Skip to content

පටුනට යන්න

බයිබලය—සාර්ථක දිවි පෙවෙතකට එකම මඟ

බයිබලය—සාර්ථක දිවි පෙවෙතකට එකම මඟ

බයිබලය—සාර්ථක දිවි පෙවෙතකට එකම මඟ

‘දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය. සිතේ සිතිවිලිද අදහස්ද [චේතනාද, NW] විමසන්නේය.’ (හෙබ්‍රෙව් 4:12) දෙවිගේ වචනයට ඉටු කළ හැකි දේ සම්බන්ධයෙන් මෙය පැහැදිලි ප්‍රකාශනයක් නොවේද? ඔව්, බයිබලය තවත් හොඳ පොතක් විතරක්ම නොවේ.

“එහි [බයිබලයෙහි] අඩංගු පණිවිඩය අප ගන්නා ඊළඟ හුස්ම තරම්ම වටින” බව එක් ආගමික විශ්ලේෂකයෙක් මනා ලෙස පැහැදිලි කළේය. “ආත්මික සුවය ලබාගැනීමට තිබෙන අපේ ආශාව මෙන්ම අපේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් බයිබලය කියවන විට, පුදුමාකාර ප්‍රතිඵල අත් කරගත හැකියි” කියමින් ඔහු තවදුරටත් අදහස් දැක්වීය. ඔව්, දීප්තියෙන් බබළන පහනක් මෙන් බයිබලය නූතන ජීවිතය හා බැඳි ඉතා සංකීර්ණ ගැටලුවලට මුහුණ දෙන ආකාරය මත ආලෝකය විහිදුවයි.—ගීතාවලිය 119:105.

බයිබලයෙහි අඩංගු ප්‍රඥාව තුළින් අපේ සිතුවිලි සකස් කරගැනීමට, අපේ ගැටලු විසඳාගැනීමට, ජීවිතයේ ගුණාත්මකබව දියුණු කරගැනීමට සහ අපට වෙනස් කළ නොහැකි තත්වයන්ට සාර්ථක ලෙස මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබේ. එමෙන්ම එයින් ඉටු වන වැදගත්ම දේ වන්නේ දෙවිව දැන හඳුනාගෙන ඔහුට ප්‍රේම කිරීමට ප්‍රස්තාවක් ලැබීමයි.

අර්ථවත් දිවියකට මඟ සලසන පොතක්

බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවි ‘අපේ සියලු මාර්ග දන්නේය.’ අපේ ශාරීරික, චිත්තවේගීය හා ආත්මික අවශ්‍යතා පිළිබඳව අපටත් වඩා හොඳ අවබෝධයක් ඔහුට තිබේ. (ගීතාවලිය 139:1-3) එමනිසා අප හැසිරිය යුතු ආකාරය පිළිබඳව ඔහු යම් සීමාවන් පනවා තිබුණත් ඒවා කිසිවිටෙකත් අසාධාරණ ඒවා නොවේ. (මීකා 6:8) එම සීමාවන් මොනවාද කියා හඳුනාගෙන ඒ අනුව ජීවත් වීමට වෑයම් කිරීම අපට කළ හැකි නැණවත්ම දේ කියා පැවසිය හැක. ගීතිකාකරු පවසා ඇති ආකාරයට, ‘යෙහෝවාගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීති වන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාද ලද්දේය. ඔහු කරන සියල්ල සඵල වෙයි.’ (ගීතාවලිය 1:1-3) එවැනි අපේක්ෂාවක් අප ඉදිරියෙහි තිබියදී අප එය නොසලකා හරිනවාද?

මොරීස් විශ්‍රාම ලත් ගුරුවරයෙකි. ඔහු කාලයක් තිස්සේ බයිබලයේ ඓතිහාසික හා සාහිත්‍යමය වටිනාකම පිළිගෙන තිබුණත් එය දේවානුභාවයෙන් ලියූ බව පිළිගැනීමට නම් කැමැත්තක් දැක්වූයේ නැත. දෙවි මිනිසාට තම වචනය ලබා දුන්නේ ඇයි කියා ඔහුට පැහැදිලි කර දීමෙන් පසුව, ඔහු බයිබල් අනාවැකි කිහිපයක් වෙත තම අවධානය යොමු කළේය. ඇත්තෙන්ම, තරුණ කාලයේදී ඔහු ඉපැරණි ඉතිහාසය, සාහිත්‍යය, විද්‍යාව මෙන්ම භූගෝල විද්‍යාවද අධ්‍යයනය කර තිබිණ. නමුත් තමාගේ උගත්කම ගැන උවමනාවට වඩා සිතූ නිසා එම ක්ෂේත්‍රයන් බයිබලයේ නිරවද්‍යතාවට අනුබල දෙන ආකාරය වටහාගැනීමට තමා අපොහොසත් වූ බව ඔහු පිළිගන්නේය. “මගේ එකම ඉලක්කය වුණේ පොහොසත් වෙලා සැප පහසු ජීවිතයක් ගත කරන එකයි. ඒ නිසා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම පොත තුළ ගැබ් වෙලා තියෙන සත්‍යතාව වගේම එහි ඇති සිත් ඇදගන්නාසුලු පණිවිඩය වටහාගන්න මට බැරි වුණා.”

