Skip to content

පටුනට යන්න

“මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න”

“මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න”

“මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න”

තරුණ, බුද්ධිමත් මෙන්ම “කඩවසම් පෙනුමක් ඇති, රූපසම්පන්න කෙනෙක්” සිටියේය. ඔහුගේ ස්වාමියාගේ බිරිඳ කාමුකය, නිර්භීතය. ඇය මෙම තරුණයා දෙස කොතරම් රාගයෙන් බැලුවාද කිවහොත්, ඔහුව වරදට පොලඹවාගන්න ඇය වියරු උත්සාහයක් දැරුවාය. ඒ තරුණයා කුලදෙටු යාකොබ්ගේ පුත්‍ර යෝසෙප්ය. කෙසේවෙතත්, “එක් දිනක් තම සේවා කිරීම පිණිස ජෝසෙප් ගෙට ඇතුළු විය. ගෘහයේ සේවකයන්ගෙන් කිසිවෙක් ද එහි ඇතුළත නො සිටියේය. ඈ ඔහුගේ වස්ත්‍රයෙන් අල්ලාගෙන, ‘මා සමඟ සයනය කරන්නැ’යි කීවා ය.” එහෙත් ඔහු තම වස්ත්‍රය පෝතිඵර්ගේ බිරිඳගේ අතේ හැරදමා ගෙයින් පිටතට පලා ගියේය.—උත්පත්ති 39:1-12, නව අනුවාදය.

මෙවන් පරීක්ෂාකාරි තත්වයකින් සෑම කෙනෙකුම ඉවත් නොවන බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය. නිදසුනකට, පුරාණ ඉශ්‍රායෙල්හි සාලමොන් රජු රාත්‍රියේ වීථිවල දුටු තරුණයාට සිදු වූ දේ සලකා බලන්න. දුරාචාර ස්ත්‍රියකගේ මායම්වලට හසු වූ ඔහු, ‘එකෙණෙහිම ඝාතනය පිණිස ගෙන යන ගොනෙකු මෙන් ඇය කැටුව ගියේය.’—හිතෝපදේශ 7:21-23, න. අ.

“වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න” කියා ක්‍රිස්තියානීන්ට අවවාද කර තිබේ. (1 කොරින්ති 6:18) ප්‍රේරිත පාවුල් තරුණ ක්‍රිස්තියානි ශ්‍රාවක තිමෝතිට මෙසේ ලීවේය. “යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව [සිටින්න].” (2 තිමෝති 2:22) වේශ්‍යාකමට, කාමමිථ්‍යාචාරයට හෝ වෙනත් ආකාරයේ අනාචාරයකට මඟ පෑදිය හැකි තත්වයන්වලට මුහුණ දෙද්දී, යෝසෙප් පෝතිඵර්ගේ බිරිඳ වෙතින් පලා ගියාක් මෙන් අපද වහාම පලා දිව යුතුය. එසේ කිරීමට අප අදිටන් කරගන්නේ කෙසේද? බයිබලයේ හිතෝපදේශ පොතේ 7වන පරිච්ඡේදයේ සාලමොන් අපට අනගි උපදෙස් කිහිපයක් සපයා දෙයි. මෙහිදී ඔහු දුරාචාර පුද්ගලයන්ගේ මායම්වලින් අපව ආරක්ෂා කරගත හැක්කේ කෙසේද කියා සඳහන් කරනවාට අමතරව, ඔවුන් ක්‍රියා කරන ආකාරය හෙළි කරමින්, තරුණයෙකුව දුරාචාර ස්ත්‍රියක විසින් වරදට පොලඹවාගනු ලබන ආකාරයද පැහැදිලිව විස්තර කරයි.

