Skip to content

පටුනට යන්න

යෙහෝවා ඔහුගේ සෙනඟට විවේක නිකේතනයක් සපයයි

යෙහෝවා ඔහුගේ සෙනඟට විවේක නිකේතනයක් සපයයි

රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව

යෙහෝවා ඔහුගේ සෙනඟට විවේක නිකේතනයක් සපයයි

කඳුකර ප්‍රදේශයක ගමන් කරන විඩාබර සංචාරකයෙකුට සිහිල් සුළං හමා යන සෙවණක් ඇති විවේක ස්ථානයකට පැමිණීම ප්‍රබෝධවත් අද්දැකීමක් වනු ඇත. මෙවැනි විවේක ස්ථාන නේපාලයේ හඳුන්වන්නේ චෞටාරා යන නමිනි. සාමාන්‍යයෙන් චෞටාරා දැකගත හැක්කේ සරුසාරව වැඩෙන නුග ගස් අසලය. ඇත්තෙන්ම, නුග සෙවණ වාඩි වී සිටීමට හා විවේක සුවය විඳීමට හොඳ තැනකි. චෞටාරා තනන බොහෝදෙනෙකු කරන්නේ ඉතා කාරුණික ක්‍රියාවකි. එනමුත් මෙයින් සෙවණ ලබන්නන්ට ඒවා තැනුවේ කවුරුද යන්න රහසක්ව පවතී.

මෙම පවතින ක්‍රමයේ දිගු ගමනක යෙදෙන විඩාබර “සංචාරකයන්” බොහෝදෙනෙකුට යෙහෝවා දෙවි ප්‍රීතියේ හා ආත්මික ප්‍රබෝධයේ උල්පතක් වී තිබෙන බවට නේපාලයේ අද්දැකීම් කීපයකින් සාක්ෂි ලැබේ.—ගීතාවලිය 23:2.

• හිමාල කඳුවැටියේ සුදෝ සුදුවන් හිමෙන් වැසුණු කඳු ශිඛර, පොක්හාරා නගරය තුළ දිස් වන්නේ සොබාදහමේ සුන්දර අභිෂේකයක් ලෙසය. ලිල් කුමාරි ජීවත් වන්නේ මෙම සොඳුරු පරිසරයේය. දිළිඳුකම කරපින්නාගෙන සිටි ඇයට කවදාවත්ම ජීවිතය දෙස ශුභවාදීව බැලීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඇය ඇගේ පවුලේ ආර්ථික ප්‍රශ්න ගැන බොහෝ සෙයින් ලත වූවාය. දිනක් ඇගේ නිවසට යෙහෝවාගේ සාක්ෂිකරුවන් පැමිණ බයිබලයේ අඩංගු දීප්තිමත් බලාපොරොත්තුව ගැන ඇයට පැවසුවාය. එය ඇගේ සිතට ගැඹුරින් කාවැදුණු අතර, තමා සමඟ ගෘහ බයිබල් පාඩමක් පවත්වන ලෙස ඇය ඔවුන්ගෙන් විගස ඉල්ලා සිටියාය.

නමුත් ලිල් කුමාරිට බයිබල් පාඩම කරගෙන යෑමට සිදු වූයේ ඇගේ පවුලේ අයගෙන් පැමිණි දැඩි විරුද්ධතා මධ්‍යයෙහිය. එහෙත් කිසිම බාධකයකට යට නොවූ ඇය පාඩම තුළින් අසීමිත සතුටක් ලැබුවාය. තවද ඇය සියලුම රැස්වීම්වලට සහභාගි වූ අතර ඉගෙනගත් සියලුම ප්‍රතිපත්ති ජීවිතයට අදාළ කරගත්තාය. ඇය විශේෂ වෑයමක් දැරුවේ භාර්යාව පුරුෂයාට යටත්ව සිටිය යුතුයි යන ප්‍රතිපත්තිය අදාළ කරගැනීමටය. මේ නිසා ලිල් කුමාරි කරගෙන ගිය බයිබල් පාඩම මුළු පවුලටම ප්‍රයෝජන අත් කර දෙන බව අවසානයේදී ඇගේ ස්වාමිපුරුෂයා හා මව වටහාගත්හ.

