Skip to content

පටුනට යන්න

කෙසේ ඇති කරගනිමුද මිතුරන්?

කෙසේ ඇති කරගනිමුද මිතුරන්?

කෙසේ ඇති කරගනිමුද මිතුරන්?

“ජීවිත කාලයටම එකම එක අවංක මිතුරෙක් හරි ඔබට ඉන්නවා නම් ඔබ හරිම වාසනාවන්තයි; අවංක මිතුරන් දෙන්නෙක් ඉන්නවා නම් ඒක පුදුමයක්; තුන්දෙනෙක් ඉන්න එක ගැන නම් හිතන්නවත් බෑ.”—හෙන්රි බෘක්ස් ඇඩම්ස්.

මෙවන් ප්‍රකාශයකින් එක් දෙයක් සනාථ වෙයි. එනම් සැබෑ මිතුරන් සොයාගැනීම කළු නික සොයනවාට වඩා දුෂ්කර කටයුත්තක් බවය. “මට කාවවත් විශ්වාස කරන්න බෑ,” “මගේ බල්ලා තමයි මගේ හොඳම හිතවතා” වැනි කියමන් මිතුදම් සොයමින් හුදකලාවේ ජීවත් වන අයගෙන් අප කොතෙකුත් නම් අසා ඇද්ද!

මිතුදම් ඇති කරගැනීමත් රැකගැනීමත් අභියෝගයකි. එක් සමීක්ෂණයක් පෙන්වන්නේ “අමෙරිකා එක්සත් ජනපදයෙහි වැඩිහිටි පුද්ගලයන්ගෙන් සියයට 25ක් ‘දරාගත නොහැකි තනිකමකින්’ පෙළෙන බව හා ප්‍රංශයේ වැසියන්ගෙන් හරි අඩකටම දරාගත නොහැකි පාළුවක් දැනෙන” බවයි. පෙම්වතියන් හෝ පෙම්වතුන් සොයන අය වෙනුවෙන් සංවිධානය කර ඇති සමාජ ශාලා, පරිගණක කතාබහ කුටි සහ පුවත් පත්වල පළ වන මිතුරු හමුව වැනි දේවල ශීඝ්‍ර වර්ධනය දෙස බලන කල මනුෂ්‍යයන් මිනිස් සබඳකම් සඳහා දැඩි ආශාවකින් පෙළෙන බව පෙනේ.

ස්නායු මනෝ වෛද්‍යවරයෙකු වන ඩේවිඩ් වීක්ස් පවසන්නේ, තනිකම කෙනෙකුගේ මානසිකත්වයට පමණක් නොව ශාරීරික සෞඛ්‍යයටද ඍජුවම බලපාන බවයි. “කාංසාවෙන් සහ මානසික පීඩනයෙන් පෙළෙන ලෙඩ්ඩු ගොඩක් මං ගාවට එනවා. එයාලට තියෙන ලෙඩේ තනිකමයි. ඇත්තම කියනවා නම් අධිමානසික පීඩනය සහ දරාගත නොහැකි තනිකම අතර සම්බන්ධකම් හුඟක් තියෙනවා.”

දික්කසාදය සහ පවුල් ජීවිත කඩාකප්පල් වීම නිසාවෙන් බොහෝ මනුෂ්‍යයෝ හුදකලා ජීවිතයක් ගෙවති. බ්‍රිතාන්‍යයේ පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, 21වන සියවස ආරම්භය වෙද්දී එහි ජනගහනයෙන් සියයට 30ක්ම තනි පුද්ගලයන් ලෙස හුදකලා වී ජීවත් වීමට යන බවයි.

“අන්තිම දවස්වලදී” ආත්මාර්ථකාමී ආකල්පයන් පැතිර පවතින්න යන බව දේවානුභාවය ලත් ලියවිල්ලේ පුරෝකථනය කර තිබිණ. (2 තිමෝති 3:1-5) එයින් අදහස් වන්නේ, බොහෝදෙනෙකු මනුෂ්‍යයන් සමඟ සුහද සම්බන්ධතාවන් ගොඩනඟා ගැනීමට වඩා වැඩි උනන්දුවක් දක්වන්නේ ද්‍රව්‍යමය දේවල්, එනම් තමන්ගේ නිවස, කාර් එක හෝ රැකියාව ගැන බවය. ඇන්තනි ස්ටෝ නමැති ලේඛකයා තම අදහස් මෙසේ කැටි කොට දක්වයි. “තමන්ගේ භාර්යාවට, පුරුෂයාට හෝ දරුවන්ට අවධානය දෙනවාට වඩා බොහෝදෙනෙකු මුල් තැන දෙන්නේ තමන්ගේ කාර්යාලයේ වැඩවලටයි.”

