Skip to content

පටුනට යන්න

යාච්ඤාවෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

යාච්ඤාවෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

යාච්ඤාවෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?

සෑම කෙනෙකුම වගේ තම ජීවිතයේ යම් අවස්ථාවකදී යාච්ඤා කිරීමට පෙලඹෙනවා. ඇත්තෙන්ම, සෑම ආගමික පසුබිමකටම අයත් ජනයා මොනයම් ආකාරයකින් හෝ ඉතා උනන්දුමත් ලෙස යාච්ඤා කරනවා. නිදසුනකට, එක්තරා බෞද්ධ නිකායකට අයත් ජනයා “මම අදහන්නේ අමීඩා බුදුන්වයි” කියා එක දිගටම දහස් වාරයකට වඩා ජප කරනවා.

අද ලෝ වටා දක්නට ලැබෙන ගැටලු සලකා බලද්දී, යාච්ඤා කිරීමෙන් ඇත්තෙන්ම ප්‍රයෝජනයක් ලැබී තිබෙනවාද? ජනයා තම යාච්ඤාවලින් ඉටු කරගැනීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද යනුවෙන් ඇසීම සාධාරණ නොවේද?

යාච්ඤා කිරීමට ඇති පෙලඹීම

ආසියාතික රටවල බොහෝදෙනෙක් තම මුතුන්මිත්තන්ට මෙන්ම ෂින්ටෝ හා ඩෞ ධර්මවල දෙවිවරුන්ට යාච්ඤා කරනවා. ඔවුන් සාමාන්‍යයෙන් තම යාච්ඤාවලදී ඉල්ලා සිටින්නේ විභාගයකින් සමත් වෙන්න හෝ හොඳ අස්වැන්නක් නෙළාගන්න උපකාර කරන්න, එහෙමත් නැත්නම් ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්න කියායි. යම් බෞද්ධ නිකායන්ට අයත් බැතිමතුන් බලාපොරොත්තු වන්නේ ගාථා කීමෙන් ඔවුන්ට ඥානාලෝකය ලැබේවි කියායි. හින්දු භක්තිකයන් තම තමන්ගේ සිත් ගත් දෙවි දේවතාවන්ට යාච්ඤා කරන්නේ දැනුම, ධනය හා ආරක්ෂාව ලබාගැනීම සඳහායි.

ඇතැම් කතෝලිකයන් විශ්වාස කරන්නේ තම මුළු ජීවිත කාලය පුරාම පූජකාරාමවල හෝ කන්‍යාරාමවල සිට දිගින් දිගටම යාච්ඤා කළොත් මිනිස් සංහතියටම ප්‍රයෝජනයක් අත් කර දිය හැකි බවයි. තවත් කතෝලිකයන් මිලියන ගණනක් කොන්තය භාවිත කරමින් මරියාට යාච්ඤා කරනවා. කට පාඩමින් කියන එවැනි යාච්ඤා තුළින් ඔවුන් විවිධ කාරණා සම්බන්ධයෙන් මරියාගෙන් පිහිටෝපකාර පතනවා. ඇතැම් ආසියාතික රටවල යාච්ඤා, මන්ත්‍ර සූත්‍ර ආදිය අඩංගු සිලින්ඩරාකාර වස්තුවක් භාවිත කරනවා. රෙපරමාදු පල්ලියට අයත් අය ඉඳහිට තමන්ගේ සිතේ තිබෙන දේ යාච්ඤාවෙන් ප්‍රකාශ කළත්, බොහෝදුරට පුරුදු වී සිටින්නේ ස්වාමීන්ගේ යාච්ඤාව නැවත නැවත කියන්නයි. බොහෝ යුදෙව්වන් දුර කතරක් ගෙවා යෙරුසලමේ විනාශ වූ දේවමාළිගාවේ කොටසක්යයි විශ්වාස කෙරෙන වේලිං වෝල් (විලාප නඟන තාප්පය) යනුවෙන් හඳුන්වන තැනට ගොස් යාච්ඤා කරනවා. මෙසේ කිරීමෙන්, දේවමාළිගාව යළි පිහිටුවාගත හැකි බවත්, සාමය හා සමෘද්ධිය වැජඹෙන නව යුගයක් උදා කරගත හැකි බවත් ඔවුන් විශ්වාස කරනවා.

