Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානීන් සේවය තුළින් සතුටක් ලබයි

ක්‍රිස්තියානීන් සේවය තුළින් සතුටක් ලබයි

ක්‍රිස්තියානීන් සේවය තුළින් සතුටක් ලබයි

“ගැනීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබේ.”—ක්‍රියා 20:35NW.

1. අද බොහෝදෙනෙකු තුළ දැකිය හැකි වැරදි ආකල්පය කුමක්ද? එම ආකල්පය හානිකර වන්නේ මන්ද?

 පසුගිය දශකය පුරා “මමත්වය” යන වචනය නිතර අසන්න ලැබිණ. “මමත්වය” යන වචනයෙන් ඇඟවෙන්නේ ආත්මාර්ථකාමිත්වය හා ගිජුකම මුසු වූ ආකල්පයකි. මෙවන් ආකල්පයක් ඇති කෙනෙකු අනිත් අය කෙරෙහි සැලකිල්ලක් නොදක්වයි. වසර 2000දීද මෙම වචනය වාග් මාලාවෙන් ඉවත් නොවන බව අපට නිසැකවම පැවසිය හැක. “ඒකෙන් මොනවද මට ලැබෙන්නේ?” හෝ “වාසියක් එහෙම තියෙනවද?” යන ප්‍රකාශයන් කොපමණ වාර ගණනක් ඔබේ සවනට වැකෙනවාද? එවන් ආත්මාර්ථකාමී ආකල්පයක් සන්තෝෂයට දායක නොවේ. එම ආකල්පය යේසුස් විසින් පවසන ලද, “ගැනීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබේ” යන ප්‍රතිපත්තියට හාත්පසින්ම වෙනස්ය.—ක්‍රියා 20:35.

2. දීමෙන් සතුටක් ලැබිය හැකි බව පැවසිය හැක්කේ මන්ද?

2 ගැනීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබෙන බව පැවසීම සත්‍යයක්ද? ඔව්. යෙහෝවා දෙවි ගැන සිතා බලන්න. ‘ජීවිතයේ උල්පත’ ඔහුය. (ගීතාවලිය 36:9) සතුටින් පිරි තෘප්තිමත් ජීවිතයක් භුක්ති විඳීම සඳහා අවශ්‍ය කරන සෑම දෙයක්ම ඔහු අපට සපයා දෙයි. ඇත්තෙන්ම, ‘සෑම යහපත් හා සම්පූර්ණ දීමනාවකම’ උල්පත ඔහුය. (යාකොබ් 1:17) “සන්තෝෂවත් දෙවි” වන යෙහෝවා අපට නිරතුරුවම සපයයි. (1 තිමෝති 1:11NW) ඔහු මිනිසුන්ට ප්‍රේම කරන නිසා ඔවුන්ට බහුලව දේවල් සපයා දෙයි. (යොහන් 3:16) පවුලක් ගැන සිතා බලන්න. ඔබ දෙමාපියෙක් නම්, දරුවෙකුව ඇති දැඩි කිරීම සඳහා මොනතරම් කැප කිරීම් කළ යුතුද, මොනතරම් දේවල් දිය යුතුද කියා ඔබ දනී. අවුරුදු ගණනාවක් යන තෙක්ම දරුවා ඔබ කළ කැප කිරීම් ගැන නොදැන සිටියි. එමෙන්ම ඔබ කළ කැප කිරීම් දරුවා අගය නොකරයි. එහෙත් ඔබ දරුවාගේ ශුභ සිද්ධිය ගැන සිතමින් දේවල් ලබා දීමේ ප්‍රතිඵලයක් හැටියට ඔබේ දරුවා හොඳින් වැඩෙනවා දැකීමෙන්, ඔබ මහත් සතුටක් ලබයි. ඒ සතුටට හේතුව වන්නේ ඔබ දරුවාට ප්‍රේම කිරීමයි.

3. යෙහෝවාටත් අපේ සෙසු ඇදහිලිවන්තයන්ටත් සේවය කිරීම සතුටට කාරණයක් ලෙස සැලකිය යුත්තේ මන්ද?

3 ඒ හා සමානව, සැබෑ නමස්කාරය හඳුනාගැනීමේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ප්‍රේමය මගින් පෙලඹී දීමයි. අපි යෙහෝවාටත් අපේ සෙසු ඇදහිලිවන්තයන්ටත් ප්‍රේම කරන්නෙමු. මේ නිසා අප යෙහෝවාට හා අපේ සහෝදරයන්ට සේවය කරන්නේ සන්තෝෂයෙනි. (මතෙව් 22:37-39) ආත්මාර්ථකාමී චේතනාවෙන් යෙහෝවාට නමස්කාර කරන අය කිසිදා සතුටක් නොලබති. එහෙත් තමන්ට ලැබෙන දේවල් ගැන නොව, නමුත් තමන්ට දිය හැකි දේවල් ගැන සිතා පරාර්ථකාමී ලෙස සේවය කරන අය සන්තෝෂය භුක්ති විඳිති. අපේ නමස්කාරය හා බැඳී පවතින ඇතැම් වචන ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව ඇති ආකාරය ගැන සලකා බැලීමෙන් ඉහත කළ ප්‍රකාශයෙහි සත්‍යතාව අපට හොඳින් තහවුරු කරගත හැක. අපේ නමස්කාරය හා බැඳී පවතින, බයිබලයේ සඳහන් වචන තුනක් පිළිබඳව මේ ලිපියේදී හා ඊළඟ ලිපියේදී අපි සාකච්ඡා කරන්නෙමු.

