Skip to content

පටුනට යන්න

ඔබ යෙහෝවාගේ සිහිගැන්වීම්වලට අතිශයින් ඇලුම් කරනවාද?

ඔබ යෙහෝවාගේ සිහිගැන්වීම්වලට අතිශයින් ඇලුම් කරනවාද?

ඔබ යෙහෝවාගේ සිහිගැන්වීම්වලට අතිශයින් ඇලුම් කරනවාද?

“මම ඔබගේ සිහිගැන්වීම් ක්‍රියාත්මක කළෙමි. මම ඒවාට අතිශයින් ඇලුම් කරමි.”—ගීතාවලිය 119:167NW.

1. යෙහෝවාගේ සිහිගැන්වීම් ගැන නැවත නැවත සඳහන් කර තිබෙන්නේ බයිබලයේ කුමන කොටසේද?

 යෙහෝවා කැමති ඔහුගේ සෙනඟ සතුටින් සිටිනවා දකින්නයි. සැබෑ සතුට අද්දකින්න නම් අපි දෙවිගේ නීතිවලට අනුව ජීවත් වෙමින් ඔහුගේ අණ පනත් පැවැත්විය යුතුයි. මේ සඳහා ඔහු අපට සිහිගැන්වීම් සපයයි. ශුද්ධ ලියවිලිවල, විශේෂයෙන්ම ගීතාවලිය 119වන පරිච්ඡේදයේ සිහිගැන්වීම් නැවත නැවත සඳහන් කර තිබෙනවා. පෙනෙන විදිහට එම ගීතිකාව රචනා කර තිබෙන්නේ යූදා දේශයේ රජ කුමරු වූ හෙසකියා විසිනි. ගීතාවලිය 119හි සඳහන් අලංකාර ගීතිකාව පටන්ගන්නේ මෙම වදන්වලිනුයි. ‘නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ, යෙහෝවාගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය [සන්තෝෂවත් අය වෙති, NW]. ඔහුගේ ශික්ෂා [සිහිගැන්වීම්, NW] පවත්වන්නාවූ, මුළු සිතින් ඔහුව සොයන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය [සන්තෝෂවත් අය වෙති, NW].’—ගීතාවලිය 119:1, 2.

2. දෙවිගේ සිහිගැන්වීම් හා සන්තෝෂය අතර තිබෙන්නේ කිනම් සම්බන්ධතාවක්ද?

2 අපි ‘යෙහෝවාගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නේ’ ඔහුගේ වචනය ගැන නිවැරදි දැනුම ලබාගනිමින් එය අපගේ ජීවිතවලට අදාළ කරගැනීමෙනි. එහෙත් අප අසම්පූර්ණ මිනිසුන් නිසා අපට සිහිගැන්වීම් අවශ්‍යයි. “සිහිගැන්වීම්” ලෙස පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයෙන් අදහස් වන්නේ දෙවිගේ නීති, නියෝග, රෙගුලාසි, අණ පනත් හා ව්‍යවස්ථා දෙවි විසින් අපේ මනසට යළි මතක් කර දීමයි. (මතෙව් 10:18-20) සිත් වේදනාවලට හා විපත්වලට මඟ පාදන මලපත්වලින් ආරක්ෂා වීමට එවන් සිහිගැන්වීම් අපට උපකාරවත් වන නිසා, අපි ඒවා ක්‍රියාත්මක කරනවා නම් අපට සන්තෝෂය අද්දකින්න පුළුවන්.

යෙහෝවාගේ සිහිගැන්වීම්වලට ඇලුම් කරන්න

3. ගීතාවලිය 119:60, 61හි සඳහන් දෙයට අනුව අපට තිබෙන නිසැකකම කුමක්ද?

3 “ඔබගේ ආඥා පැවැත්වීමට මම පමානූණෙමි, ඉක්මන්වීමි. දුෂ්ටයන්ගේ රැහැන් මා වටේ එතුණේය; නුමුත් ඔබගේ ව්‍යවස්ථාව සිහිනැතිනොකෙළෙමි” කියා ගැයූ ගීතිකාකරු දෙවිගේ සිහිගැන්වීම් අනර්ඝ ලෙස සැලකුවා. (ගීතාවලිය 119:60, 61) දුෂ්ටයන්ගේ රැහැන්වලට අපි හසු වී සිටින විට, එම රැහැන් කපා දැමීමට අපේ ස්වර්ගික පියාට හැකි බව අපට නිසැකයි. මේ නිසා හිංසා පීඩා හමුවෙහි විඳදරාගැනීමට යෙහෝවාගේ සිහිගැන්වීම් අපට උපකාරවත් වෙනවා. අප මුහුණ දෙන එවන් බාධක නියමිත කාලයේදී ඔහු ඉවත් කරන්නේ, රාජ්‍යයේ ශුභාරංචිය දිගටම දේශනා කිරීමට හැකි වන පරිද්දෙනි.—මාර්ක් 13:10.

