Skip to content

පටුනට යන්න

භක්ත්‍යාදරය හිමි වුවත් වෛරයට ලක් වූ බයිබලය

භක්ත්‍යාදරය හිමි වුවත් වෛරයට ලක් වූ බයිබලය

භක්ත්‍යාදරය හිමි වුවත් වෛරයට ලක් වූ බයිබලය

“මගේ හෘදයාංගම ආශාව වන්නේ ශුද්ධ ලියවිලි සෑම භාෂාවකටම පරිවර්තනය වෙනවා දැකීමයි.” එසේ ලීවේ 16වන සියවසේ ප්‍රසිද්ධ විශාරදයෙකු වූ ඩෙසිඩෙර්යස් ඉරැස්මස්ය.

සියලුම ජනයාට ශුද්ධ ලියවිලි කියවා තේරුම්ගත හැකි කාලය උදා වන තෙක් ඉරැස්මස් ඉතා උනන්දුවෙන් බලා සිටියේය. කෙසේවෙතත්, බයිබලයට සතුරුකම් පෑ අය එම අදහස එක හෙළා ප්‍රතික්ෂේප කළහ. ඇත්ත වශයෙන්ම, ඒ වන විට යුරෝපයට ඉතා බිහිසුණු යුගයක් උදා වී තිබිණ. එය කොතරම් භයංකරද කිවහොත් බයිබලය ගැන සුළු වශයෙන් හෝ උනන්දුවක් දැක්වූ අයට දරුණු ප්‍රතිඵල අද්දැකීමට සිදු විය. මෙයට සාක්ෂියක් වශයෙන් එංගලන්තයේ පාර්ලිමේන්තුව මගින් ක්‍රියාවට නැංවූ පනතක සඳහන් වූ දේ සලකා බලන්න. “ඉංග්‍රීසි භාෂාවෙන් ශුද්ධ ලියවිලි කියවන සියලුදෙනාගේම ඉඩම්, බඩුබාහිරාදිය හා ජීවිත පවා අහිමි කළ යුතු” බවත්, “ඔවුන් හිතුවක්කාර ලෙස ක්‍රියා කළොත් හෝ සමාව දීමෙන් පසුව නැවතත් එම වරදම සිදු කළොත්, මුලින්ම ඔවුන්ව රාජ්‍ය ද්‍රෝහීන් වශයෙන් එල්ලා මරා දැමිය යුතු බවත්, පසුව දේවඅපහාසකයන් වශයෙන් ඔවුන්ගේ මළ සිරුරු පුලුස්සා දැමිය යුතු” බවත් එහි අණ කර තිබිණ.

කතෝලික අධර්ම මර්දනාධිකරණය මුළු යුරෝපය පුරාම සිටි ප්‍රංශ ජාතික වොල්ඩන්ස්සස් වැනි “මිථ්‍යා ලබ්ධික” නිකායන්ට අයත් ජනයාව හිතක් පපුවක් නැතුව පීඩාවට ලක් කළේය. ඔවුන්ට මෙසේ පීඩා කළේ මන්ද? “ගිහි ජීවිතයක් ගත කළ අයට දේශනා කිරීම හා ශුද්ධ ලියවිලි කියවා තේරුම් කර දීම තහනම් කර [තිබියදී] ඔවුන් සුවිශේෂ වාර්තාවල, අලුත් ගිවිසුමට අයත් ලිපිවල හා ශුද්ධ ලියවිල්ලේ වෙනත් පොත්වල” තිබූ පණිවිඩය අන් අයට දේශනා කළ නිසාය. බයිබලය කෙරෙහි දැක්වූ ඇල්ම නිසා පුරුෂයන් හා ස්ත්‍රීන් ගණන් කළ නොහැකි සංඛ්‍යාවක් ඉතා දරුණු හිංසා පීඩාවලට මෙන්ම මරණයට පවා ලක් වූහ. පරමණ්ඩල යාච්ඤාව කීම, දස පනත කටපාඩම් කිරීම හෝ ඒවා තම දරුවන්ට ඉගැන්වීම වැනි සුළු දෙයකින් පවා ඔවුන්ට කෲර දඬුවම් අත් විඳීමට ඉඩ තිබිණ.

