Skip to content

පටුනට යන්න

ඕනෑම දෙයක් විශ්වාස කළ යුතුද?

ඕනෑම දෙයක් විශ්වාස කළ යුතුද?

ඕනෑම දෙයක් විශ්වාස කළ යුතුද?

වයස අවුරුදු 12ක ශිෂ්‍යයෙක් වීජ ගණිතයෙහි මූලධර්ම ග්‍රහණය කරගැනීමට මහත් ආයාසයක් දරමින් සිටියි. ඔහුගේ ගුරුතුමා පංතියට ඉතා සරලයයි පෙනෙන ගණිත ගැටලුවක් ඉදිරිපත් කරයි.

ඔහු මෙසේ පටන්ගනියි. “x=y කියලත්, දෙකේම අගය 1යි කියලත් සිතමු.”

‘ඒක නං මට තේරෙනවා’ කියා ශිෂ්‍යයා තමාටම කියාගනී.

කෙසේවෙතත්, තර්කානුකූලයයි පෙනුණු පේළි සතරක සාධනයකින් පසුව, ගුරුතුමාගේ උත්තරය කම්පිත කරවන්නක් විය. එමනිසා, ඔහුගේ තර්කය වූයේ “2=1” යන්නයි!

“ඒක වැරදියි කියල පුළුවන් නං ඔප්පු කරන්න” කියමින් ගුරුතුමා අන්දුන් කුන්දුන් වූ ඔහුගේ ශිෂ්‍යයන්ට දැන් අභියෝග කරයි.

තරුණ ශිෂ්‍යයාට වීජ ගණිතය ගැන තිබුණේ ඉතා සීමිත දැනුමක් නිසා, එය වැරදියි කියා ඔප්පු කිරීමට ඔහුට නොහැකි විය. එම සාධනයෙහි සෑම පියවරකම කිසිදු දෝෂයක් දැකගත නොහැකි විය. එසේ නම්, මෙම පුදුම දනවන පිළිතුරට ඔහු එකඟ විය යුතුද? ඔහුගේ ගුරුතුමා ඔහුට වඩා ගණිත ශාස්ත්‍රයේ උගත් කෙනෙකු නොවේද? මෙය සැබෑවක් වුවද, ඔහුගේ තර්කය විශ්වාස කිරීමට එය පදනමක් නොවේ. “ඒක විශ්වාස නොකරන්න, ඒක වැරදියි කියලා ඔප්පු කරන්නම ඕනෑ නැහැ. පොඩි ළමයෙකුට වුණත් තේරෙයි ඒකෙ දෝෂයක් තියෙනවා කියලා” කියා ඔහු තර්ක කළේය. (හිතෝපදේශ 14:15, 18) ඔහුගේ ගුරුතුමාවත්, පංතියේ කිසිම ශිෂ්‍යයෙකුවත්, රුපියල් දෙකක් දී, රුපියලක් ලබා නොගන්නා බව ඔහු හොඳ හැටි දැන සිටියේය.

කල් යත්ම, මෙම ගණනේ දෝෂයක් ඇති බව ඒ ශිෂ්‍යයා සොයාගත්තේය. තවද එයින් ඔහු වැදගත් පාඩමක්ද ඉගෙනගත්තේය. තමාට වඩා උගත් කෙනෙකු, ඉතා හොඳින් පිළියෙළ කර ඇති, බිඳිය නොහැකි මෙන් පෙනෙන තර්කයක් ඉදිරිපත් කරන විට, ඒ අවස්ථාවේදී එය වැරදි බව ඔප්පු කළ නොහැකි වුවත්, එය විශ්වාස කිරීමට තමා බැඳී නැති බව ඔහුට හොඳ හැටි වැටහුණේය. ඉහත සඳහන් ශිෂ්‍යයා ඇත්තෙන්ම 1 යොහන් 4:1හි සොයාගත හැකි ඉතා ප්‍රායෝගික බයිබල් ප්‍රතිපත්තියක් අදාළ කරගනිමින් සිටියේය. එහි සඳහන් වන්නේ යම් පිළිගත් මූලාශ්‍රයකින් පැමිණෙන බව දක්නට ලැබුණද, ඔබේ කනට වැකෙන සෑම දෙයක්ම විශ්වාස කිරීමට හදිසි නොවන්න යන්නයි.

