Skip to content

පටුනට යන්න

ඔබ යාච්ඤා කළ යුත්තේ ඇයි?

ඔබ යාච්ඤා කළ යුත්තේ ඇයි?

ඔබ යාච්ඤා කළ යුත්තේ ඇයි?

‘නුඹලා ඉල්ලන නමුත් . . . වැරදි ලෙස ඉල්ලන බැවින් ලැබෙන්නේ නැත. දෙවිට ළං වෙන්න, එවිට ඔහු නුඹලාට ළං වන්නේය.’ (යාකොබ් 4:3, 8) යේසුස්ගේ ගෝලයෙක් වූ යාකොබ්ගේ එම වදන් අපි යාච්ඤා කරන්නේ ඇයි කියන කාරණය ගැන කල්පනා කර බලන්න අපව පොලඹවනවා.

යාච්ඤාව කියන්නේ නිකම්ම දෙවිට අපේ අවශ්‍යතා සඳහන් කරන මාධ්‍යයක් නෙවෙයි. යේසුස් තම ප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේ මෙසේ පැහැදිලි කළා. ‘නුඹලාගේ පියා නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට වුවමනා දේ කුමක්දැයි දන්නේය.’ කොහොම වුණත්, යේසුස් මෙලෙසත් පැවසුවා. ‘දිගටම ඉල්ලමින් සිටින්න. එවිට නුඹලාට දෙනු ලැබේ.’ (මතෙව් 6:8; 7:7NW) මෙලෙස, අපිට අවශ්‍යයි කියා හැඟෙන දේවල් ගැන ඔහුට පවසන්න කියා යෙහෝවා අපෙන් ඉල්ලා සිටිනවා. නමුත් අපේ යාච්ඤා අපේ අවශ්‍යතා ගැන සඳහන් කිරීමට පමණක් සීමා නොකළ යුතුයි.

සැබෑ මිත්‍රයන් අදහස් හුවමාරු කරගන්නේ අනිත් පුද්ගලයාගෙන් යමක් වුවමනා වූ විට පමණක් නෙවෙයි. ඒ වෙනුවට, ඔවුන් එකිනෙකා ගැන අව්‍යාජ උනන්දුවක් දක්වන අතර, තම හැඟීම් ප්‍රකාශ කිරීම තුළින් එකිනෙකා අතර තිබෙන බැඳීම ශක්තිමත් කරගන්නවා. ඒ හා සමානව, අපේ අවශ්‍යතා ගැන ඉල්ලීමක් කරනවාට වඩා වැඩි යමක් යාච්ඤාව තුළින් ඉටු විය යුතුයි. ඔව්, එයට උතුම් අරමුණක් තිබෙනවා. එනම් යෙහෝවා කෙරෙහි අපිට තිබෙන ප්‍රේමය හා ගෞරවය ප්‍රකාශ කිරීමට හා ඔහු සමඟ අපට තිබෙන සබඳතාව වඩ වඩා ශක්තිමත් කරගැනීමට ප්‍රස්තාවක් උදා කර දීමයි.

ඔව්, යෙහෝවා අපට යාච්ඤාව නමැති ත්‍යාගය දී තිබෙන්නේ අපි ඔහුට සමීප වෙනවාට ඔහු කැමැත්තක් දක්වන නිසයි. අපට එය කළ හැක්කේ අපේ සිතේ තිබෙන හැඟීම් අපි යෙහෝවාට විවෘතව ප්‍රකාශ කළොත් විතරයි. කට පාඩමින් කියන යාච්ඤාවලින් එය කොහෙත්ම ඉටු කළ නොහැකියි. ඇත්තෙන්ම යාච්ඤාවෙන් යෙහෝවා සමඟ කතා කිරීමට තිබෙන වරප්‍රසාදය මොනතරම් අනගි එකක්ද! දෙවිට ඒ ගැන හැඟෙන්නේ කොහොමද? බයිබල් හිතෝපදේශයක අපට මෙසේ පිළිතුරු සපයනවා. “ඇද නැත්තන්ගේ යාච්ඤාවට [ඔහු] ප්‍රසන්නය.”—හිතෝපදේශ 15:8.