4. අපි දෙවිගේ සිහිගැන්වීම්වලට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?

4 සමහර අවස්ථාවලදී යෙහෝවා දෙන සිහිගැන්වීම් මගින් අපව නිවැරදි කරනු ලබනවා. ගීතිකාකරු මෙන් අපිත් එවැනි නිවැරදි කිරීම් සැමවිටම අගය කරන බව පෙන්වමු. ඔහු දෙවිට යාච්ඤා කරමින් මෙසේ පැවසුවා. ‘ඔබගේ ශික්ෂා [සිහිගැන්වීම්, NW] මාගේ ප්‍රීතියයි. ඔබගේ ශික්ෂාවලට [සිහිගැන්වීම්වලට, NW] මම ප්‍රේම කරමි.’ (ගීතාවලිය 119:24, 119) ගීතිකාකරුට තිබුණාට වඩා අපට දෙවිගේ සිහිගැන්වීම් බොහොමයක් තිබෙනවා. ග්‍රීක් ශුද්ධ ලියවිලිවල සඳහන් කර තිබෙන හෙබ්‍රෙව් ලියවිලිවලින් කළ උපුටා දැක්වීම් සියගණන මගින් යෙහෝවා ව්‍යවස්ථාව යටතේ සිටි ඔහුගේ සෙනඟට දුන් උපදේශයන් ගැන පමණක් නොව, ක්‍රිස්තියානි සභාව පිළිබඳ ඔහුගේ අරමුණු ගැනද අපට සිහිගැන්වෙයි. තමන්ගේ නීති සම්බන්ධයෙන් අපට යම් සිහිගැන්වීම් කිරීම සුදුසුයි කියා දෙවිට හැඟෙන විට, අපි එම මඟ පෙන්වීම් ස්තුතිපූර්වකව පිළිගත යුතුයි. ‘යෙහෝවාගේ සිහිගැන්වීම්වලට ඇලුම් කිරීමෙන්’ අපේ මැවුම්කරුගේ අප්‍රසාදයට ලක් වෙන හා අපේ සතුට සොරාගන්න පව්කාර ක්‍රියාවලින් වැළකී සිටින්න අපට පුළුවන්.—ගීතාවලිය 119:31NW.

5. යෙහෝවාගේ සිහිගැන්වීම්වලට අතිශයින් ඇලුම් වන්න අපට හැක්කේ කෙසේද?

5 අපි යෙහෝවාගේ සිහිගැන්වීම්වලට කොපමණ ඇලුම් විය යුතුද? “මම ඔබගේ සිහිගැන්වීම් ක්‍රියාත්මක කළෙමි. මම ඒවාට අතිශයින් ඇලුම් කරමි” කියා ගීතිකාකරු ගායනා කළා. (ගීතාවලිය 119:167NW) අප ගැන සැබෑ සැලකිල්ලක් දක්වන පියෙකුගෙන් ලැබෙන අවවාද මෙන් අපි යෙහෝවාගෙන් ලැබෙන සිහිගැන්වීම් පිළිගන්නවා නම්, අපි ඒවාට දක්වන ඇල්ම අතිශයින් වැඩි වෙයි. (1 පේතෘස් 5:6, 7) අපිට ඔහුගේ සිහිගැන්වීම් අවශ්‍යයි. එම සිහිගැන්වීම්වලින් අපි ප්‍රයෝජන ලබන විට ඒවා සඳහා තිබෙන අපේ ඇල්ම තව තවත් වැඩි වෙනවා.

අපට දෙවිගේ සිහිගැන්වීම් අවශ්‍ය වීමට හේතු

6. අපට යෙහෝවාගේ සිහිගැන්වීම් අවශ්‍ය වීමට එක් හේතුවක් නම් කරන්න. එම සිහිගැන්වීම් මතක් කරගැනීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද?