‘මාගේ ආඥා නුඹේ ඇඟිලිවල බැඳගන්න’

සාලමොන් රජ පියෙකු මෙන් මුලදී මෙම උපදේශය සපයයි. “මාගේ පුත්‍රය, මාගේ කීම් රක්ෂාකොට මාගේ ආඥා නුඹ වෙත තබාගන්න. මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න; මාගේ උපදෙස්ද නුඹේ ඇසේ කළුරුවාව මෙන් රක්ෂාකරන්න.”හිතෝපදේශ 7:1, 2.

යහපත සහ නපුර පිළිබඳව දෙවිගේ ප්‍රමිති තම දරුවන්ට ඉගැන්වීමේ වගකීම දෙමාපියන්ට, විශේෂයෙන්ම පියවරුන්ට දෙවිගෙන් ලැබී ඇත. මෝසෙස් පියවරුන්ගෙන් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය. “මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.” (ද්විතීය කථාව 6:6, 7) ප්‍රේරිත පාවුල්ද මෙසේ ලීවේය. “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, [යෙහෝවාගේ] හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.” (එපීස 6:4) එබැවින්, දෙමාපියන්ගේ අගය කළ යුතු උපදෙස්වලට දෙවිගේ වචනය වන බයිබලයෙහි ඇති සිහිගැන්වීම්, ආඥා සහ නීති ඇතුළත් බව පැහැදිලිය.

දෙමාපියන් උගන්වන දෙයට පවුලට පමණක් සීමා වූ නීතිද ඇතුළත් විය හැක. මේවා පනවනු ලබන්නේ පවුලේ සාමාජිකයන්ගේ යහපත පිණිසය. මෙම නීති එක් එක් පවුලට අනුව සකස් කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එනමුත්, තම පවුලේ යහපත උදෙසා තීරණ ගැනීමේ වගකීම දෙමාපියන් සතුය. ඔවුන් පනවන නීති ඔවුන්ගේ සැබෑ ප්‍රේමය සහ සැලකිල්ල ප්‍රකාශ කිරීමේ ක්‍රමයකි. දරු දැරියන් මෙම නීතිවලට කීකරු විය යුතු අතර, දෙමාපියන්ගෙන් ලබන ශුද්ධ ලියවිල්ල මත පදනම් වෙනත් ඉගැන්වීම්වලටද අවනත විය යුතුය. මෙම උපදෙස් “ඇසේ කළුරුවාව මෙන් [ඉතා පරෙස්සමින්] රක්ෂා” කළ යුතුය. යෙහෝවාගේ ප්‍රමිති නොසලකා හැරීමෙන් ඇති වන මාරාන්තික ප්‍රතිඵල මඟහැරීමට සහ ‘ජීවත් වන’ පිණිස මෙය කළ යුතු වේ.

“ඒවා [මාගේ ආඥා] නුඹේ ඇඟිලිවල බැඳගන්න; නුඹේ සිත නමැති පුවරුවෙහි ලියාගන්න.” (හිතෝපදේශ 7:3) අපගේ ඇඟිලි නිතරම අපගේ නෙත ගැටෙන අතර, එදිනෙදා කටයුතු කරගැනීමේදී ඒවා අතිවැදගත් කාර්යයක් ඉටු කරයි. එමනිසා, ශුද්ධ ලියවිල්ලට අනුව ඇති දැඩි වීමෙන් හෝ බයිබලයේ දැනුම ලබාගැනීමෙන් ඉගෙනගත් පාඩම්, අප කරන සෑම දෙයකටම නිරන්තර මඟ පෙන්වීමක් සහ සිහිගැන්වීමක් විය යුතුය. අපගේ සිත නමැති පුවරුවෙහි ලියාගැනීම කීමෙන් අදහස් කරන්නේ ඒවා අපගේ ඇතුළාන්තයටම කිඳා බැසිය යුතු බවය.