යේසුස්ගේ පොදු ජන සේවය

4. ක්‍රිස්තියානි ආගම්වල සිදු කෙරෙන “පොදු ජන සේවය” ගැන කුමක් කිව හැකිද?

4 මුල් ග්‍රීක් භාෂාවෙහි නමස්කාරය හා බැඳි වැදගත් වචනයක් භාවිත කර තිබේ. ලෙයි·ටුර්·යිʹයා a යන එම ග්‍රීක් වචනය “පොදු ජන සේවය” ලෙස නව ලෝක පරිවර්තනයෙහි (ඉංග්‍රීසියෙන්) දක්වා ඇත. මෙම ග්‍රීක් වචනයෙන් අර්ථවත් වන දෙය ඇසුරෙන් ක්‍රිස්තියානි ආගම් විවිධ චාරිත්‍රයන් හඳුන්වා දී තිබේ. කෙසේවෙතත් මෙම ආගමික චාරිත්‍ර මගින් මිනිසුන්ට ප්‍රයෝජනවත් සේවයක් නොලැබෙන නිසා, එම චාරිත්‍ර පැවැත්වීමෙන් පොදු ජන සේවයක් සිදු නොවේ.

5, 6. (අ) ඉශ්‍රායෙල්හි සිදු කරන ලද්දේ කුමන ආකාරයේ පොදු ජන සේවයක්ද? ඉන් අත් වූ ප්‍රයෝජන මොනවාද? (ආ) ඉශ්‍රායෙල්හි සිදු කෙරුණු පොදු ජන සේවය වෙනුවට පිහිටුවන ලද වඩා උතුම් පොදු ජන සේවය කුමක්ද? එවන් සේවයක් පිහිටුවන ලද්දේ මන්ද?

5 ප්‍රේරිත පාවුල් ඉශ්‍රායෙල්හි සිටි පූජකයන් ගැන කතා කරන විට ලෙයි·ටුර්·යිʹයා හා සම්බන්ධ ග්‍රීක් වචනයක් භාවිත කළේය. ඔහු මෙසේ පැවසුවේය. “සියලු පූජකයෝ සිටගෙන, දවස්පතා සේවය [පොදු ජන සේවය, NW, ලෙයි·ටුර්·යිʹයා යන්නෙහි ප්‍රකෘතියක්] කරමින්, කිසි කලෙකත් පාපය පහකරන්ට නොහැකිවූ එම පූජාවල් බොහෝ වර ඔප්පුකරති.” (හෙබ්‍රෙව් 10:11) ඉශ්‍රායෙල්හි ලෙවී පූජකයෝ ඉතාමත් වටිනා පොදු ජන සේවයක් කළහ. ඔවුහු දෙවිගේ ව්‍යවස්ථාව ඉගැන්වීමට අමතරව සෙනඟගේ පව් වසාලන පූජාද ඔප්පු කළහ. (2 ලේකම් 15:3; මලාකී 2:7) පූජකයන් මෙන්ම සෙනඟද යෙහෝවාගේ ව්‍යවස්ථාවට අනුව ජීවත් වූ විට මුළු ජාතියම එක්ව සන්තෝෂය භුක්ති වින්දෝය.—ද්විතීය කථාව 16:15.

6 ව්‍යවස්ථාවේ නියමයන්ට අනුව පොදු ජන සේවයේ හවුල් වෙන්න ලැබීම ඉශ්‍රායෙල්හි පූජකයන්ට ලැබී තිබූ මහඟු වරප්‍රසාදයකි. එහෙත් ඉශ්‍රායෙල්වරුන්ගේ නොඇදහිලිවන්තකම නිසා දෙවි ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, ඔවුන් කළ සේවයේ කිසිදු වටිනාකමක් නොතිබිණ. (මතෙව් 21:43) පසුකාලයේදී යෙහෝවා වඩාත් උතුම් දෙයක් සඳහා කටයුතු පිළියෙළ කළේය. එම උතුම් දෙය වූයේ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයා වන යේසුස් විසින් සිදු කරනු ලබන පොදු ජන සේවයයි. යේසුස් ගැන අපට මෙසේ කියවීමට තිබේ. ‘ඔහු සදාකාලේටම ජීවත් වන හෙයින්, ඔහුගේ පූජකකම පහ වෙන්නේ නැත. එබැවින්, ඔහු කරණකොටගෙන දෙවි වෙතට ළඟා වෙන්නන් උදෙසා මැදහත්කම් කරන පිණිස ඔහු නිරතුරුවම ජීවත් වන හෙයින්, ඔවුන් කෙළවර දක්වාම [සම්පූර්ණයෙන්ම, NW] ගළවන්ට ඔහුට පුළුවන.’—හෙබ්‍රෙව් 7:24, 25.

