Skip to content

පටුනට යන්න

යෙහෝවා වෙහෙසවූවන්ව ශක්තිමත් කරයි

යෙහෝවා වෙහෙසවූවන්ව ශක්තිමත් කරයි

යෙහෝවා වෙහෙසවූවන්ව ශක්තිමත් කරයි

‘යෙහෝවා ක්ලාන්ත වූ අයට [වෙහෙසවූවන්ට, NW] ශක්තිය දෙයි. බලය නැත්තාගේ සවිය වැඩි කරයි.’—යෙසායා 40:29.

1. දෙවි මවා තිබෙන දේවල අඩංගු ශක්තිය පැහැදිලි කරන්න.

 යෙහෝවා සතු බලය අසීමිතයි. ඔහු මවා තිබෙන දේවල මොනතරම් බලයක් අඩංගු වෙනවාද! සෑම ද්‍රව්‍යයකම අඩංගු වන ඉතා කුඩා පරමාණුව මොනතරම් කුඩාද කියනවා නම්, එක ජල බින්දුවක පරමාණු සිය බිලියන බිලියනයක් තිබෙනවා. a පොළොව මත වෙසෙන සියලුම ජීවීන් රඳා පවතින්නේ සූර්යයා තුළ සිදු වන පරමාණුක ප්‍රතික්‍රියාවලින් නිකුත් වන ශක්තිය මතයි. පොළොව මත ජීවයේ අඛණ්ඩ පැවැත්ම සඳහා කොතරම් සූර්ය ශක්තියක් අවශ්‍යද? සූර්යයා මගින් නිපදවන අතිවිශාල බලශක්ති ප්‍රමාණයෙන් පොළොවට ලැබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. කෙසේවෙතත්, සූර්යයාගෙන් පොළොවට ලැබෙන එම කුඩා ශක්ති ප්‍රමාණය, ලෝකයේ තිබෙන කර්මාන්ත ශාලාවල යොදාගන්න මුළු බලශක්තිය හා සසඳද්දී මැනිය නොහැකි තරම් අතිවිශාලයි.

2. මූලිකව ගත් කල යෙසායා 40:26 යෙහෝවාගේ බලය ගැන පවසන්නේ කුමක්ද?

2 අපි පරමාණුව ගැන කල්පනා කළත්, අතිවිශාල විශ්වය ගැන කල්පනා කළත් යෙහෝවාගේ ගරුබිය දනවන බලය අපේ සිත්වලට ගැඹුරින් කාවදියි. එනිසා අනාගතවක්තෘ යෙසායා මෙසේ පැවසීම ගැන පුදුම විය යුතු නැහැ. ‘නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලන්න. මේවා මැව්වෙත් මේවායේ සේනාව ගණන් වශයෙන් පිටතට පමුණුවන්නෙත් කවුද? ඔහු මේ සියල්ලට නම් කියා හඬගසයි. ඔහුගේ බලයේ මහත්කම නිසාද ඔහු ශක්තියෙන් බලවත් බැවින්ද එකක්වත් නෑවිත් නොතිබේ.’ (යෙසායා 40:26) ඔව්, යෙහෝවා “ශක්තියෙන් බලවත්” වන අතර, විශ්වයේ තිබෙන සෑම දෙයක්ම බිහිවීමට හේතු වූ “බලයේ” උල්පත ඔහුය.

සාමාන්‍යයට වඩා වැඩි බලයක් අවශ්‍යයි

3, 4. (අ) අපව වෙහෙසට පත් කරවන සමහර දේවල් මොනවාද? (ආ) සැලකිල්ල යොමු කළ යුතු ප්‍රශ්නය කුමක්ද?

3 අසීමිත බලයක් ඇති දෙවි මෙන් නොව මිනිසුන් වෙහෙසට පත් වෙයි. අපි යන සෑම තැනකම දකින්නේ වෙහෙසට පත්ව සිටින මිනිසුන්වයි. ඔවුන් අවදි වන්නේ වෙහෙසට පත්වයි. වැඩට හෝ පාසැලට යන්නෙත් වෙහෙසට පත්වයි. ආපසු ගෙදර එන්නෙත් වෙහෙසට පත්වයි. රෑ නින්දට යන්නේ හොඳටම හෙම්බත් වෙලයි. කොහේ හරි ගිහිල්ලා ටික දවසක් විවේකයෙන් ඉන්න තියෙනවා නම් කොච්චර හොඳද කියා සමහරුන් සිතනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් හැටියට දේවභක්තික ජීවිතයක් ගත කිරීමේදී දැඩි වීර්යයක් දැරීමට සිදු වන නිසා අපත් වෙහෙසට පත් වෙනවා. (මාර්ක් 6:30, 31; ලූක් 13:24; 1 තිමෝති 4:8) ඊට අමතරව, අපේ ශක්තිය වැය කිරීමට සිදු වන තවත් බොහෝ දේවල් තිබෙනවා.

