Skip to content

පටුනට යන්න

මුල් මිනිස් යුවළගෙන් අපට පාඩමක්

මුල් මිනිස් යුවළගෙන් අපට පාඩමක්

මුල් මිනිස් යුවළගෙන් අපට පාඩමක්

දෙවි මිහිතලය දෙස විමසිල්ලෙන් බැලීය. ඔහු සිටියේ මිනිස් වාසය සඳහා එය සූදානම් කරමිනි. තමා සාදමින් සිටි සියල්ල යහපත් බව දුටු හේ, එම කාර්යය අවසන් කළ පසු එය “ඉතා යහපත්ව” තිබුණේය කියා ප්‍රකාශ කර සිටියේය. (උත්පත්ති 1:12, 18, 21, 25, 31) කෙසේවුවද, එම නිගමනයට සම්පූර්ණයෙන් එළඹීමට පෙර, “යහපත්ව” නොතිබූ යමක් පිළිබඳවද ඔහු පැවසුවේය. ඇත්තෙන්ම, දෙවි කිසිවක් අසම්පූර්ණව මැව්වේ නැත. නමුත් ඒ වන විට ඔහු සිය මැවීමේ කර්තව්‍ය නිම කර නොතිබිණ. “මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි” යෙහෝවා පැවසීය.—උත්පත්ති 2:18.

යෙහෝවාගේ අරමුණ වූයේ, මිනිසුන් මනා සෞඛ්‍යයකින්, සන්තෝෂයකින් හා කිසිම දෙයකින් අඩුවක් නැතුව භූමික පාරාදීසයේ සදාකාල ජීවනය භුක්ති විඳීමය. ආදම් මනුෂ්‍යවර්ගයාගේ පියා වූ අතර ඔහුගේ බිරිඳ වූ ඒව “ජීවමාන සියල්ලන්ගේ මවු” වූවාය. (උත්පත්ති 3:20) ඔවුන්ගේ දරු මුනුබුරන් කෝටි ප්‍රකෝටි ගණනක් දැන් මිහිතලයේ වෙසෙතත්, ඇත්තෙන්ම ඔවුන් සිටින්නේ අසම්පූර්ණ තත්වයකය.

ආදම් සහ ඒවගේ කතන්දරය ප්‍රචලිත එකකි. එහෙත් එයින් අපට යම් ප්‍රයෝජනයක් ලැබිය හැකිද? මුල් මිනිස් යුවළගේ අද්දැකීම්වලින් අපට උගත හැක්කේ කුමක්ද?

‘පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැව්වේය’

ආදම්, සතුන්ට නම් දමමින් සිටියදී උන්ට සහකාරියන් සිටින බවත්, තමාට නැති බවත් ඔහුට වැටහිණ. එබැවින් යෙහෝවා ආදම්ගේම ඉලඇටයක් ගෙන නිමැවූ ශෝභමාන තැනැත්තිය දෙස බැලූ විට ආදම්ට නිම්හිම් නැති ප්‍රීතියක් ඇති විය. ඇය තමාගේම මාංසයෙන් බිහි වූ අසහාය කොටසක් බව වටහාගත් ආදම් මෙසේ තම ප්‍රීතිය පළ කළේය. “මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින් මනුෂ්‍ය දූයයි කියනුලබන්නී ය.”—උත්පත්ති 2:18-23.

මිනිසාට “සහකාරියක්” අවශ්‍ය විය. ඇත්තෙන්ම ඔහුට සුදුසු සහකාරිය ලැබිණ. ආදම්ගේ අනුපූරකය වීමට ඒව සුදුසුම තැනැත්තිය වූවාය. තම නිවස බඳු උයනද, සත්වයන්ද රැකබලා ගැනීමටත්, දරුවන්ව බිහි කිරීමට මෙන්ම සැබෑ මිතුරියක් මෙන් බුද්ධිමත් අදහස් සහ සහයෝගය දීමටත් ඒවට හැකියාව තිබිණ.—උත්පත්ති 1:26-30.