7. වෙනත් කිසිදු සේවාවකින් ලබාගත නොහැකි ප්‍රයෝජන යේසුස් කළ පොදු ජන සේවය මගින් ලබාගත හැකි වන්නේ මන්ද?

7 යේසුස් සදාකාලයටම පූජකයෙකු ලෙස සේවය කරන නිසා මිනිසුන්ව සම්පූර්ණයෙන්ම ගළවාගත හැක්කේ ඔහුට පමණි. යේසුස්ගේ පොදු ජන සේවය වෙනත් කිසිම කෙනෙකුගේ සේවය හා සැසඳිය නොහැකි තරම් උතුම් සේවයකි. ඔහු මේ සේවය කරන්නේ මිනිසුන් විසින් සාදන ලද දේවමාළිගාවක සිට නොව, නමුත් පො.යු. 29 සිට ක්‍රියාත්මක වන යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ නමස්කාර විධිවිධානය නමැති ආත්මික දේවමාළිගාවේ අතිශුද්ධස්ථානය වන ස්වර්ගයේ සිටය. ඔහු ‘මනුෂ්‍යයා විසින් නොව යෙහෝවා විසින් පිහිටුවන ලද ශුද්ධස්ථානයේ හා සැබෑ වූ මණ්ඩපයේ [පොදු ජන, NW] සේවකයෙකි (ලී·ටූ·ගොස්ʹ).’ (හෙබ්‍රෙව් 8:2; 9:11, 12) මොනතරම් උසස් තත්වයක සිටියත්, යේසුස් තවමත් “පොදු ජන සේවකයෙකි.” යේසුස් ඔහු සතු මහත් බලතල යොදවන්නේ යම් දේවල් ලබාගැනීමට නොව ලබා දීමටය. එසේ කිරීමෙන් ඔහු සතුටක් ලබයි. එසේ දීම ‘යේසුස් ඉදිරියෙහි තබා තිබූ ප්‍රීතියට’ දායක වූ අතර, පොළොව මත ඔහුගේ දේවසේවය ආරම්භ වූ දා සිට අන්තිමය දක්වාම විඳදරාගැනීමටද එය ඔහුට මහත් රුකුලක් විය.—හෙබ්‍රෙව් 12:2.

8. ව්‍යවස්ථා ගිවිසුමට හිමිව තිබූ තැන වෙනත් ගිවිසුමකට ලබා දීමේදී යේසුස් කළ පොදු ජන සේවය කුමක්ද?

8 යේසුස් කළ පොදු ජන සේවයේ තවත් අංගයක් තිබේ. ඒ ගැන පාවුල් මෙසේ ලීවේය. ‘දැන් යේසුස් වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවන ලද්දාවූ වඩා හොඳ ගිවිසුමක මැදහත්කාරයෙක්ව සිටින්නා සේම ඔහු වඩා උතුම් [පොදු ජන, NW] සේවයක් සඳහා ප්‍රස්තාව ලැබුවේය.’ (හෙබ්‍රෙව් 8:6) ඉශ්‍රායෙල්වරුන්ට යෙහෝවා සමඟ සබඳතාවක් ඇති කරගැනීමට පදනම සපයන ලද ගිවිසුමේ මැදහත්කාරයා වූයේ මෝසෙස්ය. (නික්මයාම 19:4, 5) එමෙන්ම යේසුස් අලුත් ගිවිසුමක මැදහත්කාරයා වූ අතර, එම ගිවිසුම තුළින් ‘දෙවිගේ ඉශ්‍රායෙල්’ යනුවෙන් හඳුන්වන අලුත් ජාතියක් බිහි විය. නොයෙක් ජාතීන්ගෙන් සමන්විත ආත්මයෙන් අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් එම ජාතිය සමන්විත වේ. (ගලාති 6:16; හෙබ්‍රෙව් 8:8, 13; එළිදරව් 5:9, 10) එය මොනතරම් විශිෂ්ට පොදු ජන සේවයක්ද! පොදු ජන සේවකයෙකු වන යේසුස්ව දැනහඳුනා ගන්න ලැබීම ගැන අප මොනතරම් සන්තෝෂ වෙනවාද! යෙහෝවාට පිළිගත හැකි අයුරින් නමස්කාර කරන්න අපට හැකි වී තිබෙන්නේ ඔහු නිසාය.—යොහන් 14:6.

ක්‍රිස්තියානීන්ද පොදු ජන සේවයේ හවුල් වෙයි

9, 10. ක්‍රිස්තියානීන් විසින් කරනු ලබන පොදු ජන සේවයට අයත් ඇතැම් අංග මොනවාද?