4 අපි ක්‍රිස්තියානීන් ලෙස ජීවත් වුවත්, පොදුවේ මිනිසුන් අද්දකින ගැටලුවලින් අපි නිදහස් නැහැ. (යෝබ් 14:1) අසනීප, ආර්ථික ගැටලු හා අප පොදුවේ අද්දකින දුෂ්කරතා නිසා අපත් අධෛර්යයට පත්ව ක්ලාන්ත විය හැකියි. මේ ගැටලු පමණක් නොවෙයි, ධර්මිෂ්ඨ ලෙස ජීවත් වීමට වෑයම් කිරීම නිසා මුහුණ පෑමට සිදු වන හිංසා පීඩාද අපට අද්දකින්න සිදු වෙනවා. (2 තිමෝති 3:12; 1 පේතෘස් 3:14) දිනපතා ලෝකයෙන් එල්ල වන පීඩන හා රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමේදී මුහුණ දීමට සිදු වන විරුද්ධවාදිකම් නිසා අපගෙන් සමහරදෙනෙකු මොනතරම් වෙහෙසට පත් විය හැකිද කියනවා නම්, අපි යෙහෝවාට කරන සේවය අඩු කළොත් හොඳයි කියා ඔවුන්ට හැඟෙන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි, අපි දෙවිට අඛණ්ඩව සේවය කිරීම අත්හැර දැමීමට සැලැස්වීම සඳහා සාතන් ඔහුගේ පාලනය යටතේ තිබෙන සෑම දෙයක්ම යොදාගනිමින් සිටිනවා. මේ නිසා වෙහෙසට පත්වීමෙන් හා අත්හැර යෑමෙන් වැළකීම සඳහා අපට අවශ්‍ය ආත්මික ශක්තිය ලබාගත හැක්කේ කෙසේද?

5. දේවසේවය දිගටම කරගෙන යෑම සඳහා මිනිස් ශක්තියට වඩා වැඩි යමක් අවශ්‍ය වන්නේ ඇයි?

5 ආත්මික ශක්තිය ලබාගැනීම සඳහා අපි සියලු බලැති මැවුම්කරු වන යෙහෝවා මත රඳා සිටිය යුතුයි. ක්‍රිස්තියානි දේවසේවය කරගෙන යෑම සඳහා, අසම්පූර්ණ මිනිසුන් සතු සාමාන්‍ය බලයට වඩා වැඩි බලයක් අවශ්‍ය බව පාවුල් පෙන්වා දුන්නා. මේ ගැන ඔහු මෙසේ ලිව්වා. “ඒ බලයේ ඉතා උතුම්කම [සාමාන්‍ය ඉක්මවූ බලය, NW] අපට නොව [දෙවිට] අයිති වන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමු.” (2 කොරින්ති 4:7) ආලේප ලත් ක්‍රිස්තියානීන් භූමික බලාපොරොත්තුවක් තිබෙන ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන්ගේ සහයෝගය ඇතුව “සමගිකිරීමේ සේවය” කරගෙන යයි. (2 කොරින්ති 5:18; යොහන් 10:16; එළිදරව් 7:9) අසම්පූර්ණ මිනිසුන් වන අපට දෙවිගේ සේවය කරගෙන යෑමට සිදු වී තිබෙන්නේ හිංසා පීඩා මැද නිසා මෙය අපේම ශක්තියෙන් කළ නොහැකියි. ඒ නිසා, යෙහෝවා ඔහුගේ ශුද්ධාත්මය මාර්ගයෙන් අපට උපකාර කරයි. මෙසේ, අපේ දුර්වලකම් තුළින් ඔහුගේ බලයේ උතුම්කම දැකගත හැකියි. ‘යෙහෝවා ධර්මිෂ්ඨයන්ට පිහිට වන’ බවට තිබෙන සහතිකය අපට මොනතරම් සැනසිල්ලක්ද!—ගීතාවලිය 37:17.

‘යෙහෝවා අපේ ශක්තියයි’

6. අපේ ශක්තියේ උල්පත යෙහෝවා බව පවසමින් ශුද්ධ ලියවිලි අප තුළ නිසැකකමක් ඇති කරන්නේ කෙසේද?