බයිබලයට තිබූ එම භක්ත්‍යාදරය උතුරු අමෙරිකාවට ගොස් පදිංචි වූ බොහෝදෙනෙකුගේ හදවත් තුළ නොනිවී පැවතිණ. ඒ කාලයේදී අමෙරිකාවේ “ආගම හා කියවීම ජනයාගේ ජීවිතයේ අනිවාර්යය අංගයක් බවට පත් වී තිබූ අතර, බයිබලය ගැන පුළුල් දැනුමක් වර්ධනය කරගැනීමට දිරිගැන්වූ සංස්කෘතියක් මත එය පදනම් වූ” බව එක් මූලාශ්‍රයක (A History of Private Life—Passions of the Renaissance) සඳහන් වේ. නිදසුනකට 1767දී බොස්ටන්හි ප්‍රකාශයට පත් කරන ලද එක්තරා දේශනයක, “ශුද්ධ ලියවිලි දිනපතා කියවීමට මැළි නොවන්න. අතපසු නොකර උදේටත් සවසටත් ඔබේ බයිබලයෙන් පරිච්ඡේදයක් කියවන්න” යනුවෙන් උනන්දු කර තිබිණ.

කැලිෆෝනියාවේ වෙන්චූරාහි, බානා යන නමින් හැඳින්වෙන පර්යේෂණ ආයතනයක් පවසන පරිදි, අමෙරිකාවේ සියයට 90කට වැඩි පිරිසකට අඩුම වශයෙන් බයිබල් තුනක් බැගින් තිබේ. නමුත් මෑතකදී කළ අධ්‍යයනයකින් හෙළි වූයේ, බයිබලය තවමත් භක්ත්‍යාදරයෙන් සැලකුවත් “එය කියවීමට, අධ්‍යයනය කිරීමට හා එහි උපදෙස් අදාළ කරගැනීමට දැන් කාලය ගන්නේ . . . නැති” බවය. බහුතරයකට බයිබලය පිළිබඳව තිබෙන්නේ අල්ප දැනුමකි. “[බයිබලය] වත්මන් ජීවිතයට ප්‍රයෝජනවත් විය හැකි බව ජනයා සිතන්න පෙලඹෙන්නේ කලාතුරකින්” බව පවසමින් එක් පුවත්පත් කලාවේදියෙක් තත්වය පැහැදිලි කර දුන්නේය.

ලෞකික චින්තනයේ අස්ථිරභාවය

අප එකිනෙකා සමඟ සහයෝගයෙන් හා සමගියෙන් කටයුතු කළොත් සාර්ථක දිවියක් ගත කළ හැකියි යන්න ජනප්‍රිය මතයකි. බයිබලය නිකම්ම ආගමික අදහස් ඉදිරිපත් කරන හා විවිධ පුද්ගලයන්ගේ අද්දැකීම් සඳහන් වන ග්‍රන්ථ අතරින් එකක් පමණක් බවත්, එහි සත්‍ය කාරණා හා තොරතුරු නොමැති බවත් බොහෝදෙනාගේ පිළිගැනීම වේ.

එසේ නම් ජීවිතයේ එන්න එන්නම වැඩි වන සංකීර්ණ ගැටලු සමඟ ජනයා කටයුතු කරන්නේ කෙසේද? තමන්ට මඟ පෙන්වීමට ස්ථිර සදාචාරාත්මක හා ආගමික ප්‍රමිති නොමැති නිසා ඔවුහු ආත්මික වශයෙන් මළ තත්වයක සිටිති. ඔවුහු සුක්කානමක් නොමැති නැවක් හා සමානව, “මනුෂ්‍යයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපායෙන්ද හටගන්න සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඈත මෑත වීසිවෙමින්” සිටිති.—එපීස 4:14.

එසේ නම්, අප අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තිබේ. බයිබලය තවත් ආගමික ග්‍රන්ථයක් පමණක්ද? එසේත් නැත්නම්, එය ඇත්තෙන්ම ප්‍රායෝගික මෙන්ම අතිවැදගත් තොරතුරු ඇතුළත් දෙවිගේ වචනයද? (2 තිමෝති 3:16) අප බයිබලය ගැන තොරතුරු සොයා බැලිය යුතුද? ඊළඟ ලිපියේ එම ප්‍රශ්නවලට පිළිතුරු සැපයේ.

[3වන පිටුවේ පින්තූරය]

ඩෙසිඩෙර්යස් ඉරැස්මස්

[හිමිකම් විස්තර]

Deutsche Kulturgeschichte නමැති පොත ආශ්‍රිතයෙනි

[4වන පිටුවේ පින්තූරය]

වොල්ඩන්ස්සස් හිංසා පීඩාවලට ලක් වූයේ ශුද්ධ ලියවිලි මත පදනම් වූ තම දේශනා කිරීමේ වැඩ කටයුතු නිසාය

[හිමිකම් විස්තර]

Stichting Atlas van Stolk, Rotterdam