‘දෙවිට ළංවීම මට යහපත’ කියා ගීතිකාකාර ආසාප් ගැයුවා. (ගීතාවලිය 73:28) හැබැයි දෙවිට ළං වෙන්න නම් අපි යාච්ඤා කිරීමට වඩා වැඩි යමක් කළ යුතුයි. මතු දැක්වෙන බයිබල් පාඨය මෙය අවධාරණය කරන ආකාරය සැලකිල්ලට ගන්න.

‘යේසුස්ගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කතා කොට, ස්වාමීනි, අපට යාච්ඤා කරන්ට උගන්වන්නයි කීවේය.’ යේසුස් ඊට මෙසේ පිළිතුරු දුන්නා. ‘නුඹලා යාච්ඤා කරන කල, පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවායයි කියන්න.’ (ලූක් 11:1, 2) දෙවිගේ නාමය මොකක්ද කියාත් එය ගෞරවයට පත් වන්නේ කොහොමද කියාත් දැනගන්නේ නැතුව අපට අර්ථාන්විත ආකාරයකට ඒ සම්බන්ධයෙන් යාච්ඤා කරන්න පුළුවන්ද? ඒ වගේම දෙවිගේ රාජ්‍යය කියන්නේ මොකක්ද කියා දන්නේ නැතුව අපට යේසුස්ගේ වදන්වලට එකඟව යාච්ඤා කරන්න පුළුවන්ද? ඔව්, එම කාරණා ගැන නිවැරදි අවබෝධයක් අවශ්‍ය බව පැහැදිලියි. නිවැරදි අවබෝධයක් ලබාගත හැක්කේ අපි බයිබලය පරෙස්සමින් අධ්‍යයනය කළොත් පමණයි. එමගින් ලබාගන්නා දැනුම දෙවිව වඩා හොඳින් දැන හඳුනාගන්නත්, ඔහුගේ මාර්ග වඩා හොඳින් තේරුම්ගන්නත් අපට උපකාරවත් වෙයි. ඒ විතරක් නෙවෙයි, යෙහෝවා දෙවිව දැන හඳුනාගැනීම ඔහුට වඩාත් සමීප වෙන්නත්, ඔහුට වඩා කැපවීමකින් සේවය කරන්නත් මඟ පාදනවා. මෙයද යාච්ඤාවෙන් ඔහු වෙත එළඹීම වඩාත් පහසු කරවයි.

යාච්ඤාවෙන් ප්‍රශ්න විසඳෙයි

යෙහෝවා සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගැනීම අපේ ගැටලුවලට විසඳුම් සොයාගැනීමට උපකාරවත් වෙනවා. මතු දැක්වෙන අද්දැකීම්වලින් එය ඔප්පු වන ආකාරය සැලකිල්ලට ගන්න. යාච්ඤා කිරීම තුළින් එම පුද්ගලයන් යෙහෝවා සමඟ ශක්තිමත් සබඳතාවක් වර්ධනය කරගත් ආකාරය ඒවායින් පිළිබිඹු වෙනවා.

බ්‍රසීලයේ, මරියා නමැති එක් කාන්තාවක් දෙවිගෙන් උපකාර පැතුවා. ඇය සමාජයේ දුටු කුහකකම ගැන කලකිරීමකින් සිටි නිසා ඇයට උවමනා වී තිබුණේ සමාජයට විරුද්ධව කැරලිගසන්නයි. ඇත්තෙන්ම මරියා ඇගේ පුරුෂයාවත් දරුවන්වත් අත්හැර ගොස් තිබුණා. ඇය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නත් පටන්ගත්තා. නමුත් ඒ කිසිම දෙයකින් ඇය සතුටට පත් වුණේ නැති නිසා ඇය දෙවිගෙන් උපකාර පතමින් හද පත්ලෙන්ම යාච්ඤා කරන්න පටන්ගත්තා.