6 අපේ ස්වර්ගික පියා ‘බලයෙන් මහත්ය.’ අපට අවශ්‍ය ශක්තිය සැපයීම ඔහුට අමාරු දෙයක් නොවෙයි. ඔහු ගැන අපට මෙසේ කියවීමට තිබෙනවා. ‘යෙහෝවා ක්ලාන්ත වූ අයට [වෙහෙසවූවන්ට, NW] ශක්තිය දෙයි. බලය නැත්තාගේ සවිය වැඩි කරයි. තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙස වන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය. නමුත් යෙහෝවා ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය. ඔවුහු රාජාලීන් මෙන් පියාඹා නඟින්නෝය. ඔවුහු දුවන්නෝය. එහෙත් වෙහෙස නොවෙති. ඔවුහු ඇවිදින්නෝය. එහෙත් ක්ලාන්ත [වෙහෙසට පත්, NW] නොවෙති.’ (යෙසායා 40:29-31) අප මත එල්ල වන පීඩනය දවසින් දවස වැඩි වෙමින් පවතිනවා. මේ නිසා, තව අඩියක්වත් ඉදිරියට තැබිය නොහැකි බවත්, තමන් බිම ඇද වැටෙන්න ආසන්න බවත් හැඟෙන ධාවකයෙකුට හා සමානව ඇතැම් අවස්ථාවලදී අපටත් හැඟෙන්න පුළුවන්. එහෙත් ජීවනය සඳහා සඳහා වූ අපේ ධාවන තරඟයේ අවසන් රේඛාවට තව තිබෙන්නේ අඩි කිහිපයක් පමණයි. අපි කොහෙත්ම අත් නොහැරිය යුතුයි. (2 ලේකම් 29:11) “ගොරවන සිංහයෙකු මෙන්” ඔබමොබ ඇවිදිමින් සිටින අපේ විරුද්ධකාරයා වන යක්ෂයාට ඕනෑ කරන්නේ අපේ ධාවනය නතර කර දමන්නයි. (1 පේතෘස් 5:8) ‘යෙහෝවා අපේ ශක්තිය හා පලිහ’ බව අමතක නොකරමු. ඔහු ‘වෙහෙසවූවන්ට ශක්තිය දීමට’ අවශ්‍ය දේවල් නොමදව සපයා තිබෙනවා.—ගීතාවලිය 28:7.

7, 8. යෙහෝවා දාවිත්ව, හබක්කුක්ව හා පාවුල්ව ශක්තිමත් කළ බවට තිබෙන සාක්ෂි මොනවාද?

7 යෙහෝවා කඳු වැනි බාධක හමුවෙහි නොසැලී සිටීමට අවශ්‍ය ශක්තිය දාවිත්ට ලබා දුන්නා. මේ නිසා පූර්ණ ඇදහිල්ලකින් හා නිසැකකමකින් යුතුව දාවිත් මෙසේ ලිව්වා. “අපි දෙවිගෙන් ශක්තිය ලබාගන්නෙමු. අපේ සතුරන්ව පාගා දමන්නේ ඔහුය.” (ගීතාවලිය 60:12NW) අනාගතවක්තෘවරයෙකු හැටියට හබක්කුක්ගේ පැවරුම සම්පූර්ණ කිරීම සඳහා යෙහෝවා ඔහුටද ශක්තිය ලබා දුන්නා. ‘ස්වාමි වූ යෙහෝවා මාගේ ශක්තියය. ඔහු මාගේ පාද මුව දෙනුන්ගේ පාදවලට සමාන කොට මාගේ උසස්ථාන පිට යන්ට සලස්වන්නේය’ කියා හබක්කුක් 3:19හි සඳහන් වෙනවා. පාවුල්ගේ ආදර්ශයද අමතක කළ නොහැකියි. ඔහු මෙසේ ලිව්වා. “මා බලවත්කරන්නාවූ [තැනැත්තා] තුළ මට සියලුදේ කරන්ට පුළුවන [ශක්තිය තිබේ, NW].”—පිලිප්පි 4:13.

8 දාවිත්, හබක්කුක් හා පාවුල් මෙන් අපිත් අපව ශක්තිමත් කිරීමට දෙවි සතු හැකියාව කෙරෙහිත් අපව ගළවාගැනීමට ඔහු සතු බලය කෙරෙහිත් ඇදහිල්ල තබමු. අපේ ‘ශක්තියේ’ උල්පත පරමාධිපති ස්වාමි වූ යෙහෝවා බව මතක තබාගනිමින්, දෙවි බහුල ලෙස දී තිබෙන සැපයුම්වලින් ආත්මික ශක්තිය ලබාගත හැකි ආකාර කිහිපයක් ගැන අපි දැන් සලකා බලමු.