6 අපට යෙහෝවාගේ සිහිගැන්වීම් අවශ්‍ය වීමට එක් හේතුවක් වන්නේ අපට සාමාන්‍යයෙන් දේවල් අමතක වන නිසයි. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියාහි මෙසේ සඳහන් වෙනවා. “යමක් දැනගෙන කලක් ගතවීමත් සමඟම එය අමතක වී යෑම මිනිසුන් තුළ දක්නට තිබෙන ස්වභාවයකි. . . . සමහර විට ඔබේ දිව අගේ තිබුණත් යම් කෙනෙකුගේ නමක් හෝ වෙනත් දෙයක් මතකයට නඟාගැනීමට නොහැකි වූ අවස්ථා ඔබ අද්දැක තිබිය හැකියි. . . . මෙය නිතරම සිදු වන දෙයක් වන අතර, මෙහිදී තාවකාලිකව අමතක වූ එම තොරතුරු සොයාගැනීමට මොළය උත්සාහ දරයි. විද්‍යාඥයන් තාවකාලික අමතක වීම, දේවල් සීසීකඩ විසිරී තිබෙන කාමරයක තැබූ යමක් සෙවීමට දරන උත්සාහයට සමාන කර දක්වනවා. . . . යමක් මතක තබාගැනීම සඳහා තිබෙන හොඳ ක්‍රමයක් වන්නේ ඔබ ඒ දෙය ගැන සම්පූර්ණයෙන්ම දැනගත් පසුත් එය ගැන තවදුරටත් හැදෑරීමයි.” අප උනන්දුවෙන් සහ නැවත නැවත අධ්‍යයන කටයුතුවල නියැලෙනවා නම්, දෙවිගේ සිහිගැන්වීම් මතක තබාගැනීමට එය උපකාරවත් වන අතර, ඒවා අදාළ කරගැනීමෙන් අපට මහත් ප්‍රයෝජනද අත් කරගත හැකියි.

7. වෙන කවරදාටත් වඩා අදදින අපට දෙවිගේ සිහිගැන්වීම් අවශ්‍ය වන්නේ මන්ද?

7 මිනිස් ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයකින් දුෂ්ටකම් වැඩි වී තිබෙන නිසා වෙන කවරදාටත් වඩා මේ කාලයේදී අපිට යෙහෝවාගේ සිහිගැන්වීම් අවශ්‍යයි. අපි දෙවිගේ සිහිගැන්වීම්වලට කිට්ටු අවධානයක් දෙනවා නම්, මේ දුෂ්ට ලෝකයේ මලපත්වලින් ආරක්ෂා වීමට අවශ්‍ය තීක්ෂ්ණ බුද්ධිය අපිට ලබාගත හැකියි. ගීතිකාකරු මෙසේ පැවසුවා. “මාගේ සියලු ගුරුවරුන්ට වඩා මට නුවණ [තීක්ෂ්ණ බුද්ධිය, NW] ඇත්තේය; මක්නිසාද මාගේ භාවනාව ඔබගේ ශික්ෂා [සිහිගැන්වීම්, NW] ගැනය. මා ඔබගේ නියෝග රක්ෂාකළ බැවින් වැඩිමහල්ලන්ට වඩා මට තේරුම් ඇත්තේය. ඔබගේ වචනය පවත්වන පිණිස සියලු නපුරු මාර්ගවලින් මාගේ පාද වලක්වාගතිමි.” (ගීතාවලිය 119:99-101) දෙවිගේ සිහිගැන්වීම් ක්‍රියාත්මක කරනවා නම්, ‘නපුරු මාර්ගවල’ ගමන් කිරීමෙන් ඉවත්ව සිටිය හැකි අතර, ‘තමන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, දෙවි කෙරෙන් වූ ජීවනයට විදේශීව සිටින’ මිනිසුන් හා සමාන වීමෙන් අපට වැළකී සිටිය හැකියි.—එපීස 4:17-19.

8. ඇදහිල්ලේ පරීක්ෂණවලට සාර්ථකව මුහුණ දීම සඳහා අපට හොඳින් සූදානම් වී සිටිය හැක්කේ කෙසේද?

8 දෙවිගේ සිහිගැන්වීම් අපට අවශ්‍ය වීමට තවත් හේතුවක් වන්නේ මේ ‘අන්තිම කාලයේ’ ජීවත් වන අපට බොහෝ පරීක්ෂා විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය ඒවායින් ලැබෙන නිසයි. (දානියෙල් 12:4) එවන් සිහිගැන්වීම් නොතිබුණා නම් අපි ‘අමතක කරනසුලු අසන්නන්’ බවට පත් වන්න ඉඩ තිබෙනවා. (යාකොබ් 1:25) එහෙත් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සපයන ක්‍රිස්තියානි ප්‍රකාශනවල උපකාරය ඇතුව පෞද්ගලිකව හා සභාවක් හැටියට ශුද්ධ ලියවිල්ල උනන්දුවෙන් අධ්‍යයනය කිරීමෙන් ඇදහිල්ලේ පරීක්ෂණවලට අපට සාර්ථකව මුහුණ දිය හැකියි. (මතෙව් 24:45-47) ඉතාමත් දුෂ්කර තත්වයන්ට අප මුහුණ දෙන අවස්ථාවලදී යෙහෝවාව සතුටු කිරීම සඳහා අපි කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීමට එවන් ආත්මික සැපයුම් අපට අවශ්‍ය මඟ පෙන්වීම් සපයා දෙනවා.

නැතුවම බැරි අපේ රැස්වීම්

9. “තෑගි වශයෙන් මනුෂ්‍යයන්” වන්නේ කවුද? ඔවුන් සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කරන්නේ කෙසේද?