9 යේසුස් කළාක් මෙන් විශිෂ්ට ආකාරයේ පොදු ජන සේවයක් කිරීමට කිසි මනුෂ්‍යයෙකුට නොහැක. කෙසේවෙතත්, ආලේප ලත් ක්‍රිස්තියානීන් ඔවුන්ගේ ස්වර්ගික විපාකය ලැබීමෙන් පසු, රජවරුන් හා පූජකයන් වශයෙන් යේසුස් විසින් සිදු කරනු ලබන පොදු ජන සේවයේ හවුල් වනු ඇත. (එළිදරව් 20:6; 22:1-5) එලෙසම පොළොව මත සිටින ක්‍රිස්තියානීහුද පොදු ජන සේවයක නිරත වන අතර එයින් ඉමහත් ප්‍රීතියක් ලබති. උදාහරණයක් හැටියට, පලස්තීනයේ ආහාර හිඟයක් ඇති වූ අවස්ථාවේදී යුදයෙහි සිටි ක්‍රිස්තියානීන්ගේ අවශ්‍යතා පිරිමැසීම සඳහා යුරෝපයේ සිටි සහෝදරයන් කළ පරිත්‍යාග ප්‍රේරිත පාවුල් යුදයට රැගෙන ගියේය. එය පොදු ජන සේවයකි. (රෝම 15:27; 2 කොරින්ති 9:12) අදදින සිටින ක්‍රිස්තියානීන්ද තමන්ගේ සෙසු සහෝදරයන් අගහිඟකම්වලින් පෙළෙන විටත් ස්වාභාවික විපත්ති හා වෙනත් ආපදාවලට ගොදුරු වන විටත් විගස ඔවුන්ට උපකාර කිරීම තුළින් ඒ හා සමාන සේවයක් කරන අතර ඉන් මහත් සතුටක්ද ලබයි.—හිතෝපදේශ 14:21.

10 පාවුල් මෙම වදන් ලියූ අවස්ථාවේදී තවත් පොදු ජන සේවයක් ගැන සඳහන් කළේය. “මා නුඹලාගේ ඇදහිල්ල නැමති පූජාවත් මෙහෙයත් [පොදු ජන සේවයත්, NW] පිට පූජාකරනු ලබන නුමුත් සන්තෝෂවෙමි, නුඹලා සියල්ලන් සමඟ ප්‍රීතිවෙමි.” (පිලිප්පි 2:17) පාවුල් පිලිප්පිවරුන් වෙනුවෙන් වෙහෙස මහන්සි වී කළ දේවල් ප්‍රේමනීයව හා උනන්දුවෙන් සපයන ලද පොදු ජන සේවයක් විය. අදදින සිටින ආලේප ලත් ක්‍රිස්තියානීහුද පාවුල් කළා හා සමාන පොදු ජන සේවයක් කරමින් සිටිති. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” ලෙස ඔවුහු නියම වේලාවට ආත්මික ආහාර සපයති. (මතෙව් 24:45-47) “ශුද්ධ පූජක සමූහයක්” වන මොවුන්ට ‘යේසුස් ක්‍රිස්තුස් කරණකොටගෙන දෙවිට ප්‍රසන්න වූ ආත්මික පූජා ඔප්පු කිරීමටත්’ ‘අන්ධකාරයෙන් විස්මපත් ආලෝකයට [තමන්ව] කැඳවාගත් තැනැත්තාගේ උත්කෘෂ්ටතාවන් දැක්වීමටත්’ පැවරුමක් ලැබී තිබේ. (1 පේතෘස් 2:5, 9) මෙම පැවරුම වරප්‍රසාදයක් ලෙස සලකන ඔවුහු වගකීම් ඉටු කිරීමේදී ‘තමන්ව පූජා කිරීමට’ සිදු වුණත්, පාවුල් මෙන් එය ප්‍රීතියක් ලෙස සලකති. ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ සහායකයන් වන “වෙනත් බැටළුවෝ” ඔවුන් හා එක්ව යෙහෝවා ගැනත් ඔහුගේ අරමුණු ගැනත් මිනිසුන්ට පැවසීමේ කාර්යයට හවුල් වෙති. b (යොහන් 10:16; මතෙව් 24:14) එය මොනතරම් විශිෂ්ට මෙන්ම ප්‍රීතිමත් පොදු ජන සේවයක්ද!—ගීතාවලිය 107:21, 22.

පරිශුද්ධ සේවය පිරිනමන්න

11. අනාගතවක්තෘවරියක් වූ ආනා සියලුම ක්‍රිස්තියානීන්ට කදිම ආදර්ශයක් සැපයුවේ කෙසේද?