අපට ශක්තිය ලබා දෙන ආත්මික සැපයුම්

9. අපට ආත්මික ශක්තිය සැපයීමේදී ක්‍රිස්තියානි ප්‍රකාශනවලින් ඉටු කෙරෙන්නේ කිනම් කාර්යයක්ද?

9 ක්‍රිස්තියානි ප්‍රකාශනවල උපකාරය ඇතුව ශුද්ධ ලියවිලි උනන්දුවෙන් අධ්‍යයනය කිරීමෙන් අපේ ආත්මිකත්වය ශක්තිමත්ව තබාගත හැකියි. ගීතිකාකරු මෙසේ ගායනා කළා. ‘යෙහෝවාගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීති වන්නාවූ ඔහුගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහි කරන්නාවූ මනුෂ්‍යයා ආශීර්වාද ලද්දේය [සන්තෝෂවත් කෙනෙකි, NW]. ඔහු දිය ඇළවල් ළඟ හිඳවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. ඔහු කරන සියල්ල සඵල වෙයි.’ (ගීතාවලිය 1:2, 3) කායික ශක්තිය දිගටම පවත්වාගැනීම සඳහා අපි ආහාර ගත යුතුයි. ඒ හා සමානව අපේ ආත්මික ශක්තිය දිගටම පවත්වාගැනීම සඳහා අපි දෙවිගේ වචනය හා ක්‍රිස්තියානි ප්‍රකාශන මගින් සැපයෙන ආත්මික ආහාර ලබාගත යුතුයි. මේ සඳහා අර්ථවත් ලෙස කරන අධ්‍යයනය හා මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි.

10. අධ්‍යයනය හා මෙනෙහි කිරීම සඳහා අපට කුමන වේලාවන් යොදාගත හැකිද?

10 ‘දෙවි පිළිබඳ ගැඹුරු දේවල්’ මෙනෙහි කිරීමෙන් බොහෝ ප්‍රයෝජන අත් කරගත හැකියි. (1 කොරින්ති 2:10) නමුත් මෙනෙහි කිරීම සඳහා අපට යොදාගත හැක්කේ දවසේ කුමන වේලාවන්ද? ආබ්‍රහම්ගේ පුත් ඊසාක් “සවස් වේලෙහි කෙතේ මෙනෙහිකරන පිණිස [ගියා].” (උත්පත්ති 24:63-67) ගීතිකාකාර දාවිත් ‘රෑ යාම්වලදී දෙවි ගැන මෙනෙහි කළා.’ (ගීතාවලිය 63:5) අපටත් පුළුවන් උදෑසන හෝ සැන්දෑවේ හෝ රාත්‍රියේදී හෝ වෙන ඕනෑම වේලාවකදී හෝ දෙවිගේ වචනය අධ්‍යයනය කරමින් මෙනෙහි කරන්න. මෙසේ දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමෙන් හා මෙනෙහි කිරීමෙන්, යෙහෝවා ආත්මික ශක්තිය සපයන තවත් ආකාරයක් වන යාච්ඤාවට මඟ සැලසෙයි.

11. නිතිපතා යාච්ඤා කිරීම ඉතාමත් වැදගත් දෙයක් ලෙස සැලකිය යුත්තේ මන්ද?

11 ශක්තිය ලබාගැනීමට අපට උපකාරවත් වන තවත් දෙයක් වන්නේ දෙවිට නිතිපතා කරන යාච්ඤාවයි. එනිසා අපි ‘නොකඩවා යාච්ඤා කරමු.’ (රෝම 12:12) ඇතැම් අවස්ථාවලදී, යම් පරීක්ෂණයක් සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා විශේෂයෙන් ප්‍රඥාව සහ ශක්තිය ඉල්ලා යාච්ඤා කිරීමට අපට සිදු වෙයි. (යාකොබ් 1:5-8) දෙවිගේ අරමුණු ඉටු වන ආකාරය අපේ අවධානයට ලක් වන විටත්, ඔහුගේ සේවය දිගටම කරගෙන යෑම සඳහා ඔහු අපව ශක්තිමත් කරන ආකාරය දකින විටත්, අපි ඔහුට ස්තුති කරමින් ප්‍රශංසා කරමු. (පිලිප්පි 4:6, 7) අපි යාච්ඤාවෙන් යෙහෝවාට ළං වන විට, ඔහු කවදාවත් අපව අත්හරින්නේ නැහැ. ‘බලව, දෙවි මාගේ උපකාරකයාය’ කියා දාවිත් ගායනා කළේ එනිසයි.—ගීතාවලිය 54:4.