9 අපට අවශ්‍ය කරන දෙවිගේ සිහිගැන්වීම් සැපයීමේදී ක්‍රිස්තියානි රැස්වීම්වලින් වැදගත් කාර්යයක් ඉටු කෙරෙනවා. මෙම රැස්වීම්වලදී පත් කරන ලද සහෝදරයන් අපට උගන්වනවා. යේසුස් ‘උසස් තැනට නැඟුණු කල්හි වහල්කමට ගත්තවුන් වහල් කොට ගෙන ගොස්, මනුෂ්‍යයන්ට තෑගි [තෑගි වශයෙන් මනුෂ්‍යයන්, NW] දුන්නේය’ කියා ප්‍රේරිත පාවුල් පැවසුවා. ඔහු තවදුරටත් පැවසුවේ මෙසේයි. “[ක්‍රිස්තුස්] සමහරුන් ප්‍රේරිතයන්ද සමහරුන් අනාගතවක්තෘවරුන්ද සමහරුන් ශුභාරංචිය ප්‍රකාශකරන්නන්ද සමහරුන් සභාපාලකයන්ද [එඬේරුන්ද, NW] සමහරුන් ගුරුවරුන්ද කොට [දුන්නේය]. එසේ දුන්නේ . . . ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණවීම සඳහා සේවයකිරීමේ වැඩය පිණිසත් [ක්‍රිස්තුස්ගේ] ශරීරයේ වර්ධනයවීම පිණිසත්ය.” (එපීස 4:8, 11, 12, 13) අපි නමස්කාරය සඳහා එකට එක්රැස් වන අවස්ථාවලදී ‘තෑගි වශයෙන් දී තිබෙන එම මනුෂ්‍යයන්’ වන වැඩිමහල්ලන් විසින් යෙහෝවාගේ සිහිගැන්වීම් අපේ අවධානයට ලක් කිරීම ගැන අපට කොයිතරම් ස්තුතිවන්ත විය හැකිද!

10. හෙබ්‍රෙව් 10:24, 25හි සඳහන් වදන්වල මූලික හරය කුමක්ද?

10 දෙවිගේ සැපයුම්වලට අප ස්තුතිවන්ත වෙනවා නම්, සතිපතා පවත්වනු ලබන අපේ රැස්වීම් පහටම සහභාගි වීමට අප තුළ පෙලඹීමක් ඇති වෙයි. නිතිපතා එකට එක්රැස්වීමේ තිබෙන අවශ්‍යතාව අවධාරණය කරමින් පාවුල් මෙසේ ලිව්වා. “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාදකරමු.”—හෙබ්‍රෙව් 10:24, 25.

11. සතිපතා පවත්වන සියලුම රැස්වීම් මගින් අපට ප්‍රයෝජන සැලසෙන්නේ කෙසේද?

11 අපේ රැස්වීම් අපි වෙනුවෙන් ඉටු කරන දේ ඔබ අගය කරනවාද? සතිපතා පවත්වන මුරටැඹ පාඩම මගින් අපේ ඇදහිල්ල ශක්තිමත් කරවන අතර, යෙහෝවාගේ සිහිගැන්වීම්වලට අනුව අපේ ජීවිත හැඩගස්වාගැනීමට උපකාර කරමින්, ‘ලෝකයේ ආත්මයේ’ බලපෑම්වලට එරෙහිව සිටීමට අපව සන්නාහ සන්නද්ධ කරවයි. (1 කොරින්ති 2:12; ක්‍රියා 15:31) ප්‍රසිද්ධ රැස්වීමේදී කථිකයන් යෙහෝවාගේ සිහිගැන්වීම් හා යේසුස් පැවසූ “සදාකාල ජීවනයේ වචන” ඇතුළු දෙවිගේ වචනය මත පදනම් කරගත් අදහස් අපට උගන්වයි. (යොහන් 6:68; 7:46; මතෙව් 5:1–7:29) දිව්‍යාණ්ඩු සේවා පාසැල අපේ ඉගැන්වීමේ හැකියාව දියුණු කරගැනීමට උපකාර කරයි. ගෙයින් ගෙට සේවයේදී, නැවත බැලීම්වලදී, නිවාස බයිබල් පාඩම් පැවැත්වීමේදී හා අපේ දේවසේවයේ වෙනත් අංගවලදී ශුභාරංචිය බලපෑමෙන් යුක්තව ඉදිරිපත් කිරීම සඳහා සේවා රැස්වීමෙන් ලැබෙන උපකාරය කියා නිම කළ නොහැකියි. කුඩා කණ්ඩායම් හැටියට පවත්වනු ලබන සභා පොත් පාඩම මගින් අදහස් ප්‍රකාශ කිරීම සඳහා කදිම අවස්ථාවක් ලැබෙනවා. බොහෝවිට මෙම අදහස් දැක්වීම්වලට දෙවිගේ සිහිගැන්වීම් ඇතුළත් වෙනවා.