දැන් මොරීස්ට වයස අවුරුදු හැත්තෑවක් පමණ වේ. නැවත නැඟිටුවන ලද යේසුස්ව දුටු මොහොතේදී ප්‍රේරිත තෝමස් පැවසූ දෙයට යොමු දක්වමින් මොරීස් තම අගය ප්‍රකාශ කරන්නේ මෙලෙසයි. “මගේ අත යේසුස්ගේ ‘අතේ තුවාල’ මත තබා තිබෙනවා. ඒ නිසා බයිබලයේ සත්‍යතාව ගැන මට දැන් කිසිම සැකයක් නෑ. ආයි කවදාවත් සැකයක් ඇති වෙන්නෙත් නෑ.” (යොහන් 20:24-29) ඇත්තෙන්ම ප්‍රේරිත පාවුල් පැවසූ දේ නිවැරදියි. බයිබලය සිතේ චේතනා විමසන අතර ජීවිතයට අරුතක්ද එක් කර දෙයි. එය සාර්ථක දිවි පෙවෙතකට එකම මඟයි.

ගැටලු සහිත කාලවලදී උපකාරය

නරක පුරුදුවලින් මිදීමට උපකාරවත් වන උපදෙස්ද බයිබලයෙහි අඩංගු වේ. ශරීරය අපවිත්‍ර කරවන දුම්පානය, මත්පැන් අනිසි ලෙස භාවිත කිරීම හා සාදයන්වලදී සීමාව ඉක්මවා විනෝද වීම වැනි පුරුදුවලින් මිදුණු ඩැනියල්ගේ අද්දැකීම මෙයට හොඳ නිදසුනකි. (රෝම 13:13; 2 කොරින්ති 7:1; ගලාති 5:19-21) ඇත්තෙන්ම, එවැනි පුරුදුවලින් සම්පූර්ණයෙන්ම මිදී “අලුත් පෞද්ගලිකත්වය” [NW] පැළඳගන්න නම්, ස්ථිර අධිෂ්ඨානයක් මෙන්ම නිරන්තර උත්සාහයක්ද අවශ්‍යයි. (එපීස 4:22-24) “අපි නිතරම අසම්පූර්ණත්වයේ බලපෑම්වලට මුහුණ දෙනවා. ඒ නිසා ඒක මට ලොකු අභියෝගයක් වුණා” කියා ඩැනියල් පැහැදිලි කර දෙයි. කොහොම වුණත්, ඔහු එම අභියෝගයෙන් ජයගත්තේය. දැන් ඩැනියල් දිනපතාම බයිබලය කියවන අතර යෙහෝවාට සමීප වීමට එය ඔහුට උපකාරයක් වී තිබේ.

ඩැනියල් කවදාවත් බයිබලය කියවා නොතිබුණත් ඔහු කුඩා කාලයේ සිටම බයිබලයට ගෞරවයක් දැක්වූ අතර පුරුද්දක් වශයෙන් සෑම රාත්‍රියකදීම දෙවිට යාච්ඤා කළේය. ඒත් ඔහුට නිතරම හැඟුණේ ඔහුගේ ජීවිතයේ යම් අඩුවක් තිබෙනවා කියාය. ඇත්තෙන්ම ඔහු සන්තෝෂය කියන්නේ කුමක්ද කියා අද්දැක නොතිබුණේය. නමුත් බයිබලය තුළ දෙවිගේ නාමය දුටු මොහොතේ සිට ඔහුගේ ජීවිතයේ විශාල වෙනසක් ඇති විය. (නික්මයාම 6:3; ගීතාවලිය 83:17) එදා පටන් ඔහු යෙහෝවා යන නාමය භාවිත කරමින් යාච්ඤා කළ අතර එතුළින් ඔහු දෙවිට වඩාත් සමීප වෙන බව ඔහුට හැඟුණේය. “එදා ඉඳන් වෙන කිසිම කෙනෙකුට වඩා මම යෙහෝවාට ළං වෙන්න පටන්ගත්තා. ඔහු දැන් මගේ හොඳම මිතුරා කියලා මට කියන්න පුළුවන්.”