ප්‍රඥාව සහ අවබෝධයෙහි වැදගත්කම අවධාරණය කරමින්, සාලමොන් රජ මෙසේ අවවාද කරයි. “ප්‍රඥාවට: නුඹ මාගේ සහෝදරීය කියාත්, නුවණ [අවබෝධය, NW] යෙහෙළිය කියාත් කියන්න.” (හිතෝපදේශ 7:5) ප්‍රඥාව යනු දෙවිගෙන් ලද දැනුම නිසි ලෙස භාවිතයට ගැනීමට තිබෙන හැකියාවය. ආදරණීය සහෝදරියකට මෙන් අප ප්‍රඥාවට ඇලුම් විය යුතුය. අවබෝධය යනු කුමක්ද? එය නම් යම්කිසි කාරණයක් දෙස බලා, එම කාරණයට ඇතුළත් දේවල් මොනවාද, ඒවා එකිනෙකට අදාළ වන්නේ කෙසේද කියා තේරුම්ගැනීමට තිබෙන හැකියාවය. අවබෝධය කුලුපග මිතුරෙකු මෙන් අපට සමීප විය යුතුය.

ශුද්ධ ලියවිල්ල මත පදනම් වූ පුහුණුවට අවනත වී ප්‍රඥාවට සහ අවබෝධයට ඇල්මක් වර්ධනය කරගත යුත්තේ මන්ද? “අන් ස්ත්‍රියෙක් වන තමාගේ කීම්වලින් ඉච්චාකරන අන්‍ය තැනැත්තියගෙන් . . . ආරක්ෂාවෙන [පිණිසය].” (හිතෝපදේශ 7:4) එසේ කළහොත්, අන් ස්ත්‍රියක් නැතහොත් දුරාචාර පුද්ගලයෙකුගේ ඉච්චාවලින් අපවම ආරක්ෂා කරගත හැකි වේ. a

තරුණයාට “රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක්” මුණගැසෙයි

ඉශ්‍රායෙල්හි රජ සියැසින් දුටු සිද්ධියක් දැන් විස්තර කරයි. “මාගේ ගෙයි කවුළුවෙන් ගරාදි අස්සෙන් බලා සිටිද්දී, මොළය නැති [හෘදයේ අඩුවක් ඇති, NW] තරුණයෙක් අනුවණයන් අතරේ මට පෙනුණේය; ඔහු යෞවනයන් අතරේ ඉන්නවා දුටිමි. ඔහු සවස ඇඳිරියෙහි, මධ්‍යම රාත්‍රියේ කළුවරෙහි, ඇගේ ගෙයි කොන ළඟ වීථිය පසුකොට, ඇගේ ගෙට යන මාර්ගයෙහි ගියේය.”හිතෝපදේශ 7:6-9.

සාලමොන්ගේ ජනේලයෙහි ගරාදියක් සවි කර ඇත. සමහරවිට එය රීප්පවලින් සහ විසිතුරු කැටයම්වලින් හැඩගැන්වූ රාමුවක් විය හැක. රාත්‍රිය එළඹෙත්ම, වීථි අන්ධකාරයෙන් වැසී යයි. ඔහුගේ නෙත ගැටෙන්නේ ක්ෂණිකව වරදට ගොදුරු විය හැකි තරුණයෙකි. ඔහු හෘදයේ අඩුවක් ඇති කෙනෙකු ලෙස විස්තර කර ඇත. ඉන් අදහස් කරන්නේ විචාර බුද්ධිය සහ හොඳ සිහියක් ඔහුට නැති බවය. ඔහු ගමන් කළේ මොන වගේ ප්‍රදේශයකටද, එහිදී සිදු විය හැක්කේ කුමක්ද යන්න ඔහු දන්නවා විය හැක. ඒ තරුණයා ඇගේ ගෙට යන මාර්ගයේ යමින් “ඇගේ ගෙයි කොන” ළඟට පැමිණේ. ඇය කියන්නේ කාටද? ඇය අරඅදිමින් සිටින්නේ කුමකටද?