12, 13. එක් ආසියානු රටක සිටින දෙවිගේ සෙනඟ ක්‍රිස්තියානි රැස්වීම් සඳහා අගය පෙන්වා තිබෙන්නේ කෙසේද?

12 සභා රැස්වීම්වලට නිතිපතා යන විට දෙවිගේ අණ පනත් ගැන අපට සිහිගැන්වෙනවා. යුද්ධ, ආර්ථික දුෂ්කරතා හා අපේ ඇදහිල්ල පරීක්ෂණයට ලක් කරන වෙනත් තත්වයන් මැද සිටියත්, දිගටම අපගේ ආත්මිකත්වය ශක්තිමත්ව තබාගැනීම සඳහා රැස්වීම්වලට නිතිපතා යෑම අපට උපකාර වෙනවා. රැස්වීම්වලට යෑමේ වැදගත්කම එක් ආසියානු රටක සිටින ක්‍රිස්තියානීන් 70දෙනෙකු පමණ හොඳින් තේරුම්ගෙන තිබුණා. උන් හිටි තැන් අහිමි වී සිටි මොවුන්ට ජීවත් වීමට සිදු වුණේ ඝන වනාන්තරයකයි. නිතිපතා රැස්වීම්වලට යෑමට අදිටන් කරගත් ඔවුන් යුද්ධයෙන් විනාශ වූ නගරයට පැමිණ හානියට පත් රාජ්‍ය ශාලාවේ ඉතිරි වී තිබූ කොටස් ගළවාගෙන ගොස් වනාන්තරයේ රාජ්‍ය ශාලාවක් සෑදුවා.

13 එමෙන්ම එම රටේම වෙනත් ප්‍රදේශයක අවුරුදු ගණනාවක සිට යුද්ධයෙන් පීඩා විඳින යෙහෝවාගේ සෙනඟ තවමත් ජ්වලිතව සේවය කරනවා. “සහෝදරයන්ව එකමුතුව තබාගැනීම සඳහා වැඩියෙන්ම උපකාරවත් වුණේ කුමක්ද?” කියා එම ප්‍රදේශයේ සේවය කරන වැඩිමහල්ලෙකුගෙන් ඇසූ විට ඔහු මෙසේ උත්තර දුන්නා. “පසුගිය අවුරුදු 19 පුරා අපි එක රැස්වීමක්වත් නොපවත්වා සිටියේ නැහැ. සමහර අවස්ථාවලදී බෝම්බ පිපිරීම් හෝ වෙනත් දුෂ්කරතා නිසා සමහර සහෝදරයන්ට රැස්වීම පවත්වන ස්ථානයට එන්න නොහැකි වුණත් අපි රැස්වීම් පැවැත්වීම නතර කළේ නැහැ.” අපේ මේ ප්‍රේමනීය සහෝදර සහෝදරියන් ‘අපේ රැස්වීම් අත් නොහැරීමේ’ තිබෙන වැදගත්කම වටහාගෙන සිටිනවා.

14. මහලු වියේ පසු වූ ආනා පුරුද්දක් වශයෙන් කළ දෙයින් අපට කුමක් ඉගෙනගත හැකිද?

14 අසූහතර හැවිරිදි වැන්දඹුවක් වූ ආනා ‘දේවමාළිගාවෙන් අහක්ව නොගියාය’ කියා ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. මේ නිසා යේසුස් ඉපදී දවස් කිහිපයකින් එහි රැගෙන ආ විට ඇයද එතැන සිටියා. (ලූක් 2:36-38) රැස්වීම් අතපසු නොකිරීමට ඔබ පුරුදු වී සිටිනවාද? අපේ එක්රැස්වීම්වල හා සමුළුවල සෑම සැසිවාරයකටම පැමිණ සිටින්න ඔබට හැකි සෑම දෙයක්ම ඔබ කරමින් සිටිනවාද? අපි එකට එක්රැස් වෙන එම අවස්ථාවලදී ආත්මික කාරණා සම්බන්ධයෙන් ලබන ප්‍රයෝජනදායක උපදෙස්, අපේ ස්වර්ගික පියා ඔහුගේ සෙනඟ ගැන සැලකිලිමත් වන බවට පැහැදිලි සාක්ෂියකි. (යෙසායා 40:11) එවන් අවස්ථාවලදී ප්‍රීතිය භුක්ති විඳිය හැකි අතර, අපි පැමිණ සිටීමෙන් පෙන්වන්නේ යෙහෝවාගේ සිහිගැන්වීම් අප අගය කරන බවයි.—නෙහෙමියා 8:5-8, 12.

වෙන්ව සිටීමට උපකාරවත් වන යෙහෝවාගේ සිහිගැන්වීම්

15, 16. යෙහෝවාගේ සිහිගැන්වීම් ක්‍රියාත්මක කිරීම අපේ හැසිරීමට බලපාන්නේ කෙසේද?