11 අපේ නමස්කාරය හා බැඳි තවත් ග්‍රීක් වචනයක් වන්නේ ලා·ට්‍රිʹආ යන වචනයයි. මෙම වචනය “පරිශුද්ධ සේවය” ලෙස නව ලෝක පරිවර්තනයෙහි යොදා තිබේ. පරිශුද්ධ සේවයට නමස්කාරය හා සම්බන්ධ ක්‍රියා ඇතුළත් වේ. උදාහරණයක් වශයෙන්, වැන්දඹුවක් හා අනාගතවක්තෘවරියක් වූ 84 හැවිරිදි ආනා “දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළාය [පරිශුද්ධ සේවයෙහි නිරත වූවාය, NW; ලා·ට්‍රිʹආ යන ග්‍රීක් වචනයට නෑකම් කියයි].” (ලූක් 2:36, 37) ආනා යෙහෝවාට නමස්කාර කිරීමෙහි නොකඩවාම හවුල් වූවාය. තරුණ මහලු, ස්ත්‍රී පුරුෂ සෑම කෙනෙකුටම ඇය කදිම ආදර්ශයකි. ආනා නිතිපතා දේවමාළිගාවට ගොස් උනන්දුවෙන් යෙහෝවාට යාච්ඤා කරමින් නමස්කාරයේ හවුල් වීම පරිශුද්ධ සේවයේ අංගයක් වූවා සේම, අප පිරිනමන පරිශුද්ධ සේවයට යාච්ඤා කිරීම හා රැස්වීම්වලට යෑමද අයත් වේ.—රෝම 12:12; හෙබ්‍රෙව් 10:24, 25.

12. අපේ පරිශුද්ධ සේවයට අයත් මූලික අංගයක් වන්නේ කුමක්ද? එය පොදු ජන සේවයක් වන්නේ කෙලෙසද?

12 ප්‍රේරිත පාවුල් රෝම 1:9, 10හි සඳහන් මෙම වදන් ලියූ අවස්ථාවේදී අපේ පරිශුද්ධ සේවයට අයත් මූලික අංගයක් ගැන සඳහන් කළේය. ‘මාගේ යාච්ඤාවලදී නොකඩවාම නුඹලා ගැන සඳහන් කරන බවට පුත්‍රයාගේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේදී මා විසින් ආත්මයෙන් සේවය කරන [පරිශුද්ධ සේවය පිරිනමන, NW] දෙවි සාක්ෂියක් වන්නේය.’ මෙම වදන්වලින් පැහැදිලි වන්නේ ශුභාරංචිය දේශනා කිරීම, එයට සවන්දෙන්නන්ගේ පැත්තෙන් ඔවුන්ට පොදු ජන සේවයක් වනවා පමණක් නොව, යෙහෝවා දෙවිට කරන නමස්කාරයේ අංගයක්ද වන බවයි. ශුභාරංචිය දේශනා කිරීමේදී අපට යහපත් ප්‍රතිචාරයක් ලැබුණත් නැතත්, එහි හවුල් වීමෙන් යෙහෝවාට පරිශුද්ධ සේවයක් පිරිනැමීමට අපට හැකි වේ. අපේ ප්‍රේමනීය ස්වර්ගික පියාගේ යහපත් ගුණාංග ගැනත් අපට සදාකාලික ප්‍රයෝජන ගෙන දෙන ඔහුගේ අරමුණ ගැනත් අන් අය සමඟ කතා කිරීමට වෑයම් කිරීමෙන් අපට ඉමහත් ප්‍රීතියක් අද්දැකිය හැක.—ගීතාවලිය 71:23.

අප පරිශුද්ධ සේවය පිරිනමන්නේ කොතැනක සිටද?

13. යෙහෝවාගේ ආත්මික දේවමාළිගාවේ ඇතුල් මළුවේ සිට පරිශුද්ධ සේවය පිරිනමන අයට තිබෙන්නේ කිනම් බලාපොරොත්තුවක්ද? ඔවුන් සමඟ එම බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්නේ කවුද?

13 පාවුල් ආලේප ලත් ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේය. “එහෙයින් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නාවූ අපි, ගෞරවයෙන්ද දේවභයින්ද [දෙවිට] ප්‍රසන්නවන ලෙස සේවයකරන [පරිශුද්ධ සේවයක් පිරිනමන, NW] පිණිස, අනුග්‍රහය ඇතුව සිටිමු.” (හෙබ්‍රෙව් 12:28) තමන්ට ස්වර්ගික රාජ්‍යයේ උරුමයක් හිමි වන බවට ස්ථිර බලාපොරොත්තුවක් ඇතුව සිටින ආලේප ලත් ක්‍රිස්තියානීහු නොසැලෙන ඇදහිල්ලකින් මහෝත්තම දෙවිට නමස්කාර කරති. යෙහෝවාගේ ආත්මික දේවමාළිගාවේ තිබෙන ශුද්ධස්ථානයේ හා ඇතුල් මළුවේ සිට ඔහුට පරිශුද්ධ සේවය පිරිනැමිය හැක්කේ ආලේප ලත් අයට පමණි. ඉදිරියේදී අතිශුද්ධස්ථානය නියෝජනය කරන ස්වර්ගයේ සිට යේසුස් සමඟ සේවය කිරීමට ඔවුහු මහත් ආශාවෙන් බලා සිටිති. ආලේප ලත් අය සතු මවිතකර බලාපොරොත්තුව ගැන ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් වන වෙනත් බැටළුවෝද ප්‍රීති වෙති.—හෙබ්‍රෙව් 6:19, 20; 10:19-22.