වැඩි කල් යන්න ඉස්සෙල්ලා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇගේ නිවසට පැමිණියා. ඔවුන් මරියාට මුරටැඹ සඟරාවක් දීලා ගියා. එම සඟරාව තුළ දිව්‍ය මඟ පෙන්වීම පිළිගැනීමේ වැදගත්කම ගැන සඳහන් කර තිබුණා. එම තොරතුරු ඇගේ සිතට ගැඹුරින් කාවැදුණ අතර එදාම ඇය සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තා. අවසානයේදී ඇය නැවතත් ඇගේ පවුලේ අය සමඟ එක් වුණා. තවද ඇය යෙහෝවා ගැන ඉගෙනගන්න ඉගෙනගන්න ඔහු කෙරෙහි ඇති ඇගේ ප්‍රේමය වර්ධනය වුණා. ඒත් සමඟම, එම හැඟීම් යෙහෝවාට ප්‍රකාශ කිරීමට ඇය තුළ දැඩි ආශාවක් ඇති වුණා. “මම මගේ නරක පුරුදු අත්හරින්න පටන්ගත්තා” කියා මරියා පවසනවා. “මුලදී මගේ මහත්තයායි පවුලේ අනිත් අයයි කැමති වුණේ නැහැ මම බයිබලය පාඩම් කරනවාට. හැබැයි මගේ ජීවිතය හොඳ අතට හැරෙන්න පටන්ගත්තාම ඒගොල්ලනුත් මට උනන්දු කළා ඒක දිගටම කරගෙන යන්න” කියා ඇය තවදුරටත් පැහැදිලි කරනවා. පසුව මරියා යාච්ඤා අසන තැනැත්තාට තම ජීවිතය කැප කරමින් දිගටම ඔහුට සේවය කිරීමට අදිටන් කරගත්තා.

හෝසේට ලස්සන භාර්යාවක් සිටියා. ඔහු බොලිවියාවේ ඉතා සාර්ථක ලෙස ව්‍යාපාරයකුත් කරගෙන ගියා. නමුත් ඔහු සතුටක් අද්දැක්කේ නැහැ. ඔහු සතුට සොයමින් වෙනත් ප්‍රේම සම්බන්ධයක් පටන්ගත් නිසා ඔහුගේ භාර්යාව ඔහුව අත්හැර ගියා. පසුව, හෝසේ අධික බීමත්කමට වැටුණ අතර ඔහු තුළ නොවටිනාකමේ හැඟීම් පහළ වෙන්න පටන්ගත්තා. ඔහු තමාගේ අද්දැකීම මෙසේ විස්තර කරනවා. “මම දෙවිට මගේ හිතේ තියෙන දේ කියාගෙන කියාගෙන ගියා. ඔහුව සතුටු කරන්න නම් මං මොනවාද කරන්න ඕනේ කියලා ඇහුවා. ටික දවසක් ගියාට පස්සේ මගේ වැඩපොළට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇවිත් මට නොමිලේ බයිබල් පාඩමක් ඉදිරිපත් කළා. හැබැයි මම ඒගොල්ලන්ව ගණන් ගත්තේ නැහැ. තුන්පාරක්ම එහෙම වුණා. මම දෙවිගෙන් උපකාර පැතුව හැම සැරේම ඒගොල්ලනුත් ආවා! අන්තිමට මම තීරණය කළා ඒගොල්ලන් ආයෙත් ආවොත් මම ඒගොල්ලන්ට ඇහුම්කන් දෙනවා කියලා. මම මුළු බයිබලයම කියවලා තිබුණා. ඒ හින්දා මට හුඟක් ප්‍රශ්න තිබුණා. ඒ හැම ප්‍රශ්නයකටම සාක්ෂිකරුවන් සෑහීමට පත් කරවන පිළිතුරු දුන්නා. යෙහෝවාගෙන් ඉගෙනගැනීම නිසා මගේ ජීවිතයට අලුත් අරමුණක් ලැබුණා. ඒ වගේම සාක්ෂිකරුවන් අතර හිටිය මගේ යාළුවන්ගේ හොඳ ආදර්ශ මට ලොකු දිරිගැන්වීමක් වුණා. මගේ පෙම්වතියව මම අත්හැරියා විතරක් නෙවෙයි, මාත් එක්ක එකට බිව්ව යාළුවන් එක්ක ආශ්‍රය කරන එකත් මම නැවැත්තුවා. ඒ හින්දා මට නැවතත් මගේ භාර්යාවයි ළමයින් එක්කයි එකතු වෙන්න පුළුවන් වුණා. මම 1999 මුල බව්තීස්ම වුණා.”