ඔබ දරමින් සිටි මතයක මුරණ්ඩු ලෙස එල්බගෙන සිටිය යුතු බව මින් අදහස් නොකෙරේ. වැරදි මත නිවැරදි කළ හැකි තොරතුරුවලට පිටුපෑම නුවණට හුරු දෙයක් නොවේ. එනමුත්, උසස් දැනුමක් හෝ අධිකාරයක් ඇති බවට කියා සිටින කෙනෙකුගෙන් එල්ල වන පීඩනයක් හමුවේ “ඉක්මනින් සිතින් චංචල නොවන හැටියටද” ඔබ වගබලා ගත යුතුය. (2 තෙසලෝනික 2:2) ඉහත සඳහන් ගුරුතුමා ඔහුගේ ශිෂ්‍යයන්ට පොඩි කවටකමක් කරමිනුයි සිටියේ. කෙසේවෙතත්, සෑම දෙයක්ම නිකම්ම අහිංසක කවටකමක් කියා නොසැලකිය යුතුය. ‘ප්‍රයෝගයන් හා රැවටිලි සහිත උපායන්’ ඇටවීමට සමහරු අතිදක්ෂයෝ වෙති.—එපීස 4:14; 2 තිමෝති 2:14, 23, 24.

ප්‍රවීණයන් සැමවිටම නිවැරදිද?

එකම ක්ෂේත්‍රයක වැඩ කරන සෑහෙන පළපුරුද්දක් ඇති ප්‍රවීණයන් අතර පවා පරස්පරවිරෝධී මතයන් සහ වෙනස් වනසුලු අදහස් ඇති බව පිළිගත යුතුය. නිදසුනකට, රෝග ඇතිවීමට හේතු වැනි ඉතා සරල දෙයක් සම්බන්ධයෙන් පවා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ තිබෙන මතභේදය සලකා බලන්න. හාවඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් මෙසේ ලීවේය. “විද්‍යාඥයන් අතර ඉතා ප්‍රබල මතභේදයක් වී තිබෙන්නේ රෝගවලට හේතුව උරුම වූ ගති ලක්ෂණද නැත්නම් අප අවට පරිසරයද යන්නයි.” එක් පක්ෂයක සිටින අය තරයේ කියා සිටින්නේ අප විවිධ රෝගවලට ගොදුරු වන්නේ අපගේ ජානවල බලපෑම නිසා බවය. කෙසේවෙතත්, තවත් පක්ෂයක අය කියන්නේ පරිසරය සහ කෙනෙකු ගත කරන ජීවිතය මිනිසුන් තුළ රෝග හටගැන්වීමට බෙහෙවින් දායක වන බවය. දෙපක්ෂයම තම මතය සනාථ කිරීමට අධ්‍යයනයන් සහ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමට උත්සුක වෙති. කෙසේවෙතත්, මතභේදය අවසන් වන බවක් දක්නට නොලැබේ.

ඉතා ප්‍රවීණ චින්තකයන්ගේ මතයන් පවා කාලයාගේ ඇවෑමෙන් බොරු බව නැවත නැවතත් ඔප්පු වී තිබේ. ඇතැම්විට, ඔවුන් සිය මතයන් පළ කළ කාලයේදී ඊට කිසිවෙකු විරෝධය පළ නොකළා විය හැක. නිදසුනකට “ඉතා ප්‍රබල බලපෑමක් ඇති කළ දාර්ශනිකයෙකු” ලෙස හඳුන්වා ඇති ඇරිස්ටෝටල් ගැන දාර්ශනික බර්ට්‍රන්ඩ් රසල් පැවසුවේ ඇරිස්ටෝටල්ගේ සිද්ධාන්තයන් කිහිපයක්ම “අමූලික බොරු” බවය. ඔහු මෙසේ ලීවේය. “වර්තමානයේ විද්‍යාව, තර්ක ශාස්ත්‍රය හෝ දර්ශනය යන ක්ෂේත්‍රයන් තුළ යම් දියුණුවක් සිදුව ඇත්තේ ඇරිස්ටෝටල්ට ගැතිවූවන්ගේ දැඩි විරෝධතා මැදය.”—History of Western Philosophy.