අවංක මිතුරන් මිල කළ නොහැකි සම්පතක්

ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවය රැඳී ඇත්තේ මිතුරන් සමඟ ඇති ඔබේ මිත්‍ර සබඳතාවයේ ගුණාත්මකභාවය මතයි. මිතුරු ඇසුර භුක්ති නොවිඳ තම සිතුම් පැතුම් බෙදා නොගෙන තමන් වෙනුවෙන්ම ජීවත් වන අය බොහෝවිට ජීවිතයේ සතුටක් අද්දකින්නේ නැත. “ගැනීමට වඩා දීමෙන් වැඩි සතුටක් ලැබේ” කියා යේසුස් පැවසූ වදන් ඇත්තෙන්ම සත්‍යයකි. (ක්‍රියා 20:35NW) ඉංග්‍රීසි ජාතික කවියෙකු වූ ජෝර්ජ් බයිරන් මෙම සත්‍යය තවත් තහවුරු කළේය. ඔහු පැවසුවේ, “සන්තෝෂය ලබාගන්න නම් එය පළමුකොට බෙදාගත යුතුයි” කියාය.

මිතුරෙකු කියා පැවසිය හැක්කේ කාටද? “ලෙන්ගතුකමේ හෝ ගෞරවයේ හැඟීම් මගින් කෙනෙක් තවත් කෙනෙකුට බැඳීම” ලෙස එක් විශ්වකෝෂයක් මිත්‍රකම අර්ථකථනය කළේය. ඔබව යහමඟ ගෙන යෑම සඳහා ඔබේ සිතුවිලි හැඩගැස්වීමට අවංක මිතුරෙකුට උපකාර කළ හැක. දුකේදී ඔබට දිරිගැන්වීම දෙමින් ඔබ ළඟ රැඳී සිටීමේ හැකියාව මිතුරෙකු හෝ මිතුරියක සතුයි. සාලමොන් රජ පැවසුවේ, “මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය” කියාය. (හිතෝපදේශ 17:17) ඇත්තෙන්ම ද්‍රව්‍යමය දේවල වටිනාකම කාලයත් සමඟ නැති වී ගියත් සැබෑ මිතුදමක් සදහටම පවතියි.

අන් අයට ලෙන්ගතුකම පෑම සඳහා ‘සිතින් විශාල වන්න’ කියා ක්‍රිස්තියානීන්ට ශුද්ධ ලියවිල්ලේ උනන්දු කරයි. (2 කොරින්ති 6:13) වෙනත් අයව දැනහඳුනා ගැනීම ප්‍රයෝජනදායකයි. ඒ පිළිබඳව දේශනාකාරයා 11:1, 2හි කියවීමට තිබෙන්නේ මෙසේයි. “නුඹේ ආහාර ජලය මතුපිට දමන්න. කුමක්හෙයින්ද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි. සත්දෙනෙකුට වුණත් අට දෙනෙකුට වුණත් කොටසක් දෙන්න; මක්නිසාද පොළොවෙහි මොන විපත්තියක් සිද්ධවේද කියා නුඹ නොදන්නෙහිය.” මෙම ප්‍රතිපත්තිය මිතුරෙකු හෝ මිතුරියක සමඟ ඇති මිතුදමකට අදාළ වන්නේ කෙසේද? ඔබ බොහෝ අය සමඟ මිතුරුකම් ඇති කරගත් විට ඔබට යම් අසීරු කාලයකට මුහුණ දීමට සිදු වෙද්දී එම මිතුරන්ගෙන් සමහරෙකු ඔබේ උපකාරයට පැමිණෙයි කියා අපේක්ෂා කිරීමට හැකි බව ඉන් අදහස් වේ.