14. මහත් සමූහය යේසුස්ගේ පොදු ජන සේවයෙන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

14 වෙනත් බැටළුවන් ගැන කුමක් කිව හැකිද? ප්‍රේරිත යොහන් සියවස් ගණනාවකට කලින් දර්ශනයකින් දුටු වෙනත් බැටළුවන්ගෙන් යුත් මහත් සමූහයක් අන්තිම දවස්වල දැකගත හැක. ‘ඔවුන් තමන්ගේ සළු බැටළුපැටවාගේ ලෙයින් සෝදා සුදු කරගෙන තිබේ.’ (එළිදරව් 7:14) මෙයින් අදහස් කරන්නේ, වෙනත් බැටළුවන්ද ඔවුන්ගේ සෙසු නමස්කාරකයන් වන ආලේප ලත් ක්‍රිස්තියානීන් මෙන්, යේසුස් මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් පරිපූර්ණ ජීවිතය පූජා කරමින් කළ පොදු ජන සේවය කෙරෙහි ඇදහිල්ල තබන බවයි. වෙනත් බැටළුවන් ‘යෙහෝවාගේ ගිවිසුමෙහි සඳහන් දේවල් පවත්වන නිසා’ ඔවුහුද යේසුස්ගේ පොදු ජන සේවයෙන් ප්‍රයෝජන ලබති. (යෙසායා 56:6) ඔවුහු අලුත් ගිවිසුමේ කොටස්කරුවන් නොවුණත්, එහි සඳහන් නීතිවලට කීකරු වෙමින් හා එමගින් ක්‍රියාත්මක වන විධිවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් එම ගිවිසුමේ සඳහන් දේවල් පවත්වති. ඔවුහු දෙවිගේ ඉශ්‍රායෙල්ට අයත් සාමාජිකයන් සමඟ එකම මේසයෙන් ආත්මික ආහාර භුක්ති විඳිති. එසේම ප්‍රසිද්ධියේ දෙවිට ප්‍රශංසා කරමින් ප්‍රසන්න ආත්මික පූජා ඔප්පු කරති. මෙසේ ඔවුහු දෙවිගේ ඉශ්‍රායෙල් සමඟ කිට්ටු ඇසුරක් පවත්වති.—හෙබ්‍රෙව් 13:15.

15. මහත් සමූහය පරිශුද්ධ සේවය පිරිනමන්නේ කොතැනක සිටද? මෙම ආශීර්වාදය ඔවුන් සලකන්නේ කෙසේද?

15 මහත් සමූහය ‘සුදු සළු පැළඳ, සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවා ඉදිරියෙහිත් සිටින’ ආකාරය විස්තර කර ඇත. එපමණක්ද නොව, ‘ඔවුහු දෙවිගේ සිංහාසනය ඉදිරියෙහි සිටිති. ඔහුගේ මාළිගාවේ රෑ දාවල් ඔහුට [පරිශුද්ධ, NW] සේවය පිරිනමති. සිංහාසනයෙහි සිටින තැනැත්තා තමන්ගේ මණ්ඩපය ඔවුන්ට උඩින් විදහන්නේය.’ (එළිදරව් 7:9, 15) පුරාණයේ ඉශ්‍රායෙල්වරුන් සමඟ නමස්කාරයේ හවුල් වූ වෙනත් ජාතීන් යෙහෝවාට නමස්කාර කළේ සාලමොන් සෑදූ දේවමාළිගාවේ පිටත මළුවේ සිටය. ඒ හා සමානව මහත් සමූහය යෙහෝවාට නමස්කාර කරන්නේ ඔහුගේ ආත්මික දේවමාළිගාවේ පිටත මළුවේ සිටය. එසේ පිටත මළුවේ සිට යෙහෝවාට සේවය කිරීම ඔවුන් සලකන්නේ මහත් වරප්‍රසාදයක් ලෙසය. (ගීතාවලිය 122:1) ඔවුන් හා ඇසුරු කරන ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ අවසන් සාමාජිකයා ඔහුගේ ස්වර්ගික උරුමය ලැබීමෙන් පසුව පවා, ඔවුන් දිගටම යෙහෝවාට පරිශුද්ධ සේවය පිරිනමනු ඇත.—එළිදරව් 21:3.

පිළිගත නොහැකි පරිශුද්ධ සේවය

16. පරිශුද්ධ සේවය කිරීම පිළිබඳව දී තිබෙන අනතුරු ඇඟවීම් මොනවාද?