ලෝ වටා මිලියන ගණන්දෙනෙක් යාච්ඤාවේ නියැලුණත්, මිනිසා තවමත් දුගීකම, ඇබ්බැහි වීම්, බිඳුණු පවුල්, අපරාධ හා යුද්ධ වැනි ගැටලුවලින් මිරිකී සිටිනවා. මේ නිසා වැදගත් ප්‍රශ්න දෙකක් ඉස්මතු වෙනවා. ජනයා නුසුදුසු ආකාරයට යාච්ඤා කරනවා විය හැකිද? ඇත්තටම යාච්ඤාවලට සවන් දෙන කෙනෙක් සිටිනවාද?

යාච්ඤාවලට කන් යොමන කෙනෙක්?

අපි කරන යාච්ඤාවලට කවුරුත් සවන් දෙන්නේ නැත්නම් එයින් කිසිම ප්‍රයෝජනයක් අත් නොවන බව නොකිවමනායි. සාමාන්‍යයෙන් කෙනෙක් යාච්ඤා කරන්නේ අදෘශ්‍යමාන ආත්ම විෂයේ ඔහුට සවන් දෙන කෙනෙක් සිටිනවා යන විශ්වාසය ඇතුවයි. කොහොමවුණත්, යාච්ඤා කරන විට අපේ අදහස් ආත්ම විෂයට ගමන් කරන්නේ ශබ්ද තරංග මගින් කියා පැවසිය නොහැකියි. බොහෝදෙනෙකුගේ විශ්වාසයට අනුව යාච්ඤා කරන පුද්ගලයාගේ සිතේ තිබෙන දේ වචනයට නඟන්නත් කලින් එය දැනගන්න පුළුවන් කෙනෙක් සිටිනවා. ඒ කවුද?

අපේ සිතුවිලි හටගන්නේ නියුරෝන බිලියන ගණනකින් සෑදුණු මොළයේ මස්තිෂ්ක බාහිකය යනුවෙන් හඳුන්වන කොටස තුළයි. ඇත්තෙන්ම එය සිදු වන්නේ කොහොමද යන්න පර්යේෂකයන්ට තවමත් අභිරහසක්. ඒ කොහොමවුණත් මොළය නිර්මාණය කළ පුද්ගලයාට, එනම් අපේ මැවුම්කරු වන යෙහෝවා දෙවිට එම සිතුවිලි දැනගැනීම ගැටලුවක් නොවන බවට කිසිම සැකයක් නැහැ. (ගීතාවලිය 83:17; එළිදරව් 4:11) ඒ නිසා අප යාච්ඤා කළ යුත්තේ ඔහුටයි. නමුත්, යෙහෝවා තමාට කරන සියලුම යාච්ඤාවලට කන් යොමනවාද?

සියලුම යාච්ඤාවලට සවන් දෙනවාද?

පුරාණ ඉශ්‍රායෙලයේ විසූ දාවිත් රජ නිතරම යාච්ඤාවේ නියැලී සිටියා. දේවානුභාවයෙන් ගැයූ එක් ගීතිකාවක ඔහු මෙසේ ප්‍රකාශ කළා. ‘යාච්ඤා අසන තැනැත්තේ, මාංසමය වූ සියල්ලෝම ඔබ වෙතට පැමිණෙන්නෝය.’ (ගීතාවලිය 65:2) යෙහෝවාට ඕනෑම භාෂාවකින් කරන යාච්ඤා තේරුම්ගත හැකියි. ඒ තරම් තොරතුරු සම්භාරයක් මිනිසාට ධාරණය කරගත නොහැකි වුණත්, පිළිගත හැකි ආකාරයකින් තමාට කරන යාච්ඤාවලට දෙවිට අවධානය දෙන්න බැරි බව ඉන් අදහස් කරන්නේ නැහැ.