අවංක මිතුරන්ගෙන් ඔබට ආරක්ෂාවක් පවා ලැබිය හැක. “මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ” කියා හිතෝපදේශ 27:6 පවසයි. බොහෝදෙනෙකු ඔබ ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කළත් ඔබේ දුර්වලකම් පෙන්වා දෙමින් සහ ඔබට දියුණු වීමට හැකි පැති පිළිබඳ නිවැරදි අදහස් දක්වමින් උපදෙස් පිරිනමන්නේ අවංක මිතුරෙකු පමණයි.—හිතෝපදේශ 28:23.

ඔබට හිතකර බලපෑමක් ඇති කරන හිතෛෂි මිතුරන් දුර්ලභ දායාදයක් කියා පැවසිය හැක. දේවදූතයෙකු විසින් රෝම මුලාදෑනියෙකු වූ කොර්නේලියස්ට ඔහුගේ යාච්ඤාව අසනු ලැබුවායයි දන්වන ලැබූ විට සිදු වූ සිද්ධියක් ගැන ක්‍රියා 10වන පරිච්ඡේදයේ අපට කියවීමට තිබේ. කොර්නේලියස් ඒ අවස්ථාවේදී පේතෘස්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් තම නිවසට ‘නෑයන්ද හිතෛෂි මිත්‍රයන්ද කැඳෙව්වේය’ කියා එහි පවසා ඇත. යේසුස් සමඟ රාජ්‍යය පාලනය කිරීමේ බලාපොරොත්තුව ඇතුව ශුද්ධාත්මයෙන් ආලේප කරනු ලැබූ මුල්ම අන්‍යජාතීන්ට කොර්නේලියස්ගේ හිතෛෂි මිතුරන්ද ඇතුළත් විය. ඔවුන්ට ලැබුණ ආශීර්වාදය මොනතරම්ද!—ක්‍රියා 10:24, 44.

නමුත් ඉස්මතු වන ප්‍රශ්නය වන්නේ ඔබ මිතුරන් ඇති කරගන්නේ කෙසේද යන්නය. මිතුදමට මං එළි පෙහෙළි කරන බොහෝ ප්‍රායෝගික උපදෙස් බයිබලයේ දී තිබේ. (පහළ ඇති කොටුව බලන්න.)

ඔබට අවංක මිතුරන් සොයාගත හැක්කේ කොතැනින්ද?

අවංක මිතුරන් සොයාගත හැකි හොඳම ස්ථානය ක්‍රිස්තියානි සභාවයි. සියල්ලට පළමුවෙන්, ඔබේ මැවුම්කරු සහ ස්වර්ගික පියා වන යෙහෝවාගේ සහ ඔබේ ගැළවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ මිතුරෙකු වීමට තිබෙන ප්‍රස්තාවෙන් ප්‍රයෝජන ගන්න. තමන්ගේ මිතුරෙකු වීමට ආරාධනා කරන යේසුස් පවසන්නේ, “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත” කියායි. (යොහන් 15:13, 15) යෙහෝවා සහ යේසුස්ගේ මිතුරෙකු වූ විට ‘ඔවුන් ඔබව සදාකාල කූඩාරම්වලට පිළිගන්න’ යන නිසා ඔබට සුරක්ෂිතව සිටීමට හැකි වනු ඇත. ඔව්, යෙහෝවා සහ යේසුස් සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමේ ප්‍රතිඵලය සදාකාලික ජීවිතයයි.—ලූක් 16:9; යොහන් 17:3.

ඔබට යෙහෝවාගේ සහ යේසුස්ගේ උණුසුම් මිත්‍රත්වය භුක්ති විඳීමට අවශ්‍ය නම්, ගීතාවලිය 15වන පරිච්ඡේදයේ සඳහන් අවශ්‍යතා සපුරාලිය යුතුයි. බයිබලය රැගෙන එම ගීතාවලියේ පද පහ කියවන්න. ඊට අමතරව, “මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය” කියා යේසුස් පැවසූ දෙයද හෘදයට ගන්න.—යොහන් 15:14.

දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් මඟ පෙන්වීම, හෘදයාංගම ආශාවකින් අධ්‍යයනය කර අදාළ කරගන්නා විට, එයින් ඔබ පෙන්වන්නේ ඔබට යෙහෝවාගේ සහ යේසුස්ගේ මිතුරෙකු වීමට අවශ්‍ය බවයි. එමෙන්ම යෙහෝවා දෙවි පිළිබඳ දැනුම සපයන ක්‍රිස්තියානි රැස්වීම්වලටද ඔබ සහභාගි විය යුතුයි. ඔබ විශ්වාසවන්තව යෙහෝවාට සවන් දෙන විට ඔබ ඔහුට සහ ඔහුගේ පුත්‍රයාට ළං වනු ඇත.

රැස්වීම් ස්ථානවලදී යෙහෝවාට ප්‍රේම කරන හා ආත්මයේ ඵල වන ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසවන්තකම, මෘදුකම, ආත්ම දමනය යන ගුණාංග තම ජීවිත තුළින් විදහාපෙන්වන අයව දැනහඳුනා ගැනීමට හැකියාව ලැබෙයි. (ගලාති 5:22, 23) ඔබ මිතුරන් ඇති කරගැනීමට දැඩි ආශාවකින් සිටිනවා නම් හා තනිකමෙන් මිදීමට වෙර දරමින් සිටිනවා නම් සතිපතා ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙන්න. මෙසේ කිරීමෙන් ඔබට දෙවිගේ ආශීර්වාද ලත් සෙනඟ සමඟ දිගු කල් පවතින මිතුදමක් ඇති කරගත හැක.

සදාකාලයටම මිත්‍රත්වයෙන් බැඳෙන මිතුරෝ

සැබෑ මිත්‍රත්වය යෙහෝවා දෙවිගෙන් ලැබෙන අනර්ඝ ත්‍යාගයකි. එම ත්‍යාගය තුළින් දෙවිගේ පෞද්ගලිකත්වය පිළිබිඹු වේ. දෙවිගේ ප්‍රේමය සහ ත්‍යාගශීලීකම නිසා ඔහු ඔබට මිත්‍ර සබඳකම් පැවැත්විය හැකි ඥානවන්ත මැවිලිවලින් පොළොව පුරවා තිබේ. එමනිසා, සෙසු ක්‍රිස්තියානීන්ව ඇසුරු කරන්න. ඔවුන්ව දිරිගන්වන්න. ඔවුන් සමඟ ක්ෂේත්‍ර සේවයෙහි හවුල් වන්න. ඔවුන් සමඟත් ඔවුන් වෙනුවෙනුත් නොකඩවාම යාච්ඤා කරන්න. එවිට යෙහෝවාගේ සහ ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ පෞද්ගලිකත්වයන් අනුකරණය කරනවා කියා ඔබට පැවසිය හැක.

මිත්‍රත්වය, සෑම කෙනෙකුටම දිය හැකි මෙන්ම ලබාගත හැකි ත්‍යාගයකි. නුදුරු අනාගතයේදී ඔබේ මිතුරු කැල පුළුල් කරගැනීමට ඔබට අවස්ථාවක් ලැබේවි. ඔබට දැන් ජීවත් වන මිලියන ගණන් අය සමඟත් ‘මරණය නැති කාලයේදී’ නැවත නැඟිටීමක් ලැබීමේ බලාපොරොත්තුවෙන් මරණ නින්දේ පසු වන කලින් පරම්පරාවල අය සමඟත් මිත්‍රත්වයක් ඇති කරගැනීමට පුළුවන. (එළිදරව් 21:4; යොහන් 5:28, 29) මිත්‍රශීලී වීමටත් යෙහෝවාට ප්‍රේම කරන අය සමඟ මිත්‍ර සබඳකම් ඇති කරගැනීමටත් දැන් සිටම වෑයමක් දරන්න. දෙවිගේ අනුභාවය ලත් වචනයට සවන් දීම මගින් යෙහෝවා දෙවි සහ යේසුස් ක්‍රිස්තුස් සමඟ ඇති මිත්‍රකම දිගටම පවත්වාගන්න. එවිට යළි කිසිදාක ඔබට තනිකමක් නොදැනෙනු ඇත.