මෙම විමසිලිමත් රජ තවදුරටත් මෙසේ පවසයි. “වේශ්‍යාවකුගේ වස්ත්‍ර ඇඳ සිටි රැවටිලි සිත් ඇති ස්ත්‍රියෙක් ඔහුට මුණගැසුණාය. ඈ ඝෝෂාකාරවූ [අඟර දඟර කරන, න. අ.] හිතුවක්කාර තැනැත්තියෙක්ය; ඇගේ පාද ඇගේ ගෙයි නොරඳයි. ඈ සමහරවිට වීථිවලද සමහරවිට එළිමහන් ඉඩම්වලද සිටින්නීය, සියලු මංසන්ධිවලද රැක සිටින්නීය.”හිතෝපදේශ 7:10-12.

මෙම ස්ත්‍රිය ඇඳ පැළඳ සිටින ආකාරයෙන් ඇගේ චරිතය මොනවට කියාපායි. (උත්පත්ති 38:14, 15) ඇය අවිනීත ලෙස, ගණිකාවක් මෙන් ඇඳ පැළඳ සිටියි. එපමණකුදු නොව, ඇගේ සිත රැවටිලි සහිතය, ‘ප්‍රයෝගකාරිය.’ ඔව්, ඇගේ අභිප්‍රාය සූක්ෂ්ම මෙන්ම “කපටිය.” (An American Translation; New International Version) අඟර දඟර පාන ඇය හිතුවක්කාරය. මුඛරිය, අහංකාරය. කිසිදු විනීතකමක් නොමැත. තම හැසිරීම ගැන ලජ්ජාවක්වත්, බියක්වත් ඇය තුළ නොමැත. නිවසෙහි රැඳී සිටිනවා වෙනුවට, වීථි, මංසන්ධි වැනි ප්‍රසිද්ධ ස්ථානවලට ගොස් ගොදුරු අල්ලාගැනීමට ඇය රුසියෙකි. එම තරුණයා වැනි අය ගොදුරු කරගැනීම ඇගේ ප්‍රධාන අරමුණ වේ.

“බොහෝ මිහිරි කථා”

කපටි උපායක් යෙදීමට මාන බලන දුරාචාර ස්ත්‍රියක්ව තරුණයෙකුට මුණගැසෙයි. මෙය සාලමොන්ගේ අවධානයට කොතරම් යොමු වූවාද කිවහොත් ඔහු මෙම විස්තරය සපයයි. “ඈ ඔහු අල්ලා සිඹ, ලජ්ජා නැති මුහුණක් ඇතුව ඔහුට කථාකොට: ශාන්ති පූජා මා ළඟ තිබේ; අද මාගේ භාර ඉෂ්ටකෙළෙමි. එබැවින් නුඹේ මුහුණ සොයා, නුඹ සම්බවෙන පිණිස පිටතට ආවෙමි, මෙසේ නුඹ සම්බවිය.”හිතෝපදේශ 7:13-15.

මෙම ස්ත්‍රිය චාටු බස් දෙඩීමට දක්ෂය. නිර්භීත පෙනුමකින් යුත් ඇය කතා කරන්නේ නොසැලෙන ආත්ම-විශ්වාසයකිනි. ඇය පවසන සෑම දෙයක්ම හොඳින් සිතා බලා සූක්ෂ්ම ලෙස තරුණයාව වරදට පොලඹවාගැනීමේ අරමුණින් පවසයි. ශාන්ති පූජා ඔප්පු කර ඇති බවත්, භාර ඉෂ්ට කර ඇති බවත් පැවසීමෙන්, ඇය ධර්මිෂ්ඨ, ආත්මිකත්වයක් ඇති කෙනෙකු බවට මවාපෑමක් කිරීමට උත්සාහ දරයි. සාමාන්‍යයෙන් යෙරුසලමේ ඔප්පු කළ ශාන්ති පූජාවලට මස්, පිටි, තෙල් සහ මුද්‍රිකපානය ඇතුළත් විය. (ලෙවී කථාව 19:5, 6; 22:21; ගණන් කථාව 15:8-10) ශාන්ති පූජාව ඔප්පු කළ පුද්ගලයාට, එම පූජාවෙන් කොටසක් තමාටත් තම පවුල සඳහාත් ගෙන යා හැකි වූ බැවින්, ඇගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඇගේ නිවසේ කෑමට සහ බීමට ආහාර පාන බහුලව තිබුණු බවය. ඇගේ පණිවිඩය පැහැදිලිය. ඒ තරුණයාට විනෝද වීම සඳහා කදිම වේදිකාවක් සැකසී ඇත. ඇය පිටතට විත් තිබුණේ ඔහුව සෙවීමටය. එවන් කතාවකට හසු වන ඕනෑම කෙනෙකු පහසුවෙන් ඇම කා ගොදුරක් බවට පත් වේ. එක් බයිබල් විශාරදයෙක් ඇගේ මායම් ගැන මෙසේ පවසයි. “ඇය කෙනෙකු සොයා ගිය බව සැබෑය. එනමුත්, ඇය මේ තරුණයාවම සොයා ගියාද යන්න ප්‍රශ්නයකි. ඇයව විශ්වාස කරන්නේ මේ තරුණයා මෙන් මෝඩයෙකු පමණි.”