නිතරම යාච්ඤාවේ නියැලී සිටි තවත් මනුෂ්‍යයෙක් වන යේසුස් ක්‍රිස්තුස් යාච්ඤාව ගැන හෙළි කළේ කුමක්ද? සෑම යාච්ඤාවකින්ම දෙවිව සතුටට පත් කරන්න බැරි බව ඔහු පැහැදිලි කළා. ඔහු පොළොවේ විසූ කාලයේදී බොහෝදෙනෙකුගේ සිරිත වූයේ කට පාඩමින් යාච්ඤා කිරීමයි. එම සිරිත ගැන ඔහු පැවසූ දේ සිතට ගන්න. කතෝලික බයිබල් පරිවර්තනයක් වන නව අනුවාදයේ එය මෙසේ කියවීමට තිබෙනවා. ‘යාච්ඤා කිරීමේදී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා දෙවි ඔවුන්ට කන් දෙනු ඇතැයි ඔවුහු සිතති.’ (මතෙව් 6:7) එසේ නම්, අපේ හෘදයාංගම අදහස් ප්‍රකාශ නොවන යාච්ඤාවලට දෙවි ඇහුම්කන් දෙයි කියා අපට අපේක්ෂා කළ හැකිද? කොහෙත්ම බැහැ!

සමහර යාච්ඤා දෙවිව සතුටට පත් නොකරන්නේ ඇයි කියා අඟවමින් බයිබල් හිතෝපදේශයක මෙසේ පවසයි. “ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.” (හිතෝපදේශ 28:9) තවත් හිතෝපදේශයක මෙසේ පවසා ඇත. ‘යෙහෝවා දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටින්නේය. එහෙත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාව අසන්නේය.’ (හිතෝපදේශ 15:29) පුරාණ යුදයෙහි පාලකයන් දෙවි ඉදිරියේ බරපතළ පාප සිදු කළ කාලයකදී යෙහෝවා මෙසේ ප්‍රකාශ කළා. “නුඹලාගේ අත් විදහනකල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහෝමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ.”—යෙසායා 1:1, 15.

අපේ යාච්ඤා දෙවි ඉදිරියෙහි පිළිගත නොහැකි වීමට තවත් හේතුවක් ප්‍රේරිත පේතෘස් අපේ අවධානයට ලක් කරන්නේ මෙලෙසයි. “පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ [නුඹලාගේ] භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දෙන්න.” (1 පේතෘස් 3:7) එම උපදෙස පිළිපදින්නේ නැති පුරුෂයෙකුට තම යාච්ඤාවලට කිසිම ප්‍රතිචාරයක් ලැබෙයි කියා බලාපොරොත්තු විය නොහැකියි.

මේ සියල්ලෙන්ම පැහැදිලි වන්නේ, අපේ යාච්ඤා පිළිගත හැකි ඒවා වීමට නම් අපි ඉටු කළ යුතු යම් දේවල් තිබෙන බවයි. නමුත් යාච්ඤාවේ නියැලෙන බොහෝදෙනෙකු දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. ඒ නිසා කොතරම් උනන්දුමත් ආකාරයකින් ජනයා යාච්ඤා කළත් ලෝකයේ තත්වය යහපත් අතට නොහැරෙන එක පුදුමයක් විය යුතුද?

එසේ නම්, අපේ යාච්ඤා පිළිගත හැකි ඒවා වෙන්න නම්, දෙවි අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? මෙම ප්‍රශ්නයට පිළිතුර සොයන්න නම් අපි ප්‍රථමයෙන් යාච්ඤාවේ අරමුණ කුමක්ද කියා සොයා බලන්න අවශ්‍යයි. එතකොට අපිට යාච්ඤා කිරීමෙන් ප්‍රයෝජනයක් තිබෙනවාද නැද්ද යන කාරණයටත් පිළිතුරක් ලබාගත හැකියි. ඒ නිසා, යෙහෝවා දෙවි ඔහු සමඟ කතා කිරීමට අපට ප්‍රස්තාව උදා කර දී ඇත්තේ මන්ද කියා අපි දැන් සලකා බලමු.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

G.P.O., Jerusalem