12. අපි දෙවිගෙන් ශුද්ධාත්මය ඉල්ලිය යුත්තේ මන්ද?

12 අපේ ස්වර්ගික පියා ඔහුගේ ශුද්ධාත්මය නොහොත් ක්‍රියාකාරික බලය යොදාගනිමින් අපව ශක්තිමත් කරනවා. මේ ගැන පාවුල් මෙසේ ලිව්වා. ‘පියාට මම මාගේ දණ නමා, ඔහුගේ ආත්මය කරණකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිස, ඔහුගේ මහිමයේ සම්පතේ හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤා කරමි.’ (එපීස 3:14-16, 19) යෙහෝවා ශුද්ධාත්මය සැපයීමෙන් අපට උපකාර කරන බවට වූ නිසැකකමින් යුතුව අපි ඒ සඳහා යාච්ඤා කළ යුතුයි. මේ කාරණය යේසුස් මෙසේ ඒත්තුගැන්වුවා. දරුවෙකු මාළුවෙකු ඉල්ලන විට ප්‍රේමනීය පියෙක් ඔහුට සර්පයෙකු දෙයිද? කොහෙත්ම නැහැ. ඔහු මෙසේ තර්කානුකූලව මූලික කාරණයට පිවිසියා. “නපුරුවූ [පව්කාර වූ] නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිව් නම්, කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය [පියා තමන්ගෙන්] ඉල්ලන්නන්ට ශුද්ධාත්මය [නොදෙන්නේද?]” (ලූක් 11:11-13) එසේ නම්, එවන් නිසැකකමක් ඇතුව අපිත් යාච්ඤා කරමු. දෙවිට ඔහුගේ ඇදහිලිවන්ත සේවකයන්ව සිය ආත්මය මගින් ‘බලවත්’ කළ හැකි බව සැමවිටම මතක තබාගනිමු.

ශක්තිය සපයන ආධාරකයක් වන සභාව

13. අපි ක්‍රිස්තියානි රැස්වීම් සැලකිය යුත්තේ කෙසේද?

13 ක්‍රිස්තියානි රැස්වීම්, යෙහෝවා අපව ශක්තිමත් කිරීමට යොදාගන්න තවත් මාර්ගයකි. ක්‍රිස්තියානි රැස්වීම් ගැන යේසුස් මෙසේ පැවසුවා. “දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමි.” (මතෙව් 18:20) යේසුස් එම පොරොන්දුව දුන් අවස්ථාවේදී සාකච්ඡා කරමින් සිටියේ සභාවේ පෙරමුණ ගන්න අයගේ අවධානයට ලක් විය යුතු කාරණා ගැනයි. (මතෙව් 18:15-19) කෙසේවෙතත්, යේසුස්ගේ නාමයෙන් ඉදිරිපත් කරනු ලබන යාච්ඤාවකින් පටන්ගනු ලබන හා අවසන් කරනු ලබන අපේ රැස්වීම්, එක්රැස්වීම් හා සමුළුවලදීද එම වදන්වල අඩංගු ප්‍රතිපත්තිය අදාළ වෙනවා. (යොහන් 14:14) දෙතුන්දෙනෙක් සිටියත් දහස් ගණනක් සිටියත් ක්‍රිස්තියානීන් එකට එක්රැස් වන එවන් අවස්ථාවලට යන්න ලැබීම වරප්‍රසාදයක්. එනිසා අපව ආත්මිකව ශක්තිමත් කිරීමේ හා ප්‍රේමයට මෙන්ම යහපත් ක්‍රියාවලට පෙලඹවීමේ අරමුණින් පිළියෙළ කර තිබෙන එම අවස්ථා අගය කරමු.—හෙබ්‍රෙව් 10:24, 25.

14. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් දරන වෑයම්වලින් අපට ලබාගත හැකි ප්‍රයෝජන මොනවාද?