යෙහෝවා විසින් මෙම යුවළට ඔවුන්ගේ සිතැඟි පරිදි අවශ්‍ය සියල්ලම සපයන ලදි. ඒවව ඇගේ ස්වාමිපුරුෂයා වෙත පමුණුවා ඔවුන්ව එක් කිරීමෙන් දෙවි විවාහය හා පවුල් සංස්ථාව පිහිටෙව්වේය. සමාජය ගොඩනැඟීමට තිබුණේ එමඟිනි. උත්පත්ති වාර්තාවේ මෙසේ පැවසේ. “පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.” එමෙන්ම මුල් විවාහක යුවළට ආශීර්වාද කර, බෝ වී වැඩි වෙන්නයයි කියූ විට පැහැදිලිවම ඔහු අදහස් කළේ, සෑම දරුවෙකුම තමන්ව රැකබලා ගැනීමට පියෙකු හා මවක සිටින පවුලක් තුළ ඉපදෙන බවය.—උත්පත්ති 1:28; 2:24.

‘දෙවිගේ ස්වරූපයෙන්’

‘දෙවිගේ ස්වරූපයෙන්’ මවනු ලැබූ ආදම් දෙවිගේ පරිපූර්ණ පුත්‍රයෙකි. නමුත් ‘දෙවි ආත්මයක්’ වන නිසා ශරීර සැකැස්ම අතින් ඔහු දෙවිට සමාන වූයේ නැත. (උත්පත්ති 1:26; යොහන් 4:24) එහෙත් උසස් ගුණාංග ඇතුව සිටීම තුළින් ඔහු දෙවිට සමාන වූයේය. ඇත්තෙන්ම, ආරම්භයේ සිටම මිනිසා තුළ ප්‍රේමය, ප්‍රඥාව, බලය හා යුක්තිය පැලපදියම් කර තිබිණ. නිදහස් කැමැත්ත හා ආත්මිකත්වයක් ගොඩනඟාගැනීමේ හැකියාව ඔහුට දී තිබිණ. එමෙන්ම සදාචාරය පවත්වාගැනීම සම්බන්ධයෙන් සහජයෙන්ම ලැබී තිබුණ ඥානය හෝ හෘදය සාක්ෂිය නිසා ඔහුට හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමටද හැකියාව තිබිණ. තමන්ගේ පැවැත්මට හේතුව සම්බන්ධයෙන් සිතා බැලීමටද, ඔවුන්ගේ මැවුම්කරු පිළිබඳව දැනුම වැඩි කරගැනීමටද, ඔහු සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමටද මිනිසාට බුද්ධියක් තිබිණ. මෙසේ සියල්ලෙන් සපිරි ආදම්ට දෙවිගේ භූමික හස්ත කර්මාන්තය බලාකියා ගැනීමේ පැවරුම ඉටු කිරීමට අවශ්‍ය සියල්ල ලැබී තිබිණ.

ඒව පව් කරයි

යෙහෝවා පැනවූ තහනම ගැන ආදම් විගස ඒවට සැල කළ බවට සැකයක් නැත. ඔවුන්ගේ නිවහන වූ උයනේ එක ගසක හැර අන් සියලු ගස්වල ඵල කෑමට ඔවුන්ට අවසර තිබිණ. එම ගස යහපත හා නපුර දැනගැනීමේ ගසය. එහි ඵල කෑම තහනම් කර තිබිණ. ඔවුන් කෑවා නම්, ඔවුන්ට අත් වන්නේ මරණයය.—උත්පත්ති 2:16, 17.