බයිබලය අධ්‍යයනය කිරීමට පෙර ඩැනියල් සිටියේ අනාගතය ගැන බලාපොරොත්තු රහිතවය. “ඕනෑම කෙනෙකුට තේරෙනවා ලෝකය හැරෙන්නේ මොන පැත්තටද කියලා. මගේ හිතේ පුදුම භයක් තිබුණා. ඒ භය හිතෙන් අයින් කරගන්න මං පුළුවන් තරම් කාර්ය බහුලව ඉන්න බැලුවා” කියා පවසමින් ඩැනියල් ඔහුගේ තත්වය විස්තර කර දෙන්නේය. ඒත්, දෙවි සියලුදෙනාටම යුක්තිය ඉෂ්ට කරන බවත්, කීකරු ජනයාට සාමය හා සන්තෝෂය සදාකාලයටම භුක්ති විඳිය හැකි පවිත්‍ර කරන ලද නව ලොවක් උදා කර දෙන බවත් පසුව ඔහුට දැනගන්න ලැබිණ. (ගීතාවලිය 37:10, 11; දානියෙල් 2:44, 45ආ; එළිදරව් 21:3, 4) දැන් ඩැනියල් ජීවත් වන්නේ ස්ථිර බලාපොරොත්තුවක් ඇතුවයි. කිසිම සැකයකින් තොරව අනාගතය දෙස බැලීමට බයිබලය ඔහුට උපකාර කර තිබේ.

කැලඹීමට පත් වූ විට

ජෝර්ජ්ගේ මව මිය යන විට ඔහුට වයස අවුරුදු හතකි. ඔහු හැමදාම රෑට නිදාගත්තේ පහුවදා නැඟිටින්නේ නැති වෙයි යන බියෙනි. “සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය” පැමිණෙන බව පවසමින් මරණය හා නැවත නැඟිටීම පිළිබඳව යේසුස් දුන් පොරොන්දුව දිනක් ඔහුට කියවන්න ලැබිණ. “නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය” යන යේසුස්ගේ වදන් ඔහුට විශේෂයෙන්ම සහනයක් ගෙන දුන්නේය. (යොහන් 5:28, 29; 11:25) එම වදන් සාධාරණ, තර්කානුකූල හා සැනසිලිදායක ඒවා බව ඔහුට හැඟුණේය. “මේක විශ්වාස කළ හැකි සත්‍යයක් විතරක් නෙවෙයි, ඒකෙන් හිතට ලොකු සහනයකුත් ලැබෙනවා” කියා ජෝර්ජ් පවසයි.

අප කලින් සඳහන් කළ ඩැනියල්ටද යම් ආකාරයක බියක් දැනුණේය. ඔහුගේ මවට ඔහුව තනියෙන් හදා වඩා ගන්න බැරි වූ නිසා ඔහු ළමා කාලය ගත කළේ අනාථ නිවාසවලය. පවුලක් තුළ අද්දකින ආදරය හා සුරක්ෂිතබව ඔහු කිසිදා අද්දැක නොතිබුණ නිසා ඔහුට නිතරම හැඟුණේ ඔහු තනි වී ඇති බවයි. නමුත් බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත් විට ඔහුගේ තනිකමේ හැඟීම නැති වී ගියේය. ඩැනියල් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කිරීමට පටන්ගත් අතර ඔහු දැන් එම ආත්මික පවුලේ සාමාජිකයෙකි. එම පවුලේ අය ඔහුව පිළිගෙන තිබෙන අතර ඔහුට කිසිදා නොලැබුණු ආදරයක් ඔවුන්ගෙන් ලැබී ඇත. ඇත්තෙන්ම, බයිබලය ප්‍රායෝගික පොතක් විතරක් නොවේ, එය අපේ චිත්තවේගීය අවශ්‍යතාවන් පවා සපුරාලයි.

යෙහෝවා අපේ සිතේ තිබෙන දේ දන්නා අතර ඔහු අපට අවශ්‍ය වන්නේ කුමක්ද කියාත් දන්නා බව මින් පැහැදිලියි. ඔව්, දෙවි ‘සිත් කිරා බලමින්’ “එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙස” ප්‍රතිඵල දෙන්නේය.—හිතෝපදේශ 21:2; යෙරෙමියා 17:10.