14 ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ද ආත්මික උපකාරය හා දිරිගැන්වීම සපයනවා. (1 පේතෘස් 5:2, 3) අද සිටින සංචාරක අවේක්ෂකයන් කරන්නාක් මෙන් පාවුල්ද ඔහු සේවය කළ සභාවල සිටි සහෝදරයන්ට ආත්මිකව උපකාර කරමින් ඔවුන්ව දිරිමත් කළා. ඇත්තෙන්ම, එකිනෙකාව දිරිගන්වමින් ගොඩනංවනසුලු ආකාරයෙන් අදහස් හුවමාරු කරගත හැකි නිසා සෙසු ඇදහිලිවන්තයන් සමඟ සිටීමට ඔහු මහත් ආශාවක් දැක්වුවා. (ක්‍රියා 14:19-22; රෝම 1:11, 12NW) අපව ආත්මිකව ශක්තිමත් කිරීමේදී විශාල වැඩකොටසක් ඉටු කරන අපේ සභාවල සේවය කරන වැඩිමහල්ලන්ව හා වෙනත් ක්‍රිස්තියානි අවේක්ෂකයන්ව අපි සැමවිටම අගය කරන බව පෙන්වමු.

15. අපේ සභාවල සිටින සෙසු ඇදහිලිවන්තයන් අපට ‘ශක්තිය සපයන ආධාරක’ වන්නේ කෙසේද?

15 මීට අමතරව අපේ සභාවල සිටින සෙසු ඇදහිලිවන්තයන්ද ‘ශක්තිය සපයන ආධාරක [NW]’ විය හැක. (කොලොස්සි 4:10, 11) ‘සැබෑ මිතුරන්’ වන ඔවුන් දුෂ්කර කාලවලදී අපට උපකාර කළ හැකියි. (හිතෝපදේශ 17:17) උදාහරණයක් හැටියට, 1945දී දෙවිගේ සේවකයන් 220දෙනෙකුව නාට්සි හමුදා භටයන්ගේ අධීක්ෂණය යටතේ සාක්සන්හව්සන් වධක ගාල් කඳවුරෙන් පිටතට ගෙනැවිත් කිලෝමීටර් 200කින් යුත් ඉතාමත් දුෂ්කර ගමනක යෙදෙන්න නියෝග කළා. ඔවුන් ගමන් කළේ කණ්ඩායමක් හැටියටයි. ශාරීරිකව ශක්තිමත්ව සිටි අය දුර්වල සෞඛ්‍ය තත්වයකින් පසු වූ අයව අත් කරත්තවල දමාගෙන ගියා. මෙහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? දුර්වල සෞඛ්‍යය හා අධික වෙහෙස නිසා මරණය ගෙන දෙන මේ දුෂ්කර ගමනේදී ගාල් කඳවුරේ සිටි අයගෙන් 10,000කට වැඩිදෙනෙක් මඟදී මිය ගියත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්කෙනෙක්වත් මියගියේ නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත හා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ—දෙවිගේ රාජ්‍යයේ ප්‍රකාශකයෝ (ඉංග්‍රීසියෙන්) වැනි වොච් ටවර් ප්‍රකාශනවල පළ වී තිබෙන ඒ හා සමාන වාර්තාවලින් පෙනී යන්නේ දෙවි තම සෙනඟව අත් නොහැර, ශක්තිමත් කරන බවයි.—ගලාති 6:9. b

අපේ දේවසේවයෙන් ශක්තිමත් වී

16. නිතිපතා දේවසේවයේ හවුල් වීම අපට ආත්මිකව ශක්තිමත් වීමට ඉවහල් වන්නේ කෙසේද?

16 නිතිපතා දේශනා සේවයෙහි හවුල් වීමෙන්ද අපි ආත්මිකව ශක්තිමත් වෙනවා. දෙවිගේ රාජ්‍යය කෙරෙහි මූලික අවධානය යොමු කිරීමටත් සදාකාල ජීවනය හා අනාගතයේදී භුක්ති විඳින ආශීර්වාද මනසෙහි තබාගැනීමටත් දේවසේවයේ හවුල් වීම අපට උපකාරවත් වෙයි. (යූද් 20, 21) අපි දේවසේවයේ නිරත වෙමින් මිනිසුන් සමඟ ශුද්ධ ලියවිල්ලේ සඳහන් පොරොන්දු ගැන කතා කරන විට අප තුළ තිබෙන බලාපොරොත්තුව තවත් ශක්තිමත් වෙනවා. එමෙන්ම ‘අපි අපේ දෙවි වූ යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමු’ කියා පැවසූ අනාගතවක්තෘ මීකා මෙන් අධිෂ්ඨාන කරගැනීමටද අප තුළත් පෙලඹීමක් ඇති වෙයි.—මීකා 4:5.

17. නිවාස බයිබල් පාඩම් පැවැත්වීම සම්බන්ධයෙන් දී තිබෙන යෝජනා මොනවාද?