[22, 23වන පිටුවේ කොටුව⁄පින්තූර]

සදා නොවෙනස් වන මිතුදමකට යෝජනා හයක්

1. ඔබ හොඳ මිතුරෙකු වෙන්න. ආබ්‍රහම්ට තිබූ නොසැලෙන ඇදහිල්ල නිසා ඔහුව ‘යෙහෝවාගේ මිතුරා’ ලෙස හැඳින්වීය. (යාකොබ් 2:23) ඊට අමතරව ඔහු දෙවිට තිබූ තම ලෙන්ගතුකම ක්‍රියාවෙනුත් පෙන්වූ බව බයිබලයේ පවසයි. (2 ලේකම් 20:⁠7) ඔහුම මුලපුරමින් තම හැඟීම් යෙහෝවාට දැනගැනීමට සැලැස්වීය. (උත්පත්ති 18:​20-33) ඔව්, ඔබේ මිත්‍රත්වය මිතුරන්ට දැනගැනීමට සලස්වන්න. යේසුස් පැවසුවේ, “දෙන්න, එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය” කියායි. (ලූක් 6:38) දිරිගන්වන වදනකින් හෝ සුළු උපකාරයකින් පවා මිත්‍රත්වයක් පටන්ගෙන එය නොවෙනස් වන මිතුදමක් දක්වා වර්ධනය විය හැක. “මිතුරෙකු ඇති කරගත හැකි එකම ක්‍රමය පළමුකොට ඔබ හොඳ මිතුරෙකු වීමයි” කියා නිබන්ධකයෙක් වන රැල්ෆ් වොල්ඩො එමර්සන් පැවසුවේය.

2. මිතුදම වර්ධනය කරගැනීමට කාලය වැය කරන්න. බොහෝදෙනෙකු මිතුරුකමේ නාමයෙන් ලැබෙන වාසිවලට කැමති වුවත් ඒ වෙනුවෙන් කාලය වැය කළ නොහැකි තරමට තමන්ගේම වැඩ රාජකාරිවල කාර්ය බහුලව සිටියි. රෝම 12:​15, 16හි අපව දිරිගන්වන්නේ අනිත් අයගේ ප්‍රීතියට, ජයග්‍රහණයට සහ දුකට හවුල් වන ලෙසයි. එහි පවසන්නේ, “ප්‍රීතිවෙන්නන් සමඟ ප්‍රීතිවෙන්න; අඬන්නන් සමඟ අඬන්න. එකිනෙකා සමඟ එක්සිත්වෙන්න” කියායි. යේසුස් ක්‍රිස්තුස් කොතරම් අවිවේකීව සිටියත් තම මිතුරන් වෙනුවෙන් නිතරම කාලය වැය කළේය. (මාර්ක් 6:​31-34) ඇත්තෙන්ම මිතුදම මල් ගසකට සම කළ හැක. මල් පිපෙන්න නම්, එම ගසට වතුර දමා හොඳින් රැකබලා ගත යුතුයි. එයට කාලය අවශ්‍ය වන්නා සේම මිතුදම වර්ධනය කරගැනීමටද කාලය අවශ්‍යය.

3. අනිත් අය කතා කරන විට අවධානය දෙන්න. සැලකිල්ලෙන් සවන් දෙන කෙනෙකුට මිතුරන් ඇති කරගැනීම එතරම් අපහසු නැත. ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වූ යාකොබ් පවසන්නේ ‘ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න. කතා කිරීමට පමා වන්න’ කියායි. (යාකොබ් 1:​19, නව අනුවාදය) ඔබ වෙනත් අය සමඟ කතාබහ කරන විට ඔවුන්ගේ හැඟීම් ගැන පෞද්ගලික උනන්දුවක් දක්වන්න. ඔවුන්ට ඔවුන්ගේම දේවල් ගැන පවසන්න දිරිගන්වන්න. ඔවුන්ට ගෞරවය පෙන්වීමට ඔබ මුලපුරන්න. (රෝම 12:10) ඔබ මෙලෙස කටයුතු කරන විට ඔවුන් ඔබව ඇසුරු කරන්න කැමැත්තක් දක්වනු ඇත. යම් කතාබහකදී ඔබම දිගින් දිගටම කතා කරමින් ඔබටම අවධානය ඇදගැනීමට උත්සාහ කරනවා නම් ඔබට සවන් දෙන, ඔබේ හැඟීම් සහ අවශ්‍යතා ගැන සැලකිල්ලක් දක්වන කෙනෙකු සොයාගැනීම තරමක් අපහසු විය හැක.