වැඩි කලක් යෑමට පෙර, තහනම් ඵලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කෙරිණ. අදෘශ්‍යමාන ආත්ම පුද්ගලයෙකු විසින් යොදාගන්නා ලද සර්පයෙක් ඒවට කතා කිරීමට සැරසිණ. අහිංසක විලාසයකින් සර්පයා මෙසේ ඇසීය. ‘ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවි කීවාද?’ එක ගසකින් හැර අනික් සියලුම ගස්වලින් ඵල කෑමට හැකියි කියා ඒව පිළිතුරු දුන්නාය. එවිට සර්පයා දෙවිට විරුද්ධව ස්ත්‍රියට මෙසේ පැවසීය. ‘නුඹලා ඇත්තටම නසින්නේ නැත. මක්නිසාද නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.’ මේ අවස්ථාවේදී, ස්ත්‍රිය තහනම් ගස දෙස වෙනස් කෝණයකින් බැලීමට පටන්ගත්තාය. ඇය දුටුවේ ‘ගහ කෑමට හොඳ ඇස්වලට ප්‍රිය’ එකක් ලෙසිනි. එමනිසා හොඳටම රැවටුණු ඒව දෙවිගේ නීතිය කඩ කළාය.—උත්පත්ති 3:1-6; 1 තිමෝති 2:14.

තමා කිරීමට යන පාපයෙන් වැළකී සිටීමට ඒවට මඟක් තිබුණේම නැද්ද? ඇත්තෙන්ම තිබිණ! ඇය සිටි තත්වයේ ඔබ සිටියායයි සිතන්න. ඇත්තෙන්ම සර්පයා පැවසුවේ දෙවි හා ආදම් පැවසූ දේට හාත්පසින්ම වෙනස් දෙයකි. ඔබ ප්‍රේම කරන හා විශ්වාස කරන කෙනෙකු වංකයයි අමුත්තෙකු පැවසුවහොත් ඔබට කුමනාකාරයේ හැඟීමක් ඇති වේද? ඒව ප්‍රතික්‍රියා කළ යුතුව තිබුණේ වෙනස් ආකාරයකටය. ඊට සවන් දීම පවා ප්‍රතික්ෂේප කරමින් එය පිළිකුල්සහගත මෙන්ම නින්දිත දෙයක් බව පෙන්විය යුතුව තිබිණ. ඇරත්, දෙවිගේ ධර්මිෂ්ඨකම හා ඇගේ ස්වාමිපුරුෂයා පැවසූ දේ ගැන ප්‍රශ්න කිරීමට සර්පයා කවරෙක්ද? ඒව කළ යුතුව තිබුණේ මූලිකත්වයේ ප්‍රතිපත්තියට ගරු කරමින් තීරණයක් ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් යම් උපදෙසක් ලබාගැනීමය. දෙවි දී තිබෙන උපදෙස්වලට පටහැනි තොරතුරු ඉදිරිපත් කරනු ලැබුවොත් අප කළ යුත්තේද එයමය. එහෙත්, තමාව පරීක්ෂා කළ තැනැත්තාව විශ්වාස කළ ඒව කැමැත්තක් දැක්වූයේ හරි වැරැද්ද සම්බන්ධයෙන් තමාගේම විනිශ්චය මත පිහිටා සිටීමටය. ඒ පිළිබඳව වැඩි වැඩියෙන් කල්පනා කළ ඈ නිතැතින්ම ඒ වෙත ඇදී ගියාය. තම පවුලේ මූලිකයා සමඟ කරුණු සාකච්ඡා කිරීම හෝ තමාගේ මනසෙන් වැරදි ආශාව ඉවත් කරගැනීම වෙනුවට එය පෝෂණය වීමට ඉඩහැරීමෙන් ඈ සිදු කළේ මොනතරම් බරපතළ පාපයක්ද!—1 කොරින්ති 11:3; යාකොබ් 1:14, 15.