15 දෙවිගේ සිහිගැන්වීම්වලට එකඟව අපේ ජීවිත හැඩගස්වාගැනීමෙන් මේ දුෂ්ට ලෝකයෙන් වෙන්ව සිටීමට අපට හැකියි. උදාහරණයක් හැටියට, දෙවිගේ සිහිගැන්වීම්වලට අවනත වීම, ලිංගික දුරාචාරයෙන් වැළකී සිටීමට අපට රුකුලක් වෙයි. (ද්විතීය කථාව 5:18; හිතෝපදේශ 6:29-35; හෙබ්‍රෙව් 13:4) දෙවිගේ සිහිගැන්වීම්වලට එකඟව ජීවත් වීමෙන් බොරු කීමට, වංක ලෙස කටයුතු කිරීමට හෝ සොරකම් කිරීමට පොලඹවන පරීක්ෂාකාරි තත්වයන් සාර්ථකව මැඩපැවැත්විය හැකියි. (නික්මයාම 20:15, 16; ලෙවී කථාව 19:11; හිතෝපදේශ 30:7-9; එපීස 4:25, 28; හෙබ්‍රෙව් 13:18) යෙහෝවාගේ සිහිගැන්වීම් ක්‍රියාත්මක කිරීමෙන් පළිගැනීම, අමනාපය සිතේ තබාගැනීම හා අපහාසාත්මක ලෙස යම් අය ගැන කතා කිරීම යනාදියෙන් වැළකී සිටීමට අපට හැකියි.—ලෙවී කථාව 19:16, 18; ගීතාවලිය 15:1, 3.

16 දෙවිගේ නීතිවලට අවනත වීමෙන් අපට ඔහුගේ සේවය සඳහා වෙන් වූ ශුද්ධ සෙනඟක් ලෙස දිගටම සිටිය හැකියි. මේ නිසා ලෝකයෙන් වෙන්ව සිටීම මොනතරම් වැදගත්ද! යේසුස් මිහිපිට ගත කළ අවසන් රාත්‍රියේ යෙහෝවාට යාච්ඤා කළ අවස්ථාවේදී තම අනුගාමිකයන් වෙනුවෙන් මෙසේ ආයාචනා කළා. “මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛරවුණෝය. ඔබ ලෝකයෙන් ඔවුන් අහක්කරන පිණිස නොව, නපුරාගෙන් ඔවුන් ආරක්ෂාකරන පිණිස යාච්ඤාකරමි. මා ලෝකයෙන් නොවන්නාක් මෙන්ම ඔව්හුද ලෝකයෙන් නොවෙති. සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍රකළ මැනව. ඔබගේ වචනය සත්‍යතාවය.” (යොහන් 17:14-18අ) එසේනම් දෙවිගේ පරිශුද්ධ සේවය සඳහා අපව වෙන් කර තබන දේවවචනය කෙරෙහි ඇති අපගේ ඇල්ම දිගටම පවත්වාගනිමු.

17. අපි දෙවිගේ සිහිගැන්වීම් නොසලකා හැරියොත් සිදු වන්නේ කුමක්ද? එමනිසා අපි කුමක් කළ යුතුද?

17 යෙහෝවාගේ සේවකයන් හැටියට අපේ ආශාව වන්නේ අපි ඔහුට පිරිනමන සේවය ඔහු විසින් පිළිගන්නවා දැකීමයි. එහෙත්, අපි දෙවිගේ සිහිගැන්වීම් නොසලකා හැරියොත් ලෝකයේ කතා විලාසය, හැසිරීම් රටාව, ලෝකයේ තිබෙන පොත් පත් හා විනෝදාංශ යනාදියට අනුබල දෙන මේ ලෝකයේ ආත්මයේ බලපෑම්වලට අපි හසු විය හැකියි. මුදලට ප්‍රේම කරන්නන්, පාරට්ටු කරගන්නන්, උදම් අනන්නන්, ස්තුතිවන්ත නොවන්නන්, අභක්තිකයන්, හිතුවක්කාරයන්, අහංකාරයන්, දෙවිට වඩා සැපසෙල්ලමට ප්‍රේම කරන්නන් වීමට අපට අවශ්‍ය නැත. මෙම ගතිලක්ෂණ දෙවිගෙන් ඈත් වූ මිනිසුන් තුළ දකින්න තිබෙන ගතිලක්ෂණවලින් කිහිපයක් පමණයි. (2 තිමෝති 3:1-5) අපි ජීවත් වෙන්නේ පවතින මෙම දුෂ්ට ක්‍රමයේ අන්තිම දවස්වල අවසාන කෙළවරේ නිසා දෙවිගේ උපකාරය පතා අපි දිගටම යාච්ඤා කරමු. මෙසේ කිරීමෙන් අපට දෙවිගේ සිහිගැන්වීම්වලට අනුව ජීවත් වීමටත් ‘ඔහුගේ වචනයට අනුව සුපරීක්ෂාකාරිව සිටීමටත්’ හැකි වෙනවා.—ගීතාවලිය 119:9NW.