ඇගේ වස්ත්‍රය දැකීමටත්, ඉච්චා බස් ඇසීමටත්, ඇගේ තුරුල්ලේ පහස ලැබීමටත්, තොල්වල රස බැලීමටත් සැලැස්වීමෙන් පසු මෙම කාම රාජිනිය සුවඳවල් ගැනද ආකර්ෂණය වන අයුරින් කතා කරයි. ඇය මෙසේ පවසයි. “මිසරයේ නූල්වලින් කළ විසිතුරු ඇතිරිළි මා විසින් මාගේ යහනේ අතුරා තිබේ. සුවඳලාටුවලින්ද අගිල්වලින්ද කුරුඳුවලින්ද මාගේ ඇඳ සුවඳකෙළෙමි.” (හිතෝපදේශ 7:16, 17) මිසරයෙන් ලබාගත් විසිතුරු ඇතිරිලිවලින් ඇගේ යහන සරසා ඇති අතර සුවඳලාටු, අගිල් සහ කුරුඳු වැනි මිහිරි සුවඳ ද්‍රව්‍යවලින් එය සුවඳවත් කර ඇත.

ඇගේ අඛණ්ඩ ඇරයුම මෙයයි. “එන්න, උදය දක්වා අපි ප්‍රේමය බොමු; ආදරයෙන් ප්‍රීතිවෙමු.” මෙය නිකම්ම රාත්‍රි කෑමක් සඳහා කරන ආරාධනයක් නොවේ. ඇගේ අභිප්‍රාය මේ තරුණයා සමඟ කම් සුව විඳීමය. තරුණයාට මේ සියල්ල හැඟීම් අවුස්සන අලුත් අද්දැකීමක් මෙනි. එපමණක්ද නොව, තවත් වාසියක් ගැන සඳහන් කරමින්, ඇය මෙසේ පවසයි. “ස්වාමිපුරුෂයා ගෙදර නැත, ඔහු දුර ගමනක් ගියේය. ඔහු මුදල් පසුම්බියක් අතේ ඇතුව ගියේය; ඔහු ගෙදර එන්නේ පසළොස්වක දවසේය.” (හිතෝපදේශ 7:18-20) භයවීමට කිසිදු හේතුවක් නැත. ඇගේ පුරුෂයා ගෙදර නැත. ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා දුර ගමනක් ගොස් නැවත පැමිණෙන්නේ දවස් කිහිපයක්ම ගත වූවායින් පසුවය. තරුණයෙකු හසු කරගැනීමට ඇය මොනතරම් සූරද! “ඇගේ බොහෝ මිහිරි කථාවලින් ඔහු කැමැතිකරවා, ඇගේ තොල්වල ඉච්චාවෙන් ඔහු ඇදගනයයි.” (හිතෝපදේශ 7:21) මෙතරම් පොලඹවනසුලු ආරාධනයකට පිටුපාන්න නම්, යෝසෙප් තරම් ධෛර්යය සම්පන්න කෙනෙකු විය යුතුය. (උත්පත්ති 39:9, 12) දැන් මේ තරුණයාට සිද්ධ වන්නේ කුමක්ද?

