා මැද විඳදරාගත යුත්තේ මන්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16, 17වන පිටුවේ පින්තූර]

බාල වයසේ පටන් තිමෝතිට දේවවචනය උගන්වන ලදි. ඔහු බව්තීස්ම වූ අවස්ථාවේදී පත් කරන ලද දේවසේවකයෙකු විය

[18වන පිටුවේ පින්තූරය]

දෙවිට කරන කැපවීම බව්තීස්මයෙන් සංකේතවත් වන අතර, දේවසේවකයෙකු ලෙස පත්වීම එමගින් සනිටුහන් කෙරේ

[20වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි දේවසේවකයෝ සේවය කිරීමට සෑදී පැහැදී සිටිති