ආදම් තම භාර්යාවට සවන් දෙයි

ඒව විගස ආදම්වද පාපයට පොලඹවාගත්තාය. ආදම් වග විභාගයකින් තොරව විගස ඇයට අවනත වූයේ මන්ද? (උත්පත්ති 3:6, 17) පක්ෂපාතකම දැක්විය යුත්තේ කවරෙකුටද යන ප්‍රශ්නයට මුහුණ දීමට ආදම්ට සිදු විය. තම ප්‍රියාදර සහකාරිය වූ ඒව ඇතුළු සෑම දෙයක්ම තමාට ලබා දුන් මැවුම්කරුට ඔහු කීකරු වේවිද? මේ අවස්ථාවේදී තමා කළ යුතු දේ සම්බන්ධයෙන් ආදම් දෙවිගේ මඟ පෙන්වීම ලබාගනීද? එසේ නැතහොත් ඔහු භාර්යාවගේ ක්‍රියාවට හවුල් වේද? තහනම් ඵලය කෑමෙන් ඇය ලබාගැනීමට බලාපොරොත්තු වූ දේ මායාවක් බව ආදම් මැනවින් දැන සිටියේය. ප්‍රේරිත පාවුල්ට මෙසේ ලිවීමට ආනුභාවය ලැබිණ. “ආදම් රැවටුණේ නැත, නමුත් ස්ත්‍රිය රැවටී, වරදට පත් වූවා ය.” (1 තිමෝති 2:14) එබැවින් ආදම් යෙහෝවාට ද්‍රෝහිවීමට තීරණය කළේ හිතාමතාමය. පිළියමක් යෙදීමට දෙවිට තිබූ හැකියාව කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට ඔහු තුළ තම භාර්යාවගෙන් වෙන් වෙන්න වේදැයි යන බිය ඉස්මතු විය.

ආදම් කළේ බරපතළ වරදකි. ඔහුගෙන් පැවතෙන්නන්ගේ මරණයටද එය හේතුවක් විය. යෙහෝවාගේ දයාව නිසා ඔහුට පියෙකු වීමේ හැකියාව ලැබුණත් ඔහුගෙන් පැවතෙන සියලුදෙනාම ඉපද සිටින්නේ මරණයට ගොදුරු කරවන පාපය යටතෙයි. (රෝම 5:12) ආත්මාර්ථකාමී ලෙස අකීකරු වීමේ විපාක මොනතරම් මහත්ද!

පාපයේ ප්‍රතිවිපාක

පාපය කළ මොහොතේදීම හටගත්තේ ලජ්ජාවයි. මේ නිසා ප්‍රීතියෙන් දිව ගොස් යෙහෝවා සමඟ කතා කරනවා වෙනුවට මෙම යුවළ සැඟවිණ. (උත්පත්ති 3:8) දෙවි සමඟ තිබූ ඔවුන්ගේ මිත්‍රත්වය කැඩී බිඳී ගියේය. ඔවුන් කළ දේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට, තමන් දෙවිගේ නීතිය කඩ කර තිබෙන බව දැන සිටියත් ඔවුහු පසුතැවිලි වන බවක් නොපෙන්වූහ. තහනම් ඵලය කෑමෙන් ඇත්තෙන්ම ඔවුන් පිටුපෑවේ දිව්‍ය යහපත්කමටය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, දරුවන් බිහි කිරීමේදී දරුණු වේදනාවක් විඳීමට සිදු වන බව දෙවි පැවසීය. එමෙන්ම ඒවගේ ආශාව ස්වාමිපුරුෂයා කෙරෙහි වීමටත්, ඔහු ඇය කෙරෙහි බලපැවැත්වීමටත් නැඹුරුවාවක්ද ඇති විය. ස්වාධීනව කටයුතු කිරීමට ඇය දැරූ ප්‍රයත්නය හේතුවෙන් සියල්ල කණපිට හැරිණ. ආදම්ටද වෙහෙස මහන්සි වී කෑම ඉපැයීමට සිදු විය. ඒදන් උයනේදී කිසිදු වෙහෙසක් නොදරා තම කුසගින්න නිවාගන්නවා වෙනුවට ආදම්ට සිදු වූයේ යළි දූවිල්ලට යන තෙක් තම ජීවිතය රැකගැනීම සඳහා වෙහෙසී වැඩ කිරීමටය.—උත්පත්ති 3:16-19.