දැන් ඇගේ ස්වාමිපුරුෂයා හා නෑදෑයන් කිහිපදෙනෙකුම දෙවිගේ වචනය පාඩම් කිරීමට පටන්ගෙන ඇත. මෑතකදී පොක්හාරාහි පැවැත්වූ එක්රැස්වීමකදී ලිල් කුමාරි අසීමිත සතුටක් ලැබුවාය. ඊට හේතුව ඇගේ නෑදෑයන් 15දෙනෙකු එයට සහභාගි වීමය. ඇය මෙසේ පැවසුවාය. “අපේ මුළු පවුලම සැබෑ නමස්කාරයේ යෙදෙන නිසා දැන් පවුලේ එකමුතුකමක් තියෙනවා විතරක් නෙවෙයි මගේ හිතට ලොකු සහනයකුත් දැනෙනවා. දැන් මගේ නිවස හරියට විවේක ස්ථානයක් වගෙයි.”

• කුලභේදය නීති විරෝධී වුවත්, එය චණ්ඩ මාරුතයක් මෙන් නේපාලයේ සිටින මිනිසුන්ගේ ජීවිතවලට බලපෑම් කර ඇත. එමනිසා, සමානත්වය හා තරාතිරම් නොබැලීම පිළිබඳව බයිබලය දරන අදහස් දැනගැනීමට මිනිසුන් දැඩි උනන්දුවක් දක්වා ඇත. “තරාතිරම් නොබලන” දෙවි ගැන දැනගැනීමට ලැබීම නිසා සූර්යා මායාගේ හා ඇගේ පවුලේ අයගේ ජීවිත තුළ සැබෑ වෙනසක් ඇති විය.—ක්‍රියා 10:34.

කුලභේදය නිසා සිදු වන අසාධාරණයෙන් මිරිකී, පාරම්පරික සිරිත් විරිත් තුළ සිර වී සිටි සූර්යා මායා අනන්ත අප්‍රමාණ දුක් පීඩාවන්ට ලක් වූවාය. මේ හේතුවෙන් භක්තිවන්ත කාන්තාවක් වූ සූර්යා මායා ඇගේ පිළිම දෙවිවරුන්ට වසර ගණනාවක් පුරා අයැදිමින් බොහෝ සෙයින් ආයාචනා කළාය. නමුත් ඇගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණේ නැත. දිනක් ඇය හැඬූ කඳුළින් උපකාරය අයැදින විට, ඇගේ සය හැවිරිදි මිනිබිරිය වන බබීතා පැමිණ ඇගෙන් මෙසේ ප්‍රශ්න කළාය. “ඇයි ආච්චි අම්මා අඬ අඬා රූපවලින් උපකාර ඉල්ලන්නේ? රූපවලට පුළුවන්ද අපිට උපකාර කරන්න?”

බබීතාගේ මව යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබල් පාඩමක් කරමින් සිටියාය. බබීතා, ආච්චි අම්මාට ක්‍රිස්තියානි රැස්වීම්වලට එන්න කියා ඉතා ආසාවෙන් ආරාධනා කළාය. සූර්යා මායා ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණි අතර, විවිධ කුලවලට අයත් අය අගතිසහගත හැඟීම් පලවාහැර සහයෝගයෙන් හා සමඟියෙන් එකට කටයුතු කරනවා දැක පුදුමයට පත් විය. ඇය තමන් සමඟ විගස බයිබල් පාඩමක් පවත්වන ලෙස ඉල්ලා සිටියාය. නමුත් ඇය බයිබලය පාඩම් කිරීමට පටන්ගත් විට ඇගේ අසල්වැසියන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඔවුන් ඇය වෙත එල්ල කළ චෝදනා හා අපහාසවලින් ඇය අධෛර්යයට පත් නොවීය. තවද ඇයට එතරම් හොඳට කියවීමට හා ලිවීමට නොහැකි වුවත් ඇය දිගටම ආත්මික ප්‍රගතියක් ලැබුවාය.

එදා පටන් වසර අටක් දැන් ගෙවී ගොස් ඇති අතර, ඇගේ ස්වාමිපුරුෂයා හා දරුවන් තිදෙනෙකු ඇතුළුව සාමාජිකයන් හයදෙනෙකු යෙහෝවාගේ සාක්ෂිකාරයන් වී තිබේ. දැන් සූර්යා මායා ස්ථාවර පුරෝගාමියක් වශයෙන් පූර්ණ කාලීන සේවයෙහි නිරත වන අතර, තමන් උසුලාගෙන සිටින බර ඉවත් කරගැනීමටත් යෙහෝවා සපයන විවේක නිකේතනයට පැමිණීමටත් අනික් අයට ඇය ප්‍රීතියෙන් උදව් කරමින් සිටී.