‘දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්ම’

මුල් ක්‍රිස්තියානීන්ට සොක්‍රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් වැනි සුප්‍රසිද්ධ ග්‍රීක් දාර්ශනිකයන්ට ගැතිකම් පෑ බොහෝදෙනෙකු හමු වූවා විය හැක. එවකට විසූ උගත් ජනයා සිතුවේ තමන් ක්‍රිස්තියානීන්ගෙන් බහුතරයකට වඩා බුද්ධිමත් බවය. යේසුස්ගේ ගෝලයන් වැඩිදෙනාව “ලෝක මිම්ම අනුව ප්‍රඥාවන්ත යැයි කිව හැකි” අය වශයෙන් සලකනු නොලැබීය. (1 කොරින්ති 1:26, නව අනුවාදය) ඇත්තෙන්ම, එවකට පිළිගෙන තිබූ දර්ශනයන් උගත් අය සිතුවේ ක්‍රිස්තියානීන් විශ්වාස කළ දේ ‘මෝඩ දෙයක්’ නැතහොත් ‘ප්‍රලාපයක්’ [න. අ.] බවය.—1 කොරින්ති 1:23.

මුල් ක්‍රිස්තියානීන් අතර ඔබත් සිටියා නම්, එවකට විසූ පඬිවරුන්ගේ ඒත්තුගන්වනසුලු තර්කවලට ඔබේ සිතත් ඇදී යනු ඇද්ද? ඔවුන් චතුර ලෙස කතා කරද්දී ඔබත් නිහඬ වනු ඇද්ද? (කොලොස්සි 2:4) ප්‍රේරිත පාවුල් පැහැදිලි කළ අන්දමට එසේ කිරීමට කිසිදු පදනමක් නොමැත. යෙහෝවා “ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව” සහ “බුද්ධිමත් අයගේ බුද්ධිය” මෝඩකමක් ලෙස සලකන බව පාවුල් ක්‍රිස්තියානීන්ට සිහිගැන්වීය. (1 කොරින්ති 1:19) “ප්‍රඥාවන්තයා කොයි ද? විනයධරයා කොයි ද? මෙලොව වාද කරන්නා කොයි ද” කියා ඔහු පුන පුනා අසයි. (1 කොරින්ති 1:20, න. අ.) පාවුල්ගේ කාලයේ විසූ දාර්ශනිකයන්ට, ලේඛකයන්ට, සහ විචාරකයන්ට කොතරම් නුවණක් තිබුණද, මිනිස් සංහතියේ ගැටලුවලට නියම පිළිතුරු සෙවීමට ඔවුන්ට නොහැකි විය.

එමනිසා, “දැනගැන්මයයි බොරුවෙන් කියන දැනගැන්මේ . . . විරුද්ධකම්” ලෙස ප්‍රේරිත පාවුල් හැඳින්වූ පරස්පරවිරෝධී දේවලින් වැළකී සිටීමට ක්‍රිස්තියානීහු පුරුදු වූහ. (1 තිමෝති 6:20) පාවුල් එවන් දැනුමකට “බොරු” යන විශේෂණය යෙදීමට හේතුව වූයේ ඊට එක අතිවැදගත් සාධකයක් අහිමි වීමය. එනම් දෙවිගෙන් නික්මුණු කිසිදු අදහසක්වත්, මූලාශ්‍රයක්වත් ඊට අනුබල නොදීමය. එවන් යමක් තිබුණා නම්, එම මතයන්වල ඇත්ත නැත්ත පරීක්ෂා කරගත හැකි වනු ඇත. (යෝබ් 28:12; හිතෝපදේශ 1:7) දෙවිගේ අනුබලය නොතිබුණු නිසාත්, මුළාකරන්නා වන සාතන් විසින් අන්ධ කරනු ලැබීම නිසාත්, එවන් දැනුමක් පසුපස හඹා යන අයට කිසිදාක සත්‍යය සොයාගත නොහැකි වේ.—1 කොරින්ති 2:6-8, 14; 3:18-20; 2 කොරින්ති 4:4; 11:14; එළිදරව් 12:9.