18. දෙවිගේ සිහිගැන්වීම් ක්‍රියාත්මක කරන විට අප ගන්නා ඒකාන්ත පියවර මොනවාද?

18 අප නොකළ යුතු දේවල් සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරිව සිටීමට අපට උපකාර කරනවාට වඩා වැඩි යමක් දෙවිගේ සිහිගැන්වීම් මගින් සිදු කරයි. දෙවිගේ සිහිගැන්වීම් ක්‍රියාත්මක කිරීම මගින්, ඒකාන්තව කටයුතු කිරීමට, එනම් යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තැබීමටත් අපේ මුළු හෘදයෙන්ද, ප්‍රාණයෙන්ද, මනසින්ද, ශක්තියෙන්ද ඔහුට ප්‍රේම කිරීමටත් අපට හැකි වෙයි. (ද්විතීය කථාව 6:5; ගීතාවලිය 4:5; හිතෝපදේශ 3:5, 6; මතෙව් 22:37; මාර්ක් 12:30) දෙවිගේ සිහිගැන්වීම් අපේ අසල්වාසීන්ට ප්‍රේම කිරීමටද අප තුළ පෙලඹවීමක් ඇති කරයි. (ලෙවී කථාව 19:18; මතෙව් 22:39) අපි විශේෂයෙන් දෙවිට සහ අසල්වැසියාට ප්‍රේමය පෙන්වන්නේ දෙවිගේ කැමැත්ත කිරීමෙන් හා ජීවිත ගළවන ‘දෙවි පිළිබඳ දැනුම’ [NW] අනිත් අය සමඟ බෙදාගැනීමෙනුයි.—හිතෝපදේශ 2:1-5.

යෙහෝවාගේ සිහිගැන්වීම් ක්‍රියාත්මක කිරීම ජීවනයට මඟ පාදයි!

19. යෙහෝවාගේ සිහිගැන්වීම්වලට අවනත වීම කළ හැකි දෙයක් බවත් එසේ කිරීමෙන් ප්‍රයෝජන ලැබෙන බවත් අනිත් අයට පෙන්වීමට අපට හැක්කේ කෙසේද?

19 අපි දෙවිගේ සිහිගැන්වීම් ක්‍රියාත්මක කරමින් අනිත් අයටත් එසේ කිරීමට උපකාර කරනවා නම්, අපවත් අපට සවන් දෙන අයවත් ගළවාගැනීමට අපට හැකියි. (1 තිමෝති 4:16) යෙහෝවාගේ සිහිගැන්වීම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි බවත්, එසේ කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකි බවත් අපි අනිත් අයට පෙන්වා දෙන්නේ කෙසේද? බයිබල් ප්‍රතිපත්තිවලට අනුව අපේ ජීවිත හැඩගස්වාගැනීමෙන් අපට එය කළ හැකියි. මෙසේ කිරීමෙන්, ජීවත් වීමට තිබෙන හොඳම මඟ දෙවිගේ වචනයේ පෙන්වා තිබෙන මඟ බවට සාක්ෂියක් “සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් දක්වන” අයට ලබා දිය හැකියි. (ක්‍රියා 13:48NW) ‘දෙවි අප අතර සිටින’ බව ඔවුන් තේරුම්ගන්න ගනියි. ඒ විතරක් නොවෙයි, පරමාධිපති ස්වාමි වූ යෙහෝවාට නමස්කාර කිරීම සඳහා අප සමඟ එක්වීමට එය ඔවුන් තුළ පෙලඹවීමක් ඇති කරයි.—1 කොරින්ති 14:24, 25.

20, 21. දෙවිගේ සිහිගැන්වීම් හා ඔහුගේ ආත්මය මගින් අපට හැකියාව ලබා දෙන්නේ කුමක් කරන්නද?