17 අපි අනිත් අයට උගන්වමින් වැඩි වැඩියෙන් ශුද්ධ ලියවිල්ල භාවිත කරන විට යෙහෝවා සමඟ තිබෙන අපේ සම්බන්ධතාව තව තවත් ශක්තිමත් වෙනවා. උදාහරණයක් හැටියට, සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතෙන් නිවාස බයිබල් පාඩම් පවත්වන විට එහි සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පාඨ හැකි තරම් ප්‍රමාණයක් කියවා සාකච්ඡා කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකියි. මෙසේ කිරීම ශිෂ්‍යයාට උපකාරයක් වනවා පමණක් නොව ශුද්ධ ලියවිලිමය කාරණා පිළිබඳ අපේ අවබෝධයද පුළුල් වෙයි. යම් බයිබල් ඉගැන්වීමක් හෝ පැහැදිලි කිරීමක් තේරුම්ගන්න ශිෂ්‍යයෙකුට අමාරු නම්, දැනුම පොතේ එක පරිච්ඡේදයක් වතාවන් කිහිපයකදී සාකච්ඡා කිරීමට සිදු විය හැකියි. දෙවිට ළංවීමට අනිත් අයට උපකාර කිරීම සඳහා හොඳින් සූදානම් වී ඒ සඳහා වෑයම් දැරීම මගින් අපි මොනතරම් ප්‍රීතියක් ලබනවාද!

18. දැනුම පොත බලපෑමෙන් යුක්තව භාවිත කරනු ලබන ආකාරය පැහැදිලි කරන්න.

18 සෑම වසරකම, බයිබලය ගැන කිසිම දෙයක් නොදන්න අය ඇතුළුව දහස් ගණනකට යෙහෝවාගේ කැප වූ සේවකයන් වීමට උපකාර කිරීම සඳහා දැනුම පොත බලපෑමෙන් යුක්තව භාවිත කෙරෙනවා. උදාහරණයක් හැටියට, ශ්‍රී ලංකාවේ වාසය කරන එක් හින්දු පුරුෂයෙකුට කුඩා කාලයේදී සාක්ෂිකාරියක් පාරාදීසය ගැන කතා කරනවා ඇසුණා. ඔහු අවුරුදු කිහිපයකට පසු, එදා තමන්ට සාක්ෂි දැරූ සාක්ෂිකාරියව හමුවීමට ගියා. ඇගේ ස්වාමිපුරුෂයා එම තරුණයා සමඟ බයිබල් පාඩමක් කරන්න පටන්ගත්තා. මේ තරුණයා දිනපතාම බයිබලය ගැන ඉගෙනගන්න පැමිණි අතර, ඉතාමත් කෙටි කාලයකින් දැනුම පොත පාඩම් කර අවසන් කළා. ඉන්පසු ඔහු සෑම රැස්වීමකටම පැමිණෙන්න පටන්ගත්තා. කලින් තමන් අයත්ව සිටි ආගමෙන් ඔහු ඉවත් වී, රාජ්‍ය ප්‍රචාරකයෙකු බවට පත් වුණා. ඔහු බව්තීස්ම වන අවස්ථාව වන විටත් ඔහුගේ හිතවතෙක් සමඟ ඔහු බයිබල් පාඩමක් පවත්වමින් සිටියා.

19. අපි පළමුකොට රාජ්‍යය සොයන විට, අපිට කුමක් ගැන සහතික විය හැකිද?

19 රාජ්‍යය පළමුකොට සොයන විට අපේ ආත්මිකත්වය තවත් ශක්තිමත් වන අතර, අපි ඉන් ප්‍රීතියක්ද අද්දකිනවා. (මතෙව් 6:33) අපිට විවිධ පරීක්ෂණවලට මුහුණ දෙන්න සිදු වුණත්, අපි දිගටම සතුටින් හා ජ්වලිතව ශුභාරංචිය ප්‍රකාශ කරනවා. (තීතස් 2:14) අපගෙන් බොහෝදෙනෙක් පූර්ණ කාලීනව පුරෝගාමී සේවයේ නිරත වන අතර, තවත් සමහරු අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කරනවා. මේ ආකාරවලින් හෝ වෙනත් ආකාරවලින් රාජ්‍ය කටයුතුවල වර්ධනයට සතුටින් අත හිත දෙන විට යෙහෝවා අප කරන වැඩයත් ඔහුගේ නාමයට අප පෙන්වන ප්‍රේමයත් අමතක නොකරන බව අපට විශ්වාසයි.—හෙබ්‍රෙව් 6:10-12.