“ගොනෙකු මරණයට යන්නාක් මෙන්”

සාලමොන් දිගටම විස්තර සපයයි. “ගොනෙකු මරණයට යන්නාක් මෙන්ද, අඥානයෙකු විලංගුවේ දඬුවමට යන්නාක්මෙන්ද, ඊගසක් ඔහුගේ අක්මාවට වදින තුරු, මලපත තම ප්‍රාණය හානිකිරීමට තිබෙන බව නොදැන පක්ෂියෙක් ඊට යුහුව යන්නාක්මෙන්ද, ඔහු එකෙණෙහිම ඇය කැටුව යන්නේය.”—හිතෝපදේශ 7:22, 23.

තරුණයා හසු වේ! ඇගේ ඇරයුම නොසලකා හැරීමට ඔහුට බැරිය. ඔහු “ගොනෙකු මරණයට යන්නාක් මෙන්” ඇය පසුපස යන්නේ මෝඩයෙකු මෙනි. විලංගු දැමූ මනුෂ්‍යයෙකුට දඬුවමකින් ගැළවිය නොහැක්කාක් මෙන්, මේ තරුණයා පාපයට ඇද වැටේ. “ඊගසක් ඔහුගේ අක්මාවට වදින තුරු” එනම්, ඔහුගේ මරණයට හේතු වන තුවාලයක් ඇති වන තුරු, ඔහු මුහුණ දීමට යන අන්තරාව ඔහු නොදකියි. ඔහුගේ මරණය සැබෑ එකක් විය හැක. මන්ද, ලිංගික සම්බන්ධකම්වලින් පැතිරෙන මරණය ගෙන දෙන රෝගවලට ඔහු නිරාවරණය වන බැවිනි. b එමෙන්ම මෙම තුවාලය ඔහුගේ ආත්මික මරණයටද දායක විය හැක. ඔව්, ඔහුගේ “ප්‍රාණය” හානියට ලක් වේ. ජීවිත කාලයටම පවතින කැළලක් ඇති වී තිබේ. ඔහු දෙවිට විරුද්ධව බරපතළ ලෙස පව් කර ඇත. එනයින් පක්ෂියෙකු උගුලකට හසු වන්නාක් මෙන්, ඔහු මරණයේ ග්‍රහණයට නොපමාව හසු වේ.

“ඇගේ මාර්ගවලට හැරීනොයේවා”

ප්‍රඥාවන්ත සාලමොන් රජ තමා දුටු දෙයින් උගත හැකි පාඩමක් ගෙනහැර දක්වමින් මෙසේ අවවාද කරයි. “එබැවින් මාගේ පුත්‍රයෙනි, මාගේ වචන අසා, මාගේ මුඛයේ කීම්වලට ඇහුම්කන් දෙන්න. නුඹේ සිත ඇගේ මාර්ගවලට හැරීනොයේවා, ඇගේ මාවත්වල මුළාව නොයන්න. මක්නිසාද ඈ බොහෝ දෙනෙකු තුවාළකොට හෙළාදැමුවාය. එසේය, ඇගෙන් මැරුම්කෑ අය මහත් සමූහයක්ය. ඇගේ ගෙය ෂෙයෝලට යන්නාවූ, මරණයේ ඇතුළු ගබඩාවලට බසින්නාවූ මාර්ගයක්ය.”හිතෝපදේශ 7:24-27.