16 පුරාණ ඉශ්‍රායෙල්වරුන්ගේ කාලයේදී පරිශුද්ධ සේවය පිරිනැමිය යුතුව තිබුණේ යෙහෝවාගේ නීතිවලට අනුකූලවය. (නික්මයාම 30:9; ලෙවී කථාව 10:1, 2) ඒ හා සමානව අදදිනත්, අප කරන පරිශුද්ධ සේවය යෙහෝවා විසින් පිළිගනු ලැබීමට නම් අප විසින් සපුරාලිය යුතු අවශ්‍යතාවන් තිබේ. පාවුල් කොලොස්සිවරුන්ට මෙසේ ලීවේ ඒ නිසයි. ‘අපි නුඹලා උදෙසා නොකඩවාම යාච්ඤා කරමින්, නුඹලා සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද [ආත්මික කාරණා පිළිබඳ අවබෝධයද, NW] ලබන ලෙස ඔහුගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණ වී, සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, දෙවිව දැනගැනීමෙහි වර්ධනය වෙමින්ද, යෙහෝවාට ඔබින ලෙස සියලු ආකාරවලින් ප්‍රසන්නව හැසිරෙන ලෙස ඉල්ලමු.’ (කොලොස්සි 1:9, 10, 12) දෙවිට නමස්කාර කළ යුතු සුදුසුම ක්‍රමය කුමක්ද කියා තීරණය කිරීම අපට අයිති දෙයක් නොවේ. ශුද්ධ ලියවිලි පිළිබඳ නිවැරදි දැනුම, ආත්මික කාරණා පිළිබඳ අවබෝධය හා දේවප්‍රඥාව තිබීම ඉතාමත් වැදගත්. මේවා නොමැති වීමේ ප්‍රතිඵලය විනාශකාරි විය හැක.

17. (අ) මෝසෙස්ගේ කාලයේදී පරිශුද්ධ සේවය දූෂ්‍ය කරන ලද්දේ කෙසේද? (ආ) අදදින පරිශුද්ධ සේවය වැරදි දිශාවකට යොමු විය හැක්කේ කෙසේද?

17 මෝසෙස්ගේ කාලයේ සිටි ඉශ්‍රායෙල්වරුන් කටයුතු කළ ආකාරය මතකයට නඟාගනිමු. අපට ඔවුන් ගැන මෙසේ කියවීමට තිබේ. ‘දෙවි ඔවුන් වෙතින් හැරී, අහස් සේනාවට මෙහෙකරන්ට ඔවුන්ව අත්හැර දැමුවේය.’ (ක්‍රියා 7:42) ඉශ්‍රායෙල්වරු තමන් වෙනුවෙන් යෙහෝවා සිදු කළ බලවත් ක්‍රියා දුටූහ. එහෙත් තමන්ට වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අටියෙන් ඔවුහු වෙනත් දෙවිවරුන් වෙතට හැරුණාහ. ඔවුහු පක්ෂපාත අය නොවූහ. අප දෙවිට පිරිනමන පරිශුද්ධ නමස්කාරය ඔහු විසින් පිළිගනු ලැබීමට නම් පක්ෂපාතකම අත්‍යවශ්‍ය දෙයකි. (ගීතාවලිය 18:25NW) අදදින යෙහෝවාට නමස්කාර කරන අය එම නමස්කාරය අත්හැර තරුවලට හා රන් වස්සන්ට නමස්කාර කරනවා දැකිය නොහැක. එහෙත් පිළිම නමස්කාරය වෙනස් ස්වරූපවලින් අද දක්නට තිබේ. “වස්තුවට” සේවය කිරීම ගැන යේසුස් අනතුරු ඇඟවූ අතර, තෘෂ්ණාව පිළිම වන්දනාවට සමාන වන බව පාවුල්ද සඳහන් කළේය. (මතෙව් 6:24; කොලොස්සි 3:5NW) සාතන් දෙවියෙකු වශයෙන් පෙනී සිටීමට උත්සාහ දරයි. (2 කොරින්ති 4:4) පිළිම නමස්කාරයේ මෙම අංග අද බහුලව දැකිය අතර, ඒවාත් මලපත්ය. උදාහරණයක් හැටියට, තමන් අනුගමනය කරන්නේ යේසුස්ව බව කියා සිටියත්, හැකි තරම් ධනය රැස් කරගැනීම ජීවිතයේ ඉලක්කය කරගත්, තමාගේම මතවල එල්බගෙන සිටින පුද්ගලයෙකු ගැන සිතන්න. ඇත්තෙන්ම ඔහු සේවය කරන්නේ කාටද? යෙහෝවාගේ නාමයෙන් දිවුරුවත් ඔහු කළ බලවත් ක්‍රියා සඳහා ඔහුට දිය යුතු ගෞරවය පිළිකුල්සහගත පිළිමවලට ලබා දුන් යුදෙව්වන් හා ඔහු අතර යම් වෙනසක් තිබේද?—යෙසායා 48:1, 5.

18. අතීතයේදී හා වර්තමානයේදී පරිශුද්ධ සේවය වැරදි ලෙස පිරිනමා තිබෙන්නේ කෙසේද?