අන්තිමේදී, ආදම් සහ ඒවව ඒදන් උයනෙන් පන්නා දමනු ලැබීය. “බලව, මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමට අපගෙන් කෙනෙකු මෙන් වුණේය. දැනුදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙනුත් ගෙන කා සදාකාලයටම ජීවත්නොවන පිණිසය” යන වාක්‍යය අවසන් කර නැති නිසා “ඔහුව උයනෙන් පන්නා දමන්නෙමි” කියා දෙවි සිතන්න ඇති බවට අනුමාන කළ හැකියි කියා මහාචාර්ය ගෝඩ්න් වෙන්හම් පවසයි. සාමාන්‍යයෙන් නම් බයිබල් ලේඛකයෙක් දෙවි අදහස් කරන දේ පිළිබඳව පූර්ණ වාර්තාවක් දෙයි. එහෙත් මෙහිදී, “වාක්‍යය අවසන් නොකර තිබීමෙන් අඟවන්නේ දෙවි යුහුසුලුව ක්‍රියාත්මක වූ බවය. දෙවි දඬුවම නියම කළ වහාම, ඔවුන්ව උයනෙන් පිටමං කළේය” කියා වෙන්හම් තවදුරටත් පවසයි. (උත්පත්ති 3:22, 23) පෙනෙනාකාරයට, ඉන්පසු, යෙහෝවා සහ මුල් යුවළ අතර සිදු වූ අදහස් හුවමාරුව සම්පූර්ණයෙන්ම ඇණහිටීය.

ආදම් සහ ඒව පැය 24ක් ඇතුළත ශාරීරිකව මියගියේ නැත. කෙසේවුවද, ඔවුහු ආත්මික අර්ථයකින් මියගියෝය. ජීවනයේ උල්පත වෙතින් සදහටම ඈත් වී ගිය ඔවුහු ක්‍රම ක්‍රමයෙන් මරණය කරා ඇදෙන්නට වූහ. ඔවුන්ගේ කුළුඳුල් පුත්‍රයා වූ කායින් විසින් ඔවුන්ගේ දෙවනි පුත්‍රයා වූ ආබෙල්ව මරා දැමූ අවස්ථාවේදී, ඔවුන්ට මුලින්ම මරණයකට මුහුණ දීමට සිදු වූ අතර එයින් මොනතරම් වේදනාවක් ඇති වෙන්න ඇද්ද!—උත්පත්ති 4:1-16.

ඉන්පසු, මුල් යුවළ පිළිබඳව සඳහන් වී තිබෙන්නේ ඉතා ස්වල්ප වශයෙනි. ඔවුන්ගේ තුන්වන පුත්‍රයා වූ සෙත් ඉපද තිබෙන්නේ ආදම්ට වයස අවුරුදු 130දීය. ඉන්පසු තවත් “පුත්‍රයෝද දූවරුද” ඉපදෙවූ ආදම්, වසර 800ක් ඉකුත් වූ කල, වයස අවුරුදු 930දී මියගියේය.—උත්පත්ති 4:25; 5:3-5.

අපට පාඩමක්

මුල් විවාහක යුවළ පිළිබඳ වාර්තාවෙන් අදදින සමාජ තත්වයේ පිරිහීමට හේතුව අනාවරණය කරගැනීමට අමතරව වැදගත් පාඩමක්ද උගත හැකියි. යෙහෝවා දෙවිගෙන් ස්වාධීනව කටයුතු කිරීමට යෑම අන්ත මෝඩකමකි. සැබවින්ම ඥානවන්ත අය තමන්ගේම දැනුම කෙරෙහි නොව යෙහෝවා කෙරෙහි හා ඔහුගේ වචනය කෙරෙහි විශ්වාසය තබති. හොඳ නරක තීරණය කරන්නේ යෙහෝවා බැවින් හරි දේ කිරීම යන්නෙන් අදහස් කරන්නේ ඔහුට කීකරු වීමය. වැරදි කිරීම යන්නෙන් අදහස් කරන්නේ ඔහුගේ නීති කඩ කිරීම හා ඔහුගේ ප්‍රතිපත්ති නොසලකා හැරීමය.