දෙවි මඟ පෙන්වීම සපයන බයිබලය

දෙවි තම කැමැත්ත, අරමුණ සහ ප්‍රතිපත්ති ශුද්ධ ලියවිල්ල තුළින් එළිදරව් කර තිබෙන බව මුල් ක්‍රිස්තියානීන් කිසිදාක සැක කළේ නැත. (2 තිමෝති 3:16) ‘මනුෂ්‍යයන්ගේ පරම්පරාගත නියෝගවලින්ද ලෝකයේ ගුරුකම්වල ප්‍රකාරයට තිබෙන පණ්ඩිතකමින්ද හිස් වූ රැවටිලිකාරකමින්ද’ මුළා නොවීමට මෙය ඔවුන්ට ආරක්ෂාවක් විය. (කොලොස්සි 2:8) අදදිනත් ඒ හා සමාන තත්වයක් පවතී. මනුෂ්‍යයන්ගේ මතයන් පරස්පරවිරෝධී වන අතර, වියවුල්කමින්ද යුක්තය. ඊට වෙනස්ව, දෙවිගේ ආනුභාවයෙන් ලියන ලද ඔහුගේ වචනය අපගේ විශ්වාසයන්වලට ස්ථිරසාර පදනමක් සපයයි. (යොහන් 17:17, 18; 1 තෙසලෝනික 2:13; 2 පේතෘස් 1:21) අපට දෙවිගේ වචනය නොතිබුණා නම්, අපි අසරණ වන්නෙමු. කිසිදු ස්ථිරසාර පදනමක් නොමැති, මනුෂ්‍යයන්ගේ වෙනස් වනසුලු මතයන් සහ දර්ශනයන් පදනම් කරගෙන අපගේ අදහස් ගොඩනැඟීම කොතරම් අසීරු දෙයක් වේවිද කියා අපට කල්පනා කළ හැක.—මතෙව් 7:24-27.

‘හැබැයි, විද්‍යාවෙන් ඔප්පු කර තියෙන දේවලින් බයිබලය බොරුවක් බව ඔප්පු වෙලා නැද්ද? නිතරම වෙනස් වන මිනිසාගේ දර්ශන වගේම බයිබලයත් විශ්වාස කරන්න බැරි පොතක් නෙවෙයිද?’ කියා ඇතමෙකු ඇසිය හැක. නිදසුනකට, “පෘථිවිය විශ්වයේ මධ්‍යම ලක්ෂය නොවන බවට වූ මතය ස්ථාපිත කිරීමට කොපර්නිකස්, කෙප්ලර් සහ ගැලීලියෝ වැනි අයට ඇරිස්ටෝටල්ගේ මෙන්ම බයිබලයේ අදහස නිෂ්ප්‍රභ කිරීමට සිදු වූ” බව බර්ට්‍රන්ඩ් රසල් කියා සිටියේය. (අකුරු ඇල කළේ අපය.) තවත් උදාහරණයක් සලකා බලමු. පෘථිවිය අවුරුදු බිලියන ගණනක් පැවත ඇති බව සාධකවලින් පෙනී යන බව අපි දනිමු. එනමුත්, මැවුම්වාදීන් කියා සිටින්නේ පෘථිවිය පැය 24ක දවස් හයක් ඇතුළත මවනු ලැබූ බවය. ඒ සඳහා ඔවුන් සිය මූලාශ්‍රය වශයෙන් යොදාගන්නේ බයිබලයයි!

නමුත් ඇත්ත තත්වය සලකා බලන්න. පෘථිවිය විශ්වයේ මධ්‍ය ලක්ෂය බව බයිබලයෙහි කොතැනකවත් පවසා නැත. මෙවන් අදහස් ඉදිරිපත් කරන ලද්දේ දෙවිගේ වචනයට කිසිදු ගෞරවයක් නොදැක්වූ පල්ලි නායකයන් විසිනි. අනික් අතට, උත්පත්ති පොතෙහි මැවීම ගැන සඳහන් කර ඇති විස්තරයේ මැවීමේ දවසක් පැය 24කට සීමා කර නැත. පෘථිවිය අවුරුදු බිලියන ගණනක් පැරණිය යන සත්‍යතාවට බයිබලය අනුබල දෙයි. (උත්පත්ති 1:1, 5, 8, 13, 19, 23, 31; 2:3, 4) අප අවංකව බයිබලය පිළිබඳව සොයා බැලුවොත්, අපට පෙනී යන්නේ එය විද්‍යා අත්පොතක් නොවූවත්, එහි “ප්‍රලාප” අන්තර්ගත වී නැති බවය. ඇත්තෙන්ම, විද්‍යාවෙන් ඔප්පු කර ඇති දේවලට එය සම්පූර්ණ එකඟතාවක් දක්වයි. a

“තර්කානුකූලව සිතීමේ හැකියාව”