ඉතාලියේ අද්දැකීමකට දැන් අවධානය යොමු කරන්න. ටමාරාගේ විවාහය දෙකඩ වන තත්වයකට පත් වී තිබුණා. ඒ නිසා ඇය ප්‍රඥාව ඉල්ලා දෙවිට යාච්ඤා කළා. ඇය පොඩි කාලේ සිටම අඩන්තේට්ටම්වලට ලක් වී තිබුණ අතර අවුරුදු 14දී ඇයව නිවසෙන් පන්නා දමා තිබුණා. එම අද්දැකීම් නිසා ඇය තුළ ප්‍රචණ්ඩකාරි ස්වභාවයක් හටගෙන තිබුණා. ටමාරා ඇගේ අද්දැකීම මෙලෙස විස්තර කරනවා. “මට බයිබලයක් හම්බ වුණ නිසා මම ඒක කියවන්න පටන්ගත්තා. ‘ප්‍රඥාව සොයාගැනීම හරියට නිධානයක් සොයාගන්නවා වගේ’ කියලා මට දවසක් කියවන්න ලැබුණා. ඊට පස්සේ මම ඒ ප්‍රඥාව ඉල්ලලා යාච්ඤා කළා. (හිතෝපදේශ 2:1-6) ඊට පහුවදා උදේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මගේ ගෙදරට ආවා. මම ඒගොල්ලන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා, ඒත් මට ටික කාලයක් ගියා ඉගෙනගත්ත දේවල් ක්‍රියාවට නංවන්න. හැබැයි මම අන්තිමට තීරණය කළා ක්‍රිස්තියානි ජීවිතයක් ගත කරන්න. මම දැන් බව්තීස්ම වෙලා. දැන් මමයි මගේ මහත්තයයි අනිත් අයටත් දෙවිගේ ප්‍රඥාවෙන් ප්‍රයෝජන ලබාගන්න උදව් වෙනවා.”

වෙනිසුවෙලාහි කාරකාස්වල පදිංචි වී සිටි බියට්‍රිස්ට සමාජයේ උසස් තැනක් හිමි වෙලා තිබුණා. නමුත් ඇගේ විවාහය දික්කසාදයෙන් අවසන් වූ අතර ඇය දැඩි සිත්තැවුලට ලක් වුණා. එක් අවස්ථාවකදී ඇය කොතරම් දුකින් සිටියාද කිව්වොත් ඇය පැය ගානක්ම යාච්ඤා කළා. ඊළඟ දවසේ උදේ දොරට කවුද තට්ටු කළා. ඇය අකමැත්තෙන් වාගේ කවුද ඇවිත් ඉන්නේ කියා හොරෙන් බැලුවා. දොර ළඟ සිටගෙන සිටියේ පොත් බෑග් දෙකක් කරේ දමාගෙන සිටින දෙදෙනෙක්. කවුරුත් ගෙදර නැති බව ඇඟවීමට වුවමනා වූ ඇය සද්ද නොකර සිටිය නිසා ඒ දෙන්නා දොර යටින් “ඔබේ බයිබලය දැනගන්න” යන අත් පත්‍රිකාව දමා ගියා. ඒක කියවපු ගමන්ම බියට්‍රිස්ට මතක් වුණේ ඊට කලින් දවසේ ඇය කළ යාච්ඤාවයි. ඒ දෙදෙනා ආවේ ඇගේ යාච්ඤාවට පිළිතුරක් වශයෙන්ද කියා ඇය කල්පනා කළා. ඇය ඉක්මනටම ගිහින් ඒ දෙදෙනාට නැවතත් ඇගේ නිවසට එන්න කිව්වා. ඇය බයිබල් පාඩමක් ආරම්භ කළ අතර වැඩි කල් යන්න ඉස්සෙල්ලා බව්තීස්ම වුණා. බියට්‍රිස් දැන් ප්‍රීතිය අද්දකිමින් සිටින අතර සැබෑ සන්තෝෂය සොයාගන්නේ කොහොමද කියා අන් අයටත් කියා දෙනවා.