දෙවි එදා මෙන්ම අදත් මනුෂ්‍යයන් ආශා විය හැකියයි සිතිය හැකි සියල්ලම ලබා දීමට කැමැත්තෙන් සිටියි. ඒවා නම්, සදාජීවනය, නිවහල්භාවය, තෘප්තිය, සතුට, සෞඛ්‍ය සම්පන්නබව, සාමය, සමෘද්ධිය හා අලුත් දේවල් සොයාගැනීමේ හැකියාව යනාදියය. කෙසේනමුත්, මේ සියල්ලෙන් අප ප්‍රීතියක් ලැබීමට නම්, අපේ ස්වර්ගික පියා වූ යෙහෝවා මත මුළුමනින්ම අප රඳා සිටිය යුතු බව පිළිගැනීම අවශ්‍යයය.—දේශනාකාරයා 3:10-13; යෙසායා 55:6-13.

[26වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ආදම් සහ ඒවගේ කතාව මිථ්‍යාවක්ද?

පාපය හේතුවෙන් මුල් පාරාදීසය අහිමි වූ බවට තිබෙන විශ්වාසය පුරාණ බබිලෝනිවරුන්, අෂූරිවරුන්, මිසරවරුන් හා වෙනත් අය අතරද ප්‍රචලිත විය. ජීවන වෘක්ෂයක් සම්බන්ධයෙන්ද ඉන් කෑමට ප්‍රස්තාව ලැබෙන අයට සදාජීවනය දෙනු ලබන බවද බොහෝ වාර්තාවල දක්නට ලැබේ. එබැවින් ඒදන්හි සිදු වූ ඛේදනීය සිද්ධිය මනුෂ්‍යයන්ගේ මතකයේ රැඳී තිබේ.

අදදින, බොහෝ අය ආදම් සහ ඒව පිළිබඳ බයිබල් වාර්තාව සලකන්නේ මිථ්‍යාවක් ලෙසය. එහෙත්, විද්‍යාඥයන්ගෙන් වැඩිදෙනෙක් මුළු මිනිස් සංහතියම දෙදෙනෙකුගෙන් බිහි වූ එක පවුලක් වශයෙන් පිළිගනිති. සියල්ලන්ටම පොදු වූ එක මුතුන්මිත්තෙකු මුලින්ම කළ එක් පාපයක් හේතුවෙන් මනුෂ්‍යවර්ගයා අද්දකින ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ නොහැකි බව බොහෝ දේවධර්මවාදීන්ට පවා පිළිගැනීමට සිදු වේ. මිනිසා එකම උල්පතකින් බිහි නොවූ බව පිළිගත්තොත්, මුල් පාපය කීපදෙනෙකු විසින් සිදු කරන ලද්දක්යයි පැවසීමට ඔවුන්ට සිදු වේ. එසේ පැවසුවොත්, “අන්තිම ආදම්” වූ ක්‍රිස්තුස් මනුෂ්‍යවර්ගයාව මුදවාගත් බව ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට සිදු වනු ඇත. එහෙත් යේසුස්ට හා ඔහුගේ ගෝලයන්ට ඒ සම්බන්ධයෙන් සැකයක් තිබුණේ නැත. ඔවුහු උත්පත්ති වාර්තාව සත්‍යයක් බව වටහාගත්හ.—1 කොරින්ති 15:22, 45; උත්පත්ති 1:27; 2:24; මතෙව් 19:4, 5; රෝම 5:12-19.