18 යේසුස් මෙසේ අනතුරු ඇඟෙව්වේය. “නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් [දෙවිට] කරන මෙහෙයක්යයි [පරිශුද්ධ සේවයක් කියා, NW] සිතන කාලය පැමිණෙන්නේය.” (යොහන් 16:2) ‘ස්තේපන්ව මරා දැමීමට එකඟ’ වෙමින් ‘ස්වාමීන්ගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනය කරමින්’ සිටි කාලයේදී ප්‍රේරිත පාවුල් බවට පත් වූ සාවුල් සිතුවේ, එසේ කිරීමෙන් තමන් දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමමින් සිටි බවයි. (ක්‍රියා 8:1; 9:1) අදදින, වෙනස් වර්ගවලට හා ගෝත්‍රවලට අයත් ජන පිරිස් සමූලඝාතනය කරන සමහරුන් කියා සිටින්නේ තමන්ද දෙවිට නමස්කාර කරන බවයි. දෙවිට නමස්කාර කරන බව බොහෝදෙනෙකු කියා සිටියත් ඇත්තෙන්ම ඔවුන් නමස්කාර කරන්නේ තමන්ටය. එසේ නැතහොත් ජාතිවාදය, ගෝත්‍රවාදය, ධනය හා වෙනත් ස්වරූපවල දෙවිවරුන්ටය.

19. (අ) අප දෙවිට පිරිනමන පරිශුද්ධ සේවය සැලකිය යුත්තේ කෙසේද? (ආ) අපට මහත් ප්‍රීතියක් ගෙන දෙන පරිශුද්ධ සේවය කුමක්ද?

19 යේසුස් මෙසේ පැවසුවේය. “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටය. එසේම පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේද ඔහුට පමණක්මය.” (මතෙව් 4:10, NW) යේසුස් මේ වචන පැවසුවේ සාතන්ට වුවත්, ඔහුගේ එම වචනවලට අප සියලුදෙනාම අවනත වීම මොනතරම් වැදගත්ද! විශ්වයේ පරමාධිපති ස්වාමීන්ට පමණක් පරිශුද්ධ සේවය පිරිනැමීම ඉතාමත් උතුම් මෙන්ම ගෞරවනීය වරප්‍රසාදයකි. අපේ නමස්කාරය හා බැඳී පවතින පොදු ජන සේවය ගැන කුමක් කිව හැකිද? මිනිසුන් වෙනුවෙන් කරන මෙම සේවය ඉමහත් තෘප්තියක් ගෙන දෙන ප්‍රීතිමත් වැඩකි. (ගීතාවලිය 41:1, 2; 59:16) එහෙත් එම සේවයෙන් සැබෑ ප්‍රීතියක් අද්දැකිය හැක්කේ, එය මුළු හදින්ම නිසි ආකාරයෙන් කළහොත් පමණි. නිසි ලෙස දෙවිට නමස්කාර කරන්නේ කවුද? යෙහෝවා පිළිගන්නේ කවුරුන් පිරිනමන පරිශුද්ධ සේවයද? අපේ නමස්කාරය හා සම්බන්ධ බයිබලයේ සඳහන් තුන්වන වචනය සලකා බැලීමෙන් එම ප්‍රශ්නවලට අපට උත්තර සොයාගත හැක. ඊළඟ ලිපියේදී අපි මේ ගැන සලකා බලමු.

[පාදසටහන්වල]

a ක්‍රිස්තියානි ආගම්වල දක්නට තිබෙන්නේ නමස්කාරය හා සම්බන්ධ මෙහෙයන් හෝ වත්පිළිවෙත්ය. රෝමානු කතෝලික සභාවේ සිදු කෙරෙන සත්ප්‍රසාදය එවන් වත්පිළිවෙතකට උදාහරණයකි.

b අන්තියෝකියේ සිටි අනාගතවක්තෘවරුන් හා ගුරුවරුන් යෙහෝවා වෙනුවෙන් “පොදු මෙහෙවරක (ලෙයි·ටුර්·යිʹයා යන ග්‍රීක් වචනයට නෑකම් කියයි) [NW]” නිරත වෙමින් සිටි බව ක්‍රියා 13:2හි වාර්තා වේ. මෙහි සඳහන් පොදු මෙහෙවරට ජනයාට දේශනා කිරීම ඇතුළත් වූ බව පෙනෙන්න තිබේ.

ඔබ උත්තර දෙන්නේ කෙසේද?

• යේසුස් කළ උතුම් පොදු ජන සේවය කුමක්ද?

• ක්‍රිස්තියානීන් කරන පොදු ජන සේවය කුමක්ද?

• ක්‍රිස්තියානීන් නිරත වී සිටින පරිශුද්ධ සේවය කුමක්ද? ඔවුන් එය පිරිනමන්නේ කොතැනක සිටද?

• අප දෙවිට පිරිනමන පරිශුද්ධ සේවය ඔහු විසින් පිළිගනු ලැබීමට නම් අප සපුරාගත යුතු අවශ්‍යතා මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

දෙමාපියෝ දීමෙන් ඉමහත් සතුටක් ලබති

[12, 13වන පිටුවේ පින්තූර]

අන් අයට උපකාර කිරීමෙන්ද ශුභාරංචිය දේශනා කිරීමෙන්ද ක්‍රිස්තියානීහු පොදු ජන සේවයේ නිරත වෙති

[14වන පිටුවේ පින්තූරය]

අප පිරිනමන පරිශුද්ධ සේවය දෙවි විසින් පිළිගනු ලැබීමට නම් අපට නිවැරදි දැනුම සහ අවබෝධය අවශ්‍ය වේ