යෙහෝවාගේ ශක්තියෙන් ඉදිරියට යමු

20. ශක්තිය සඳහා අපි යෙහෝවා මත රඳා සිටින බව අපට පෙන්විය හැක්කේ කෙසේද?

20 අපේ බලාපොරොත්තු යෙහෝවා මත තැබීමටත් ශක්තිය සඳහා ඔහු මත රඳා සිටීමටත් අපි අදිටන් කරගෙන සිටින බව පෙන්වමු. ඔහු ‘විශ්වාසවන්ත දාසයා’ මාර්ගයෙන් සපයන ආත්මික සැපයුම්වලින් පූර්ණ ප්‍රයෝජන ගැනීමෙන් අපි මුළු හදින්ම ඔහු මත රඳා සිටින බව පෙන්විය හැකියි. (මතෙව් 24:45) ක්‍රිස්තියානි ප්‍රකාශන යොදාගනිමින් දෙවිගේ වචනය පෞද්ගලිකව හා සභාවේදී අධ්‍යයනය කිරීම, මුළු හදින්ම කරන යාච්ඤාව, වැඩිමහල්ලන්ගෙන් ලැබෙන ආත්මික උපකාරය, සෙසු ඇදහිලිවන්තයන්ගේ කදිම ආදර්ශ හා නිතිපතා දේවසේවයෙහි හවුල් වීම යනාදිය යෙහෝවා සමඟ තිබෙන අපේ සබඳතාව ශක්තිමත් කරගැනීමට තිබෙන සැපයුම් වන අතර, ඔහුට පරිශුද්ධ සේවය දිගටම පිරිනැමීම සඳහා ඒවා අපට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.

21. දෙවි සපයන ශක්තිය අවශ්‍ය බව ප්‍රේරිත පේතෘස් හා පාවුල් ප්‍රකාශ කළේ කෙසේද?

21 අපි උපකාරය පතා යෙහෝවා මත දිගටම රඳා සිටිනවා නම්, අප තුළ යම් යම් දුර්වලකම් තිබුණත් යෙහෝවා අපව ශක්තිමත් කරනවා. යෙහෝවා සපයන ශක්තියේ අවශ්‍යතාව වටහාගත් ප්‍රේරිත පේතෘස් මෙසේ ලිව්වා. “යමෙක් සේවයකෙරේ නම්, [දෙවි] සපයාදෙන ශක්තියේ ප්‍රකාර සේවයකරාවා.” (1 පේතෘස් 4:11) තමන් දෙවි සපයන ශක්තිය මත රඳා සිටින බව පෙන්වමින් පාවුල් මෙසේ පැවසුවා. “එහෙයින් [ක්‍රිස්තුස්] උදෙසා පැමිණෙන දුර්වලකම්වලටත් අන්තරායවලටත් හිඟකම්වලටත් පීඩාවලටත් විපත්තිවලටත් ප්‍රසන්නව සිටිමි. මක්නිසාද මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි.” (2 කොරින්ති 12:10) පාවුල් ඒත්තුගත් දෙයම අපිත් ඒත්තුගෙන තිබෙන බව පෙන්වමු. වෙහෙසට පත්වූවන්ව ශක්තිමත් කරන පරමාධිපති ස්වාමි වූ යෙහෝවාව ගෞරවයට පත් කරමු.—යෙසායා 12:2.

[පාදසටහන්වල]

a එක්සත් ජනපදයේ භාවිත කරන ක්‍රමයට අනුව මෙම ගණන ලියා දක්වන්නේ එකයි බින්දු විස්සක් ලෙසයි.

b Published by the Watchtower Bible and Tract Society of New York, Inc.

ඔබේ පිළිතුර කුමක්ද?

• යෙහෝවාගේ සෙනඟට සාමාන්‍ය බලයට වඩා වැඩි බලයක් අවශ්‍ය ඇයි?

• දෙවි ඔහුගේ සේවකයන්ව ශක්තිමත් කරන බවට තිබෙන ශුද්ධ ලියවිලිමය සාක්ෂි මොනවාද?

• අපව ශක්තිමත් කිරීම සඳහා යෙහෝවා සපයා තිබෙන ආත්මික සැපයුම් සමහරක් නම් කරන්න.

• ශක්තිය සඳහා අප යෙහෝවා මත රඳා සිටින බව පෙන්විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූරය]

අපි බයිබලය යොදාගනිමින් අනිත් අයට උගන්වන විට යෙහෝවා සමඟ තිබෙන අපේ සම්බන්ධතාව ශක්තිමත් වෙයි