පවුල් ජීවිතයට ප්‍රායෝගික අත්වැලක්

මානව සබඳතා පවත්වාගැනීම පිළිබඳවත් බයිබලය ප්‍රායෝගික උපදෙස් සපයයි. “වරදවා වටහාගැනීම්වලට හා එක එක අය එක්ක ඇති වෙන ඝට්ටනවලට මුහුණ දෙන එක තමයි අමාරුම දේ” කියා ජෝර්ජ් පවසයි. ඔහු එවැනි තත්වයන්ට මුහුණ දෙන්නේ කෙසේද? “මට හිතෙනවා නම් මං කාගේ හරි හිත රිද්දුවා කියලා ‘ඔබේ සහෝදරයා හා සමගි වෙන්න’ කියලා මතෙව් 5:23, 24 තියෙන පැහැදිලි උපදෙස් මං ක්‍රියාවට නංවනවා. ඇත්තෙන්ම ඇති වෙච්ච ප්‍රශ්නය ගැන කතා කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එහෙම කළාම බයිබලයේ සඳහන් කරලා තියෙන විදිහටම දෙවි දෙන සමාදානය ලැබෙනවා කියලා මට තේරෙනවා. ඇත්තෙන්ම බයිබල් උපදෙස් කවදාවත් වරදින්නේ නෑ” කියා ජෝර්ජ් පිළිතුරු දෙන්නේය.—පිලිප්පි 4:6, 7.

පුරුෂයා හා භාර්යාව අතර එකඟ නොවීමක් ඇති වූ විට දෙදෙනාම ‘ඇසීමට ඉක්මන් වී, කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද විය’ යුතුයි. (යාකොබ් 1:19) එම උපදෙස් පිළිපැදීමෙන් දෙදෙනා අතර අදහස් හුවමාරුව වැඩිදියුණු කරගත හැක. “මං බයිබලයේ කියලා තියෙන විදිහට මගේම මාංශයට මෙන් මගේ භාර්යාවට ප්‍රේම කරනකොට, මට ගරු කරන්න මගේ භාර්යාවට වඩා පහසුයි කියලා මට තේරෙනවා” කියා ජෝර්ජ් තවදුරටත් විස්තර කරන්නේය. (එපීස 5:28-33) ඔව්, අපේම දුර්වලතා හඳුනාගැනීමටත්, අන්‍යයන්ගේ දුර්වලතා සමඟ සාර්ථකව කටයුතු කරන්නත් බයිබලය අපට උපකාරවත් වේ.

කිසිදා නොවරදින උපදෙස්

“නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් [යෙහෝවා] කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී [ඔහුව] සලකන්න, එවිට [ඔහු] නුඹේ මාවත් සමතලාකරනවා ඇත” යනුවෙන් ප්‍රඥාවන්ත සාලමොන් රජ උපදෙස් දුන්නේය. (හිතෝපදේශ 3:5, 6) එම වචන හරිම සරලයි. නමුත් කොතරම් අරුත්බරද!

ඔව්, යහපත් බලපෑමක් ඇති කිරීමට බයිබලයට බලය ඇත. දෙවිට ප්‍රේම කරන සියලුදෙනාටම ඔහුගේ කැමැත්තට එකඟව ජීවත් වීමටත්, ‘යෙහෝවාගේ ව්‍යවස්ථාවෙහි හැසිරීමෙන්’ සතුට අත් කරගැනීමටත් එය උපකාරවත් වේ. (ගීතාවලිය 119:1) අප කුමන තත්වයකට මුහුණ දුන්නත් ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම බයිබලය තුළින් අපට සොයාගත හැක. (යෙසායා 48:17, 18) එමනිසා දිනපතාම එය කියවන්න. ඔබ කියවන දේ මත මෙනෙහි කරමින් එහි උපදෙස් ඔබේ ජීවිතයට අදාළ කරගන්න. එවිට ඔබේ ශුභසිද්ධියට දායක වන නිර්මල දේවල් මත සිතුවිලි නාභිගත කරගැනීමට ඔබට හැකි වේ. (පිලිප්පි 4:8, 9) ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඉගෙනගන්නවාට අමතරව ජීවිතයේ උල්පත වන අපේ මැවුම්කරුට ප්‍රේමය දක්වන ආකාරයත් ඔබ ඉගෙනගනු ඇත.

එවැනි ක්‍රියා කලාපයක් අනුගමනය කිරීමෙන්, මිලියන ගණන්දෙනෙකු අද්දැක තිබෙන්නාක් මෙන්, බයිබලය හොඳ පොතක් විතරක් නොව, නමුත් සාර්ථක දිවි පෙවෙතකට එකම මඟ බවත් ඔබ අද්දකින බව අපට නිසැකයි!

[6වන පිටුවේ පින්තූරය]

හානිකර පුරුදුවලින් මිදීමට ඇති ඔබේ අදිටන ස්ථිර කරගැනීමට අවශ්‍ය ශක්තිය බයිබලයෙන් ලබාගත හැක

[7වන පිටුවේ පින්තූරය]

දෙවිට සමීප වන්නේ කෙසේද යන්න පිළිබඳව බයිබලය අපට මඟ පෙන්වීම සපයයි