20 නිතිපතා ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කිරීමෙන්ද, අපි ඉගෙනගන්න දේවල් අදාළ කරගැනීමෙන්ද, යෙහෝවා සපයන ආත්මික සැපයුම්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමෙන්ද අප පෙන්වන්නේ දෙවිගේ සිහිගැන්වීම්වලට අපි අතිශයින් ඇලුම් කරන බවයි. එම සිහිගැන්වීම්වලට අපි අවනත වෙනවා නම්, “සැබෑ ධර්මිෂ්ඨකමින්ද පක්ෂපාතකමින්ද දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය” [NW] පැළඳගැනීමට ඒවා අපට උපකාර කරයි. (එපීස 4:20-24) යෙහෝවාගේ සිහිගැන්වීම්වල හා ශුද්ධාත්මයේ උපකාරය ඇතුව සාතන්ගේ ආධිපත්‍යය යටතේ තිබෙන ලෝකයේ ගතිලක්ෂණවලට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම හා ආත්ම-දමනය නොහොත් පමණ දැන ක්‍රියා කිරීම යන ගුණාංග අපට විදහාපෙන්විය හැකියි. (ගලාති 5:22, 23; 1 යොහන් 5:19) මේ නිසා අපගේ පෞද්ගලික බයිබල් අධ්‍යයනයේදී, වැඩිමහල්ලන් මගින් සහ රැස්වීම්වලදී, එක්රැස්වීම්වලදී මෙන්ම සමුළුවලදී, යෙහෝවා අපෙන් බලාපොරොත්තු වන දේවල් ගැන අපට සිහිගැන්වීම් ලැබෙන විට ඒවා ස්තුතිපූර්වකව පිළිගනිමු.

21 ධර්මිෂ්ඨ ලෙස ජීවත් වීම හේතුවෙන් අහිතකර තත්වයන්ට මුහුණ දීමට සිදු වන විට පවා අපට සතුටින් සිටීමට හැකි වන්නේ යෙහෝවාගේ සිහිගැන්වීම් අපි ක්‍රියාත්මක කරන නිසයි. (ලූක් 6:22, 23) ඉතාමත් දරුණු තත්වයන්වලදී පවා අපව ගළවාගැනීමට දෙවි සතු බලය කෙරෙහි අපි රඳා සිටින්නෙමු. අර්මගෙදොන් නමැති “සර්වපරාක්‍රමවූ [දෙවිගේ] මහත් දවසේ යුද්ධයට” ජාතීන්ව එක්රැස් කරනු ලබමින් සිටින නිසා දෙවිගේ ගළවාගැනීමේ බලය කෙරෙහි රඳා සිටීම ඉතා වැදගත්.—එළිදරව් 16:14-16.

22. යෙහෝවාගේ සිහිගැන්වීම් සම්බන්ධයෙන් අපේ අධිෂ්ඨානය කුමක් විය යුතුද?

22 සදාකාල ජීවනය නමැති ලබන්න නොවටිනා තරම් වූ ත්‍යාගය ලබාගන්න නම්, අපි යෙහෝවාගේ සිහිගැන්වීම්වලට අතිශයින් ඇලුම් කරමින් අපේ මුළු හදින්ම ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. මේ නිසා අප තුළත් ගීතිකාකරු තුළ තිබූ ආකල්පයම තබාගනිමු. ඔහු මෙසේ ගායනා කළා. “ඔබගේ ශික්ෂා [සිහිගැන්වීම්, NW] සදාකාලේටම ධර්මිෂ්ඨය. මා ජීවත්වන පිණිස මට නුවණ [දෙන්න].” (ගීතාවලිය 119:144) ‘මම ඔබට [යෙහෝවාට] අඬගැසීමි. මා ගළවාගන්න, ඔබගේ ශික්ෂා [සිහිගැන්වීම්, NW] පවත්වන්නෙමි’ යන ගීතිකාකරුගේ වදන්වලින් පිළිබිඹු වන අධිෂ්ඨානය අපිත් විදහාපෙන්වමු. (ගීතාවලිය 119:146) අපි ඇත්තෙන්ම යෙහෝවාගේ සිහිගැන්වීම්වලට අතිශයින් ඇලුම් කරන බව වචනයෙන් හා ක්‍රියාවෙන් පෙන්වමු.

ඔබේ පිළිතුර කුමක්ද?

• ගීතිකාකරු යෙහෝවාගේ සිහිගැන්වීම් සැලකුවේ කෙසේද?

• අපට දෙවිගේ සිහිගැන්වීම් අවශ්‍ය වන්නේ මන්ද?

• දෙවිගේ සිහිගැන්වීම් සම්බන්ධයෙන් බලද්දී, අපේ රැස්වීම් මගින් ඉටු වන්නේ කිනම් කාර්යයක්ද?

• යෙහෝවාගේ සිහිගැන්වීම් අපව මේ ලෝකයෙන් වෙන් කර තබන්නේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

ගීතිකාකරු යෙහෝවාගේ සිහිගැන්වීම්වලට අතිශයින් ඇලුම් කළා

[16, 17වන පිටුවේ පින්තූර]

ආනාගේ ආදර්ශය අනුගමනය කරමින් ඔබ රැස්වීම් අතපසු නොකිරීමට අදිටන් කරගෙන සිටිනවාද?

[18වන පිටුවේ පින්තූරය]

යෙහෝවාගේ සිහිගැන්වීම්වලට අවනත වීමෙන් අපි ඔහුගේ සේවය සඳහා වෙන් වූ පවිත්‍ර සෙනඟක් වන්නෙමු