කාමන් හුඟක් දුගී ජීවිතයක් ගත කළා. ඇය ඒ ගැන යාච්ඤා කළා. ඇයට දරුවන් දසදෙනෙක් සිටි අතර ඇගේ පුරුෂයා වන රෆායෙල් බේබද්දෙක්ව සිටියා. “මම එක් එක්කෙනාගේ රෙදි හෝදලා තමයි මුදල් සොයාගත්තේ” කියා කාමන් ඇගේ කතාව කියනවා. හැබැයි රෆායෙල් තව තවත් බොන්න පටන්ගත්තා. “අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරන්න පටන්ගත්තාම තමයි මගේ මහත්තයා වෙනස් වෙන්න පටන්ගත්තේ. අපි රාජ්‍යයේ පොරොන්දුව ගැන ඉගෙනගත්තා. යෙහෝවා ළඟදීම දුප්පත්කම හා හැම පීඩිත තත්වයක්ම නැති කරලා දාන්න යනවා කියලා දැනගත්තාම මගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණා කියලා මම දැනගත්තා.” යෙහෝවාගේ මාර්ග ගැන ඉගෙනගැනීමෙන් රෆායෙල්ට බීමත්කමෙන් මිදෙන්නත් “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගන්නත් අවශ්‍ය ශක්තිය ලැබුණා. (එපීස 4:24NW) ඇත්තටම රෆායෙල්ට මෙන්ම මුළු පවුලටම පුළුවන් වුණා ඔවුන්ගේ ජීවන තත්වය දියුණු කරගන්න. රෆායෙල් මෙසේ පැහැදිලි කරනවා. “අපි සල්ලිකාරයෝ නෙවෙයි, අපිටම කියලා නිවසක් නැහැ. හැබැයි අපිට අවශ්‍ය දේ තියෙනවා. ඒ හින්දා අපි ඉන්නේ සතුටින්.”

සියලුම යාච්ඤාවලට පිළිතුරු ලැබෙන කල

යාච්ඤා කිරීම මෙම පුද්ගලයන්ට ප්‍රයෝජනවත් වුණාද? ඇත්තෙන්ම ඔව්! ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණා. බොහෝ අවස්ථාවලදී ඔවුන්ට පිළිතුරු ලැබුණේ, ක්‍රිස්තියානි සභාවෙන් යම් කෙනෙක් ඔවුන් සමඟ බයිබල් පාඩමක් ආරම්භ කර එමගින් යෙහෝවා දෙවිට ළං වෙන්න උපකාර කළ විටයි.—ක්‍රියා 9:11, 12අ.

එමනිසා, අපට යාච්ඤා කිරීමට හොඳ හේතු තිබෙනවා. දෙවිගේ රාජ්‍යයේ පැමිණීම හා ඔහුගේ කැමැත්ත පොළොවේ ඉටුවීම පිළිබඳව කරන යාච්ඤාවලට ළඟදීම පිළිතුරු ලැබෙයි. (මතෙව් 6:9, 10) දෙවි ඔහුට විරුද්ධව කටයුතු කරන ජනයාව මෙම පොළොවෙන් තුරන් කළාට පසුව ‘ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන්, යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරී යන්නේය.’ (යෙසායා 11:9) එතකොට යෙහෝවාට ප්‍රේම කරන සියලුදෙනාම ‘දෙවිගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන’ අතර ඔවුන් කරන සියලුම යාච්ඤාවලට පිළිතුරු ලැබෙයි!—රෝම 8:18-21.

[7වන පිටුවේ පින්තූරය]

ඔබ යාච්ඤා කළ යුත්තේ ඇයි කියා ඔබ දන්නවාද?