යේසුස්ගේ ගෝලයන්ගෙන් වැඩිදෙනෙකු ඉතා චාම්, එතරම් දුරකට අධ්‍යාපනයක් ලබා නොමැති පුරුෂයන් සහ ස්ත්‍රීන් වුවද, ඔවුන් සැමට දෙවිගෙන් ලද දීමනාවක් තිබිණ. ඔවුන්ගේ පසුබිම කුමක් වුවත්, සියලුදෙනාම තර්කානුකූලව සිතීමේ හැකියාව සහ කල්පනා ශක්තිය ඇතුව සිටියහ. ප්‍රේරිත පාවුල් සෙසු ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ “තර්කානුකූලව සිතීමේ හැකියාව” [NW] යොදාගෙන “[දෙවිගේ] කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය” කුමක්ද යන්න තමන්ටම ඔප්පු කරගන්න කියාය.—රෝම 12:1, 2.

දෙවිගෙන් ලද “තර්කානුකූලව සිතීමේ හැකියාව” ඇතුව, දෙවිගේ වචනය තුළින් එළිදරව් වී තිබුණු දෙයට එකඟ නොවූ ඕනෑම දර්ශනයක් හෝ ඉගැන්වීමක්, නිෂ්ප්‍රයෝජන දෙයක් බව මුල් ක්‍රිස්තියානීන්ට පැහැදිලිව තේරුම්ගත හැකි විය. එවකට සිටි පඬිවරු ඇතැම් කාරණා ඉදිරිපත් කරමින් ‘සත්‍යයට අකුල් හෙළමින්’ සිටියෝය. එනම්, දෙවි කෙනෙකු සිටින බවට අවට තිබෙන සාක්ෂි ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. එනමුත් “සිය ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩූ ඔවුන් අඥානයන් වී ඇත” කියා පාවුල් ලීවේය. ඔවුන් දෙවි සහ දෙවිගේ අරමුණ පිළිබඳ සත්‍යතා ප්‍රතික්ෂේප කළ නිසා, “ඔවුන්ගේ තර්ක විතර්ක නිස්සාර බවට පත් වී, ඔවුන්ගේ මුළා ව ගිය මනස අඳුරු විය.”—රෝම 1:18-22, න. අ.; යෙරෙමියා 8:8, 9.

තමාගේ ප්‍රඥාව ගැන පුරසාරම් දොඩන අය සාමාන්‍යයෙන් “දෙවිකෙනෙක් නැහැ,” “බයිබලය විශ්වාස කරන්න පුළුවන් පොතක් නෙමෙයි” නැත්නම් “අපි අන්තිම දවස්වල නෙමෙයි ජීවත් වෙන්නේ” වැනි නිගමනවලට එළඹෙති. මෙවැනි අදහස් දෙවි ඉදිරියෙහි මෝඩකමක් මෙනි. හරියට “2=1” යනුවෙන් පවසන්නාක් මෙනි. (1 කොරින්ති 3:19) තමන් ඉතා උගත් කියා මිනිසුන් කියා සිටියද, ඔවුන්ගේ නිගමන දෙවිට, ඔහුගේ වචනයට සහ සාමාන්‍ය දැනුමට පටහැනි වේ නම්, ඒවා පිළිගැනීමට ඔබ බැඳී නැත. අන්තිමේදී පැවසීමට ඇත්තේ මෙපමණයි. ‘මිනිසුන් හැම දෙනාම බොරුකාරයන් වුවත්, දෙවි සත්‍යවාදී බව නිසැකය.’ (රෝම 3:4, න. අ.) එළඹිය යුතු ප්‍රඥාවන්තම නිගමනයද මෙයයි.

[පාදසටහන]

a වැඩිමනත් තොරතුරු සඳහා බයිබලය—දෙවිගේ වචනයද නැත්නම් මිනිසාගේද? (ඉංග්‍රීසියෙන්) සහ ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත් දෙක බලන්න. (Watchtower Bible and Tract Society of New York, Inc. මගින් ප්‍රකාශිතය.)

[31වන පිටුවේ පින්තූර]

මනුෂ්‍යයන්ගේ මත මොහොතින් මොහොත වෙනස් වුවද, බයිබලය විශ්වාසය සඳහා ස්ථිරසාර පදනමක් සපයයි

[හිමිකම් විස්තර]

වම, එපිකූරස්: ඡායාරූපය British Museum අනුග්‍රහයෙනි; ඉහළ මැද, ප්ලේටෝ: National Archaeological Museum, Athens, Greece; දකුණ, සොක්‍රටීස්: Roma, Musei Capitolini