4. සමාව දීමට සූදානමින් සිටින්න. “සැත්තෑසත් වරක්” සමාව දීමට සූදානමින් සිටිය යුතුයි කියා යේසුස් එක් අවස්ථාවකදී පේතෘස්ට පැවසුවේය. (මතෙව් 18:​21, 22NW ) අවංක මිතුරෙකු හෝ මිතුරියක සාමාන්‍යයෙන් ඔබේ සුළු සුළු වැරදි එතරම් ගණනකට නොගනියි. මෙය අපට මෙසේ නිදර්ශනය කළ හැක. පේර ගෙඩියක ඇති කුඩා ඇට නිසා සමහරෙකු එය කෑමට එතරම් ප්‍රියකමක් නොදක්වයි. නමුත් එය කෑමට රුචිකත්වයක් දක්වන අය එහි ඇට එතරම් ගණනකට නොගනියි. එයාකාරයෙන්ම මිත්‍රයෙකු අවංක මිතුරෙකුගේ සුළු සුළු වැරදි ගණනකට නොගන්නා අතර, ඔහුගේ හොඳ ගුණාංග නිසා ඔහුව ඉතා අගය කොට සලකයි. පාවුල් අපට අවවාද කරන්නේ, “එකිනෙකා ගැන ඉවසමින්, යමෙකුට විරුද්ධව යමෙකුගේ කාරණයක් ඇත්නම් එකිනෙකාට [කමා වෙන]” ලෙසයි. (කොලොස්සි 3:13) සමාව දීමේ ගුණාංගය විදහාපෙන්වන අය තම මිතුදම් රැකගනියි.

5. අන් අයගේ පෞද්ගලික නිදහසට ගරු කරන්න. සෑම කෙනෙකුටම පෞද්ගලික නිදහසක් අවශ්‍යයි. මෙය ඔබේ මිතුරන්ටද අදාළයි. හිතෝපදේශ 25:17 (න. අ.) මෙම නැණවත් උපදෙස දෙයි. එහි පවසන්නේ, “අසල්වැසියාගේ ගෙදරට නිතර නිතර නොයන්න; ගියොත් ඔහුට ඔබව එපා වී ඔහු ඔබ නුරුස්සයි” කියායි. එමනිසා ඔබ මිතුරන්ව බැහැදකින්න යන වාර ගණන සහ රැඳී සිටින කාල වෙලාව ගැන කල්පනාකාරි වන්න. එමෙන්ම මිතුරන්ගේ ආශ්‍රය තමුන්ටම සීමා කරගැනීමට උත්සාහ නොකරන්න. එයින් ඇති වන්නේ ඊර්ෂ්‍යාව පමණයි. ඔබේ රුචි අරුචිකම් ගැන අදහස් දැක්වීමේදී ඥානවන්ත වන්න. මන්ද මෙය මිතුදම් ඇති කරගැනීමටත් පවත්වාගැනීමටත් දායක වන නිසයි.

6. ත්‍යාගශීලී වන්න. මිතුදම් වර්ධනය වන්නේ ත්‍යාගශීලීකම තුළිනි. ප්‍රේරිත පාවුල් අපට අවවාද කරන්නේ, ‘ත්‍යාගශීලීව බෙදාගැනීමට ලැදිව සිටින්න’ කියාය. (1 තිමෝති 6:​18, න. අ.) නිදසුනකට, අන් අයට දිරිගැන්වීමක් අවශ්‍ය අවස්ථාවකදී ඔබට එය වදනකින් දිය හැකිය. (හිතෝපදේශ 11:25) අවංකවම මිතුරන් ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමට සහ ඔවුන්ව ගොඩනැංවීමට සූදානමින් සිටින්න. මෙයාකාරයෙන් ඔබ අන් අයගේ ශුභසිද්ධිය ගැන අව්‍යාජ උනන්දුවක් දක්වන විට ඔවුන් නිතැතින්ම ඔබගේ ඇසුරට කැමැත්තක් දක්වන්න යන බව නිසැකයි. ඔවුන්, ඔබගේ යහපත සඳහා කරන්නේ මොනවාද කියා බලනවා වෙනුවට ඔවුන් සඳහා ඔබට කළ හැකි දේ ගැන සිතන්න.