දුරාචාර පුද්ගලයෙකුගේ මාරාන්තික මායම්වලින් ඉවත් වී “ජීවත්වෙන්න” නමැති සාලමොන්ගේ උපදෙස ඉතා පැහැදිලිය. (හිතෝපදේශ 7:2) මෙම උපදෙස් කොතරම් කාලෝචිතද! ගොදුරක් ඩැහැගැනීමට සොයමින් සිටින උදවිය සිටින ස්ථානවල නිකරුණේ ගැවසීමට කිසිදු අවශ්‍යතාවක් නොමැත. එවන් ස්ථානවල ගැවසීමෙන් ඔවුන්ගේ මායම්වලට හසුවීමේ අන්තරාවට නිරාවරණය වන්නේ කුමටද? ඔබ තුළ “හෘදයේ අඩුවක්” තිබිය යුත්තේ මන්ද? ‘අන් ස්ත්‍රියකගේ’ මාර්ගවලට හසු විය යුත්තේ මන්ද?

සාලමොන් රජ දුටු “අන්‍ය තැනැත්තිය” තරුණයාව හසු කරගත්තේ “අපි ප්‍රේමය බොමු; ආදරයෙන් ප්‍රීතිවෙමු” යන ආරාධනාව ඉදිරිපත් කිරීමෙනි. මෙවැනි ආරාධනාවකට යෞවනයන්, විශේෂයෙන් යෞවනියන් කොපමණ දෙනෙකු හසුව ඇද්ද! යමෙකු ඔබව අනාචාරයට පොලඹවන්න උත්සාහ කරනවා නම්, එය සැබෑ ප්‍රේමයක්ද? එසේ නැතහොත් ආත්මාර්ථකාමී කාම දාහයක්ද? පුරුෂයෙකු ස්ත්‍රියකට සැබවින්ම ප්‍රේම කරනවා නම්, ක්‍රිස්තියානි ප්‍රමිතිවලට අනුව පුහුණු කළ ඇගේ හෘදය සාක්ෂියට කන් නොදීමට කිසිදාක ඔහු ඇයව පොලඹවන්නේ නැත. “නුඹේ සිත” එවැනි පෙලඹීම්වලට “හැරීනොයේවා” කියා සාලමොන් අවවාද කරයි.

වරදකට පොලඹවන්නෙක් සාමාන්‍යයෙන් චාටු බස් දෙඩීමට දක්ෂයෙකි. එවන් චාටු බස්වලට හසු නොවී සිටීමට නම්, අප ප්‍රඥාව සහ අවබෝධයේ පිහිට නිසැකවම පැතිය යුතුය. යෙහෝවා ආඥා කර ඇති දේ කිසිදාක අමතක නොකිරීම අපට ආරක්ෂාවකි. එසේ නම්, ‘දෙවිගේ ආඥා පවත්වා ජීවත් වීම’ ඔව් සදහටම ජීවත් වීම අපගේ නිරන්තර අදිටන කරගනිමු.—1 යොහන් 2:17.

[පාදසටහන්වල]

a “අන්” නැතහොත් “අන්‍ය” යන වචන, ව්‍යවස්ථාවෙන් ඉවත්ව යෑම නිසා යෙහෝවාගෙන් ඈත් වූ අයට අදාළ වේ. මේ නිසා ගණිකාවක් වැනි දුරාචාර තැනැත්තියක් “අන් ස්ත්‍රියෙක්” ලෙස හඳුන්වා ඇත.

b ලිංගික සම්බන්ධකම්වලින් බෝවන ඇතැම් රෝග අක්මාවට හානි කළ හැක. නිදසුනකට, උපදංශය වැළඳී එය දරුණු අතට හැරුණු විට, බැක්ටීරියා අක්මාව ආක්‍රමණය කරයි. තවද ගොනෝරියාව වැළඳීමට හේතු වන විෂ බීජය නිසා අක්මාව ඉදිමේ.

[29වන පිටුවේ පින්තූර]

ඔබ දෙමාපියන්ගේ නීති සලකන්නේ කෙලෙසද?

[31වන පිටුවේ පින්තූරය]

දෙවිගේ ආඥා රක්ෂා කිරීමෙන් ජීවනය ලැබේ